BREAKING
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

සාධාරණ නඩු විභාගයක් අවශ්‍යයි - විත්තියේ නීතිඥ අසේල ඖෂධ නඩුවේදී කියයි

T

The Leader

June 10, 2026 • 5:01 AM

සාධාරණ නඩු විභාගයක් අවශ්‍යයි - විත්තියේ නීතිඥ අසේල ඖෂධ නඩුවේදී කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන්ට සාධාරණ නඩු විභාගයක් අවශ්‍ය බව ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ දෙවැනි විත්තිකරු වන වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
  •   නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: මෙම සටහන බලල කියන්න ඔක්තෝම්බර් 20 වන විට හියුමන්ඉමියුනෝග්ලොබියුලින් ඖෂධයේ pending orders ලැබී තිබෙනවාද ?
  •   සාක්ෂිකරු: 2022 /10/ 19 වෙද්දී ඒකක 2023ක් තමයි තිබෙන්නේ.
  • 2023/10/21 වෙද්දී 22223 ක් තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
සැබවින්ම නොකරන ලද ඇනවුමක්, කළ බවට අධිකරණයට ඒත්තු යන අයුරින් හිතේ තියෙන අදහසක් ඉදිරිපත් කරමින් සාක්ෂි මෙහෙයවීමට පැමිණිල්ල උත්සාහ කරන බවට පෙන්වා දෙමින් නීතිඥවරයා මේ බව ප්‍රකාශ කළේය.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලක නිලධාරි ධනේෂ් නන්දන බණ්ඩාර මහතා සාක්ෂි ලබාදෙමින් සිටියදී ඇනවුම් ලේඛනයක් සහ සටහනක් සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් නීතිඥ වරයා මේ බව කියා සිටියේය.
 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලක නිලධාරි ධනේෂ් නන්දන බණ්ඩාර මහතා එහිදී වැඩිදුරටත් සාක්ෂි ලබාදීම සිදු කළේය. 
 
පෙර දින නඩු කටයුතු අවසානයේදී අධිකරණයේ භාරයට කරනු ලැබූ සැපයුම් ඒකකයේ දත්ත ඇතුළත් සී ඩී පටය මුද්‍රා විවර කොට laptop  පරිගණකයක් සහ ප්‍රොජෙක්ටරය ක් උපයෝගී කර ගනිමින් විවෘත අධිකරණය හමුවේ තිරයක් මත ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර ලබාදුන් අතර එම ප්‍රදර්ශිත දත්ත මත සාක්ෂි විමසීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය විසින් සිදු කරන ලදී.  
එහිදී ප්‍රමුඛතා ලැයිස්තු අංක එක යටතේ සකස් කරන ලද ඖෂධ 182 ඇතුළත් ලැයිස්තුව සහ වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත පද්ධතිය ඇසුරෙන් රජයේ රස පරීක්ෂකවරයා විසින් සකස් කර සි ඩී තැටියට ලබා දුන් වගුව තිරයේ ප්‍රදර්ශනය කරමින් එම සාක්ෂි මෙහෙයවීම සිදුකරන ලදී. 
 
ඖෂධ වර්ග කිහිපයක මාසික අවශ්‍යතාවය, 2022 සැප්තැම්බර් මස 22 සහ 24 දිනයන් වන විට පැවති ජාතික මට්ටමේ තොග තත්ත්වයන් , ඔක්තෝම්බර් මාසයේදී පැවති එම ඖෂධයේ තොග තත්ත්වයන් සහ එම තොගයන් ඉදිරි මාස කීයකට ප්‍රමාණවත් වේද සම්බන්ධයෙන් එම දත්ත මත පදනම්ව සාක්ෂිකරුගෙන් කරුණු විමසීම සිදු කරන ලද අතර එකී සංඛ්‍යා දත්ත පරිශීලනය කරමින් සාක්ෂිකරු විසින් සාක්ෂි ලබා දීම සිදු කරන ලදී. 
 
අදාළ ඇනවුම් ලැයිස්තුව සකස් කරන අවස්ථාව වන විටත් ඉදිරි මාස කිහිපයකට අවශ්‍ය වන ඇතැම් ඖෂධ තොග ඇති බව සංඛ්‍යා දත්ත මගින් පෙන්නුම් කරන බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. 
 
