The Leader News
BREAKING
සෝමලතා සුබසිංහ ළමා නාට්‍ය උළෙල: උත්තර ලියලාම ජීවිත ගොඩගන්න බැහැ●'දේවී' ගීතයෙන් රසික හදවත් දිනූ ඉසුමි හසිත්මා●පොතක් තරම් වටිනා තෑග්ගක් තවත් නැහැ: කැමිලා රැජින ජාතියටම ලියූ විවෘත ලිපිය●විදෙස් ඔත්තු සේවාවකට රාජ්‍ය රහස් දුන් චීන නිලධාරියාට මරණ දඬුවම●රනිල්ගේ සහ අනුරගේ ශ්‍රී ලංකාව: මාස 26ක ආර්ථික විගණනය●බ්‍රිතාන්‍ය තරුණ පරපුරේ ලිංගික හැසිරීම් වෙනස් වෙයි: නවතම සමීක්ෂණ හෙළිදරව්ව●ඉන්දීය පුරවැසිභාවයටත් පෙර සෝනියා ඡන්ද ලැයිස්තුවේ? දිල්ලි පොලිසියෙන් හෙළිදරව්වක්●වසර 37කට පසු නිවසට ආ ප්‍රංශ තැපැල්පතේ අබිරහස●WTC ඉතිහාසයේ වැඩිම හයේ පහර ඉන්දියාවේ රිෂාබ් පාන්ට්ගෙන්●ගෙවුණු සතියේ (නොවැ. 23-27) අධිකරණ හමුවේ දිගහැරුණු ප්‍රධාන නඩු විභාග●
Top Ad
සාහිත්‍ය - කලා

සෝමලතා සුබසිංහ ළමා නාට්‍ය උළෙල: උත්තර ලියලාම ජීවිත ගොඩගන්න බැහැ

Pasan

Pasan

November 29, 2026 • 11:05 PM

සෝමලතා සුබසිංහ ළමා නාට්‍ය උළෙල: උත්තර ලියලාම ජීවිත ගොඩගන්න බැහැ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෝමලතා සුබසිංහ ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් දෙසැම්බර් 04 ‘පුංචි අපට දැන් තේරෙයි’ සහ ‘තොප්පි වෙළෙන්දා’, දෙසැම්බර් 05 ‘කතන්දර පොත’ (Story Book) සහ දෙසැම්බර් 06 ‘වලස් පවුල’ යන නාට්‍ය ප.ව.
  • සහ 6.30ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වෙයි.
  • එතැනදී සංකීර්ණ ලෝකයට උචිත ලෙස ළමයින් සහ තරුණයන් පුහුණු කරවීම කියන ස්ථාවරයට එනවා.
  • එමෙන්ම රස නිෂ්පත්තිය සහ විචාරශීලී බව යෞවනයා තුළ ඇති කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සෝමලතා සුබසිංහ ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් දෙසැම්බර් 04 ‘පුංචි අපට දැන් තේරෙයි’ සහ ‘තොප්පි වෙළෙන්දා’, දෙසැම්බර් 05 ‘කතන්දර පොත’ (Story Book) සහ දෙසැම්බර් 06 ‘වලස් පවුල’ යන නාට්‍ය ප.ව. 3.30 සහ 6.30ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වෙයි. ඒ පිළිබඳව ආචාර්ය චන්දන අලුත්ගේ සහ ප්‍රවීණ රංගවේදිනී කෞශල්‍යා ප්‍රනාන්දු සමඟ කළ පිළිසඳරකි.

ළමා නාට්‍ය කලාව සහ විචාරශීලී බුද්ධිය

වර්තමාන ලෝක ළමා නාට්‍ය කලාව සාම්ප්‍රදායික හා සුරංගනා කතා කලාවෙන් ඔබ්බට ගිය නවීන තාක්ෂණය සහ සංකීර්ණ සමාජ තේමාවන්ගෙන් සුසැදි එකක්. මේ කාරණය ඔබ සැලකිල්ලට ගන්නේ කොහොමද?

චන්දන -
ලෝකයේ දියුණු රටවල්, ළමා හා යොවුන් කියන කණ්ඩායම ගැන බොහොම වගකීම් සහගතව හිතනවා. ඔවුන් තමයි වැඩිහිටි පරපුරට එකතු වෙන්නේ. රැකීරක්ෂා ආර්ථිකයට දායක වන කඳවුරට ඔවුන් නොබෝ කලකින් එකතු වෙනවා. ඒ අය නිවැරදි මානසිකත්වයකින් සිටිය යුතුයි කියලා දියුණු රටවල් හිතනවා.

ඒ අනුව සුරංගනා කතාවල සිට ළමා හා යොවුන් සාමාජිකයන් දැනට මුහුණ දෙන ප්‍රශ්න සහ නුදුරු අනාගතයේදී මුහුණ දීමට සිදු වේ යැයි අපේක්ෂා කරන ප්‍රශ්නවලට මුහුණ දීමට ඒ අය සන්නද්ධ කරනවා. නාට්‍ය මාර්ගයෙන්, චිත්‍රපට මාර්ගයෙන් ඒක කරනවා. උදාහරණයක් හැටියට මෑතකදී චිත්‍රපටයක් ආවා හිම කුමරිය කතාවට අලුත් වර්ෂන් එකක්.

