BREAKING
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

'ඖෂධ සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු පරිගණක පද්ධතියේ නෑ' - ඖෂධ නඩුවේ සාක්ෂිකරුවකු කියයි

T

The Leader

July 9, 2026 • 3:03 AM

'ඖෂධ සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු පරිගණක පද්ධතියේ නෑ' - ඖෂධ නඩුවේ සාක්ෂිකරුවකු කියයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඖෂධ සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමක් පරිගණක පද්ධතිය මගින් සිදුකළ නොහැකි බවත්, ඒ ඒ අයිතමයන්ට අදාළව වෙන් වෙන්ව පවතින ගොනු වල ඇති සියලු කරුණු
  •   ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය ට අදාළ නඩුවේ 177 වන සාක්ෂිකරු ලෙස සාක්ෂි දුන් ඔහු පැමිණිල්ලේ නැවත ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ  කළේය.
  •   ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිල්ලේ සාක්ෂි අංක 151 ට අධිකරණයේ රැඳී සිටීමට නියම කළ  විනිසුරු මඩුල්ල සෙසු  සාක්ෂිකරුවන් දෙදෙනාට දැනුම් දීමක් කළ අවස්ථාවක අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් ඔවුන් මුදාහැරීමට තීරණය කළේය.
  •   අනතුරුව මෙම නඩුවේ හයවන විත්තිකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ සිය සේවා දායකයා ඩෙංගු රෝගයෙන් පෙළෙන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):
දත්ත පද්ධතියේ සඳහන් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී ධනේෂ් නන්දන බණ්ඩාර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
 

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය ට අදාළ නඩුවේ 177 වන සාක්ෂිකරු ලෙස සාක්ෂි දුන් ඔහු පැමිණිල්ලේ නැවත ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ  කළේය.

 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි. 
 
දිනපතා විභාගයට ගැනෙන මෙම නඩුවේ විභාග කටයුතු සති දෙකක පමණ කාල සීමාවකට අත්හිටුවා තිබූ අතර ඊයේ නඩු විභාගය ආරම්භ කළ අවස්ථාවේදී එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා සිතාසි නිකුත් කර සිටි සාක්‍ෂිකරු වන් තිදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර සිතාසි නිකුත් කරන ලද සාක්ෂි අංක 154 විදේශගත වී ඇති බැවින්  ඔහුගේ සාක්ෂි විමසීම සිදු නොකිරීමට ද සාක්ෂි අංක 155 න් සාක්ෂි විමසීමක් සිදු නොකිරීමට ද කටයුතු කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය. 
ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිල්ලේ සාක්ෂි අංක 151 ට අධිකරණයේ රැඳී සිටීමට නියම කළ  විනිසුරු මඩුල්ල සෙසු  සාක්ෂිකරුවන් දෙදෙනාට දැනුම් දීමක් කළ අවස්ථාවක අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් ඔවුන් මුදාහැරීමට තීරණය කළේය.
 
අනතුරුව මෙම නඩුවේ හයවන විත්තිකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ සිය සේවා දායකයා ඩෙංගු රෝගයෙන් පෙළෙන බවය. එම රෝගී තත්ත්වය සඳහා ඔහු නවලෝක රෝහලෙහි නේවාසික ප්‍රතිකාර ගන්නා බව නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය. ඊට අදාළ වාර්තා කිහිපයක් අධිකරණය පිළිබඳ කරන ලදි.
 
එම විත්තිකරු වෙනුවෙන්  ඇප කාරියක් අධිකරණයේ හමුවේ පෙනී සිටින බවත්, ඔහු නොමැතිව නඩු විභාගය සිදු කරගෙන යන ලෙසත් එම කාලය තුළදී තුළදී ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත් නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
 
 ඒ පිළිබඳව කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල  විත්තිකරුට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට වන වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇප කාරිය ට නියම කළ අතර  ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යන්නට තීරණය කළේය.
 
මෙම නඩුවේ 2 වැනි විත්තිකරු වන වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වෛද්‍යරත්න මහතා විවෘත විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලාවකට අදාළව අවසන් වසර විභාගයකට පෙනී සිටීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා අධිකරණයෙන් බැහැරවීමට අවස්ථාව ලබා දෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඊට අදාළ විභාග කාල සටහනක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී .
 
එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල  එම විත්තිකරුට ඒ සඳහා අධිකරණයෙන් බැහැරවීමට අවසර ලබා දුන්නේය.
 
අනතුරුව මෙම නඩුවේ 177 වන සාක්ෂිකරු ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී ධනේෂ් නන්දන බණ්ඩාර මහතාගෙන් වැඩිදුර නැවත ප්‍රශ්න කිරීම පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය විසින් සිදු කරන ලදී.
 
 
එහිදී  සාක්ෂිකරු විසින් යොමු කරන ලද ඊමේල් පත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා විසින් යොමු කරන ලද හරස් ප්‍රශ්න වලට අදාළව නැවත ප්‍රශ්න කිරීම් කීපයක් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් සාක්ෂිකරුට යොමු කළ අතර වෛද්‍ය සැපයුම් ඒකකයේ ඇති තොග සහ ආයතනික තොග සම්බන්ධයෙන් ඖෂධ කිහිපයකට අදාළව කරුණු විමසීම සිදු කරන ලදී. 
 