එහිදී එක් ඖෂධ කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ සාක්ෂිකරු මාස කිහිපයක්ම එකම ආකාරයේ අගයක ඖෂධයක් පවතින්නේ එම ඖෂධ තොගය කල් ඉකුත් වීම හේතුවෙන් බවද තොගයක් පැමිණි විට එම කල් ඉකුත් වූ තොගයට එය එකතු වීම හේතුවෙන් වැඩි අගයක් පෙන්නුම් කරන බවද  කියා සිටියේය .
 
එක් දිනකට තිබෙන තත්ත්වය අනුව රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් ලැබෙන තොග ලැබෙන්නේ කවදා ද යන්නත් පිළිබඳව විමසා බලා ඒ වන විට ඇති තොගය සමඟ සංසන්දනය කිරීමක් කරන බවද ,ඒ අතරතුර ඇති gap එක සම්බන්ධයෙන් කුමක්ද කරන්නේ යන්න පිළිබඳව අවධානය යොමු කරන බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
"හදිසි ප්‍රසම්පාදන කටයුත්තකට යන්නේ මෙවැනි අවස්ථාවල බව ඔබ  මීට පෙර සදහන් කළාද ? "යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ මාස එකක දෙකක පමණ, gap එකක් ඇත්නම් ආයතන අතර හුවමාරු කිරීම සහ ප්‍රාදේශීය මිලදී ගැනීම් සිදු කරන බවය .එහෙත් එම කාල පරාසය ඊට වැඩි වන අවස්ථාවන්වලදී හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට යොමු වන බව සාක්ෂිකරු කියා සිටියේය.
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:
මෙම සටහන බලල කියන්න ඔක්තෝම්බර් 20 වන විට හියුමන්ඉමියුනෝග්ලොබියුලින් ඖෂධයේ pending orders ලැබී තිබෙනවාද ?
 
සාක්ෂිකරු: 2022 /10/ 19 වෙද්දී ඒකක 2023ක් තමයි තිබෙන්නේ. 2023/10/21 වෙද්දී 22223 ක් තිබෙනවා. අලුත් තොගයක් පැමිණීම නිසා තමයි එසේ වන්නේ. එම ප්‍රමාණය මාස හතකට ප්‍රමාණවත් වෙනවා.
 
මෙම ඇනවුම් ලැයිස්තු ලබාදෙන විටත් මාස 10කට හෝ 11කට සරිලන පරිදි ජාතික තලයේ තොග ඉතිරිව තිබූ අවස්ථා ඇති බවද සාක්ෂි විභාගයේදී අදාල සටහන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සාක්ෂිකරු සඳහන් කළේය.
 
අනතුරුව සාක්ෂිකරු ඇමතූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය "ඔබ ඊයේ සාක්කි ලබාදෙමින් කිව්වා ඇතැම් ලැයිස්තු සකස් කරගන්නා විට gap එක සම්බන්ධයෙන් spc එක සමග සාකච්ඡා කරගත යුතු බව. එහිදී  withhold, කල් ඉකුත් වූ තොග සහ alternative SR ගැන සලකා බැලිය යුතු බවට ඔබ කිව්වා. කරුණාකර අධිකරණයට පැහැදිලි කරන්න alternative තොග යනුවෙන් ඔබ හැඳින්වූයේ කුමක්ද කියලා?" යනුවෙන් විමසීමක් කළාය. 
 
ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු "ස්වාමීනි වට්ටෝරු සමාලෝචන කමිටුවේදී අනුමත අයිතම තිබෙනවා. ඒ අනුව තමයි රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඇනවුම් ලබා දෙන්නේ. ද්‍රව වශයෙන් පවතින ඖෂධයක 5ml සහ 10ml  නිෂ්පාදනය කරන සමාගම් තිබෙනවා. ඇනවුම් කිරීමේදී අපි පිරිවිතර සකස් කරන්නේ  5ml ට නම් සැපයුම්කරු 10ml ලබාදීමට කටයුතු කළ විට 5ml නොමැතිව 10ml මිලදී ගැනීමට සිදුවෙනවා එවිට 10ml ට අදාළ තොගය පිළිබඳව පද්ධතියේ තියෙනවා . ඒ පිළිබඳව spc එක හරහා msd එකට දැනුම් දීමක් කරනවා. 
 
