පැමිණිල්ල විසින් ප්‍රශ්න නොකළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී ධනේෂ් නන්දන බණ්ඩාර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කියා සිටියේය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය ට අදාළ නඩුවේ සාක්ෂි ලබාදෙමින් සිටියදී විත්තිය වෙනුවෙන් යොමු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලක නිලධාරි ධනේෂ් නන්දන බණ්ඩාර මහතා ගෙන් මූලික ප්‍රශ්න විමසීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය විසින් සිදු කරන ලදී

"වෛද්‍ය සැපයුම් ඒකකයට තොගයක් ලැබුණු විට එම තොගය බාර ගැනීමේ කටයුතු වලට ප්‍රධාන තොග පාලක නිලධාරීවරයා සම්බන්ධ වෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු එවැනි සම්බන්ධ වීමක් ප්‍රධාන තොග පාලක නිලධාරීවරයා විසින් සිදු නොකරන බව කියා සිටියේය.
භාණ්ඩ ලබා ගැනීමේ ක්‍රියාවලියේදී තොග පාලන නිලධාරියා විසින් අදාළ ලිපිගොනුව සහකාර අධ්‍යක්‍ෂක ට යොමු කරන අතර ගැටලුවක් තිබුණහොත් සහකාර අධ්‍යක්ෂක විසින් අධ්‍යක්ෂවරයා වෙත යොමු කිරීමක් සිදුකරන බව සඳහන් කළ සාක්ෂිකරු එවැනි ගැටළුවක් නොමැති අවස්ථාවක සහකාර අධ්‍යක්ෂක විසින් ඉදිරි කටයුතු කිරීම සඳහා අනෙකුත් අංශ වෙත එය යොමු කිරීමක් සිදුකරන බව සඳහන් කළේය.
ප්‍රධාන තොග පාලක නිලධාරීවරයාට රාජකාරිමය වගකීමක් පවරා නොමැති බැවින් තොග භාර ගැනීමට සම්බන්ධ නොවන බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
"Pending orders සම්බන්ධයෙන් ඇති තත්ත්වය අදාල අයිතමයක ට අදාළව තොග පාලක නිලධාරීවරයාට බලපාන්නේ කොහොමද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර දත්ත පද්ධතියේ pending orders සහ තිබෙන තොග පිළිබඳව සටහන් ඇති බවද ඒ ඇසුරෙන් තොග පිළිබඳව ප්‍රධාන තොග පාලකවරයා ට දැන ගැනීමේ හැකියාව ඇති බවද සාක්ෂිකරු සඳහන් කළේය .දැනට තිබෙන ලැබිය යුතු සහ ලැබීමට නියමිත තොග සම්බන්ධයෙන් එහි වෙන් වෙන්ව දක්වා ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය .
"තොගයක් අක්‍රියද සක්‍රියද යනුවෙන් දැන ගන්නේ කොහොමද ?" යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ පද්ධතිය මගින් spc සහ msd සදහා ලැබෙමින් පවතින තොග සම්බන්ධයෙන් වන ලිපි සහ එම ලිපි නොමැති නම් දුරකථනයෙන් විමසා තොරතුරු දැනගැනීමේ හැකියාව ඇති බවය. තහවුරුවක් නොමැති ඇනවුමක් සක්‍රීය ඇනවූමක් ලෙස සැලකිය හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය .
"Pronto දත්ත පද්ධතියට ඇනවුමක් ඇතුළත් කළ පසුව එම ඇනවුම ඉවත් කිරීමේ හැකියාව තිබෙනවාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කළ විමසීමට පිළිතුරු දෙමින් "එලෙස වෙනස් කිරීමේ හැකියාවක් නෑ .මුල සිටම දාන ඇනවුම් පිළිබඳව තොරතුරු එහි තිබෙනවා. ඖෂධ සංස්ථාවෙන් තහවුරු කරන ඇනවුම් ඉදිරියට යවනවා වාර්ෂිකව ඇනවුම් කරන ප්‍රමාණය එකින් එක පවතින ඇනවුම් වලට එකතු වෙනවා ."යනුවෙන් සඳහන් කළ සාක්ෂිකරු සක්‍රීය ඇනවුමක් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් සහ ණයවර ලිපිය යනාදිය මගින් තහවුරු කරගත හැකි බව ත් කියා සිටියේය.