අදාළ ඊ මේල් පත් 2022 අගෝස්තු මාස 29 වැනිදා, සැප්තැම්බර් මස 05 වැනිදා, 09 වැනිදා , 12 වැනිදා, 19 වැනිදා, ඔක්තෝම්බර් මස 03,දහ 10 වැනිදා යොමු කර ඇති අතර එම කාලය තුළදී වෛද්‍ය සැපයුම් ඒකකයේ පැවැති තොග සහ ආයතන වල පැවති තොග තත්ත්වයන් පිළිබඳව මාස තුනකට අදාළව  ඒවායෙහි සටහන් කර ඇති අතර වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග තත්ත්වය බිංදුවක්ව පැවති  අවස්ථාවල ආයතන මට්ටමෙන් ඇතැම් ඖෂධ  තොග තිබූ බවට තමන් මීට පෙර සාක්ෂි  ලබාදුන් බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
 
 එම ඊමේල් සටහන්වලට අදාළව දහවෙනි විත්තිකරු ගෙන් තමන්ට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණ බව සාක්ෂිකරු  සඳහන් කර සිටියේය. වෛද්‍ය සැපයුම් ඒකකයේ පරිගණක අංශයේ හිජාස් මහතා විසින් සකස් කළ  ලැයිස්තුව අනුව 2022 සැප්තැම්බර් මස 01 වෙනිදා සිට 2023 මැයි මස 31 වෙනිදා දක්වා තොග ලැබීම් සහ පිට වීම් සම්බන්ධව සටහන්ව තිබූ බව ප්‍රකාශ කළ සාක්ෂිකරු  එම ලැයිස්තුව අනුව රිටොප්සිමැබ් ඖෂධයේ ලැබීම් 3595ක් ලෙස තිබූ බවට සාක්ෂි ලබාදුන් බව තමන්ට මතකයක් ඇති බව ප්‍රකාශ කළේය. එම තොගය මාස හතරකට ප්‍රමාණවත් වන බවද ඔහු කියා සිටියේය. 
 
අධිකරණය හමුවේ ලකුණු කරන ලද 10 v 60 ලේඛනයට අවධානය යොමු කළ සාක්ෂිකරු එහි 73 වන අයිතමය ලෙස සටහන් කර ඇති රිටොප්සිමැබ් ඖෂධයේ  සැප්තැම්බර් මස 26 වනදා වන විට වෛද්‍ය සැපයුම් ඒකකයේ තිබූ තොගය බින්දුව ලෙස සටහන් වන අතර ආයතනික තොගය ලෙස 237ක් ලෙස සටහන්ව ඇති බව සඳහන් කළේය.
 
 "හදිසි ප්‍රසම්පාදනයකට යොමු වීම සඳහා එය හේතු වූ බවට ප්‍රකාශ කළ හැකිද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ " එම ඖෂධ තොගය ලැබෙන්නේ කවදාද යන්න පිළිබඳව රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් විමසීමක් කිරීමෙන් අනතුරුව රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ සම්බන්ධ වී වෛද්‍ය සැපයුම් ඒකකය අදාළ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තීරණය කරන බව"ය. 
 
medicine 251227
 
2022 සැප්තැම්බර් මස 26 වැනිදා සහ  ඔක්තෝම්බර් මස 15 වැනිදා අතර  මෙම ඖෂධයේ හිඟයක් තිබී ඇති අතර  පහළොස් වැනිදා වන විට තොගයක් ලැබී  ඇති අතර  එම දින 19 අතර කාලයේදී ඖෂධය හිඟයක් ඇතිවී ඇති බව සාක්ෂිකරු සඳහන් කළේය.
 
එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය  "හදිසි ප්‍රසම්පාදනයක් මගින් ඖෂධ ලබා ගැනීම සඳහා එම දින 19 කාලය ප්‍රමාණවත්ද "යන්න පිළිබඳව ප්‍රශ්න කළාය.ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ හදිසි ප්‍රසම්පාදන කටයුත්තකින් ඖෂධ ලබා ගැනීම සඳහා එම කාලය ප්‍රමාණවත්  නොවන බවය. එවැනි අවස්ථාවලදී ආයතනික තොග හුවමාරු  කිරීම හෝ ප්‍රාදේශීය මිලදී ගැනීම් සඳහා යොමුවීම කළ යුතු බවය. 
 
2023/05/23  දින වන විට  ඉමියුනොග්ලොබියුලීම් ඖෂධය ජාතික තලයේ තොගය 9931ක් ලෙස පැවති අතර  එය මාස 1.32කට  ප්‍රමාණවත් වන බව සාක්ෂිකරු සඳහන් කළ අතර  මාස දෙකකට පසුව ආයතනික තොගය 1896ක් සහ වෛද්‍ය සැපයුම් ඒකකයේ තොගය බිංදුවක් ලෙස සඳහන් වන  බවද ලැබුණු සහ පැවති තොගය ඒ වන විට භාවිතා වීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් ඒකකයේ තොගය බිංදුව ලෙස දැක්වෙන බව සාක්ෂිකරු කියා සිටියේය.
 
2022 සැප්තැම්බර් මස 9 වැනිදා සිට  ඔක්තෝම්බර් මස 10 වෙනිදා අතර කාලයේදී තමන් විසින් වරින් වර යවන ලද ඊමේල් සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න වලදී ප්‍රශ්න කිරීම් සිදුකළ අතර  වෛද්‍ය සැපයුම් එකකින් තොගය අඩු ආකාරය ගැන එහිදී තමන් සාක්ෂි ලබාදුන් බව සාක්ෂිකරු එහිදී නැවත ප්‍රශ්න කිරීම් වලට පිළිතුර දෙමින් සඳහන් කළේය.
 
 සැප්තැම්බර් මස 9 වැනිදා වන විට වෛද්‍ය සැපයුම් ඒකකයේ තොගය 6220 තෙක් වැඩිවී ඇති අතර ඇනවුම් කළ තොගයක් ලැබීම හේතුවෙන් එම අගය සඳහන් වන බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
"එම සාක්ෂිය ලබාදුන්නේ ඔබ 2022 මැයි මස 23 වැනිදා සිට ඔක්තෝම්බර් දහය අතර කාලයේදී හියුමන් ඉමියුනොග්ලොබියුලීම් ඖෂධයේ ලැබීම් සහ පාවිච්චියට ගත් ප්‍රමාණය පිළිබඳව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේ දී තමන් එය නිරීක්ෂණය කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
 
 ප්‍රසම්පාදනයකට යාම සඳහා ගැප් එකක් හඳුනා ගැනීම අවශ්‍ය අතර එක් දිනයකට අදාළව වෛද්‍ය සැපයුම් ඒකකය රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඇනවුම් ලබාදී ඇති අතර එම ඇනවුම කුමන මට්ටමේ පවතින්නේ ද ,එම ඇනවුම ලැබෙන්නේ කවදා ද, යන්න පිළිබඳව සලකා බැලීමක් සිදුකර පවතින ගැප් එක පුරවා ගැනීම සඳහා ඊළඟ පියවර ගැනීම සිදුකරන බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.  
 
