ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය ට අදාළ නඩුවේ 177 වනසාක්ෂිකරු ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී ධනේෂ් නන්දන බණ්ඩාර මහතා සාක්ෂි දුන් ආකාරය සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විරෝධයක් මතු කළ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල විසින් මෙම අවවාදය දෙන ලදී.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
එහිදී මෙම නඩුවේ දෙවෙනි විත්තිකරු වන වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා මෙම සාක්ෂිකරු සාක්ෂි දෙන අවස්ථාවේදී අවධානයට යොමු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක්, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක මහතා විසින් නිකුත් කර චක්‍රලේඛයක් සහ ඊට අදාළ දෙක ලිපියක්, ඔහු විසින් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේරත් වෙත නිකුත් කරන ලද ලිපියක් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේරත් මහතා විසින් නිකුත් කරන ලද අභ්‍යන්තර චක්‍රලේඛයක් ඇතුළු ලේඛන කිහිපයක මුල් පිටපත් වෛද්‍ය සැපයුම් ඒකකයේ ඇති බව ට සාක්ෂිකරු විසින් සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇති බව ය.
එම ලේඛන වල මුල් පිටපත් අධිකරණ භාරයට ගන්නා ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය .
ඒ අනුව අදාළ ලේඛන වල මුල් පිටපත් අධිකරණය ට ඉදිරිපත් කරන ලෙස වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයාට නියෝග කරන ලදී.
අනතුරුව 10 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති ප්‍රියන්ත නාවාන මහතා මහතා සාක්ෂිකරු ගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
එහිදී සාක්ෂිකරු විසින්, ජනාධිපති කාර්යාලයට, වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය චන්දන විජේසිංහ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂක, සහකාර අධ්‍යක්ෂක 1,2 සහ තොග පාලක නිලධාරින් වෙත යවන ලද ඊමේල් පණිවිඩ කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ප්‍රශ්න විමසීම සිදු කරන ලදි.
අදාළ ලිපි සමග ඒ වන විට වෛද්‍ය සැපයුම් ඒකකයේ සහ ආයතනවල පැවති ජීවිතාරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ තොග තත්ත්වයන් සම්බන්ධයෙන් සාක්ෂි කරු විසින්ම යවන ලද වාර්තා සාක්ෂිකරුගේ අවධානයට යොමු කෙරිණි .
ඒ අනුව විත්තිකරු විසින් 2022 මැයි මස 23 වැනිදා යවන ලද ඊමේල් පණිවිඩය සමග ඇති වාර්තාව අනුව ජීවිතාරක්ෂක ඖෂධ ,අත්‍යවශ්‍ය ඖෂධ සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ ලෙස දක්වා ඇති අතර එම දිනයට අදාළ තොග පිළිබඳ ව සාරාංශ වාර්තාවක් සහ සවිස්තර වාර්තාවක් එහි ඇති බව ජනාධිපති නීතිඥවරයා යොමු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු තමයි සාක්ෂිකරු සඳහන් කළේය.
එදින වන විට කොපමණ ජීවිතාරක්ෂක ඖෂධවල සංඛ්‍යාවක් ශුන්‍ය මට්ටමේ තිබුණේ ද යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ තුනක සහ ආයතන අංශයේ ඖෂධ එකක් ශුන්‍ය මට්ටමේ තිබූ බව ය.
"එම ලැයිස්තුවට අනුව වෛද්‍ය සැපයුම් ඒකකයේ සහ ආයතනවල ඇති තොග ශුන්‍ය වන ඖෂධ රාශියක් තිබෙනවා නේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ පිළිබඳව ඉහළ සිට පහළට පිළිවෙලින් දක්වා ඇති බවය .
එම ලැයිස්තුව අනුව රිටොප්සිමැබ් ඖෂධයේ තොග තත්ත්වය පිළිබඳව ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ වෛද්‍ය සැපයුම් අංශයේ ඒකක 0 ක් සහ ආයතනවල 865 ක් ලෙස පවතින බව සඳහන් වන බවය. එසේම හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය වෛද්‍ය සැපයුම් ඒකකයේ 5511ක් සහ ආයතන වල 4420 ක් ලෙස පවතින බව එම සටහනේ සඳහන් වන බව සාක්ෂිකරු කියා සිටියේය.
