දේවී දේවී හර්දේ මා දේවී
දැලේ යාවී පාවී
තාලම් තාලම් පානා මේ ආලේ
ආලෙන් ආලෙන් ආලේ
නූපුර නුඹේ ඔය හිතේ නූ කතාවේ
හීනෙක ගියා දුර නොතේ රූ මුලාවේ
සැලෙනා සැලෙනා මා නිතඹේ ඇයි බලන්නේ
ඩිංගක් ලං වී තව ඩිංගක් ලං වී
අලුත් හඬක්, අලුත් මුහුණක් එක්ක මේ දවස්වල සමාජ මාධ්‍යයේ සැරිසරන "දේවී" ගීතය ඔබටත් ඇහිලා ඇති. ඒ මිහිරි හඬේ හිමිකාරිය වන ඉසුමි හසිත්මා අපොන්සු අපට හමුවිය.
බොරලැස්ගමුවේ පදිංචි 23 හැවිරිදි ඉසුමි කොළඹ විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා, මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන පවුලේ එකම දරුවාය. සිය නව ගීත නිර්මාණයත් සමඟ කලා ලෝකයට පිවිසි ඇය සමඟ කළ සොඳුරු කතාබහයි මේ.
කුළුඳුල් නිර්මාණයට ලැබෙන උණුසුම් ප්‍රතිචාර
කොහොමද "දේවී" ගීතයට ලැබෙන ප්‍රතිචාර?
ගීතයට සෑහෙන්න හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඇත්තටම මේක මගේ පළවෙනි නිර්මාණය නිසා මේ තරම් ඉක්මනින් රසිකයන් අතරට යයි කියලා මම හිතුවේ නැහැ. මාව කාලයක් තිස්සේ දන්නා හඳුනන අය වගේම මේ ගීතය හරහා මාව අලුතින් හඳුනාගත් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාමත් ආදරණීය ප්‍රතිචාර ලබා දෙනවා. ඒ වගේම එදිනෙදා ජීවිතයේ විවිධ අවස්ථාවලදී, විශ්වවිද්‍යාලයේදී බොහෝ දෙනෙක් ගීතය අගය කරමින් කතා කරනවා. නවක ගායන ශිල්පිනියක් විදියට ඒ ලැබෙන ප්‍රතිචාර මට ඉදිරි ගමනට ලොකු ශක්තියක්.
"දේවී" ගීතයේ තේරුම?
තරුණියකට ඇය කැමති, ඇයට ආකර්ෂණීය තරුණයෙක් මුණගැසුණු පසු ඔහු කෙරෙහි ඇගේ සිතේ ඇතිවන සුන්දර හැඟීම්, ඔහුත් සමඟ කාලය ගත කරන්න කැමති විදිහ සහ ඇය සිතින් මවාගත් දේවල් තමයි මේ ගීතයෙන් විස්තර වෙන්නේ. ඕනෑම කලා නිර්මාණයකට වගේම මේ ගීතයටත් රසවිඳින කෙනාගේ මනෝභාවය අනුව විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. කොහොම නමුත් ගීතයේ එන "දේවී දේවී හර්දේ මා දේවී" කියන පද පේළියෙන් අදහස් වෙන්නේ "මගේ හදවත මම ඔහුට දෙනවා" වගේ අරුතක්. ඒ ඔස්සේ තරුණියකගේ සිතේ ජනිත වන ආදරණීය හැඟීම් ගලාගෙන යන ආකාරය ඉතිරි පද පේළිවලින් හරිම ලස්සනට සහ රසවත්ව විස්තර වෙනවා.
"දේවී" පිටුපස සිටින නිර්මාණ කණ්ඩායම
මේ නිර්මාණයට දායක වුණු පිරිස ගැන සඳහන් කළොත්?
