ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ 177 වන සාක්ෂිකරු ලෙස හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සිටියදී ඔහු මෙම ප්‍රකාශය සිදු කළේය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
එහිදී හය වන විත්තිකරුවන් පෙනී සිට නීතිඥ සත්‍යජිත් මුණසිංහ මහතා සාක්ෂිකරුගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
වෛද්‍ය සැපයුම් ඒකකයට භාණ්ඩ ලබාගැනීම සඳහා වන ඇනවුම් ලැයිස්තුවේ අංකයක් නිර්මාණය වන්නේ කෙසේදැයි නීතිඥවරයා සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න කර සිටියේය.

"අදාළ මිලදීගැනීම සම්බන්ධයෙන් වන දත්ත තොග පාලන නිලධාරීවරයා විසින් පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමක් කරනවා. එහිදී Order quantity එක,නියමිත කාල පරාසය, නිෂ්පාදිත වර්ෂය, spc හෝ msd order ද යන කරුණු ඊට ඇතුළත් වෙනවා. එම කරුණු සහ අදාළ පිරිවිතර පිළිබඳව කරුණු ඇතුළත් කළ විට automatically number එකක් create වෙනවා." යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
"වාර්ෂික ඇනවුමක් හැම වර්ෂයකට අදාළව ඉදිරිපත් වෙනවාද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අතර සාක්ෂිකරු කියා සිටියේ හැම වර්ෂයකම ඉදිරියට ඇති වර්ෂය සඳහා ලැබීමට ඇති තොග ප්‍රමාණය සලකා බැලීමෙන් අනතුරුව වාර්ෂික ඇනවුම සකස් කරන බවය.
"විශේෂ ඇනවුම් සිදු කරනවාද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "අවස්ථානුකූලව විශේෂ ඇනවුම්ද සිදුකරන බව"ය.
"අධිකරණය හමුවේ ලකුණු කර ඇති 293 ලේඛනයේ එක අයිතමය යටතේ pending orders විදියට ඇනවුමක් තිබෙනවා. එහි සඳහන් වර්ෂය වෛද්‍ය සැපයුම් ඒකකය එම ඇනවූම ලැබීමට බලාපොරොත්තු වන වර්ෂය.ද? එහෙම නැත්නම් pronto පද්ධතියට ඇතුල්වන වර්ෂය ද ?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළ අතර " අදාළ ඇනවුම pronto පද්ධතියට ඇතුලත් කරන වර්ෂය එහි සඳහන් වන බව "සාක්ෂිකරු කියා සිටියේය.
එම ලේඛනයේ සඳහන් තුන්වන අයිතමයට 2022 වර්ෂය වන විට pending orders කිහිපයක් ඇති බව සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ නීතිඥවරයා" එසේ වීමට හේතුව කුමක්දැ?"යි ප්‍රශ්න කර සිටියේය .
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ එම අවස්ථාවේදී රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා සාමාන්‍ය ඇනවුම් සිදුකර ඇති අතර හදිසි මිලදී ගැනීමක් සඳහා වන ඇනවුමක් spc සහ ලෝක බැංකු ප්‍රදානය යටතේ සිදුකරන ඇනවුම ලෙස සඳහන් වන බවය.
'එකවර ඇනවුම් හතරක් ඉදිරිපත් කිරීමට හේතුව කියන්න පුළුවන්ද ?"යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර ලෝක බැංකු, ICL ණය යෝජනා ක්‍රම හදුන්වා දී තිබුණා.ඒවාට ඇනවුම් ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලැබුණා.එම ඇනවුම්, සාමාන්‍ය වාර්ෂික ඇනවුම සහ හදිසි ඇනවුම් ඉදිරිපත් කරනවා." යනුවෙන් සාක්ෂි කරු කියා සිටියේය.
"එහි සාමාන්‍ය ඇනවුමට අමතරව විශේෂ ඇනවුම් තුනක් තිබෙනවා කිව්වොත් හරිද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු ප්‍රකාශ කළේ අවස්ථානුකූලව එම ඇනවුම් ලබා දී ඇති බවය.

"වාර්ෂික ඇනවුමට අමතරව ඖෂධ කිහිපයකට විශේෂිත ඇනවුම් ලබාදීමට 2022 වසරේදී විශේෂ හේතුවක් තිබුණාද?" යනුවෙන් වෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හා ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ ඇනවුම් ඉදිරිපත් කරන ලෙස තමන්ට උපදෙස් ලබා දුන් බවය.