"මෙම ඖෂධ දෙකේම පවතින තොග මාසික අවශ්‍යතාවයට අඩුයි නේද? "යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ රිටොප්සිමැබ් ඖෂධයේ මාසික අවශ්‍යතාවයෙන් පවතින ප්‍රමාණය 1.5ක් ලෙස සඳහන් වන අතර හියුමන් ඉමියුනොග්ලොබියුලීම් ඖෂධයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ පවතින තත්ත්වය .73 ලෙස සඳහන් වන බවය. එය ආයතන වල .59 ලෙස සඳහන් වන බවද සාක්ෂිකරු කියා සිටියේය.
ඒ අනුව "එම ඖෂධ දෙකේම මාසික අවශ්‍යතාවය ලැබී නොමැති බව "සාක්ෂිකරු හරස් ප්‍රශ්නයක් වලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
ඖෂධ තොග තත්ත්වය සම්බන්ධයෙන් 2022 ජූනි මස 21 වැනිදා සාක්ෂිකරු විසින් වෛද්‍ය සැපයුම් ඒකකයේ වෛද්‍ය සමන් රත්නායක මහතා සහ එවකට වැඩ බලන අධ්‍යක්ෂක ව සිටි වෛද්‍ය වික්‍රමසිංහ මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් වෙත යොමු කර ඇති ඊමේල් පණිවිඩයක් සහ ඊට අදාල ලේඛන සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කරන ලදී.
එහිදී ජනාධිපති නීතිඥවරයා "වෛද්‍ය සැපයුම් ඒකකයේ පැවති තොග තත්ත්වය දැනුම් දීමට මෙම e mail යැව්වාද ?"යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය .
මෙම ලේඛනය සකස් වන විට පැවති තොග තත්ත්වය සම්බන්ධයෙන් දැනුම් දීමට අදාළ පණිවිඩය යැවූ බවය . "ඒ වන විට තොග ශුන්‍ය වූ අවස්ථා කොපමණ ඖෂධ සම්බන්ධයෙන් තිබෙනවාද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී "ජීවිතාරක්ෂක ඖෂධ එකක්, අත්‍යවශ්‍ය ඖෂධ 147ක් ,ශුන්‍ය බවද ශුන්‍ය මට්ටමේ පැවති බව " සාක්ෂිකරු සඳහන් කළේය.
රිටොප්සිමැබ් සහ හියුමන් ඉමියුනෝගිලොබියුලීම් යන ඖෂධ දෙක අත්‍යවශ්‍ය ඖෂධ ලෙස වර්ගීකරණය කර තිබූ බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
"එම ලැයිස්තුව අනුව එම ඖෂධ දෙකෙහි තොග තත්ත්වයන් පැවතියේ කෙසේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "රිටොප්සිමැබ් ඖෂධය වෛද්‍ය සැපයුම් ඒකකයේ ඒකක 485ක් සහ ආයතනවල 1346ක් ලෙස පැවැති අතර හියුමන් ඉමියුනොග්ලොබියුලීම් ඖෂධය වෛද්‍ය සැපයුම් මේකකයේ ඒක 1365ක් සහ ආයතන වල ඒකක 450065 ක් ලෙස ඇති බව එම සටහනේ සඳහන් වන බවය.
"මෙම ඊමේල් පණිවිඩය යවන 2022 වැනි දින වන විට කොපමණ ප්‍රමාණයක් තොග ශුන්‍ය වී පැවතියා ද? "ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ජීවිතාරක්ෂක ඖෂධ එකක් වෛද්‍ය සැපයුම් ශුන්‍ය තත්ත්වයේ පැවති අතර ආයතන මට්ටමේ හිඟයක් නොපැවති බවය.
අත්‍යවශ්‍ය ඖෂධ එකසිය අසූ නවයක් වෛද්‍ය සැපයුම් ඒකකයේ ශුන්‍ය තත්ත්වයේ පැවැති අතර ආයතන මට්ටමේ ඖෂධ පනස් හතරක් ශුන්‍ය තත්ත්වයේ ඇති බව සාක්ෂිකරු කියා සිටියේය.
