සාක්ෂිකරුවන් 349 දෙනෙකුගෙන් සමන්විත මෙම නඩුවේ zoom තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීම සිදු කරන ප්‍රථම අවස්ථාව මෙය වේ. මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවනු ලැබුණි. එහිදී රජයේ නීතිඥවරයා දන්වා සිටියේ මෙම නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා විදේශීය සාක්ෂි කරුවන් දෙදෙනකු කැඳවීමට අපේක්ෂා කරන අතර ඔවුන්ගේ සාක්ෂි ලබා ගැනීම zoom තාක්ෂණය ඔස්සේ සිදු සිදුකිරීමට අපේක්ෂා කරන බවය.
ඒ අනුව ඉන්දියාවේ මහාරාශ්ඨ ප්‍රාන්තයේ "ලයිව් එල්ත් බයෝපාමා ප්‍රයිවට් ලිමිටඩ්" හී ජාත්‍යන්තර සබඳතා කළමනාකරු වන ගෝපාල් සිං ,සහ ජර්මනියේ ඖෂධ විශ්ලේෂණ ආයතනයේ වෛද්‍ය ක්‍රිස්ටර්න් ලැන්ග්ෆමාන් යන සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් එලෙස සාක්ෂියක් විමසීම සිදු කිරීමට සැළසුම් කර ඇති බව ද ඒ සම්බන්ධයෙන් වන නොතීසි අද දින විත්තිකරුවන්ගේ නීතිඥවරුන් ට ලබාදීමට කටයුතු කරන බව ද රජයේ නීතිඥවරයා දන්වා සිටියේ ය.
අනතුරුව අදාළ නොතීසි විවෘත අධිකරණයේදී විත්තිකරුවන්ගේ නීතිඥවරුන්ට ලබා දෙන ලදි. අපරාධ නඩුවිධාන සංග්‍රහයේ විධි විධාන අනුව මෙලෙස නොතීසි ලබාදීමෙන් අනතුරුව අදාළ සාක්ෂි කැඳවීමට අවශ්‍ය අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලෙස විනිසුරු මඩුල්ල එහිදී පැමිණිල්ල ට නියම කළේය. අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය වැඩි දුරටත් සාක්ෂි මෙහෙයවීම ආරම්භ කළාය.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී ධනේෂ් නන්දන බණ්ඩාර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සිව්වන දිනටත් සාක්ෂි ලබා දුන්නේය.
"පසුගිය දිනයේ ඔබ නඩු කටයුතු අවසන් කරන විට සාක්ෂි දෙමින් සිටියේ අධිකරණයට ඉදිරිපත් කර ඇති "පැ 270 D "දරණ ලේඛනය සම්බන්ධයෙන්. එහි සටහනක් තබා තිබෙනවා "
"this is very important urgent " "Please prepare common list ." යනුවෙන්.
ඇනවුම් ලැයිස්තු ඉදිරිපත් කිරීමේදී පොදු ලැයිස්තු ඉදිරිපත් කිරීමක් කරනවාද? "යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය සාක්ෂිකරුගෙන් විමසීමක් කළාය.
"ඇනවුම් ලැයිස්තුවක් හදන්නේ එක් එක් අයිතිමයට තමයි .නමුත් මෙහිදී common list එකක් හදන ලෙස උපදෙස් ලැබුණා. තොග බලලා තමයි ඇනවුම් ලැයිස්තු හදන්නේ. ඖෂධ කිහිපයක් ඇතුළත් කරල හදන්න පුළුවන්. ඖෂධවේදියා තමන්ගේ category යේ ඇති ඖෂධ එකතු කරනවා. එම ඖෂධ වලට අදාළ ඇනවුම් අංකයට අදාළව ගොනු කිහිපයක් සකස් කරනවා". යනුවෙන් සාක්ෂිකරු ඊට පිළිතුරු ලබා දුන්නේය.
"මෙහි තවත් සටහනක් තිබෙනවා ඒ පිළිබඳව අධිකරණයට පැහැදිලි කරන්න." යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂිකරුට කියා සිටි අවස්ථාවේදී "රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් සහ දේශීය නිෂ්පාදකයින්ගෙන් නොලැබුණු අයිතම එම ලිස්ට් එකට ඇතුළත් කරන ලෙස උපදෙස් ලබා දුන්නා.
Local manufacturers ලා ගෙන් spc එක ගන්න ඖෂධ ආනයනය කරන්නේ නෑ. ඒවා රට ඇතුළෙ හදන්නේ. ඒ වන විට රට ඇතුලේ නිෂ්පාදනය කරන ඖෂධ ලබාදී නොතිබුණු ඒවා මෙම ලිස්ට් එකට ඇතුලත් කරා." යනුවෙන් සාක්ෂිකරු හිදී ප්‍රකාශ කළේය.