එහිදී "එම විකල්ප ඖෂධය තොග ගැනීමක් සිදු කරනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කළ විමසීමට "එලෙස කටයුතු කරන බව" සාක්ෂිකරු ප්‍රකාශ කළේය. 
 
"එවැනි alternative SR කීයක් පමණ තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ මේ වන විට එවැනි alternative SR  අංක දහයක් පමණ තිබෙන බවය. 
 
"එවැනි අවස්ථාවලදී ඒ සඳහා අනුමැතිය ලබා ගැනීම සිදුකරන්නේ කෙසේදැ?"යි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කර සිටි අතර සාක්ෂිකරු කියා සිටියේ පද්ධතිය හරහා එම අනුමැතිය ලබාගන්නා බවය. තත්ත්ව පාලන අංශයෙන් පද්ධතියට එම අනුමැතිය ලබාදෙන බවත් ,ඒ අනුව තොග පාලකවරයා ගැනුම් ඇනවුම සකස් කරන බවත් එවැනි අවස්ථාවලදී වෛද්‍ය සැපයුම් ඒකකයට සපයන ප්‍රමාණය ප්‍රධාන තොග පාලකට, සහකාර අධ්‍යක්ෂකට, අධ්‍යක්ෂකට pronto පද්ධතිය හරහා ලබාගත හැකි බවත් සාක්ෂිකරු කියා සිටියේය. 
 
මෙහිදී  එවැනි අවස්ථාවක් සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව සාක්ෂිකරු ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් සඳහන් කළේ " ස්වාමීනී. SR අංක 904302 තමයි වට්ටෝරු සමාලෝචන කමිටුවෙන් අනුමත කරලා තියෙන්නේ. ඒ 5ml  සඳහායි .එහෙත්  ලබා දී ඇත්තේ 10ml ට අදාළ 904301 යන ඖෂධය යි. ඒ අනුව තොග පෙන්වන්නේ එම අංකය යටතේ යි. එම තොග ආශ්‍රයෙන් ම ඒ සඳහා ඖෂධය ගැනීම සිදුකරනවා යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය. 
 
එහිදී බින්දු පහකින් පටන් ගන්නා SR අංකයකට අදාළ ඖෂධයක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ සාක්ෂිකරු සඳහන් කළේ "ස්වාමීනි එම ඖෂධය මුල් අවස්ථාවේදී අන්තරායකර ඖෂධ category එකේ තමයි තිබුණේ. ඒ අනුව තමයි එය බිංදු පහකින් පටන් ගන්නේ. පසුව එය වට්ටෝරු සමාලෝචන කමිටුවේදී මාධක ඖෂධ වලට පරිවර්තනය කළා අන්තරාය කර ඖෂධ තොග යම් කාලයක් ලැබුණා. එම තොගය අවසන් වූ පසුව එය පද්ධතියේ තිබුණත් තොග ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට වෙනත් තොගයක් මාධක ඖෂධ යටතේ ලැබී තිබෙනවා" යනුවෙන් සාක්ෂිකරු පැහැදිලි කිරීමක් කළේය .
 
අනතුරුව තිරයේ ප්‍රදර්ශිත දත්ත ආශ්‍රයෙන් සාක්ෂි විමසීම අවසන් කරන ලද අතර අධිකරණය හමුවේ ලකුණු කර ඇති 26 0 ලේඛනය සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කරමින් සාක්ෂි විමසීම සිදු කරන ලදී. 
 
"මෙම නඩුවේ හත්වන චූදිත ගේ උපදෙස් මත ඖෂධ 182ට අදාළ ලැයිස්තුව සකස් කිරීමෙන් පසුව එදින ඔබ තවත් රාජකාරියක් කළා මතකද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරු ගෙන් විමසා සිටි අතර ඔහු සඳහන් කළේ එවැනි මතකයක් ඇති බවය. 
 