එම සටහන අනුව හියුමන්ඉමියුනෝග්ලොබියුලීම් ඖෂධය වෛද්‍ය සැපයුම් ඒකකයේ බින්දුවක් ලෙස පැවති අතර ආයතන වල 1896 ක් පැවැති බවද රිටොප්සිමැබ් ඖෂධය වෛද්‍ය සැපයුම් ඒකකයේ ඒකක එකසිය පනස් නවයක් පැවැති අතර ආයතනවල ඒකක 120ක් ලෙස පැවති බවද සාක්ෂිකරු කියා සිටියේය.
හියුමන්ඉමියුනෝග්ලොබියුලීම් ඖෂධයේ මාසික අවශ්‍යතාවය ඒකක 7500 ක් බවත්,එදින වන විට මාසික තොගය මාසික අවශ්‍යතාවයටත් වඩා අඩු තොගයක් පැවති ඇති බවත් සාක්ෂිකරු හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
ජනාධිපති නීතිඥවරයා: 2022 අගෝස්තු 24 දරණ ඊමේල් පණිවිඩය ඔබේ අවධානයට යොමු කරනවා. එය යොමු කරලා තියෙන්නේ කාටද ?
සාක්ෂිකරු: ජනාධිපති කාර්යාලයට ස්වාමීනී, එහි පිටපත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, සහකාර අධ්‍යක්‍ෂක1,2,, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු පිරිසකට යොමු කර තිබෙනවා.
ජනාධිපති නීතිඥවරයා :මීට පෙර ඊමේල් පණිවිඩ ජනාධිපති කාර්යාලයට යවා නෑ. මේක යැව්වේ ඇයි ?
සාක්ෂිකරු: එය සිදු කළේ වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන විජේසිංහ මහතාගේ උපදෙස් මත. ඔහු කිව්වා මාස තුනකට අඩු තොග ඇති ඖෂධ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට ඊමේල් පණිවිඩ යවන ලෙස. සතියකට සැරයක් එලෙස ඊමේල් පණිවිඩය යොමු කරන ලෙසත් කිව්වා .
ජනාධිපති නීතිඥවරයා: තව කාටද එම ඊමේල් පණිවිඩය යොමු කළේ ?
සාක්ෂිකරු :සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් , සහකාර අධ්‍යක්ෂ 1,2 යනාදී ලෙස යොමු කෙරුණා.
එම ජනාධිපති නීතිඥවරයා: එම ඊමේල් පණිවිඩයේ එදින වන විට පැවති තොග තත්ත්වය සාරාංශයක් ලෙස ඇතුල් කළාද?
සාක්ෂිකරු:ඔව් ස්වාමීනී
ජනාධිපති නීතිඥවරයා: මාස තුනකට අඩු තොග පැවැති ඖෂධ පිළිබඳව ඉදිරිපත් කළාද ?
සාක්ෂිකරු:ඔව් ස්වාමීනී ,ඉදිරිපත් කළා .
ජනාධිපති නීතිඥවරයා: එහි මාස තුනකට වඩා අඩු ජීවිත ආරක්ෂක ඖෂධ කොපමණ සංඛ්‍යාවක් තිබුණාද ?
වෛද්‍ය සැපයුම් ඒකකයේ බින්දුවයි . අත්‍යවශ්‍ය ඖෂධ ඒකක එකසිය විසි දෙකක් සහ ආයතන වල ඒකක දහතුනක් අඩු බව දන්වලා තියෙනවා .
අදාළ ලේඛනයේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීම් ඖෂධය වෛද්‍ය සැපයුම් ඒකකයේ 0 ලෙසද ආයතන වල 882ක් ලෙසද තොග තිබී ඇති අතර මාසික අවශ්‍යතාවය වූ ඒකක 7500ට වඩා එම පවතින ප්‍රමාණය අඩු බව සාක්ෂිකරු ලේඛන ය පරීක්ෂා කර බලමින් සඳහන් කළේය.
2022 සැප්තැම්බර් 5 වැනිදා, 2022 සැප්තැම්බර් 9 වැනිදා ,2022 සැප්තැම්බර් 12 වැනිදා, 2022 සැප්තැම්බර් 19 වැනිදා යනාදී ලෙස සාක්ෂිකරු විසින් සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් වෙත යොමු කළ ඊමේල් පණිවිඩ කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා එම අවස්ථාව වන විට පැවති තොග ශුන්‍ය තත්ත්වයන් සහ රිටොප්සිමැබ් ඖෂධය සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීම් ඖෂධය වෛද්‍ය සැපයුම් ඒකක සහ ආයතනවල පැවති තොග තත්ත්වයන් පිළිබඳව ඇමුණුම් වල ඇතුළත් දත්ත ඇසුරෙන් සාක්ෂිකරුගෙන් කරුණු විමසීමක් කළේය.