දේශීය නිෂ්පාදකයන් විසින් ලබා දෙන ඖෂධ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් සිදු කර ගැනීමෙන් අනතුරුව ලැයිස්තුවට එම තොරතුරු ඇතුළත් කළ බව සඳහන් කළ සාක්ෂිකරු එම එම ඖෂධවලට අදාළව වෙන වෙනම ලිපිගොනු පවත්වාගෙන යන ලෙස තමන්ට උපදෙස් ලැබුණු බවද කියා සිටියේය. එක් එක් තොග පාලක නිලධාරීන්ට වෙන වෙනම කාණ්ඩ යටතේ ඖෂධ ලබා දී ඇති බවත් එම ඖෂධ සියල්ල එක ගොනුවක ට ගැනීමට මෙහිදී උපදෙස් ලබා දී ඇති බවත් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය
එහිදී අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අංක 72 ගොනුවේ 63 පිටුව සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහි සඳහන් 00304001 SR අංකය දරන ඖෂධය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව සාක්ෂිකරුගෙන් විමසීමක් කළාය.
එම ඖෂධය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් ලබාගන්නා බවද ඊට අදාළව ගිවිසුමකට ඇතුළත්ව සිටි බවද සාක්ෂිකරු සඳහන් කර සිටියේය.
"එම ඖෂධය මෙම ලැයිස්තුවට ඇතුළත් කළේ ඔබට ලැබුණු උපදෙස් අනුවද ?" යනුවෙන් සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී අදාළ සටහනේ ඇති උපදෙස් අනුව එම ඖෂධය ඇතුලත් කළ අතර එම ඖෂධය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ලබා දෙන බවට සටහනක් ඊට ඉදිරියෙන් තබා ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය.
"එම ඖෂධය ඉන්දියානු ණයයෝජනා ක්‍රමය යටතේ ගෙන ඒම අනවශ්‍ය බවත් එය මෙරට තුළදීම ලබාගත හැකි බවටත් සටහනක් තිබෙනවා නේද ?" යනුවෙන් ප්‍රශ්න කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අදාළ ආයතන වලින් කරුණු විමසීමකින් තොරවම මෙම ලැයිස්තුවට එම ඖෂධය ඇතුළත් කළේ කවර හේතුවක් මතදැයි අධිකරණයට පැහැදිලි කරන ලෙස සාක්ෂිකරුට කියා සිටියාය.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ මෙම ලැයිස්තුව එදිනම ඉදිරිපත් කිරීම සඳහා එදිනම සකස් කරන ලෙස උපදෙස් ලැබුණු අතර අදාළ ආයතන වලින් තහවුරු කර ගැනීමක් සිදුකිරීම සඳහා අවස්ථාවක් නොතිබූ බවත් ඒ වන විටත් ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් එම ඖෂධ ලබා දී නොතිබුණු බැවින් එය මෙම ලැයිස්තුවට ඇතුළත් කළ බවය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:
ඔබට ලැබුණු උපදෙස් අනුව ඇනවුම් ලැයිස්තුවක් හැදුවද ?
සාක්ෂිකරු: පොදු ලැයිස්තුවක් සකස් කරන ලෙස උපදෙස් ලැබුණා. Pronto පද්ධතියේ report කියන පහසුකම තියෙනවා ඒ හරහා අදාළ දිනයට වෛද්‍ය සැපයුම් ඒකකයේ ඇති තොගය ගැන වාර්තාවක් ගන්න පුළුවන්. එම වාර්තාව Excel format එකකට ගත්තා සියලුම තොග 397ක් ලැබුණා. ඊට මාසික අවශ්‍යතාවය තොග ප්‍රමාණය ගලපලා Excel sheet එක හැදුවා වට්ටෝරු සමාලෝචන රැස්වීමේදී ගන්නා ලද අංක සම්බන්ධයෙන් අංක සසඳා බලා තොග තත්ත්වයන් සහ පිළිබඳව සම්බන්ධීකරණය කරමින් කටයුතු කළා. සමහර ඒවාගේ තත්ත්වය සම්බන්ධයෙන්, තියෙන තොග පිළිබඳව දත්ත අරගෙන භාවිතා වන තොග සම්බන්ධයෙන් දත්ත සකස් කළා. අනතුරුව quality fail තොග ඒ ලැයිස්තුවෙන් ඉවත් කර කොපමණ ඖෂධ MSD එකේ තියෙනවාද යන්න පිළිබඳව සටහන් කළා. අනතුරුව මාසික අවශ්‍යතාවයෙන් බෙදා මාසික තොගය ගණනය කළා " යනුවෙන් සාක්ෂිකරු දීර්ඝ විස්තරයක් කළේය.
"වට්ටෝරු සමාලෝචන රැස්වීම් ලේඛන අනුව ප්‍රමුඛතා ලේඛන හඳුනා ගත්තාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ අනුව අදාළ ප්‍රමුඛතා ලේඛන සකස් කළ බවය. ඉන් අනතුරුව with hold, quality failure , expire යනාදිය අදාළ තොගයෙන් ඉවත් කළ විට මසකට අඩු තොග ඇති ඖෂධ ලැයිස්තුවට ඇතුළත් කළ බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
අනතුරුව පරිගණක පද්ධතියේ ඇති order view ලෙස ඇති ස්ථානයට ගොස් අංකය සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලූ බවද සාක්ෂිකරු කියා සිටියේ ය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :
ඔබට ලබා දී තිබෙන පරිශීලන පහසුකම් යටතේ එදා දවසට interface එකෙන් ඇති තොගය ද බලන්න පුළුවන් ?
