BREAKING
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - නිලධාරීන්ගේ අත්සන් ලිපිකාරිනියක් මගින් හඳුනා ගැනීම සම්බන්ධයෙන් විරෝධය

T

The Leader

April 25, 2026 • 5:37 AM

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - නිලධාරීන්ගේ අත්සන් ලිපිකාරිනියක් මගින් හඳුනා ගැනීම සම්බන්ධයෙන් විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඖෂධ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතුවලට අදාළව සකස් කරන ලද ලේඛනවල ඇති නිලධාරීන්ගේ අත්සන් සහ අකුරු හඳුනාගැනීම ලිපිකාරිනියක් වන සාක්ෂිකාරියක් විසින් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ විත්ති පාර්ශ්වයේ නීතිඥවරු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සිය විරෝධය පළ කළහ .
  • කෙසේ වුවද අදාළ ඖෂධ ලැයිස්තුවට අදාළ පිළිවිතර ඒ වන විට ලැබී නොතිබූ බවද සාක්ෂිකාරිය  වැඩිදුරටත් සඳහන් කර සිටියාය.
  • එම ඖෂධය ලබාදීමේදී සැපයුම්කරු විසින් ලබා දිය යුතු පිළිවිතර මොනවාද යන්න පිළිබඳව සටහනක් එහි නොතිබූ බවද ඇය සඳහන් කර සිටියාය .
  •    ලන්සු ලබාදෙන සැපයුම්කරුවන් විසින් සාම්පල ලබා දිය යුතු ආකාරය පිළිබඳව කොන්දේසි  ඇතුළත් කර තිබූ බව සඳහන් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):
අදාල ලේඛන එම අත්සන් තැබූ නිලධාරීන් ගෙන් සාක්ෂි විමසා තහවුරු කරගැනීමේ අවස්ථාව තිබියදී ලිපිකාරිනියක් මගින් එලෙස තහවුරු කර ගැනීමට යාම ගැටලු සහගත බව ඔවුහු පෙන්වා දුන්හ. 
 
 හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩු විභාගයේදී  සාක්ෂි විමසන අවස්ථාවේදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් මෙම කරුණු පෙන්වා දෙන ලදී. 
 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවනු ලැබිණි.
 
එහිදී මෙම නඩුවේ 150 වැනි පැමිණිල්ලේ සාක්ෂිකාරිය ලෙස නම්  කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේ දෙවැනි දිනටත් සාක්ෂි ලබා දුන්නාය.
 
පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කරමින් ඖෂධ  මිලදී ගැනීමට අවශ්‍ය ලේඛන සියල්ල ම අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඊළඟ පියවර කුමක්ද යනුවෙන් විමසා සිටියාය. 
 
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ ලියවිලි සියල්ල තාක්ෂණික ඇගයීම් ක්‍රියාවලියට යොමු කරන බවය . ලන්සු විවෘත කිරීමේ දිනය 2022 ඔක්තෝබර් මස 3 වැනිදා ලෙස පැවති අතර  ඒ සම්බන්ධ වන ලන්සු කැඳවීමේ නිවේදනය සැප්තැම්බර් මස 27 වැනිදා proms.lk වෙබ් අඩවිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කළ බවද ඇය සඳහන් කර සිටියාය. 
 
ලන්සු විවෘත කිරීමට නියමිත වූ දිනයේ සැපයුම්කරුවන් පැමිණ සිටි අතර  ඔවුන් විසින් ලබාදී තිබූ තොරතුරු ඇතුළත් කොට ලේඛනයක් සකස් කළ බවද අදාළ ලන්සු විවෘත කිරීම රාජ්‍ය අමාත්‍යංශය ගොඩනැගිල්ලේ දී සිදු කළ බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය
 
එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සාක්ෂිකාරියගෙන් "ඔබ කොපමණ කාලයක සිට ඔය අමාත්‍යංශයේ ප්‍රසම්පාදන අංශයේ සේවය කරනවාද?" යනුවෙන් විමසා සිටි අතර  2021 වසරේ සිට එම අංශයේ සේවය කරන බව ඇය සඳහන් කළ අවස්ථාවේදී" මෙවැනි අභිලාෂ කැඳවීමේ දැන්වීම් මීට පෙර ඔය අංශයෙන් සිදු කර තිබෙනවාද?" යනුවෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය. 
 
