රුපියල් මිලියන 2200කට අධික වටිනාකමකින් යුත් රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලදී ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙරේදා (18) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාදී නොමැති 'දිවැස ෆාමා කලම්බු' නම් සමාගමකින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියන 2ක සංඛ්‍යාවක් මිලදීගෙ ඇති බවයි.
එහි දී අදාළ සමාගම එක් ඇන්ටිජන් කට්ටලයක් සඳහා රුපියල් 1146 සිට 937 දක්වා මුදලකට මිල දී ගෙන තිබෙන බව අමාත්‍යවරයා පැවසීය.
මෙම රැපිඩ් ඇන්ටිජන් කට්ටල තොගය වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් මිලියන 2200ක් බවද අමාත්‍යවරයා කීය.
අදාළ සමාගම 2021 ජුනි 01 වැනි දා NMRA හි ලියාපදිංචියට අවසර ඉල්ලා තිබුණත් ඒ සඳහා වන සුදුසුකම් සපුරා නැති හෙයින් එය ලියාපදිංචි කර නොමැති බවද ඇමතිවරයා පැවසිය.
ඒ අනුව මෙම අයථා ක්‍රියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමත්‍යංශය මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බව ද ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් කියා සිටියේය.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට අනාවරණය කළේ, අදාළ කාල වකවානුවේ දී රුපියල් මිලියන 6442ක් වැයකරමින් PCR සහ රැපිඩ් ඇන්ටිජන් කට්ටල මෙරටට ආනයනය කර ඇති බවයි.
මෙහි ටෙන්ඩරය දිලිත් ජයවීර ගේ ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනය විසින් ලබා ගෙන ඇතත් ඔවුන් ගෙන්වා ඇත්තේ ඉතා සුළු ඇන්ටිජන් ප්‍රමාණයක් බවත්, එයට විශාල සැපයුමක් කළ “දිවැස ෆාමා කලම්බු” කාගෙදැයි සෙවීම මේවන විට ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රජයේ ප්‍රචාරක දැන්වීමකි
දිවැස ෆාමා සමාගම වෙතින් කරුණු පැහැදිලි කිරීමක්
මේ අතර පසුගිය 18වන දින පාර්ලිමේන්තුවේ දී 'සීමාසහිත දිවැස ෆාමා' පුද්ගලික සමාගම වෙත එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් එම සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම ආයතනයේ නිවේදනයට අනුව අදාළ සමාගම 2018 අගෝස්තු 18වන දින සිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් තොග වශයෙන් ඖෂධ අලෙවිය සහ බෙදාහැරීම සඳහා බලපත්‍රලාභී සමාගමක් ලෙස ලියා පදිංචි කර ඇති බවත්, එය අද දක්වා අඛණ්ඩව යාවත්කාලීන කර ඇති බවත් සඳහන් කර ඇත. එමෙන් ම අදාළ සමාගම කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකාවට PCR හෝ RAT කට්ටල ආනයනය කර නොමැති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.
මතු දැක්වෙන්නේ සීමාසහිත දිවැස ෆාමා පුද්ගලික සමාගම නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
දිවැස ෆාමා සමාගම NMRA හි රෙගුලාසි අනුගමනය කර ඇති බව අවධාරණය කරයි
'' සීමාසහිත දිවැස ෆාමා පුද්ගලික සමාගම පිළිබඳ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී එල්ල වන ලද චෝදනාවක් සම්බන්ධයෙන් සත්‍ය පැහැදිලි කිරීම, 2018 අගෝස්තු 18 වැනිදා සිට සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් තොග වශයෙන් ඖෂධ අලෙවිය හා බෙදාහැරීම සදහා බලපත්‍රලාභී සමාගමක් ලෙස ලියා පදිංචි කර ඇති අතර, එය අද දක්වා අඛණ්ඩව යාවත්කාලීන කර ඇත.
ඒ අනුව, දිවැස ෆාමා සමාගම, කොවිඩ් -19 සඳහා PCR සහ රැපිඩ් ඇන්ටිජන් (RAT) කට්ටල ඇතුළු ජෝර්ජ ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම (GSH) හි ආනයනය කරන ලද නිෂ්පාදන කිහිපයක් සඳහා දේශීය බලයලත් බෙදාහරින්නෙකු බවට පත් විය. දිවස ෆාමා සමාගම විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් නියම කරන ලද එක් පරීක්ෂණයක් සඳහා වූ මිල නියමයන්ට අනුව එම මිලට ම හෝ ඊට අවම මිලකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ යටතේ රාජ්‍ය හා පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතන වලට PCR සහ (RAT) කට්ටල නීත්‍යානුකූලව අලෙවි කරනු ලැබ ඇත.
කිසිඳු අවස්ථාවක දිවැස ෆාමා සමාගම ශ්‍රී ලංකාවට PCR හෝ RAT කට්ටල ආනයනය කර නොමැත.
රජයේ සෞඛ්‍ය සේවා ආයතයන්ට අවශ්‍ය මෙවලම් සැපයීමේ දී අනුගමනය කළ යුතු නිත්‍යානුකුල ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසියාකාරව පූර්ණය කිරීමෙන් අනතුරුව දිවැස ෆාමා සමාගම දේශීය බලයලත් බෙදාහරින්නෙකු ලෙස සිය මෙහෙයුම් කටයුතු සිදු කර ඇත.
සීමා සහිත දිවැස ෆාමා පුද්ගලික සමාගම 2012 වර්ෂයේ දී සංස්ථාපිත සමාගමකි. දිවැස ෆාමා පුද්ගලික සමාගම සිය අනන්‍යතාවය යටතේ ඖෂධ සහ රෝග විනිශ්චය (Diagnostic) කිරීමේ මෙවලම් ආනයනය හා බෙදා හැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වලංගු බලපත්‍ර හිමි සමාගමකි.''
(උපුටා ගැනීම් - srilankamirror)



