ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය ට අදාළ නඩුවේ 177 වන සාක්ෂිකරු ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී ධනේෂ් නන්දන බණ්ඩාර මහතා හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සිටියදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විරෝධතා මතු කළ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මෙම ඉල්ලීම කළේය .
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
එහිදී මෙම නඩුවේ 10 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා සාක්ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න විමසීම තවදුරටත් සිදු කළේය.
එහිදී පැ.239 ලෙස අධිකරණය හමුවේ ලකුණු කර ඇති ලේඛනයෙහි සඳහන් 01200201 දරණ SR අංකයට අදාළ ඖෂධය සම්බන්ධයෙන් සාක්ෂිකරු අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා "එම ඖෂධයේ මාසික අවශ්‍යතාවය 2500ක් වන බව සඳහන් කර තිබෙනවා දැ?"යි සාක්ෂිකරු ගෙන් විමසා සිටියේය.
සාක්ෂිකරු එම ප්‍රශ්නයට" ඔව් "ලෙස පිළිතුරු ලබා දුන් අවස්ථාවේදී එම අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා අවස්ථා හතක දී ඇනවුම් ලබා දී තිබෙන තිබීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියේය.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ඒ බව අදාළ වාර්තාවේ සඳහන් වන බව ය.
"එම ඇනවුම සම්පූර්ණ වශයෙන්ම 2022 සැප්තැම්බර් 23 වෙනිදා වන විට ලැබී නෑ නේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ මෙම ලේඛනයෙහි එලෙස සඳහන් වන නමුත් අදාළ ගොනු පරීක්ෂා කර ගැනීමෙන් පසුව සැබෑ තත්ත්වය දැන ගැනීමට හැකිවන බවය.
එහිදී ජනාධිපති නීතිඥවරයා "අදාළ ගොනු ඔබ අධිකරණයට ඉදිරිපත් කළාද? "යනුවෙන් විමසා සිටි අතර සාක්ෂිකරු කියා සිටියේ තමන්ට එවැනි දැනුම් දීමක් නොකළ බවය.
2023 සැප්තැම්බර් 23 වන විට ලැබීමට නියමිත තොග සම්බන්ධයෙන් නේද මේ සටහන සඳහන් වන්නේ. මෙම ලේඛනය 2025 දී සකස් කරන විට 2023දී ලැබීම තිබූ තොග සලකලා බලලා නැද්ද යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එම ප්‍රශ්නයට විරුද්ධය තමන් විරුද්ධ වන බව ප්‍රකාශ කළාය.
එම ලේඛනය සාක්ෂිකරු විසින් සකස් කළ ලේඛනයක් නොවන බවත් වෛද්‍යය සැපයුම් ඒකකයේ හිජාස් මහතා විසින් සකස් කළ වාර්තාවක් බවත් සාක්ෂිකරුට එහි කිසිදු අදාලත්වයක් නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී පෙන්වා දුන්නාය.
එහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සාක්ෂිකරු අධිකරණ ශාලාවෙන් ඉවත්කර අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසය.
එසේ නොවී සාක්ෂිකරු සාක්ෂි කූඩුවේ සිටියදී අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම හේතුවෙන් සාක්ෂිකරුගේ සාක්ෂියට බලපෑමක් වියහැකි බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ ය.
"මගේ උගත් මිතුරියගේ විරෝධතා හේතුවෙන් සාක්ෂිකරුගේ සාක්ෂිය වෙනස් වීමට පුළුවන්. දුරකථන ඇමතුම් මගින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ අවස්ථා තිබෙනවා" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කර සිටියේ එවැනි චෝදනාවක් සම්බන්ධයෙන් සාක්ෂි තිබේ නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය.
එහිදී විනිසුරු මඩුල්ල ජනාධිපති නීතිඥවරයාට දන්වා සිටියේ සාක්ෂිකරුට ඉදිරිපත් කළ ප්‍රශ්නයෙහි ඇතුළත් කරුණ ඉතා වැදගත් වන අතර එය වෙනත් ස්වරූපයකින් ඔහු වෙත යොමු කරන ලෙසය.
එහිදී ජනාධිපති නීතිඥවරයා අදාළ ලේඛනය සකස් කර ඇත්තේ 2025 වසරේදී වන අතර 2023 දී පැවති Pending orders වලින් ලැබී ඇති තොග මෙම ලේඛණය ට ඇතුලත් කර නැද්ද?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය.
එහිදී සාක්ෂිකරු සඳහන් කළේ පරිගණක දත්ත අනුව pending orders ලෙස සටහන් වුවත් සැබෑ ලෙසම අදාළ ඇනවුම් වල තත්ත්වයන් සහ තොග ලැබීමේ තත්ත්වයන් අදාළ ගොනු වලින් පරීක්ෂා කරගත හැකි බවය.
"ඔබ අදාළ ගොනු අධිකරණයට ඉදිරිපත් කරනවාද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා එහිදී ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "ස්වාමීනී , මෙම ඖෂධ සම්බන්ධයෙන් විශාල ගොනු සංඛ්‍යාවක් තියෙනවා. ඒ සියල්ලම අධිකරණයට ඉදිරිපත් කරන්න මට බැහැ". යනුවෙනි
"ලේඛනයේ පවතින දේට අමතර කරුණු කියන්නේ නම් එම කරුණු තහවුරු කිරීම සඳහා අවශ්‍යතාවයක් ඇත්නම් අදාළ ගොනු ඉදිරිපත් කිරීමට ප්‍රධාන පාලක තොග පාලක නිලධාරීවරයා ලෙස කටයුතු කළ යුතුයි". යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "තමන් පෙරදින අධිකරණ කටයුතු නිමවී නිවසට ගිය බවත් අදාළ ගොනු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා උපදෙසක් නොලැබුණු බවත්"ය.
අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති ලේඛනය මත ප්‍රශ්නය ඉදිරිපත් කරන බැවින් ඊට අදාළ පිළිතුර ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා එහිදී සාක්ෂිකරුට කියා සිටියේය.
"ගොනු සම්බන්ධයෙන් ඔබ ඔය කියන කාරණා මෙම ලේඛනය සකස් කරන විට සලකා බැලීමක් සිදු කළේ නැද්ද ?" යනුවෙන් සිදුකර නැතිද යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ අදාළ ලේඛන සකස් කළ නිලධාරියා ගෙන් ඒ පිළිබඳව විමසිය යුතු අතර තමන්ට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති බවය.
"ඔබ වගකිවයුතු නිලධාරියෙක් ලෙස වෛද්‍ය සැපයුම් ඒකකයේ ඇති අදාළ ගොනු බැලුවාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "මට ඒවා බලන්න බෑ. එම ගොනු විවිධ අංශවල තියෙන්නේ" යනුවෙනි .
"ඒ සඳහා උත්සාහයක් කළාද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අතර සාක්ෂිකරු කියා සිටියේ තමන්ට ඒ සඳහා අවස්ථාවක් නොතිබූ බවය.
"තමන්ට නිශ්චය කරගත නොහැකි කරුණු සම්බන්ධයෙන්ද අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙන්නේ?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "පරිගණක දත්ත යාවත්කාලීන කරන නමුත් pending orders තත්ත්වය වෙනස් විය හැකි බවය.
"මේ ලේඛනයේ සඳහන් වන්නේ ඖෂධයට අදාළව ඇනවුම් කරලා ලැබෙනකම් බලා සිටි තොගයක්ද?"යන්න ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "ඒ එම කාල වකවානුවේදී එය ලැබෙන බවට බලා සිටි තොගයක් බව"ය.
"ඒ වන විට මෙම ඖෂධයේ ඒකක 15000ක් ලැබීමට නියමිතව තිබුණා නේද ?" යන ප්‍රශ්නය ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුට යොමු කළ අතර ඔහු සඳහන් කළේ "අදාළ ඇනවුම 2020 වසරේදී සිදුකර ඇති අතර 2023 සැප්තැම්බර් 23 වන විට ලැබිය යුතු ඇනවුමක් ලෙස පවතින බවය.
"2020/SPC/N/R/P/00102 දරණ ඇනවුම යටතේ ඒකක 32000ක් සැප්තැම්බර් 23 වෙනිදා වන විට ලැබිය යුතුව තිබුණේ දැ"යි ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරු ගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ පරිගණක පද්ධතියට අනුව 2020 ලෙස සටහන් වුවද අදාළ ඇනවුම සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ ගොනු වලින් සොයා බැලීමට සිදුවන බවය.
"ඇනවුම් කළ එම තොග හතරම වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබී නැති බව නේද මේ පරිගණක වාර්තාවේ තිබෙන්නේ" යනුවෙන් එහිදී ජනාධිපති නීතිඥවරයා නැවත වරක් ඔහුගෙන් ප්‍රශ්න කර සිටි ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ අදාළ ඖෂධ සම්බන්ධයෙන් ගොනු පරීක්ෂා කර බලා ඒ පිළිබඳව පැවසිය යුතු බවය.
"මේ සටහනට අනුව අදාළ සම්පූර්ණම තොගය ලැබීමට අපේක්ෂාවෙන් සිටි තොග නේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුගෙන් නැවත වරක් විමසා සිටි අතර ඔහු සඳහන් කළේ, මෙහි දක්වා තිබෙන්නේ ඒ වන විට ඇනවුම් වල පැවති සැබෑ තත්ත්වය නෙමෙයි. එය බලාගන්න පුලුවන් ගොනු වලින් තමයි" යනුවෙනි.
එහිදී ජනාධිපති නීතිඥවරයා "ඔබ ආයතනය මහත් විශ්වාසයක් දරන පරිගණක පද්ධතියේ සහ ගොනුවල තියෙන දත්ත වෙනස් බවද ඔබ මේ අධිකරණය හමුවේ කියන්නේ? යනුවෙන් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේය.
එවිට "ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තියෙනවා. එහි විවිධ අවස්ථා තිබෙනවා. ඇනවුම එහි ඕනෑම අවස්ථාවක තිබිය හැකියි. ප්‍රසම්පාදනයක් අවසන් කළ පසුව ගැනුම් ඇනවුම නිකුත් කරනවා. ඊට පසුව තමයි භාණ්ඩ ලැබෙන්නේ. භාණ්ඩ ලැබිලා GRN නිකුත් කළ විට, ඒ පිළිබඳ දත්ත පරිගණක දත්ත පද්ධතියට ඇතුල් කළ විට තමයි pending තත්ත්වයෙන් ඉවත් වන්නේ" යනුවෙන් සාක්ෂිකරු පිළිතුරක් ලබා දුන්නේය.
එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සාක්ෂිකරුවන්ට ප්‍රශ්නයක් යොමු කරමින්" ඖෂධ තොගයක් ලැබීම හැර pending තත්ත්වයෙන් ඉවත්වීමට තවත් හේතූන් තිබෙනවා ද?"