"අදාළ ලේඛනයේ summary අයිතම කීයක් තිබෙනවාද ?රාජ්‍ය ඖෂධ සංස්ථාවට යවන ඖෂධ මාසෙකට අඩු ඖෂධ කීයක් තිබෙනවාද? සෛල අංශයේ අඩු අයිතම කීයද? රසායනාගාර අංශයට අඩු අයිතම කීයද, තියෙනවාද යනුවෙන් අධ්‍යක්ෂකවරයා විමසීමක් කළ අතර  ඒ පිළිබඳව තොරතුරු තමන් වෙත ලබාදෙන ලෙස අධ්‍යක්ෂකවරයා විසින් අදාළ අංශ වෙත දැනුම් දී තිබූ බවත්, එම තොරතුරු රැගෙන සාරාංශකරණය කිරීමක් තමන් විසින් සිදුකළ බවත් සාක්ෂිකරු කියා සිටියේය. 
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය :කවුද ඒ අධ්‍යක්ෂවරයා ?
 
සාක්ෂිකරු: එවකට වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ මහතා. 
 
 
මෙම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කැබිනට් සංදේශයක ට අදාල ඉංග්‍රීසි පරිවර්තනය සමග අමුණා ඇති ඇමුණුමක් ලකුණු කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී අටවන විත්තිකාර හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කළේය.  
 
"ස්වාමීනී, මෙම කැබිනට් සංදේශයේ සිංහල පිටපත අධිකරණයට මීට පෙර ඉදිරිපත් කර තිබුණා. ඊට අදාළව ඇමිණුම් කිසිවක් ඉදිරිපත් කළේ නෑ. එසේ තිබියදී ඉංග්‍රීසි පරිවර්තනයට ඇමුණුම් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මා විරෝධය පළ කරනවා. මා දන්නා පරිදි නම් කැබිනට් සංදේශය සිංහල, දෙමළ ,ඉංග්‍රීසි පරිවර්තන තුනම එක තමයි යන්නේ" 
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: 
එම පරිවර්තන තුනම එකට යන්නේ කැබිනට් එකට අධිකරණයට නෙමෙයි. 
 
නීතිඥවරයා. මෙහිදී කැබිනට් සංදේශය සිංහල පිටපත සහ ඉංග්‍රීසි පිටපත වෙන වෙනම ඉදිරිපත් කර සාක්ෂි විමසීම සිදු කරනවා. එකකට පමණක් ඇමිණුම් ලකුණු කරනවා.එය හරිම ගැටලු සහගතයි, මා මෙම අධිකරණයේ පමණයි මෙවැන්නක් දැක්කේ.
 
අනතුරුව සාක්ෂි මෙහෙයවීම නැවත සිදුකළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය" ඉදිරියේ ඇති ලේඛනය සම්බන්ධයෙන් පැහැදිලි කරන්න" යනුවෙන් සාක්ෂිකරුට කියා සිටියාය.
 
ඒ අනුව ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ සාක්ෂිකරු "ස්වාමීනී, මාසෙකට අඩු ඖෂධ සම්බන්ධයෙන් ලැයිස්තුවට ඇතුළත් කරන ලෙස අධ්‍යක්ෂකතුමා කිව්වා .  ඔහු ලබාදුන් ලේඛන අනුව ඒවා summarise කරලා වෙනම ලැයිස්තුවක් මම හැදුවා
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :
මෙම ලේඛනයේ සාරාංශ සටහනක් තිබෙනවාද?
 
සාක්ෂිකරු: තියෙනවා ස්වාමීනි ,
ICL යටතේ  ප්‍රසම්පාදනයක් සිදුකිරීම සඳහා මසකට අඩු තොගය ඇතුළත් කර ඖෂධ ලැයිස්තුවක් සකස් කරන ලෙස අධ්‍යක්ෂවරයා දැනුම් දුන්නා 
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ඔබ වෛද්‍ය චන්දන විජේසිංහ මහතාගේ අත්සන දැක තියෙනවද?
 
සාක්ෂිකරු: ඔව් ඔහු සමග මම මාස 9 ක පමණ කාලයක් වැඩ කර තිබෙනවා .ඔහුගේ අත්සන හඳුනාගත හැකියි. ඔහු වෛද්‍ය සැපයුම් ඒකකයේ  අධ්‍යක්ෂ ධූරයේ වැඩ බැලීමට ආවා. මාස දහයක පමණ කාලයක් සිටියා. අනතුරුව ඔහු ඉවත්ව ගිය පසු වෛද්‍ය සුදර්ශන මහතා එහි වැඩ බැලුවා. කපිල වික්‍රමනායක මහතා ජනවාරි මාසයේදී විදේශ ගතවී දෙසැම්බර් මාසයේදී තමයි නැවත පැමිණියේ.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
කරුණාකර බලන්න වෛද්‍ය සුදර්ශන මෙම අධිකරණයේ කොතැනක ස්ථානයක සිටිනවාද කියලා?
 
