BREAKING
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඇනවුම් කරන කාලයේ කපිල වික්‍රමනායක විදේශගතව සිටියා - ප්‍රධාන තොග පාලක අධිකරණයේදී කියයි

T

The Leader

June 12, 2026 • 3:02 AM

ඇනවුම් කරන කාලයේ කපිල වික්‍රමනායක විදේශගතව සිටියා - ප්‍රධාන තොග පාලක අධිකරණයේදී කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රශ්නගත ඖෂධ ලබා ගැනීම සඳහා ඇණවුම් නිකුත් කරන අවස්ථාවේදී වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ අධ්‍යක්ෂකවරයා ව සිටි වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විදේශගත වී සිටි බව තමන් දන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී ධනේෂ් නන්දන බණ්ඩාර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
  •     "එහි සඳහන් වෙනවා නේද යම් සමාගමක් ලබාදුන් ඖෂධයක් සම්බන්ධයෙන් ගැටලුවක් මතුවූ බව?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී  "ස්වාමීනි, "Reliance Life science private limite "යන සමාගමක් එහි සඳහන් වෙනවා.
  • එම සමාගම පෙර සැපයුම් කළ සමාගමක් ලෙස තමයි සඳහන් වෙන්නේ "යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළේය.
  •   "මේ ආයතනය ගැන ඔබට මතකයක් තිබෙනවාද" යන ප්‍රශ්නය නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "එම ආයතන මගින් සැපයුම් කටයුතු කළ බව දන්නා බව"ය.
අකුරු ප්‍රමාණය (Font Size):
 

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය ට අදාළ නඩුවේ සාක්ෂි ලබාදෙමින් සිටියදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා යොමු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
 
එහිදී මෙම නඩුවේ පළමු වන විත්තිකරු වෙනුවෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා විසින් සිදු කරන ලදී. 
 
"ඖෂධයක අදාළව quality issue එකක් සම්බන්ධයෙන් මිනිට් සටහනක ඇතුළත්ව තිබෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටින අතර සාක්ෂිකරු එවැනි සටහනක් ඇති බව කියා සිටියේය.
 
56upp
 
"එහි සඳහන් වෙනවා නේද යම් සමාගමක් ලබාදුන් ඖෂධයක් සම්බන්ධයෙන් ගැටලුවක් මතුවූ බව?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී "ස්වාමීනි, "Reliance Life science private limite "යන සමාගමක් එහි සඳහන් වෙනවා. එම සමාගම පෙර සැපයුම් කළ සමාගමක් ලෙස තමයි සඳහන් වෙන්නේ "යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළේය.
 
"මේ ආයතනය ගැන ඔබට මතකයක් තිබෙනවාද" යන ප්‍රශ්නය නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "එම ආයතන මගින් සැපයුම් කටයුතු කළ බව දන්නා බව"ය.
 
"ඒ ආයතනය  ලබාදුන් ඖෂධ වල තත්ත්වය  සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවූ බව ඔබට මතක නෑ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු  කියා සිටියේ  "ඒ සම්බන්ධයෙන් තමාට මතකයක් නොමැති බවත් ඖෂධවල තත්ත්වය පිළිබඳව ගැටලු සහගත තත්ත්වයන් දෛනිකව වාර්තා වන බවත්ය". 
 
"ඖෂධ වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ක්‍රමවේදයක් සකසා ඇති අතර ගැටලුවක් මතුවූ අවස්ථාවල වාර්තා කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව" සඳහන් කළ සාක්ෂිකරු ඒ අනුව "අවස්ථානුකූලව ඖෂධ වල ගුණාත්මක භාවය  සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවක් පිළිබඳව වාර්තා වන බව" කියා සිටියේය. 
 
image cbea9cf026
 
'මෙම ඖෂධය ලබාදුන් " Reliance life science privet limited" යන ආයතනය සම්බන්ධයෙන් ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක්  දුන්නද?"යන්න නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා  සිටියේ එවැනි කට උත්තරයක් ලබා නොදුන් බවය. "ගැටලු ඇති වුණොත් වාර්තා කිරීමේ ක්‍රමවේදයක් හදලා තියෙනවා. තත්ත්ව පාලන අංශයට හා ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දෙනවා ."යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය .
 
"ඔබට ත් ඒ ගැන දන්වනවා ද ?"යන ප්‍රශ්න නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ අදාළ ඖෂධ withhold හෝ withdraw කරගැනීම සඳහා උපදෙස් තමන්ට ලැබෙන බවය.
 
අදාළ  සමාගම සැපයූ ඖෂධ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම සඳහා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ගෙන් විමසීමක් නොකළ බවද ඖෂධ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගත් ප්‍රථම අවස්ථාව මෙම නඩුවට අදාළව සිදුකළ බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
නීතිඥවරයා:
"මීට පෙර ඔබගෙන් ප්‍රශ්න කිරීම් වලදී අවධානය යොමු කළා පැය 299  ලේඛනය වෙත. එහි පහතින්ම සඳහන්ව ඇත්තේ කුමක්ද ?
 
සාක්ෂිකරු:
 "ගෙවීම් සිද්ධ කරන්නේ නැහැ" කියලා එහි සඳහන්ව තියෙනවා. 
 
නීතිඥවරයා:
එහි තියෙනවද ඖෂධ තොගයක් withdraw කළ විට කුමක්ද කරන්නේ කියලා?
 
