BREAKING
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

සාක්ෂිකරුට ස්වාධීනව සාක්කි දීමට අවස්ථාව දිය යුතුයි - ඖෂධ නඩුවේ විත්තියේ නීතිඥ අසේල සේරසිංහ පවසයි

T

The Leader

June 13, 2026 • 2:53 AM

සාක්ෂිකරුට ස්වාධීනව සාක්කි දීමට අවස්ථාව දිය යුතුයි - ඖෂධ නඩුවේ විත්තියේ නීතිඥ අසේල සේරසිංහ පවසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "සාක්ෂිකරුට ස්වාධීනව සාක්කි කූඩුවේ සිට සාක්කි දීමට අවස්ථාව දිය යුතුයි. බලහත්කාරකම් කරන්නේ නැතුව "යනුවෙන් නීතිඥ අසේල සේරසිංහ මහතා ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළේය.
  •   "එවැනි ආකෘති පත්‍රයක් මේ අදාළ ලිපි ගොනුවේ නොමැති බව" සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කර සිටියේය .
  •   එම විරෝධයට ප්‍රතිවිරෝධය පළ කළ නීතිඥවරයා "ස්වාමීනි මගේ උගත් මිතුරිය උත්සාහ කරනවා විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරමින් මෙම සාක්ෂිකරුගේ සාක්ෂිය වෙනස් කිරීමට.
  •   "ඖෂධයක් ප්‍රමාද වූ අවස්ථාවක වෛද්‍ය සැපයුම් ඒකකය කටයුතු කළ යුතු ආකාරය එහි සඳහන් වනවා නේද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකරු කියා සිටියේ එවැනි තත්ත්වයකදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන කොටසක් එහි ඇතුළත් වන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය ට අදාළ නඩුවේ 177 වන සාක්ෂිකරු ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී ධනේෂ් නන්දන බණ්ඩාර මහතා සාක්ෂි දුන් අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විරෝධයක් මතු කළ අවස්ථාවේදී නීතිඥවරයා මේ බව සඳහන් කළේය.
 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
 
එහිදී මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වන වද්‍ය සැපයුම් එක්වේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම සිදු කළේ ය.
 
අධිකරණය හමුවේ පැ 309 ලෙස නම්කර ඇති 2023 මැයි 26 දරණ මිනිට් සටහනක් වෙත සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නීතිඥවරයා එහි pending orders ඒකක 75000ක් ඇති අතර ඊට අදාළව පැ 300 යටතේ  අධිකරණය හමුවට ඉදිරිපත් කර  ඇනවුම සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය. 
 
"එම ඇනවුම අනුව ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ජනවාරි මාසය වන විට ඒකක 40000ක් සහ ජූනි මාසය වන විට ඒකක 35000ලැබෙන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් delivery plan එකක් ලබාදී තිබෙනවා ඒ බව තමයි මේ සටහනේ තිබෙන්නේ" යනුවෙන් සාක්ෂිකරු එහිදී කියා සිටියේය. 
"අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති 2v36 ලේඛනයට අනුව එම delivery plan එක අනුව අදාල ඖෂධ ලැබී නෑ නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ නොවැම්බර් මස 13 වැනිදා අදාළ ඇනවුමේ පළමු කොටස ලෙස ඒකක 5000ක් ලැබී ඇති බව එහි සටහන්ව ඇති බවය. 
 
"අදාළ ඇනවුම අනුව සැපයිය යුතු ඖෂධ තොගය ජනවාරි සහ ජුනි මස වන විට සම්පූර්ණයෙන්ම ලැබී තිබිය යුතු නමුත් එලෙස ලැබී නොමැති බව  එම සටහනේ සඳහන් වන බව" සාක්ෂිකරු හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළේය. 
 
"සාම්පල් සහ ලේඛන පරීක්ෂා කර අදාළ ඇනවුම් භාරගන්නා බව 2v34  දරන ලේඛණයේ සටහන් කර ඇති අතර  එම භාණ්ඩ තොග භාර ගැනීම සම්බන්ධයෙන් තොග පාලන නිලධාරීවරයාට අදාල ආකෘති පත්‍රය පිරවීමට අවශ්‍යතාවයක් ඇතිවී  නෑ නේද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටියේය.
 
"එවැනි ආකෘති පත්‍රයක් මේ අදාළ ලිපි ගොනුවේ නොමැති බව" සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කර සිටියේය .
 
එහිදී  "ලේඛන සහ සාම්පලවල ගැටලුවක් තිබෙනවා නම් තොග පාලකවරයා විසින් ලිපි ගොණුවේ සටහන් කළ යුතුයි නේද? මෙහි ආකෘති පත්‍රයක් පුරවා නෑ නේද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ "අදාළ තොගය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුව හොත් මිනිට් සටහනකින් හෝ ආකෘති පත්‍රයකින් ඒ පිළිබඳව ඉහළ නිලධාරීන්ගේ අවධානයට යොමු කළ හැකි බව"ය. 
 
"මෙහිදී තොග පාලක නිලධාරීවරයා විසින් මිනිට් සටහනක් ඉදිරිපත් කර සහකාර අධ්‍යක්‍ෂකවරිය ගේ අවධානයට යොමු කර තිබෙන්නේ මෙම තොගය ප්‍රමාද වීම සම්බන්ධයෙන් නේද?"යන ප්‍රශ්නය නීතිඥවරයා යොමු කළ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඊට විරෝධය පළ කළාය .අදාළ සටහන සම්බන්ධයෙන් සාක්ෂිකරු හරහා අර්ථකථනයක් ලබා ගැනීමට නීතිඥවරයා උත්සාහ කරන බවට ඇය සඳහන් කළාය.
 
