BREAKING
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

පිළිතුරු දෙන ආකාරය ගැන ඖෂධ නඩුවේදී විත්තියේ නීතිඥවරයකු ගෙන් ප්‍රකාශයක්

T

The Leader

June 18, 2026 • 2:45 AM

පිළිතුරු දෙන ආකාරය ගැන ඖෂධ නඩුවේදී විත්තියේ නීතිඥවරයකු ගෙන් ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ස්වාමීනී පොඩි කාලේ මගේ අප්පච්චි කියනවා අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නෑ, වත්ත වටේ යනවා කියලා. දැන් තමයි මට තේරෙන්නේ මං අප්පච්චිට කොච්චර වදයක් වෙන්න ඇති ද කියලා "යනුවෙන් නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ස්ථිර පුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
  • ඒ වන විටත් තමන් ප්‍රධාන තොග පාලක නිලධාරීවරයා ලෙස කටයුතු කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
  •   "ඊට මාස තුනකට පමණ පෙර සිට දහවෙනි විත්තිකරු අත්අඩංගුවට පත්ව සිටි බව ඔබ දන්නවාද?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අතර " දින වකවානු මට මතක නෑ.
  •   "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔබෙන් ප්‍රකාශ කීයක් ගත්තද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අතර  ප්‍රකාශ තුනක් ලබා දුන් බව සාක්ෂිකරු කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය ට අදාළ නඩුවේ 177 වන සාක්ෂිකරු ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී ධනේෂ් නන්දන බණ්ඩාර මහතා හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සිටියදී නීතිඥවරයා මෙම ප්‍රකාශය සිදු කළේය.

 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
 
එහිදී මෙම නඩුවේ දහවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නම් ප්‍රියන්ත නාවාන මහතා වැඩිදුරටත් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය. 
 
"වෛද්‍ය සැපයුම් ඒකකය මගින් ගැනුම් ඇනවුමක් නිකුත් කිරීම අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය ලෙස සිදුකරන කටයුත්තක් නේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර අවසන් ප්‍රසම්පාදනය අවසානයේදී ගැනුම් ඇනවුම නිකුත් කරන බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
අධිකරණය හමුවේ පැ. 260 ලෙස ලකුණු කර ඇති ලැයිස්තුව තමන් විසින් සකස් කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් හේරත් මහතා මගින් රාජ්‍ය ඖෂධ සංස්ථාවට යොමු කළ බව සාක්ෂිකරු එහිදී හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය. 
 
 
"අධිකරණය හමුවේ පැය 293 ලෙස නම්කර ඇති ලේඛනය අනුව ඖෂධ වර්ග 182කට අදාළ SR අංක සහ ඒ ඒ ඖෂධ සම්බන්ධයෙන් පැවති තොග තත්ත්වයන් පිළිබඳව කරුණු අනාවරණය වෙනවාද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එවැනි සඳහන් ඇති බව සාක්ෂිකරු කියා සිටියේය.
 
"එහි අවසන් තීරණය අභිලාෂ කැඳවීම මත ප්‍රදානය කළ ඇනවුම් ගැන විස්තර ඇතුළත් වෙනවා නේද?" යන ප්‍රශ්නය ජනාධිපති නීතිඥවරයා විමසූ අවස්ථාවේදී එවැනි විස්තරයක් එහි ඇතුළත් වන බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
"අදාළ ඖෂධ ලැයිස්තුවට අනුව සැපයුම්කරුවන් හතළිස් එක් දෙනෙකු සිටින අතර අවස්ථා හතළිස් එකකදී ඔවුන් ඖෂධ සපයා තිබෙන බව සාක්ෂිකරු ජනාධිපති නීතිඥවරයා මතුකර ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය. 
 
"ඒ අතරින් අවස්ථා විසි හයක දී ඇනවුම් කර ඇති තොග සම්පූර්ණයෙන්ම ලැබී ඇති අතර අවස්ථා පහළොවකට ආසන්න ප්‍රමාණයක දී ඇනවුමේ කොටසක් පමණක් ලැබී  ඇති බව" ද සාක්ෂිකරු කියා සිටියේය ."එවැනි අවස්ථාවලදී එම තොගයන් pending ලෙස පවතින බව"ද සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය. 
 
"ඖෂධ කළමනාකරණය පිළිබඳ  අත් පොතේ දහවෙනි පරිච්ඡේදය අනුව තොග හිඟ වීමට හේතු ලෙස සැපයුම්කරුවන් භාර දිය යුතු කාල රාමුවට අනුගත නොවී තොග ලබාදීම එක හේතුවක් ලෙස සඳහන් වී තිබෙනවා නේද ?" යන ප්‍රශ්නය ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුට යොමු කළ අතර එහිදී සාක්ෂිකරු සඳහන් කළේ" delivery schedule එකට නැති වුවහොත් ඖෂධ හිඟයක් ඇති විය හැකි බව"ය.
 
"හියුමන් ඉමියුනෝග්ලොබියුලීම් ඖෂධය සහ රිටොප්සිමැබ් ඖෂධයට අදාළව නිකුත් කර ඇති ගැනුම් ඇනවුම් වල කොන්දේසි දොළහක් ඇතුලත් කර ඇති අතර  ඊට අනුගතව ඖෂධ ලබාදිය යුතු බව" සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය. 
 