සාක්ෂිකරු: එදින තොරතුරු පමණයි බැලීමට හැකියාව ඇත්තේ. ඔබ මීට පෙර ප්‍රකාශ කරා විගණන පරීක්ෂණ වලට තොරතුරු ලබාදෙනවා කියලා. මොන වගේ තොරතුරුද ලබා දෙන්නේ ?
සාක්ෂිකරු. ඖෂධ පිළිබඳව තොරතුරු ලබාදෙනවා. කල් ඉකුත් වූ , අත්හිටුවා ඇති සහ පෙර තොග පිළිබඳව පිළිතුරු ලබා දෙනවා .
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය:
ඔබ කිව්වා pronto පද්ධතිය හරහා පෙර තොරතුරු ඔබට බලන්න බෑ කියලා. එදා දවසට අදාළව පමණයි එය බලන්න පුළුවන් කියලා ඇයි එහෙම කිව්වේ.?
සාක්ෂිකරු: ඔව් , පද්ධතිය අදාළ ව එදින තොරතුරු පමණයි ලබාගත හැක්කේ. පෙර තොරතුරු බලන්න අවශ්‍ය වූ විට පරිගණක අංශය හරහා එම තොරතුරු ලබා ගන්නවා. එහි හිජාස් සහ සඳුනි යන නිලධාරීන් දෙදෙනෙකු සිටිනවා .අධ්‍යක්ෂවරයා හරහා ඉල්ලීමක් කර ඔවුන්ගේ සහය ලබා ගන්නවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය -ඊට අදාළව මෘදු පිටපත් ලබාගන්න පුළුවන්ද?
සාක්ෂිකරු: මෘදු පිටපත් තමයි ලබා දෙන්නේ. අවශ්‍ය නම් දුරට පිටපතක් ඉල්ලුවම ලබා දෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
කොහොමද ඒ ලබාදෙන්නේ ?
සාක්ෂිකරු ලිපියක අත්සන් යොදලා එය ලබා දෙනවා .
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එලෙස ලබා දෙන තොග තොරතුරු සම්බන්ධයෙන් ඔබට නැවතත් පරිගණක පද්ධතියේ සංසන්දනය කර බැලීමට පද්ධතියට පිවිසෙන්න පුළුවන්ද
සාක්ෂිකරු බෑ, ඒ ලබාදෙන තොරතුරු මත තමයි කටයුතු කරන්නේ .පද්ධතියට පිවිසීමට අපිට හැකියාවක් නැහැ. පරිගණක අංශයේ නිලධාරීන් එක්සෙල් ශීට් එකක් හරහා ලබා දෙනවා හැම පිටුවකට ම ඔවුන් අත්සන් තබනවා. විගණන පරීක්ෂණ වලට තොරතුරු ලබාදීමේදී දෘඪ පිටපතට අත්සන් තබා ලබාදෙන බව සඳහන් කළ සාක්ෂිකරු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය එලෙස විගණනය සඳහා ලබා දුන් පිටපතක් ලෙස හඳුනාගත්තේය.
එහි ඇති අත්සන හිජාස් නමැති නිලධාරියාගේ බව ප්‍රකාශ කළ සාක්ෂිකරු එය වෛද්‍ය සැපයුම් අංශයේ පරිගණක අංශයේ ලේඛනයක් ලෙස හඳුනා ගැනීම හඳුනාගත්තේය.
විගණන පරීක්ෂණ සඳහා හෝ අල්ලස් සහ පරීක්ෂණ සඳහා විවිධ ආකෘති වලින් තොරතුරු ඉල්ලා සිටින අතර එවැනි ඉල්ලීම් ලැබුණු විට එය පරිගණක අංශයට යොමු කර පරිගණක පද්ධතිය හරහා අදාල ආකෘති ලබා ගැනීම සිදුකරන බවත් එය Excel format එකක් ලෙස ලැබෙන බව සාක්ෂිකරු කියා සිටියේය.
අදාළ ලේඛනය පිළිබඳ කරුණු විමසමින් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය " එහි ඇතුළත් වන්නේ කුමක් සම්බන්ධයෙන් වන කරුණු ද?" යන්න පිළිබඳව විමසීමක් කළාය.