එම විරෝධයට ප්‍රතිවිරෝධය පළ කළ නීතිඥවරයා "ස්වාමීනි මගේ උගත් මිතුරිය උත්සාහ කරනවා විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරමින් මෙම සාක්ෂිකරුගේ සාක්ෂිය වෙනස් කිරීමට. සාක්ෂිකරුට ස්වාධීනව සාක්කි කූඩුවේ සිට සාක්කි දීමට අවස්ථාව දිය යුතුයි. බලහත්කාර කම් කරන්නේ නැතුව " යනුවෙන්  සඳහන් කළේය.  
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය "මේ සාක්ෂිකරුට අර්ථකථන දෙන්න බෑ .තුන සහ පස්වන විත්තිකරුවන් විසින් එම අවස්ථාවේදී අදාළ සටහන් යෙදුවේ කුමන දේ හිතේ තියාගෙන ද කියල මේ සාක්ෂිකරුට කියන්න බෑ. පැමිණිල්ලට ඔවුන්ගේ හිතේ තියෙන දේ කියන්න බෑ. "යනුවෙන් සඳහන් කළාය.
 
එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා පෙන්වා දුන්නේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නය අදාළ මිනිට් සටහනේ සඳහන්ව ඇති බැවින් එම ප්‍රශ්නයට ඇසීමට අවසර ලබාදෙන බවය. 
 
"අදාළ  මිනිට් සටහනෙන් සහකාර අධ්‍යක්‍ෂකවරියට දන්වලා තියෙන්නේ එම තොගය ප්‍රමාද වීම සම්බන්ධයෙන් නේද?" යනුවෙන් නීතිඥවරයා සාක්‍ෂිකරු ට එම ප්‍රශ්නය නැවත යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "ස්වාමීනි කල් ඉකුත් වූ බව කියලා තියෙනවා. භාණ්ඩ තොගය බාර ගැනීම සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලා තිබෙනවා යනුවෙනි.
 
"ඖෂධයකට ආයු කාලයක් තියෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "ඖෂධයකට ආයු කාලයක් ඇති බව"ය. 
 
"මෙම සටහනේ කාලය ලෙස හඳුන්වන්නේ ඒ ගැන නෙමෙයිද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ මෙහිදී සඳහන් කර ඇත්තේ අදාළ ඖෂධය ලැබිය යුතු දිනය සම්බන්ධයෙන් වන බවය. 
 
"අදාළ ඖෂධයේ ජීව කාලය, ප්‍රමාණය ,ආදිය ආකෘති පත්‍ර පුරවලා පරීක්ෂා කළ යුතුයි නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කල අවස්ථාවේදී සාක්ෂිකරු " එය කළ යුතුයි ස්වාමීනි ඒක මූලිකමය සිද්ධාන්තයක් "යනුවෙන්  පිළිතුරු ලබා දුන්නේය.
 
මෙහිදී හිටපු සෞඛ්‍ය ලේකම්වරයා විසින් සැපයුම්කරුවන්ට යවන ලද ලේඛනයක් සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ නීතීඥවරයා එහි පිටපත් සාක්ෂිකරුට ලැබී තිබෙනවා නේ දැයි ප්‍රශ්න ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේය 
 
සාක්ෂිකරු කියා සිටියේ තමන්ට ද එවැනි ලිපියක් ලැබුණු බවය.
 
"ඖෂධයක් ප්‍රමාද වූ අවස්ථාවක වෛද්‍ය සැපයුම් ඒකකය කටයුතු කළ යුතු ආකාරය එහි සඳහන් වනවා නේද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකරු කියා සිටියේ එවැනි තත්ත්වයකදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන කොටසක් එහි ඇතුළත් වන බවය. තොගයක් ප්‍රමාද වූ විට penalty එකකට යටත්ව ය එම ප්‍රමාද වූ ඖෂධ භාරගත හැකි බව එහි දක්වා ඇති අතර ප්‍රමාද වූ කාලවකවානුව අනුව penalty එක ගණන් කළ යුතු ආකාරය පිළිබඳව එහි සඳහන්ව ඇති බවද සාක්ෂිකරු හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියේය. 
 
මෙම ඖෂධයට අදාළ purchasing orderඑක තිබෙන අතර එහි සැපයුම්කරුට කොන්දේසි ගණනාවක් දක්වා ඇති අතර ප්‍රමාද වී ලැබෙන තොග ය penalty එකක් අය කරගෙන භාර ගත හැකි බව එහි සඳහන් වන බව නීතිඥවරයා සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි සදහනක්  එහි ඇති බවය 
 
"අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති 309 මිනිටි සටහන අනුව තොග පාලක නිලධාරියා විසින් සහකාර අධ්‍යක්‍ෂක  අමතා යෙදූ  සටහනට අදාළව සහකාර අධ්‍යක්ෂවරිය විසින් සටහනක් යොදා තිබෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැනි සටහනක් ඇති බවය. එම සටහන මගින් අධ්‍යක්ෂක, වෛද්‍ය සැපයුම් ඒකකය, ආමන්ත්‍රණය කර ඇති අතර  ප්‍රමුඛතා ලැයිස්තුවේ අයිතම මාසයකට ප්‍රමාණවත් වන බව එහි සඳහන් වන බවද  penalty සමග අදාළ තොගය භාරගන්නා ලෙස එමගින් උපදෙස් ලබාදී ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය .
 