" එම ඖෂධ දෙකට ගැනුම් ඇනවුම් නිකුත් කිරීමට අමතරව අදාළ ඖෂධ හතළිස් එක අතුරෙන් ඉතිරි 39 ටම ගැනුම් ඇනවුම් නිකුත් කළ යුතු බව සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ ජනාධිපති නීතිඥවරයා එම ගැනුම් ඇනවුම් සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් ඔබගෙන් ප්‍රශ්න කිරීමක් කළේ නෑ නේද?" යනුවෙන් විමසීමක් කළේය.
 
"එවැනි විමසීමක් තමන්ගෙන් නොකළ බව" සඳහන් කළ සාක්ෂිකරු විත්තිකරුවන් වෙනුවෙන්ද එවැනි ප්‍රශ්න කිරීමක් නොකළ බව" සඳහන් කළේය. 
 
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2024 මැයි මස 28 වෙනිදා ඔබෙන් මේ ගැන ප්‍රශ්න කළාද ?" යන ප්‍රශ්නය ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුට යොමු කළ අවස්ථාවේදී ඔහු කියා සිටියේ "ඒ ආසන්න දිනයකදී ප්‍රකාශයක් ලබා දුන් බව"ය. ඒ වන විටත් තමන් ප්‍රධාන තොග පාලක නිලධාරීවරයා ලෙස කටයුතු කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
 
"ඊට මාස තුනකට පමණ පෙර සිට දහවෙනි විත්තිකරු අත්අඩංගුවට පත්ව සිටි බව ඔබ දන්නවාද?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අතර " දින වකවානු මට මතක නෑ. එහෙම සිද්ධ වෙන්න ඇති. ඒ ගැන මට මතකයක් නෑ". යනුවෙන් සාක්ෂිකරු ඊට පිළිතුරු ලබා දුන්නේය. 
 
"මේ නඩුවේ බොහොමයක් චූදිතයින් ඒ වන විට අත්අඩංගුවට පත්ව සිටි බව ඔබ දැන සිටියද?" යන ප්‍රශ්නය ජනාධිපති නීතිඥවරයා යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "පිරිසක් අත්අඩංගුවට පත් වෙලා හිටියා" යනුවෙනි .
 
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔබෙන් ප්‍රකාශ කීයක් ගත්තද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අතර  ප්‍රකාශ තුනක් ලබා දුන් බව සාක්ෂිකරු කියා සිටියේය.
 
ඖෂධ එකසිය අසූ දෙකට අදාලව 2022 සැප්තැම්බර් මස 23 වැනිදා පැවති තොග තත්ත්වයන් පිළිබඳව එහිදී ප්‍රශ්න කිරීමක් නොකළ බවද , ඊට අදාළව කරුණු ප්‍රකාශ කිරීමට ලැබුණේ මෙම අධිකරණයේදී බවද සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. 
 
ජනාධිපති නීතිඥවරයා : තොග නොලැබුණු අවස්ථා, ලැබීමට ඇති අවස්ථා , pending ලෙස pronto දත්ත පද්ධතියේ පෙන්වනවා නේද?
 
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනී 
 
ජනාධිපති නීතිඥවරයා : කොටසක් ලැබුණු ඇනවුමක් පෙන්වන්නෙත්, pending ලෙසද?
 
සාක්ෂිකරු: ඔව් , pending ලෙස තමයි 
 
ජනාධිපති නීතිඥවරයා: තොග නොලැබුණාම මොකද වෙන්නේ? 
 
සාක්ෂිකරු: ලැබීමට තියෙන තොග ලෙස චක්‍රීය ව ඉදිරියට යනවා.
 
 
"මෙම අධිකරණයේදී සී ඩී තැටියක තිබූ දත්ත විශාල තිරයක් මත  ප්‍රදර්ශනය කරමින්  ඒ පිළිබඳව පැමිණිල්ල විසින් ඔබගෙන් ප්‍රශ්න කිරීමක් කළා නේද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි ප්‍රශ්න කිරීමක් කළ බවය.
  
එම දත්ත ලබාගත් ආකාරය තමන් නොදන්නා බවත්, ඊට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, කියා සිටි සාක්ෂිකරු රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම දත්ත සකස් කළ බව එම කාලයේදී දැන ගැනීමට ලැබුණු බව සඳහන් කළ  අතර  ඊට අදාළව තමන්ගෙන් තොරතුරු විමසීමක් සිදු නොකළ බවද සඳහන් කළේය. 
 
අදාළ දත්ත පද්ධතිය සම්බන්ධයෙන් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෝහාරික පරීක්‍ෂණයක් සිදු කළ බව තමන් නොදන්නා බවද, තාක්ෂණික කරුණු ගැන දැනුවත් වීමක් තමන්ට නොමැති බවද සාක්ෂිකරු එහිදී හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
 
 අදාළ කරුණු සම්බන්ධයෙන් තමන් සාක්ෂි ලබා දුන්නේ ඒ අවස්ථාවේදී දැරූ අදහස අනුව බව ද අදාල දත්ත පද්ධතිය මත එම සාක්ෂි දීම සිදුකළ බවද සාක්ෂිකරු එහිදී කියා සිටියේය.
 
ඒ සමගම දහවැනි විත්තිකරු වෙනුවෙන් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලදි.
 
අනතුරුව මෙම නඩුවේ 08 වන විත්තිකරු වන හිටපු සෞඛ්‍ය ඇමති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්න විජේසුන්දර මහතා සාක්ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේ ය.
 