මෙය 2022 /09/ 22 වන විට ලැබිය යුතු Pending orders හා ජාතික වශයෙන් තිබෙන තොග පිළිබඳව කරුණු ඇතුළත් ලේඛනයක් බව සාක්ෂිකරු එහිදී කියා සිටියේය. එය තොග පිළිබඳ ලේඛනයක් ලෙස හඳුනා ගත හැකි අතර එහි අත්සන් තබා ඇති ඇත්තේ හිජාස් මහතා විසින් බවද ඔහු සමග වසර අටක පමණ කාලයක් කටයුතු කර ඇති බැවින් ඔහුගේ අත්සන තමන්ට හඳුනා ගත හැකි බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
එම අවස්ථාවේදී සාක්ෂිකරුගේ අවධානය පැ. 270 ලෙස ලකුණු කර ඇති ලේඛනයට යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහි යතුරු ලියනය කර ඇති ගොනුවේ ඇත්තේ 10 වැනි චූදිත විසින් 07වැනි චූදිතට ලබා දුන් උපදෙසක් බවද" මාස තුනකට ප්‍රමාණවත් තොග ලබා ගැනීම සඳහා හදීසි ප්‍රසම්පාදනයක් සිදුකරන ලෙස" එයින් උපදෙස් ලබාදී ඇති බවද සාක්ෂිකරුගේ අවධානයට ලක් කළේය.
"හදිසි ප්‍රසම්පාදනය කළ අයිතමය ට ලැබෙන ගැප් එක අනුව හදිසි ප්‍රසම්පාදනයක් ද යන්න පිළිබඳව තීරණය කරනව නේද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ අයිතමයක් සම්බන්ධයෙන් ඇති ගැප් එක හඳුනා ගැනීමේදී ලබා දුන් දෙන දිනය පිළිබඳව අවධානය යොමු කරන බවය.
අදාළ අයිතමය දේශීය සැපයුමක්ද?,ආයතන අතර හුවමාරුවක් ද යන්න පිළිබඳව ද එහිදී සැලකිල්ල යොමු කරන බව සාක්ෂිකරු කියා සිටියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
මෙහි කියලා තියෙන්නේ මාස තුනකට හැම අයිතමයකින්ම ගන්න කියලා. හදිසි ප්‍රසම්පාදනයකදී එහෙම කරන්න පුළුවන්ද?
සාක්ෂිකරු :
සාමාන්‍යයෙන් හදිසි ප්‍රසම්පාදන කටයුතු කරන්නේ අයිතියෙන් අයිතමයට .
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ස්වාරක්ෂක තොගය ගණනය කරන්නේ වාර්ෂික ඇනවුමකදී බව ඔබ කියා සිටියා. හදිසි ප්‍රසම්පාදනයකදී එය සිදු කරන්නේ කෙසේද ?
සාක්ෂිකරු. එහිදී gap එක fill කිරීමක් තමයි කරන්නේ. එය ඖෂධයෙන් ඖෂධය සලකා බලලා සිදුකරන්නේ.
නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරිය :ස්වාරක්ෂක තොගය ලබා ගැනීම හදිසි ප්‍රසම්පාදනයකදී ගණනය කරනවා ද?
සාක්ෂිකරු: නෑ ,එහිදී එම තොග ගණනය කිරීමක් කරන්නේ නෑ. එහිදී ඇති gap එක fill කිරීමට තමයි හදිසි ප්‍රසම්පාදනය යොදාගන්නේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය: ස්වාරක්ෂක තොගය ලබා ගන්නේ මොන ඇනවුමෙන්ද?
සාක්ෂිකරු: සාමාන්‍යයෙන් SPC එකට ඇනවුම් කර තිබෙනවා. සාමාන්‍ය වාර්ෂික සහ අතිරේක ඇනවුම් මගින් තමයි ස්රවාක්ෂක තොග පවත්වාගෙන යන්නේ .
නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරිය: හදිසි ප්‍රසම්පාදනයකදී ස්වාරක්ෂක තොගය ගණනය කරන්නේ නෑ කියලා ඇයි කියන්නේ ?
සාක්ෂිකරු: ස්වාරක්ෂක තොගය අවසන් වූ පසු ,gap එකක් ආවොත් සාමාන්‍ය ලෙස මාස තුනක තොගය පවත්වාගෙන යාමට හදිසි ප්‍රසම්පාදනයක් ගන්නවා .
නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරිය: ස්වාරක්ෂක තොගයෙන් gap එක පුරවන්න බැරි ඇයි ?
සාක්ෂිකරු: ඇනවුම් තොග ආවේ නැත්නම් ස්වාරක්ෂක තොගයෙන් ගන්නවා
"හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී සාමාන්‍ය ප්‍රසම්පාදනය කින් ලබා ගන්නා ප්‍රමාණයට වැඩිය ඖෂධයේ මිල ඉහළ අගයක් ගන්නේ කුමන හේතුවක් මත දැ?"යි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය එහිදී සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය.
ඖෂධ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී මිලදී ගන්නා විට මාස 12 කට පමණ ප්‍රමාණයක් ලබා ගන්නා බවත්, එහිදී ප්‍රමාණය විශාල වන බැවින් මිල ගණන සාපේක්ෂව අඩු අගයක් ගන්නා බවත්, එහිදී ඖෂධ අලුතෙන් නිෂ්පාදනය කර ලබාගැනීමක් සිදුකරන බවත් සාක්ෂිකරු කියා සිටියේය. එහෙත් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී ලබා ගන්නා ප්‍රමාණය අඩුවන අතර එහිදී ලබා ගැනීමට සිදුවන්නේ ඒ වන විටත් නිෂ්පාදනය අවසන් කර සැපයුම්කරුවන්ගේ අත ඉතිරි වී ඇති තොගය වන බැවින් එම තොගයන් වල මිල වැඩි බවද සාක්ෂිකරු කියා සිටියේය.