"අඛණ්ඩව ගැප් එකක් පවතින විට මොකද කරන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර්  ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර  ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ  " වෛද්‍ය සැපයුම් ඒකකයේ සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරී ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවන් පවත්වා හදිසි ප්‍රසම්පාදනයකට යාමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම සිදුකරන බව"ය 
"2022 ඔක්තෝම්බර් මස 20 වැනිදා දින වන විට 10 688ක තොගයක් ලැබුණ බවට ඔබ සාක්ෂි ලබා දුන්නා.  ඔක්තෝම්බර් මස 22 වැනි දින වන විට 11280ක්  දක්වා එය වැඩිවී තිබෙනවා "යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රකාශ කළ අවස්ථාවේදී   ඉදිරි සති තුනකට ප්‍රමාණවත් තොග තිබීම සහ 10688ක තොගයක් ලැබීමත් එය 11280ක්  දක්වා එය වැඩිවීමත් අදාළ සටහන් වල දැක්වෙන බව සාක්ෂිකරු සඳහන් කළේය.දවස් 24 ක කාලය තුළ ඒකක 11000 ක් ලැබී තිබෙන අතර සැප්තැම්බර් මස 26 වැනිදායින් පසුව දවස් 24 ක කාලය තුළ  ඖෂධ තොගයක් ලැබී ඇති බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
"ඔක්තෝම්බර් මස 20 වැනිදා වන විට 10688ක  තොගයක් ලැබී එය 11688ක් දක්වා වැඩි වූ අවස්ථාවක දීත්  අඛණ්ඩව ගැප් එකක් පවතිනවා ද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී ප්‍රශ්නයක් යොමු කළාය .ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ තොගයක් ලැබී ඇති බැවින් ගැප් එකක් දකින්නට නොමැති බවය 
 
අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති පැ 293 ලේඛනය අනුව හියුමන් ඉමියුනොග්ලොබියුලීම්  ඖෂධය මාසික අවශ්‍යතාවය ප්‍රමාණවත් ඖෂධ සැප්තැම්බර් මස 3 වැනිදා සිට 2023 මැයි මස 31 වැනිදා දක්වා ප්‍රමාණවත් තොග ලැබී ඇති බව සාක්ෂිකරු සඳහන් කළේය.  
 
"රිටොප්සි මැබ් ඖෂධය සැප්තැම්බර් මස 3 වැනිදා සිට 2023 මැයි මස 31 වැනිදා දක්වා අවශ්‍ය මාසික තොගය ට ප්‍රමාණවත් තොග ලැබී ඇති බව" සාක්ෂිකරු කියා සිටියේය. 
 
"2023 09.23 වැනිදා වන විට pending orders ඇති අතර  අදාළ තොග ලැබිය යුතු  දිනය සැප්තැම්බර් මස 23 වැනිදා ලෙස සඳහන් නොකළේ ඇයි "යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ඇනවුමක් ලබා දුන් විට එම ඇනවුම ලැබෙන දිනය එලෙස ප්‍රකාශ කළ නොහැකි බවය.
 
 එහි විවිධ අවස්ථාවන් ඇති අතර ටෙන්ඩර් කැඳවීමෙන් අනතුරුව ප්‍රසම්පාදන කමිටුව රැස්වීම ,ඇගයීම් සිදුකිරීම, ටෙන්ඩර් ප්‍රදානය, ණයවර ලිපි විවෘත කිරීම, තොග ඇනවුම කිරීම යනාදී විවිධ අවස්ථාවන් ඇති අතර  "කරන ලද ඇනවුම කුමන අවස්ථාවක පවතින්නේ ද" යන්න පිළිබඳව සොයා බැලීමකින් තොරව එය ලැබීම සම්බන්ධයෙන් නිශ්චිත ලෙස කරුණු සඳහන් කළ නොහැකි බවද, එහිදී රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් විමසීමක් සිදු කරන අතර  ඔවුන් ඒ පිළිබඳව නිවැරදිව කරුණු දන්නා බවද සාක්ෂිකරු කියා සිටියේ ය. 
 
ඒ අනුව ඇනවුම් කරන ලද තොගය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් විමසීම සිදුකළ යුතු බව සාක්ෂිකරු සඳහන් කළේය.
 
computer oparater
"එම ටෙන්ඩරය පවතින්නේ කුමන තත්ත්වයක ද යන්න පරිගණක පද්ධතියෙන් විමසා බැලිය නොහැකිද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ සෑම ඖෂධයක් සම්බන්ධයෙන් වන සෑම දත්තයක්ම පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමේ හැකියාවක් නොමැති බවය. සෑම අයිතමයකටම අදාළව වෙන වෙනම ගොනු පවතින අතර ඒ සියල්ලම පරිගණක පද්ධතියට ඇතුල් කිරීමක් නොකරන බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය .ඒ අනුව ඖෂධ සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමක් පරිගණක පද්ධතිය මගින් සිදුකළ නොහැකි බවට සාක්ෂිකරු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.  
"අධිකරණය හමුවේ ලකුණු කර ඇති ඖෂධ 285 කින් යුත් ප්‍රමුඛතා ලැයිස්තු සකස් කරන විට ඒ ඒ අයතමයන් ගේ ලැබිය යුතු pending orders සම්බන්ධයෙන් සලකා බලන ලෙස උපදේශයක් ලැබී තිබුණාද?"  යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ" එවැනි උපදේශයක් ලැබී නොතිබූ බව"ය  එහිදී pending orders හෝ ලැබිය යුතු දිනය පිළිබඳව සැලකීමක් නොකළ බවද සාක්ෂිකරු කියා සිටියේය . සැප්තැම්බර් මස 22 වැනි දා යවන ලද ඊමේල් පත සමග අදාළ ලැයිස්තුව යොමු කළ අතර  එම ලැයිස්තුව සකස් කරන අවස්ථාවේදී ලැබිය යුතු තොගය හා ආයතනික තොගය සලකා බැලීමක් සිදු නොකළ බව සාක්‍ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය .එහිදී වෛද්‍ය සැපයුම් ඒකකය සතුව තිබූ තොග පිළිබඳව පමණක් සලකා බැලූ අතර  pending orders සලකා බලා ලැයිස්තුව සකස් කරන ලෙස උපදේශයක් තමන්ට ලැබී නොතිබූ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 
 
අමාත්‍ය මණ්ඩල සංදේශයේ 2.2 ක් යටතේ ඇති සටහනට අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහි ඇතුළත් අයිතමයන් සම්බන්ධයෙන් සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී අටවන විත්තිකාර  හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ඊට සිය විරෝධය පළ කළේය. 
 