"ඖෂධවල අඩුවක් තියෙනවා නම් දඩයකට යටත්ව බාර ගැනීමට අවකාශ දීලා තිබෙනවා නේද මහත්මයා "යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු ප්‍රකාශ කළේ එවැනි අවස්ථාවක් ඇති බවය. 
 
"ඒ අනුව තමයි දෙවැනි විත්තිකරු approved කියලා සටහනට යොදා තියෙන්නේ නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු "ඔව් "යන පිළිතුරු ලබා දුන්නේය.
 
"මෙම ඖෂධ සඳහා ගෙවීම් කරන්නේ වෛද්‍ය සැපයුම් අංශයෙන් නේද යන ප්‍රශ්නය  නීතිඥවරයා විසින් යොමු කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ සැපයුම් ඒකකයේ ගිණුම් අංශයක් ඇති බවත් penalty අය කර ගැනීම සම්බන්ධයෙන් වන බලතල එම අංශයට ලබා දී ඇති බවත්ය .ඒ අනුව එම අය කර ගැනීම් එම අංශය මගින් සිදු කරනු ඇති කරනු ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
"වෛද්‍ය සැපයුම් ඒකකයට භාණ්ඩ තොගයක් ලබා ගැනීම සඳහා order list එකක් සහ  purchasing order දාන්න ඕන නේද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඒ සඳහා උපදෙස් ලැබුණු බවය .
 
Checklist
 
"අධිකරණය හමුවේ පැය 299 ලෙස ලකුණු කර ඇති  ඕඩර් ලිස්ට් එකක් තිබෙන නමුත් එම ලැයිස්තුවට අනුව  purchasing order නිකුත් වුණේ නෑ නේද ?" යනුවෙන් නීතිඥවරයා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ purchasing order එකක් නිකුත් කළ බවට සටහනක් නොමැති බවය.
 
නීතිඥවරයා: වෛද්‍ය සැපයම් ඒකකයේ හිජාස් මහතා විසින් සකස් කළ වාර්තාවට අවධානය යොමු කරන්න. එහි වගුවේ තිබෙනවා SPC EOI number කියලා. MSD EOI number කියලා තියෙනවා .එකම SR අංකය, එකම තොරතුරු, එකම ප්‍රමාණය ,තමයි එහි සඳහන් වන්නේ ?
 
සාක්ෂිකරු :එහෙමයි ස්වාමීනී 
 
නීතිඥවරයා :මා යෝජනා කරනවා මේ අකුරු දෙකටම අදාළව එකම ඇනවුමක් ක්‍රියාත්මක වූ බව. 
 
සාක්ෂිකරු :එහෙමයි ස්වාමීනී spc ආයතනයට එක් ඇනවුමක් සහ msd එකට අනෙක් ඇනවුම නිකුත් කර තිබුණා. අප දැනුවත්ව හිටියේ වෛද්‍ය සැපයුම් ඒකකය යටතේ ක්‍රියාත්මක වූ ඇනවුම ක්‍රියාත්මක වූ බව පමණයි.
 
නීතිඥවරයා : හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ සඳහා ඒ වගේ වෛද්‍ය සැපයුම් ඒකකයේ order list එකක් සහ spc order list එකක් දාලා තියෙනවා. ලැබිය යුතු ප්‍රමාණය ලෙස සඳහන් වන්නේ 22500යි .
 
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි 
 
නීතිඥවරයා: හිජාස් මහතා සකස් කළේ EOI වලට අදාළ සියලු ඖෂධ නේද? එහි ඖෂධ එක සිය 182ක් තිබෙනවා.
 
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි 
 
නීතිඥවරයා:
ඒ සියලුම ඖෂධ වලට msd  සහ spc order නොම්බරයක් තියෙනවා?
 
සාක්ෂිකරු: ඒක ඒ ආකාරයට සඳහන් වෙනවා 
 
නීතිඥවරයා: ඉන්  දෙකක් තමයි මේ නඩුවේ ප්‍රශ්නගත ඖෂධ දෙක?
 
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනී 
 
නීතිඥවරයා :මෙම ඖෂධ දෙක සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ට තොරතුරු ලබාදෙන විට ඖෂධ 182ම  සම්බන්ධයෙන් තොරතුරු සකස් වෙලා තිබුණ නේද ඒවා විමර්ශනය නිලධාරීන්ට භාර දීමට?
 