මෙම සාක්ෂි විමසීම සිදු කරන අවස්ථාවේ දී අටවන විත්තිකාර හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජයසුන්දර මහතා ඊට විරෝධය පළ කළේය.
"ස්වාමීනී මෙම සාක්ෂිකරු ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ සාක්ෂිකරුවකු නෙමෙයි.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙම සාක්ෂිකරුගෙන් සාක්ෂි විමසීම කළ නොහැකියි. ඔහු තොග පාලන නිලධාරියකු පමණයි. ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සාක්ෂි දිය හැක්කේ ප්‍රසම්පාදන කටයුතු කරන නිලධාරියෙකුට පමණයි"යනුවෙන් නීතිඥවරයා සඳහන් කළේය.
"ස්වාමීනී ,මම ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් කටයුතු ප්‍රශ්න කළේ නෑ හදිසි මිලදී ගැනීම් සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නයක් ඇහුවේ"යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය එහිදී
කියා සිටියාය.
ඒ සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශ කරමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා "මෙම සාක්ෂිකරු ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ අයෙක් නෙමෙයි. ඒ නිසා ඔහුගෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රශ්න අසන්න බෑ. වෙනත් ක්‍රමයකින් එම ප්‍රශ්න කිරීම සිදුකරන්න" යනුවෙන් සඳහන් කළේය.
"සාමාන්‍යයෙන් ලබා ගන්නා ඖෂධයක ජීව කාලය කොපමණද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී එම ආයු කාලය වසර විස්සක් බව සඳහන් කළ සාක්ෂිකරු හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලදී තමන් ඇනවුම් නිකුත් කිරීම් සහ තොග භාර ගැනීම සිදුකර ඇති බව සඳහන් කළේය.
"එහිදී ඖෂධය ලබා දිය යුතු කාල සීමාවක් පිළිබඳව දක්වා තිබෙනවාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර "එය සාමාන්‍ය ප්‍රසම්පාදනයකට වඩා පොරොත්තු කාලය අඩු බව" සඳහන් කළ සාක්ෂිකරු ඖෂධයේ ජීව කාලය ද අඩු බව කියා සිටියේය.
ප්‍රසම්පාදන වලදී පවතින තොග වලින් මිලදී ගැනීම් සිදුකරන අතර අලුතෙන්ම නිෂ්පාදනය කරන ඖෂධයක ජීව කාලයට වඩා නිෂ්පාදනය කර ඇති ඖෂධයක් මිලදී ගැනීමේ දී ජීව කාලය අඩු බව සඳහන් කර සිටියේය.
හදිසි මිලදී ගැනීම් වලදී ඖෂධ වල මිල සාපේක්ෂව වැඩිවන අතර ඒ පිළිබඳව විගණන විමසුම්වලදී පිළිතුරු සැපයීමට සිදු වූ අවස්ථා ඇති බවද ඖෂධයක මිල මෙන් පස් ගුණයක් පමණ මිලක් නියම කිරීම සම්බන්ධයෙන් එහිදී ප්‍රශ්න කිරීම් සිදුකළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
"අධිකරණයට ඉදිරිපත් කර ඇති පෑ 270 D ලේඛනය යටතේ 10 වැනි චූදිත විසින් 7 වැන චූදිතට ලබා දුන් උපදෙස් අනුව ඇනවුම් ලැයිස්තු සකස් කිරීමක් ඔබ සිදු කළාද ?" යන ප්‍රශ්නය සාක්ෂිකරුට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය යොමු කළ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ එවැනි ඇනවුම් ලැයිස්තු සකස් කළ බවත්, අධිකරණය හමුවේ ඇති එම ඇනවුම් ලැයිස්තු තමන් විසින් සකස් කළ බවට හඳුනාගත හැකි බවත්ය. එහි ඇති අත්අකුරු සහ අත්සන තමන්ගේ බවට සාක්ෂිකරු එහිදී හඳුනාගත්තේය.
අදාල ඇනවුම් ලැයිස්තු pronto පද්ධතියේ දත්ත ඇසුරෙන් සකස් කළ බවද, එය සකස් කිරීමෙන් පසුව pronto පද්ධතියට මුදා හල බවද සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.
"ඇනවුම් ලේඛන වල සඳහන් කේතයන්ගේ අක්ෂර එහි ස්වභාවය අනුව වෙනස් වෙනවාද ?" යන ප්‍රශ්නය සාක්ෂිකරුට යොමු වූ අවස්ථාවේදී "ඔව්, සාමාන්‍ය ඇනවුම් ලේඛනයක' N' ලෙස සඳහන් වෙනවා .අතිරේක ඇනවුම් ලේඛනයක 'A' ලෙස සඳහන් කරනවා . හදිසි ප්‍රසම්පාදන වලදී 'E 'ලෙස සඳහන් කරනවා . මෙහිදී අදාළ ඇනවුම් වලට' V' යන අක්ෂරයක් ඇතුළත් කරන ලෙස වෛද්‍ය හේරත් මහතා විසින් පරිගණක අංශයට උපදෙස් ලබා දුන්නා" යැයි සාක්ෂිකරු එහිදී සඳහන් කර සිටියේය .