Drug manual එක සම්බන්ධයෙන් අවධානය යොමු කළ නීතිඥවරයා ඊට සිංහලෙන් පවසන නම කුමක්දැයි සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න කර සිටියේය.
 
සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ එය "ඖෂධ කළමනාකරණ අත්පොත "ලෙස හඳුන්වන බවය. 
 
"ඖෂධ කළමනාකරණය විෂය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන සඳහා භාවිතා කරන මාර්ගෝපදේශ ඇතුළත් අත්පොත එය නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී  සාක්ෂිකරු "ඔව්" යන පිළිතුර ලබා දුන්නේය.
 
"එම මාර්ගෝපදේශය සකස් කළ කතෘ මණ්ඩල සාමාජිකයන් සිටිනවා නේද ? එම හතර දෙනාගේ නම් ප්‍රකාශ කරන්න" යනුවෙන් නීතිඥ වරයා සාක්ෂිකරුට දැනුම් දුන් අවස්ථාවේ ඔහු අදාළ අයගේ ඇති නම් කියවා සිටියේය.
 
මෙම අත්පොත සැකසීම සඳහා මැදිහත් වූ තවත් රාශියකගේ නම් ඇති බව සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය. 
 
"එහි පස්වන පරිච්ඡේදයේ කුමක් සම්බන්ධයෙන් ඇතුළත්ව තිබේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ලැබීම්, නිකුත්  කිරීම් හා තොග යන කාරණා සම්බන්ධයෙන් එහි සඳහන් වන බවය. 
 
"කුමක් සම්බන්ධයෙන් ලැබෙන ඒවාද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටිය අයිතම සම්බන්ධයෙන් වන බව"ය . "එම අයිතමයන්ට ඖෂධ ඇතුළත් වනවා නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී ඖෂධ ඊට ඇතුළත් බව සාක්ෂිකරු කියා සිටියේය.
 
"Buffer stock එකක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් එම පොතේ සඳහන් වෙනවා නේද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැනි සටහනක් ඇති බවය.
 
එහි සඳහන් වන්නේ "වෛද්‍ය සැපයුම් ආයතනය තුළ ස්වාරක්ෂක තොගයක් මාස තුනකට අදාළව පවත්වාගත යුතු බව නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු "ඔව් "යන පිළිතුර ඊට ලබා දුන්නේය.
 
එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව සඳහන් කළාය. 
 
එහි ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුළත් වාක්‍යය සම්පූර්ණ නොමැතිව කොටසක් පරිවර්තනය කර ප්‍රකාශ කළ විට සාක්ෂිකරු එය වෙනත් ආකාරයකට තේරුම් ගෙන සාක්ෂි ලබාදිය හැකි බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී ප්‍රකාශ කළාය.
 
එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා "අත්පොතේ ඇති සටහන එලෙසම සාක්ෂිකරුට ඉදිරිපත් කරන ලෙස එහිදී නීතිඥවරයා අමතමින් සඳහන් කළේය.
 
තමන් විසින් අසන්න ලද ප්‍රශ්නයට සාක්ෂිකරු විසින් "ඔව්" යන පිළිතුරු ලබාදීම නිසා නැවත ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමක් නොකරන බව නීතිඥවරයා එහිදී සඳහන් කළේය. 
 
අනතුරුව සාක්ෂිකරු වෙත ප්‍රශ්නයක් යොමු කළ නීතිඥ වරයා "මෙම අත් පොත අනුව කටයුතු කිරීමට තමුන් බැඳිලා ඉන්නවා නේද?" යනුවෙන් ප්‍රශ්න කර සිටියේය. 
 
"අත්පොතේ විදියට ක්‍රියාවලියක් පවත්වාගෙන යනවා. ඒ කාලයේ සිට එය පවත්වාගෙන යන ක්‍රියාවලියක්. එම ක්‍රියාවලිය තමයි අනුගමනය කරන්නේ", යැයි සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කර සිටියේය . 
"ඉහත  ඔබ නම් සඳහන් පුද්ගලයන් විසින් නේද මෙම අත්පොත සම්පාදනය කර තිබෙන්නේ?" යන ප්‍රශ්නය සාක්ෂිකරුට යොමු වූ අවස්ථාවේ දී ඔහු කියා සිටියේ  "එහි දීර්ඝ නම් ලැයිස්තුවක් ඇති බව"ය. 
 
"සාක්ෂිකරු අහන දේට උත්තර දෙන්න  ඔබ කලින් සඳහන් කළ නම් නේද මේ ලැයිස්තුවට ඇතුලත් කරලා තියෙන්නේ ?"
 
"එහෙමයි ස්වාමීනී," යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය. 
 
"අධිකරණය හමුවේ පැ 304 ලෙස ලකුණු කර ඇති ඖෂධ ලයිස්තුව සකස් කලේ ඔබ නේද? යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී එය තමන් සකස් කළ අතර එහි අත්සන් තැබූ බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
වෛද්‍ය චන්දන විජේසිංහ මහතාගේ අත්සන  ඖෂධ ලයිස්තුවේ සඳහන් වන ඒ වන විට ඔහු වෛද්‍ය සැපයුම් අංශයේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කල අතර තමන් විසින් අදාළ ලැයිස්තුව සකස් කිරීමෙන් අනතුරුව අධ්‍යක්ෂකවරයාට ලබා දුන් බවද එහි ඖෂධ තොග සම්බන්ධයෙන් කරුණු ඇතුළත් වන බවද සාක්ෂිකරු හරස් ප්‍රශ්නවල පිළිතුරු දෙමින් සඳහන් කළේය. 
 
