2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ කාලසීමාව අදින් (30) අවසන් වීමට නියමිතව තිබුණත්, දෙසැම්බර් මස 14 වැනි දින හෝ ඊට පෙර වාර්තා ගොනු කරනු ලබන බදු ගෙවන්නන්ට දඬුවම් පනවන්නේ නැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය විසින් අද (29) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දුන්නාය.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන අනුව, ආදායම් බදු සඳහා ලියාපදිංචි වී සිටින සියලුම තැනැත්තන් 2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තාව 2026 නොවැම්බර් මස 30 වැනි දින හෝ ඊට පෙර ගොනු කළ යුතු විය.
RAMIS පද්ධතියට එල්ල වූ පීඩනය සහ තදබදය
කෙසේ වෙතත්, 2025/2026 තක්සේරු වර්ෂය සඳහා පළමු වරට ආදායම් බදු වාර්තා ගොනු කරන ලියාපදිංචි තැනැත්තන්ගේ සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනය හේතුවෙන්, 2026 නොවැම්බර් මාසය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) වෙත දැඩි පීඩනයක් එල්ල වී ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතිය තුළ තදබදයක් ඇති වී ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයක් සිදු වී තිබේ. බොහෝ බදු ගෙවන්නන්ට තම කාර්යය සම්පූර්ණ කිරීමේදී දුෂ්කරතා ඇති වූ බවටද, ඇතැම් බදු ගෙවන්නන්ට එම කාර්යය සම්පූර්ණ කිරීමට අපහසු වූ බවටද වාර්තා වී තිබේ.
සහන කාලසීමාවෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, 2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තාව 2026 දෙසැම්බර් මස 14 වැනි දින හෝ ඊට පෙර ගොනු කරනු ලබන බදු ගෙවන්නන්ට දඬුවම් පනවන්නේ නැතැයි දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එම සහන කාලය තුළ වාර්තා ඉදිරිපත් කරන අයට එරෙහිව පැහැර හරින ලද තක්සේරු නිකුත් කිරීම හෝ දේශීය ආදායම් පනතේ XVIIA වැනි සහ XVIII වැනි පරිච්ඡේද යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු නොකරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
සියලුම බදු ගෙවන්නන් කලින්ම බදු වාර්තා ගොනු කිරීමට කටයුතු කරන ලෙසත්, ඒ සඳහා පනවා ඇති නීතිමය කාලසීමාව ඉක්මවා නොයන ලෙසත් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. මෙම සහන කාලසීමාවෙන් පසුව ලබා දෙන බදු වාර්තා සඳහා දඬුවම් පැනවීමට කටයුතු කරන බවද නිවේදනයේ සඳහන් වේ.
(සටහන | ජේ. මුණසිංහ)