එවැනි අභිලාෂ කැඳවීමක් ඊට පෙර සිදු නොවූ බවද මෙය ප්‍රථම අවස්ථාව බවද සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් කියා සිටියාය. ලන්සු කැඳවීමට සම්මත ලේඛන භාවිතා කරන අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඒ ඒ ඖෂධය සඳහා වෙන වෙනම ගොනු සකස් කිරීමක් සිදුකර එවන බවද ඇය සඳහන් කළාය. 
 
"අදාළ ලංසු කැඳවීම සඳහා වන ඖෂධ ලයිස්තුව ලබා දුන්නේ කවුරුන් විසින්ද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ක් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා විසින් එය ලබාදුන් බවය. කෙසේ වුවද අදාළ ඖෂධ ලැයිස්තුවට අදාළ පිළිවිතර ඒ වන විට ලැබී නොතිබූ බවද සාක්ෂිකාරිය  වැඩිදුරටත් සඳහන් කර සිටියාය.
 
"පිළිවිතර නොමැති නම් සැපයුම්කරු ඖෂධය ගැන දැනුවත් වෙන්නේ කොහොමද? යන්න අධිකරණයට පැහැදිලි කරන්න" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය සාක්ෂිකාරිය ගෙන් විමසා සිටියාය. ඇය සඳහන් කළේ සැපයුම්කරු විසින් යේ නම ඊට අදාළ SR අංකය සහ අවශ්‍ය ප්‍රමාණය ,මාසික අවශ්‍යතාවය යන කරුණු සඳහන් කර තිබූ බවය. 
 
medicine 20260131
"එම ඖෂධ ලැයිස්තුවේ  හියුමන්ඉමියුනෝග්ලොබියුලින් නමැති ඖෂධය තිබුණාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය  ප්‍රශ්නයක් යොමු කළ අතර  සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ අදාළ ඖෂධ  ප්‍රමුඛතා ලේඛනයේ එකසිය හැත්තෑ හතරවන ඖෂධය ලෙස ඇතුළත් කර තිබූ බවය. ලන්සුකරු විසින් අදාළ ඖෂධය සැපයීමේදී අනුගමනය කළ යුතු පිළිවිතර පිළිබඳව සටහනක් එහි නොතිබූ බවද පිළිවිතර පිළිබඳව ලංසුකරුට දැනුම් දීමක් කර නොතිබූ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"රිටොක්සිමැප් ඖෂධය එම ප්‍රමුඛතා ලැයිස්තුවේ සඳහන්ව තිබුණාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ අංක එක දරණ ප්‍රමුඛතා ලැයිස්තුවේ 99 වැනි ඖෂධය ලෙස එම ඖෂධය සඳහන් කර තිබූ බවය. එම ඖෂධය ලබාදීමේදී සැපයුම්කරු විසින් ලබා දිය යුතු පිළිවිතර මොනවාද යන්න පිළිබඳව සටහනක් එහි නොතිබූ බවද ඇය සඳහන් කර සිටියාය .
 
 ලන්සු ලබාදෙන සැපයුම්කරුවන් විසින් සාම්පල ලබා දිය යුතු ආකාරය පිළිබඳව කොන්දේසි  ඇතුළත් කර තිබූ බව සඳහන් කළාය. එහෙත් එම සාම්පල ලබාදිය යුතු දිනයක් පිළිබඳව එම ලේඛනයේ සඳහන් නොවන බවද සාක්ෂිකාරිය කියා සිටියාය .
 