සාක්ෂිකරු :ස්වාමීනි එහි තියෙනවා  "quality failure කිරීමක් සිදුවුවහොත් සැපයුම් කරුගෙන් සම්පූර්ණ කාණ්ඩයටම අදාළ මුදල් ලබාගත යුතු බව."
එසේම එහි සඳහන් වෙනවා" අසමත් වීමක් සිදු වුවහොත් සම්පූර්ණ නිෂ්පාදනයටම සැපයුම්කරුගෙන් මුදල් ප්‍රතිපූර්ණය කර ගත යුතු බව ."
එමෙන්ම එහි  සඳහන් වෙනවා "සැපයුම්කරු හෝ  නිෂ්පාදකයා අතිරේකව 25%ක මුදලක් පරිපාලන ගාස්තු ලෙස ගෙවිය යුතු බව "
 
නීතිඥවරයා :ඉන් අදහස් කරන්නේ මෙවැනි තත්ත්වයකගේ මූල්‍යමය හානිය අවම කර ගැන ගැනීමද ?
 
සාක්ෂිකරු :ඔව් ස්වාමීනි 
 
නීතිඥවරයා: මෙහි තියෙනවාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවක්?
 
සාක්ෂිකරු: මෙහි එවැනි සඳහනක් නෑ .
 
නීතිඥවරයා: මෙය තමයි සැපයුම්කරුට ලබාදෙන කොන්දේසි සහිත ලේඛනයක්. එවැනි වෙනත් ලේඛනයක්  නෑ?
 
සාක්ෂිකරු: එවැනි වෙනත් ලේඛනයක් නෑ ස්වාමීනි .
 
නීතිඥවරයා:
ඒ අනුව ඖෂධයක් තත්ත්වයෙන් අසමත් නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවක් එහි සඳහන් වන්නේ නෑ නේද ?
 
සාක්ෂිකරු:
එවැනි සඳහනක් නෑ ස්වාමීනී. මා ඒ ගැන දන්නේ නෑ .සී අයි ඩී එක ගැන අදහසක් නෑ 
 
"ඔබ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත ගැන දන්නවාද ?"යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරු ගෙන් විමසා සිටි අතර එවැනි පනතක් ඇති බව තමන් දන්නා බව ඔහු කියා සිටියේය. 
 
NMRA
 
"ඖෂධයක් තත්ත්වයෙන් අසමත් වීමක් සිදුවුවහොත්  ඒ පිළිබඳව කටයුතු කිරීමේ බලය ජාතික ඖෂධ නියාමන අධිකාරියට එම පනත මගින් පවරා ඇති බව ඔබ දන්නවාද ?"යනුවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ තමන්ට ඒ ගැන අවබෝධයක් නොමැති බව ය.
 
ඖෂධ වේදීන්ට පුහුණුවක් ලබාදුන් බව පෙරදින සාක්ෂි විභාගයේදී සාක්ෂිකරු විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිඥවරයා ඔහුගෙන් කරුණු විමසීමක් කළ අතර" wor බාර දෙන විට එය පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ඔබේ ආයතන තුළ තිබෙනවාදැ?"යි  ප්‍රශ්න කර සිටියේය .
 
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටි එවැනි ක්‍රමවේදයක් නොමැති බවය. "
 
WOR යනු ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ආනයන අපනයන පාලකට යොමු කරන ලේඛනයක් වන අතර  ආයතන දෙකක් අතර හුවමාරු වන ලේඛනයක පිටපතක් ඔබට ලැබෙනවා ද ?"යන ප්‍රශ්නය නීතිඥවරයා යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එම අවස්ථාව වන විට පිටපත් නොලැබුණු බවය. 
 
"හියුමන් ඉමියුනොග්ලොබියුලීම් ඖෂධය සම්බන්ධයෙන් සංකූලතා වාර්තා වූ බව දන්නවාද ?"යනුවෙන් සාක්ෂි කරුගෙන් විමසීමක් කළ අවස්ථාවේදී ඒ පිළිබඳව තමන් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් තත්ත්ව පාලන අංශය සතුව අදාළ වාර්තා ඇති බවත් සාක්ෂිකරු කියා සිටියේය. 
 
"ඔබ ඒ ගැන දන්නෙම නැද්ද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තත්ත්ව පාලන  අංශයට දැනුම්දීමෙන් අනතුරුව ඒ පිළිබඳව දැනගත් බවය. එම ඖෂධ වලට අදාළව withhold සහ withdraw  ලිපි වල පිටපත් තමන්ට ලැබුණු බවත් NMRA මගින් එම කටයුතු සිදුකරන බවත් ඒ සඳහා තමන්ට බලතල නොමැති බවත් සාක්ෂිකරු කියා සිටියේය. 
 
රාජකාරී වපසරිය තුළ තමන්ගේ කටයුතු කරන අතර  වැඩිදුර කරුණ සොයා බැලීමේ අවශ්‍යතාවයක් නොමැති  බවද ,ඒ සඳහා ආයතනයක් ඇති බැවින් ඒ පිළිබඳව සොයා බැලීමක් නොකළ බවද ,සඳහන් කළ සාක්ෂිකරු නිලධාරීන්ට උපදෙස් ලබා දුන් පසු නිලධාරීන් ඒ අනුව කටයුතු සිදු කරන බව කියා සිටියේය .
 
තමන් වෛද්‍ය සැපයුම් අංශයේ තියෙන තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කටයුතු කළ බව සාක්ෂිකරු කියා සිටියේය .
 