නීතිඥවරයා: මීට පෙර ඔබ ලැයිස්තු සකස් කර ඇති නේද ?
 
 සාක්ෂිකරු:  අවශ්‍ය අවස්ථාවලදී එවැනි ලැයිස්තු සකස් කර ලබාදී තියෙනවා
 
නීතිඥවරයා: එවැනි අවස්ථාවලදී අධ්‍යක්ෂවරයා විසින් වැඩිදුර විස්තර අහලා ඇති?
 
සාක්ෂිකරු: අවශ්‍ය ඒවා අහලා තියෙනවා
 
නීතිඥවරයා: අතපසු වීමකින් වරදක් වුණොත් ඒ ගැන අහලා අහනවාද ?
 
සාක්ෂිකරු : අතපසුවීම් සම්බන්ධයෙන් නෙමෙයි ගැටලුකාරී තත්ත්වයක් ආවොත් අහලා තියෙනවා.
 
නීතිඥවරයා: ඇති සාක්ෂිකරු ඔබ අතින් අතපසුවීම් වෙන්නේ නෑ. ඔබ පලපුරුදු නිලධාරියෙක් නෙ. මේ ලැයිස්තුව ඔබ සකස් කර දුන්නා නේද?
 
සාක්ෂිකරු : (පිළිතුරු නැත )
 
නීතිඥවරයා: දෙන්න ඇති නේද නැත්නම් මේකේ අත්සන් කරන්නේ නෑ නේ. 
 
සාක්ෂිකරු :ඔව් ස්වාමීනී, ලබා දුන්නා.
 
නීතිඥවරයා: මේ ලැයිස්තුවේ සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇත්නම් වෛද්‍ය චන්දන විජේසිංහ මහතාට ඒ පිළිබඳව විමසීමට ඔබේ පැත්තෙන් බාධාවක් තිබුණාද?
 
සාක්ෂිකරු:   එවැනි බාධාවක් තිබුණේ නෑ. 
 
නීතිඥවරයා: එලෙස විමසීමක් කලානම් ඔබ පිළිතුරු දෙනවා ද?
 
සාක්ෂිකරු:  එවැනි විමසීමක් කළා නම් ඒ පිළිබඳව පිළිතුරු ලබා දෙනවා.
 
නීතිඥවරයා : "නමුත් ඔහු කිසිවක් ප්‍රකාශ කළේ නෑ නේද?"
 
සාක්ෂිකරු: "නෑ ස්වාමීනි, ඔහු ඒ පිළිබඳව ප්‍රශ්න කළේ නෑ  .ලැයිස්තුව හදන්න කිව්වා ඒ අනුව මම කටයුතු කළා . අධ්‍යක්ෂ තුමා උපදෙස් ලබාදෙනවා ඒ අනුව කටයුතු කිරීමට අප බැඳී සිටිනවා. 
 
"ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශනයක් කටයුතු සඳහා සහයෝගීතාවය ලබාදීමට අවස්ථා කීපයක දී ප්‍රකාශ ලබා දුන්නා නේද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ප්‍රකාශ ලබාදුන් බවය. ප්‍රකාශ ලබාදුන් දිනය 2024 මැයි 28 වැනිදා ද යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අතර සාක්ෂිකරු කියා සිටියේ එම දිනයේදී තමන් ප්‍රකාශයක් ලබාදුන් බවය. එහිදී තමන් දන්නා දේ පිළිබඳව ප්‍රකාශ කළ අතර  එම නිලධාරින් විසින් යම් යම් ලේඛන පෙන්වා සිටි බවද ඒ අනුව ඊට අදාළව පිළිතුරු ලබාදුන් බවද සාක්ෂිකරු නීතිඥවරයා යොමු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළේය. 
 
" මේ ප්‍රශ්න අහන්නේ ඔබව අමාරුවේ දාන්නේ නෙමෙයි. බය වෙන්න එපා.මේ ප්‍රකාශයේ ඔබේ අත්සන තියෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී ඊට "නෑ" ලෙස පිළිතුරු දුන් සාක්ෂිකරු අනතුරුව "ඔව්" ලෙස පිළිතුරු ලබා දුන්නේය. 
 
What Can I do if someone forged my signature
අනතුරුව සාක්ෂිකරුගේ අවධානය අධිකරණය හමුවේ පැය 173 ලෙස ලකුණු කර ඇති කැබිනට් සංදේශයේ සිංහල පිටපතට යොමු කළ නීතිඥවරයා "ඊට අදාළ දිනය ලෙස සඳහන් වන්නේ කවදාද"?යි නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය. 2022 /09/26 ලෙස එම දිනය සඳහන් වන බව සාක්ෂිකරු ප්‍රකාශ කිරීමෙන් අනතුරුව "එහි තුන්වන පිටුවේ ඔබේ අත්සන තිබෙනවා නේද?" යන්න නීතිඥවරයා විමසා සිටියේය. එම පිටුවේ තමන්ගේ අත්සන ඇති බව සඳහන් කළ සාක්ෂිකරු අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව තමන් එහි අත්සන් තැබූ බව කියා සිටියේය.  
නීතිඥවරයා: 
ඔබ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දන විට මෙම කැබිනට් සංදේශය ගැන දැනගෙන සිටියද?
 