සාක්ෂිකරු:  සකස් වෙලා තිබුණා 
 
වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ව සිටි වෛද්‍ය ජී. විජේසූරිය මහතා මේ වන විට විශ්‍රාම ගොස්  සිටින බවත්, ඔහු ගේ අත්සන සහ නිල මුද්‍රාව හඳුනන බවත් , සාක්ෂිකරු කියා සිටියේය. එසේම ඒ. එච්. වශීර් යන නිලධාරියා සැපයුම් අංශයේ සේවය කළ  අතර මේ වන විට විශ්‍රාමිකව සිටින බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
අනතුරුව නීතිඥවරයා ඖෂධ ලැයිස්තුවක් සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ අතර ඒ සකස් කළ නිලධාරියා  ලෙස වශීර් මහතාගේ අත්සන සඳහන් වන බවද ,එම ලැයිස්තුවට හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජී. විජේසූරිය මහතා විසින් අත්සන සහ නිල මුද්‍රාව තබා ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
එම ලැයිස්තුවේ අංක 44 සහ 45 ත් යටතේ මෙම හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධය සඳහන්ව ඇති බව  නීතිඥවරයා පෙන්වා දුන් අවස්ථාවේදී සාක්ෂිකරු එය පිළිගත් අතර ඒ සම්බන්ධයෙන් GRN සටහන් ලැබී තිබෙනවා නම් එය භෞතිකව ලැබුණු තොගයක් ලෙස සලකා බැලීමට හැකියාව ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
National medicines authority 860x430.jpg
ප්‍රමාද වී ලැබෙන ඖෂධ සම්බන්ධයෙන් ගාස්තු අය කිරීමට අදාල තීරුවක් අදාළ සටහනේ ඇති අතර  එම සැපයුම්කරු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ද , WOR යටතේ අදාළ සැපයුම කරන්නේද, යන්න පිළිබඳව සටහන් කිරීමටද එහි අවස්ථාව ඇති බව සඳහන් කළ සාක්ෂිකරු  WOR වලට යටත්ව  සැපයීම සඳහා වූ ඖෂධ 17  පමණ අදාළ ලැයිස්තුවේ ඇතුළත් වන බව  හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පිළිගත්තේය.  
මෙම අයිතමයන්ට අදාළ දිනය ලෙස 2022/12/ 16 වන දින සඳහන්ව ඇති බව සාක්ෂිකරු  සඳහන් කළ අතර නීතිඥවරයා , වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා එම කාලය තුළ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු නොකළ අතර  එම කාලයේදී ඔහු විදේශීය ගතව සිටි බවට තමන් යෝජනා කරන බව කියා සිටියේය. 
 
එහිදී සාක්ෂිකරු සඳහන් කර සිටියේ නොවැම්බර් 15 ට කලින් වන දිනයක්  එහි සටහන් වන බැවින් එම යෝජනාවට එකඟ විය හැකි බවය. 
 
වෛද්‍ය සැපයුම් ඒකකය මගින් රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත ඖෂධ බෙදා හැරීම් සිදු කරන අතර ඊට අදාළව ඖෂධ වර්ග 1340 ක් ඇති බව සඳහන් කළ සාක්ෂිකරු surgical item  ලෙස 8000ක් සහ රසායනාගාර අයිතම 4000ක් ඇති බවද හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළේය. 
 
"ඒ එක් එක් අයිතමය ට අදාළ තොග පාලක නිලධාරීන් වෙන් වෙන්ව සිටිනවා නේද?" යනුවෙන්  ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ සඳහා වෙනුවෙන් වෙන්ව නිලධාරීන් ඇති බවය. 
 
වෛද්‍ය සැපයුම් ඒකකයට දෛනිකව විශාල භාණ්ඩ ප්‍රමාණයක් ලැබෙන අතර භාණ්ඩ භාර ගැනීම සඳහා 2023 සැප්තැම්බර් මාසය වන තෙක් එකම ක්‍රමවේදයක් අනුගමනය කළ බව හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළ සාක්ෂිකරු 2023 ඔක්තෝම්බර් මාසය වන විට ඖෂධ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමට පටන් ගත් බව ට නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු දැක්වීමට එකඟතාවය පළ කළේය. 
 
"එවැනි ගැටලුකාරී අවස්ථාවක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ සෞඛ්‍ය ලේකම් විසින් අදාළ නියෝග නිකුත් කර තිබෙනවාද ?"යනුවෙන්  ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කරේ එවැනි නියෝග නිකුත් කර ඇති බවය.
 
"අදාළ චක්‍රලේඛය අනුව කටයුතු කරන ලෙස වෛද්‍ය සැපයුම් ඒකකයේ DDG විසින් ආයතනයේ නිලධාරීන්ට දැනුම් දීමක් කළාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අතර සාක්ෂිකරු කියා සිටියේ එවැනි දැනුම් දීමක් කළ බවය . නොවැම්බර් මාසයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව ක්‍රමවේදයක් හඳුන්වා දුන් අතර ඊට අදාළව චක්‍රලේඛයක් නිකුත් කළ බවද ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තුමා හරහා තමන්ට දැනගැනීමට ලැබුණු බවද සඳහන් කළ සාක්ෂිකරු අදාළ චක්‍රලේඛයේ සඳහන් අත්සන් තමන්ට හඳුනාගත හැකි බව සඳහන් කළේය.
 
සෞඛ්‍ය ලේකම්වරයාගේ චක්‍රලේඛය 2023/10/30  දින  ලැබී ඇති බව සඳහන් සාක්‍ෂිකරු සඳහන් කළ අවස්ථාවේදී "එහි මුල් පිටපත ලබාගත හැක්කේ කුමන ස්ථානයකින් දැ?" යි නීතීඥවරයා ප්‍රශ්න කර සිටියේය.
 
 එය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලයේ තිබිය යුතු බවට සාක්ෂිකරු කියා සිටියේය..
 
"2023/ 10/30  අමාත්‍යාංශ ලේකම්වරයා විසින් භාණ්ඩ බාර ගැනීම සම්බන්ධයෙන් නව ක්‍රමවේදයක් හඳුන්වා තිබෙනවා දී තිබෙනවා නේද?" යන ප්‍රශ්නය නීතිඥවරයා යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ WOR ලේඛනය අදාළ සැපයුම් සමග ලබාදිය යුතු බවට එම නව ක්‍රමවේදයේ සඳහන් වන අතර  ඊට පෙර එවැනි ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබූ බවය. 
 