"සටහන් සැකසීමේදී සක්‍රීය ඇනවුම් පිළිබඳ තොරතුරු අවශ්‍යද "යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරු ගෙන් විමසා සිටි අතර ඔහු සඳහන් කළේ එවැනි තහවුරුවක් අවශ්‍ය බවත් ඒ එය රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් ලබා ගැනීමට තොග පාලකට හැකියාව ඇති බවත්ය.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය:
"මීට පෙර ඔබ සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා හත්වෙනි චූදිතගේ උපදෙස් අනුව v ඕඩර්ස් නිකුත් කළ බව. ඖෂධයක ගැප් එක පිරවීමට හදිසි ප්‍රසම්පාදන කරන බව ඔබ කිව්වා. පැ. 310 ලෙස නම්කර ඇති ගැනුම් ඇනවුම නිකුත් කර ඇත්තේ 2023/01/13 වෙනිදා .2023 ජනවාරි 23 වන විට අයිතම 22500ක් ලබා දිය යුතු බවට සඳහන් වන බව ඔබ කිව්වා. ඒ අනුව අදාළ ඇනවුම සම්පූර්ණ විය යුත්තේ ජනවාරි 23. මෙම ඇනවුම සම්බන්ධයෙන් 5වෙනි චූදිත සටහන දමා තිබෙන්නේ කවදාද ?"
සාක්ෂිකරු: 2023 /05/ 26 වන දින.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය:
ඊට යටින් තව සටහනක් තිබෙනවා ඒ සටහන කාගෙද ?
සාක්ෂිකරු: සහකාර අධ්‍යක්ෂක සොලමන් මහත්මියගේ
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය:
"ඉහත සදහන ගැන, ප්‍රමුඛතා අයිතමයක්, මාසයකට ප්‍රමාණවත් තොග තිබෙනවා, දඩයකට යටත්ව භාරගන්න" කියලා, ඇය එහි සටහන් කර තිබෙනවා. එම සටහන කාටද යොමු කර ඇත්තේ?
සාක්ෂිකරු: අධ්‍යක්ෂවරයාට.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: අධ්‍යක්ෂකගේ සටහනක් තියෙනවාද?
සාක්‍ෂිකරු: සටහනක් තිබෙනවා. approved කියා. එම සටහන යොදා ඇත්තේ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතායි. ඔහුගේ අකුරු සහ අත්සන මා දන්නවා. මුද්‍රාව අධ්‍යක්ෂ කාර්යාලය නිල මුද්‍රාවක්. එම සටහන මට හඳුනාගත හැකියි. "මෙම ඇනවුම් ලැයිස්තුව ඉදිරිපත් කරන ලෙස කියා තිබුණේ v orders වලට parallel ව. නොවැම්බර් මාසයේ ඇනවුමකට සමාන්තරව තමයි v orders යටතේ ඇනවුම්ලබා දෙන්න තිබුණේ. SPC v orders ලැබෙන්නේ නැති බව තහවුරු කර තිබුණා. නොවැම්බර් 1 සිට 14 දක්වා ලිපි තුනකින් ඒ බව දන්වලා තිබුනා "
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එහෙම සටහනක් තියෙන්නේ කොහේද?
සාක්ෂිකරු :ස්වාමීනී එවැනි සටහනක් නෑ. ඒ අනුව කටයුතු කරන්න කියලා තමයි කිව්වේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: කවුද කිව්වේ?
සාක්ෂිකරු:
අධ්‍යක්ෂ ජෙනරාල් ඇවිත් සහකාර අධ්‍යක්ෂකවරියට සහ අපට උපදෙස් දුන්නා .
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
කොහොමද උපදෙස් දුන්නේ?
සාක්ෂිකරු
වාචිකව එම උපදෙස් ලබා දුන්නා
මෙහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය "SPC categoryය යටතේ අයිතම කීයක් තිබෙනවාද?" යනුවෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ අයිතම 182කි ඊට අයත් බවය. Msd category යට අයිතම 132 ක් ඇතුළත් කර ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය. spc v category යේ ඇතුළත් ඖෂධ සියල්ලම Msd v categoryයට ඇතුළත් නොකළ බව සාක්ෂිකරු කියා සිටියේය. ඊට ඇතුළත් කළ යුතු ඖෂධ පිළිබඳව ඖෂධ අයිතම මොනවාද යන්න පිළිබඳව උපදෙස් ලැබුණ බවත් එම ඖෂධ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්තුමා හරහා දැනුම් දීමක් කර තිබූ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
"spc v orders වලට parallel msd v orders ඇතුලත් කරන ලෙස උපදෙස් ලැබුණා ඒ අනුව තමයි සියලු ඇනවුම් කළේ" යනුවෙන් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය:
ඔබේ පිළිතුර පැහැදිලි නෑ. පැහැදිලිව කියන්න ඔබ මෙම ලිපිය අනුවද කටයුතු කළේ.? වෙනත් උපදෙසක් අනුවද?