හිම කුමරිය කැලයට රැගෙන යන දඩයක්කාරයයි හිම කුමරියයි අතර කතාවක් හැටියට තමයි ඒක නිර්මාණය කරලා තිබුණේ. ඒක හරි සංකීර්ණ බැඳීමක්. දඩයක්කරු තරුණයි, නිර්භීතයි, කඩවසම්. හිම කුමරිය අපි දන්න හිම කුමරියට වඩා ටිකක් වැඩිමහලුයි. කැලේ යනකොට මතුවන මානුෂික ප්‍රශ්න සහ දඩයක්කරුගේ වෘත්තිකභාවය අතර කථෝපකථනයක් ඒකෙ දක්නට ලැබෙනවා. පරණ සුරංගනා කතාවට වඩා මේක අලුත් අත්දැකීමක්. එතැනදී සංකීර්ණ ලෝකයට උචිත ලෙස ළමයින් සහ තරුණයන් පුහුණු කරවීම කියන ස්ථාවරයට එනවා. එමෙන්ම රස නිෂ්පත්තිය සහ විචාරශීලී බව යෞවනයා තුළ ඇති කරනවා.

කෘත්‍රිම බුද්ධිය හමුවේ මානව සංවේදීතාව

කෘත්‍රිම බුද්ධිය පරිහරණයේදී තවමත් අපි දෙන උපදෙස් මත තමයි ප්‍රතිඵලය තීරණය වෙන්නේ. ඒ කියන්නේ තවමත් මනුෂ්‍ය බුද්ධිය ඉදිරියෙන් ඉන්නවා. දරුවන්ට ඉදිරියේදී ඕන වෙන්නේ විචාරශීලී මනුෂ්‍ය බුද්ධිය. ඒකෙ වැදගත්කම එන්න එන්නම වැඩි වෙනවා. තවත් පැත්තකින් මනුෂ්‍යයා කරපු හුඟක් වැඩ දැන් කෘත්‍රිම බුද්ධියෙන් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අද බැංකුවක මනුෂ්‍යයා නැතුව මැෂින් එකකින් කොච්චර වැඩ සිද්ධ වෙනවද? ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන්. ඒ නිසා නාට්‍ය, සාහිත්‍යය, සංගීතය, කලා ශිල්ප භාවිතය දැන් අවම වෙමින් පවතිනවා.

අනිත් පැත්තෙන් අපිට ඕනේ ළමයින්ගේ නිර්මාණශීලීත්වය. එමෙන්ම සහකම්පනය, වෙන කෙනෙකුගේ දුක තේරුම් ගන්න, සංවේදී වෙන්න. මේ සඳහා ආපහු කලාව ඕනෙ වෙනවා. මිනිසාට අභිමුඛ වෙන්න පුළුවන් හිස්කම පුරවන්න වෙන්නේ නාට්‍ය, සිනමා ආදී කලා කටයුතුවලින්, සාහිත්‍යයෙන්, සංගීතයෙන්. අධ්‍යාපනයේ වෙනස්කම් සිදුවීමට නියමිතයි. ඒත් ඒවා හරිම අමාරුවෙන් තමයි විෂය මාලාවලට එකතු වෙමින් තියෙන්නේ. ළමයාට වැඩ අඩු කිරීම ගැන තියෙන්නේ උදාසීන සිතුවිල්ලක්. ළමයාට වැඩ හුඟක් දෙනවාටයි දෙමව්පියොත් කැමති.

ජනකතා සහ නව නාට්‍ය අත්දැකීම්

සෝමලතා සුබසිංහ මහත්මිය කලකට පෙර සිට අපි දන්න ජනකතා ඔස්සේ නාට්‍ය සඳහා නව තේමාවන් ගොඩනැඟුවා. අන්තර්ජාතිකව ප්‍රකට සුරංගනා කතා ඒ සඳහා පාවිච්චි කළ අවස්ථා තිබුණා. තොප්පි වෙළෙන්දාගේ කතාවේදී වඳුරන්ගේ අනුකරණය කිරීමේ ලක්ෂණය තමයි යතුර හැටියට පාවිච්චි කරන්නේ. මෙතැන විචාර බුද්ධිය පහළ වෙන හැටි බලන්න.

"සංසුන් වූ වෙළෙන්දාට

තොප්පි නැවත ලබා ගන්න

හොඳ නුවණක් පහළ වුණා....."

එයා මුලින් කලබල වුණා. එතකොට වඳුරොත් කලබල වුණා. ඊට පස්සේ වුණේ මොකක්ද? පුද්ගලයාත් වඳුරෙක් වගේ හිතන්න පටන් ගන්න එක. ඒක සහකම්පනීය ක්‍රියාවක්. හොරා වගේ රඟපෑවොත් තමයි හොරා අල්ලගන්න පුළුවන්.