සාක්ෂිකරු: මෙම නඩුවේ 11 වැනි චූදිත ලෙස අධිකරණයේ සිටිනවා ස්වාමීනි. 
 
එම ලේඛනය මෙම නඩුවට අදාළ ලේඛනයක් ලෙස ලකුණු කිරීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සූදානම් වූ අවස්ථාවේදී අටවන විත්තිකාර හිටපු සෞඛ්‍ය කැමති කෙහෙළිය රඹුක්වැල්ල  මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්න විජේසුන්දර මහතා එම ලකුණු කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළේය. 
 
අනතුරුව එම ලිපිය ඇතුළත් වෙනත් ගොනුවක් සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එකී ලේඛනය අධිකරණය හමුවේ දැනටමත් ලකුණු කර ඇති ලේඛනයක් බැවින් ඒ මත සාක්ෂිකරුගෙන් කරුණු විමසීම සිදු කළාය. 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
"ඔබ සාක්ෂි ලබා දෙමින් කිව්වා ඇනවුම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන හැම අවස්ථාවකම තොග හිඟය එහෙම නැත්නම් gap එක ගැන අවධානය යොමු කළ යුතු බව.
 
සාක්ෂිකරු: එසේය ස්වාමීනී
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
2022/11/1 දිනැති 71ගොනුවේ ඇති ලිපිය බලන්න එම ලිපිය හඳුනාගන්න ඔබට පුළුවන්ද? 
 
සාක්ෂිකරු: එම ලිපිය තොග පාලන අංශයට සහකාර අධ්‍යක්ෂක හරහා ලැබුණු ලිපියක්. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් MDD තමයි ඒවා තිබෙන්නේ.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය: කාටද එය ආමන්ත්‍රණය කර තිබෙන්නේ?
 
සාක්ෂිකරු:
අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ pharmaceutical
අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ surgical 
අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ Lab 
වෙත එම ලිපිය යොමු කර තිබෙනවා
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එහි වම් පැත්තේ ඇති අකුරු කාගේද?
 
සාක්ෂිකරු: සහකාර අධ්‍යක්ෂ සොලමන් මහත්මියගේ.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :මෙහි තිබෙන අමාත්‍ය මණ්ඩල සංදේශය ගැන ඔබට පුද්ගලික දැනීමක් තිබෙනවාද?
 
සාක්ෂිකරු: නෑ ස්වාමීනි .
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 
 එහි වෛද්‍ය සැපයුම් අංශයට ලබා දී ඇති උපදේශය කුමක්ද?
 
සාක්ෂිකරු
රාජ්‍ය ඖෂධ  නීතිගත සංස්ථාවට v යන කේතය යටතේ ඇනවුම් ලබා දුන්නා ට සමාන්තරව මස තුනකට අදාළ ප්‍රමාණ ඇනවුම් කරන්න කියලා තමයි එහි තියෙන්නේ.
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය: ඔබට වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 184ට අදාළව අභිලාෂ කැඳවීමේ ප්‍රසම්පාදනයක් කළ බවට දැනුම් දීමක් කර තිබුණාද?
 
සාක්ෂිකරු :නෑ ස්වාමීනි.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: යම් අමාත්‍ය මණ්ඩල සංදේශයක් හා තීරණයක් ගැන සටහනක් තිබෙනවා. ඒවා ගැන ඔබට දැනුමක් තියෙනවාද?
 
සාක්ෂිකරු: නැහැ ස්වාමීනී
 
medicine 20260131
 
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධය සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කළ අවස්ථාවේදී 7 වන චූදිත විසින් ඖෂධ වල අතේ ඇති තොග සහ ලැබීමට ඇති තොග ප්‍රමාණ නොසලකා කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී ඇතැයි සාක්‍ෂිකරු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය 
 
අනතුරුව දිවා විවේකයෙන් අනතුරුව මෙම නඩු විභාගය නැවත ආරම්භ කළ අවස්ථාවේදී  රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ පෙර දින දැනුම් දුන් පරිදි විදේශීය සාක්ෂිකරුවන්ගෙන් සමකාලීනව සාක්‍ෂි කැඳවීම සඳහා කැඳවීමේ නිවේදනය සහ කොමිෂන් පත්‍ර අධිකරණයට බාර දෙන බවය.
 