සාක්ෂිකරු : ඒ ගැන මතකයක් නෑ. 
 
නීතිඥවරයා: ඒ අවස්ථාවේදී මෙය පෙන්නුවා ද?
 
සාක්ෂිකරු: ඒ අවස්ථාවේ පෙන්නුවා වගේ මතකයි 
 
නීතිඥවරයා: ඒ අවස්ථාවේදී මේ කැබිනට් සංදේශය පෙන්නුවා නේ.?
 
සාක්ෂිකරු :  පෙන්නන්න ඇති 
 
නීතිඥවරයා: පැකිලෙන්නේ නැතුව සාක්ෂි දෙන්න . ඔබට මෙම කැබිනට් සන්දේශය පෙන්නුවා. ඒකනේ ඔබ එහි අත්සන් කළේ නේද?
 
සාක්ෂිකරු: එය ඇමුණුමක් ලෙස සටහන් වෙලා තිබුණා ස්වාමීනි.
 
නීතිඥවරයා: (අධිකරණය අමතමින්) ස්වාමීනී පොඩි කාලේ මගේ අප්පච්චි කියනවා අහන ප්‍රශ්නෙ ට උත්තර දෙන්නේ නෑ ,වත්ත වටේ යනවා කියලා. දැන් තමයි මට තේරෙන්නේ මං අප්පච්චිට කොච්චර වදයක් වෙන්න ඇති ද කියලා (සාක්ෂිකරුට) තමාට කැබිනට් මණ්ඩල සංදේශය දක්වා සිටියා නේද?
 
සාක්ෂිකරු: ඒ අවස්ථාවේදී තමයි දැක්කේ 
 
අදාළ කැබිනට් සංදේශයේ පැ. 163 ලෙස නම් කර ඇති කොටස කියවා එහි 2.2  යටතේ සඳහන් කර ඇති කොටස සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස නීතිඥවරයා සාක්ෂිකරුට පැවසුවේ ය. "එම කොටසේ සඳහන් වෙනවා  ඒ වන විට වෛද්‍ය සැපයුම් අංශය තුළ ඖෂධ 182ක් මසක අවශ්‍යතාවයට අඩු මට්ටමේ පැවති බව නේද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අතර එවැනි සඳහනක් ඇති බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
අනතුරුව සාක්ෂිකරු විසින් සකස් කරන ලද ලේඛණයට ඔහුගේ අවධානය යොමු කළ නීතිඥවරයා "එහි ඇති දත්ත සහ කැබිනට් මණ්ඩල සංදේශයේ ඇති දත්ත සමානයි නේද?" යනුවෙන් විමසීමක් කළ අතර එම දත්ත සමාන බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය .එය කැබිනට් මණ්ඩල සංදේශයේ විස්තර සහ සාධාරණීකරණය යන අනු මාතෘකාව යටතේ සඳහන් වන බවද එහිදී  පෙන්වා දෙන ලදී. 
 
අදාළ කැබිනට් මණ්ඩල සංදේශය තුන්වෙනි පිටුවෙහි අපේක්ෂිත අනුමැතිය යන කොටසක් ඇති අතර එම කොටසේ" වෛද්‍ය සැපයුම් අංශයේ හදිසි අවශ්‍යතා මත ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇති අරමුදල් භාවිතා කර වෛද්‍ය සැපයුම් ඒකකයට ඖෂධ ලබා ගැනීම සඳහා පුද්ගලික අංශයට අවසර ලබාදිය යුතු බවට සඳහනක් තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර එවැනි සඳහනක් ඇති බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
එහි හතරයි දශම දෙක යටතේ " සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි මිලදී ගැනීමේ යාන්ත්‍රණයට යටත්ව භාණ්ඩ මාස තුනකට ලබාදීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් සටහනක් තිබෙනවාද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැනි සඳහනක් ඇති බවය. 
 
business meeting office
 
මූලික සාක්ෂි ලබාදෙන අවස්ථාවේදී සාක්ෂිකරු විසින් 2022 සැප්තැම්බර් මස 22 වැනි දින පැවති රැස්වීමක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන් අතර "එම රැස්වීම සම්බන්ධයෙන් පමණක් ඔබට විශේෂ මතකයක් තියෙන්නේ ඇයි" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේය. 
 
එහිදී සාක්ෂිකරු සඳහන් කර සිටියේ තමන් සහ වෛද්‍ය චන්දන විජේසිංහ මෙම රැස්වීමට සහභාගි වූ බවය. 
 
අදාළ රැස්වීමේ මිනිට් සටහන එම අවස්ථාවේදී සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ නීතිඥවරයා එහි එම රැස්වීමට සහභාගි වූවන්ගේ නම් ලැයිස්තුව අතර සාක්ෂිකරුගේ සහ වෛද්‍ය  චන්දන විජේසිංහ මහතාගේ නම් සඳහන්ව නොමැති බව ඔහුගේ අවධානයට යොමු කළේය. 
 
එහිදී සාක්ෂිකරු සඳහන් කළේ එම රැස්වීමට තමන් සහභාගි වූ නමුත් තමන්ගේ නම එහි සඳහන් කර නැත්තේ කවර හේතුවක් මතද යන්න තමන් නොදන්නා බවය. 
 