මේ ගීතය මේ තරම් ලස්සනට එළියට එන්න පිටුපස ලොකු කණ්ඩායමක කැපවීම සහ මහන්සිය තියෙනවා. ගීතයේ සංගීතය සහ තනු නිර්මාණය කළේ හසිත් සාරංග අයියා. පද රචනය හසිත විතානගේ අයියාගේ. ඒ වගේම හසිත විතානගේ අයියා ප්රමුඛ ආර්යන්ස් මියුසික් කණ්ඩායමත් මේ වෙලාවේ ඉතාමත් ආදරයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම කොච්චර කාර්යබහුල වුණත් රූප රචනාවට ඇවිල්ලා ඒක සාර්ථක කර ගන්න දායකත්වය ලබා දුන්නු, රූප රචනාවේ ඉන්න චතුරංග කොඩිතුවක්කු අයියාවත් ආදරයෙන් මතක් කරනවා. ගීතයේ ඕඩියෝ එක පටිගත කළ දවසේ සිට රූප රචනාව පටිගත කරන දවස වෙනකම්ම හොඳම නිර්මාණයක් රසිකයන් අතරට ගෙන එන්න හැමෝම ලොකු කැපවීමකින් සහ උනන්දුවකින් මහන්සි වුණා. ඒ වගේම ගීතයේ රූප රචනාවට ලොකු වර්ණයක් සහ ජවයක් එක් කළ, නර්තන නිර්මාණය කළ තීව් සහ පසුබිම් නර්තනයෙන් දායක වුණු තීව් ඩාන්සින් ස්කූල් එකේ සියලු දෙනාවත් මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා.
මේ ඔබේ පළවෙනි ගීතයද?
ඔව්. මේ මගේ පළමුවැනි ගීතය.
පෙර පාසලෙන් ඇරඹි ගායන ගමන
පුංචි කාලයේ ඉඳන්ම ගීත ගායනා කරනවද?
ඔව්. මම මුලින්ම ලොකු ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ ගීතයක් ගායනා කළේ පෙර පාසල් යන කාලයේදීයි. මම ගියේ කොළඹ විශාඛා විද්‍යාලයේ පෙර පාසලට. එතකොට මට වයස අවුරුදු 4ක් හෝ 5ක් විතර ඇති. පෙර පාසලේ පැවැත්වුණු විවිධ ප්‍රසංගයකදී අපි ජිප්සීස්ලා ගැන නාට්‍යයක් කළා. ඒ නාට්‍යය ඇතුළේ මම ගීතයක් ගායනා කළා. ඒක සිංහල ගීතයක් නෙවෙයි. එදා මගේ ඒ ගායනය දැකපු පෙර පාසලේ විදුහල්පතිතුමිය සහ ගුරුවරුන් ඒක ගොඩක් අගය කළා. ඊට පස්සේ ඒ ගුරුවරියක් විසින්ම ගුවන්විදුලි නාලිකාවකට කතා කරලා මට ඒ ගීතය ගුවන්විදුලියේ ගායනා කරන්නත් අවස්ථාව ලබා දුන්නා. ගීත ගායනය ගැන කතා කරද්දී ඒක තමයි මගේ පරණම මතකය.
කොහොමද සංගීත ක්ෂේත්රයට අවතීර්ණ වුණේ?
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සංවිධානය කළ "ධාරා 2024" අන්තර් පීඨ ගායන තරගයේ අවසන් පූර්ව වටයට මම සුදුසුකම් ලැබුවා. ඒක තමයි තරගයකට සහභාගී වෙලා මම ප්‍රථම වතාවට ලබපු ලොකුම ජයග්‍රහණය. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ විවිධ අවස්ථාවලදී විශාල පිරිසක් ඉදිරියේ ගීත ගායනා කරන්න මට අවස්ථාව ලැබුණා. ඒවායින් ලැබුණු ප්‍රතිචාර සහ දන්නා නොදන්නා බොහෝ දෙනෙකුගෙන් ලැබුණු ආදරය සහ හොඳ ප්‍රතිචාර නිසා ගායනය කෙරෙහි මට ලොකු ආසාවක් සහ උනන්දුවක් ඇති වුණා. ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගායන ශිල්පී හඬ පරීක්ෂණය සමත් වෙලා B ශ්‍රේණියේ ගායිකාවක් විදියට සුභාවිත ගීත ගායනා කරන්නත් මට අවස්ථාව ලැබුණා. මේ හැම දෙයක් එක්කම මගේ හැකියාවන් ඔස්සේ සංගීත ක්ෂේත්රයට යොමු වෙන්න ලොකු ධෛර්යයක් සහ ආත්ම විශ්වාසයක් ලැබුණා.
මාධ්‍ය පවුල් පසුබිම සහ අනෙකුත් දක්ෂතා
රියැලිටි තරගවලට සහභාගී වෙලා තියෙනවද?
නැහැ. මම රියැලිටි තරගවලට සහභාගී වෙලා නැහැ.
සංගීත ක්ෂේත්රයට පිවිසීමට ඔබට මුලින්ම ආභාෂය ලැබුණේ කාගෙන්ද?
