BREAKING
Top Ad
සමාලාප

''රට බෙදිලා නැහැ, උතුරු නැගෙනහිර ජනතාව ඡන්දය දුන්නෙත් සිංහල නායකයෙක්ට'' - අමාත්‍ය ඩලස් අලහපෙරුම

T

The Leader

November 28, 2019 • 2:51 AM

''රට බෙදිලා නැහැ, උතුරු නැගෙනහිර ජනතාව ඡන්දය දුන්නෙත් සිංහල නායකයෙක්ට'' - අමාත්‍ය ඩලස් අලහපෙරුම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සජිත් ප්‍රේමදාසත් සිංහල නායකයෙක්. ඔහු ගැන දෙමළ මුස්ලිම් ජනතාව විශ්වාසය තියලා තියෙනවා. ඒ නිසා රට බෙදිලා නෑ යැයි
  • ඩලස් : ඇත්තටම ජාතීන් විදියට ආගම් විදියට ඡන්ද බෙදිලා නැහැ.
  • බීබීසී වගේ අන්තර්ජාතික මාධ්‍යවලින් පවා කියන්නේ ඡන්දය ප්‍රකාශ කරද්දී ජාතීන් බෙදිලා කියලා.
  • ඒත් ඒක වැරදි බව ඔප්පු කරන්න පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම 'අනිද්දා' පුවත්පතේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, සමග කළ සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇත.

අනිද්දා:
මැතිවරණයෙන් ලද ජයග්‍රහණය තේරුම් ගන්නේ කොහොමද?

ඩලස් :
ඇත්තටම ජාතීන් විදියට ආගම් විදියට ඡන්ද බෙදිලා නැහැ. එසේ කීම මිත්‍යාවක්. බීබීසී වගේ අන්තර්ජාතික මාධ්‍යවලින් පවා කියන්නේ ඡන්දය ප්‍රකාශ කරද්දී ජාතීන් බෙදිලා කියලා. ඒත් ඒක වැරදි බව ඔප්පු කරන්න පුළුවන්. ඇත්තටම වුණේ ඒක නෙවෙයි. 2015 දී ආපු ආණ්ඩුව දීපු යහපාලනය, ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදයට අදාල පොරොන්දු සියල්ලම අමු අමුවේ කැඩුවා. එය ප්‍රජාතන්ත්‍රවාදය රකින ආණ්ඩුවක් වෙනුවට මැතිවරණ පවා කල්දාන ආණ්ඩුවක් බවට පත්වුණා. ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ නාමයෙන් ඕනෑ දෙයක් කරන තැනට පත්වුණා.

මොකක් හෝ වාසනාවට ආණ්ඩුව ගැන ඍජුව ප්‍රශ්න කරන්නේ නැති බවකුත් තිබුණා. එහි ප්‍රතිඵලයක් විදියට ජනතාව ඒ ගැන තමන්ගේ මතය ප්‍රකාශ කළා. 2015 දී වුණෙත් ඕකමයි. මිනිස්සු ඒ ආණ්ඩුව ගැන පැහැදිළිව තමන්ගේ මතය ප්‍රකාශ කළා. තමන් මුහුණදෙන දැඩි ආර්ථික, ආරක්ෂක ක්ෂේත්‍ර පිළිබඳ පීඩනය ප්‍රකාශ කළා.

ඒ පැත්තෙන් සජිත් ප්‍රේමදාස මහතාව තෝරාගත්තේම එජාපය ගොඩගැනීමට හොඳම විකල්පය විදියට තීන්දු කරලා. හොඳම විකල්පයට වෙච්ච දේ තමයි අපි දැක්කේ. ඇතැම්විට රනිල් වික්‍රමසිංහ වගේ අපේක්ෂකයෙක් ආවානම් වෙන්න පුළුවන් දේ මොකක්ද. මැතිවරණයේදී ජනතාව බොහොම සරල ප්‍රකාශයක් කළා. ඒ තමයි ආණ්ඩු විරෝධය.

අනිද්දා:
මැතිවරණ ප්‍රතිඵලය ජාතීන් විදියට බෙදී නොගිය බව කියන්නේ ඇයි?

text 1ඩලස් :

ජාතීන් විදියට බෙදුණානම් උතුරේ ඡන්ද යන්න ඕනෑ සිවාජිලිංගම් මහතාට. නැත්නම් ඒ ඡන්ද හිස්බුල්ලාට යන්න ඕනෑ. ඒ නිසා ඔය නිර්වචනයම වැරදියි. සජිත් ප්‍රේමදාසත් සිංහල නායකයෙක්. ඔහු ගැන දෙමළ මුස්ලිම් ජනතාව විශ්වාසය තියලා තියෙනවා. සිංහල කෙනෙක් ගැන දෙමළ ප්‍රජාව විශ්වාසය තැබුවේ නැත්නම් ඒක භයානක සංඥාවක් බවට පත්වෙනවා. එහෙනම් බෙදුම් ඉරක් නිර්මාණය වූ බව කියන්න පුළුවන්. දැන් එහෙම එකක් නැහැ. 