"එම රැස්වීමට සහභාගි වුණ නේද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තමන් ඊට සහභාගී වූ බවය.
 
"එම රැස්වීමේදී වෛද්‍ය චන්දන විජේසිංහ මහතා විසින් ඖෂධ ලැයිස්තුවක් ඉදිරිපත් කළාද?" යන්න නීතිඥවරයා විමසූ අතර  සාක්‍ෂිකරු සඳහන් කළේ ලැයිස්තුවක් වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කළ බවය. "ලැයිස්තුව ඔබ විසින් සකස් කළ ලැයිස්තුවක් නේද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු "ස්වාමීනි, එම ලැයිස්තුවේ ඖෂධ එකසිය අසූ පහක සඳහන් කර තිබුණා." යනුවෙන් ප්‍රකාශ කළේය. 
 
නීතිඥවරයා : ඔය රැස්වීමට සහභාගී වූ අය අතර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රගුප්ත මහතා හිටියද?
 
සාක්ෂිකරු. ඔව් ස්වාමීනි හිටියා.
 
නීතිඥවරයා: සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා හිටියද? 
 
සාක්ෂිකරු: ඉන්න ඇති.
 
නීතිඥවරයා: වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය හිටියද?
 
සාක්ෂිකරු: ඉන්න ඇති.
 
නීතිඥවරයා: වෛද්‍ය සමන් රත්නායක මහතා හිටියද?
 
සාක්ෂිකරු: ඉන්න ඇති ස්වාමීනී 
 
නීතිඥවරයා :නවාවි මහතා හිටි බව මතකද?
 
සාක්ෂිකරු: ඉන්න ඇති ස්වාමීනී 
 
නීතිඥවරයා: කෙහෙළිය රඹුක්වැල්ල මහතා හිටියද?
 
සාක්ෂිකරු :ඔව් ස්වාමීනි 
 
නීතිඥවරයා :එයාව මතකයි? 
 
සාක්ෂිකරු :ස්වාමීනි meeting එක chair කළේ ඇමතිතුමා. එතකොට කොහොමත් ඒක මතකයි. 
 
නීතිඥවරයා: තව කවුද හිටියේ සෞඛ්‍ය අංශයේ ප්‍රධානීන් සහ ජේෂ්ඨ නිලධාරින් හිටියද?
 
සාක්ෂිකරු :ඔව් ඉහළ නිලධාරීන් හත් අට දෙනෙක් හිටියා. 
 
නීතිඥවරයා: spc එකේ කවුද හිටියේ ?
 
සාක්ෂිකරු: ඉහළ නිලධාරීන් හිටියා 
 
නීතිඥවරයා: එහි සභාපති සරත් ලියනගේ මහතා හිටියාද?
 
සාක්ෂිකරු: ඉන්න ඇති 
 
නීතිඥවරයා: spc සභාපති සරත් ලියනගේ මහතා හිටියාද?
 
සාක්ෂිකරු: හිටියා ස්වාමීනී 
 
නීතිඥවරයා: spc එකේ සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක මහතා හිටියද?
 
සාක්ෂිකරු: ඉන්න ඇති 
 
නීතිඥවරයා: ඔය රැස්වීමේ විශාල පිරිසක් හිටියනේ. ඔය msd එකේ spc එකේ කියලා හඳුනා ගන්නේ කොහොමද?
 
සාක්ෂිකරු: සාමාන්‍යයෙන් මම ඔවුන් අඳුරනවා ස්වාමීනි, සපයුම්කරුවන් පිරිසකුත් හිටියා .
 
තමන් විසින් සකස් කරල ලැයිස්තුව වෛද්‍ය චන්දන විජේසිංහ මහතා විසින් එම රැස්වීමේදී ඉදිරිපත් කළ අතර  ප්‍රමුඛතා ලැයිස්තු අංක 1  සහ 2 ට ප්‍රමුඛත්වය දිය යුතුය කියා එහිදී ම කතාබහට ලක් වූ අතර තව කාරණා කිහිපයක් එහිදී සාකච්ඡා වූ බවත්, තමන් මෙම ඖෂධ ලැයිස්තුව සකස් කළ බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ මතකයක් ඇති බවත්, සාක්ෂිකරු කියා සිටියේය. 
 
"මෙම ලැයිස්තුව ගැන කතා කිරීමට අමතරව වෙනත් මොනවද කතා කතා කළේ? හොඳට මතක් කරලා කියන්න." යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ප්‍රමුඛතා ලැයිස්තු 1,2 ට ප්‍රමුඛත්වය දෙන්න" යනුවෙන් සඳහන් කළ අතර එහිදී  "මාසයකට අඩු තොග ගැන අවධානය යොමු කරන ලෙස සඳහන් කළ බව"ය. 
 