හිම කුමරිය කතාව ගත්තොත් සම්පූර්ණයෙන් වෙන අතකට ගේනවා. අවසානයේ කුමාරයෙක් ඇවිත් පෙට්ටිය උස්සගෙන යනකොට ඒක බිම වැටිලා හිම කුමරියගේ උගුරේ හිර වෙච්ච ඇපල් කෑල්ල එළියට එනවා. මේ නාට්‍යයේ තියෙන්නේ අඹ කෑල්ල. වස මිශ්‍ර අඹ තමා මේකේ දෙන්නේ. හිම කුමරිය කන්නේ නෑ. එයා හරිම ත්‍යාගශීලීයි. එයා ඒක තියාගෙන ඉන්නවා යහළුවන්ට දෙන්න. මිතුරු කුරුමිට්ටෝ ආවහම ඒගොල්ලොත් එක්ක අඹ කෑල්ල බෙදා හදාගෙන කන්නයි හිතාගෙන ඉන්නේ. ඒ ත්‍යාගශීලී ගුණය නිසාම තමයි එයා බේරෙන්නේ. මේ වගේ කතා මගින් ළමයාට වෙනම ආකාරයකින් සිතන්න සලස්වනවා. මෑතකදී අපි අලුත්ම නාට්‍යයක් නිර්මාණය කළා ‘කතන්දර පොත’ කියලා. වයස 8-12 අයට. හැම දෙයක් ගැනම කුතුහලයෙන් පසුවන ළමයි කණ්ඩායමක් ඒකේ ඉන්නේ. එමගින් ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න උත්සාහ කරනවා. ඔවුන් අමාරු ප්‍රශ්නවලට මුහුණ දී ගොඩ එනවා.

ළමා නාට්‍ය විෂය විද්‍යාත්මකව හැදෑරීමේ අඩුව

ලෝක ළමා හා යොවුන් නාට්‍ය සංගමය ඇතුළු ජාත්‍යන්තර ආයතන මගින් ඉහත අදහස් ගෝලීය වශයෙන් පුළුල් කරමින් සිටිනවා. ඒ ගැන අවධානය යොමු කරන්නේ කොහොමද?

කෞශල්‍යා -
ලංකාවේ ළමයි පවුල් පසුබිමකින් නාට්‍යවලට එනවා ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. පාසලේදී ලැබෙන්නේ විෂයානුබද්ධ දැනුම විතරයි. මේක අපිට තියෙන ප්‍රධාන අභියෝගයක්.

ළමයින් නාට්‍ය සඳහා උනන්දු කරන ලෝකයේ විවිධ ආයතන තියෙනවා. මගේ මව සෝමලතා සුබසිංහ මහත්මියට ලැබුණු වැදගත් අවස්ථාවක් තමයි විවිධ රටවල්වලට ගිහින් නාට්‍ය බලන්න, වැඩමුළුවලට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණු එක. 1974 විතර සිට ඇය මේ පිළිබඳව වැඩ කළ කෙනෙක්. ඇත්තටම පසු කාලෙකදී චන්දනටත් ඒ අවස්ථාව හිමි වෙනවා. ලයනල් රන්වල, ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රියංකර රත්නායක වගේ තවත් අපේ කණ්ඩායම්වල හිටපු ශිල්පීන්ව අපි මේ වැඩමුළු සඳහා යොමු කළා.

දැන් තියෙන ප්‍රශ්නය තමයි ළමා නාට්‍යය කියන විෂය ලංකාවේ හරියාකාරව අධ්‍යයනය කරන්න යොමු වෙන පිරිස අඩුයි. කතන්දරයකින් ළමා නාට්‍යයක් කරනවා හෝ වැඩිහිටියෝ ඒක රඟ දක්වනවා. නමුත් අර චන්දන පෙර කිව්වා වගේ විද්‍යාත්මකව හිතලා දරුවා විශ්ලේෂණාත්මකව හිතන මඟකට කැඳවන අරමුණ බහුතරයක් ළමා නාට්‍යවලට නැහැ. දරුවා හිතන්න යොමු කරන්නේ කොහොමද? විචාර බුද්ධිය අවදි කරන්නෙ කොහොමද? දරුවාට ලැබෙන භාෂා ඥානය මොන වගේද? සංගීත ඥානය මොකක්ද? සහ සංස්කෘතිය වගේ දේවල් ගැන සමහර විට කිසිම අදහසක් නෑ. නාට්‍ය කරන අයට ඒවා ඉගෙන ගන්න උනන්දුවකුත් නෑ.

අධ්‍යාපනයට නාට්‍ය කලාව මුසු කිරීම

අඩුම තරමින් රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට නාට්‍ය කරන අය දැනුවත් කරන්න, වැඩමුළු තියන්න, විද්‍යානුකූලව මේ විෂය හදාරන්න කිසි කෙනෙකුට උනන්දුවක් නැහැ. මගේ අම්මා තමයි මේ විෂය ලෝක මට්ටමෙන් හුඟක් දුරට ඉගෙන ගත්තු ශිල්පිනිය විදිහට සැලකෙන්නේ. ඇයට තිබුණා ඒ පිළිබඳ පුදුමාකාර උනන්දුවක් සහ ආශාවක්. ඇය පුහුණු කළ පුද්ගලයා තමයි චන්දන. ඔහුටත් පැතිරුණු දැනුමක් තියෙනවා මේ විෂය තව කෙනෙකුට කියලා දෙන්න. ඒත් කිසිම දවසක කවුරුවත් චන්දන වැඩමුළුවලට රැගෙන ගිහිල්ලා නෑ.