යනුවෙන් විමසීමක් කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ" නෑ ස්වාමීනි, GRN ලැබුණ ට පස්සේ තමයි එය ඉවත් වන්නේ" යනුවෙනි.
"අදාළ ඇනවුම cancel වුණොත් මොකද වෙන්නේ?" යනුවෙන් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රශ්න කර සිටි අතර සාක්ෂිකරු කියා සිටියේ "එවිට pending තත්ත්වයෙන් ඉවත්වන බව"ය.
"Pending කියන්නේ 2023 වසරේදී ඕනෑම අවස්ථාවක එම තොගය ලැබිය හැකි බවද ?" යන්න සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "අදාළ ඇනවුම ක්‍රියාත්මක වුවහොත් ලැබීමට හැකියාව ඇති බවය .ඇතැම් ඇනවුම් යම් යම් හේතූන් මත ක්‍රියාත්මක නොවන බවත්, ඒවා pending ලෙස පද්ධතියේ පෙන්නුම් කරන බවත් , සාක්ෂිකරු එහිදී කියා සිටියේය.
අනතුරුව ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුගෙන් "pending යනුවෙන් ඇති දත්ත වැරදියි කියලද ඔබ කියන්නේ? යනුවෙන් විමසීමක් කළේය.
සාක්ෂිකරු කියා සිටියේ "අදාළ ඇනවුම ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ඕනෑම තැනක තිබිය හැකි බවය."
"සාක්ෂිකරු, මීට අවධානය යොමු කරන්න. මෙම සටහනේ දැක්වෙනවා 2022 වසරේ සැප්තැම්බර් 23 වන විට ලැබීමට ඇති තොග තත්ත්වයන් ලෙස" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා එහිදී සාක්ෂිකරු අමතමින් ප්‍රකාශ කළේය.
"මේ ලේඛනය මත තමයි මම ප්‍රශ්න කිරීම් කරන්නේ .එහි ප්‍රදානයකට අදාළ ඇනවුමක් ලැබීමට තිබෙන බව සඳහන් වෙනවා". යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ පරිත්‍යාග ලෙස ඇති ඇනවුම කුමන හෝ හේතුවක් මත ලැබී නොමැති බවය. එවිට එම ඇනවුම pending ලෙස දත්ත පද්ධතියේ පෙන්නුම් කරන බව සාක්ෂිකරු කියා සිටියේය.
අවස්ථා හතක දී ඇනවුම් කළ තොග වලින් කිසිම ප්‍රමාණයක් 2023 සැප්තැම්බර් මස 23 වැනිදා වන විටත් ලැබී නොමැති අතර pending තත්ත්වයේ පවතින බව ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුට පෙන්වා දුන්නේය.
එහිදී සාක්ෂිකරු කියා සිටියේ" ස්වාමීනි, ගොනුව බලන තෙක් පරිගණක පද්ධතියේ මෙලෙස සටහන් වෙලා තියෙනවා" යනුවෙනි.
"2022 සැප්තැම්බර් 26 දින ඔබ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති ,සෞඛ්‍ය ඇමතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, අතිරේක ලේකම්වරයා, වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සැපයුම්, සහකාර අධ්‍යක්ෂක යනාදී නිලධාරීන් වෙත මෙම SR 01200201 දරණ ඖෂධයේ තොග තත්ත්වයන් පිළිබඳව වාර්තා කර තිබෙනවා. ජනාධිපති කාර්යාලයට එය යවා තිබෙන්නේ 2022 අගෝස්තු 24 වැනිදා. සෞඛ්‍ය අංශයේ අර්බුදයක් තිබූ නිසාද එහෙම කළේ ?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුවන් විමසා සිටි අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම ප්‍රශ්නය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විරෝධය කළාය.
එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමේදී එය මූලික ප්‍රශ්න කිරීම වලට සීමා විය යුතු නොමැති බවය.
ඒ අනුව සාක්ෂිකරුගෙන් නැවත තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකළ ජනාධිපති නීතිඥවරයා "ඔබ විසින් සකස් කරන ලද මෙම වාර්තාව ජනාධිපති කාර්යාලයට යවා ඇත්තේ 2022 අගෝස්තු මස 24 වැනිදායින් පසුව. ඊට පෙර එම තොරතුරු ඔබේ ඉහළ නිලධාරීන්ට නේද? යොමු කළේ "යනුවෙන් විමසීමක් කළ අතර එහිදී සාක්ෂිකරු "ඔව් "යන පිළිතුර ලබා දුන්නේ ය.
ජනාධිපති නීතිඥවරයා :
"මේ වාර්තාවේ msd එකේ තොග සම්බන්ධයෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඖෂධ ගණනාවක ශුන්‍ය තත්ත්වයක් මෙහි දක්වලා තියෙනවා. දිවයින පුරා තියෙන ආයතන ,1100ක ශුන්‍ය තත්ත්වය තමයි මේ වාර්තාවේ තිබෙන්නේ .මෙය පිළිකා රෝගීන්ට දෙන ඖෂධයක් බව ඔබ දන්නවාද?"
සාක්ෂිකරු:
"ඔව් එම ඖෂධය පිළිකා රෝගීන්ට දෙන බව දන්නවා. පැ. 293 වාර්තාව අනුව තොගයක් ලැබී තිබෙනවා
ජනාධිපති නීතිඥවරයා: එය සනාථ කරන්න ගොනුව ඉදිරිපත් කරන්න පුළුවන්ද ?