2023 /11/02 ට පසු ව සැපයුම් ඒකකය අලුත් ක්‍රමවේදයට අනුව කටයුතු කරන බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
"2023 නොවැම්බර් වන විට වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් තොග පාලක නිලධාරීයා ට රාජකාරී පැවරීමක් කළා නේද ?"යන ප්‍රශ්නය නීතිඥවරයා යොමු කළ අවස්ථාවල එලෙස කටයුතු කළ බව සාක්ෂිකරු කියා සිටියේය. අදාළ චක්‍රලේඛය තමන්ට හඳුනාගත හැකි බවද සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. 
 
What Can I do if someone forged my signature
 
අනතුරුව අදාළ ලේඛනය ඇති අත්සන වෛද්‍ය කපිල වික්‍රමනායක මහතාගේ බව සාක්ෂිකරු හඳුනාගත් අතර එම චක්‍රලේඛයේ දෙවන ඡේදයේ ඇති සඳහන අනුව NMRA ආයතනය විසින් නිකුත් කළ WOR සහතිකයේ මුල් ලේඛන භාණ්ඩ භාර ගැනීමේදී  සලකා බැලිය යුතු බව සඳහන්ව ඇති බව නීතිඥවරයා පෙන්වා දුන් අවස්ථාවේදී සාක්ෂිකරු ඒ බව පිළිගත්තේය. 
 
නීතිඥවරයා:
2023 නොවැම්බර් අග භාගය වන විට වෛද්‍ය සැපයුම් අංශයට  වැඩ බලන අධ්‍යක්ෂක වරයකු පත්වුණා නේද?
 
සාක්ෂිකරු: ඔව් වෛද්‍ය දේදුනු ඩයස් මහතා පත්වුණා 
 
නීතිඥවරයා: 2023 නොවැම්බර් 23 වැනි දින චක්‍රලේඛයක් නැවත නිකුත් කළා නේද?
 
සාක්ෂිකරු: ඔව්, පෙර නිකුත් කර තිබූ චක්‍රලේඛය ට වැඩිමනත් චක්‍රලේඛයක් නිකුත් කළා. 
 
නීතිඥවරයා: ඔය කියන ඖෂධ දෙකට අමතරව 127ක් ම නිකුත් කළේ කපිල වික්‍රමනායක මහතා විදේශගතව සිටි කාලයේදී බව මතකද ?
 
සාක්ෂිකරු: 2022 දී තමයි වැඩි වශයෙන්ම නිකුත් කළේ .
 
නීතිඥවරයා: කපිල වික්‍රමනායක මහතා නැවත පැමිණි පසුව එක ඖෂධ ලිස්ට් එකක් පමණක් නිකුත් කළ බවට මා යෝජනා කරනවා 
 
සාක්ෂිකරු: ඒ පිළිබඳව එම අංශයෙන් විමසිය හැකියි .
 
නීතිඥවරයා: 2023 ඔක්තෝම්බර් මාසයෙන් පසුව ඖෂධ භාර ගැනීම සම්බන්ධයෙන් තොග පාලක නිලධාරීන් කටයුතු කිරීමට බිය වී සිටි කාලයක් තිබුණා නේද?
 
සාක්ෂිකරු: ගැටලුකාරී තත්ත්වයක් තිබුණා පසුව චක්‍රලේඛ නිකුත් කරා උපදෙස් ලබා දුන්නා. ඒ අනුව අදාළ කටයුතු කරගෙන කියා. 
 
නීතිඥවරයා: wor සහතිකය සඳහන් කාලය තුළ භාණ්ඩ රැගෙන ඒමද රේගුවෙන් නිදහස් කර ගැනීමද අවශ්‍ය ?
 
සාක්ෂිකරු : අදාළ කාලය තුළදී අප දෙපාර්තමේන්තුවට භාණ්ඩ බාර දිය යුතුයි. 
 
නීතිඥවරයා :පුද්ගලික ආනයනකරුවන් ට wor එකේ සඳහන් කාලය තුළදී සැපයුම් ඒකකයට එම ඖෂධයේ ආයු කාලය තුළදී සැපයුම් කොන්දේසි වලට අනුකූලව ලබාදීමට බාධාවක් නෑ නේද?
 
සාක්ෂිකරු: කොන්දේසි වලට අදාළව ලබාදීලා තිබෙනවා නම් එම බාර ගැනීම සිදු කරනවා.
 
නීතිඥවරයා: ඒ සම්බන්ධයෙන් msd එකට දැනුවත් කළා කියලා මතකද?
 
සාක්ෂිකරු :ලිපියක් ලබා දුන්නා ස්වාමීනී 
 
නීතිඥවරයා: 2012 සැප්තැම්බර් වන විට ලංකාවේ ගැටලුකාරී දේශපාලන ආර්ථික තත්ත්වයක් ඇතිවී තිබුණා නේද?
 
සාක්ෂිකරු. ඒ ආකාරයේ ගැටලු වාර්තා වෙලා තිබුණා.
 
නීතිඥවරයා: ඒ වන විට ලැබිය යුතු ඇතැම් ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ නොමැතිව cancel කරන්න එපා කියලා දැනුම් දීමක් කර තිබුණාද?
 