කැබිනට් සංදේශයට අදාළව තමන් හරස් ප්‍රශ්න යොමු කිරීමේදී  ඖෂධයන් සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිරීමක් සිදු නොකළ අතර හරස් ප්‍රශ්න වලදී සිදු විත්තිය විසින් නොකළ ප්‍රශ්න කිරීම් වලින් ඔබ්බට ගොස් නැවත ප්‍රශ්න කිරීම් සිදුකළ නොහැකි බවට ඔහු කියා සිටියේය. 
 
එම අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් සම්පූර්ණ සාක්ෂියක් ලබාදීමට මෙම සාක්ෂිකරුට හැකියාවක් නොමැති බවද නීතිඥවරයා සඳහන් කළේය. 
 
ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ එම ඡේදය පිළිබඳව සාක්ෂිකරුගේ අවධානය යොමු කරමින් හරස් ප්‍රශ්න විමසීම සිදු කළ අතර තමන් තෝරා ගත් කොටසක් පමණක්  සාක්ෂිකරුගේ අවධානයට විත්තිය විසින් යොමු කළ නමුත් ඒ මත පදනම්ව ප්‍රශ්න කිරීම් සිදුකළ නොහැකි බවය. 
 
පැ 229 E ලෙස ලකුණු කර ඇති සටහන අනුව ඖෂධ 188ක ප්‍රමුඛතා ලැයිස්තුවක් සහ ඖෂධ හතළිස් පහක ප්‍රමුඛතා ලැයිස්තුවක් ඇති අතර  කැබිනට් අනුමැතිය ලැබී ඇති ඖෂධ 182කින් සමන්විත ලයිස්තුවේ ඇති ඖෂධ සහ එම ප්‍රමුඛතා ලැයිස්තු වල සඳහන් ඖෂධයන් අතර වෙනස්කම් ඇති බව නියෝජ්‍ය සොරිස්ටර් ජෙනරාල්වරිය එහිදී ම අධිකරණය අමතමින් සඳහන් කළාය. 
 
එම ඖෂධ 182 ලැයිස්තුවේ ඇතුලත් ඖෂධ සහ 229E ලේඛනයේ ඇතුළත් ඖෂධ සම්බන්ධයෙන් සංසන්දනාත්මකව කරුණු විමසීමක් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විසින් සාක්ෂිකරුගෙන් සිදුකළ අතර එය  සංසන්දනය කරමින් සාක්ෂි ලබාදිය යුතු බැවින් එම කරුණ පරීක්ෂා කර  බැලීම සඳහා සාක්ෂිකරුට විනාඩි දහයක කාලයක් ලබාදීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය. 
 
 ඒ අනුව අධිකරණ කටයුතු  විනාඩි දහයක කාලයකට කල් තබන ලද අතර  අනතුරුව නඩු කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය "229 E  හී ඇති ඖෂධ  අධිකරණය හමුවේ පැ.260 ලෙස ලකුණු කර ඇති 182 කින් යුත් ලැයිස්තුවේ ඇතුළත් වි තිබිය හැකිද ?"යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළාය. 
 
"එම ඖෂධ සම්පූර්ණයෙන්ම ඇතුළත් වී තිබිය නොහැකි බව"ට ප්‍රකාශ කළ සාක්ෂිකරු "ලැබීම් සහ තොග මට්ටම් අනුව අදාල දත්තයන් වෙනස් වෙන බව" කියා සිටියේය. 
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය : තොග මට්ටම පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයා ලේඛන සකස් කරන අවස්ථාවට ඔබ සහභාගී නොවූ බවට ඔබ සාක්ෂි ලබා දුන්නා?
 
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: තොග මට්ටම පිළිබඳව දත්ත සකස් කිරීමේ හැකියාවක් ඔබට තිබෙනවාද?
 
සාක්ෂිකරු: නෑ ස්වාමීනී එම හැකියාව පරිගණක අංශයේ සතුයි. පරිගණක අංශයේ දත්ත පද්ධතිය මේ වන විට ක්‍රියාත්මක වන්නේ නෑ . අදාළ  දත්තයන් ට පිවිසීම කළ හැක්කේ පරිගණක අංශයට යි. තොග බලන දිනයට අදාළ තොගයන් පිළිබඳව පමණක් දත්ත ලබා ගැනීමට හැකියාව තොග පාලකට තිබෙනවා. අනෙකුත් දත්ත ලබා ගැනීම සඳහා පරිගණක අංශය විසින් කළ යුතුයි. තොග පාලන  නිලධාරියාට එම දත්ත ලබා ගැනීමේ හැකියාවක් නෑ. පරිගණක තත්ත්ව ලබා ගැනීමේ දැනුමක් තොග පාලක නිලධාරියාට නෑ 
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය  :2025 දී සකස් කරන ලද 2022 වර්ෂයට අදාළ වෛද්‍ය සැපයුම් ඒකකයේ සහ ආයතනික තොග පරීක්‍ෂා කර බැලීමේ හැකියාවක් ඔබට තියෙනවද?
 