සාක්ෂිකරු: මෙහි ශුන්‍ය ලෙස සඳහන් වෙනවා. සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වන ප්‍රමාණය බලන්න පුළුවන් වන්නේ ගොනුව අනුව තමයි.
ජනාධිපති නීතිඥවරයා :ඔබ මූලික සාක්ෂි විමසීමේදී ඖෂධ සම්බන්ධයෙන් සාක්ෂි දුන්නේ ගොනු බලලා ද?
සාක්ෂිකරු : ඒ අවස්ථාවේදී තොග ලැබීම් ගැන ඇහුවා විතරයි. ගොනු ගැන ඇහුවේ නෑ ස්වාමීනී.
ජනාධිපති නීතිඥවරයා :ඒ තොග ලැබුනේ කොහොමද? මොනවද කියා කිව්වද?
සාක්ෂිකරු :කුමන හෝ ආකාරයකින් ලැබුණා. ස්වාමීනී, ඒකයි ඒ අවස්ථාවේදී පිළිතුරු දුන්නේ.
ජනාධිපති නීතිඥවරයා: ඔබ සකස් කළ ලේඛනය අනුව ජාතික තොගය 6470 ක් ලෙස සඳහන් වෙනවා. ඒ වන විට වෛද්‍ය සැපයුම් ඒකකය තුළ තිබූ තොගය කොපමණද?
සාක්ෂිකරු :වෛද්‍ය සැපයුම් ඒකකයේ තොගය මෙහිදී වෙනම දක්වලා නෑ ස්වාමීනි.
ජනාධිපති නීතිඥවරයා:
එම තොගය 2023 මාර්තු 31 වන විට 210 ක් එක් අඩුවී තිබෙනවා නේද?
සාක්ෂිකරු:
ඔව් ස්වාමීනී, සටහනේ එලෙස දැක්වෙනවා.
ජනාධිපති නීතිඥවරයා: 2023 දෙසැම්බර් මාසයේ සිට 2023 මාර්තු මස තිස් එක දක්වා මාස හතරක කාලය තුළ තිබූ ඖෂධ ප්‍රමාණය අඩුවෙමින් අඩු වෙමින් ගොස් තිබෙන බව පේනවා නේද? මේ ලේඛනයට අනුව 1300ක්ව තිබූ ඖෂධ තොගය 210ක් තෙක් අඩුවී ඇති බවක් නේද මෙහි සඳහන් වන්නේ?
සාක්ෂිකරු: පරිගණක වාර්තාව අනුව එලෙස සටහන් කර තියෙනවා.
ජනාධිපති නීතිඥවරයා :මාස තුනක් අඛණ්ඩව ඖෂධ තොගයක් අඩුවෙන අතරතුර නව තොගයක් පැමිණ තිබෙනවාද?
සාක්ෂිකරු: නෑ ස්වාමීනී. නමුත් ඊට පසු තොගයක් ඇවිත් තිබෙනවා
ජනාධිපති නීතිඥවරයා: එම ඖෂධ අඩු වෙමින් පවතින විට අඛණ්ඩව ඖෂධ ලබාදීමේ වෛද්‍ය සැපයුම් ඒකකයේ වගකීම අනුව කටයුතු කළ යුතුයි නේද?
සාක්ෂිකරු: මෙවැනි අවස්ථාවල රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඇනවුම් ලබා දෙනවා. ඒ අනුව කටයුතු කරනවා
ජනාධිපති නීතිඥවරයා : 2022 දෙසැම්බර් 31 වැනිදා සිට අඩු වන තොගයට සාරානුකූලව ඒ වන විටත් ඇනවුම් කර තිබූ තොග ලැබී නැති බව පේනවාද ?
සාක්ෂිකරු :ඔව් ස්වාමීනී. මාස තුනකදී ලැබිලා නෑ
මෙම අවස්ථාවේදී විනිසුරු විරාජ් වීරසූරිය මහතා සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කරමින් "2022/09/30,2023/04/30,2023/05/31 තොග ප්‍රමාණයන් ලැබී තිබෙනවා. නොවැම්බර් වන විට ලැබී ඇති තොග ප්‍රමාණය පිළිබඳව ඔබ කිව්වේ නැත්තේ ඇයි? "යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් "ස්වාමීනී, මම ගණනය කළේ දෙසැම්බර් 31 වැනිදා සිට ලැබුණු තොග පමණයි. නොවැම්බර් මාසයේ 800ක පමණ තොගයක් ලැබුණා ." යැයි සාක්ෂිකරු කියා සිටියේය.
එහිදී විනිසුරු විරාජ් වීරසූරිය මහතා "මහත්මයා ඒ එම තොගය ලැබුණු බව මීට පෙර ප්‍රකාශ කළේ නෑනේ. පිළිතුරු දෙද්දී කල්පනා කරලා බලලා උත්තර දෙන්න" යනුවෙන් සාක්ෂිකරුට කියා සිටියේය.
අනතුරුව ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුගෙන් " 2022 දෙසැම්බර් 31 සිට 2013 මාර්තු 31 වැනිදා වන විට තොග අඩුවීම හේතුවෙන් මාසික අවශ්‍යතාවය හෝ තිබී නොමැති බව තිබී නෑ නේද ?"යනුවෙන් විමසීමක් කළේය.
එහිදී සාක්ෂිකරු සඳහන් කළේ "මාසික අවශ්‍යතාවයට අඩු ප්‍රමාණයක් අදාළ වාර්තාවේ සඳහන් වන බව"ය.