අදාල සටහන් පරීක්ෂා කර බලමින් එම ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකරු සඳහන් කළේ අදාළ දිනයන් වන විට ඖෂධ තොග තත්ත්වයේ හිඟයක් පැවති ඇති බවය.
2022 සැප්තැම්බර් මස 26 වැනිදා සාක්ෂිකරු විසින් යොමු කර ඇති ඊමේල් පණිවිඩයකට අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා එහි සඳහන් වන්නේ වෛද්‍ය සැපයුම් ඒකකයට අදාළව පැවති තොග තත්වයන් පිළිබඳව තොරතුරුදැයි සාක්ෂිකරුගේ විමසීමක් කළේය.
අදාළ සටහන අනුව 2022 සැප්තැම්බර් 22 වන විට ජීවිතාරක්ෂක ඖෂධ එකක් සහ අත්‍යවශ්‍ය ඖෂධ එකසිය හතලිස් හයක තොග නොමැති බව අදාළ සටහනේ සඳහන් වන බවද සාක්ෂිකරු කියා සිටියේය.
"මාස තුනකට අදාල ඖෂධ නොමැති බව සටහනේ ඇති අතර එම සටහන අනුව මාස තුනකට ප්‍රමාණවත් තොග නොමැති අත්‍යවශ්‍ය ඖෂධ වල ලැයිස්තුවක් සකස් කළාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැනි ලැයිස්තුවක් සකස් කළ බවය.
එම ලැයිස්තුව අනුව හියුමන් ඉමියුනොග්ලොබියුලීම් ඖෂධය වෛද්‍ය සැපයුම් ඒකකයේ ඒකක 130කි ලෙස පැවති අතර ආයතනවල 3936 පැවති බව සාක්ෂිකරු සඳහන් කළේය. එහි මාසික අවශ්‍යතාවය හත්දහස් පන්සියයක් ලෙස සඳහන්ව ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය.
"එම දත්ත සටහන අනුව රිටොප්සි මැබ් ඖෂධය තොගය ශුන්‍ය වී තිබුණා නේද? "යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග බිංදුවක් ලෙස අදාළ සටහනේ දැක්වෙන බවය.
ආයතන තුළ ඒකක එකසිය 165 ක් ලෙස සටහන්ව ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය.
තොග ශුන්‍ය වූ ඖෂධ ගණනාවක් එහිදී දක්වලා තියෙනවා නේද ? යන ප්‍රශ්නය ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එක් එක් අයිතමය ට අදාළව එය සටහන් කර ඇති බවය.
අනතුරුව සාක්ෂිකරුගේ අවධානය අධිකරණය හමුවේ පැය 302 ලෙස ලකුණු කර ඇති ලේඛනයට යොමු කළ ජනාධිපති නීතිඥවරයා එම ඊමේල් පණිවිඩයෙන් වෛද්‍ය චන්දන විජේසිංහ මහතාට සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට දන්වා ඇත්තේ "2022 සැප්තැම්බර් මස 22 වන දා පැවති රැස්වීම අනුව ඊමේල් පණිවිඩය යොමු කරන බව නේද?" යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ තමන් එවැනි ඊමේල් පණිවුඩයක් යොමු කළ බවය .
එදින පැවති රැස්වීමට තමන් සහභාගි වූ බවත් වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂක වරයා න සිටි වෛද්‍ය චන්දන විජේසිංහ මහතා, එවකට සිටි සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය චන්ද්‍රගුප්ත , වෛද්‍ය වෛද්‍ය සමන් රත්නායක සහ සැපයුම්කරුවන් පිරිසක් එම රැස්වීමට සහභාගි වූ බව සාක්ෂිකරු කියා සිටියේය .
"එම රැස්වීමෙන් පසුවද මෙම ඊමේල් පණිවුඩය යොමු කළේ?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු කියා සිටියේ එම රැස්වීමෙන් පසු මෙය යොමු කළ බවය
"එම ඊමේල් පණිවිඩය සමඟ මාසයකට වඩා අඩුව පැවති තොග වලට අදාල ඖෂධ ගැන ලැයිස්තුවක් ඉදිරිපත් කළා නේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළේය .
"එම ඊමේල් පණිවුඩයේ අදාළ ලැයිස්තුව ඇතුළත්ව ඇති බව" සාක්ෂිකරු කියා සිටියේය.
"ඔබ මූලික සාක්ෂි දීමේදී 302 ලේඛනය සහ 229 ලේඛන දෙක සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන්නා .එහි පෙන්වන්නේ අභිලාෂ කැඳවීමේ ලේඛනයක් ද?" යනුවෙන් නාධිපති නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර එහිදී එම ප්‍රශ්නයට නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විරෝධය පළ කළාය.
මෙම සාක්ෂිකරු තොග ප්‍රධාන තොග පාලක නිලධාරියා වන අතර අභිලාෂ කැඳවීමේ රාජකාරියට මොහුගේ කිසිදු අදාළත්වයක් නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය එම ප්‍රශ්නය ඇසීම වැරදි සහගත බවට කරුණු ඉදිරිපත් කළාය.
එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ ප්‍රශ්නය වෙනත් ස්වරූපයකින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති නීතියවරයාට දන්වා සිටියේය.
ඒ අනුව ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කරමින් "2022 සැප්තැම්බර් 22 පැවති රැස්වීමට සහභාගි වූ බවට ඔබ කිව්වා නේද?" යනුවෙන් විමසීමක් කළේය.
"රැස්වීම්වලට සහභාගි වී තිබෙනවා" යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නේය.
"අධිකරණය හමුවේ පැ. 293 ලෙස ලකුණු කර ඇති ලේඛනය සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් ඔබෙන් ප්‍රශ්න කළා නේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කරේ ලේඛනය මත ප්‍රශ්න කිරීම් කළ බවත් ඊට අදාළ පිළිතුරු එම ලේඛණය උපයෝගී කරමින් තමන් ලබාදුන් බවත්ය.
ජනාධිපති නීතිඥවරයා:
මෙම ලේඛනය හිජාස් මහතා සකස් කළ බව ඔබ දන්නවා නේද ?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී, ඔහුගේ අත්සන හඳුනාගත හැකි යි .
ජනාධිපති නීතිඥවරයා :මෙහි ඖෂධ එකසිය අසූ දෙකකට අදාළ නම් ,SR අංක ,මාසික අවශ්‍යතාවය, 2022 සැප්තැම්බර් 23 වන දින වන විට ලැබීමට නියමිතව තොග පිළිබඳවත් දැක්වෙනවා නේද ?
සාක්ෂිකරු:ඔව් ස්වාමීනී
ජනාධිපති නීතිඥවරයා:
ඊට අමතරව EOI යටතේ ඇනවුම් අංකය, ප්‍රදානය කරන ලද ඒකක ප්‍රමාණය, සැපයුම්කරුගේ නම, සැපයීමට ඇති දිනය, ආදියත් සටහන් වෙනවා නේද ?
සාක්ෂිකරු:ඔව් ස්වාමීනී
ඒ වන විට තොග ලැබීමට නියමිත තීරුවට අවධානය යොමු කරන ලෙස සාක්ෂිකරුට කියා සිටි ජනාධිපති නීතිඥවරයා එහි සඳහන් 00405301 දරන SR අංකයට හිමි ඖෂධය සම්බන්ධයෙන් සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න කර සිටියේය.
" මාසික අවශ්‍යතාවය ලෙස කොපමණ ප්‍රමාණයක් සඳහන්ව ඇත්තේද ?"යන්න ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "3333 ක් ලෙස එහි මාසික අවශ්‍යතාවය සඳහන්ව ඇති බව"ය.
සැප්තැම්බර් මස 23 වැනි දින ලැබීමට නියමිතව පැවතියේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඇනවුම් කරන ලද තොගයක් බවට එහි සඳහන් කරුණ වෙත සාක්ෂිකරුගේ අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා "එහි ප්‍රමාණය ලෙස ලක්ෂ හතරක් ප්‍රමාණයක් සඳහන් වෙනවා නේදැ?"යි සාක්ෂිකරු ගෙන් විමසා සිටියේය.
සාක්ෂිකරු සඳහන් කළේ එවැනි ප්‍රමාණයක් අදාළ සටහනේ සඳහන් වන බවය.