ළමා අධ්‍යාපනයට නාට්‍ය කියන විෂය ඉහළින්ම පාවිච්චි කරන්න පුළුවන්. ඒත් කාටවත් ඒ ගැන උනන්දුවක් නැහැ. මගේ මව මේක අත්හදා බලපු දෙයක්. කිසියම් විෂයකට අදාළ දැනුම කවි සහ නාට්‍ය දෙබස් මඟින් ගේන්න පුළුවන්. ඕනෑම ගැඹුරු අදහසක් පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස සන්නිවේදනය කරන්න පුළුවන්. ඉතිහාසය, සිංහල වගේ විෂයන් නාට්‍ය මගින් ඉතා පහසුවෙන් උගන්වන්න පුළුවන්. ගණිතය, විද්‍යාව වගේ විෂයන් පිළිබඳ පැවරුම් නාට්‍ය මගින් කරන්න දෙන්න පුළුවන්. එතකොට ළමයි කණ්ඩායමක් හැටියටම අදාළ විෂය ගැන තොරතුරු එකතු කරනවා. තනියම ඉඳගෙන පාඩම් කරනවාට වඩා සාමූහිකව මේ වැඩේ කරන එක සාර්ථක වැඩක්. අනිත් පැත්තෙන් මෙවැනි මාර්ගයකින් දරුවන් අනවශ්‍ය පීඩනයට පත්වෙන්නෙත් නැහැ. වර්තමාන අග්‍රාමාත්‍යතුමිය මෙවැනි අධ්‍යාපන රටාවක් හදන්න ලොකු උත්සාහයක යෙදෙනවා. මේවා ඇත්තටම මීට කලකට පෙර සිට පටන් ගත යුතුව තිබුණු දේවල්.

චන්දන -
1970 වගේ කාලෙකදී සෝවියට් දේශය, නැගෙනහිර යුරෝපීය රටවල් ළමා නාට්‍ය කලාව ඉහළට ගෙන ගියා. සෝමලතා සුබසිංහ මහත්මියට ශිෂ්‍යත්වයක් ලැබුණේ ඔස්ට්‍රියාවේ Carl Hope Institute එකට. 'ළමයාට සෞන්දර්ය විෂය ඉගැන්වීමේ කලාව' කියන එක තමයි මෙතැන පාඨමාලාව. මේක පුළුල් මාතෘකාවක්. හැබැයි ලංකාවේ නැටුම් ඉගෙන ගන්න යන ළමයට දෙන ඉලක්කය තමයි වෙස් බඳින එක. ඒක තනි සහ පටු නීරස ඉලක්කයක්. එක තැනකින් අවසන් වෙනවා. නැටුමේ තියෙන ආශ්චර්යය වෙනුවට වෙන නිල ඉගෙනුමක් බවට පත්වෙනවා. පාඩම ළමයාට රසවත්ද එහෙම නැත්නම් කම්මැලිද කියන එක කවුරුත් සොයා බලන්නේ නෑ. ළමයා ඉගෙන ගත යුතු දේ අපි තීරණය කරලා ඉවරයි. එයාට වෙන විකල්ප නෑ. ඉතිං සෝමලතා සුබසිංහ ලංකාවට ඇවිත් ළමා හා යොවුන් රංග පීඨය ආරම්භ කරනවා. මමත් මුල්ම කාලෙ ඒකෙ සාමාජිකයෙක්. එතුමිය ළමයි හසුරුවන විදිහ, එක එක දේවල් කතා කරන විදිහ, ළමයින්ට නාට්‍ය පුහුණු කරන ආකාරය වගේ හැම දෙයක්ම මමත් වසර 25ක විතර කාලයක් තිස්සේ ඉගෙන ගන්නවා.

වෛරය වෙනුවට හේතුඵලවාදය සහ සමාව දීම

අනුප්‍රාප්තිකයන් හැටියට ළමා හා යොවුන් නාට්‍ය විෂයෙහි ඇගේ දැක්ම සහ මාර්ගය වර්තමානය තුළ ඔබ යම් යම් වෙනස්කම්වලට භාජනය කර තිබෙනවාද?

චන්දන -
ඇගේ මූලික දැක්ම අපි හැකි තරම් දුරට රකිනවා. ඇගේ දර්ශනය තුළ ළමයාට සමාජය දිහා බලන්න කියන්නෙ වෛරයෙන් නෙමෙයි. ඕනෑම දේකට හේතු වෙච්ච දෙයක් තියෙනවා. අන්න ඒක මත තමයි ඇගේ දර්ශනය පදනම් වුණේ.

හිම කුමරිය නාට්‍යය ගතහොත් ඇය කවුරු සමඟවත් තරහා වෙන්නේ නෑ. ඇය අන්තිමට කියනවා කුඩම්මා මේ ගැන දන්නෙ නැතුවයි එහෙම වැරදි ක්‍රියාවක් කළේ. මීට වඩා ලෝකය ගැන දැනගෙන හිටියා නම් ඇය මේ වරද කරන්නේ නැහැ කියලා. අන්න ඒක තමයි නාට්‍යය තුළින් මතු කරන දර්ශනය.