Medical Supplies Division 1200px 2023 12 03 1000x600
 
ඖෂධ withhold සහ withdraw කිරීම සම්බන්ධයෙන් දැනුම් දීමක් කළ විට ඊට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව පුද්ගලික ව සොයා බැලීමක් නොකරන බවද ඒ සඳහා අදාළ ආයතන ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
එම අවස්ථාවේදී නීතිඥවරයා සාක්ෂිකරුට යෝජනාවක් කරමින් "මා ඔබට යෝජනා කරනවා රාජ්‍ය සේවය තුළ ඔබ වගකීම් විරහිත නිලධාරියෙක් බව" යනුවෙන් ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු එය ප්‍රතික්ෂේප කළේය .
 
"මා යෝජනා කරනවා ඔබ ප්‍රශ්න මගහරිමින් සාක්ෂි ලබා දෙන සාක්ෂිකාරුවෙක් බවට යනුවෙන් නීතිඥවරයා යෝජනා කළ අවස්ථාවේදී සාක්ෂිකරු 
" නෑ ස්වාමීනි ආයතනික වපසරිය තුළ සිට තමයි මම රාජකාරියට අදාළව පිළිතුරු ලබා දෙන්නේ. එම යෝජනාව මා ප්‍රතික්ෂේප කරනවා "යැයි කියා සිටියේය.
 
අනතුරුව සාක්ෂිකරුගේ අවධානය 2 v 24 ලේඛනයට යොමු කළ නීතිඥවරයා එහි" called chain not maintain properly "යනුවෙන් ඇති සඳහන මගින් අදහස් කරන්නේ කුමක්දැයි සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.
 
පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ අදාළ සීත දාමය නිසි පරිදි ක්‍රියා නොකළ බව ඉන් අදහස් කරන බවය. 
 
සීත දාමය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්නේ සඳහා data loog නම් යාන්ත්‍රික උපකරණයක් ඉදිරිපත් කළ යුතු  බව පෙන්වා දුන් නීතිඥවරයා මෙවැනි සටහනක් අදාල ඖෂධ තොගයේ ලිපිගොනුවට නොමැති නම් "එය නිසි ශීතදාමය යටතේ ඉදිරිපත් කරන තිබේ" යන්න ඉන් අදහස් කරන්නේ ද යන්න පිළිබඳව සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය. 
 
සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කළේ "එය ඒ ආකාරයෙන් සඳහන් වන බව"ය. 
 
br67ip
 
"මේ ඖෂධය සම්බන්ධයෙන් සීත දාමය සහ අදාල ලේඛන ඉදිරිපත් වුණාද ?" යනුවෙන් නීතිඥ වරයා  ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැන්නක් ඉදිරිපත් නොවූ බවය. 
 
එසේම" රිටොප්සිමැබ් "ඖෂධය සඳහා එවැනි ශීතදාමයක් සහ ලේඛන ඉදිරිපත් වූයේද?" යන්න සම්බන්ධයෙන් නීතිඥවරයා මතුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කළේ එවැන්නක් ඉදිරිපත් නොවූ බවය. 
භාණ්ඩ භාර ගැනීමක් සිදුවන විට එහි ආයතනික මුද්‍රාවක් තබන අතර පැ 131 ලෙස ඇති ලේඛනය එසේ භාණ්ඩ බාර ගැනීමේදී ඉදිරිපත් කරන ලේඛනයක් බවද එහි supply condition යන කොටසේ  යන්න සඳහන් කර ඇත්නම් භාණ්ඩ නිසි පරිදි ලබාදී ඇති බව ඉන් අදහස් කරන බව සාක්ෂිකරු ඉදිරිපත් වූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය. 
 
"ඔබේ ආයතනයට ඖෂධ භාර ගැනීමේ counter කීයක් තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "ස්වාමීනි , ඖෂධ වෛද්‍ය සැපයුම් ඒකකය තුළට ගෙනවිත් තොග පාලන අංශයට භාර දිය යුතුයි. අදාළ invoice හා ඇනවුම් ලේඛන තොග පාලක නිලධාරියාට ලබාදීමෙන් පසු ඔහු තොගය පරීක්ෂා කරනවා 
 
"ඉන්පසුව තොගය කාගේ බාරයටද ගන්නේ?" යනුවෙන් නීතිඥවරයා  ප්‍රශ්නයක් යොමු කළ අතර  "එම භාණ්ඩ ගබඩාවට භාර ගන්නවා. වෛද්‍ය සැපයුම් අංශයේ සේවයේ නියුතු ගබඩා භාරකරු සැපයුම්කරු භාණ්ඩ රැගෙන යා යුතුයි ලියවිලිත් සමග". යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කළ අතර "එහිදී භාණ්ඩ බාර ගැනීම් නිලධාරියා invoice සහ ලේඛන පරීක්ෂා කර බලා ආපසු සැපයුම්කරුට ලබා දෙනවා ද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළේය .
 
" භාණ්ඩ භාර ගැනීම එක විට ලබාදෙන ක්‍රියාවලියක් වන අතර තොග පාලක නිලධාරීවරයාට භාණ්ඩ ලේඛන ලබා දුන්  පසු c i unit එකට පරිගණක පද්ධතියට ඇතුල් කිරීම සඳහා ලබා දෙන  බවත්, අනතුරුව ඒවා ගබඩාවට භාරදෙන බවත්, පරිගණක පද්ධතියට ඒ සියලු දත්ත ඇතුල් වූ පසුව එම තොගය භාර ගත් බවට සටහන් වන බවත්" සාක්ෂිකරු කියා සිටියේය. 
 
v46yyh
 
එහිදී නීතිඥවරයා තවත් ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ "භාණ්ඩ භාර ගැනීම, ගබඩා කිරීම, පවත්වාගෙන යාම සහ බෙදා හැරීම ඔබේ අංශය විසින් ද සිදු කරන්නේ?එහි කොපමණ අයිතම සංඛ්‍යාවක් තිබෙනවාද?" යනුවෙනි.
 