immuniglobin mecicine
 
අදාල ඖෂධ ලැයිස්තුවේ අංක 177 යටතේ හියුමන් ඉමියුනොග්ලොබියුලීම් ඖෂධය සඳහන් වන අතර  අංක 99 යටතේ රිටොප්සිමැබ් ඖෂධය සම්බන්ධයෙන් සඳහන් බවද සාක්ෂිකරු කියා සිටියේය. එම ලැයිස්තුවේ ඖෂධය 188 ක්ඇතුළත් වන බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
"රැස්වීමට පෙර හෝ පසුව එම ලැයිස්තුවේ ඖෂධ ප්‍රමාණය 182 බවට පත්වී තිබෙනවා නේ?  එහෙම වුනේ කොහොමද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී  සාක්ෂිකරු සඳහන් කළේ එම ඖෂධ 182ට අදාළව ඇනවුම් යොමු කරන ලෙස තමන්ට උපදෙස් ලැබුණු බවය. ඒ අනුව එම ඖෂධ ලැයිස්තුව සමඟ ඇනවුම් රාජ්‍ය ඖෂධ සංස්ථාවට යොමු කළ බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
මීට පෙර දිනයේ තමන් හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන් අවස්ථාවේදී තමන්ට මතක ඇති කාරණා සම්බන්ධයෙන් විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් බව සඳහන් කළ සාක්ෂිකරු රැස්වීමේදී විශාල කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කරන බැවින් ඒ සියල්ලම මතක තබාගත නොහැකි බවද රැස්වීම මීට අවුරුදු දෙකකට පමණ පෙර පැවති රැස්වීමක් වන බැවින් එහි සාකච්ඡාවට ගත් සියලු කරුණු මතකයේ නොමැති බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
 "මගේ විෂය පථයේ කරුණු මට මතකයි. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ සම්බන්ධයෙන් අහපු නිසා ඒ කරුණු ගැන මතකයක් තියෙනවා" යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේ ය.
 
"දහවන විත්තිකරුගේ නීතිඥවරයා හරස් ප්‍රශ්න විමසීමේදී ඔබ විසින් යොමු කළ ඊමේල් පණිවිඩ ගණනාවකට අවධානය යොමු කළා. 2022 ඔක්තෝම්බර් මස තුන්වෙනිදා වෛද්‍ය සමන් රත්නායක මහතාට ඊමේල් පණිවිඩයක් යවලා තියෙනවා නේද?" යනුවෙන්  නීතිඥවරයා විමසීමක් කළ අතර  ඔහු කියා සිටියේ එවැනි පණිවිඩයක් යොමු කළ බවය. එසේම ඔක්තෝම්බර් මස 10 වැනි දිනද ඊමේල් පණිවිඩයක් තමන් යොමු කළ බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
අධිකරණය හමුවේ ලකුණු කර ඇති පැය 289 දරණ ගොනුවට සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නීතිඥවරයා එහි ඔක්තෝම්බර් තුන සහ දහය යවන ලද email දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර එහි පළමු පිටුවේ ඇති මිනිට් සටහන අනුව එහි 2022 /09/ 26 යන දිනය සඳහන් වන බව ප්‍රකාශ කළේය. 
 
එම සටහන අනුව යම් ලේඛන සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කරන බව සඳහන් වන බවද නීතිවරයා යොමු කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේය 
 
එහෙත් එම ගොනුවේ ම 16 වැනි පිටුවේ අදාළ email 10/03, සහ 10/10  ලෙස සඳහන් වන බවද නීතිඥවරයා සාක්ෂිකරුගේ අවධානයට යොමු කළේය. 
 
"ඔබ දන්නවා ඔක්තෝම්බර් මාසේ එන්නේ සැප්තැම්බර් මාසයෙන් පසුව බව?" යනුවෙන් නීතිඥවරයා එහිදී ප්‍රකාශයක් කළේය. 
 
පෙර දින 10 වෙනි විත්තිකරු වෙනුවෙන් කළ හරස් ප්‍රශ්න විමසීමේ දී 2022 සැප්තැම්බර් මස පස් වැනිදා පැවැති රැස්වීමක් සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර  මිනිට් සටහන්වල සාක්ෂිකරුගේ නම තිබෙන බව නීතිඥවරයා පෙන්වා දුන්නේය. 
 
"ඔබ කිව්වා ඔබ එවැනි රැස්වීමකට ගියේ නෑ කියල, ඔබ ඒ රැස්වීමට ගියාද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර  සාක්ෂිකරු " meeting ගණනාවකට සහභාගි වුණා. ඒ හැම එකම මතක නෑ. "යනුවෙන් ඊට පිළිතුරු ලබා දුන්නේය. 
 
"ඒ කියන්නේ ඔබට මතක නෑ සැප්තැම්බර් 05 වෙනිදා රැස්වීමකට ගිය බව" යනුවෙන් නීතිඥ වරයා නැවත සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී ඒ පිළිබඳ නිශ්චිත මතකයක් නොමැති බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
නීතිඥවරයා :ඔබෙන් එම රැස්වීම ගැන ඊයේ ප්‍රශ්න කළා 
 
සාක්ෂිකරු :ප්‍රශ්න කලා ස්වාමීනී 
 
නීතිඥවරයා :ඊට පාදක කර ගත්තේ රැස්වීම් සටහන නේද?
 
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි ඒ මත තමයි සාක්ෂි දුන්නේ 
 
නීතිඥවරයා :ඒ රැස්වීම ගැන ඔබට මතකයක් නෑ? 
 
සාක්ෂිකරු: ඒ ගැන මතකයක් නෑ, ස්වාමීනී ඒ මිනිට් එක ඊයේ තමයි දැක්කේ. අහපු ප්‍රශ්න වලට ඒ මත පදනම් වෙලා තමයි සාක්කි දුන්නේ 
 
නීතිඥවරයා: ඔබට 10/10 රැස්වීමේ මිනිට් සටහන ඊට පෙර ඉදිරිපත් කළා නේද?
 