"කාර්ය සාධන බැඳුම්කර ඉදිරිපත් කළ යුතු බවට කොන්දේසියක් තිබුණාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් ඉදිරිපත් කළ අතර සාක්ෂිකාරිය එවැනි කොන්දේසියක් ඇති නමුත් එවැනි බැඳුම්කරයක් ලබාදිය යුතු බවට සඳහනක් අදාළ ලේඛනයේ ඇතුළත්ව නොතිබූ බවද ප්‍රකාශ කළාය.
 
එසේම ගිවිසුමකට ඇතුළත් විය යුතු බවට කොන්දේසියක් ඇති නමුත් අදාළ ඖෂධ ලැයිස්තුව හෝ එහි ඇමුණම් වල එවැනි ගිවිසුමක් ද ඇති බවට සඳහනක් නොමැති බවද සාක්ෂිකාරිය කියා සිටියා ය. 
 
සැපයිය යුතු ඖෂධයට අදාළ "පැකින් සහ ලේබල්"  යන කොන්දේසි ඇති නමුත් එම කොන්දේසි අදාළ ලැයිස්තුව හෝ ඊට අදාළ ඇමුණුම් වල සඳහන්ව නැති බවද ඖෂධයේ තත්ත්ව සහතිකය පිළිබඳව කොන්දේසියක්ද  ඇති නමුත් ඒ පිළිබඳවද අදාළ ඖෂධ ලැයිස්තුවේ හෝ ඊට අදාළ ඇමුණුම් වල සඳහන් නොවන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
සාක්ෂිකාරිය:
මෙහි ටෙස්ටින් හෝ batch sample යනුවෙන් සඳහන් වන කොන්දේසියක් තියෙනවා. නමුත් එම කොන්දේසිය ල ඖෂධ ලැයිස්තුවේ ඇතුළත්ව නැහැ .එසේම product liabilities යනුවෙන් කොන්දේසියක් තිබෙනවා. එයද අදාළ ලැයිස්තුවේ හෝ ඇමුණුම්වල  සඳහන්ව නෑ " 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 
ලන්සු විවෘත කරන අවස්ථාවට සහභාගී වූයේ කවුරුන්ද යන්න පිළිබඳව කියන්න පුළුවන්ද ?
 
සාක්ෂිකාරිය:
එම ලංසු විවෘත කිරීමේ අවස්ථාවට සැපයුම්කරුවන් හෝ ඔවුන්ගේ නියෝජිතයින් ආවා . ලන්සු විවෘත කිරීමේ කමිටුව සහ ප්‍රසම්පාදන නිලධාරීන් එම අවස්ථාවට සම්බන්ධ වුණා. සෑම ඖෂධයකටම වෙන් වෙන් වූ ගොනුවක් පවත්වාගෙන ගියා. එවැනි ගුණ ගොනු ඖෂධ 285ටම තිබුණා. 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
සංවර්ධන නිලධාරීන් ඇයි එම අවස්ථාවට සහභාගී වූයේ  යන්න අධිකරණයට පැහැදිලි කරන්න?
 
court girl 2
සාක්ෂිකාරිය:
අදාළ ඖෂධ 285ට අදාළව  ලන්සුපෙට්ටි හයක් තිබුනා. එම පෙට්ටිවල සඳහන් කරලා තිබුණා අදාල ඖෂධ මොනවාද කියලා. විවෘත කිරීමේ කටයුතු වලට සහාය දැක්වීමට තමයි ප්‍රසම්පාදන නිලධාරීන් ඊට සහභාගි වුණේ . එහිදී එක් එක් ඖෂධයට අදාල ලංසු විවෘත කළා. සැපයුම්කරුවන් කවුරුන්ද යන්න බලනවා . විවෘත කිරීමෙන් පසු ප්‍රසම්පාදන අංශය විසින් විසින් ඒවා ලේඛනගත කරනවා. 
 
නියෝජ්‍ය සොලිසිය ජනරාල් වරිය :
හියුමන්ග්ලොබියුලීන්  ඖෂධය  එක් ගොනුවකට ඉදිරිපත් කළ බවට ඔබ සාක්ෂි දුන්නා. එම ලේඛනය සකස් කළේ කාගේ උපදෙස් මතද?
 