විශේෂයෙන් එක පුද්ගලයෙකුගෙන් කියලා ආභාෂයක් ලැබුණේ නැහැ. සංගීතයට සහ ගීත ගායනයට තිබුණු මගේම කැමැත්ත සහ ආදරයත්, කාලයත් එක්ක මට ලැබුණු විවිධ අවස්ථා, අත්දැකීම් සහ මගේ අවට සිටි පිරිසගෙන් ලැබුණු දිරිමත් කිරීම් තමයි මාව මේ ක්ෂේත්රයට යොමු වෙන්න ලොකුම හේතුව වුණේ. විශේෂයෙන්ම මගේ යාළුවන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ලැබුණු දිරිගැන්වීම් මට ගොඩක් වටිනවා.
පවුලේ කවුරු හරි කලාවට සම්බන්ධද?
මගේ අම්මා ප්රවෘත්ති නිවේදිකාවක් විදියටත් මගේ තාත්තා ක්‍රිකට් විස්තර විචාරකයෙක් විදියටත් දීර්ඝ කාලයක් තිස්සේ මාධ්‍ය ක්ෂේත්රයේ කටයුතු කරලා තියෙනවා. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම මාධ්‍ය සහ කලාව ගැන හොඳ පරිසරයක් සහ අවබෝධයක් ගෙදර තිබුණා. ඊට අමතරව වෙනත් කලා කටයුතුවලට පවුලේ අයගේ සම්බන්ධයක් නැහැ.
ගායනයට අමතරව සංගීත භාණ්ඩ වාදනය කෙරෙහි උනන්දුවක් දක්වනවාද?
පුංචි කාලයේ පාසලේ පෙරදිග සංගීතය හදාරද්දී මම කීබෝඩ් සහ ගිටාර් වාදනය කෙරෙහි කාලයක් යොමු වෙලා හිටියා. නමුත් මේ වෙද්දී විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුත් එක්ක ගීත ගායනයට තිබෙන දැඩි කැමැත්ත නිසා වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ ගායනය පැත්තටයි.
විනෝදාංශ, ආදරය සහ දෙමව්පියන්ගේ සෙවණැල්ල
සංගීතය හැරුණු කොට වෙනත් විනෝදාංශ තියෙනවද?
මම පාසලේ ඉංග්‍රීසි නිවේදන ඒකකයේ සභාපති විදියට කටයුතු කළා. සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම පාසලේදී වගේම ඉන් පසුවත් විවිධ අවස්ථාවලදී නිවේදන කටයුතුවල නිරත වෙලා තියෙනවා. ඒ වගේම 2023 වසරේදී Y FM ගුවන්විදුලි නාලිකාවේ සති අන්ත වැඩසටහන් ඉදිරිපත් කළා. ඊට අමතරව නර්තනයටත් මම ලොකු උනන්දුවක් දක්වනවා.
ආදරය ගැන මොකද හිතෙන්නේ?
මම හිතන්නේ ආදරය කියන්නේ ජීවිතයට ලස්සන අත්දැකීම් එකතු කරන හරිම සුන්දර දෙයක්. ඒත් මේ කාලයේ මගේ වැඩි අවධානය යොමු වෙලා තියෙන්නේ මගේ හීන, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, වෘත්තීය ජීවිතය සහ අනාගතය සාර්ථකව ගොඩනගා ගැනීමටයි. ඒ නිසා දැනට ආදරයට වඩා මගේ අරමුණු වෙනුවෙන් කැපවෙලා වැඩ කිරීම තමයි මට වැදගත්.
කලා කටයුතුවලදී ඔබට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ගීත ගායනය වගේම මට දක්ෂතාවයක් තියෙන, මම ආසාවෙන් කරන හැම දෙයකටම මගේ අම්මා සහ තාත්තා ලබා දෙන සහයෝගය තමයි මගේ ලොකුම ශක්තිය. මගේ ගීතය එළිදැක්වීමේ සිට මම ඉදිරියට කරන හැම වැඩකටම ඒ දෙන්නා මට ලොකු හයියක් වගේම ලොකු මඟපෙන්වීමක් ලබා දෙනවා. මම මේ ක්ෂේත්රයේ කොච්චර දුර ගමනක් ගියත්, ඒ හැම පියවරකම ලොකුම ගෞරවය හිමි වෙන්න ඕනේ මගේ අම්මටයි තාත්තටයි. මොකද ඒ දෙන්නා නැත්නම් මම අද මෙතන නැහැ.
(සටහන - චමෝදි සෙව්වන්දි)
උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප
සබැඳි පුවත:
ඉසුමි අපොන්සුගේ රිද්මයානුකූල ආමන්ත්‍රණය: ‘දේවී’ අන්තර්ජාලයට මුදාහැරේ



