BREAKING
Top Ad
සමාලාප

ඡන්ද වෙනුවෙන් බොරු කියන්න බෑ - රන්ජන් රාමනායක

T

The Leader

December 13, 2019 • 6:52 AM

ඡන්ද වෙනුවෙන් බොරු කියන්න බෑ - රන්ජන් රාමනායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්තටම දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ක්‍රමය මම දන්නවා. මම නළුවෙක්. මම ඕනෑ චරිතයක් රඟපාන්න දන්නවා.
  • ඔහු මේ බව පවසා ඇත්තේ, අනිද්දා පුවත්පත සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදීය.
  • අනිද්දා : පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලැබූ පරාජයට ඔබත් වගකිව යුතු බවට නැගෙන චෝදනාව ගැන හිතන්නේ මොනවාද?
  • නායක නායිකාවන් අතින් සිද්ධවුණ සියලූ වැරදි මගේ පිටින් යවන්න උත්සාහ කරන බව පේනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මට හැමෝම සනසමින් දේශපාලනය කරන්නත් පුළුවන්. ඒත් දැන දැනම බොරු කරන්න මට බෑ යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ, අනිද්දා පුවත්පත සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදීය.

අනිද්දා :

පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලැබූ පරාජයට ඔබත් වගකිව යුතු බවට නැගෙන චෝදනාව ගැන හිතන්නේ මොනවාද?

රන්ජන්:
මම ඒක දකින්නේ පහත් තැනින් වතුර ගලායනවා වගෙයි. නායක නායිකාවන් අතින් සිද්ධවුණ සියලූ වැරදි මගේ පිටින් යවන්න උත්සාහ කරන බව පේනවා. මම මේ පක්ෂයට එනකොටත් මැතිවරණවලදී පරාද වෙලා තිබුණා. මෑත ඉතිහාසයේ ප්‍රධාන මැතිවරණ දෙකක් පමණයි දිනලා තියෙන්නේ. මේ මැතිවරණ පරාජයට හේතුව මම නම්, මං එන්න ඉස්සෙල්ලා මැතිවරණ පැරදුණේ ඇයි?

පන්සල්වල ළමා අපචාර සිදුවීම පිළිබඳව මම කතාකරන වීඩියෝවක් ප්‍රසිද්ධ වීම, එජාපයේ පරාජයට හේතුව විදියට උලූප්පා පෙන්වීම මම පිළිගන්නේ නැහැ. මම හිතන්නේ මැතිවරණ පරාජයට ඊට වඩා භයානක හේතු රාශියක් තිබුණා. මහබැංකු මංකොල්ලය, පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රබල හේතු ගණනාවක් තියෙනවා. අගතියට පත්වූ පාර්ශ්වයන් වෙනුවෙන් සීමා නැතිව කතාකිරීම මගේ හැටියක්.

ඇත්තටම මැතිවරණයට කලින් සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවේ ජනප්‍රියම කථිකයෙක් විදියට මාව පිළිගත්තා. ඒ කාලයෙ මට ඔය චෝදනා එල්ලවුණේ නැහැ. මම බෞද්ධාගමට හෝ බුදුන් වහන්සේට කිසිම අපහාසයක් කරලා නැහැ. අවංක බෞද්ධ හිමිවරුන්ට කිසිවක් කියලා නැහැ. චීවරධාරීන් ගැන මම කතාකළා පමණයි. එතැනදී මම පෙන්වාදුන් කාරණා බොරු නෙවෙයි. ඒ සිදුවීම් බොරු නෙවෙයි.

 

අනිද්දා :
ආණ්ඩුවේ පරාජයට හේතුව විදියට ඔබ දකින්නේ මොකක්ද?

රන්ජන් :
ආණ්ඩුවට 2015 දී ලක්ෂ හැටදෙකක් ඡන්දය දුන්නා. ඔවුන් ඉල්ලපු ලොකුම ඉල්ලීම විදියට මම දකින්නේ හොරු අල්ලලා හිරේ දාන්න කියන එක. එහෙත් හොරු අල්ලන එක පැත්තක තියලා අගමැතිතුමායි ජනාධිපතිතුමායි දෙපැත්තට බෙදිලා රණ්ඩු වෙන්න පටන්ගත්තා. ජනතාව ඒ ගැන කේන්තියෙන් බලාගෙන හිටියා.