සාක්ෂිකරු :එවැනි දැනුම් දීමක් තොග පාලන අංශයට ලැබී තිබුණා 
 
"මෙම නඩුවට පාදක වී ඇති හියුමන් ඉමියුනෝගිලොබියුලීම් ඖෂධය භාර ගැනීමේ ක්‍රමවේදය ම රිටොප්සිමැබ් ඖෂධය භාර ගැනීමේදී ද අනුගමනය කළේ දැයි" නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එම ප්‍රශ්නයට විරෝධය පළ කළාය. ඇය සඳහන් කළේ මෙම සාක්ෂිකරු භාණ්ඩ භාර ගැනීමක් නොකරන අතර ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට  ඔහුට හැකියාවක් නොමැති බවය.
 
එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ ඖෂධ භාර ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව ප්‍රශ්න කළ හැකි බවය. 
 
එහිදී නීතිඥ අසේල සේරසිංහ මහතා පෙන්වා දුන්නේ තමන් අදාළ ක්‍රමවේදය පිළිබඳව සාක්ෂිකරුගෙන් විමසීමක් කළ බවය.
 
අදාළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ සාමාන්‍ය ක්‍රියාවලිය අනුව අදාළ භාණ්ඩ භාරගැනීම සිදුවූ අතර රිටොප්සිමැබ් ඖෂධය සම්බන්ධයෙන්ද එකම ක්‍රියාවලිය සිදුවූ බවය. 
 
එම ඖෂධය භාර ගැනීමට අදාළව තොග පාලක නිලධාරි ප්‍රියන්ත කස්තුරිසිංහ යන අයගේ ගොනුව පරීක්ෂා කිරීමක් නොකළ බවද ඒ සඳහා තමන්ට අවශ්‍යතාවයක් නොතිබූ බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
තොග පාලක නිලධාරියා අදාළ භාණ්ඩ තොගය පරීක්ෂා කර නිර්දේශය ලබාදීමෙන් පසු සහකාර අධ්‍යක්ෂක සෑහීමකට පත් වෙනවා නම් අදාළ තොගය භාර ගැනීම සිදුකරන බව සාක්ෂිකරු එහිදී හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
 
ඒ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් පමණක් අධ්‍යක්ෂකවරයාට යොමු කරන බව සාක්ෂිකරු කියා සිටි අතර ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමක් ඔහුගෙන් සිදුකරන බව සඳහන් කළේය. 
 
අධිකරණය හමුවේ ලකුණු කර ඇති 95 ගොනුවට නැවත සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නීතිඥවරයා " ඒ වන විටත් පැවති ඖෂධ ප්‍රමාණය 870 හැත්තෑවක් ලෙස නේද සඳහන් වන්නේ?" යනුවෙන් සාක්ෂිකරු ගෙන් විමසීමක් කළ අතර මාසික අවශ්‍යතාව 7500ක් වන බවද  ඒ වන විට පැවති ඖෂධ දින දෙක තුනකට පමණක් සෑහෙන බව නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කරේ එවැනි ආසන්න දින ප්‍රමාණයකට අදාළ ඖෂධ ප්‍රමාණවත් වන බවය. 
 
ඒ සමගම දෙවැනි විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලද අතර දහවෙනි විත්තිකරු වෙනුවෙන්  පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය. 
 
medicine 250722
"ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයක් පවත්වා ගනිමින් රටේ ජනතාවට රෝහල් ආශ්‍රිතව ඖෂධ ලබාදීම සඳහා සැපයීම් කරන එකම ආයතනය ලෙස වෛද්‍ය සැපයුම් ඒකකය හඳුන්වා දිය හැකි නේදැ?"යි නීති ජනාධිපති නීතිඥවරයා එහිදී සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඒ සඳහා ආනයන ක්‍රියාවලියක් සිදු කරන අතර තොග කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියක් සිදුකරන බවය.  
"එහිදී පෙර වර්ෂවල භාවිතා කළ ඖෂධ ඇගයීම් කර ඊළඟ වර්ෂයට අවශ්‍ය  ඖෂධ ප්‍රමාණය තීරණය කිරීමක් කරනවාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු  කියා සිටියේ සාමාන්‍යයෙන් එලෙස කටයුතු කරන බවය. රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන වලට ඖෂධ බෙදා හැරීම වෛද්‍ය සැපයුම් ඒකකය මගින් සිදුකරන අතර  ලැබීම් සහ නිකුත් කිරීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යන බව සාක්ෂිකරු කියා සිටියේය.
 
"අදාළ තොග නිසි ලෙස පවත්වාගෙන යාමේ වගකීමක් ප්‍රධාන තොග පාලක නිලධාරීවරයාට පවතිනවා නේද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ප්‍රධාන තොග පාලක නිලධාරීවරයාට මෙන්ම සහකාර අධ්‍යක්ෂක අධ්‍යක්ෂක ඇතුළු සියලු දෙනාටම ඒ සම්බන්ධයෙන් පොදු වගකීමක් ඇති බවය. 
 
"තොග පාලනයේදී තොග ශුන්‍ය නොවන පරිදි පවත්වාගෙන යාම ප්‍රධාන තොග පාලක වරයාගේ වගකීමක් නේද?" යන ප්‍රශ්නය ජනාධිපති නීතිඥවරයා යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එය  සියලු දෙනාගේම වගකීමක් වන බවය. සියලු දෙනාටම වගකීම සමානව බෙදී  තිබෙන බව සාක්ෂිකරු එහිදී කියා සිටියේය. 
 