ඊට අදාළ දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කරන බවද මෙම නඩුවේ 47 වන සාක්ෂිකරු ලෙස ජර්මනියේ ඖෂධ විශ්ලේෂණ ආයතනයේ වෛද්‍ය ක්‍රිස්ටර්න් ලැන්ග්ෆමාන් සහ 239 වන සාක්ෂිකරු ලෙස ඉන්දියාවේ මහාරාශ්ඨ ප්‍රාන්තයේ "ලයිව් එල්ත් බයෝපාමා ප්‍රයිවට් ලිමිටඩ්" හී ජාත්‍යන්තර සබඳතා කළමනාකරු වන ගෝපාල් සිං යන සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් එලෙස සාක්ෂි  කැඳවීමට අපේක්ෂා කරන බවද ඔවුන්ට එම රටවල සිට සාක්ෂි ලබාදීම සඳහා අදාල කොමිෂන් පත්‍ර, සහ ලේඛන ඉදිරිපත් කරන බවද රජයේ නීතිඥවරයා සඳහන් කළේය. 
 
අදාළ වීඩියෝ සාක්ෂි ලබාගැනීම සඳහා වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාශයෙන් පහසුකම් ලබාගත හැකි බවට රජයේ නීතිඥවරයා දැනුම් දුන් අතර එම හැකියාව පිළිබඳව අධිකරණයට දැනුම් දෙන ලෙස ඔහුට නියම කරන ලදී. 
 
අදාළ විදේශීය සාක්ෂිකරුවන් දෙදෙනා මේ වන විට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දිවුරුම් ප්‍රකාශ ගොනුකර ඒවා අධිකරණයට ලැබී ඇති අතර එම දිව්රුම් ප්‍රකාශ නඩු වාර්තාවට ගොනුකර ඇති බව එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේය. 
 
මෙම සාක්ෂි විමසීම සිදුකිරීම සඳහා අධිකරණයේ කොමසාරිස්වරුන් විසින් පත් කළ යුතු අතර පැමිණිල්ලේ සාක්ෂි අංක 47 සඳහා ජර්මනීය බර්ලීන් හි පිහිටි තානාපති කාර්යාලයේ අනුයුක්ත නිලධාරි රිසානා ෆවුරුක් ජර්මන් තානාපති කාර්යාලයේ කොමසාරිස් ලෙස පත්කර ඇති අතර ඉන්දියාවේ කොමසාරිස් ලෙස ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අනුයුක්ත නිලධාරී ආදිත්‍ය ප්‍රසාද උයන්ගොඩ පත් කර ඇති  බවද එහිදී සදහන් කෙරුණ. ඒ සම්බන්ධයෙන් වන ලේඛන ඔවුන් වෙත ඊමේල් මගින් යැවීමට කටයුතු කරන ලෙසද ඒවා ලැබුණු බව තහවුරු කරගන්නා ලෙසද ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන ලෙස ද පැමිණිල්ලට නියම කරන ලදී.
 
එසේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව පරිවර්තකයකු පත් කළ යුතුව ඇති බැවින් ජර්මන් සහ හින්දි භාෂා පරිවර්තකයන් පත් කළ යුතු බවද, එම පරිවර්තකයන් පිළිබඳව අධිකරණයට දැනුම් දෙන ලෙස මහාධිකරණ රෙජිස්ටාර්ට නියෝග කරන ලදී.
 
අනතුරුව මෙම නඩුවට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් සිදු කරන ලදී.
 
"අධිකරණය හමුවේ ලකුණු කර ඇති 272 දරණ ලේඛනය අනුව 2023 ජනවාරි 01 වනදා වන විට හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධයේ ජාතික තොගය කොපමණද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී ප්‍රශ්නයක් යොමු කළ අතර එය 14543 ක් ලෙස සඳහන්ව ඇති බව ඉතිරි මාස දෙකක් සඳහා එම තොගය ප්‍රමාණවත් වන බවත් සාක්ෂිකරු කියා සිටියේය. 
 