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ අයිතම 1300ක් පමණ ඇති බවත් සෛල හා රසායනාගාර අයිතම 8000ක්  සහ 4000ක් ලෙස පිළිවෙලින් පවතින බවත්ය . වෛද්‍ය සැපයුම් අංශය විසින් ඖෂධ නිෂ්පාදනය කිරීමක් නොකරන බව ද සාක්ෂිකරු එහිදී කියා සිටියේය. 
 
මූලික සාක්ෂි විමසීමේදී ලේඛනයක සඳහන් raw material සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් කරුණු විමසීමක් කළ නීතිඥවරයා "එම ද්‍රව්‍ය භාවිතා කර ඖෂධ නිෂ්පාදනය කිරීමක් සිදු කරනවා නේද?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසා සිටියේය. 
 
සාක්ෂිකරු කියා සිටියේ එමඟින් "raw material යොදාගෙන ඖෂධ නිෂ්පාදනයක් නොකරන අතර බාහිරව රෝගීන්ට ලබාදීම සඳහා බෙහෙතක් සකස් කරන බව"ය. "මෙය ඖෂධ නිෂ්පාදනය යටතේ නිෂ්පාදනය කරන ඖෂධයක් නොවන බවද   සංඝටක කිහිපයක් එකතු කර  සකස් කරන බවද එය සාමාන්‍යයෙන් සාමාන්‍ය ක්‍රියාවලිය යටතේ සිදු කරන බව"ද සාක්ෂිකරු හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේය .
 
නීතිඥවරයා: එය සාමාන්‍ය ක්‍රියාවලිය යටතේ සිදුවන බව කොහෙද තියෙන්නේ? 
 
සාක්ෂිකරු :සම්මතයේ තියෙන්නේ එහෙමයි. එය ලෝකය පිළිගත් සම්මතයක්. මෙම අයිතම දෙක raw material කාණ්ඩ ගණයට ඇතුළත් කර තිබෙන්නේ. 
 
නීතිඥවරයා : එය කොහොමද තීරණය කරන්නේ ?
 
සාක්ෂිකරු: එය වට්ටෝරු සමාලෝචන කමිටුවේදී තීරණය කරනවා .
 
නීතිඥවරයා: ඒ බවට ලිඛිතව තිබෙනවාද ?
 
සාක්ෂිකරු :ලිඛිතව තියෙනවා ස්වාමීනි 
 
නීතිඥවරයා :එය ඔබට අධිකරණයට ඉදිරිපත් කළ හැකිද ?
 
සාක්ෂිකරු: ඉදිරිපත් කළ හැකියි ස්වාමීනි .මේ අවස්ථාවේදී මා ළඟ නෑ .
 
නීතිඥවරයා: මා යෝජනා කරනවා එම ඖෂධ සෘජුවම ඖෂධ ලෙස භාවිතා කළ හැකි බව .
 
සාක්ෂිකරු :එය ප්‍රතික්ෂේප කරනවා ඒවා අමු ද්‍රව්‍යයන්.
 
මෙම සංවාදයෙන් අනතුරුව නීතිඥවරයා සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කරමින් "රිටොප්සිමැබ් ඖෂධය සම්බන්ධයෙන් ලේඛන ඉදිරිපත් කරමින් පැමිණිල්ල විසින් ඔබෙන් ප්‍රශ්න ඇසීමක් සිදු කළාද ?" යනුවෙන් විමසා සිටියේය.
 
සාක්ෂිකරු සඳහන් කළේ එවැනි ප්‍රශ්න කිරීමක් සිදු නොකළ බවය .
 
 
"එම ඖෂධය භාරගන්නා අවස්ථාවේදී අදාළ ඖෂධ භාර ගැනීමේ ක්‍රමවේදය ගැන ඔබට අවබෝධයක් තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර  ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු ස්වාමීනී ,වෛද්‍ය සැපයුම් ඒකකයට ඒවා බාර ගත්තා. ප්‍රියන්ත කස්තුරි සිංහ මහතා තමයි ඒ අංශයේ සිටියේ "යනුවෙන් සඳහන් කළේය .
 
රිටොප්සිමැබ්  ඖෂධය ද භාවිතාවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබූ අතර ඒ පිළිබඳව ලේඛන  තිබූ බව සාක්ෂිකරු සඳහන් කළේය
 
නීතිඥවරයා:
වෛද්‍ය සැපයුම් වංශයට ලබා දුන් හියුමන්ඉමියුනෝග්ලොබියුලීම් ඖෂධ සියල්ලම  තොග රෝහල් සහ ආයතන වලට මුදා හැර තිබුණේද ?
 
සාක්ෂිකරු :වෛද්‍ය සැපයුම් ඒකකයේ යම් ප්‍රමාණයක් ඉතිරිව තිබුණා .
 
නීතිඥවරයා:
ඒ පිළිබඳව හොඳටම මතකද?
 
සාක්ෂිකරු: එහෙම මතක නෑ. 
 
නීතිඥවරයා:හරි උත්තරයක් දෙන්න. එම ඖෂධ සම්පූර්ණයෙන්ම බෙදා හැරියද නැද්ද?
 