"පරිත්‍යාග ලැබීමට විශේෂ හේතුවක් තිබුණාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු විවිධ මූල්‍ය ණය සහන ප්‍රදානයන් ලැබුණු බවය. ඒ අනුව විශේෂිත ඇනවුම් සිදුකළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
" මා යෝජනා කරනවා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ණයවර ලිපි විවෘත කර ගැනීමට විදේශ මුදල් හිඟයක් තිබූ බව, ඔබ එය පිළිගන්නවාද?" යනුවෙන් කියා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එම කරුණ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් තහවුරු කරගත යුතු බවය .
"එම කාලය වන විට ණයවර ලිපි විවෘත කර ගැනීමට රාජ්‍ය ඖෂධ සංස්ථාවට මුදල් නැති බවට ඔබ දැනුවත් නෑ කියලා ද දැන් කියන්නේ?" ප්‍රශ්නය නීතිඥවරයා යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "ඒ පිළිබඳව දන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාව තමයි. ඒ පිළිබඳව එම ආයතනයෙන් අහන එක වඩා හොඳ බවයි මගේ හැඟීම" යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නේය.
නීතිඥවරයා: ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර කිහිපයක් දුන්නානේ. ඒ එක කටඋත්තරයක සඳහන් කරලා තියෙනවා. " spc එකට ණයවර ලිපි විවෘත කර ගැනීම සඳහා විදේශ මුදල් නොතිබූ බව." ඔබ එලෙස ප්‍රකාශ කර ඇති බවට මා යෝජනා කළහොත් ඔබ ට ඒක හරිද?
සාක්ෂිකරු: ස්වාමීනී, ඒ කාල වකවානුව අනුව මම එහෙම ප්‍රකාශයක් කරන්න ඇති
නීතිඥවරයා: ඔබට ඒ පිළිබඳව දැනීමක් නෑ කියලද කියන්නේ?. නැත්නම් ඔබ සීඅයිඩී එකට කියපු එකද හරි?
සාක්ෂිකරු: ස්වාමීනි එම කාලවකවානුව අනුව ප්‍රකාශයක් කළා. අදාළ ආයතනයෙන් ඒ බව තහවුරු කරගන්න පුළුවන්.
නීතිඥවරයා: ඔබ ඒ ස්ථාවරය ද දරන්නේ?
සාක්ෂිකරු: ඒ ගැන තමයි මම පැහැදිලි කළේ. තහවුරු කරගන්න පුළුවන් එස්.පී.සී. එකෙන්
නීතිඥවරයා: ඔබ ඒ ප්‍රකාශය කලා කියලා පිළිගන්නවද නැද්ද?
සාක්ෂිකරු: පිළිගන්නවා ස්වාමීනි, ඒ අවස්ථාවේදී ඇති වූ තත්ත්වය හැටියට ඒ ප්‍රකාශය කර තිබෙනවා.
එම අවස්ථාවේදී සාක්ෂිකරුගේ අවධානය පැ. 293 ලේඛණයට යොමු කළ නීතිඥවරයා " ආයතනයක පවතින ඖෂධ තොගයක් භාවිතා කිරීමට ඇති හැකියාව මත කාණ්ඩ ලෙස වෙන්කර තිබෙනවාද ,?"යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය. පරිගණක පද්ධතිය තුළ එම ප්‍රමාණය පවතින බව සාක්ෂිකරු සඳහන් කළ අවස්ථාවේදී "ආයතනියක තොගය තුළ භාවිතා කළ හැකි, භාවිතා කළ නොහැකි ,ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ඇති ගැටළු නිසා ඉවත් කර ඇති ඖෂධ, යනුවෙන් වෙන් කර අගයන් දක්වා තිබෙනවාද යනුවෙන් නීතිඥවරයා විමසා සිටියේය.
පරිගණක පද්ධතියේ අදාළ දත්ත නිරූපණය වන බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
Pronto දත්ත පද්ධතිය වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත ලබා ගැනීම සඳහා භාවිතා කළ අතර එම පද්ධතිය භාවිතා කිරීම මැයි මස 31 වැනිදා නතර කළ නමුත් පසුගිය තොරතුරු ලබා ගැනීමට එය තවමත් පරිගණක අංශය විසින් භාවිතා කිරීමක් සිදුකරන බව හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේය.
Pronto පද්ධතියේ item movement යනුවෙන් කොටසක් ඇති අතර අදාළ අයිතමය ආයතනයන් වලට බෙදා දී ඇති ආකාරය එහි සඳහන් වන බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය .ආයතන වලට ඖෂධ බෙදී ගිය ආකාරය පිළිබඳව බොහෝ තොරතුරු එමගින් ලබාගත හැකි බව සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කළේය.