සාක්ෂිකරු :මෙම ලිපිය අනුව කටයුතු කළේ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ලිපියේ කොහෙද තියෙන්නේ spc v orders වලට parallel msd v orders දාන්න කටයුතු කරන්න කියලා?
සාක්ෂිකරු:
එහෙම දෙයක් සඳහන් වෙන්නේ නෑ ස්වාමීනී. මෙම ලිපිය පැහැදිලි කිරීමේදී මට පැටලුනා. ඒ ඒ පැටලිලි සහගත තත්ත්වය මත තමයි මම කරුණු ප්‍රකාශ කළේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය: පැටලුණේ කොහේද?
සාක්ෂිකරු: V Oders සහ ඊට පරිබාහිරව කියූ එක ගැන තමයි පැටලු උනේ. ප්‍රශ්න අහනකොට ලේඛනත් සමග පැටලීම සිදුවුණා. මට තවම අපැහැදිලියි
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: තමුන් තොග ප්‍රධාන තොග පාලන නිලධාරී නේද කොහොමද පැටලුණේ?
සාක්ෂිකරු :ස්වාමීනි ඉදිරිපත් කළ ප්‍රශ්න හා ලිපි අනුව එම පැටලීම සිදුවුණා.
එම සංවාදයෙන් අනතුරුව සාක්ෂිකරුගේ අවධානය පෑ 134 ලේඛනයට යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ක් එම ලේඛනය කුමක්දැයි සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේදී එය wor සහතිකයක් බව සඳහන් කළේය.
wor සහතිකයේ පහළ කොටසේ එහි වලංගු කාලය සඳහන් වන බවද සාක්ෂිකරු කියා සිටියේය
මසකට අඩු තොග තිබූ ඖෂධ ඇතුළත් කොට ප්‍රමුඛතා ලැයිස්තු සකස් කළ බවද එහි අයිතම 188ක් ඇතුළත් වූ බවද සඳහන් කළ සාක්ෂිකරු සැප්තැම්බර් 24 - 26 අතර කාලයේදී ප්‍රමුඛතා ලැයිස්තු එක සහ දෙක සැලකිල්ලට ගෙන එහි මසකට අඩු තොග ඇතුළත් ඖෂධ ඇතුළත් කර ලේඛනයක් සකස් කළ බවද එහි ඖෂධ වර්ග 182 ක් ඇතුළත් වූ බවද කියා සිටියේය.
වෛද්‍ය සැපයුම් ඒකකය අයිතම 397ක් සටහන් කර තිබූ අතර අත්‍යවශ්‍ය සහ ජීවිත ආරක්ෂක අයිතම ඊට අයත්ව තිබූ බවද මෙම නඩුවට පාදක වී ඇති ඖෂධ දෙක ද ඊට ඇතුළත් බවද සාක්ෂිකරු කියා සිටියේය.
අදාල ඖෂධ අදාල ලේඛන වල ඇතුළත්ව යන්න පිළිබඳව පරීක්ෂා කර බැලීම සඳහා s r අංකය ප්‍රමාණවත් වන බවද සඳහන් කළ සාක්ෂිකරු ලැයිස්තු දෙකේ ඇති ඖෂධ වෙන් වෙන්ව හඳුනාගත හැකි බවද කියා සිටියේය.

මේ ලේඛන සහ වාර්තා ජනාධිපති කාර්යාලයට සෞඛ්‍ය අමාත්‍යංශයට සහ මුදල් අමාත්‍යංශ ඉහළ නිලධාරීන්ට සතිපතා දුරකථනයෙන් ඉදිරිපත් කිරීමක් කිරීමට උපදෙස් ලැබුණු අතර ඒ අනුව තමන් කටයුතු කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
අදාල ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ තිබෙනවාද යන්න ගැන අවබෝධයක් නොමැති අතර එය පරීක්ෂා කිරීමකින් තොරව මෙම ලැයිස්තු සකස් කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
ඒ සමගම සාක්ෂිකරුගෙන් මූලික සාක්ෂි විමසීම අවසන් කළ බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයට දැනුම් දුන් අතර ඉන් අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කරන ලදී.
එහිදී පස්වන විත්තිකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු තොග පාලන නිලධාරී සුජිත් වසන්ත කුමාර වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක සේරසිංහ මහතා සාක්ෂි කරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
"වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග පාලන නිලධාරීවරයා ලෙස කටයුතු කිරීමට පෙර ඔබ වෙනත් කොහේ හෝ ඖෂධ වේදියෙකු ලෙස කටයුතු කර තිබෙනවාද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී තමන් වෙනත් තැනක සේවය නොකළ බව සාක්ෂිකරු කියා සිටියේය.