සාක්ෂිකාරිය: 
බුත් පිටිය මහතාගේ උපදෙස් මත එය සිදුකළා. 
ලන්සුව විවෘත කර සටහන් තැබීමක් සිදු කළා අදාල ඖෂධය සඳහා ලන්සුව ඉදිරිපත් කළ සැපයුම්කරුගේ නම , එක් යුනිට් එකකට ඉදිරිපත් කළ මිල හා සම්පූර්ණ ඖෂධ සැපයීමට ඉදිරිපත් කළ සම්පූර්ණ ගණන එහි සඳහන් කළා 
 
මෙහිදී නමවන විත්තිකරු වන  වෛද්‍ය ජයනාත් බුත්පිටිය  මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයතිලක මහතා ලිපිකරිනියක් වන සාක්ෂිකාරිය ලන්සු විවෘත කිරීමේ ලේඛන සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙන්නේ කෙසේද ?යනුවෙන් ප්‍රශ්න කරමින් ඊට විරෝධය පළ කළේය 
 
එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සඳහන් කළේ අදාළ ලංසු විවෘත කිරීමේ රාජකාරීවල  සාක්ෂිකාරිය නිරත වී ඇති බැවින් සම්බන්ධව සාක්ෂි ලබාදිය හැකි බවය. 
 
අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂිකාරියගේ විමසා සිටියේ ලංසු විවෘත කිරීමේ රාජකාරිය සඳහා සංවර්ධන නිලධාරිනියක් ලෙස සහභාගී වූයේද යන්න පිළිබඳවය. එම අවස්ථාවට තමන් සහභාගි වූ බවත් ලන්සු කමිටුවට සහය දැක්වීම සඳහා ප්‍රසම්පාදන නිලධාරීන් පත් කර සිටි අතර  තමන්ට ඊට සහභාගී වූ බව සඳහන් කළ සාක්ෂිකාරිය ඒ සම්බන්ධයෙන් තමන්ට ප්‍රකාශ කළ හැකි බවද සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය. 
 
එහිදී සකස් කරන ලද ලේඛන වලට  සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂක අසංග මෛත්‍රී රත්න විසින් අත්සන් තැබූ අතර ඔහු  වසරක පමණ කාලයක සිට තමන් හඳුනන බවද ප්‍රසම්පාදන අංශය සහ සැලසුම් අංශය අතර ලිපි හුවමාරු වන බැවින් ඔහුගේ එම අත්සන තමන්ට හඳුනා ගැනීමට හැකි බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළ සිටියාය. 
 
නීතිඥ රාහුල් ජයතිලක මහතා :
වසරක කාලයක් හඳුනන පමණින් අත්සන හෝ අත්අකුරු හඳුනාගත හැකිද? 
 
සභාපති විනිසුරුවරයා: ඒ සම්බන්ධයෙන් ගැටළුවක් තිබෙනවා එම අත් අකුරු හෝ අත්සන් හඳුනා ගැනීම ඊට අදාළ විශේෂඥ නිලධාරීන් විසින් සිදුකළ යුතුයි. 
 
සාක්ෂිකාරිය: අසංග මෛත්‍රී රත්න මහතාගේ අත්සන එම ලේඛනයෙහි තිබෙනවා 
 
සභාපති විනිසුරුවරයා: එම අත්සන කොහොමද ඔබ හඳුනාගන්නේ ?මොන පදනම මතද ?
 
signature
සාක්ෂිකාරිය: මිනිට් වලදී එම අත්සන් තබා තිබෙනවා, පැමිණීමේ ලේඛනයේද එම අත්සන් තිබෙනවා, එම අත්සන හඳුනාගත හැකියි.
 