2022 සැප්තැම්බර් 22 වැනි දින වන විට සකස් කළ ඇනවුම් ලැයිස්තු නියෝජ්‍ය අධ්‍යක්ෂ යොමු කළ බව සාක්ෂිකරු කියා සිටියේය. එම සාක්ෂි විමසන අතරතුර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් මීට පෙර රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට භාර දෙන ලද වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතියෙන් ලබා ගත් දත්ත ඇතුළත් සීඩී පටය අධිකරණයේ ප්‍රදර්ශනය කරමින් සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න විමසීම සඳහා අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළාය.
ඒ අනුව අධිකරණයේ මුද්‍රා තබා තිබූ එම සීඩී පටය අධිකරණයේ තිරයක් මත ප්‍රදර්ශනය කළ අතර ඊට අදාළව සාක්ෂිකරු විසින් සාක්ෂි ලබාදෙන ලදී. එහිදී එහි ඇතුළත් තත්ත්ව සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් සාක්ෂි විමසීමට උත්සාහ කළ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඊට විරෝධය පළ කළහ.
සිටී පටයේ ඇතුළත් දත්ත රජයේ රස පරීක්ෂකවරයා විසින් අධිකරණයට ලබා දී ඇති අතර එම දත්ත සටහන් මීට පෙර මෙම සාක්ෂිකරු හෝ වෙනත් කිසිවකු විසින් පරිහරණය කර නොමැති බවද ,මෙම සාක්ෂිකරු මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවද විත්තියේ නීතිඥවරු අධිකරණයේ අවධානයට යොමු කළහ . ඒ අනුව සාක්ෂිකරු නොදන්නා දත්ත ඇතුලත් සටහනක් පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කිරීම කළ නොහැකි බවද විත්තියේ නීතිඥවරු කියා සිටියහ.
"අදාළ සටහන කුමක්ද යන්න පිළිබඳව නොව දිස්වන දත්ත සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරන ලෙස" විනිසුරු මඩුල්ල එහිදී පැමිණිල්ලේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරියට දැනුම් දීමක් කළේය.
ඒ අනුව අදාළ සටහනේ ඇතුළත්ව තිබූ 00603205 යන SR අංකයට අදාළ හියුමන්ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් අදාල දත්ත සම්බන්ධව විමසීමක් කළ අතර මාසික අවශ්‍යතාවය ලෙස සටහන් කර ඇති ප්‍රමාණය කොපමණදැයි සාක්ෂිකරුගෙන් විමසීමක් කළාය. එම සටහන අනුව මාසික අවශ්‍යතාව 7500ක් බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
"මාසික අවශ්‍යතාවයට වඩා තුන් ගුණයක් මිලදී ගැනීමට තමයි උපදෙස් වල තිබුණේ ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසූ අවස්ථාවේදී සාක්ෂිකරු එලෙස සඳහන්ව තිබූ බව ප්‍රකාශ කළේය.
එදින වන විට සැපයුම් අංශය සතුව ඇති එම ඖෂධය ප්‍රමාණයේ 1720 ලෙස සඳහන්ව ඇති අතර එය මාසික අවශ්‍යතාවයට වඩා අඩු අගයක් ගන්නා බව සාක්ෂිකරු කියා සිටියේය.
එම අවස්ථාවේදී 09 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයතිලක මහතා සඳහන් කළේ සාක්ෂිකරු මෙම දත්ත සහ අදාළ සටහන නොහඳුනන බවය . ඒ වෛද්‍ය සැපයුම් අංශයෙන් ලබාගත් දත්ත බවට ප්‍රකාශ කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විසින් ප්‍රශ්න ඉදිරිපත් කරන අතර "මෙම සටහන සම්බන්ධයෙන් සාක්ෂිකරු නොදන්නා බවට මීට පෙර අධිකරණයේ හමුවේ සාක්‍ෂි ලබා දුන් සැක කටයුතු ලේඛන පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයා පැහැදිලි ලෙසම ප්‍රකාශ කළ බව" නීතිඥවරයා පෙන්වා දුන්නේය.
"මේ දත්ත අනුව යනුවෙන්" සඳහන් කරමින් ප්‍රශ්න විමසීම සිදුකරන ලෙස සභාපති විනිසුරුවරයා එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට දන්වා සිටියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය : වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග සම්බන්ධයෙන් හිජාස් නිලධාරියා දත්ත ලබා දුන්නේ කොහොමද?
සාක්ෂිකරු: Excel format එකෙන් දින ආශ්‍රයෙන් දත්ත ලබා දුන්නා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය :
වෛද්‍ය සැපයුම් ඒකකයේ තොගය සම්බන්ධයෙන් එහි තියෙනවාද ?