ඊළඟට රත්මලී නාට්‍යයේ අන්තිමට වෘකයාට සමාව දෙනවා. වෘකයා කියනවා මම වයසයි, මගේ නෝනත් වයසයි. ඒ නිසා ගෙදර වැඩ ටික කරගන්නයි මම මේ ළමයාව ගෙනියන්න හැදුවේ කියලා. එයා වරද පිළිගත්තු නිසා එහෙමනම් ආපහු මේ වගේ වැඩ කරන්නේ නැහැ කියලා ළමයි ඉදිරියේ සමාව ගන්න කියලා වෘකයාට කියනවා. නාට්‍යයේදී ළමයින්ගෙන්ම අහනවා මෙයාට දඬුවම් දෙමුද සමාව දෙමුද කියලා. සමහර ළමයි කියනවා දඬුවම් දෙමු කියලා. ඊට පස්සේ ඒ අයටත් කියලා දෙනවා සමාව ගන්න කැමති වුණානේ. ආයේ වැරදි කරන්නේ නෑ කියලත් කියනවා. වරද කරන්න සිද්ධ වුණේ මෙන්න මේ හේතුව නිසා කියලත් කියනවා. ඒ නිසා වෘකයාට සමාව දෙමු කියන ස්ථාවරයට නාට්‍ය නරඹන ළමයි සියලු දෙනාමත් ගෙන එනවා. ඒක නේද අපි වගා කරගන්න ඕනේ දර්ශනය. බෞද්ධ දර්ශනයේ තියෙන හේතුඵලවාදය දැනගත්තම අපිට ප්‍රශ්න නිරාකරණය කරගන්න ලේසියි. මේ අදහස පෙරදැරි කරගෙන තමයි අපිත් ඉදිරියට නාට්‍ය කරගෙන යන්නේ.

තාක්ෂණික ලෝකය සහ දරුවන්ගේ පරිකල්පනය

වර්තමාන දරුවන් වසර තිහ හතළිහකට පෙර සිටි ළමයින්ට වඩා දැනුමෙන් සන්නද්ධයි. ඔවුන්ගේ පැත්තෙන් හිතලා වර්තමාන නාට්‍ය නිෂ්පාදන තුළ මොන වගේ වෙනස්කම් ද කර තිබෙන්නේ?

කෞශල්‍යා -
දැනුමෙන් සන්නද්ධ ඇති. ඒත් සෞන්දර්යාත්මක ලෝකය ගැන ඒ අයට අදහසක් නෑ. ඒගොල්ලෝ වෙනස් සෞන්දර්යයක් ගැන හිතනවා ඇති. මනුෂ්‍යත්වය, ආදරය ගැන දක්වන සංවේදීත්වය අඩුයි කියලයි මට හිතෙන්නේ. අනෙකා ගැන සිතීම අවමයි. ඔවුන් බහුතරයක් කාමර ඇතුළේ අන්තර්ජාලය සමඟ ඉන්න අය. ඒකෙන් මුදවලා නාට්‍යයකට එකතු වෙලා, කතන්දර ඇසීම, ඒ තුළ සිදුවන දේ මොකක්ද කියලා හිතන්න යොමු කිරීම යනාදිය පරිකල්පනය දියුණු කරන එක මාර්ගයක් හැටියට අපි අභ්‍යාස කරනවා. ඉදිරියේදී අපිට මුණගැහෙන්නේ කෘත්‍රිම බුද්ධිය සමඟ වැඩ කරන තත්ත්වයක්. එතැනදී හදවතට ආමන්ත්‍රණය කරන කෙනෙක් අපිට ඕනෙ. කෘත්‍රිම බුද්ධියෙන් හදපු පින්තූර ගැන දැනට නම් අපිට තේරෙනවා. කොච්චර වුණත් නළුවෙක් රඟපාන කොට හදවත ක්‍රියා කරන විදිහ නෙවෙයිනෙ AI වලදී වෙන්නේ. උදාහරණයක් හැටියට හිම කුමරිය කියන ගෑනු ළමයට අම්මා නැති වුණාම දැනෙන හැඟීම ගත්තොත් එක් එක් නිළියට එකිනෙකට වෙනස් විදිහට ඒක දැනෙන්නේ. ඒ අනුව හැඟීමට සාපේක්ෂ නිරූපණයක් තමයි ඔවුන්ගෙන් මතුවෙන්නේ. නමුත් AI වලින් හැදුවොත් සංවේදනාව එක සමාන වෙන්න පුළුවන්. හදන කෙනාගේ පරිචය මත තමා ඒක රඳා පවතින්නේ. යොවුන් පරපුර පොතපත කියවීමත් අඩු නිසා නාට්‍ය බලලා, සංගීතයත් අහලා යම් හැඟීමක් ඇතිකර ගන්න එක වැදගත් කියලා අපි හිතනවා.

වර්තමාන ළමයි පොත් කියවන එක අපිට නොපෙනුණාට ඔවුන් වෙන විදිහකට කියවනවා වෙන්න බැරිද?

කෞශල්‍යා -
මම දන්න හැටියට ඒගොල්ලෝ කියවන්නෙ තොරතුරු. දැනුම ලබා ගැනීම තමයි ඒකේ අරමුණ. ජීවන අත්දැකීම් ලැබෙන දේවල් කියවීම අඩුයි කියන එකයි මගේ අදහස.