සාක්ෂිකරු: එහෙම මතකයක් මට නෑ .ප්‍රමාණය ගැන සංඛ්‍යාත්මක ගානක් ගැන කියන්න බැහැ .
 
නීතිඥවරයා : හියුමන්ඉමියුනෝග්ලොබියුලීම් ඖෂධය භාරගත්තේ කවුද ?
 
සාක්ෂිකරු: සුජිත් කුමාර .
ස්වාමීනී, එම භාර ගැනීම කණ්ඩායමක් විසින් කරන්නේ. නම් වශයෙන් කියන්න බෑ .තොග පාලන අංශයේ සේවය කරන නිසා ඖෂධ වේදියාගේ නම මතකයි.සහකාර අධ්‍යක්ෂක තුමිය ඊට සහභාගි වුණා .ගබඩාවල කටයුතු කළේ කවුද කියලා දන්නේ නෑ. ඒ පිළිබඳව සොයා බැලුවේ නෑ . 
 
නීතිඥවරයා: ඔබේ අධීක්ෂණ යටතේ තොග භාරගත් නිලධාරියා ද තොග බෙදා හැරීම කරන්නේ .
 
සාක්ෂිකරු: බෙදා හැරීමේ  තොග පාලක වරයෙක් වෙනම ඉන්නවා 
 
නීතිඥවරයා: ප්‍රදීප මධුසංඛ සෙනෙවිරත්න කියන කෙනෙක් ඔබ දන්නවද ?
 
සාක්ෂිකරු: ස්වාමීනී අපේ ආයතනයේ පන්සියයක් පමණ සේවය කරනවා. නම් වශයෙන් කියන්න බෑ .නිලධාරීන් ඇති .
 
Withdraw කළ ඖෂධ  අපහරණය කිරීම සම්බන්ධයෙන් තමාගේ පෞද්ගලික මැදිහත්වීමක් නැති බවත් ම අපහරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් drag manual ලේඛනයේ සඳහන් වන බවත්, Withdraw කිරීම සම්බන්ධයෙන් අයිතමයෙන් අයිතමය ට වෙන් වෙන්ව සඳහන්ව නැතත් පොදුවේ භාවිතා කළයුතු ආකාරය පිළිබඳව සඳහන් කර ඇති බවත් ,සාක්ෂිකරු හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියේය. 
 
"එලෙස ඉවත් කරන ඖෂධ වෙනත් ස්ථානයක තිබිය යුතු බව එම  එහි සඳහන්ව තිබෙනවා බව ඔබ පිළිගන්නවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "අදාළ ලේඛනය පෙන්වීමක් කළහොත් එය තමන්ට ප්‍රකාශ කළ හැකි බව"ය. 
 
medicine hospital
 
අමුද්‍රව්‍ය යටතේ සඳහන් කළ ද්‍රව්‍ය "අයිසොලේස් බයෝ ටෙක් පාමා ආයතනය" මගින් වෛද්‍ය සැපයුම් අංශයට ලබා දී ඇති බවක් තමන් නොදන්නා බවද, එක් එක් සැපයුම්කරුවකු සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලීමක් නොකරන බවද ,ඒ සම්බන්ධයෙන් පරිගණක පද්ධතියෙහි දත්ත ඇතුළත වන බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
"මෙම හියුමන්ඉමියුනෝග්ලොබියුලිම් ඖෂධය සහ රිටොප්සිමැබ් මැබ් ඖෂධය හේතුවෙන් කිසිදු මරණයක් වාර්තා නොවූ බව දන්නවද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ" ඒ පිළිබඳව වාර්තා තත්ත්ව පාලන අංශයට ලැබෙන අතර  ඒ පිළිබඳව  දැනුවත් වීමක් තමන්ට නොමැති බව"ය.
 
ඒ සමගම පළමුවන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලද අතර මෙම නඩුවේ දෙවන විත්තිකාර වන වෛද්‍ය සැපයුම් ඒකකයේ  හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන්  හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය. 
 
තමන් දෙවන චූදිත වෙන වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා යටතේ සේවය කර තිබෙන බවත් 2022 ජනවාරි මස සිට දෙසැම්බර් මස දක්වා ඔහු විදේශගතව සිටි බව  දන්නා බවත් ව එම කාලය තුළ වෙනත් නිලධාරීන් වැඩ බලන ධුරයේ කටයුතු කළ බවත් සාක්ෂිකරු කියා සිටියේය. 
 
"2022 සැප්තැම්බර් මාසයේ ඔබ යොමු කළ ඖෂධ ලැයිස්තුවක් ගැන මීට පෙර ප්‍රශ්න කළා නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී "එවැනි ප්‍රශ්න කිරීමක් කළ බව" සාක්ෂිකරු කියා සිටියේය. 
 
නඩුවට අදාළව හියුමස් ඉමියුනෝගිලොබියුලීම් සහ රිටොප්සිමැබ් යන ඖෂධ දෙකක් ඇති බව දන්නා බවත්,  ඒවා ඇතුළු  ඖෂධ ගණනක් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තෝරා ගත් බව පිළිබඳව දැනුවත් බවත්, එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ සිදු කරනු ලැබූවක් ලැබූ බව තමන් දන්නා බවත්, සාක්ෂිකරු හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළේය. 
සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි ප්‍රසම්පාදන කමිටුව මගින් මෙම ටෙන්ඩර් පිරි නැමීම සිදු කළ බව සාක්ෂිකරු සඳහන් කළේය.
 
1721793410 health ministry L
 
"එම කමිටුවේ සාමාජිකයෙකු ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ සිටි බව දන්නවද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "එම කමිටුවක් පැවති බව දන්නා නමුත් එහි සාමාජිකයන් කවුරුන්ද යන්න පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බව"ය.
 