සාක්ෂිකරු. නෑ ස්වාමීනි පරිගණක අංශය තමයි ඒක කරන්නේ. එම දත්ත පරීක්ෂා කිරීමේ හැකියාවත් තොග පාලක නිලධාරීන් ලෙස අපට නැහැ.
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය: 2022 ඔක්තෝබර් 3 වන විට රිටොප්සිමැබ් ඖෂධයේ  ලැබීමට ඇති තොගයන් පිළිබඳව විමසීම් කිරීමේ හැකියාවක් ප්‍රධාන තොග පාලක නිලධාරියාට තිබෙනවාද?
 
සාක්ෂිකරු: ප්‍රධාන තොග පාලක නිලධාරියාට මෙන්ම තොග පාලක නිලධාරියාටත් සහකාර අධ්‍යක්‍ෂක වරුන් දෙදෙනාටත් එම හැකියාව තිබෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් එම විමසීම කිරීමේ හැකියාව තිබෙනවා. 
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය:
වෛද්‍ය  msd v කේතය යටතේ  ඇනවුම් සකස් කිරීමට ලබාදුන් උපදේශය අනුව තොග පාලක අංශය විසින් එම ඇනවුම් සකස් කරන විට 07 වන චූදිත  විසින් ලබා දුන් උපදේශය කුමක්ද?
 
 සාක්ෂිකරු :ඇති තොග සහ ලැබීමට ඇති තොගය පිළිබඳව සැලකීමකින් තොරව කටයුතු කරන ලෙස උපදෙස් ලැබුණා.
 
අතිරික්ත අයිතමයන් ඇති අවස්ථාවකදී සහ අයිතම භාවිත නොවී පවතින අවස්ථාවකදී කල් ඉකුත් වීමේ හැකියාව ඇති අතර  එවැනි අවස්ථාවක තවත් තොග ලබාගැනීම මගින් ලබාගන්නා අයිතමයන් කල් ඉකුත් වීමක් සිදුවුවහොත් රජයට පාඩුවක් සිදුවන බව සාක්ෂිකරු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.
 
"Pronto පද්ධතියේ itame movement " ලෙස ඇත්තේ කුමක්දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ආයතනයකට ලැබෙන තොගය සහ බෙදා හැරීම් සිදුකරන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව එමගින් දැනගත හැකි බවය.
 
bookkeeper inspector calculated and checking balance account. accounting and auditing concept.
 
වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබෙන තොග ආයතන වලට බෙදී යන ආකාරය ලෙජර් වාර්තා මගින්ද බලා ගැනීමේ හැකියාව ඇති බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය. 
 
සම්පූර්ණ දත්ත පද්ධතිය ට පිවිසීමේ හැකියාව පරිගණක අංශය සතුව ඇති බව සඳහන් කළ සාක්ෂිකරු මගින් අදාළ දත්ත ලබා ගැනීම සිදුකළ යුතු බවද සඳහන් කර සිටියේය. 
 
නැවත ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව විනිසුරු විරාජ් වීරසූරිය මහතා සාක්ෂිකරුට ප්‍රශ්න කිහිපයක් යොමු කළේය. 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා : අධිකරණය හමුවේ 1v28 ලෙස ලකුණු කර ඇති ලේඛන අනුව හියුමන් ඉමියුනොග්ලොබියුලීම් ඖෂධය withold කිරීමට සහ withdraw කිරීමට තීරණය කර තිබෙනවා ඔබට ඒ ක්‍රියාවලිය ගැන අවබෝධයක් තිබෙනවාද?
 
සාක්ෂිකරු:එම කටයුත්ත මූලික වශයෙන් සිදුකරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින්. තත්ත්ව පාලන අංශය මගින් එය සිදු කරනවා ස්වාමීනි.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා : 
එම ඖෂධය නිසා ඇතිවූ අහිතකර ප්‍රතිවිපාක ගැන ජනමාධ්‍ය මගින් වාර්තා වුණා?.
 
සාක්ෂිකරු :එහෙමයි ස්වාමීනි 
 
විනිසුරු විරාජ් වීරසුරිය මහතා: ඒ අනුවද with hold කිරීමට තීරණය කළේ?
 
සාක්ෂිකරු : ඖෂධය  සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වූ විට ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලිඛිතව සහ පරිගණක දත්ත පද්ධතිය මගින් දැනුම් දීම කළ යුතුයි. අනතුරුව එම අධිකාරිය විසින් ඊට අදාළ පියවර ගැනීම සිදුකරනවා. 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: quality log ලෙස සටහනක් තියෙනවා. ඒ ගැන ඔබට අවබෝධයක් තිබෙනවාද?
 
සාක්ෂිකරු: තත්ත්ව පාලන අංශය මගින් තමයි එය සිදුකරන්නේ ඖෂධ ගුණාත්මක භාවය ගැන ගැටලුවක් ඇතිවූ විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් එම ඖෂධය withhold  කරන ලෙස තීරණයක් ගැනීම සිදුකරනවා 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: sufrex එකේ කටයුතු කරන්නේ කවුද කියලා ඔබට දැනුමක් තිබෙනවාද?
 
සාක්ෂිකරු: නෑ ස්වාමීනී යම් යම් නිලධාරීන් කටයුතු කරන බව දන්නවා. ඖෂධ නියාමන අධිකාරිය ගන්නා තීරණ සම්බන්ධයෙන් අවබෝධයක් මට නෑ. 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා :
අදාල ඖෂධය with hold කරන්න ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය ගත් දිනය ඔබට කියන්න පුළුවන්ද?
 
සාක්ෂිකරු: එම දිනයක් සඳහන් වන්නේ නෑ ස්වාමීනී.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා :
අදාල චක්‍ර ලේඛය නිකුත් කර ඇත්තේ 2023 10.09 වැනිදා. අදාල තීරණය ගැනීමත්, ක්‍රියාත්මක වීමත් දින දොළහක කාලයක් ගතවී තිබෙනවා. අත්‍යවශ්‍ය ඖෂධයක් සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වූ විටක සම්බන්ධයෙන් දැනුම් දීමට දින දොළහක් ගත වෙනවාද? 
 
සාක්ෂිකරු:
ඒ ගැන මට දැනුමක් නෑ ස්වාමීනි ලිපි ගොණුව බලලා පිළිතුරු ලබා දිය යුතුයි.
 