විභාග පීඩනය සහ දරුවන්ගේ ආත්ම විශ්වාසය

චන්දන -
සෝමලතා මහත්මියගේ ඊළඟ අරමුණ වුණේ ඇත්තටම ළමයාට ජීවිතාවබෝධය ලබා දීමයි. ලෝකාවබෝධය නාට්‍ය මාර්ගයෙන් ලබාදීම කියලා කියන්න පුළුවන්. එම දර්ශනය අපි ඉදිරියටත් ගෙනියනවා. ඒ සඳහා විවිධාකාරයේ අලුත් වැඩසටහන් හදනවා. සති අන්තයේ ළමයින් සඳහා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වැඩසටහන මීට කලකට පෙර පටන් ගත්තේ ඒ අනුවයි. මෙතැන සිද්ධ වෙන්නේ ළමයාට පන්ති කාමරයේදී නොලැබෙන වෙනත් අධ්‍යාපනයක් වෙත යොමු කිරීම. ලෝකයේ මොනවද වෙන්නෙ කියන එක දැනගැනීම, තමන් අවට සිදුවන දේවල් පිළිබඳ සංවාදය ආදී දේවල්.

ඊළඟට ළමයාගේ ආත්ම විශ්වාසය වැඩි කිරීම. පාසල් අධ්‍යාපනය ළමයාගේ ආත්ම විශ්වාසය හීන කරන්නත් බලපානවා. මොකද ලකුණු අනුවනේ ඒක බොහෝ විට තීරණය කෙරෙන්නේ. අඩු ලකුණු ගන්න අය පන්තියේ කොන් වෙනවා. ළමයාගේ දක්ෂතාව අගයන්නේ එක පැත්තකින් විතරයි. පාසලක තියෙන වෙනත් චැලෙන්ජස් එක්ක වෙන ක්‍රමයකුත් නෑ ඉතින්. දෙමාපියන්ගෙන් අපිට ලැබෙන ප්‍රතිචාර තමයි අපේ ළමයා දැන් ඉස්කෝලෙදි හුඟක් දේවල්වලට ඉදිරිපත් වෙනවා කියන එක. ඉස්සර ඒ ළමයි මුළුගැන්විලා හිටපු අය. සමහර දෙමව්පියෝ කියන හැටියට ඒ ළමයි දැන් ඉගෙන ගැනීම ගැනත් පෙරට වඩා උනන්දු වෙලා තියෙනවා. බය නැතුව කතාබහ කරනවා. සෑම තැනකදීම විවෘතයි. නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වැඩසටහනට සම්බන්ධ වුණාට පස්සේ තමයි ඒ වෙනස්කම ඇති වුණේ කියන එකයි දෙමව්පියන්ගේ අදහස.

කෞශල්‍යා -
අපි ගැහැනු ළමයි ගනිමු. එයා හොඳ අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. හොඳ ගෘහණියක් වෙන්න පුළුවන්. ඒත් අපි මනින්නෙ එක දෙයකින්. ගණිතය පුළුවන්ද, විද්‍යාව පුළුවන්ද, උසස් පෙළ කොහොමද ආදී වශයෙන්. ගුරුවරුත් සෙනෙහස පාන්නේ විභාග පාස් වන ළමයාට. අනිත් බහුතරයක් විභාග නිසා පීඩාවට පත් වෙනවා. සමහර විට එතැනින් ගොඩ එන්නේ ඒකටත් ශක්තිය තියෙන ළමයි විතරයි. තව කොටසක් ළමයි මානසිකව වැටිලා දුකට, අවපීඩනයට පත්වෙනවා. ඇත්තටම විභාගය අසමත් වන අය ගැනයි අපි සමාජයක් හැටියට වැඩි අවධානය යොමු කරන්න ඕනේ.

නූතන ගැටලු සහ ‘කතන්දර පොත’ (Story Book)

ඔබ තේමාත්මක වෙනස්වීම් සඳහා යන අවස්ථාවන්හි දරුවන්ට ඒවා ගෝචර වන ආකාරය ගැන හිතන්නෙ කොහොමද?

කෞශල්‍යා -
හෙට අනිද්දට 'මායාබෝංචි' කියලා පාලිත පෙරේරාගෙ චිත්‍රපටයක් එනවා. අලි ගමට එන එක වළක්වන්න පොඩි ළමයි කණ්ඩායමක් එකතුවෙලා ක්‍රමයක් හදනවා. ඒක අලියාටත් හානි නොවන ජන ජීවිතයටත් හානි නොවන ක්‍රමයක්. සමහර තාක්ෂණික කාරණා ගැන ළමයි හිතන විදිහ, එයාගේ ලෝකයේ වීරත්වය කියන්නේ මොකක්ද ආදී කාරණා තමයි එතැනදී ඉස්මතු වෙන්නේ. යෞවනයන්ට අද වෙන කොට තමන්ගේ ප්‍රශ්නවලට ඔවුන්ගේම විසඳුම් අවශ්‍යයි. වීරත්වය කියන්නේ කොහෙන්වත් ආනයනය කරන එකක් නෙමෙයි තමන් තුළම මතුවන දෙයක් කියන අදහසට එන එක තමයි වැදගත්.