හොරකම් අල්ලන්න පත්කරපු අය හොරකම් කරමින් එකිනෙකාට චෝදනා කරන බව ඔවුන් හිතුවා. ඒ අතරේ බැඳුම්කර වංචා සිද්ධවුණා. ආණ්ඩුව ඒ වංචාකරුවන්ව ආරක්ෂා කරන තැනට පත්වුණා.

Text 1මමත් බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂා කළ කෝප් කමිටුවේ හිටපු සාමාජිකයෙක්. ඒත් මම අනෙක් අය වගේ ෆුට්නෝට්වලට අත්සන් කළේ නැහැ. හොරුන් අල්ලන්න දාපු නිලධාරීන් හොරුන්ගේ පැත්තට ගිහින් කතාකළා. හිටපු අධිකරණ ඇමතිවරයා කීවා රාජපක්ෂවරුන් අත්අඩංගුවට ගන්න දෙන්නේ නැති බව.

මේ විකාර දිහා බලාගෙන ඉඳලා මිනිස්සු පළාත් පාලන ඡන්දයේදී ලොකු රතු එළියක් දුන්නා. ඒත් ඒක ගණන් ගත්තේත් නැහැ. ඊට පස්සේත් පුරුදු විදියටම කටයුතු කළා.

ඊට පස්සේ රාජපක්ෂවරුන් බලෙන් ආණ්ඩුව ගත්ත මොහොතේත් ජනතාව අපිත් එක්ක මහපාරේ හිටියා. ඒ මොහොතේවත් පාඩමක් ඉගෙනගන්න තිබුණා. තවත් මාස ගාණක් තිස්සේ ආණ්ඩුවට කාලය ලැබුණා. ඒත් ඒ අවස්ථාවත් නැති කරගත්තා.

යහපාලන ආණ්ඩුවට වරදින්නට ප්‍රධාන හේතුව විදියට මම දැක්කේ මේ අභ්‍යන්තර ගැටුම් නිසා ආරක්ෂාව බිංදුවට වැටීම. 2018 නොවැම්බර් 30 වැනිදා පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඝාතනය වුණා. ඊට පස්සේ මාවනැල්ලේ බුදුපිළිම කැඩුවා. මාවනැල්ලේ තවත් මනුස්සයෙක්ට වෙඩි තැබුවා. වනාතවිල්ලූවෙන් ආයුධ හමුවුණා. ඒ පසුබිමේ මේ පහරදීම් ගැන සියලූ තොරතුරු හෙළි කරගන්න පුළුවන්කම තිබුණා. එහෙත් ආරක්ෂාවට පියවර ගත්තේ නැහැ. ආණ්ඩුව අසමත් වුණා.

ඉන්පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කීවා ප්‍රහාරය ගැන දැනගෙන හිටියත් මෙච්චර දරුණුවට ගහයි කියලා හිතුවේ නැති බව. ඒවා ගැන මිනිස්සුන්ට ලොකු වේදනාවක් ඇතිවුණා. ඒක පරාජයට ලොකුම හේතුවක් වුණා.

 

අනිද්දා :
ඒ ආණ්ඩුවට ඔබෙන් ලැබුණු දායකත්වය දකින්නේ කොහොමද?

රන්ජන් :
මම හිතන්නේ මගේ භූමිකාව හින්දා ඡන්ද ටිකක් හෝ වැඩිවුණා කියලයි. මම අධිකරණය ගැන, ආගම් ගැන, පීඩිතයන් ගැන මට පුළුවන් විදියට කතාකළා. මට ලැබුණු පඩිය ප්‍රතික්ෂේප කළා. පැමිණීමේ දීමනාව ගත්තේ නැහැ. පර්මිට් එක විකුණලා ඒ සල්ලිවලින් මහජනතාවට සේවය කළා. මන්ත්‍රී නිල නිවාසයේ ජීවත්වුණා.

මා නිසා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වැඩිවුණා මිස මගේ භූමිකාවෙන් ඡන්ද නැතිවෙලා නැහැ. මම හොරකම් කරලා ඡන්ද නැති කරලා නැහැ.

 

අනිද්දා :
මහමැතිවරණයේදී නාමයෝජනා නොදුන්නොත් ඊළඟට කරන්නේ මොකක්ද?