සභාපති විනිසුරුවරයා: 
එම අත්සන සඳහන් ලිපි ලේඛන තිබෙනවාද 
 
සාක්ෂිකාරිය : එහෙමයි ස්වාමීනී 
 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය: මොන අවස්ථාවලදීද එවැනි ලිපි ලේඛන  සකසන්නේ.? 
 
සාක්ෂිකාරිය: බිඩ් ඕපනින් මිනිට් එකේදී ගොනු හදනවා .එසේම එවෙලුවේෂන් කරද්දිත් ආකෘති පත්‍ර හදනවා. එහිදී ම ලේඛන පරිශීලනය කරනවා. එම කටයුතු වලදී මෙම අත්සන දැක තිබෙනවා .
 
මෙම ලේඛන සැකසීමෙන් අනතුරුව තවත් ලේඛන දෙකක් සැකසීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ අතර අටවන විත්තිකාර හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා එහිදී පෙන්වා දුන්නේ  මෙම ලේඛනය මෙතෙක් අධිකරණයේ හමුවේ ඔප්පු කිරීමකට ලක් කර නොමැති බවය.
 
 එලෙස ඔප්පු කර නොමැති ලේඛනයක් මත පදනම්ව තවත් ලේඛන  පිළිබඳව සාක්ෂි ලබාගැනීම ගැටලු සහගත බව ඔහු සඳහන් කළේය .
 
මෙම ලේඛනය සකස් කළේ කවුරුන්ද යන්න පිළිබඳව සාක්ෂි මගින් ඔප්පු කළ යුතු බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය .
 
එහිදී මෙම ලේඛනය සකස් කළේ කවුරුන්ද යන්න පිළිබඳව සභාපති විනිසුරුවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටි අතර නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය සඳහන් කලේ සාක්ෂිකාරිය විසින් මෙම ලේඛනය ට අදාළ  කටයුතු කර ඇති බැවින් ඇයට මෙම අත්සන් හඳුනාගත හැකි බවය. 
 
clerk
 
දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි  නීතිඥ අසේල සේරසිංහ මහතා එහිදී සඳහන් කළේ මෙම ලේඛනය ට අත්සන් තබා ඇති අය එම ලේඛනයේ කතෘ ලෙස සලකන බවය. මෙම සාක්ෂිකාරිය විසින් එම ලේඛනය යතුරුලියනය කර ඇති නමුත් ලිපිකාරිනියක් මගින් එම අත්සන් සහතික කරගැනීම කළ නොහැකි බවත් නීතිඥවරයා සඳහන් කළේය. 
 
මෙම ලේඛනයේ අත්සන් තබා ඇති එක්  අයකු මෙම නඩුවේ විත්තිකරුවකු වන අතර  සෙසු දෙදෙනා ම මෙම නඩුවේ සාක්ෂිකරුවන් වන බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය. එම සාක්ෂික කරුවන් කැඳවීම මගින් මෙම ලේඛනය ඔප්පු කළ හැකි බවද නීතිඥවරයා එහිදී සඳහන් කළේය. 
 
 තමන් සහ සාක්ෂි  මෙහෙයවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව විත්තියෙන් උපදෙස් අවශ්‍ය නොවන බව එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය සඳහන් කර සිටියාය. 
 
එහිදී සභාපති විනිසුරුවරයා සඳහන් කළේ අදාල ලේඛනයේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ හැකි අතර අත්සන් සම්බන්ධයෙන් විමසීමක් කළ නොහැකි බවය .
 