ජනාධිපති නීතිඥවරයා:
ඖෂධ කළමනාකරණය සඳහා ඇති මාර්ගෝපදේශ ඇතුළත් අත්පොත සම්බන්ධයෙන් ඔබට අවබෝධයක් තිබෙනවාද? 
 
සාක්ෂිකරු :ඔහු ස්වාමීනී 
 
ජනාධිපති නීතිඥවරයා :ඖෂධ තොග හිඟවන අවස්ථාවලදී අවශ්‍ය තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි සඳහන් වෙනවා නේද?
 
සාක්ෂිකරු: එහි සඳහන් වෙනවා ස්වාමීනි 
 
ජනාධිපති නීතිඥවරයා. තොග ශුන්‍ය වීම වළක්වා ගැනීමට නිරන්තරයෙන් අධීක්ෂණය පවත්වාගත යුතු බව ඒ සඳහන් වනවා නේද?
 
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි 
ජනාධිපති නීතිඥවරයා :එහිදී ඖෂධවල ගුණාත්මක භාවය ගැන හෝ අහිතකර ප්‍රතිඵල ඇත්නම් ඒ ඖෂධය රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් මෙහි සඳහන්ව තිබෙනවා නේද?
 
සාක්ෂිකරු :ඔව් ස්වාමීනී 
 
ජනාධිපති නීතිඥවරයා :ඖෂධ ශුන්‍ය වීම හේතුවන කාරණා ප්‍රායෝගික අත්දැකීම් ආශ්‍රයෙන් හඳුනාගත හැකි අවස්ථා මේ සඳහන්ව තිබෙනවා නේද?
 
සාක්ෂිකරු :ගැනුම් ඇනවුම්  නිසි පරිදි නිකුත් කරන්න ඕන , ඖෂධ තක්සේරු කිරීමෙන් පසු ඇත්ත වශයෙන්ම භාවිතා කරන ප්‍රමාණය පිළිබඳව සොයාගත හැකියි. 
 
වාර්ෂිකව කරන ඇස්තමේන්තුව ට වඩා පරිභෝජනය වැඩි වන අවස්ථා තිබෙන අවස්ථාවලදී ඇනවුම් ගත ක්‍රියාවලිය සිදුකළ හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය. "ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී ක්‍රියාවලියකින් පසුව සැපයුම් නිසි කලට ලබා නොදීම හේතුවෙන් තොග හිඟ තත්වයක් ඇතිවිය හැකියි නේද ?" ප්‍රශ්නය ජනාධිපති නීතිඥවරයා යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවය.
 
එහිදී ven clacification වල ඇතුළත් ඖෂධ වලට ප්‍රමුඛතාවයක් ලබා දෙන බව ජනාධිපති නීතිඥවරයා යොමු කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේය. 
 
medicine storage
වෛද්‍ය සැපයුම් ඒකකය ඖෂධ බෙදා හැරීමේ කේන්ද්‍රස්ථානය වන අතර මාස තුනකට අදාළව ස්වාරක්ෂක තොග පවත්වාගත යුතු බවට එහි සඳහන් වන කාරණය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී "ඖෂධයක මාසික අවශ්‍යතාවය මෙන් තුන් ගුණයක් පවත්වාගෙන යා යුතු බව තමයි මෙහි සඳහන් වෙන්නේ.ලැබෙන්න තියෙන ඇනවුම මගින් නිකුත් කළ ප්‍රමාණය replace වනවා. තොග එන විට, හිඟ වන තොගය කළමනාකරණය වෙනවා .නියත වශයෙන්ම මාසය තුනක් එක දිගටම තොගයක් පවත්වාගෙන යාම ඉන් අදහස් වන්නේ නෑ. තොග ප්‍රමාණය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම තමයි එහි අදහස් වන්නේ. නිශ්චිත තොගයක් මාස තුනකට පවත්වාගත යුතු බව නෙමෙයි එහි සඳහන් වෙන්නේ." යනුවෙන් සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේය. 
"ස්වාරක්ෂක තොගයක් පවත්වාගෙන යාම  කියන්නේ මාස තුනකට අදාළ තොග පවත්වාගෙන යා යුතු බව නේද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "එකම තොගය මාස තුනකට අදාළව පවත්වාගෙන යාම ඉන් අදහස් නොකරන බවත්, ඖෂධ ලැබීමේ ක්‍රියාවලිය ආවර්තිත ව සිදුවන බවත්ය. 
 
තොග ශුන්‍ය වීම විවිධ හේතූන් නිසා සිදුවිය හැකි බවද සාක්ෂිකරු එහිදී හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය. Quality failure වූ අවස්ථාවක ඖෂධ ශුන්‍ය විය හැකි අතර සැපයුම්කරුගේ තොග නිසි වෙලාවට නොලැබුණු අවස්ථාවකදීද තොග ශුන්‍ය වීමක් ඇතිවිය හැකි බව සාක්‍ෂිකරු කියා සිටියේය. 
 