"වෛද්‍ය සැපයුම් ඒකකයට ඖෂධ ලැබෙන ආකාරය සහ බෙදී යන ආකාරය ගැන එහි සඳහන් වනවාද ?" යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී "ඒ පිළිබඳව දත්ත පද්ධතියේ සඳහන් වන බව" සාක්ෂිකරු කියා සිටියේය. ආයතන වල ඖෂධ ශුන්‍ය මට්ටමෙන් පවතින අවස්ථාවලදී ඒ බවද එහි පෙන්නුම් කරන බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
"පරිගණක පද්ධතිය තුළ ඇති ledger report කියන එකෙන් ledger report ගන්න පුළුවන්ද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි පහසුකමක් ලබාදී ඇති බවය . එහි අදාළ තොගය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වන අතර GRN අංකය, ආයතනික තොග යනාදිය, එහිදී බලා ගත හැකි බව සාක්ෂිකරු සඳහන් කළේය.
අධිකරණය හමුවේ පැ. 293 ,294 ,294 ලෙස නම්කර ඇති ලේඛන සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ නීතිඥවරයා "මෙම ලේඛන ඔබ දැක්කේ මුල්වරට මෙම අධිකරණයේදී ද?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය.
ඒවා මුල්වරට අධිකරණයේදී දුටු බව ප්‍රකාශ කළ සාක්ෂිකරු එම ලේඛන සකස් කිරීමේ ක්‍රියාවලියට ප්‍රධාන තොග පාලක ලෙස තමන්ගේ දායකත්වයක් නොතිබූ බව සිටියේය.

Pronto දත්ත පද්ධතිය ආශ්‍රයෙන් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද 294 දරණ ලේඛණය සම්බන්ධයෙන් තමන්ගේ දැනුවත් බවක් නොමැති බව හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළ සාක්ෂිකරු එම වාර්තාව අධිකරණයේ දී තමන් වෙත ඉදිරිපත් කරමින් ප්‍රශ්න විමසීම් සිදුකළ අතර එම ලේඛනය මත තමන් විසින් පිළිතුරු ලබාදීමක් සිදුකළ බව සඳහන් කළේය.
"පරිගණක අංශයේ තිබූ මෙම දත්ත රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ලබා ගත් බවට ඔබට දැනීමක් තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ පරිගණක අංශයෙන් ඒ පිළිබඳව පසුව දැනගත් බවය.
ප්‍රධාන තොග පාලක ලෙස එම කාර්යයට තමන්ගේ සහභාගී නොවූ බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් අවස්ථා තුනකදී ප්‍රකාශ ලබාදුන් අතර ඒ වන විටත් ප්‍රධාන තොග පාලක ලෙස කටයුතු කරමින් සිටි බව නීතිඥවරයා යොමු කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේය.
මේ නඩුවට සම්බන්ධ ඖෂධ දෙක සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔබෙන් ලේඛන ගත්තාද? යන ප්‍රශ්නය නීතිඥවරයා යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු ඒ පිළිබඳව මට හරියට මතකයක් නෑ . මතක හැටියට නම් එවැනි ලේඛන ලබා ගත්තේ නෑ. යනුවෙන් කියා සිටියේය.
"Item movement එක නමින් හෝ ledger report pronto දත්ත පද්ධතියෙන් ලබාගත හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔබෙන් විමසීමක් කළාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එවැනි විමසීමක් නොකළ බව සාක්ෂිකරු කියා සිටියේය. පැ 293 ලෙස නම්කර ඇති ලේඛනයේ අයිතම අංක 00019 දරන වාර්ෂික ඇනවුම ඉදිරිපත් කර තිබෙන දිනය කවදා ද ? යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර එම එහි දිනයක් සඳහන් නොවන බව සාක්ෂිකරු කියා සිටියේය.
"මෙම ඇනවුම් අංකය අනුව කුමන වර්ෂයකට අදාළව ද නිකුත් කර ඇත්තේ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එය 2021 වර්ෂයට අදාළව නිකුත් කර ඇති බවය.
"එම ඇනවුම මුල් අවස්ථාවේදී ඉදිරිපත් කර ඇත්තේ 2019 වසරේදී බව පිළිගන්නවාද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේදී "මාස එකොළහකට පොරොත්තු කාලයකට යටත්ව තමයි ඇනවුම් ලබා දෙන්නේ. ඒ අනුව එය 2019 දී විය හැකියි. සාමාන්‍ය කාල සටහන අනුව එම ඇනවුම 2021 ජනවාරි මාසයේදී ලබා දෙනවා" යැයි සාක්ෂිකරු කියා සිටියේය
එම ලේඛනයේ 00008 දරණ ඇනවුම 2022 වර්ෂයේදී කරන ලද වාර්ෂික ඇනවුමක් බවට සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
"එහි මුල් අවස්ථාවේදී ඇනවුම් කර ඇති දිනය 2021/01/27 කිව්වොත් පිළිගන්නවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එම වාර්ෂික ඇනවුම 2020 හෝ 2021 වසර මුලදී ඉදිරිපත් කර තිබිය හැකි බවය. ඒකක හැත්ත පන්දහක 75000ක ඇති ඇනවුමක් අතර සාපේක්ෂව ප්‍රමාණය අඩුවන බැවින් එමඟින් අයිතම සැපයීමට ගතවන කාලයද අඩුවිය හැකි බව සාක්ෂිකරු කියා සිටියේය
"2021 වසරේ දී ලැබිය යුතු ඇනවුම 2023 වසර වන විටත් ලැබී නෑ" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ මෙම ලේඛනය අනුව ඒකක 75000ක් pending " ලෙස තියෙනවා යනුවෙනි.