තොග පාලන නිලධාරීන් වෙනත් ආයතන වල ඖෂධ වේදීන් ලෙස කටයුතු කර ඇති බව සාක්ෂිකරු එහිදී කියා සිටියේය.
"තොග පාලන නිලධාරියෙකුට රාජකාරී ලැයිස්තුවක් තිබෙනවාද?" යන්න නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි සාක්ෂි එවැනි රාජකාරී ලැයිස්තුවක් ඇති බවත් එම රාජකාරිය ලැයිස්තුවට අනුකූලව තොග පාලන කටයුතු සිදුකරන බවත් සඳහන් කළේය.
තොග පාලන නිලධාරීන්ට රාජකාරී ලැයිස්තුවක් ඇති අතර සැපයුම් සහ බෙදාහැරීම් යනුවෙන් තොග පාලන අංශ දෙකක් ඇති අතර සාමාන්‍ය රාජකාරියේදී රාජකාරී ලැයිස්තු දෙකක් ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය.
නීතිඥවරයා :පස්වන විත්තිකරු සැපයුම් තොග පාලක නිලධාරියෙක් නේද?
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි .
නීතිඥවරයා :ඔබ ප්‍රධාන තොග පාලක නිලධාරීවරයා ඔබ යටතේ තවත් නිලධාරීන් කීදෙනෙක් සිටිනවාද?
සාක්ෂිකරු: දහතුනක් සිටිනවා
නීතිඥවරයා :ඔවුන්ට ප්‍රසම්පාදන රාජකාරියේදී විෂය වෙනවාද?
සාක්ෂිකරු: යම් කොටසකට අදාළව දායක වෙනවා ස්වාමීනි.
spc එක මගින් ප්‍රසම්පාදන කටයුතු කරන අතර තොග ලබාගෙන බෙදා හැරීමක් වෛද්‍ය සැපයීම ඒකකයෙන් සිදුකරන බව සාක්ෂිකරු කියා සිටියේය .එහිදී ඇනවුම් ලැයිස්තුව වෛද්‍ය සැපයුම් ඒකකයෙන් සකස් කර දෙන අතර ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වීමක් සිදු නොවන බවද සාක්ෂිකරු කියා සිටියේය.
තොග පාලක නිලධාරියා තාක්ෂණ නිලධාරිවරයෙක් වන අතර භාණ්ඩ බාර ගැනීමේදී ඇතිවන ගැටලු සහගත තත්ත්වයන් සම්බන්ධයෙන් තොග පාලන නිලධාරීවරයාට තනිවම තීරණ ගත නොහැකි අතර ඒ පිළිබඳව සහකාර අධ්‍යක්ෂකට සහ ඒ හරහා අධ්‍යක්ෂකවරයාට යොමු කිරීමේ හැකියාව ඇති බව සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
wor සහතිකය ගැන තමන්ට විශේෂ දැනුමක් නොමැති අතර 2023/11/ 23 නිකුත් කරන ලද චක්‍රලේඛයක් අනුව අයිතම බාරගන්නා අවස්ථාවේදී wor සම්බන්ධයෙන් සැලකිල්ල යුතු යි යොමු කළ යුතු බව එහි සඳහන් වන බවද සාක්ෂිකරු කියා සිටියේය. ඊට පෙර wor සම්බන්ධයෙන් සලකා බැලීමට තොග පාලන නිලධාරීවරයාට වගකීමක් නොතිබූ බවද සාක්ෂිකරු කියා සිටියේය.
භාණ්ඩ තොග භාර ගැනීමේ දී ඉදිරිපත් කරන ලේඛන වල නිරවද්‍යතාවය පරීක්ෂා නොකරන අතර එම ලේඛනය මත විශ්වාසයේ තබා භාණ්ඩ බාරගෙන ගැනීම සිදුකරන බවද සාක්ෂිකරු කියා සිටියේය.
ඒත් මෙම නඩුවට පාදක වූ සිද්ධිය හේතුවෙන් wor පරීක්ෂා කිරීම සඳහා අවබෝධයක් ලබාදීමට පාලනාධිකාරිය විසින් තොග පාලක නිලධාරීන් සඳහා වැඩමුළුවක් 2023/10/19 දින පැවැත්වූ බව සාක්ෂිකරු කියා සිටියේ ය. ඊට තමන් සහ පස්වන විත්තිකරු සහභාගී වූ අතර ඊට සහභාගී වූ බවට අත්සන් තබා ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය.