අනෙක් පැත්තෙන් දැඩි ජාතිවාදියෙක් කියලා හඳුන්වපු ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණයෙන් පසුව කරපු පළවැනි ප්‍රකාශයේදී කිව්වා මම පොදුජන පෙරමුණේ ‍නායකයා විතරක් නොවන බව. උතුරේ මිනිස්සුන්ගේත් නායකයා තමන් බව. සියළු ජනවර්ගවල අයට එකතුවෙන්න කියලා ඔහු ඉල්ලු‍වා.

එක්සත් ජාතික පක්ෂය උතුරු හා නැගෙනහිර පළාත්වල ආසන ජයග්‍රහණය කළත් එය දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ආදී පක්ෂවල බල ප්‍රදේශ. ඒ අනුව එජාපය තනිවම ක්‍රියාකාරී වූ ප්‍රදේශවලදී පසුගිය ජනාධිපතිවරණයේදී වගේම මෙවරත් දුර්වලයි…

යූඇන්පීයට තියෙන ප්‍රධානම ගැටළුව තමයි ජාතික න්‍යායපත්‍රය අතට නොගැනීම. ජාතික න්‍යායපත්‍රය කියලා කියන්නේ ජාතිවාදීන් වීම නෙවෙයි. රටේ හදගැස්ම තේරුම් ගැනීම. මීට කලින් ඇල්පිටියේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වුණාම අපි කිව්වා මේ තමයි රටේ ප්‍රතිඵලය කියලා. එහෙත් ඒ ගැන නොයෙක් විවාද ආවා. ඒත් ජනාධිපතිවරණයේදී කොළඹ නගරයේ හැරුණාම හැම තැනදිම ආපු ප්‍රතිඵලය තමයි ඇල්පිටියේ ප්‍රතිඵලය.

මම සංවිධානය කරපු මාතර දිස්ත්‍රික්කයේ එජාපයේ සමස්ථ ප්‍රතිශතය සීයට 27යි. මගේ ආසනය වන කඹුරුපිටිය ආසනයේ එජාපයට සීයට 23යි. ලංකාවේ වැඩිම ප්‍රතිශතයක් පොදුජන පෙරමුණට ලැබුණේ කඹුරුපිටියෙන්. සීයට 71ක්. යම් ප්‍රදේශයක සීයට 71ක් ඡන්දය දෙන්නේ පොහොට්ටුවට නම් එය එජාපයේ මොනතරම් දරුණු කඩාවැටීමක්ද. ඔවුන් ආණ්ඩුවත් තබාගෙන, නායකයන් මාරු කරගෙන ඔක්කෝම කරලත් ප්‍රතිඵලය මෙහෙමනම් එජාපය දැඩිව කල්පනා කළ යුතුයි.

 

අනිද්දා:
සජිත් ප්‍රේමදාස මහතාට බිම් මට්ටමේ ඡන්ද ලැබේයැයි කළ අනුමානයන් බොරු වුණා නේද?

ඩලස් :

ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය කරගත්ත ලොකුම වැරදි වැඩ දෙකක් තියෙනවා. මගේ කියැවීම අනුව ඔවුන් ජනතාවට සංවේදී නැහැ. මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්න සූදානම් නැහැ. කෙනෙක්ට ආණ්ඩුව අනම්‍ය වීම හොඳ ලක්ෂණයක් විදියට තර්ක කරන්න පුලු‍වන්. ඒත් එහෙම දෙයක් නෙවෙයි. යම් ආණ්ඩුවක් අනම්‍ය විදියට කටයුතු කරනවානම් ජනමතය වෙනස් කරන්න තරම් නිර්මාණශීලී වෙන්න ඕනෑ.

ඒත් මේ ආණ්ඩුව ජනමතයට බය බව පැහැදිළිව පෙනුණා. පළාත් පාලන මැතිවරණය අවුරුදු ගාණක් කල්දැම්මා. පළාත් සභා මැතිවරණය අවුරුදු දෙකක් කල්ගියා. යහපාලන මුද්‍රාව සහිත ආණ්ඩුවක් මේක. ඒත් කළේ ඊට ප්‍රතිවිරුද්ධ දේවල්. අන්තිමේ ජනාධිපතිවරණයත් පැවැත්වුවා නෙවෙයි. පවත්වන්න සිද්ධවුණා. මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට අන්තිමේ අතුරුදන් කළ පළාත් සභා මැතිවරණය කියන යෙදුම පාවිච්චි කරන්න වුණා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පුදුමාකාර අර්ථකතනයක් එතැන තියෙනවා.

අනෙක දැන් අළුත් පරම්පරාවක් ඉන්නවා. ඒ පරම්පරාව චරිත ඝාතන, මඩ සහිත, බොරු කරන දේශපාලනයකට කැමති නැහැ.

අනිද්දා:
එසේ කියන්නේ ඇයි?