අධිකරණය හමුවේ ලකුණු කර ඇති ලේඛනයට වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබිය යුතු සියලු තොග පිළිබඳව කරුණු ඇතුළත් නොවන බවට යෝජනා කරනවා යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු ස්වාමීනි එම යෝජනාව ප්‍රතික්ෂේප කරනවා පෙන්ටින් තොගය ගැන තොරතුරු එහි තිබෙනවා. ඒ පිළිබඳව විමසා කරුණු දැනගත හැකියි යනුවෙන් සඳහන් කළේය.
Pronto දත්ත පද්ධතියෙන් ඖෂධයක delivery schedule එක ලබාගත හැකි බවට නීතිඥවරයා යෝජනා කළ අවස්ථාවේදී සාක්ෂිකරු delivery schedule එකට අමතරව විද්‍යුත් ලිපි සහ ගොනු මගින් තමයි එහි තොරතුරු නිවැරදිව දැනගත හැකි බව කියා සිටියේය.

තොග පාලක විසින් පවත්වාගෙන යන්න ගොනුවේ ඇතුලත් දත්ත pronto පද්ධතියේ නැති බවද ඔබ කියන්නේ නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ගොනුව හා විද්‍යුත් ලිපි මඟින් තොරතුරු ලබාගැනීමේ හැකියාව ඇති බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ඔබගෙන් විමසීමක් කළාද යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අයිතමයන් සම්බන්ධයෙන් වන ගොනු තමන් භාරයේ නොමැති අතර ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමසීමක් නොකළ බවය.
"ප්‍රාදේශීය මිලදී ගැනීම් සම්බන්ධයෙන් ඔබ සාක්ෂි දුන්නා. එම ආයතනවල තොග ශුන්‍ය වූ විට වෛද්‍ය සැපයුම් ඒකකය ඒ සඳහා අවසරය ලබාදිය යුතුද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අතර සාක්‍ෂිකරු ඖෂධවේදියා විසින් ආයතන ප්‍රධානියා හරහා වෛද්‍ය සැපයුම් අංශයට දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. වෛද්‍ය සැපයුම් ඒකකයට එම දැනුම්දීම ලැබුණු පසුව තොග පාලක නිලධාරීවරයා, සහකාර අධ්‍යක්ෂකවරයා හරහා අධ්‍යක්ෂකවරයාට එම ඉල්ලීම යොමු කර ඊට අනුමැතිය ලබා දෙනවා. ඊට අදාළ ලිපි ගොණුවක් පවත්වාගෙන යනවා" යැයි කියා සිටියේය.
නීතිඥවරයා: ප්‍රාදේශීය මිලදී ගැනීම සිදුකරන්න පුළුවන් වෛද්‍ය සැපයුම් ඒකකයේ අනුමැතිය ලැබුණායින් පසුව කියලද ඔබ කියන්නේ?
සාක්ෂිකරු: ඔව් එම අනුමැතිය ලබා ගැනීමෙන් පසුව තමයි එය කරන්න පුළුවන්. ආයතනයක ඖෂධ හිඟ වූ පසුව වෙනත් ආයතන වලින් ලබාගැනීමේ හැකියාව බලනවා. එම ආයතනවලත් ඖෂධ ප්‍රමාණය නොමැති නම් තමයි ප්‍රාදේශීය මිලදී ගැනීම් වලට යොමු වන්නේ.
නීතිඥවරයා පොන්ටෝ පද්ධතිය හරහා ප්‍රාදේශීය මිලදී ගැනීමේ ප්‍රමාණය හා තොරතුරු ගණනය කරගන්න පුළුවන්ද?
සාක්ෂිකරු පරිගණක අංශය මගින් කර ගැනිමේ හැකියාව තියෙනවා.
නීතිඥවරයා යෝජනා කරනවා ප්‍රාදේශීය මිලදී ගැනීමක් සිදුකිරීමට වෛද්‍ය සැපයුම් ඒකකයේ එය අවසර දෙන්නේ වෛද්‍ය සැපයුම එක්කයේ තොග ශුන්‍ය වී ආයතනවලිනුත් ලබා ගත නොහැකි වූ විට බව.