 ලන්සු විවෘත කිරීමෙන් අනතුරුව ඖෂධ 285 සඳහා වෙන් වෙන්ව ගොනු සකස් කල අතර ලන්සු කමිටුවේ මිනිට්ටුව සහ සැපයුම්කරුවන් විසින් ලබාදුන් ලේඛන  එම ගොනුවලට ඇතුළත් කළ බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.  
"එම ඖෂධවලට අදාළ ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට උපදෙස් ලැබුණාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය සාක්ෂිකාරියගෙන් විමසීමක් සිදු කළ අතර ඇය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ සියලු ගොනු ලබාදීමට උපදෙස් නොලැබුණු බවය . එහෙත් ඖෂධ වර්ග දෙකක් සම්බන්ධයෙන් වන ගොනු ලබාදීමට උපදෙස් ලැබුණු බවද ඇය සඳහන් කළාය. 
ඒ අනුව හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොප්ස්මැප් යන ඖෂධ දෙකට අදාලව වෙන වෙනම ගොනු දෙකක්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
 
අදාල ඖෂධ ලැයිස්තුව ප්‍රමුඛතා  හතරකට යටත්ව තිබූ අතර එක සහ දෙවැනි ප්‍රමුඛතා ලැයිස්තු ඇතුළත් ලේඛන සකස් කිරීමට වෛද්‍ය බුද්පිටිය මහතාගෙන් තමන්ට උපදෙස් ලැබුණු බවද සාක්ෂිකාරිය  කියා සිටියාය.  පළමු වන ප්‍රමුඛතා ලැයිස්තුවේ ඖෂධ 181ක ඇතුළත්ව තිබූ අතර ප්‍රමුඛතා ලැයිස්තු දෙකෙහි  ඖෂධ වර්ග හතළිස් එකක් ඇතුළත්ව තිබූ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
එම ඖෂධ වලට අදාළ ගොනු සැකසීමේදී වරකට ඖෂධ දහය බැගින් තොරතුරු ඇතුළත් කරන ලෙස උපදෙස් ලැබුණු බවද සම්පූර්ණ කරුණු යතුරු ලියනය කිරීම ප්‍රසම්පාදන අංශයේ සංවර්ධන නිලධාරීන් විසින් සිදුකළ අතර එම සියලු කටයුතු වෛද්‍ය ජයනාත් බුත්පිටිය  මහතාගේ උපදෙස් මත සිදුකළ බව සාක්ෂිකාරිය  සඳහන් කළාය. evaluation කමිටුවේ ලේඛනයේ අත්සන් හතරක් ඇති බවද සාක්ෂිකාරිය ලේඛන පරිහරණය කරමින් සඳහන් කර සිටියාය .
 
medicine hospital
 
මෙම නඩුවේ දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා එහිදී ම පෙන්වා දුන්නේ evaluation කමිටුවේ සාමාජිකයින් පස් දෙනෙකු සිටින අතර මෙම ලේඛනයට හතර දෙනකු පමණක් අත්සන් තබා ඇති බවය. එවැනි කරුණක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීමක් මෙම සාක්ෂිකාරියගෙන් සිදුකළ හැකිද යන්න පිළිබඳව ගැටළුවක් ඇති බව  ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. 
 
එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වලින් සඳහන් කළේ, මෙම සියලු ලේඛන  සකස් කිරීම සහ යතුරු ලියනය කිරීම සාක්ෂිකාරිය විසින් සිදුකර ඇති කර ඇති අතර එම ලේඛන සම්බන්ධයෙන් සාක්ෂි ලබාදිය හැකි එකම සාක්ෂිකාරිය ඇය පමණක් බවය. 
 
එහිදී සභාපති විනිසුරුවරයා  විත්තියේ නීතිඥවරුන්ට දන්වා සිටියේ සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීමේදී අදාළ කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කළ හැකි බවය. 
 
unicura international ආයතනය විසින් ඉදිරිපත් කළ ලන්සුව සම්බන්ධයෙන් සාක්ෂිකාරිය එහිදී සාක්ෂි ලබාදීමක් සිදු කළාය. 
 
අනතුරුව දිනයට නියමිත සාක්ෂි විමසීම අවසන් කරන ලද අතර මීළඟ නඩු දිනයේදී සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකාරියට විනිසුරු මඩුල්ල නියෝග කළේය.
 
මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලැබෙන 26 වැනි දා සිදුකිරීමට නියම කෙරිණ 
 
keheliya rambukwella remanded
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ ලියවිලි සියළු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න   

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...