සාක්ෂිකරු:
ඔව් වෛද්‍ය සැපයුම් ඒකකයේ දිනක තොගය තමයි එහිදී ලබා දෙන්නේ.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය:
ඔබ මීට පෙර සාක්ෂියක් ලබා දුන්නා වෛද්‍ය සැපයුම් ඒකකය දත්ත විගණන වාර්තාවට දෙන බව?
සාක්ෂිකරු :එහෙමයි ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය: Excel format එකේ ලබා දෙන බව කිව්වා නේද?
සාක්ෂිකරු: එසේය ස්වාමීනි
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය:
මේ දත්ත මොනවද?
මෙහිදී සාක්ෂිකරු පිළිතුරක් ලබා නම් නොදුන් අතර මෙම නඩුවේ අටවන විත්තිකාර හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා" ඒක දන්නෙත් නෑ " යනුවෙන් අධිකරණයේ අවධානය ඊට යොමු කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ස්වාමීනි, ඔහු කිව්වා පරිගණක අංශයේ අයව සම්බන්ධ කරගෙන දත්ත ලබාගත් බව.මේ දත්ත අධිකරණ නියෝගයක් අනුව අධිකරණයට රජයේ රස පරීක්ෂක විසින් ලබා දුන් ඒවා. අධිකරණය බාරයේ ඇති දෙයක් ලබාගෙන සාක්ෂිකරුගෙන් විමර්ශන සිදු කිරීමට CID එකට හැකියාවක් නෑ. ඒ සම්බන්ධයෙන් සාක්ෂිකරු දැනුවත් කිරීමේ හැකියාවක් නෑ
නීතිඥ රාහුල් ජයතිලක මහතා:
මෙය සකස් කළ ලේඛනයක් .
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා:
සකස් කර ලේඛනයක් මෙහි ඇති දත්ත සහ ලේඛන වල ඇති දත්ත සම්බන්ධීකරණය කරමින් සාක්ෂි විමසීම කළ නොහැකියි.
නීතිඥ නයන්ත විජේසුන්දර මහතා:
ස්වාමීනී මෙම දත්ත හදලා තියෙන්නේ ,මෙම ලේඛනය හදලා තියෙන්නේ වෙනත් අයෙක්. රජයේ රස පරීක්ෂක ප්‍රමුඛ පස්දෙනකු ගෙන් යුත් කමිටුවක් විසින්. සාක්ෂිකරුට මෙහි සම්බන්ධයක් නෑ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
සාක්ෂිකරුට පරණ දත්ත ගැනම ගැන බලන්න බැහැ. ඔහුට අද දවසේ තොගය බලන්න පමණයි පද්ධති ඔස්සේ කළ හැක්කේ. පරණ දත්ත බැලීමට නම් ඔහුට වෙනත් පාර්ශවයක ආධාර ගන්න ඕනේ
නීතිඥ අසේල සේරසිංහ :
ස්වාමීනී රජයේ රසපරීක්ෂකවරයාගෙන් මා විශේෂයෙන්ම ප්‍රශ්න කළා මෙම ලේඛනයට සකස් කිරීමට නන්දන බණ්ඩාර සම්බන්ධ වුණාද කියලා. ඔහු එහිදී නෑ කියලා කිව්වේ.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: මෙම සීඩී තැටිය දැනටමත් අධිකරණය ඉදිරියේ තියෙන සාක්ෂියක තිරයේ පේන දේ අනුව තිරයේ පේන දේ මත සාක්ෂි ඇසීම සිදුකල හැකියි.
මෙහිදී 09 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයවර්ධන ජයතිලක මහතා තමන්ගේ විරෝධය සටහන් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. අනතුරුව එකී නියෝගය සටහන් කරන ලදී.
ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ඉදිරිපත් කළ පිළිතුර ද නඩු වාර්තාවට ඇතුළත් කිරීම සඳහා සටහන් කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් නියෝගය ලබා දෙමින් විනිසුරු මඩුල්ල කියා සිටියේ මෙම සී ඩී පටයේ අඩංගු දත්ත වෛද්‍ය සැපයුම් අංශයෙන් ලබාගත් බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් මීට පෙර සාක්ෂියක් ලබාදී ඇති බවය. ඒ අනුව ඖෂධ වල පවත්වාගෙන යන තොගය සම්බන්ධයෙන් වන දත්ත ලබා ගැනීම මෙම ලේඛනය සකස් කර ඇති බවද, සාක්ෂිකරු ප්‍රධාන තොග පාලක නිලධාරීවරයා ලෙස කටයුතු කරන අතර සී ඩී තැටියේ දත්ත සාක්ෂිකරුට සම්බන්ධ කර නොහැකි වුවද එම දත්ත මත සාක්ෂි දීමේ හැකියාව ඇති බැවින් දත්ත අනුසාරයෙන් සාක්ෂි විමසීමට අවස්ථාව සලසා දෙනු බව අදාළ නියෝගයේ සඳහන් කෙරිණ.