WOR මගින් මන්ත්‍රණය කර ඇත්තේ ආනයන අපනයන පාලකවරයා බවද ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් අනතුරුව අදාළ භාණ්ඩ නිෂ්කාශනය කර ගැනීම සඳහා එම සහතිකය අවශ්‍ය බවද සාක්ෂිකරු සඳහන් කළේය.

msd v category ය සහ spc v category ය සම්බන්ධයෙන් පැමිණිල්ලම විසින් ප්‍රශ්න කළ බව සාක්ෂිකරුට සිහිපත් කළ නීතිඥවරයා msd v category යනු කුමක්දැයි සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න කර සිටියේය.
වෛද්‍ය සැපයුම් අංශය මගින් v අක්ෂරය යටතේ ඇනවුම් ප්‍රමාණයක් නිකුත් කරන්න කියලා අයිතම ප්‍රමාණයක් ලැබුණු බවත් ඒ අනුව නිකුත් කළ ඇනවුම msd v ඇනවුම ලෙස හඳුන්වන බවත් සාක්ෂිකරු කියා සිටියේය.
"මෙලෙස v orders ලබා ගැනීමට රටේ විශේෂ තත්ත්වයක් ඇති වුණාද? යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එම අවස්ථාවේදී රටේ ඇති වූ ආර්ථික ගැටලුකාරී තත්ත්වය මත ඉන්දියානු ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වූ බවත් එම ණය යෝජනා ක්‍රමය යටතේ v category එක ලැබුණු බවත් ඒ යටතේ ලැබුණු උපදෙස් අනුව ඇනවුමට ඖෂධ 182ක් භාවිතා කළ බවත් සාක්ෂිකරු කියා සිටියේය. ඊට පෙර x අක්ෂරය යටතේ ඇනවුම් ක්‍රියාත්මක වූ බව සඳහන් කළ සාක්ෂිකරු මෙම විශේෂ ක්‍රමය යටතේ v අක්‍ෂරය යොදා තිබූ බව කියා සිටියේය
"මෙම ක්‍රමය යටතේ ප්‍රසම්පාදන අස්ථිතිය ලෙස කටයුතු කළේ කවුද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අතර සාක්ෂිකරු කියා සිටියේ රාජ්‍ය අමාත්‍යංශයේ යටතේ එම ප්‍රසම්පාදනය සිදුවන බවට තමන් දැනුවත්ව සිටි බවය.
නීතිඥවරයා:
"පසුකාලීනව රාජ්‍ය අමාත්‍යාංශය අහෝසි වුණා නේද ඊට පසුව ප්‍රසම්පාදන කටයුතු කවුද කළේ?"
සාක්ෂිකරු: ඒ පිළිබඳව අවබෝධයක් නෑ ස්වාමීනි. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන බවට තමයි වැටහීම
නීතිඥවරයා ඔබ ප්‍රධාන තොග පාලකවරයා නේද ? ඔබ දන්නේ අමාත්‍යාංශයෙන් භාණ්ඩ ලැබෙන බවද ? ඔබේ දැනුම මමද තොග පාලනය නිලධාරීන්ටත් තිබෙන්නේ?
සාක්ෂිකරු :
එහෙමයි ස්වාමීනී
භාණ්ඩ ලබා ගැනීමේදී සැපයුම්කරු කවුද, මිල තීරණය කිරීම, ප්‍රමාණය තීරණය කිරීම ,යනාදිය තොග පාලක වරයාට කළ නොහැකි බව සඳහන් කළ සාක්ෂිකරු ඒ සඳහා වෙනම ප්‍රසම්පාදන අංශයක් ඇති බව සඳහන් කළේය. එම ප්‍රසම්පාදන කටයුතුවලට තොග පාලක නිලධාරීවරයා සම්බන්ධ නොවන බවද සාක්ෂිකරු කියා සිටියේය. ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව ඇනවුම ලබාදීම පමණක් තොග පාලක නිලධාරීවරයා විසින් සිදු කරන බව සාක්ෂිකරු තවදුරටත් පැහැදිලි කළේය. Oder list එකක් සකස් කිරීමට තොග පාලන නිලධාරීවරයාට හැකි නමුත් pronto පද්ධතියේ ඇති දත්ත වෙනස් කිරීමට ඔහුට නොහැකි බවද පද්ධතිය සඳහා තොග පාලන නිලධාරීවරයාට සීමිත ප්‍රවේශයක් ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය.
වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබෙන තොගයක් සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් මේ පිළිබඳව සහකාර අධ්‍යක්ෂකවරයාට සහ අධ්‍යක්ෂකවරයාට දැනුම් දීමේ හැකියාව පාලක නිලධාරීවරයාට ඇති අතර එම දැනුම්දීම මිනිට් සටහනක් ලබා දී ඇති ආකෘති පත්‍රය හරහා සිදු කළ හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය.
ලැබුණු භාණ්ඩ තොගය සම්බන්ධයෙන් තොග පාලක නිලධාරීවරයා සෑහීමකට පත්වෙන්නේ නම් එය සහකාර අධ්‍යක්ෂකවරියට යොමුකර ඉන් අනතුරුව වෙනත් අංශ සඳහා ඉදිරි කටයුතු වලට යොමු කරන බවද සාක්ෂිකරු වැඩි දුරටත් හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළේ ය.
"ඉහළ නිලධාරීන්ට පද්ධතියට ප්‍රවේශ වීමේ හැකියාව ඇති බවත් කාර්ය පටිපාටය අනුව ඒ සම්බන්ධයෙන් දැනුවත් වී සිටින බවද" සාක්ෂිකරු කියා සිටියේය.
නීතිඥවරයා :මෙම නඩුවට පාදක වී ඇති ඖෂධ දෙකක් පිළිබඳව බව ඔබ දන්නවාද?
සාක්ෂිකරු ඔව් ස්වාමීනී: ඉමියුනෝග්ලොබියුලීම් ඖෂධය සම්බන්ධයෙන් බව දන්නවා .
නීතිඥවරයා: රිටොප්සිමැපබ් ඖෂධය බාර ගැනීම කලේ පස්වන විත්තිකරු විසින් නෙමෙයි?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී .එය භාරව සිටියේ තොග පාලක නිලධාරී කස්තුරුසිංහ නම් නිලධාරියා විසින්.
නීතිඥවරයා: එම ඖෂධය භාරගත් ආකාරය ගැන ඔබ දන්නවාද?
සාක්ෂිකරු: නෑ ස්වාමීනි .
නීතිඥවරයා
එම ඖෂධය පස්වන විත්තිකරුගේ සම්බන්ධයක් නැහැ?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී කස්තුරි සිංහ මහතා තමයි ඒ සම්බන්ධයෙන් කටයුතු කළේ.
නීතිඥවරයා: ඔහු මෙම අධිකරණයේ සිටිනවාද?
සාක්ෂිකරු: නෑ ස්වාමීනී
නීතිඥවරයා ඔහු කොහෙද සේවය කරන්නේ ?
සාක්ෂිකරු: ඔහු දැනට msd එකේ සේවය කරන්නේ නෑ ස්වාමීනි .එහි සේවයට වාර්තා කළේ නෑ.
තමන් මෙම නඩුවට අදාල ඖෂධ දෙක සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ලබා දුන් බවත් පොදු කරුණු ගැන සඳහන් කිරීම මිස අයිතම සම්බන්ධයෙන් වෙන වෙනම ප්‍රකාශ ලබාදීමක් නොකළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
තම ආයතනය පරිගණක පද්ධතිය තුළ ඇති දත්ත පිළිබඳව තමන්ට විශ්වාස බවත් එම දත්ත ඇසුරෙන් රජයේ රස පරීක්ෂකවරයා විසින් සකස් කර ඇති ලේඛනය නිවැරදි බවටත් තමන් විශ්වාස කරන බව සාක්ෂිකරු කියා සිටියේය.
මෙම අධිකරණය හමුවේ තිරයක් මත ප්‍රදර්ශනය කරන ලද දත්ත ඇතුළත් ලේඛන සකස් කලේ කෙසේද යන්න පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බවත් එම තිබූ දත්ත විග්‍රහ කිරීමක් පමණක් කළ බවත් සාක්ෂිකරු හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් සඳහන් කළේය.

රෝහලක සේවය කරන ඖෂධ වේදියෙකු ට පැවරෙන රාජකාරිය කාර්යයන් වෙනස් වන අතර ඖෂධ වේදියෙකු වන වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග පාලන නිලධාරීවරයාට විශේෂ පුහුණුවක් ලබාදී නොමැති බවද නිලධාරියෙකු පැමිණියහොත් පවතින කාර්යයන් හා අනුගත වීම ඔහු විසින් සිදු කළ යුතු බව සාක්ෂිකරු කියා සිටියේය.
රිටොප්සිමැබ් ඖෂධය සම්බන්ධයෙන් කටයුතු කළ ඖෂධ වේදියා මෙම අධිකරණයේ නොමැති අතර එම ඖෂධය සම්බන්ධයෙන් යුතු කළ සහකාර අධ්‍යක්‍ෂකවරිය ද අධිකරණය හමුවේ නොමැති බව සාක්ෂිකරු සඳහන් කළේය .