ප්‍රසම්පාදන කටයුතු කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීම සඳහා වෛද්‍ය සැපයුම් එකකය දැනුවත් කර තිබූ බවද සාක්ෂිකරු හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
 
ඒ අනුව order list  සහ purchasing order නිකුත් කිරීම වෛද්‍ය සැපයුම් ඒකක විසින් සිදු කරන ලෙස දැනුවත් කිරීම් කර තිබූ බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
ඒ බව සඳහන් පැ264 දරන 2022 ඔක්තෝම්බර් 28 දිනැති ලිපියක් නීතිඥවරයා විසින්  සාක්ෂිකරුගේ අවධානයට යොමු කර ප්‍රශ්න කිරීම සිදුකරමින් ලකුණු කිරීමක් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඊට විරෝධය පළ කළාය.
 
මෙම ලේඛනයේ ඇති අත්සන් සාක්ෂිකරු විසින් හඳුනා ගත් නමුත් එහි අන්තර්ගතය කරුණු සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා අදාලත්වයක් ඔහුට නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය. 
 
ඊට ප්‍රතිවිරෝධය පළ කරමින් නීතිඥවරයා සඳහන් කළේ මෙම ලේඛනය පැමිණිල්ල විසින්ම ලකුණු කිරීමකට ලක් කළ අතර රජයේ රස පරීක්ෂකවරයා විසින් ඉදිරිපත් කළ cd තැටියේ අන්තර්ගතය සම්බන්ධයෙන් මෙම සාක්ෂිකරුගෙන් පැමිණිල්ල විසින් ප්‍රශ්න කළ අතර එසේ නම් එම ලකුණු කිරීමද කළ නොහැකි බවය. 
 
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළේ තමන් එම ලේඛනය ලකුණු කළේ විත්තියේ විරෝධතාවලට යටත්ව බවත් විත්තිය විසින් විරෝධතා ඉදිරිපත් නොකිරීම මත අදාළ ලේඛනය ලකුණු නොකර සිටීමට තමන් කටයුතු නොකරන බවත් ය.
 
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එහිදී සඳහන් කළේ විත්තිය විසින් විරෝධතා ඉදිරිපත් නොකිරීම මත ලේඛන ලකුණු කිරීමට ඉඩ දුන් දුන් බව පැවසීම දෝෂ සහගත බව ය. එසේ කළ නොහැකි බවත් සිවිල් නඩුවක පවතින තත්ත්වයට වඩා අපරාධ නඩුවකදී තත්ත්වය වෙනස් බවත් විත්තිය  විරුද්ධ නොවීම මත ලේඛන ලකුණු කිරීමට ඉඩ දීමක් එහිදී සිදු නොකරන බවත් සභාපති විනිසුරුවරයා අවධාරණය කළේය. 
 
අනතුරුව නීතිඥවරයා විසින් නැවත සාක්ෂිකරුගෙන්  ප්‍රශ්න විමසීම සිදුකළ අවස්ථාවේදී "මෙම නඩුවට අදාළ හියුමන් ඉමියුනෝගිලොබියුලීම් ඖෂධය සම්බන්ධයෙන් අවස්ථා තුනකදී තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර ලබා දුන් බව" සාක්ෂිකරු කියා සිටියේය.
 
රිටොප්සිමැබ් ඖෂධය භාරගත් කස්තුරි සිංහ නම් නිලධාරියා මෙම නඩුවේ පැමිණිල්ලේ 163 ලෙස සිටින බව දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැන්නක් පිළිබඳව තමන් නොදන්නා බවය. ඔහු එම ඖෂධ භාරගත් තොග නිලධාරියා ලෙස කටයුතු කළ බව දන්නා බව සාක්ෂිකරු කියා සිටියේය .
 
එසේම අදාළ "රිටොප්සිමැබ් ඖෂධය භාර ගැනීමට අදාළ සහකාර අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කළ චන්දනී වන්නේ ආරච්චි මෙම නඩුවේ 173 සාක්ෂිකරු ලෙස සිටින බව" නීතිඥවරයා විසින් යෝජනා කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ තමන් ඒ පිළිබඳව නොදන්නා බවය. 
 
මෙම ඖෂධ දෙකෙහි මිල සංසන්දනය කිරීමක් ගැන තමන් නොදන්නා අතර ඉන් වඩා වටිනා ඖෂධය කුමක්ද පිළිබඳව අදහසක් නොමැති බව සාක්ෂිකරු කියා සිටියේය. 
 ve56u5
"මෙම මිලදී ගැනීම් වලට අදාළව order list එක සහ purchasing order එක වෛද්‍ය සැපයුම් අංශයට ලබා දෙන විට කපිල වික්‍රමනායක මහතා ලංකාවේ නොසිටි බව දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා කළ විමසීමට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ ඒ වනවිට කපිල වික්‍රමනායක මහතා විදේශගත වී සිටි බව" තමන් දන්නා බවය. 
 