එහිදී විනිසුරු විරාජ් විරසූරිය මහතා නැවත සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කරමින්" 2022 දෙසැම්බර් 31 වන දින සිට ජනවාරි, පෙබරවාරි ,මාර්තු තිස් එක දක්වා වන මාස තුළ මාසික අවශ්‍යතාවය තිබේ නෑ. ඒකට මොකද කරන්නේ?" යනුවෙන් විමසා සිටියේය.
එහිදී සාක්ෂිකරු කියා සිටියේ "ස්වාමීනී ආයතන වලට ප්‍රාදේශීය මිලදී ගැනීම් කරන්නට ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තිබෙනවා .ඒ අනුව කටයුතු කරනවා" යනුවෙනි.
එහිදී විනිසුරු විරාජ් වීරසූරිය මහතා "මේ පරිගණක සටහනේ ඒ බවක් සඳහන් වන්නේ නෑ නේද ?"යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය.
"ස්වාමීනී, ප්‍රාදේශීයව මිලදී ගන්නේ කුඩා ඖෂධ ප්‍රමාණයක් .ඒ ප්‍රමාණය පරිගණක සටහන්වලට ඇතුළත් වන්නේ නෑ." යනුවෙන් සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කළේය.
"මහත්මයා අපි දන්නා පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සංකීර්ණ ක්‍රියාවලියක්නේ. එය ප්‍රාදේශීයව කරන්න පුළුවන්ද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරු ගෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ වෛද්‍ය සැපයුම් ඒකකයට ඖෂධ සැපයීමට නොහැකි අවස්ථාවක් උදා වුවහොත් ප්‍රාදේශීයව ඖෂධ ලබාගැනීම සඳහා ආයතන වලට වගකීමක් ඇති බවය.
"තමන් ප්‍රධාන තොග නිලධාරීවරයා ,ඖෂධ සැපයීම වෛද්‍ය සැපයුම් ඒකකයේ රාජකාරියක්, ඖෂධ සැපයීමට හිඟ වුණාම වෛද්‍ය සැපයුම් ඒකකය කටයුතු කරන්නේ කොහොමද කියලා තමුන්ට වගකීමක් තියෙනවා නේද ? එම වාර්තාවට අනුව වෛද්‍ය සැපයුම් ඒකකය තුළ තිබෙන තොග ප්‍රමාණය දැනගන්න බෑ." යනුවෙන් ජනාධිපති නීතිඥවරයා එහිදී සාක්ෂිකරුට කියා සිටියේ ය.
"ඒ අවස්ථාව වන විට තියෙන තොගය දැන ගන්න බෑ ස්වාමීනී. ජාතික තොගය ලෙස තමයි පවතින්නේ" යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කළේය
ජනාධිපති නීතිඥවරයා :ඒක තමයි msd එකේ තොග නැති බව හංගන්නයි හදන්නේ . 2023 සැප්තැම්බර් 23 වන විට මාසික අවශ්‍යතාවය ඒකක පන්සියයක් වූ මෙම ඖෂධය සපයා ගැනීමට දෙන ලද ඇනවුම් වලින් එකම ඇනවුමක් වත් නැති ලැබී නැති බව තමයි පෙනී යන්නේ නේද?"
සාක්ෂිකරු :
09/23 දින වන විට ලැබී නෑ ස්වාමීනි, නමුත් 09/ 30 දින ඒකක 4400 ලැබුණු බව පේනවා.
ජනාධිපති නීතිඥවරයා :තමන් විසින් ඉදිරිපත් කළ දත්ත සටහන් අනුව මෙම ඖෂධය තොග ශුන්‍ය බව දක්වා තිබෙනවා
සාක්ෂිකරු :මේ සටහනට අනුව එසේ තියෙනවා ස්වාමීනි
මෙහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා " pending orders ලෙස සටහන් කර ඇති ඇනවුම් වලින් මෙම සටහනට ඇතුළත් නොවන සැබැවින්ම ලැබුණු ඒවා තියෙන්න පුළුවන්ද?" යන ප්‍රශ්නය සාක්ෂිකරුට යොමු කළේය.
එහිදී සාක්ෂිකරු කියා සිටියේ "ස්වාමීනී, මෙහි තියෙන්නේ pending orders පමණයි. ඒ වන විට ලැබිලා තියෙන මෙහි සඳහන් වන්නේ නෑ. ඒවා GRN කිරීමෙන් පසුව තමයි පරිගණක පද්ධතියට ඇතුල් වන්නේ "යනුවෙනි.
එහිදී සභාපති විනිසුරුවරයා "එවැනි අවස්ථාවකදී මාසික අවශ්‍යතාවය සපිරිලා තියෙන්න පුළුවන්ද ?"යනුවෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු සඳහන් කළේ "එසේ විය හැකි බව"ය.
ඉන් අනතුරුව 01302103 දරන ඖෂධයට කර ඇති ඇනෝම් සහ තොග තත්වයන් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් විමසීමක් කළ ජනාධිපති නීතිඥවරයා 2023 මැයි 31 වන විට ඖෂධයේ මුළු රටේම පැවති ඇති තොගය ඒකක නවයක් වන බවත් පළාත් වශයෙන් ගත් කල එය එක පළාතකට එක් ඒකකයක් ලෙස සැලකිය හැකි බවත් පෙන්වා දෙමින් ඖෂධ කළමනාකරණය තුළ තොග මේ මට්ටමට අඩුවෙන් වීමට ඉඩ දිය හැකිද?"යි සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය .
එහිදී සාක්ෂිකරු කියා සිටියේ "තොග අඩු වැඩිවීම් ක්‍රියාවලිය තුළ සිදුවන අතර තොග අඩු අවස්ථාවල ඖෂධ නීතිගත සංස්ථාවට තොග අවශ්‍ය බව දැනුම් දෙන බවත්, එම කාලය තුළ ලබා ගැනීමට නොහැකි වුවහොත් ආයතන වලට ප්‍රාදේශීය මිලදී ගැනීම් සිදුකිරීම සඳහා අවස්ථාව දී ඇති බවත්ය.ඒ අනුව එම ක්‍රියාවලිය සිදුවන බව සාක්ෂිකරු කියා සිටියේය.
"2022 අප්‍රේල් 31 මැයි 31 වන විටත් එම ඖෂධයේ ඒකක 9 ක් පමණක් රට තුළම පවතින අතර එවැනි දෙයක් ඖෂධ කළමනාකරණය තුළ වීමට පුළුවන් දෙයක්ද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා නැවත වරක් සාක්ෂිකරු ගෙන් විමසා සිටි අතර සාක්ෂිකරුට පිළිතුරු දෙමින් සඳහන් කළේ "ආයතන වලට ඒ සම්බන්ධයෙන් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බවත්, මාස දෙකකට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන් ඉඩ සැලසෙන බවත්"ය.
"අදාළ ප්‍රාදේශීය මිලදී ගැනීම් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම කළ හැකිදැයි" ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "රෝහල්වලින් එම තොරතුරු ලබාගත හැකි නමුත් තමන්ට එම තොරතුරු තහවුරු කිරීමේ හැකියාවක් නොමැති බව"ය
අනතුරුව මාසික අවශ්‍යතාවය 1117 වන 01202401දරණ SR දරන ඖෂධය, මාසික අවශ්‍යතාවය 166000ක් වන SR අංක007101 දරන ඖෂධය, SR අංක 006030 දරන ඖෂධය යනාදියෙහි ඇනවුම් කළ තොග, පවතින තොග තත්වයන් සහ ලැබීමට නියමිතව ඇති තොග තත්ත්වයන් පිළිබඳව සාක්ෂිකරුගෙන් කරුණු විමසා සිටියේය.
සාක්ෂිකරු විසින් සකස් කරන ලද ලේඛනය සහ වෛද්‍ය සැපයුම් අංශයේ ඒකකයේ පරිගණක අංශයේ හිජාස් මහතා විසින් සකස් කරන ලද ලේඛනය ඇසුරෙන් එම තොග තත්වයන් පිළිබඳව සාක්ෂිකරු සාක්ෂි ලබා දුන්නේය.
සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසන අවස්ථා කිහිපයකදීම පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විරෝධය පළ කළ අතර එම විරෝධතා ඉදිරිපත් කළ අවස්ථාවලදී සාක්ෂිකරුව අධිකරණ ශාලාවෙන් ඉවත් කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.
අනතුරුව අදාළ විරෝධතා ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නියෝගය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සාක්ෂිකරු නැවත සාක්ෂි කූඩුවට ගෙන්වා සාක්ෂි විමසීම අවස්ථා කීපයක දීම සිදු කරන ලදී.
සාක්ෂිකරු විසින් සකස් කරන ලද මාසයකට අඩු තොග ඇතුළත් ප්‍රමුඛතා ලැයිස්තුව සම්බන්ධයෙන් ඔහුගේ අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා එහි "හියුමන් ඉමියුනෝග්ලොබියුලීම් සහ රිටොප්සි මැප් ඖෂධ ඇතුළත්ව තිබෙනවා නේද ?"යි සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය.
"එම සටහනෙහි අදාළ ඖෂධ දෙක ඇතුලත් බව" සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
"හියුමන් ඉමියුනෝග්ලොබියුලීම් ඖෂධයේ මාසික අවශ්‍යතාවය 7500 බව ද, එම ඖෂධ වල මාසික අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා තොග නොතිබූ බව"ද එහිදී සඳහන් කෙරිණ.
2023 සැප්තැම්බර් මස 05 වැනිදා එවකට සිටි සෞඛ්‍ය ඇමති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවති බවත් ඊට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, අතිරේක ලේකම්වරයා, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ,ඇතුළු පිරිසක් සහභාගී වී සිටි බව සාක්ෂිකරු සඳහන් කර අතර "ඊට නවාවි මහතා සහභාගිවී සිටියාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු "ඉන්න ඇති "යන පිළිතුර ලබා දුන්නේය.
"එම රැස්වීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහභාගී වුනාද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ ප්‍රශ්නයට ද සාක්ෂිකරු සඳහන් කළේ "ඉන්න ඇති" යනුවෙනි.
එම අවස්ථාවේදී සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කරමින් "සාමාන්‍යයෙන් available යන කරුණ සොයන්නේ කෙසේද?" යනුවෙන් විමසීමක් කළේය
ආයතන සහ වෛද්‍ය සැපයුම් අංශය එහිදී සැලකිල්ලට ගන්නා බව සාක්ෂිකරු කියා සිටියේය
එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා "පැ. 270 සඳහන් ලිපිය හා ඖෂධ ලැයිස්තුව සකස් කිරීමේදී ඒ අනුව ද කටයුතු කළේ ?"යනුවෙන් සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න කර සිටි අතර ඔහු සඳහන් කළේ තමන් එලෙස කටයුතු කළ බවය.
