ඉන්දීය කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට් ලෝක ටෙස්ට් ශූරතා (WTC) ඉතිහාසයේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා. ඔහු මේ කඩඉමට පිවිසියේ දැන් පැවැත්වෙන නවසීලන්ත තරගමාලාවේදීයි.
ක්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ ඉන්දියාවේ පළමු ඉනිමේදී අංක 5 පිතිකරු ලෙස පන්දුවට පහර දුන් පාන්ට්, ඔහුගේ ඉනිමේ පළමු හයේ පහර එල්ල කරමින් වැඩිම හයේ පහර ලබා ගත් ක්‍රීඩකයා බවට පත්වුණා.
බෙන් ස්ටෝක්ස් අභිභවා ගිය ඓතිහාසික පහර
2019 වසරේ ලෝක ටෙස්ට් ශූරතාවලිය ආරම්භ වීමෙන් පසුව එහි වැඩිම හයේ පහරලාභියා බවට පත්ව සිටි හිටපු එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් අභිභවා යාමට වමත් පිතිකරු පාන්ට් සමත් වුණේ නවසීලන්ත වේග පන්දු යවන ජේකබ් ඩෆීට ‘ලෝං ඕන්’ ස්ථානයට ඉහළින් පහරක් එල්ල කරමින්.
මේ වික්‍රමයේ තිබූ විශේෂත්වය වුණේ ස්ටෝක්ස්ගේ හයේ පහර 88, ඔහුට වඩා WTC ටෙස්ට් තරග 20කට අඩුවෙන් පාන්ට් විසින් අභිභවා යාමයි. තරග 44කට ක්‍රීඩා කර තිබෙන පාන්ට් ඔහු මුහුණ දුන් සෑම පන්දු 46කට වරක් හයේ පහරක් එල්ල කර තිබෙනවා.
මුල් පස්දෙනා අතර ඉන්දියානුවන් සිවුදෙනෙක්
වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩක ලැයිස්තුවේ තිබෙන ඉහළම ස්ථාන පහේ ඉන්දියානුවන් සිවු දෙනෙක් සිටිනවා. පාන්ට් හා ස්ටෝක්ස්ට පිටුපසින් සිටින්නේ WTC තරග බිමේ හයේ පහර 56ක් සටහන් කර ඇති හිටපු ඉන්දීය නායක රෝහිත් ෂර්මා. වර්තමාන ඉන්දීය නායක ෂුබ්මන් ගිල් හයේ පහර 48ක් සමග සිවු වැනි ස්ථානයේ පසුවන අතර යශස්වි ජයිස්වාල් හයේ පහර 45ක් ලබා ගෙන පස් වැනි ස්ථානයේ සිටිනවා.
නවසීලන්ත තරගමාලාවේ බිඳ වැටුණු තවත් වාර්තා
නවසීලන්ත තරගමාලාවේදී පාන්ට් වාර්තා බිඳින ක්‍රීඩාවක නිරතව සිටිනවා. වෙලිංටන්හි පැවති පළමු ටෙස්ට් තරගයේදී පාන්ට් ඔහුගේ නව වැනි ටෙස්ට් ශතකය සමග වාර්තා ගණනාවක්ම මකා දැමුවා. මෙහිදී ඔහු සියලුම SENA රටවලට එරෙහිව ශතක වාර්තා කළ පළමු සංචාරක කඩුලු රකින්නා බවට පත්වුණා.
මීට අමතරව ඔහු බ්‍රෙන්ඩන් මැකලම් (107) පසු කරමින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවැනියට වැඩිම හයේ ප්‍රහාරකයා බවට පත්ව සිටින්නේ ස්ටෝක්ස්ට (136) පමණක් පිටුපසින් සිටිමින්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් ශූරතාවලියන්ගේ ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කඩුලු රකින්නා බවට ද පාන්ට් පත්ව සිටින්නේ වසර 2019 සිට එම තරගාවලියේ චක්‍ර හතරක් හරහා ඔහු ක්‍රීඩා කළ ඉනිමවලදී ලකුණු 3000 පසුකර යමින්.
ලෝක ටෙස්ට් ශූරතා (WTC) ඉතිහාසයේ වැඩිම හයේ පහර
* 89 (ඉනිම 76කදී) - රිෂාබ් පාන්ට්
* 88 (ඉනිම 117කදී) - බෙන් ස්ටෝක්ස්
* 56 (ඉනිම 69කදී) - රෝහිත් ෂර්මා
* 48 (ඉනිම 78කදී) - ෂුබ්මන් ගිල්
* 45 (ඉනිම 58කදී) - යශස්වි ජයිස්වාල්
සබැඳි පුවතක්:
Rishabh Pant becomes highest six-hitter in WTC history, surpasses Ben Stokes - The Indian Express
(සටහන -වර්නන් ගුණසේකර)