රිටොප්සිමැබ් ඖෂධය with hold කිරීමට සහ Withdraw කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගත් තීරණය පිළිබඳ දැනුම් දෙමින් කපිල වික්‍රමනායක මහතා විසින් සියලු අංශ වෙත නිකුත් කළ ලිපි නීතිඥවරයා විසින් සාක්ෂිකරුට පෙන්වා සිටි අතර  ඔහු එම ලිපි හඳුනාගනිමින් තමන්ට ද එහි පිටපත් ලැබුණු බව සඳහන් කළේය .මෙම ලිපි වල මුල් පිටපත් තත්ව පාලන අංශයේ ගොනු වල ඇති අතර  එමගින් ලබාගත හැකි බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
මෙහිදී නීතිඥවරයා සඳහන් කළේ අදාළ ලිපි පැමිණිල්ල විසින් ගැනීමක් සිදුකරන්නේ නම් මුල් ලේඛන කැදවීමක් සිදු කිරීම අවශ්‍ය නොවන බවය. 
 
එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ විත්තිය සහ පැමිණිල්ල අතර සිදු කරන එකඟතාවයකින් වුවද අධිකරණය හමුවේදී සාක්ෂි පිළිගැනීමක් කළ නොහැකි බවය. නඩු විභාගයේදී ඉදිරිපත් කරන ලේඛන මුල් ලේඛන මගින් ඉදිරිපත් කළ යුතු අතර එවිට එය සාක්ෂියක් ලෙස පිළිගත හැකි බව සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
 
Life help biotech pharma නමැති ඉන්දියානු සමාගමේ සියලු නිෂ්පාදන භාවිතයෙන් ඉවත් කරන ලෙස දැනුම් දෙමින් කපිල වික්‍රමනායක මහතා විසින් ලිපියක් නිකුත් කර ඇති අතර අයිසොලෙස් බයෝ ටෙක් පමා ආයතනය මගින් ඉදිරිපත් කළ ඖෂධ භාවිතයෙන් ඉවත් කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව පෙන්වා දුන් නීතිඥවරයා ඒ අනුව "එම තොග ඉවත් කිරීමට පියවර ගත්තාද?" යනුවෙන් සාක්ෂිකරුගේ විමසීමක් කළේය. 
 
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ එම තොග withdraw කර ඇති නමුත් ලෙස ඒ අයුරින්ම පවත්වාගෙන යන බවය. 
 
"2023 ඔක්තෝම්බර් 19 දින ඖෂධවේදින් සඳහා වැඩමුළුවක් පවත්වන බව දන්වමින් ලේඛනයක් නිකුත් කර ඇත්තේ කවුරුන් විසින්ද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "එය වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් නිකුත් කර ඇති බවත් තමන් ඊට පස්සේ සහභාගි වූ බවත් ය". 
 
වෛද්‍ය සැපයුම් ඒකකයට  භාණ්ඩ භාර ගැනීමේදී පරීක්ෂා කර බැලීම සඳහා රසායනාගාරයක්  වෛද්‍ය සැපයුම් ඒකකයට නොමැති බව ප්‍රකාශ කළ සාක්ෂිකරු ඇසට පෙනෙන දේ පිළිවිතර සමඟ ගැලපෙනවද යන්න තොග පාලක නිලධාරීවරයා විසින් බලා  එම සාම්පල පරීක්ෂාව සිදු කරන බව ය.
 
දිනපතා වෛද්‍ය සැපයුම් ඒකකයට විශාල ඖෂධ සහ උපකරණ විශාල සංඛ්‍යාවක් ලැබෙන අතර එක් එක් අයිතමය සම්බන්ධයෙන් තොග පාලන නිලධාරියෙකු වෙන් වෙන්ව පත් කර ඇති බව සාක්ෂිකරු කියා සිටියේය.
 
 
"සාමාන්‍ය රාජකාරියේදී  ඔබ GRN දැක තිබෙනවාද ?"යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර  සාක්‍ෂිකරු කියා සිටියේ  "එම ආකෘති පත්‍ර තමන් දැක ඇති බවත් ඒවා තම අංශයෙන් පවත්වාගෙන යන බවත්ය". 
 
මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විරෝධයක් මතු කළ අතර" මේ සාක්ෂිකරුට GRN සම්බන්ධයක් නෑ.  ඔහුගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරන්න බෑ ." යනුවෙන් ඇය කියා සිටියාය. 
 
මේ ලේඛනය රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ  අවස්ථාවේදී පැමිණිල්ල විසින් සාක්ෂිකරුවන් ඒ පිළිබඳව ප්‍රශ්න කළා. දැන්  විත්තියට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න බැරි බව කියනවා. ඇයි මේ ස්ථාවර දෙකක් එකම කරුණ ගැන ස්ථාවර දෙකක් තිබෙන්න බැහැ "යනුවෙන් එහිදී නීතිඥ අසේල සේරසිංහ මහතා සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන්  නියෝගය ප්‍රකාශ කරමින් විනිසුරු මඬුල්ල සඳහන් කළේ  එම ප්‍රශ්නය සාක්ෂිකරු ට යොමු කිරීමට නීතිඥවරයාට හැකි බවය. 
 
ඒ අනුව සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළ නීතිඥවරයා "GRN ලේඛනය යනු කුමක්ද?" යනුවෙන් විමසා සිටියේය .
 
"ස්වාමීනි, ඒ භාණ්ඩ බාරගත් පසුව දත්ත පදිංචියට ඇතුල් කිරීම ඇතුල් කිරීමේ ලේඛනයක්. භාණ්ඩ බාර ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය වන ලේඛන පරිගණක පද්ධතියට ඇතුළත් කළ ලේඛන තමයි මෙම GRN එකේ ඇතුළත් වෙන්නෙ" යනුවෙන් සාක්ෂිකරු ඊට පිළිතුරු  දුන්නේය .
 