චන්දන -
Peaceful resolution of issues, එනම් ගැටලු සාමකාමීව විසඳා ගැනීම කියන චින්තනයට අපි කෙමෙන් කෙමෙන් එන්න ඕනේ. අපි හිතමු රටක නැති බැරි අයට මාසෙකට රුපියල් දහ දාහ ගානේ දෙනවා කියලා. දැන් බදු ගෙවන අය ඒකට විරුද්ධ වෙන්න පුළුවන් අපෙන් අරගෙන ඒගොල්ලන්ට මොකටද නිකන් දෙන්නෙ කියලා. මේ වගේ ප්‍රශ්නයක් කළමනාකරණය කරගන්නේ කොහොමද? දැන් අපි හිතන්න ඕනේ ප්‍රශ්න ඒවා නේද? නාට්‍යවලින් සාහිත්‍යයෙන් අපි ගේන්න ඕනෙ ඒ වගේ ප්‍රශ්න හොඳින් විසංයෝජනය කර බලන්න පුළුවන් දැනුමක්. අපි මේ වතාවේ අලුතෙන්ම ඉදිරිපත් කරන "ස්ටෝරි බුක්" කියන නාට්‍ය ගතහොත් ඒ වගේ එකක්.

කෞශල්‍යා -
පාඩම් කරලා උත්තර ලියලාම ජීවිතය ගොඩ ගන්න බෑ. ඇත්ත ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනේ කියන එකයි ඒකෙන් කියන්නෙ.

චන්දන -
ඒ ළමයි Story Book නාට්‍යයෙදි පොඩි fantasy ලෝකයකට යනවා. ඒකෙන් ආයේ පියවි ලෝකෙට එන්න නම් මුණගැහෙන අය සමඟ අන්තර් ක්‍රියා කරලයි කොහොම හරි ගොඩට එන්න ඕනේ. ඒකෙන් පෙන්වන්නේ ප්‍රශ්න අවබෝධ කර ගැනීම, පටන් ගත් වැඩක් අවසානය දක්වා කරගෙන යාම, විනාශකාරී දේවල්වලින් ගැලවෙන්නේ කොහොමද, ප්‍රධාන අභියෝග මොනවාද වගේ දේවල්. එක කණ්ඩායමක් ඉන්නවා බොරු කිය කියා අනික් පාර්ශ්වය බය කරනවා. සමහර ළමයි වශී කරගන්නවා. සමහරු ස්මාර්ට් මිනිස්සු විදිහට පෙනී සිටිමින් මේ අයගෙන් විවිධ ප්‍රශ්න අහනවා. ඔය වගේ අභියෝග මැඩගෙන ළමයි මතු වෙන්න ඕනේ. මේ වගේ දේවල් නූතන ළමයාට හුඟක් කිට්ටුයි. ඒවා තත්කාලීන ප්‍රශ්න කියලා කියන්න පුළුවන්. ‘වලස් පවුල’ නාට්‍ය ගත්තොත් ෆෝම් එක වෙනස්, සම්ප්‍රදායවාදීයි. ලස්සන නැටුම් සහ සංගීතය සහිතයි. වර්ණාවලියක් සමඟ නූතන අදහසක් මතු කරනවා.

ඔන්ලයින් විජිතයෙන් ඔබ්බට යන සජීවී අත්දැකීම

ඇත්තටම ‘වලස් පවුල’, ‘තොප්පි වෙළෙන්දා’ වගේ නාට්‍ය ‘ඔන්ලයින් විජිතයක’ ඉන්න ළමයාට කොහොමද දැනෙයිද?

කෞශල්‍යා -
ඒ අය රස විඳිනවා. අවුරුදු දෙකේ ළමයි පවා රස විඳිනවා. මේක හරිම සජීවී වැඩක්. ළමයි හෙලවෙන්නෙ නැතුව ඒ දිහා බලා ඉන්නකොට ඔවුන් විඳින බව අපිට දැනෙනවා. මිත්‍රත්වය, සහෝදරත්වය කියන එකට භේදයක් නැහැ කියන කතාවනේ අපි ගේන්නේ. අපිට තියෙන ප්‍රශ්නය තමයි දක්ෂයින් රඳවා ගැනීම සහ විද්‍යාත්මකව ළමා නාට්‍ය විෂය ප්‍රැක්ටිස් කරන අය නැතිවීම. ටික දවසක් ඉඳලා යන තැනක් බවට මේක පත්වෙලා.

චන්දන -
මම තමයි යම් කාලයක් මේක අල්ලගෙන හිටියේ. අපි සෑහෙන නළු නිළි පිරිසක් බිහි කරලා තියෙනවා මේක හරහා. හොඳ රචකයෝ, නළුවන් අපි ට්‍රේන් කරලා තියෙනවා. මධුර පෙරේරා, හිරාන් අබේසේකර වගේ අය මතක් කරන්න පුළුවන්. ළමා නාට්‍ය ගැන තියෙන ව්‍යාකූලත්වය තමයි ලංකාවේ ඒක ලාමක කියන අදහසින් ගන්නේ. "අයියෝ ළමාද?" කියලා අහනවා. හැබැයි අමාරුම දේ තමයි ළමයින්ට නාට්‍ය කිරීම. ඒකට පැති ගණනාවක් හිතන්න ඕනේ. ළමයෙක් විනාඩි 45ක් වාඩි කරවලා තියෙන එකත් අභියෝගයක්. මොකද ඒගොල්ලෝ ඒ මොහොතේම ප්‍රතිචාර දක්වන අය. ඉන්න අමාරු නම් සමහර විට නැගිටලා අඬනවා.