සාක්ෂිකරු ආයතන වලින් ආයතන වලට ලබා ගැනීමේ වගකීමක් තියෙනවා.
නීතිඥවරයා එහෙම වෙන්නේ වෛද්‍ය සැපයුම ඒකකයේ තොග නොමැති වූ අවස්ථාවකද?
සාක්ෂිකරුලැබීමට තිබෙන තොග නොලැබෙන අවස්ථාවලදී එසේ වෙනවා.
ඒ සමඟින් හයවන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කළ අතර 7 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරවින්දු පෙරේරා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළාය.
එහිදී නීතිඥවරිය ප්‍රශ්න කර සිටියේ අධිකරණය හමුවේ පැය 270 ලෙස ලකුණු කර ඇති ලේඛනයේ ජාතික තොගය පිළිබඳව සඳහනක් වන්නේ ද යන්න පිළිබඳවය. එහි එවැනි සඳහනක් නොමැති බව සඳහන් කළ සාක්ෂිකරු අදාළ ලිපිය නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයෙන් තමන්ට ලැබුණු බවත්, එහි ඇති උපදෙස් අනුව අදාල ඖෂධ ලැයිස්තුව සකස් කළ බවත් සඳහන් කළේය.
"එම ලැයිස්තුව සකස් කිරීමේදී ජාතික තොගය සැලකීමට ගත්තාද ?"යනුවෙන් නීතිඥවරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ වෛද්‍ය සැපයුම් ඒකකයේ තොගය සැලකිල්ලට ගෙන අදාළ ලැයිස්තුව සකස් කළ බවය.
"එම ලැයිස්තුව සකස් කිරීමේදී ජාතික තොගය පිළිබඳව අවධානය යොමු නොකළේ කවර කරුණක් මතද?" යන්න නීතිඥවරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමන්ට උපදෙසක් නොලැබුණු බවය.
වෛද්‍ය සැපයුම් ඒකකයේ මසක අඩු තොග ඇති ඖෂධ ඇතුළත් කර අදාළ ලැයිස්තුව සකස් කරන ලෙස තමන්ට උපදෙස් ලැබුණු බවද ඒ අනුව අදාළ ලැයිස්තුව සකස් කළ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
එහිදී ජාතික තොගය සැලකිල්ලට ගත්තේ නම් මෙම ලැයිස්තුව වෙනුවට විකල්ප ලැයිස්තුවක් සකස් වනු ඇති බව සාක්ෂිකරු කියා සිටියේය.
"ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග හදලා තමයි ලැයිස්තුවක් හදන්න කිව්වේ. ජාතික තොගය සලකා බැලුවොත් වෙනම පරස්පර ලැයිස්තුවක් තමයි හැදෙන්නේ" සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.

"සාක්ෂිකරුගේ තීරණයක් මත ද ජාතික තොගය සලකා බැලුවේ නැත්තේ?" යනුවෙන් නීතිඥවරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී " නෑ ස්වාමීනී, ඇමතිවරයාගේ රැස්වීමේදී කිව්වා msd තොගය බලලා සකස් කරන්න කියලා ඒ අනුව තමයි සකස් කළේ" යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
නීතිඥවරිය: සාක්ෂිකරුට හත්වෙනි චූදිත විසින් උපදෙසක් ලබා දුන්නාද ලැයිස්තුව හැදීමේදී ජාතික තොගය බලන්න එපා කියලා?
සාක්ෂිකරු: නෑ ස්වාමීනී , එවැනි දැනුවත් කිරීමක් කළේ නෑ. මේ ලැයිස්තුව සම්බන්ධයෙන් සියලු දෙනාම දැනුවත්
නීතිඥවරයා :හත්වන චූදිත එම රැස්වීමට සහභාගි වුණාද?
සාක්ෂිකරු : එහෙම මතකයක් නෑ
නීතිඥවරිය: තමන්ගේ ආයතන ප්‍රධානියා ඊට සහභාගි වුණාද මතක නැද්ද?
සාක්ෂිකරු: වෛද්‍ය චන්දන විජේසිංහ මහතා සහභාගි වුණා මතකයි ඔහු ලැයිස්තුව ඉදිරිපත් කළා. වෛද්‍ය හේරත් මහතා ඊට සහභාගි වුණානම් ඔහු එම ලැයිස්තුව ඉදිරිපත් කරන්න තිබුණා.
නීතිඥවරිය: මම යෝජනා කරනවා ඔබ රාජකාරිය පැහැර හරන, රාජකාරිය ඉටු කිරීම හරියට නොකරන නිලධාරියෙක් බව.