"එවැනි අවස්ථාවක භාවිතා කිරීම සඳහා නේද මාස තුනකට ස්වාරක්ෂක තොගයක් තබාගත යුතු බව කියන්නේ? ස්වාරක්ෂක තොගයක් මාස තුනක් පවත්වාගෙන යා යුතු බව කියන්න එපා කියලා ඔබට කවුරු හරි කිව්වද? යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "ස්වාමීනී, සාමාන්‍ය ක්‍රමය තමයි මම කිව්වේ. තොගයක් මාස තුනක් හිර කරගෙන ඉන්නවා කියන නෙමෙයි මෙහි අදහස් වෙන්නේ. එම තොගය ඉදිරියට පවත්වාගෙන යාම තමයි එහි සඳහන් වෙන්නේ. තොග ලැබෙනවා, තොග නිකුත් කරනවා, නැවතත් තොග ලැබෙනවා එය තමයි තොග කළමනාකරණය කියන්නේ යනුවෙන් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
 
"යම් ඖෂධයකින් තොගයක් මේ රටේ රෝගීන්ට බෙදා දීමට තිබිය යුතුයි නේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ" විශේෂ අවස්ථාවලදී තොග ශුන්‍ය වීමක් සිදුවිය හැකියි. එහිදී විශේෂ පියවර ගන්න බලධාරීන්ට සිදුවෙනවා.මා  සඳහන් කළේ සාමාන්‍ය ක්‍රියාවලිය පිළිබඳවයි "කියා සිටියේය.
 
වෛද්‍ය සැපයුම් ඒකකය සහ රෝහල් සම්බන්ධයෙන් පවතින මාසික අවශ්‍යතාවය ගණනය කර බලා එම ආයතන සම්බන්ධයෙන් වන අවශ්‍යතාවය ඇසුරින් ජාතික අවශ්‍යතාවය සලකා බලන බවද සාක්ෂිකරු සඳහන් කළ අවස්ථාවේදී "ජාතික අවශ්‍යතාවය ලෙස හඳුන්වන්නේ රෝහල්වල අවශ්‍යතාවය ද ?"යන්න ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.
 
 රෝහල්වල පවතින තොගය 12 න් බෙදීමෙන් මානසික අවශ්‍යතාවය ගණනය කිරීමක් සිදුකරන බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. 
 
"වෛද්‍ය සැපයුම්  ඒකකය මාස තුනක ස්වාරක්ෂක තොගයක් සමග අනෙකුත් ආයතන වල මාස එකක හෝ දෙකක ස්වාරක්ෂක තොග පවත්වාගත යුතු බවට  ඖෂධ අත්පොතේ සඳහන් වන්නේ මොකක්ද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ" ආයතන මට්ටමින් මාස එකක හෝ දෙකක තොග පවත්වාගෙන යා යුතු බව එහිදී සදහන් කර ඇති බවය. වෛද්‍ය සැපයුම් ඒකකයට තොග ලැබෙන  අඛණ්ඩ ක්‍රියාවලියක් සිදුවන බවද තොග ලැබෙන පරිදි කළමනාකරණය කරගෙන යා යුතු අතර මාස තුනකට  අදාළව අඛණ්ඩ තොග පවත්වාගෙන යා යුතු බව මින් අදහස් නොකරන බව"ද සාක්ෂිකරු එහිදී කියා සිටියේය 
 
"මෙම අත්පොතේ සිංහල අනුවාදයක් තිබෙනවාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා එහිදී ප්‍රශ්න කළ අතර සාක්ෂිකරු කියා සිටියේ එවැනි අනුවාදයක් නොමැති බවය.
 
සාමාන්‍ය ක්‍රමවේදය අනුව ඖෂධ ඇනවුම් ලබාදීම තමන් විසින් සිදු කරන අතර ඊට පරිබාහිරව සිදු කරන ක්‍රියාවලියක් ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන බවද ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදුවීමෙන් පසු ඊට අදාළ තොරතුරු අනුව කටයුතු  සිදුකරන බවද අදාළ තොරතුරු pronto පරිගණක පද්ධතියේ සඳහන් වන බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
තොරතුරු පද්ධතියට පිවිසීම laptop පරිගණකයක් හරහා ඕනෑම ස්ථානයකින් සිට සිදුකළ හැකි බවද සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
 
 මේ වන විට එම දත්ත පද්ධතිය ක්‍රියාත්මක නොකරන අතර "ස්වස්ථා" නොමැති පරිගණක පද්ධතියක් විය ක්‍රියාත්මක වන බවද සාක්ෂිකරු එහිදී කියා සිටියේය. 
 
ඒ සමගම දිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදි.
 
court justice law trial male 600nw 2550723681
අනතුරුව අධිකරණය ඇමතූ මෙම නඩුවේ නමවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රාහුල් ජයතිලක මහතා සඳහන් කළේ තමන් නීතිඥවරයකු ලෙස ඉදිරියේදී මෙරට කටයුතු නොකරන බැවින් තමන් මෙම නඩුවෙන් ඉවත්වන අතර 09 වන විත්තිකරු වෙනුවෙන් වෙනත් නීතිඥවරයකු පෙනී සිටින බවය . ඒ අනුව අදාල විත්තිකරුගේ අධි චෝදනා පත්‍රය අධිකරණය හමුවේ එම නීතිඥවරයා වෙත භාර දෙන බවද අනෙකුත් ලියකියවිලි පසුව ඔහු වෙත භාරදෙන බවද නීතීඥවරයා කියා සිටියේය.  
එම අවස්ථාවේදී එම නීතිඥවරයාට සුබපැතූ විනිසුරු මඩුල්ල මෙම නඩු කටයුත්තේ දී අධිකරණයට ලබාදුන් සහය සම්බන්ධයෙන් ස්තුතියි පළ කළේය. 
 
 අනතුරුව ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කරන ලදී.
 
මෙම ඖෂධය හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
medicine 20260131
හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ. 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වසුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න    

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...