තවත් අවස්ථා හතරකදී ඇනවුම් මෙම ඖෂධයට ලබා දී තිබීම සම්බන්ධයෙන් සාක්ෂිකරු ගෙන් කරුණු විමසා සිටි ජනාධිපති නීතිඥවරයා "එම ඇනවුම් සියල්ලෙහි එකතුව ගත් විට කොපමණ ප්‍රමාණයක් වන්නේ ද?"සාක්ෂිකරු ගෙන් විමසීමක් කළේය.
එහිදී සියලුම ඇනවුම් වල එකතුව ගණනය කළ සාක්ෂිකරු එය 834604ක් වන බව කියා සිටියේ ය.
"එම එකතුවෙහි සඳහන් වන්නේ 2021 වසරේ සිට 2022 සැප්තැම්බර් මස 22 වැනි දා දක්වා ලැබීමට නියමිත සියලුම ඇනෝම් වල තොගයන් ගේ එකතුව ද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ 2021 වසර ත් ඇතුළුව ලැබීමට නියමිත සියලු ඇනවුම් වල එකතුව එහි ඇතුළත් වන බවය.
අධිකරණය හමුවේ 10 v167 ලෙස ලකුණු කර ඇති ලේඛනයට සාක්ෂිකරුගේ අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා "අදාළ SR අංකය දරන ඖෂධය සැප්තැම්බර් 26 වැනිදා වන විට වෛද්‍ය සැපයුම් ඒකකයේ පැවති තොගය කීයද?" යනුවෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය .
පිළිතුරු දුන් සාක්ෂිකරු කියා සිටියේ 1988ක් ලෙස එහි සඳහන් වන බවය එම ඖෂධයේ මාසික අවශ්‍යතාවය 3333 ක් වන අතර මාසික අවශ්‍යතාවයටත් අඩු ප්‍රමාණයක් ඒ වන විට පැවති ඇති බව සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය .
පැ. 293 ලෙස ලකුණු කර ඇති ලේඛණයට අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා එහි අනු අංක හතර යටතේ ඇති ඖෂධයේ ඇනවුම පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිතව තිබූ නමුත් එය ලැබී නොමැති බව අවධානයට ලක් කරමින් සාක්ෂිකරු ගෙන් විමසා සිටියේ "ඒකක 15000ක අවශ්‍යතාවය සඳහා කොපමණ ඇනවුම් ප්‍රමාණයක් සිදුකර තිබේද ?"යන්න පිළිබඳවය.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ "2020 වර්ෂය ත් ඇතුළුව 2021,2022 යන වර්ෂවල ඇනවුම් සියල්ල ම සැලකිල්ලට ගත්විට 735000 ක ඒකක ප්‍රමාණයක් පෙන්නුම් කරන බව"ය .
"2022 සැප්තැම්බර් 23 වන විට ලැබී තිබුණු තොගය ප්‍රමාණය කීයද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඒකක 15000ක් ලෙස අදාළ සටහනේ සඳහන් වන බවය.
"ඒ වන විට ඒකක 735000කට ඇනවුම් ලබාදී ඇති බව පිළිගන්නවාද ?"යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ " සටහන අනුව පිළිගන්නා බව"ය.
"සැප්තැම්බර් මස 2022 සැප්තැම්බර් මස 26 වන විට ඇත්ත වශයෙන්ම තිබුණු තොග ප්‍රමාණය කොපමණද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තොග ප්‍රමාණය ඒකක 15000ක්බ වන බවය
"හදිසි ප්‍රසම්පාදන යේ ඇනවුම් ප්‍රමාණය කීයද?" යනුවෙන්ද සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු "ස්වාමීනි , ඒකක 30000ක ඇනවුමක් තිබෙනවා. එය සැප්තැම්බර් මස 26 වන විට කියලා තමයි තිබිලා තියෙන්නේ" යනුවෙන් ප්‍රකාශ කළේය
"සැප්තැම්බර් මස 21 වන විට ආයතන සතුව කොපමණ ප්‍රමාණයක් තිබිලා තිබෙනවාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "ඒකක 2086 ක්තිබී ඇති බව"ය.