"මෙම ලිපියේ කොහෙද තියෙන්නේ වෛද්‍ය සැපයුම් ඒකකය ට පමණක් සීමා වෙන්න කියලා" යන ප්‍රශ්නය ජනාධිපති නීතිඥවරයා යොමු කළ අවස්ථාවේදී ස්වාමීනී, මට හදන්න කිව්වේ MSD ලැයිස්තුවක්. එයින් පිට හදන්න කියලා ලිපියේ උපදේශයක් ලැබුණේ නෑ. without pending orders කියලා කිව්වාම ජාතික පද්ධතිය තමයි පාදක කරගන්නේ "යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළේය.
"අදාළ ලැයිස්තුව සකස් කිරීමේදී ශුන්‍ය වූ තොග ඇති ඖෂධ සහ මාසයකට වඩා අඩු තොග ඇති ඖෂධ සලකා බලා ඖෂධ 182 ක් ලෙස පද්ධතිය මගින් ලැබුණු දත්ත අනුව සකස් කළ බව "සාක්ෂිකරු කියා සිටියේය.
එහිදී මේ මේ ඖෂධ සම්බන්ධයෙන් තොග පිළිබඳ විස්තර දෙන ලෙස හෝ යම් සැපයුම් කරුවෙක් නම්කර ඒ සැපයුම්කරු ලබාදී ඇති තොග සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස කිසිවෙකු විසින් තමන්ට සඳහන් නොකළ බව හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේය.
2023 සැප්තැම්බර් 05 වැනිදා පැවති රැස්වීමට යන විට වෛද්‍ය සැපයුම් ආයතනයට ලැබීමට නියමිතව තිබූ තොග පිළිබඳව තමන් දැනුවත්ව සිටි බව සාක්ෂිකරු වැඩිදුරටත් හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළේය .
"2022 සැප්තැම්බර් 22 පැවැති රැස්වීමට ප්‍රධාන තොග පාලක ලෙස නේද ඔබ සහභාගි වුණේ. තොග ඵලදායි ලෙස කළමනාකරණය කිරීම නේද ඔබගේ රාජකාරිය?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුට තවත් ප්‍රශ්නයක් යොමු කළ අතර ඔහු සඳහන් කළේ "අධ්‍යක්ෂකතුමා එම රැස්වීමට සහභාගී වන ලෙස තමන්ට දැනුම් දුන් බවත් තමන් ඒ අනුව ඊට සහභාගී වූ බවත්"ය.
එහිදී තොග සම්බන්ධයෙන් අධ්‍යක්ෂකතුමා විසින් තොරතුරු ඉදිරිපත් කළ අතර එම තොරතුරු තමා විසින් අධ්‍යක්ෂකවරයාට ලබා දී තිබූ බව ඔහු කියා සිටියේය.
සැප්තැම්බර් මස 05 වැනිදා සහ 22 වැනිදා රැස්වීම් දෙකක් පැවති අතර ඊට පෙරද විවිධ අවස්ථාවලදී සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඖෂධ සම්බන්ධයෙන් වරින් වර රැස්වීම් පැවැති බව සාක්ෂිකරු සඳහන් කළේය.
එහිදී drug manual අත්පොත ට සාක්ෂිකරුගේ අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා "එහි නිරන්තරයෙන් අධීක්ෂණය කළ යුතු කරුණු සම්බන්ධයෙන් සටහන්ව තිබෙනවා නේද ?" යනුවෙන් සාක්ෂිකරුවන් විමසීමක් කළේය.
සාක්ෂිකරු සඳහන් කළේ එහි එවැනි සටහනක් ඇති බවය.
නිතිපතා පවත්වන රැස්වීම් අමාත්‍යාංශයේ සහ වෛද්‍ය සැපයුම් ඒකකයේ ද පවත්වන බව හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළ සාක්ෂිකරු එම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති රැස්වීම්වලදී ඖෂධ හිඟයක් සම්බන්ධයෙන් වරින් වර කතා කළ බව සඳහන් කළේය.
2022 සැප්තැම්බර් මාසයේ පැවති රැස්වීම්වලදී ඖෂධ හිඟය ගැන කතා කළ බවද එම රැස්වීමෙන් පසුව ලැබුණු උපදෙස් අනුව මාසයකට අඩු තොග ඇතුළත් කොට ඖෂධ 182 ක ලැයිස්තුවක් තමන් විසින් සකස් කළ බවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඇනවුමක් ලබා දුන් බවද සාක්ෂිකරු කියා සිටියේය.
අනතුරුව 2023 සැප්තැම්බර් මස 05 වැනිදා පැවති රැස්වීමට අදාළ මිනිට් සටහනක් සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ ජනාධිපති නීතිඥවරයා එම මිනිට් සටහන අනුව එම රැස්වීමට සහභාගී වූ පිරිස සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටි අතර එම මිනිට් සටහනේ සඳහන් කරුණුවලට අදාළව ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලැබූ පියවර සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර සිටියේය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය උපරිම වශයෙන් භාවිතා කරමින් මෙම හිඟ ඖෂධ මිලදී ගැනීම සඳහා කටයුතු කරන ලෙස එහිදී තීරණයකට එළඹුණු අතර එහි වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට පවරා ඇති බව අදාළ ලේඛනය පරීක්ෂා කර බලමින් සාක්ෂිකරු සඳහන් කළේය.