එහි ලැබීමට ඇති ඇනවුම් හතරක් පිළිබඳව සටහනක් ඇති අතර v අකුරෙන් ඇනවුම් කරන ලද ඇනවුම පිළිබඳව විස්තරයක් එහි සඳහන් නොවන බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
"ඊට යටින් පස්වන චූදිත වන සුජිත් කුමාර විසින් සටහන් කර ඇත්තේ කුමක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකරු කියා සිටියේ අදාළ ඇනවුම සකස් කිරීම සඳහා උපදෙස් ඉල්ලා ඇති බවය. 
 
ඊට යටින් ඇති මිනිට් සටහන සහකාර අධ්‍යක්ෂ සොලමන් මහත්මියගේ වන අතර ඇය "director MSD" " Reference above 2022/SPC/v/R/p/00443/22500 3 month stock "
ලෙස එහි සඳහන් කර තිබෙනවා. 
 
ඊට යටින් "Award price 130 US dollars " කියලා එහි සඳහනක් තිබෙනවා යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
 
පවතින තොග මිල spc ඇනවුම් වල තත්වයන් සලකා බලා order එක place කරන්න කියලා ඇය සඳහන් කර තියෙනවා. 
 
එම සටහනට යටින් approved  සහ proceed  යනුවෙන් සටහන් කර ඇති අතර එම අත් අකුරු එවකට සිටි අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායකගේ  බවද ඔහුගේ අකුරු මාස හතරක පමණ කාලයක සිට තමන් දන්නා බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
"ඔබ මීට පෙර ලබා දුන් සාක්ෂිය අනුව සැප්තැම්බර් 24 සහ ඊට ප්‍රථම spc එකට ඇනවුම් යවා තිබෙනවා. ඒ බව අදාළ මිනිට් සටහනේ සඳහන්ව තිබෙනවා නේද? එහි ඇති අත්අකුරු සහ සටහන් තුන්වන විත්තිකාරිය ගේ බවට ඔබ හඳුනා ගත්තා." යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි සටහනක් ඇති බවය.
 
සැප්තැම්බර් මාසයේ ඒකක 22500 ඇනවුම් කර තිබියදී ද ජනවාරි මාසයේ ඒකක විසි දෙදාස් පන්සීයකට ඇනවුම් කරනවා. මාසික අවශ්‍යතාවය 7500ක් ලෙස තමයි තියෙන්නේ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී  සඳහන් කර සිටියාය. 
 
එම අවස්ථාවේදී දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා "ස්වාමීනි මෙම ප්‍රශ්න කිරීමේදී පැ291 ලේඛණය සමඟ පැ 308 දරණ මිනිට් එක සම්බන්ධ කර ප්‍රශ්න කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. පෑ ඉහලින්ම ඇති ඕඩර් ලිස්ට් එක පැ 72 ට අදාළ වන අතර එය මිලදී ගැනීමට purchase order එකක් නිකුත්වී නෑ. එම order ය ලබා දුන් සැපයුම්කරුවෙකු ද  නෑ, මිලදී ගැනීමක් සිදුවී නෑ.එය රජය හොඳින්ම දන්නා කරුණක්. එසේ තිබියදී මෙම ලේඛන දෙක සම්බන්ධ කර  2022 සැප්තැම්බර් ඒකක  22500 ක් ඕඩර් කර ඇති බවත් පසුව ජනවාරි මාසයේ තවත් 22500ක් ඕඩර් කර ඇති බවත් පෙන්වන්නට උත්සාහ කරනවා. එය වැරදියි. මෙය ඉතාම අගතිදායක යි.
 