SR අංක 00103501 දරන ඖෂධය වෙත සාක්ෂිකරුගේ අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා "එහි මාසික අවශ්‍යතාවය ඒකක 16000 බව ට පෙන්නුම් කරන්නේ ද?" යනුවෙන්, සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය .
සාක්ෂිකරු කියා සිටියේ "එම ඒකක ප්‍රමාණය ලෙස අදාළ සටහනේ දැක්වෙන බව"ය
"2023 සැප්තැම්බර් 23 වන විට ලැබීමට නියමිත ඇනෝම් සංඛ්‍යාව කීයද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "පරිගණක සටහනේ එය 4ක් ලෙස පෙන්නුම් කරනවා" යනුවෙනි.
"එම ඇනවුම් හතරේම ඒකක කීයක් ලැබෙයි කියලා වෛද්‍ය සැපයුම් ඒකකය එක බලන් හිටියද ?"යන ප්‍රශ්නය ජනාධිපති නීතිඥවරයා යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ පරිගණක දත්ත අනුව 423905 ලෙස සඳහන් වන බවය.
එම අවස්ථාවේදී සාක්ෂිකරුගේ පිළිතුරු දීමේ විලාසය සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය අධිකරණයේ අවධානය යොමු කළාය.
"ස්වාමීනී මෙම සාක්ෂිකරුගේ සාක්ෂි දීමේ විලාසය සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කළ යුතුයි .ඔහු අහන ප්‍රශ්නයට නෙමෙයි උත්තර දෙන්නේ. හැම වෙලාවෙම සටහනට අනුව කියලා කියනවා. සාක්ෂි කරු අමාත්‍යාංශයේ ප්‍රධාන තොග පාලක නිලධාරීවරයා. හරියට ප්‍රශ්නෙකට උත්තර දෙන්නේ නෑ. ඔහු සාක්ෂි දෙන ආකාරය ගැන බලන ලෙස අධිකරණයේ අවධානය යොමු කරනවා. ඔහුට අවවාද කළ යුතුයි. අධිකරණයෙන් ඉල්ලනවා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස "යනුවෙන් ඇය සඳහන් කළාය.
ඒ සම්බන්ධයෙන් සෙසු සාමාජික විනිසුරුවරුන් සමඟ අදහස් හුවමාරු කරගත් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා "තමුන් සාක්ෂි දෙන අවස්ථාවේදී තොග පාලකවරයා විදිහට ඇති දැනුම භාවිතා කරමින් සාක්ෂි දිය යුතුයි. තොග පාලක විදියට සාක්ෂි දෙන්න" යනුවෙන් සාක්ෂිකරු අමතමින් කියා සිටියේය.
"පැමිණිල්ලට හෝ විත්තියට හෝ අධිකරණයට බෑ සාක්ෂිකරුට මේ පිළිතුරු දෙන්න, මේ පිළිතුරු දෙන්න කියලා කියන්න. සාක්ෂිකරු තමන්ට තියෙන දැනුම භාවිතා කර සාක්ෂි ලබාදිය යුතුයි". යනුවෙන් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.
අනතුරුව අදාළ ප්‍රශ්නය නැවතත් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුට යොමු කිරීමෙන් අනතුරුව සාක්ෂිකරු කියා සිටියේ" ස්වාමීනි "2020,2021, 2022 වසර වල ලබාදී ඇති ඇනවුම් සමග සියලුම ඇනවුම් වල එකතුව 423915ක් ලෙස ලැබිය යුතුව තිබිලා තියෙනවා " යනුවෙන් සඳහන් කළේය.
ජනාධිපති නීතිඥවරයා: එහි මාසික අවශ්‍යතාවය 16,000ක්.
මෙම ඖෂධය සඳහා 423915ක් ලැබෙනකම් වෛද්‍ය සැපයුම් ඒකකය බල බල හිටියා ද?"
සාක්ෂිකරු :මේ ඇනවුම් ලැබීමට නියමිතව තිබුණා
ජනාධිපති නීතිඥවරයා: 2022 සැප්තැම්බර් 26 වන විට SR 0023501 දරන ඖෂධයේ තිබුණු තොග ප්‍රමාණය කීයද?