රංග ශාලා ගාස්තු සහ ප්‍රතිපත්තිමය මැදිහත්වීම

ළමයා අසුනේ සිට නරඹන්නකු නොව සහභාගි වන්නකු බවට ළමා නාට්‍ය පිළිබඳ නව්‍ය අදහසක් තියෙනවා. මේ ගැන ඔබේ ආකල්පය මොකක්ද?

චන්දන -
කෞශල්‍යාගේ මවගේ නාට්‍ය සෑම එකකම පාහේ ළමයා සමඟ ඩිස්කෝස් එකක් කෙරෙනවා. ඒක අපි තවදුරටත් ඉස්සරහට ගෙනාවා ‘වලස් පවුල’ වැනි නාට්‍ය මගින්. ප්‍රේක්ෂකාගාරයෙන් ප්‍රශ්න අහන ක්‍රමය මගින් නරඹන දරුවොත් නාට්‍යයේ එක පාට් එකක් බවට පත්වෙනවා. ඒගොල්ලෝ සමස්ත ප්‍රේක්ෂකාගාරය හැටියටම උත්තර දෙනවා. ඒක හරිම ලස්සන අවස්ථාවක්. සමහර විට ප්‍රශ්නය අහන්න කලින්ම උත්තර දෙනවා.

ඊළඟට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ළමයින්ට තනියම එන්න බැහැනේ නාට්‍ය බලන්න. දෙමව්පියෝ එන්න ඕනේ. එතකොට අපි ළමයින්ට නාට්‍ය කරනකොට වැඩිහිටියෝ ගැනත් හිතන්න වෙනවා. අපේ නාට්‍ය වැඩියෙන්ම එන්ජෝයි කරන්නේ වැඩිහිටියෝ බව අපි දන්නවා. අනිත් එක අම්මා තාත්තා දෙපැත්තෙ තියාගෙන නාට්‍යයක් බලන එක ළමයාට සුන්දර අත්දැකීමක්. ඉතින් අපිට සිද්ධ වෙනවා ප්‍රවේශ පත්‍ර මිල දරාගන්න පුළුවන් මට්ටමක තියන්න. ඒකෙ අනිත් පැත්ත තමයි ළමා නාට්‍ය කියලා අපිට ශාලා ගාස්තු අඩු නෑ. අනෙක් කොයිදේටත් යන වියදම එකයි. එතකොට අපිට වැයවන මුදලයි ආදායමයි අතර හැමවිටම ලොකු ගැප් එකක් තියෙනවා. ලයනල් වෙන්ඩ්ට් එකේ වසර පහකින් අපි නාට්‍යයක් පෙන්නලා නැහැ. ලක්ෂ දෙකක වියදම දරාගන්න අමාරුයි. එල්ෆින්ස්ටන් එකේ රුපියල් අසූපන්දාහයි. ඒ දර්ශන දෙකක ගාන.

දැන් අපි අලුතෙන්ම කරපු Story Book කියන නාට්‍ය නිෂ්පාදනය කරන්න මිලියන 2.5ක් වැයවුණා. මේවා අතින් වියදම් කරගෙන කරන වැඩ. මිතුරන් කිහිප දෙනෙක් උදව් කළා. හැබැයි සමස්ත වැඩේ ඉහළම නිමාවකින් කෙරුවා. ඒක බලලනේ ළමයා යමක් ඉගෙන ගන්නේ. ඒකට නියම ෆිනිශ් එකක් ඕනේ. Benchmark එකක් ළමයට හුරු කරනවා මේක තමයි තියෙන්න ඕනෙ අවම මට්ටම කියලා. ඉතිං ලාභ ගන්න කියලා ටිකට් එකක් රුපියල් 3,000ක් කරන්න බෑ. ඒක ආචාර ධර්ම විරෝධී ක්‍රියාවක්.

අන්න එතැනදි තමයි අපිට ඔය ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් අවශ්‍ය. මුදල් ඉල්ලන්න බැහැ. ළමයි වෙනුවෙන් කරන වැඩවලට සහනශීලී තත්ත්වයක් ඇති කරලා දෙන්න පුළුවන්නම් හොඳයි. රජයට පුළුවන් නම් ළමා නාට්‍යයක් පෙන්වන අවස්ථාවල ශාලා ගාස්තුව සහන මිලකට දෙන්න, ඒක මේ වැඩේට සෑහෙන සහනයක්. අපිට ඉතින් මේ ගැන අණ බෙර ගගහා යන්න බෑ. ළමා නාට්‍ය නිෂ්පාදනයට යම් අනුබලයක් දෙන්න රජයට පුළුවන් නම් හොඳයි.

(පිළිසඳර - විමලනාත් වීරරත්න)
wimale.ravaya67@gmail.com

May be an image of text

විමලනාත් වීරරත්න

නිදහස් මාධ්‍යවේදී

wimale.ravaya@gmail.com

View all stories by විමලනාත් වීරරත්න
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...