සාක්ෂිකරු: ඔව් ,එම රැස්වීම් මිනිට් සටහන දැක්කෙත් ඊයේ 
 
නීතිඥවරයා: එහි ඔබගේ නම තියෙනවා නේද සහභාගි වූවකු ලෙස. ඔබට මතක නෑ ඒ මීටින් එක පැවතුණු බවට?
 
සාක්ෂිකරු: ස්ථිර මතකයක් නෑ ස්වාමීනී, මිනිට්  සටහන මත පදනම්ව තමයි සාක්ෂි දුන්නේ 
 
නීතිඥවරයා :සාක්ෂි දුන්නේ ඔබේ දැනුමෙන් නොවේද?
 
සාක්ෂිකරු :සටහන අනුව පිළිතුරු දුන්නා 
 
නීතිඥවරයා: තමන්ට එවැනි රැස්වීමක් තිබුණද කියලා මතක නෑ 
 
සාක්ෂිකරු:නෑ, නිශ්චිතව මතක නෑ එහි තිබුණු කරුණු අනුව ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා 
 
නීතිඥවරයා: ඔබ පිළිතුරු ලබා දුන්නේ මේ මිනිට් සටහනක මත තමයි නේද?
 
සාක්ෂිකරු : ඔව් ස්වාමිනී 
 
ඒ සමගම අටවෙනි විත්තිකරු වෙනුවෙන් සිදුකළ හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලද අතර  අනතුරුව තුන්වෙනි විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා සාක්ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
 
National medicines authority 860x430.jpg
සෞඛ්‍ය අමාත්‍ය අංශය යටතේ වෛද්‍ය සැපයුම් ඒකකය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවතින බව සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ නීතිඥවරයා "ඖෂධ වල ගුණාත්මක භාවය තහවුරු කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානතම කාර්යය නේද?" යනුවෙන් ප්‍රශ්න කර සිටියේය. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ගුණාත්මකභාවය මෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම එම අධිකාරියේ ප්‍රධාන වගකීමක් වන බවය. 
එම ක්‍රියාවලිය තහවුරු කිරීම සඳහා සහ WOR සහතික නිකුත් කිරීමක් සිදුකරන බව  නීතිඥවරයා යොමු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේය. 
 
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මූලික වගකීම ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීම න බව සාක්ෂිකරු  නීතිඥවරයාගේ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය. 
 
"වෛද්‍ය සැපයුම් අංශයේ ව්‍යුහය සකස් වන්නේ කෙසේද ?" යන ප්‍රශ්නය ජනාධිපති නීතිඥවරයාට යොමු කළ අතර සාක්ෂිකරු සඳහන් කර සිටියේ ඉහළින්ම නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සිටින අතර  අධ්‍යක්ෂකවරයා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂක , ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂකවරු, සහකාර අධ්‍යක්ෂකවරු,  ප්‍රධාන ගණකාධිකාරී  ඇතුළු පිරිසක් එහි කටයුතු කරන බවය. 
 
එහිදී ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සහකාර අධ්‍යක්ෂකවරියන් දෙදෙනෙකු සිටින බවද සාක්ෂිකරු කියා සිටියේය
 
"මෙම ප්‍රශ්නගත රිටොප්සිමැබ් ඖෂධය සම්බන්ධයෙන් කටයුතු කළේ කුමන සහකාර අධ්‍යක්‍ෂ වරිය ද? 'යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී චාන්දනී වන්නි ආරච්චි මහත්මිය සම්බන්ධයෙන් කටයුතු කළ බව සාක්ෂිකරු සඳහන් කළේය. 
 
එම ඖෂධය 7 ගබඩාවට අයත් වන අතර එහි තොග පාලක ලෙස කස්තුරි සිංහ මහතා කටයුතු කළ බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
වෛද්‍ය සැපයුම් ඒකකය විසින් සිදුකරන තොග ලබා ගැනීම් සහ නිකුත් කිරීම් වලට අදාල දත්ත pronto පද්ධතියේ සඳහන් වන අතර එහි ඇති තොගය කුමක්ද යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේය.
 
එම ලේඛනය පරිගණක අංශය විසින් සකස් කරන බවද ඊට ඇතුළත් ඊට සම්බන්ධ කාරණා එම අංශයෙන් දැනගත හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
තමන් විසින් ඖෂධ 182 ක ලැයිස්තුවක් සකස් කළ බව ද හිටපු ඖෂධයට අදාළව order list එකක් සකස්කර ලබාදුන් බවද සාක්ෂිකරු නීතිඥවරයා යොමු කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය. 
 
"V Oders යනුවෙන් කේතයක් ඇතුලත් කොට ඇනවුම් ලැයිස්තු සකස් කිරීම සිදු කළේ කවර හේතුවක් මත දැ?" යි සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය. 
 
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ එය සිදු කළේ තමන්ට ලැබුණු උපදෙස් මත බවය.
 
අදාළ ඖෂධ දෙකේ පවතින තොග තත්ත්වයන් සහ දුන් ඇනවුම් සම්බන්ධයෙන් නීතිඥවරයා සාක්ෂිකරුගෙන් දීර්ඝ ලෙස කරුණු විමසීමක් සිදු කළේය.
 
ඒ සමගම එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලද අතර ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කරන ලදී.
 
මෙම ඖෂධය හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
medicine 20260131
හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ. 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න     

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...