court justice law trial male 600nw 2550723681
මෙය එක ඇනවුමක් බව ඇස් පනාපිට ම පේනවා පර්චස් ඕඩර් දෙකක් නෑ. එසේ තිබියදී පැමිණිල්ල හිතේ තියෙන අදහසක් අධිකරණයට ඒත්තු ගන්වන්නට හදනවා. මෙය මෙම නඩුවේ හරයට ම බලපාන දෙයක්   22500ක් එන්න තිබියදී තවත් 22500ක් ඇනවුම් කළ බව පැවසීම වැරදියි. එන්න නියමිතව තිබුනේ ජනවාරි මාසය තුළ කළ  ඇනවුම පමණයි සැප්තැම්බර් මාසයේ   මිලදී ගැනීමේ  ක්‍රියාවලියක් සිදුවුණේ නෑ . ප්‍රසම්පාදනය අනුව යම් සමාගමක් තෝරාගෙන තිබුනෙත් නෑ. එසේ තිබියදී කරුණු  වැරදි ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම වැරදියි. මෙය හරස් ප්‍රශ්න වැරදි ප්‍රශ්න කළ හැකි බව ඇත්ත මුත් සාධාරණ නඩු විභාගයක් අවශ්‍යයි මෙය සාධාරණ නඩු විභාගයට ප්‍රශ්නයක් "යනුවෙන් සඳහන් කළේය.  
ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ "ස්වාමීනී මා ඉදිරියේ ඇති ලේඛන මත සාක්ෂි විමසීම තමයි සිදුකරන්නේ. 308 ලේඛනයේදී  තුන්වෙනි චූදිත 22500ක් ලෙස සටහනක් තබා තිබෙනවා. මට සටහන්වලට අර්ථකථන දෙන්න බෑ. විත්තිය මතු කරන්නේ සිද්ධිමය කරුණක්. නීතිමය කරුණක් ගැන නෙමෙයි. මෙය වෙනත් සාක්ෂිකරුවන් මගින් තහවුරු කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා" යනුවෙනි.
 
ඒ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශ කළ විනිසුරු මඩුල්ල සඳහන් කළේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය විසින් ඉදිරිපත් කරන සාක්ෂිය හරස් ප්‍රශ්න විමසීම වලදී අභියෝගයට ලක් කිරීමට අවස්ථාව ඇති බවය. එසේම මෙම සාක්ෂි ඉදිරියේදී වෙනත් සාක්ෂිකරුවන්  මගින්  තහවුරු කිරීමට අපේක්ෂා කරන බව පැමිණිල්ල විසින් ප්‍රකාශ කෙරෙන බැවින් එම කරුණ මත ඉහත සාක්ෂි විමසීමට අවසර දෙන බව අදාළ නියෝගය ප්‍රකාශ කරමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ  මහතා සඳහන් කළේය. 
 
අනතුරුව නැවත සාක්ෂි මෙහෙයවීම ආරම්භ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දෙවැනි මිනිට් සටහන සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර  "2023 5.26 දරණ සටහන  දමා ඇත්තේ කවුරුන් විසින්ද?" යනුවෙන් ප්‍රශ්න කර සිටියාය.
 
ඖෂධවේදි සුජිත් කුමාර විසින් තබා ඇති සටහනක් බව සඳහන් කළ සාක්ෂිකරු එය ගැනුම් ඇනවුමක් බවද එහි මුල් පිටුව පමණක් මෙම අධිකරණයේ මෙම ලේඛනය මගින් ඉදිරිපත් කර ඇති බවද කියා සිටියේය. 
 
ගැනුම් ඇනවුමක මුල් පිටපත සැපයුම්කරුට ලබාදෙන අතර අදාළ ඖෂධ සැපයුම් ඒකකයට ගන්නා විට අදාළ ලේඛන වල ඡායා පිටපත් සැපයුම්කරු විසින් ලබාදීමක් සිදුකරන බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
අයිතමයක් බාර ගැනීමේ දී යම් ගැටලුවක් ඇතිවුවහොත් එය මිනිට් සටහනේ තැබිය හැකි හැකි අතර  ලබා දෙන ආකෘති පත්‍රයේ ද සඳහන් කළ හැකි බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
අධිකරණය හමුවේ ඇති 106 ගොනුවේ දහය සිට දොළහක් වනතෙක් ඇති පිටු සාක්ෂිකරුගේ අවධානයට  යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය "එය රාජකාරී වලදී භාවිතා කරන ගැනුම්  ඇනවුමක්ද " යනුවෙන් ප්‍රශ්න කර සිටියාය. 
 
 "එය ගැනුම් ඇනවුමක් බවත් අදාළ සැපයීම් 2023 එකයි 25 වැනිදාට පෙර ලබාදිය යුතු බවට එහි සටහන්ව ඇති බවත් ඒකක  22500ක් ලබා දිය යුතු බව එහි සඳහන් වන බවත්" 
සාක්ෂිකරු කියා සිටියේය.
 
ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විමසීම අවසන් කරන ලද අතර වැඩිදුරට සාක්ෂි ලබාදීම සඳහා ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කරන ලදී.
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න    

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...