එම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න කිරීම සිදුකළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය " ඖෂධ සුරක්ෂිතතා කමිටුවෙහි ඔබ රාජකාරී කර තිබෙනවාද ?"යනුවෙන් විමසීමක් කළ අතර සාක්ෂිකරු කියා සිටියේ තමන් එවැනි රාජකාරියක් සිදුකර නොමැති බවය.
 
"එම කමිටුවේ සාමාජිකයකු ලෙස වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා කටයුතු කරන බව දන්නවාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ තමන් ඒ පිළිබඳව දන්නා බවය. අදාළ කමිටුවේ සාමාජිකයන් පිළිබඳව තමන් නොදන්නා නමුත් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජනයක් එහි ඇත්නම් එය අනිවාර්යයෙන්ම අධ්‍යක්ෂකවරයා විසින් සිදුකරන බව සාක්ෂිකරු කියා සිටියේය 
 
"Quality log සම්බන්ධයෙන් ඔබ පුද්ගලිකව රාජකාරී කර තිබෙනවාද ? "යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය  සාක්ෂිකරුට යොමු කළ අතර එවැනි රාජකාරිය කිරීමක් තමන් සිදුකර නොමැති අතර  පවතින සාමාන්‍ය දැනුම අනුව පිළිතුරු ලබාදීම සිදුකළ බව සාක්‍ෂිකරු කියා සිටියේය.
 
අනතුරුව සාක්ෂිකරුගේ අවධානය 229 E ලේඛණයට යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහි ඇතුළත් ඖෂධ දහ තුනකට අදාළ sr අංක සාක්ෂිකරුට පෙන්වා දෙමින් ඒවා පෑ 260 ලෙස ලකුණු කර ඇති ලේඛනයෙහි ඇතුළත්ව තිබේදැයි විමසීමක් කළාය. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කර සිටියේ මෙම ඖෂධ 13 එම ලැයිස්තුවට ඇතුළත්ව නොමැති බවය. 
 
ප්‍රමුඛතා ලැයිස්තු අංක දෙකෙහි ඇතුළත් අයිතම තිස් හතක් ද පැ 260 E ලේඛනයට ඇතුළත්ව නොමැති බව සාක්ෂිකරු කියා සිටියේය.
 
business meeting office
 
"2022 /09/05  සහ 2022 /10/10 වැනි දා පැවැති ඖෂධ සමාලෝචන කමිටු රැස්වීම්වලට සහභාගී වූ බවට අදාල නම් ලැයිස්තුවේ නම සඳහන් වනවා නේද" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර තමන් ඊට සහභාගී වූ බවට සටහන්ව ඇති බව සාක්ෂිකරු කියා සිටියේය. ඊට අදාළ මිනිට් සටහන් අධිකරණයේදී ප්‍රථම වරට තමන් දුටු බව ප්‍රකාශ කළ සාක්ෂිකරු එම සටහන් අනුව සාක්ෂි ලබාදීම සහ හරස් ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සිදුකළ බව ප්‍රකාශ කළේය. 
 
ඖෂධ සමාලෝචන රැස්වීම් ගණනාවක් පවත්වා ඇති අතර එම සෑම රැස්වීමකදීම සාකච්ඡාවට ගන්නා කරුණු පිළිබඳව තමන්ට නිවැරදි මතකයක් නොමැති බව සඳහන් කළ සාක්ෂිකරු 2022 සැප්තැම්බර් මස පැවැති රැස්වීම සම්බන්ධයෙන් තමන්ට මතකයක් ඇති බව සඳහන් කළේය .තමන්ට ලැබුණු උපදෙස් අනුව ඖෂධ ලැයිස්තුවක් සකස්කර ඉදිරිපත් කිරීම නිසා එම රැස්වීම පිළිබඳව තමන්ට පැහැදිලි මතකයක් ඇති බවද ඔහු සඳහන් කළේය. 
 
"ආයතනයක පවතින තොග තත්වයන් පිළිබඳව pronto දත්ත  පද්ධතියෙන් නිවැරදිවම සඳහන් වන්නේද ?"යන්න පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ රෝහලකට ඖෂධ නිකුත් කළ පසුව එම රෝහලේ සායන සහ බාහිර රෝගී අංශය වාට්ටු වලට ඖෂධ ඇති විට එම ඖෂධ සම්බන්ධයෙන්  දත්ත පද්ධතියේ සටහන් නොවන බවය .ඒ අනුව එම ස්ථානවල ඇති ඖෂධ පද්ධතියෙහි පිළිබිඹු නොවන අතර  දත්ත පද්ධතියේ සඳහන් වන  ප්‍රමාණය පමණක් ආයතනික තොග ලෙස සලකා බලන බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
ආයතන අතර හුවමාරුව වන සහ වාට්ටු අතර හුවමාරු වන ඖෂධ තොග පරිගණක පද්ධතියට ඇතුළත්  කිරීමෙන් අනතුරුව ගණනය කළ හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
ස්වාරක්ෂක තොග ගණනය කිරීම වාර්ෂික ඇනවුම් සිදු කිරීමේදී සලකා බලන බවද, හදිසි ප්‍රසම්පාදන අවස්ථාවලදී එවැන්නක් සලකා බැලීමක් නොකරන බවද සඳහන් කළ සාක්ෂිකරු  හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මගින් සිදු කරන්නේ යම්කිසි කාලසීමාවක් තුළ පවතින ඖෂධ හිගය පියවීම බවයි කියා සිටියේය.  
එම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විසින් සිදුකළ නැවත ප්‍රශ්න කිරීම අවසන් කරන ලද අතර  දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සඳහන් කළේ මූලික ප්‍රශ්න කිරීමේදී හෝ හරස් ප්‍රශ්නවලදී නොකළ  quality log පිළිබඳව නැවත ප්‍රශ්න කිරීම් වලදී සාක්ෂිකරුගෙන් කරුණු විමසීමක් සිදුකළ බවය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිහිපයක් විමසීමට ඔහු අවස්ථාව ඉල්ලා සිටියේය.
 