"2022 සැප්තැම්බර් 24 වැනිදා වන විට හියුමන්ග්ලොබියුලීන් ඖෂධයේ තිබෙන අගය කුමක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකරු කියා සිටියේ 1480ක් ලෙස එය සටහන්වන අතර එහි මාසික තොගය 7500ක් ලෙස සඳහන් වන බවය .එහි පවතින තොගය මාසික අවශ්‍යතාවයට වඩා අඩු මට්ටමක පවතින බවද, ඔක්තෝම්බර් මස 02 වැනිදා වන විට පෙන්වන තොගය 10668ක් වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය විමසා සිටි ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළ සාක්ෂිකරු අපේක්ෂිත තොගයක් ලැබීම හේතුවෙන් එම අගය වැඩි වී ඇති බව සඳහන් කළේය.
දෛනිකව ආයතන වලට ඖෂධ නිකුත් කිරීමක් වෛද්‍ය සැපයුම් ඒකකයෙන් නිකුත් කරන සිදු කරන අතර වෛද්‍ය සැපයුම් අංශයේ ඇති දත්ත වෙනස් වෙමින් පවතින බව ද අපේක්ෂිත තොගයක් ලැබුණ පසු පවතින ප්‍රමාණයට වඩා සාපේක්ෂව වැඩි අගයක් පෙන්නුම් කරන බවද, ප්‍රකාශ කළ සාක්ෂිකරු පද්ධතියට GRN process එකක් ඇතුළත් කර විට දත්ත ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා බව ප්‍රකාශ කළේය.
"අපේක්ෂිත තොග ප්‍රමාණය ලැබීම හැර වෙනත් කිසිදු හේතුවක් මත තොගය වැඩි වන්නේ නැද්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු කියා සිටියේ සඳහා වෙනත් ක්‍රමයක් නොපවතින බවය.
මෙම තිරයේ දිස්වූ වගුව ඇසුරෙන් සාක්ෂිකරුගෙන් ඖෂධ කිහිපයක් පිළිබඳවම තොග තත්ත්වය සහ මාසික අවශ්‍යතාවය, දැනට පවතින තොගය, මාසික අවශ්‍යතාවයට සාපේක්ෂව පවතින තොගය වැඩි ද අඩු ද යන්න පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය වෙන් වෙන් වශයෙන් ප්‍රශ්න කර සිටියාය.
එහිදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ වෛද්‍ය සැපයුම් ඒකකය විසින් ඖෂධ නිකුත් කිරීමෙන් අනතුරුව ඒවා ලැබුණු බවට අදාළ ආයතනවල විසින් පද්ධතියට ඇතුලත් කරන තෙක් දත්ත පද්ධතියෙහි වෛද්‍ය සැපයුම් ඒකකයට අදාළ තොගයේ වැඩි අගයක් පෙන්නුම් කරන බවය
යම් දිනයක තොගය පවතින අවස්ථාවකදී ඊළඟ දිනයේ සාපේක්ෂව වැඩි අගයක් ගනී නම් ඊට හේතුව ලෙස order එකක් ලැබීම බවත් දැක්විය හැකි බවද සාක්ෂිකරු එහිදී කියා සිටියේය.
"මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ඖෂධයක් ලැයිස්තු සකස් කිරීමේදී ලැබීමට නියමිත තොග නොසලකා කටයුතු කරන ලෙස උපදෙස ලැබුණේදැ?"යි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුවන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ pending orders නොසලකා හරිමින් අදාළ ලැයිස්තුව සකස් කරන ලෙස උපදෙස් ලැබී තිබූ බවය.
"Order list place කරද්දි pending orders බලන්න ඕනෙ ඇයි?" ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුට යොමු කළ අතර අදාල gap එක හඳුනා ගැනීම සඳහා සිදු කළ යුතු බව සාක්ෂිකරු කියා සිටියේය.
මෙම ලැයිස්තු සකස් කිරීමේදී pending orders නොසලකා හරින ලෙස උපදෙස් ලැබුණු බවද සාක්ෂිකරු නැවත වරක් ප්‍රකාශ කළේය.
"තොග වැඩිවීම දිනෙන් දින වැඩි වෙන්න පුළුවන්ද?" යන ප්‍රශ්නය සාක්ෂිකරුට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් යොමු කළ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ GRN කරන අවස්ථාවේදීත් invoice කිහිපයක් ලැබුණ පසුවත් දිනකට පවතින තොගය වැඩි විය හැකි බවය.
ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විමසීම අවසන් කරන ලද අතර ප්‍රදර්ශනය කරමින් තිබූ සී ඩී තැටිය අධිකරණය භාරයට ගෙන මුද්‍රා තබන ලදී.
සාක්ෂි ලබාදීම සඳහා ඊළඟ නඩු දිනයේදී නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කරන ලදි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 349 ක් ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද පැමිණිල්ල විසින් මෙම නඩුවට අදාළව ඉදිරිපත් කර තිබේ
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවන් ලෙස නම්කර සිටිති.