රන්ජන් :
මම හිතන විදියට මම ආණ්ඩුව තුළ හිටපු කාලයේ උඩුගං බලා පිහිනුවා. දැන් මට මිනිස්සු මා සමඟ කතාකරනවා. මම කෙළින් කතාකරන නිසා පක්ෂය එක්ක හිටපු බව ඇතැම් අය මට කියලා තියෙනවා. එහෙත් පක්ෂ නායකයෝ කියනවානේ මම එහෙම නෙවෙයි කියලා. නායකයන් කවුරු මොනවා කිව්වත් මට මගේ හෘදය සාක්ෂිය නැති කරගන්න බෑ.

Text 2මට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්නේ නැතිනම් මම කිසිම පක්ෂයක ඉන්නේ නැහැ. ලිඛිතව මට නාමයෝජනා නොදෙන බව කීවොත් මම ස්වාධීනව ඉදිරිපත් වෙනවා. ජනතාව මාව ප්‍රතික්ෂේප කළොත් මම ඇප නැතිව ගෙදර යනවා. මම ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නවා.

සාමාන්‍යයෙන් දේශපාලනඥයන්ට නාමයෝජනා නොලැබුණොත් කේන්ති ගිහින් පක්ෂ මාරු කරනවා. මම ඒවා කරන්නේ නැහැ. මම දේශපාලනයට ආවේ එජාපයෙන්. මම ඡන්දය ඉල්ලපු හැම තැනින්ම ඡන්ද ලැබුණා.

මම රත්නපුරේ ගියාම එහේ මැණික් ගරන්න ගියේ නැහැ. පතල් කපන්න ගියේ නැහැ. ඊට පස්සේ මම දිවුලපිටියට ගියාම පස් කපන්න ගියේ නැහැ. මම ඒ ප්‍රදේශවල ප්‍රශ්න ගැන කතාළා. ඒවායින් මගේ ආසන සංවිධායක තනතුරු නැතිවුණා.

ලෝක ඉතිහාසය පුරාවට කෙළින් කතාකරපු අයට පාඩු විඳින්න සිද්ධවෙලා තියෙනවා. මම හැමදාම කතාකළේ ඒවා දැන දැනමයි. සොක්‍රටීස්ගේ ඉඳලා විජය කුමාරතුංග දක්වා ඒවා දකින්න පුළුවන්. ඇත්ත කතාකරන්න පටන්ගත්තාම සුවදායක පිළිගැනීම් ලැබිලා නැහැ. බලය හිමි බහුතර දුෂිත පන්තියෙන් මට හොඳ චරිත සහතිකයක් එන්නේ නැහැ. ඇත්තටම අපි මේ ගහන්නේ ඔවුන්ගේ ආදායමට. මගේ කට වැඩියි කියලා කියන්නේ ඒ නිසයි. මම පිස්සෙක් වගේ කෑ ගහනවා කියලයි සමහරු හිතන්නේ. මම කතාකරන්නේ ගොඩක් අයට මාව රුස්සන්නේ නැති බව නොදැන නෙවෙයි.

ඇත්තටම දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ක්‍රමය මම දන්නවා. මම නළුවෙක්. මම ඕනෑ චරිතයක් රඟපාන්න දන්නවා. මට හැමෝම සනසමින් දේශපාලනය කරන්නත් පුළුවන්. ඒත් දැන දැනම බොරු කරන්න මට බෑ.

උසාවිය, හාමුදුරුවරු, ආණ්ඩුව, දේශපාලන පක්ෂ සියල්ල හොඳයි කියලා අගය කරමින් ඉන්න මම දන්නවා. එහෙම වුණොත් මගේ ෆිල්ම් ටිකත් විකිණේවි. ඒත් මට ඒක කරන්න බෑ. භාෂණයේ නිදහස කියන්නේ ෆයිල් තියාගෙන, කරුණු පෙන්වමින් කටයුතු කිරීම විතරක් නෙවෙයි. චෝදනා කිරීමත්, සමාජය ප්‍රශ්න කිරීමත්, අපට දැනෙන ඇත්ත කතාකිරීමත් භාෂණයේ නිදහසට අයිතියි.

 

අනිද්දා :
බෞද්ධ හිමිවරුන් දේශපාලනය එක්ක ගෑවෙන විදියට ගැන ඔබට හිතෙන්නේ මොකක්ද?