සාක්ෂිකරු:බින්දුවක් ලෙස තමයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් pending orders තියෙනවා. 2020 ඇනවුම් තිබෙනවා. එම ඇනවුම් කුමන මට්ටමක තිබෙනවාද යන්න පිළිබඳව තහවුරු කරගෙන තමයි හරි දත්ත ගන්න පුළුවන්.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා :
තමුන් මොනවද කියන්නේ? අහන ප්‍රශ්නයට ද පිළිතුරු දුන්නේ ?
සාක්ෂිකරු :ස්වාමීනි මා කිව්වේ මෙම විට ඖෂධයේ ඇනවුම් තිබුණු stage එක බලන්න ඕනේ.
ජනාධිපති නීතිඥවරයා: ඔබගේ ඊමේල් එක සමග යවපු වාර්තාවට දින තුනකට පස්සෙනේ මේ සියලුම නිලධාරීන්ට යවපු වාර්තාව තිබෙන්නේ . මේ ලේඛනය සකස් කරන විට මේ ඒ කාරණා බැලුවෙ නැද්ද?
සාක්ෂිකරු:
වෙන වෙනම බැලුවෙ නෑ ස්වාමීනී. ඒවාට පැවති තොග පිළිබඳව පමණයි බැලුවේ
ජනාධිපති නීතිඥවරයා :සැප්තැම්බර් 26 අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන්ට යවපු ලේඛනය තොග කීයක් තියෙනවද ?
සාක්ෂිකරු :බින්දුවයි ස්වාමීනි
ජනාධිපති නීතිඥවරයා: ඔබේ වාර්තාවේ තියෙන්නේ තොග තත්ත්වය බින්දුවයි කියල. සැප්තැම්බර් 26 දෙන ඉතා වැදගත් එහි මාසික අවශ්‍යතාවය බලන්න 33334 ක් ලෙස එහි සඳහන් වෙනවා නේද ?
සාක්ෂිකරු :ඔව් ස්වාමීනී
ජනාධිපති නීතිඥවරයා: මෙහි තිබෙන ඇනවුම ට අදාළ තොග තත්ත්වය නේද මෙහි තිබෙන්නේ?
සාක්ෂිකරු : 2022 සැප්තැම්බර් 26 වන විට ඒ තොගය ලැබීමට නියමිතව තිබුණා පරිගණක පද්ධතිය අනුව එහෙම පේනවා. ලිපි ගොනුවේ තමයි සැබෑ තත්ත්වය තියෙන්නේ. තොග පාලක නිලධාරියා ළඟ ලිපි ගොනු තිබෙන අවස්ථා තියෙනවා.
ජනාධිපති නීතිඥවරයා : මේ සටහනට අනුව එම තොගය ලැබිලා නෑ නේද ?
සාක්ෂිකරු:
ඔව් ,එමඟින් ඒ ගැන හරියට බලන්න ගොනුව බලන්න ඕන.
ජනාධිපති නීතිඥවරයා: ඒ කරුණු කියලා පාද සටහනක්වත් එහි දැම්මාද ? එහෙම පාද සටහනක්වත් නැතුව තමුන් අධිකරණයට වාර්තා දෙන්නේ මෙතන ඇවිත් වෙන දේවල් කියන්නද? 2023 සැප්තැම්බර් 23 වැනිදා වන විට 258400ම ලැබිලා තිබුණේ නෑ නේද
සාක්ෂිකරු: ලැබිලා තිබුණේ නැති විදිහට තමයි සටහන් වන්නේ
"එම තොගය හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ දෙලක්ෂ පනස්හදස් හාරසියයක් ලෙස සටහන් කර තිබෙනවා නේදැ"යි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "එවැනි ඇනවූම ක් කර ඇති බවය.
එහිදී පරිත්‍යාගය වශයෙන් ලැබීමට නියමිත ඇනවුම් සහ තවත් ඇනවුම් කිහිපයක් සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා එම ඇනවුම් වල කොටසක් ලැබී ඇති අවස්ථා සම්බන්ධයෙන් සහ සම්පූර්ණයෙන්ම ඇනවුම ම නොලැබී ඇති අවස්ථා සම්බන්ධයෙන් සාක්ෂිකරු ගෙන් කරගෙන කරුණු විමසා සිටියේය.
සාක්ෂිකරු කියා සිටියේ පරිගණක දත්ත සටහනට අනුව එම කරුණු එලෙස සඳහන් වන බවය.
ඒ සමගම එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලද අතර ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කරන ලදී.
මෙම ඖෂධය හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද න
ඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