සාක්ෂිකරු: සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි. ලැබුණු උපදෙස් අනුව කටයුතු කරලා තමයි ලැයිස්තුව හැදුවේ.
ඒ ඒ ඖෂධය සම්බන්ධයෙන් කටයුතු කරන තොග පාලක නිලධාරීන් සිටින බවද, එම ඖෂධවලට අදාළව කටයුතු කිරීම ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී එම තොග පාලන නිලධාරීන් විසින් සිදුකරන බවද සාක්ෂිකරු කියා සිටියේය. ADB, World Bank වැනි ආයතන සමඟ කටයුතු කිරීමේදී එලෙස ඖෂධ සම්බන්ධයෙන් වෙන් වෙන්ව කටයුතු කරන බව සාක්ෂිකරු කියා සිටියේය.
"එතකොට වෙන වෙනම ගොනු ඒ සම්බන්ධයෙන් පවත්වාගෙන යනවා ද ?" යනුවෙන් නීතිඥවරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී "ඒ සඳහා වෙනම නිලධාරියෙක් ඉන්නවා .තොග පාලක නිලධාරීන්ගේ ගොනු එකට එකතු කරලා එක ලැයිස්තුවක් spc එකට යවනවා" යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
"අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති 305, 306, 307 ලේඛනයන් මගින් උපදෙස් ලබා දෙන විට සැපයුම්කරුවන් තෝරාගෙන ඉවරද ? "යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී
"ඒ සම්බන්ධයෙන් කටයුතු අවසන් කර දත්ත පද්ධතියට ඇතුළත් කර තිබුණා". යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
" ඒ වන විට අයිතමය සම්බන්ධයෙන් මිල තීරණය කරලත් ඉවරද?" යනුවෙන් නීතිඥවරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී ඒ වන විට මිල තීරණය කර තිබූ බව ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේය.
පැ.264 ලේඛනය සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කළ අවස්ථාවේදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමාගේ දැනුවත් වීමක් නොමැති බවය. එම ලිපිය වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයාට පිටපත් කර ඇති අතර "තොග පාලක නිලධාරීන් වෙත යවන විට එහි ලිපියේ පිටපත් ප්‍රධාන තොග පාලක නිලධාරියාට ලැබුණාද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී එය තමන්ට නොලැබුණු බව සාක්ෂිකරු කියා සිටියේය.
ලිපිය සෞඛ්‍ය ලේකම්වරයාගේ උපදෙස් මත එම ලිපිය කර සකස් කර ඇති බවට තමන් යෝජනා කරන බව නීතිඥවරිය සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු එය නිවැරදි විය හැකි බව සඳහන් කළේය.
වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂකවරයා විසින් තමන්ට වාචික උපදෙස් ලබා දුන් බවට ඔබ මීට පෙර ප්‍රකාශ කළා." එම වාචික උපදෙස් ලබා දුන්නේ මොන අවස්ථාවේද? යනුවෙන් නීතිඥවරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී "මේ ලිපියට අදාළව අනුගමනය කළ යුතු ආකාරය ගැන සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් වාර්ෂික උපදෙස් දුන්නා" යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
"ඔබ කටයුතු කළේ මෙම ලිපිය අනුවද නැත්නම් වාචික උපදෙස් අනුවද ?" යනුවෙන් නීතිඥවරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී වාචික උපදෙස් මත ලිපිය අනුව කටයුතු කළ බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
එහිදී විත්තිකරු විසින් සහකාර අධ්‍යක්ෂකවරියට කිසිදු අවස්ථාවක වාචික උපදෙස් ලබාදීමක් සිදු කර නොමැති බවට තමන් යෝජනා කරන බව නීතිඥවරිය සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි උපදෙසක් ලබා දිය යුතු බවය. "මෙවැනි ලිපියකදී වාචික උපදෙස් ලබාදිය යුතුයි. එවැනි වාචක උපදෙසක් ලබා නොදුන් විට කළ යුතු දේවල් සහ ඉදිරියට කළ යුතු කටයුතු සම්බන්ධයෙන් ගැටලු ඇති වෙනවා. ඒ නිසා බොහෝ විට මෙම ලිපි සම්බන්ධයෙන් වාචික උපදෙස් ලබාදෙනවා." යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
"ඖෂධ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ අවස්ථාවක් ඔබට දැන ගැනීමට ලැබුණාද?" නීතිඥවරිය ප්‍රශ්න කර අතර පිළිතුරු දුන් සාක්ෂිකරු එවැන්නක් දැනගත් බවද ,ඒ සම්බන්ධයෙන් පැවති හදිසි සාකච්ඡා වලට තමන් සහභාගි වූ බවද ,එවැනි සාකච්ඡා කිහිපයක් පැවැත්වූ බවද ,සඳහන් කළේය.
වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සිටි හේරත් මහතා විසින් 2023 /10/12 වැනි දින නිකුත් කරන ලද ලිපියකට සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නීතිඥවරිය එම ලිපිය සාක්ෂිකරු ට ලැබුණේ දැයි ප්‍රශ්න කර සිටියේය.
සහකාර අධ්‍යක්‍ෂක වරිය හරහා තමන්ට එම ලිපිය ලැබී තිබුණු බව සඳහන් කළ සාක්ෂිකරු ලිපියේ හේරත් මහතාගේ අත්සන ඇති බව සඳහන් කළේය.
හත්වෙනි චූදිත විසින් කිසිදු අවස්ථාවක අසත්භාවයෙන් කටයුතු කර නොමැති බවට තමන් යෝජනා කළ බව නීතිඥවරිය සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ මෙම ලිපිය අනුව ගුණාත්මක භාවය ගැන කටයුතු කර තිබෙන බවය.

හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයෙන් පසුව නව ක්‍රමවේද හඳුන්වා දීමට ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය ලබාගත් බවත් අදාළ කටයුතු සත්භාවයෙන් කළ බවටත් තමන් යෝජනා කරන බව නීතිඥවරිය සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ නියෝජ්‍ය අධ්යක්ෂකවරයා විසින් යම් යම් ලේඛන නිකුත් කර ඇති බවය.
හත්වන චූදිත විසින් කිසිදු උපදේශයක් නිර්මාණය නොකළ බවත් ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත කටයුතු කළ බවත් තමන් යෝජනා කරන බව නීතිඥවරිය සඳහන් කළ අවස්ථාවේදී "ඒ වගේ උපදෙස් ලබාදී ඇති ඒ අනුව එතුමා කටයුතු කරන්න ඇති" යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
"හත්වෙනි චූදිත වංචාකාරී කටයුත්තක් නොකළ බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරිය සඳහන් කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ" ඒ අනුව කටයුතු කර ඇති බවට ලේඛන අනුව පෙනී යන බව"ය.
එම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය සාක්ෂිකරුවෙන් නැවත ප්‍රශ්න විමසීම සිදු කළාය.
"EOI යටතේ ඖෂධ භාර ගැනීම සම්බන්ධයෙන් ඔබ පුද්ගලිකව කටයුතු කළාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේදී එලෙස කටයුතු නොකළ බව කියා සිටි සාක්ෂිකරු EOI යටතේ තොග පාලන නිලධාරීන් සහ සහකාර අධ්‍යක්ෂකවරිය කටයුතු කළේ කවර ආකාරයෙන්ද යන්න පිළිබඳව තමන්ට පුද්ගලික දැනුමක් නොමැති බවද සඳහන් කළ අතර අධිකරණයේදී තමන්ට ඉදිරිපත් වූ ලේඛන මත සාක්ෂි දීමක් සිදුකළ බව කියා සිටියේය.
"අධිකරණය හමුවේ පැ. 299 ලෙස නම් කර ඇති ලේඛනය සම්බන්ධයෙන් ඔබට ඇති දැනීම කුමක්ද? "යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එම ලේඛනය වෛද්‍ය සැපයුම් ඒකකයට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එවන ලද ලිපියක් බවය.
එම ලිපියේ උපදෙස් අනුව වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා විසින් ලබාදුන් උපදෙස් මත වෛද්‍ය සැපයුම් ඒකකයේ සැපයුම් යටතේ v අක්ෂරය ඇතුළත් ඇනවුමක් නිර්මාණය කිරීම සඳහා දැනුම් දීමක් කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
"එම ලිපියේ ප්‍රකාරව වෛද්‍ය සැපයුම් අංශයේ v අක්‍ෂරය යටතේ ඇනවුම් නියෝග නිකුත් කිරීමට ඔබට උපදෙස් ලැබුණද?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී එවැනි උපදෙසක් ලැබුණු බව සඳහන් කළ සාක්ෂිකරු EOI ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන්ට පුද්ගලික දැනුමක් නොමැති බව සඳහන් කළේය.
"ඒ සඳහා ඖෂධ තෝරා ගත්තේ කොහොමද කියලා දැනුමක් තිබෙනවාද? යන්න නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු එවැනි දැනුමක් නොමැති බව කියා සිටියේය.
"අදාළ ප්‍රදානය කළාට පස්සේ ද ඇනවුම් ලැයිස්තුව ඉදිරිපත් කරන්න කියලා උපදෙස් ලැබුණේ. "යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර එලෙස උපදෙසක් ලැබුණ බව ඔහු සඳහන් කළේය.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එහිදී ප්‍රශ්නයක් යොමු කරමින්" ඇනවුම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේ ඇයි?" යනුවෙන් විමසා සිටියේය.