එහිදී "ඉන්දියානු යෝජනා ක්‍රමයේ අරමුදල් භාවිතා කර ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළින් එම මුදල් පූර්ණ උපයෝජනය කිරීම සඳහා ඇමතිවරයා විසින් උපදෙස් ලබා දුන් බව සඳහන්ව තිබෙනවා නේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු "ඇමතිතුමා උපදෙස් දුන් බව තියෙනවා. EOI process එක භාවිතා කරලා emergency procurement එකක් යටතේ කටයුතු කරන්න කියලා "යනුවෙන් සඳහන් කළේය.
"ඒ වගකීම දීලා තියෙන්නේ කාටද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී එය අමාත්‍යාංශ secretary ට කියලා තියෙනවා" යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
වෛද්‍ය සැපයුම් ඒකකයේ ගැනුම් ඇනවුම් නිකුත් කිරීමේදී ඇතිවන ප්‍රමාදයන් වැළැක්වීමට අදාළ රැස්වීමේදී තීරණයක් ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වගකීම වෛද්‍ය සමන් රත්නායක මහතාට සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට පවරා ඇති බව සාක්ෂිකරු එහිදී අදාළ ලේඛනය පරීක්ෂා කර බලමින් සඳහන් කර සිටියේ ය.
ඉන්දියානු ණය මුදල් භාවිතා කරමින් ණය වර විවෘත කිරීමට ඇති හැකියාව සොයා බැලීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට ඇති බව අදාළ මිනිට් සටහනේ සඳහන් වන බවද සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 200ක හිඟයක් පවතින බවත් මාස තුනකට අදාළව හිඟව ඇති ඖෂධ සම්බන්ධයෙන් සලකා බලා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගැනීම සඳහා කටයුතු කරන ලෙසත්, ලැබීමට ඇති orders එහිදී ගණනනය නොකරන ලෙසත් තීරණය කර ඇති බව අදාළ සටහනේ සඳහන් වන බව සාක්ෂිකරු කීවේය.
"මෙම තීරණ සැප්තැම්බර් මස 30 කලින් අවසන් කරන ලෙස නේද නියම කරලා තියෙන්නේ? යන්න නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී ඊට "ඔව්" යන පිළිතුරු ලබාදුන් සාක්ෂිකරු ආනයනකරුවන්ගේ පුද්ගලික මුදල් යොදා ණයවර ලිපි විවෘත කිරීම සම්බන්ධයෙන්ද එහි සඳහන් වන අතර එහි වගකීම නියෝජ්‍ය අධ්‍යක්ෂක හේරත් මහතාට සහ වෛද්‍ය සමන් රත්නායක මහතාට පවරා තිබූ බව හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේය.
මෙහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සාක්ෂිකරුගෙන් " ලැබීමට නියමිත orders නිශ්චිත නෑ කියන එක කවුද කියලා තියෙන්නේ? යනුවෙන් විමසීමක් කළ අතර "එවැනි ප්‍රකාශයක් කවුරුන් හෝ විසින් කර නොමැති බව" සාක්ෂිකරු කියා සිටියේය.
"අදාළ සටහනේ pending orders නිශ්චිත නෑ කියලා නේද තියෙන්නේ?" යනුවෙන් විනිසුරු විරාජ වීරසූරිය මහතා ප්‍රශ්න කර සිටි අතර සාක්ෂිකරු "එවැනි සටහනක් ඇති බව සඳහන් කළේය.
"ඔබ සකස් කරපු ලේඛණයේ pending orders ගැන තියෙනවනේ. එය සමග මේ ලේඛනයේ ඇති කරුණු සම්බන්ධයෙන් ඔබ එකඟ වෙනවාද?" යනුවෙන් විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර "spc එක හරහා ලැබීමට ඇති තොග සම්බන්ධයෙන් එහි සඳහන් වන බව" සාක්ෂිකරු කියා සිටියේය.
"මෙම ලැයිස්තුව හදන වෙලාවේ දී pending orders ලැබිලා තිබුණත් එය සැලකිල්ලට ගත්තේ නෑ කියල ද? ඔබ කියන්නේ" යනුවෙන් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එහිදී ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු කියා සිටියේ එම අවස්ථාව වන විට pending orders කිහිපයක් ලැබී ඇති බවය.
සැප්තැම්බර් පස් වැනිදා සහ සැප්තැම්බර් මස 22 වැනි දා අදාළ රැස්වීම් පැවැත්වීමෙන් අනතුරුව තමන් ඖෂධ එකසිය අසූ දෙකක් ඇතුළත් ලැයිස්තුවක් සකස් කළ බව සාක්ෂිකරු දී සඳහන් කළේය.
එම ලැයිස්තුවේ අංක 99 යටතේ රිටොප්සිමැබ් ඖෂධය සඳහන් වන බවද, එම ඖෂධයට අදාල ටෙන්ඩරය අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතනයට ලබාදුන් බව පිරිනැමීමේ ලිපියේ සඳහන් වන බවද සාක්ෂිකරු කියා සිටියේය.
එම ලැයිස්තුවේ ම ඇතුළත් ඖෂධයක් වන හියුමන් ඉමියුනෝග්ලොබියුලීම් ඖෂධ ඒකක 22500ක් ලබා ගැනීම සඳහාද එහිදී පිරිනැමීමක් කර ඇති අතර ඊට අදාළ ඇනවුම් ලේඛනය සහ ගැනුම් ඇනවුම පිළිබඳව එහි සඳහන් වන බවද සාක්ෂිකරු කියා සිටියේය.
ඒ සමගම එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලද අතර ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කරන ලදී.
මෙම ඖෂධය හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