ඩලස් :

අපි සමාජ මාධ්‍ය ඇතුළේ සමීක්ෂණ කරලා තියෙනවා. ඔවුන් තුළ සජිත් ප්‍රේමදාස විරෝධය ඉහළටම වර්ධනය වුණා. සජිත් ප්‍රේමදාසලාගේ ව්‍යාපෘතිය විරුද්ධවාදීන්ගේ චරිත ඝාතනය සම්පූර්ණයෙන්ම දරුණු තැනට වර්ධනය වුණා. ඔවුන් එය දේශපාලනය බව හිතුවාට ඒක අළුත් පරම්පරාව ප්‍රතික්ෂේප කරනවා. එමගින් තිබුණ ලකුණු ටිකත් නැති කරගත්තා.

අනෙක අපේක්ෂකයෙක් විදියට සජිත් ප්‍රේමදාස මහතාගේ තිබුණු පෞද්ගලික දුර්වලතාත් බලපෑවා. ඔහුගේ භාවිතාව හරහා සමාජයට ආවේ සජිත් ප්‍රතිරූපය පිළිබඳ ගැටළුවක්. ඡන්ද දිනන්නට ඕනෑම දෙයක් කියන, කිසිම ගැඹුරක් නැති චරිතයක් විදියට සමාජය ඔහුව කියවාගත්තා. ඕනෑම පොරොන්දුවක් දෙන වගකීම් විරහිත කෙනෙක් යැයි හිතුවා. තමන් හිටපු ආණ්ඩුවේ කිසිම දේකට ඔහු වගකීමක් ගන්නෙ නැහැ. එවැනි ක්‍රියාවලින් තමන්ට වෙච්ච බරපතල හානිය ඔහු දන්නේ නැහැ. ඔහු කිසිම බරපතල ප්‍රශ්නයක් ගැන තමන්ගේ මතය ඉදිරිපත් නොකරන කෙනෙක්. ජාතික ප්‍රශ්නය, බලය බෙදීම, අන්තවාදය වගේ ප්‍රශ්නවලදී නිහඬවම ඉන්නවා.

ඔහුටම ආවේණික දියාරු දේශපාලන ප්‍රතිපත්තියක් තියෙනවා. සමාජ සාකච්ඡාවක් තියෙනවා රනිල් වික්‍රමසිංහ හා කරූ ජයසූරිය මොන අඩුපාඩු තිබුණත් ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී ඉන්න බව. රනිල් වික්‍රමසිංහ එක්ක මොනතරම් හැප්පුණත් අවසානයේදී විශ්වාසයක් තියෙනවා මේ මිනිහා යම්කිසි රාමුවක ඉන්න බව. එහෙත් සජිත් ප්‍රේමදාසට අදාලව රාමුවක් හදන්න බැහැ.

අනිද්දා:
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙබඳු පාලකයෙක් වේවිද?

ඩලස් :

මම හිතන්නේ ඔහු සම්බන්ධයෙන් ප්‍රබන්ධ සාහිත්‍යයක් තිබුණු බව. ඔහු ප්‍රජාතන්ත්‍රවාදියෙක් නොවන බවට යම් අදහසක් තිබුණා. එහෙත් ඔහුගේ මැතිවරණ ප්‍රකාශය දිහා බලන්න. මෙතෙක් අපි බලාපොරොත්තු වුණ ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධන ගොඩක් තියෙනවා. අපේක්ෂකයන්ගේ වියදම් ගැන මෙතෙක් මොනතරම් කතාකළාද. හිටපු ආණ්ඩුව ඒ වගේ මාතෘකා ගැන කිසිම ප්‍රකාශයක් ඇතුලත් කළේ නැහැ. පළාත් පාලන ආයතනයක්වත් අත්දැකීම් නැති නායකයෝ ලෝකයේ මීට කලිනුත් බලයට ඇවිල්ලා තියෙනවා.

ඇමෙරිකාවේ ජනාධිපතිවරුන්ගේ ඉතිහාසය දෙස ඕනෑනම් බලන්න. අනෙක ඇමෙරිකාවේ ජනාධිපතිවරු ගොඩක් මිලිටරි නායකයෝ. ඒ නිසා බැලූ බැල්මට පුර්ව නිගමනයකට එන්න බැහැ. ගෙවුණු මාස තුනේදී මම තේරුම් ගත්තා ඔහුට මැතිවරණ පවත්වන්නට තියෙන උනන්දුව. ඒක හොඳ දර්ශකයක්.

ඔහුට දැන් ඕනෑනම් පළාත් සභා නොතියා ආණ්ඩුකාරවරු යටතේ පාලනය කරන්න පුළුවන්කම තිබුණා. ඒත් ඔහු අප සහභාගී වූ මුල්ම රැස්වීමේදී කීවේ පාර්ලිමේන්තුව රැස්වූ විගස පළාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කරන බව. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ බව කියපු කෙනා මුලින්ම කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මුර දේවතාවුන් විදියට හිටපු අය නොකර හිටපු දේ. එයින්ම ඔහුව තේරුම් ගත හැකියි.

(තරිඳු උඩුවරගෙදර -අනිද්දා 24/11/2019)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...