එම අධ්‍යක්ෂකවරියගේ නම කුමක්දැයි විමසා සිටි අවස්ථාවේදී ඇය චාන්දනී වන්නි ආරච්චි යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළ කළේය.
භාණ්ඩ තොගයක් පැමිණි විට සැපයුම්කරු කවුරුන්ද යන්න තීරණය කිරීමට තොග පාලක නිලධාරීවරයාට නොහැකි අතර ඉහළ නිලධාරීන්ගේ අනුමැතියකින් තොරව අදාළ භාණ්ඩ තොගය භාරගත නොහැකි බවද සාක්ෂිකරු කියා සිටියේය.
ඒ සමගම පස්වන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලද අතර අනතුරුව නමවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රාහුල් ජයතිලක මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
ඉහළ නිලධාරීන්ගේ නියෝගය මත 2022 සැප්තැම්බර් මාසයේදී ප්‍රමුඛතා ලැයිස්තුව තමන් විසින් සකස් කළ බවද ප්‍රසම්පාදන තීරණ ගැනීමට තමන්ගේ මැදිහත් වීමක් නොමැති බවද සාක්ෂිකරු සඳහන් කර සිටියේය.
එහිදී නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ ස්වාරක්ෂක තොග ලබා ගැනීමට හදිසි ප්‍රසම්පාදන කටයුතු කිරීම මගින් හැකියාව නොමැති බවට සාක්ෂිකරු මීට පෙර මූලික සාක්ෂි ලබා දෙමින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නීතිඥවරයා එවැනි හැකියාවක් නොමැති බවට සටහන්ව ඇත්තේ කුමන ස්ථානයක දැයි සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ය.
එවැනි ලිඛිත සටහනක් නොමැති නමුත් සෞඛ්‍ය සැපයුම් ඒකකයේ එතෙක් පවත්වාගෙන ආ ක්‍රමවේදය අනුව හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් ස්වාරක්ෂක තොග මිලදී ගැනීමක් සිදු නොකරන බව සාක්ෂිකරු කියා සිටියේය.
කෙසේ වුවද ස්වාරක්ෂක තොග හදිසි ප්‍රසම්පාදනයකින් මිලදී ගැනීම සඳහා නොහැකියාවක් නොමැති අතර එසේ කළ නොහැකි බවට මාර්ගෝපදේශයක් නොමැති බවද සාක්‍ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
සාමාන්‍ය ක්‍රියාවලියේදී හදිසි ප්‍රසම්පාදනයකින් ස්රවාක්ෂක තොගයක් මිලදී නොගන්නා නමුත් ඉන් පරිබාහිරව යනවා නම් ඒ සම්බන්ධයෙන් උපදෙස් ගත යුතු බව සාක්ෂිකරු එහිදී කියා සිටියේය .

"රට තුළ අර්බුදකාරී තත්ත්වයකදී සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කිරීමට හැකියාවක් නෑ නේද ?"යනුවෙන් නීතිඥවරයා එහිදී යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ "එහෙමයි ස්වාමීනි එවැනි අවස්ථාවලදී ඉහළ පරිපාලනය විසින් උපදෙස් ලබා දීමක් කරනවා. තීන්දු තීරණ ගන්නේ ඒ අනුවයි. හදිසි ප්‍රසම්පාදනයකින් ස්රවාක්ෂක තොග ගත නොහැකි බවට ලිඛිත සඳහනක් නැහැ " යනුවෙන් කියා සිටියේය.
ස්වාරක්ෂක තොග ඇතුළත් කරමින් වාර්ෂික ඇනවුම සකස් කරන අතර ක්‍රමානුකූලව ලැබෙන තොග මට්ටම් අනුව සාමාන්‍ය ස්වාරක්ෂක තොගය පවත්වාගෙන යන බවද ඒ සඳහා ලිඛිත මාර්ගෝපදේශයක් ඇති බවද සාක්ෂිකරු එහිදී කියා සිටියේ ය.
අධිකරණයේ හමුවේ මීට පෙර ප්‍රදර්ශනය කරන ලද සීඩී තැටිය නැවත තිරය මත ප්‍රදර්ශනය කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නීතිඥවරයා එහි ඇති දත්ත නිවැරදි දැයි සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේය.