ඒ අනුව සාක්ෂිකරුගෙන් විමසීමක් කළ  නීතිඥවරයා  quality log ලෙස සටහන් වන්නේ කුමක්ද යන්න පිළිබඳව විමසීමක් කළේය.
 
ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු වෛද්‍ය සැපයුම් ඒකකයේ තත්ත්ව පාලන අංශයක් ඇති බවත් quality log  එය  හරහා සිදුකරන බවත් කියා සිටියේය. තොග පාලන අංශය ඒ සම්බන්ධයෙන් කටයුතු සිදු නොකරන අතර  තමන් ඒ සම්බන්ධයෙන් කටයුතු කර නොමැති බවද සඳහන් කළ සාක්ෂිකරු ඒ සඳහා වෙනම පිරිසක් සිටින බව සඳහන් කළේය. 
 
"1 v 28 ලෙස ලකුණු කර ඇති ලේඛනය සම්බන්ධයෙන් දත්ත pronto  පද්ධතියට ඇතුළත් කිරීමක් සිදු කරනවාද" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එම ප්‍රශ්නයට විරෝධය පළ කළාය. 
 
නියෝජ්‍ය සෙල්සියස් ජනරාල්වරිය: ස්වාමීනි ,එම ප්‍රශ්නයට මම විරුද්ධයි.
නීතිඥවරයා :සාක්ෂිකරුට පිළිතුරු ලැබීමට අවස්ථාව දෙන්න . ඔහු දන්නවා නම් ඒ පිළිබඳව දන්නවා කියයි.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :එහෙම ප්‍රශ්න අහන්න බෑ ස්වාමීනී 
 
නීතිඥවරයා: සත්‍ය දැනගැනීමට ඉඩ දෙන්න 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය :සත්‍යය කියන්න ඉදිරියේදී සාක්ෂිකරුවන් එනවා.
 
නීතිඥවරයා: මෙච්චර කල් සාක්ෂිකරුවන් බොරුද කිව්වේ . සාක්ෂිකරුට පිළිතුරු දීමට අවස්ථාව දෙන්න.
 
විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: එම ප්‍රශ්නය යොමු කරන්න පුළුවන්.
 
අනතුරුව අදාළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ quality log එකට තොරතුරු ඇතුළත් කිරීම අදාල රෝහලේ නිලධාරීන් විසින් සිදුකරන බවය. 
 
ඖෂධයක ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ විට ඒ පිළිබඳව quality log මගින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැනුවත් කරන අතර  අදාළව පියවර ගැනීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සිදුකරන බව කියා සිටියේය ඒ පිළිබඳව තමන්ට දැනුමක් නොමැති බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය 
 
"ඒ පිළිබඳව තොග පාලක නිලධාරියා ලෙස ඔබට පරිගණක පද්ධතියේ දිස්වෙනවාද" යනුවෙන් කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ එවැනි දිස්වීමක් සිදු නොවන බවය. Quality log එක බැලීමේ හැකියාව තත්ත්ව පාලන අංශයේ නිලධාරීන්ට ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් එම පහසුකම ඔවුන්ට ලබා දී ඇති බවද සඳහන් කළේය. 
 
"එසේ කළ බවට quality log මගින් පරිගණක පද්ධතියේ දිස්වීමක් අදාල රෝහල් සහ ගබඩා වලට අදාළව සිදුකරන බවට මා යෝජනා කරනවා." යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තමාට ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැති බවය. 
 
National medicines authority 860x430.jpg
 
යම් ඖෂධයක් සම්බන්ධයෙන් සෆ්රික්ස් කමිටුව විසින් තීරණයක් ගත්විට ඒ පිළිබඳව  පද්ධතියේ සඳහන් වන බවට තමන් යෝජනා කරන බව නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඒ බව රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය මගින් තහවුරු කර ගැනීමේ හැකියාව ඇති බවය.
 
ඒ සමගම එම සාක්ෂිකරුගෙන් සාක්ෂි විමසීම අවසන් කරන ලදී. 
 
අනතුරුව නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අංක 151 ලෙස නම්කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර  නිහාල් රංජිත් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී  ගිරිහාගම මෙනවිය ගේ මෙහෙයවීමෙන් සාක්ෂි ලබාදීම සිදු කළේය.
 
එහිදී ඔහු සඳහන් කළේ තමන් කැලණි විශ්වවිද්‍යාලයේ වාණිජ උපාධිධාරියකු වන අතර 1993 වසරේදී රාජ්‍ය සේවයට එක්වීමෙන් අනතුරුව 2010 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයට එක් වූ බවය. 2023 වන විට තමන් වෛද්‍ය සැපයුම් ඒකකය ට අනුයුක්තව කටයුතු කළ අතර තමන්ට ඉහළ නිලධාරීන් ලෙස සැපයුම් ගණකාධිකාරී , ප්‍රධාන ගණකාධිකාරී,  නියෝජ්‍ය අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කටයුතු කරන බවද සාක්ෂිකරු කියා සිටියේය. 2014 වසරේ සිට තමන් මිල නියම කිරීමේ කටයුතුවල හා දේශීය ඖෂධ සැපයුම්කරුවන් සම්බන්ධයෙන් කටයුතු කළ බව ඔහු කියා සිටියේය.
 
දේශීය සැපයුම්කරුවන් විසින් මෙරට තුළ නිෂ්පාදනය කරන ඖෂධ සැපයීමක් කරන අතර ඔවුන්ට අදාළ මිල තීරණය කිරීමේ කමිටුවක් ඇති අතර ඊට අදාළ මිල ලබාදීම් අනුව කටයුතු කිරීම තමන්ට පැවරී තිබූ බව ඔහු කියා සිටියේය. අදාළ සැපයුම්කරුවන් තෝරා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අභිලාෂ කැඳවා සිදුකරන අතර එහිදී තීරණය කරන මිල අනුව ඖෂධ නිෂ්පාදනය කිරීම ඔවුන් විසින් රට අභ්‍යන්තරයේ දී සිදුකරන බව  සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය. 
 