රන්ජන් :
අපේ රටේ හැමදාම දේශපාලන විද්‍යාව ඉහළට ඉගෙන ගත්ත ආචාර්යවරු යැයි කියන දේශපාලන නායකයන් ඉන්නවා. එයාලාට රට පාලනය කිරීමේ හැකියාවක්, දැනුමක් තියෙන බව හිතාගෙන මිනිස්සු ඡන්දය දෙනවා. ඡන්දය දෙන්නේ එයාලාට රට පාලනය කරන්න කියලයි. ඒත් ඒ නායකයෝ පන්සලේ ස්වාමීන් වහන්සේලා ළඟට ගිහින් අහනවා කොහොමද රට කරන්නෙ කියලා. ඒ ස්වාමීන් වහන්සේලා බලන්නේ හිරු, දෙරණ වගේ රූපවාහිනී. ඉතින් ඒ හාමුදුරුවරු තමන්ට පුළුවන් උපරිමයෙන් පාලනයට උදව් කරන්න උත්සාහ කරනවා. තමන්ට පුළුවන් විදියට උපදෙස් දෙනවා.

මම ස්වාමීන් වහන්සේලා වැරදියි කියලා කියන්නේ නැහැ. එහෙත් දේශපාලනය කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනෑ. අපි නිර්භයව මේ කාරණා ගැන කතාකරන්න ඕනෑ. හාමුදුරුවරුන් ගැන මම කිව්ව දේවල් සැබෑ කරුණු මත පදනම් වෙලයි කීවේ. ඕනෑ නම් හාමුදුරුවරුන්ව සනසන්න මම කියන්නම් රටේ ඉන්න සියලූ හාමුදුරුවරුන් ඉතා හොඳ බව. දේශපාලනය කරන්න ඕනෑ හිමිවරුන්ට ඕනෑ විදියට බව. ඒත් ඒක ඇත්ත නෙවෙයිනේ. ඉතින්, මට ඡන්ද වෙනුවෙන් බොරු කියන්න බෑ.

 

අනිද්දා :
දේශපාලනඥයෙකු විදියට ඔබේ කාර්යභාරය ගැන සෑහීමට පත්වෙනවාද?

රන්ජන් :
Text 3මම ලංකාවේ අනෙක් දේශපාලනඥයන් කරන බොහෝ දේවල් කරලා නැහැ. ඇමතිවරයෙක්ව හිටපු කාලයේත් මම අනෙක් ඇමතිවරුන් කරපු බොහෝ දේවල් කරලා නැහැ. නීති සම්පාදනය කරන්නයි දේශපාලනඥයන් ඉන්නේ. ව්‍යවස්ථාදායකය තියෙන්නේ නීති හදන්නට. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හෝ ඇමතිවරු ඉන්නේ එකට. බිබී මළගෙවල්වල ඇවිදින්න නෙවෙයි.

අමාත්‍යාංශයක ඇමතිවරයෙක් ඉන්නේ රස්සා බෙදන්න නෙවෙයි. අමාත්‍යාංශයක වැඩ කරන්න කාර්ය මණ්ඩල ඉන්නවා. විෂය ගැන දැනුම තියෙන අමාත්‍යාංශ ලේකම්වරු ඉන්නවා. ඒ ගැන අධීක්ෂණයක් කිරීමයි ඇමතිවරුන්ගේ කාර්යභාරය. මම ඒක කළා.

පාර්ලිමේන්තුව හැම මාසයකම සති දෙකක් තියෙනවා. ඊට අමතරව කාරක සභා තියෙනවා. ප්‍රධානම කාරක සභාවක් තමයි කෝප් කමිටුව. මම ඒකේ ප්‍රබලම සාමාජිකයෙක් විදියට කටයුතු කළා.

සමහර මිනිස්සු බලාපොරොත්තු වෙනවා ආසනවල ඇවිද ඇවිද ඉන්න නායකයෙක්ව. විවාහවලට අත්සන් කරන, කොටහළු මගුල් ගෙවල් හා මළගෙවල්වල යන නායකයෙක්ව. ප්‍රායෝගික දේශපාලනය කියලා කියන්නේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. මම කළේ මම දන්න දේශපාලනය.

(අනිද්දා පුවත් පතින් උපුටා ගන්න ලදී. සටහන -තරිඳු උඩුවරගෙදර)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...