එහි දත්ත හරිද වැරදිද කියලා කියන්න නොදන්නා නමුත් පරිගණක අංශය මගින් ලබාදෙන දත්ත නිවැරදි බවට තමන් විශ්වාස කරන බව සාක්ෂිකරු කියා සිටියේය. පාලක නිලධාරීවරයාට ලබා දී ඇත්තේ දත්ත නිරීක්ෂණය කිරීමේ සීමිත ප්‍රවේශයේ පමණක් බව සාක්ෂිකරු එහිදී සටහන් කළේය.
තමන් pronto පද්ධතිය සම්බන්ධ නොවූ නමුත් එහි දත්ත පිළිබඳව වැටහීමක් නොමැති නමුත් මෙම ලේඛනය සම්බන්ධයෙන් අධිකරණයේ සාකච්ඡාවට ලක්වීම මත එය රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ ලේඛනයක් බවට තේරුම් ගත් බව සාක්ෂිකරු කියා සිටියේ ය.
එහිදී නීතිඥවරයා " මා යෝජනා කරනවා මෙම ලේඛනය රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කළ බවට විත්තිය නොදන්නා අයෙකු විසින් ඔබට දැනුම් දුන් බව" යනුවෙන් කියා සිටියේය.
එම යෝජනාව තමන් පිලි නොගන්නා බව සාක්ෂිකරු සඳහන් කළේය
මෙම නඩුවට ඖෂධ දෙකක් පාදක වන අතර පැමිණිල්ල විසින් ප්‍රශ්න කිරීමේදී රිටොප්සිමැබ් ඖෂධය ගැන සාක්ෂි විමසීමක් සිදු නොකළ බව සාක්ෂිකරු සඳහන් කර සිටියේය. එසේම රිටොප්සිමැබ් ඖෂධය බාර ගැනීම සම්බන්ධයෙන් වන කිසිදු ලේඛනයක් පැමිණිල්ල විසින් තමන්ට ලබාදී නොමැති බවද හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නීතිඥවරයා කියා සිටියේය.
එම ප්‍රශ්න එම හරස් ප්‍රශ්න යොමු කිරීමෙන් පසුව මෙම නඩුවේ පළවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
"msd තොගය සහ ආයතනික තොගය එකට ගත් කල ජාතික තොගය සකස් වන බවට කොතැනක හෝ ස්ථානයක ලිඛිතව සඳහනක් තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර සාක්ෂිකරු කියා සිටියේ "එවැනි සටහනක් නොමැති බව"ය.
යම් ඖෂධයක් හේතුවෙන් සංකූලතා ඇති වූ විට එම ඖෂධය with hold, කළ විට එය භාවිතා කළ නොහැකි පරිදි පවත්වාගෙන යන බවද , withdraw කළ විට එම ඖෂධය භාවිතාවෙන් ඉවත් කරන බවද සාක්ෂිකරු සඳහන් කර සිටියේය.

සංකූලතා පැමිණි විට පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් එම ඖෂධ ඉවත් කරනවාද යන්න තීරණය කරන අතර පසුව පරිගණක පද්ධතියෙන් එම ප්‍රමාණයන් ඉවත් කරන බව සාක්ෂිකරු කියා සිටියේය.
"සංකූලතා ඇති වූ ඖෂධයක් භාවිතයෙන් ඉවත් කිරීමට පෙර එය රසායනාගාර පරීක්ෂණයකට ලක් කළ යුතු බව ඔබ දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුගෙන් ප්‍රශ්නයක් කර සිටි අතර ඔහු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ තමන් ඒ පිළිබඳව නොදන්නා බවය.
"ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවූ බව ඔබ දන්නවාද? එය මුල් අවස්ථාවේදීම ඉවත් කළ බව ඔබ දන්නවාද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු ඒ පිළිබඳව තමන් දන්නා බව ප්‍රකාශ කළේය
Withdraw කළ ඖෂධ අදාල ආයතනවල වෙනම ස්ථානයක ගබඩා කරන බව නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එම තොග අදාළ ගබඩාවේම නියමිත උෂ්ණත්වය යටතේ ගබඩා කරන බවය.
ඉන්පසුව අපහරණයට යන මුදල් සැපයුම්කරුගෙන් අය කර ගැනීමෙන් අනතුරුව අදාළ භාණ්ඩ තොගය අපහරණය කිරීමට කටයුතු කරන බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
එම අපහරණ කටයුතු කිරීම සඳහා වැඩපිළිවෙළක් ඇති බවත්, අපහරනයන් සඳහා වැය කරන මුදල් සැපයුම්කරුගෙන් ලබා ගන්නා බවත් සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.
නීතිඥවරයා විසින් සාක්ෂිකරුට තවත් ප්‍රශ්න කිහිපයක් යොමු කිරීමෙන් අනතුරුව දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලද අතර නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කෙරිණ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න