සැපයුම්කරුවන් තෝරා ගැනීමට තමන් සම්බන්ධ නොවන බව ප්‍රකාශ කළ සාක්ෂිකරු අදාළ සැපයුම්කරුවන්ගේ නම් ලැයිස්තුවක් තමන්ට ලැබෙන බව කියා සිටියේය. 
 
"දේශීය ඖෂධ නිෂ්පාදනවල මිල තීරණය කිරීම් කරන්නේ කෙසේද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ නිෂ්පාදකයන් සමග සාකච්ඡා කර වෛද්‍ය සැපයුම් අංශය විසින් අදාළ මිල තීරණය කිරීම් සිදුකරන බවය සැපයුම් කරුවන් සමග වසර දහයක ගිවිසුමකට ඇතුළත් වන අතර  2016 වසරේදී තෝරා ගත් සැපයුම්කරුවන් සමග ගිවිසුම් ගතවීම 2019 වසරේදී සිදු කළ බවද කියා සිටියේය. 
 
 අදාළ වසර සඳහා වන අභිලාෂ කැඳවීමේ පුවත්පත් දැන්වීම සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය "එය හඳුනාගත හැකිදැ"යි ඔහුගෙන් ප්‍රශ්න කළ අතර සාක්ෂිකරු විසින් එය හඳුනා ගන්නා ලදී. 
 
අදාළ එකම ඖෂධය සපයන සැපයුම්කරුවන් කිහිප දෙනෙකු සිටිය හැකි බව ද සාක්ෂිකරු කියා සිටි අතර අදාළ සැපයුම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතර  පවතින ඇනවුම් එම සැපයුම්කරුවන් අතර බෙදී යාමක් සිදු කරන බව  සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය. 
 
එම සැපයුම්කරුවන් තෝරා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට අදාළ ඇනවුම් ලේඛනයක් ලබාදෙන අතර දේශීය සැපයුම්කරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ගිවිසුම් ගත වන බවද සඳහන් කළේය. 
 
සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ගොනුවක්  වෛද්‍ය සැපයුම් ඒකකයේ සේවය කල සතිස් කුමාර නම් නිලධාරියා විසින් පවත්වාගෙන ගිය අතර ඔහු විදේශගත වීම හේතුවෙන් ඔහුගේ නිවාඩුවට අත්සන් තැබූ තමන්ට එම ගොනුව ලැබුණු බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
ගොනුවේ ඇති සටහනක් සහ අත්සන සතිස් කුමාරගේ බවට තමන්ට හඳුනාගත හැකි බව සාක්ෂිකරු එහිදී කියා සිටියේය. 
 
එම සටහන අනුව හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ අමාත්‍ය මණ්ඩලය අනුමැතියක් ලැබී ඇති බව එහි සඳහන් වන බව ද  එය ගණකාධිකාරී සැපයුම් , ප්‍රධාන ගණකාධිකාරී, නියෝජ්‍ය අධ්‍යක්‍ෂක, අධ්‍යක්‍ෂක , නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය ලේකම් වෙත යොමු කර ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
"එහි සටහන් ගණකාධිකාරී සැපයීම් යන සටහන අසල අත්සන් තබා ඇත්තේ කවුද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු "එහි එවකට ගණකාධිකාරී සැපයීම් ලෙස කටයුතු කළ යමුනා නමැත්තිය විසින් අත්සන් තබා ඇති අතර Forwarded ලෙස එහි සටහන් කර ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය. එම නිලධාරිනිය සමඟ තමන් රාජකාරී කටයුතු කර ඇති අතර ඇයගේ සටහන් අත් අකුරු සහ අත්සන හඳුනාගත හැකි බවයි සඳහන් කළේය 
 
ප්‍රධාන ගණකාධිකාරී ලෙස ඇති ආමන්ත්‍රණය ඉදිරියෙ හි ප්‍රධාන ගණකාධිකාරීවරයා ලෙස එවකට කටයුතු කළ ශවින්ද කුරේ මහතා විසින් අත්සන් තබා සටහන් දක්වා ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
අනතුරුව වෛද්‍ය සැපයීම් ඒකකයේ වෛද්‍ය හේරත් මහතාගේ අත්සන සඳහන් වන අතර  ඔහු සමග වසර හතරක පමණ කාලයක් කටයුතු කර ඇති බැවින් ඔහුගේ අත්සන සහ අත්අකුරු හඳුනාගත හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය. වෛද්‍ය හේරත් මහතා මෙම නඩුවේ හත් වන විත්තිකරු ලෙස අධිකරණ ශාලාවේ සිටින බවද සාක්ෂිකරු හඳුනාගත්තේය.
 
අදාළ ලිපියෙහි වෛද්‍ය රත්නායක මහතාගේ  අත්සන සහ සටහනක් ඇති අතර  එම අත්සන තමන්ට හඳුනාගත හැකි බවද සාක්ෂිකරු සඳහන් කළේය . වෛද්‍ය රත්නායක මහතා මෙම නඩුවේ දහවන විත්තිකරු ලෙස අධිකරණ ශාලාවේ සිටින බවද සාක්ෂිකරු හඳුනාගත්තේය. 
 
What Can I do if someone forged my signature
 
"එහි  SH ලෙස ඇති සටහන්ව ඇත්තේ කවුද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ secretary health ලෙස එහි සඳහන් වන බවය. එවකට සෞඛ්‍ය ලේකම් ලෙස කටයුතු කළ චන්ද්‍රගුප්ත මහතාගේ අත්සන සහ අත්අකුරු එහි ඇති අතර එම අත් අකුරු තමන්ට හඳුනාගත හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
මෙහිදී ලේඛනයක් සාක්ෂිකරුගේ අවධානයට යොමු කරමින් සාක්ෂි විමසීමට කටයුතු කළ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ එම සටහන් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති බැවින් තමන්ට ඒ සම්බන්ධයෙන් සාක්ෂි දීමේ අපහසුවක් ඇති බවය. 
 
එහි ඇති ඇතැම් කරුණු සම්බන්ධයෙන් සාක්ෂි දීමේ හැකියාව ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
ඒ සමගම එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදී.
 
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි. 
 
හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ. 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න   

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...