ඖෂධය ,ඊට අයත් පිරිවිතර ඇතුළත් කොට වෛද්‍ය සැපයුම් ඒකකයට එම ඇනවුම් ලැයිස්තුව ඉදිරිපත් කරන බව සාක්ෂිකරු කියා සිටියේය.
"ඇනවුම් කලාට පස්සේ ද මිල කැඳවීම් කරන්නේ?" යනුවෙන් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ එලෙස මිල කැඳවීම් සිදුකරන බවය.
එහිදී ඇනවුම් කරන ලැයිස්තුවට අදාළ පිරිවිතර සැපයුම්කරුට වැදගත් වන්නේ ඇයි?" යනුවෙන් සභාපති විනිසුරුවරයා තවත් ප්‍රශ්නයක් යොමු කළ අතර සැපයුම්කරු ඊට අදාළව ඖෂධය ලබාදිය යුතු බව සාක්ෂිකරු කියා සිටියේය.
"ලන්සුව ඉදිරිපත් කිරීමේදී වෛද්‍ය සැපයුම් ඒකකය සම්පූර්ණ කළ යුතු කොන්දේසි මොනවාද කියලා තියෙනවාද,?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී ප්‍රශ්න කළ අතර සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ එවැනි කොන්දේසි ඇති බවය.
මෙම නඩුවට පාදක වූ රිටොප්සිමැබ් ඖෂධය භාර ගැනීම සම්බන්ධයෙන් කටයුතු කළ තොග පාලක නිලධාරී දිනේෂ් කස්තුරි රත්න මහතා සහ සහකාර අධ්‍යක්ෂක චාන්දනී ආරච්චි මහත්මිය සම්බන්ධයෙන් තමන් මෙම අධිකරණයේදී සාක්ෂි ලබාදුන් අතර එම ඖෂධ භාර ගැනීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමක් සිදුකර නොතිබූ බව සාක්ෂිකරු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
නියෝජ්‍ය අධ්යක්ෂකවරයා විසින් ලබා දෙන්නට උපදෙස් අනුව වෛද්‍ය සැපයුම් ඒකකයේ v කේතය ට අදාළව ලැයිස්තුවක් සකස් කළ අතර එම වී ලැයිස්තුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව checked by ලෙස තමන් අත්සන් යෙදූ බව සාක්ෂිකරු කියා සිටියේය .එම කටයුතු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලබාදුන් උපදෙස් අනුව සිදුකළ බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය
එහිදීත් පවතින තොග සහ ලැබීමට ඇති තොග නොසලකා කටයුතු කරන ලෙස නියෝජ්‍ය අධ්යක්ෂකවරයා විසින් දුන් උපදෙස් සැලකිල්ලට ගෙන තමන් කටයුතු කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
"ඔබ සඳහන් කළා ඇනවුම දාන විට අතේ ඇති තොග සහ ලැබීමට ඇති තොග නොසලකා කටයුතු කරන ලෙස උපදෙස් ලැබුණු බව සාමාන්‍ය ක්‍රියාවලියේ දීත් එහෙම වෙනවද ?"යන්න නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ සාමාන්‍ය ක්‍රියාවලියේදී එලෙස සිදු නොවන බවය.

ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලීම් ඖෂධ ඒකක 22500ක් ඇමරිකානු ඩොලර් 130 මුදලකට ප්‍රදානයක් කිරීමට තීරණය කර ඇති අතර එකී ප්‍රදානය අයිසොලේස් බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිටඩ් ආයතනයට සිදුකර තිබීම සහ ඊට අදාළ invoice අයිසොලේස් බයෝටෙක් පමා ඒ.ජී නමැති ආයතනයට නිකුත් කිරීම සම්බන්ධයෙන් වන ලේඛන වෙත සාක්ෂිකරුගේ අවධානයට යොමු කරමින් නියෝජ්‍ය සොරිස්ටර් ජනරාල්වරිය නැවත ප්‍රශ්න කිරීම් සිදු කළාය.
ඖෂධ තොග තිබියදී තවත් ඖෂධ තොගයක් ලබා ගැනීමේදී කල් ඉකුත් වීම සිදුවිය හැකි බවද සාක්ෂිකරු නැවත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේය.
එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කළ අවස්ථාවේදී ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කරන ලදී.
අනතුරුව මෙම නඩුවේ සාක්ෂි දීම සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම්කර සිටින පස්දෙනෙකු වෙත සිතාසි නිකුත් කිරීමද සිදු කරන ලදී.
ප්‍රමිතියෙන් තොර හිටපු හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය, (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න