වෛද්‍ය සැපයුම් ඒකකය භාණ්ඩ තොගය ලැබුණු බව තහවුරු කරගන්නේ  GRN ලේඛනයෙන් බව සාක්ෂිකරු එහිදී  කියා සිටියේය. 
 
"වෛද්‍ය සැපයුම් ඒකකයේ පුද්ගලික සැපයුම්කරුවන්ට ගෙවීම් කරනකොට  GRN තහවුරු කරගෙන තමයි ගෙවීම් කරන්නේ නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ තමන් එම ප්‍රශ්නයට විරෝධය පළ කරන බවය. 
 
විත්තියේ නීතිඥවරයාට" නේද "යනුවෙන් පවසමින් සාක්ෂිකරු ගෙන්ප්‍රශ්න කිරීම් කළ නොහැකි බවද නැවත වරක් අදාළ ලේඛනයේ අන්තර්ගතය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන බවද පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඊට තමන්  විරෝධය පළ කරන බව සඳහන් කළාය. 
 
ඒ අනුව අදාළ ප්‍රශ්නය යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන ලෙස සභාපති විනිසුරුවරයා නීතිඥවරයාට දන්වා සිටියේය. 
 
අනතුරුව සාක්ෂිකරුට එම ප්‍රශ්නය යෝජනාවක් ලෙස නීතිඥවරයා ඉදිරිපත් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ පිළිබඳව තමන් නොදන්නා නමුත් ඊට අදාළ අංශය ඒ පිළිබඳව කටයුතු කරන බවත්ය.
 
වෛද්‍ය සැපයුම් ඒකකයේ පරිගණක අංශයේ සඳුනි ද අල්විස් විසින් විසින් සකස් කිරීමෙන් අනතුරුව සදරප්පෙරුම මහතා විසින් පිටසන් කළ ලේඛනයක් පිළිබඳව නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඊටද  විරෝධය පළ කළාය. 
 
එහිදී අදාළ ලේඛනය  ඉදිරියේදී සදරප්පෙරුම මහතාගේ සාක්ෂිය මගින් ඔප්පු කිරීමට යටත්ව ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දුන් දෙන බව සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේය. 
 
අදාල දත්ත සටහන් අනුව pending ලෙස පැවති ඇනවුම් දෙකක් මාස කිහිපයක් තිස්සේ නොලැබී තිබීම සම්බන්ධයෙන් නීතිඥවරයා සාක්ෂිකරුගේ අවධානය යොමු කළේය. 
 
medicine 20260131
 
අධිකරණය හමුවේ පැ 309 ලෙස ලකුණු කර ඇති මිනිට් සටහන සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නීතීඥවරයා එහි තොග පාලක නිලධාරීවරයා විසින් යොදා ඇති සටහන සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය. 
එහි හියුමන් ඉමියුනෝගිලොබියුලීම් ඖෂධය පවතින තොගය ඒකක 870ක් ලෙස සඳහන් වන අතර  මාසික අවශ්‍යතාවය ඒකක 7500ක්  වන බව  එහිදී නීතිඥවරයා පෙන්වා දුන් අතර සාක්ෂිකරු සඳහන් කළේ එහි එවැනි සටහනක් ඇති බවය. 
 
ඒ වන විට තිබූ ජාතික තොගය  12840ක්  වන අතර එය මාස දෙකකටත් අඩු ප්‍රමාණයක් එය ප්‍රමාණවත් වන බව  නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේ දී සාක්ෂිකරු ඒ බව පිළිගත්තේය. 
 
ඒ අනුව 2023 මැයි 26 වනදා වන විටත් ඖෂධ කළමනාකරණ අත් පොතෙහි  සඳහන් ප්‍රමාණයට වඩා අඩු තොග ප්‍රමාණයක් මෙම ඖෂධයේ පැවැති ඇති බව නීතිඥවරයා පෙන්වා දුන් අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ වන විටත් අදාළ ඇනවුමෙන් කොටසක් පමණක් ලැබී තිබූ බවය. 
 
ඒ වන විට පවතින තොග ප්‍රමාණය ඉතාම අඩු ප්‍රමාණයක් ලෙස පවතින බව නීතිඥවරයා පෙන්වා දුන් අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ වන විට  පැවති ප්‍රමාණය අදාළ ලේඛනයෙහි සඳහන් කර ඇති බවය. 
 
එවන විට පැවැති pending orders  දෙක ඊට මාස හතරකට කලිනුත් ඒ ආකාරයෙන්ම පැවැති බව නීතිඥවරයා පෙන්වා දුන් අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ 2020 පෙබරවාරි මස කරන ලද ඇනවුමේ  පළමු තොගය 2023/11.13 වැනි දින ලැබුණු බව සඳහන් වන බවය.
 
දෙවැනි pending order එකේ ලැබිය යුතු ඖෂධ තොගය 2023 ඔක්තෝම්බර් මාසය වන විටත් ලැබී නොතිබූ බව සාක්ෂිකරු  හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පිළිගත්තේය.ඒ බව 2023 /10/ 13 දරණ වාර්තාවේ සඳහන් වන බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
අදාල ඖෂධ තොගය පළමු කොටස ලැබුණු අවස්ථාවේදී එය බාරගත් තොග පාලක නිලධාරීවරයා" delivery date has been expired" යනුවෙන් සටහනක් තබා ඇති බව සාක්ෂිකරු අදාළ ලේඛන පරීක්ෂා කරමින් සඳහන් කළේය. 
 
ඒ සමගම දිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලද අතර ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කරන ලදී.
 
මෙම ඖෂධයහිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
image 57b44ac72b
 
හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න     

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...