BREAKING
Top Ad
සමාලාප

ගෙවිඳුගේ සම්මුඛ සාකච්ඡාවක් වාරණයට ලක්වේ !

T

The Leader

May 31, 2022 • 1:30 AM

ගෙවිඳුගේ සම්මුඛ සාකච්ඡාවක් වාරණයට ලක්වේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් ආර්ථික අර්බුදයට පාර කැපුනේ දේශපාලන බලය අන්තනෝමිතික ලෙස භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බව 'යුතුකම' සංවිධානයේ සභාපති
  • පාර්ලිමේන්තුවේ ස්වාධින සන්ධානය නියෝජනය කරන ගෙවිඳු කුමාරතුංග එබව සඳහන් කර ඇත්තේ ජාතික පුවත්පතක් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදීය.
  • කෙසේවුවද එම සම්මුඛ සාකච්ඡාව අදාල පුවත්පත විසින් පලනොකිරීමට තීරණය කර ඇති බැවින් මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් පිටුවේ එය පළකර තිබේ.
  • ''ලොව බොහෝ දේශපාලන ප්‍රතිසංස්කරණ සිද්ධවුණේ ආර්ථික අර්බුද මුල්කරගෙන'' -  ගෙවිඳු මේ දවස්වල මේ රටේ දේශපාලනය ඇතුළෙ ප්‍රධාන මාතෘකාව තමයි 21 වැනි සංශෝධනය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගෙවිඳු කුමාරතුංග පවසයි.

ලොව බොහෝ දේශපාලන ප්‍රතිසංස්කරණ, විප්ලව, ආර්ථික අර්බුද හමුවේ, අර්බුද විසඳීම මුල් කරගෙන සිදු ව ඇතිබව ඔහු පෙන්වාදෙයි.

පාර්ලිමේන්තුවේ ස්වාධින සන්ධානය නියෝජනය කරන ගෙවිඳු කුමාරතුංග එබව සඳහන් කර ඇත්තේ ජාතික පුවත්පතක් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදීය.


කෙසේවුවද එම සම්මුඛ සාකච්ඡාව අදාල පුවත්පත විසින් පලනොකිරීමට තීරණය කර ඇති බැවින් මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් පිටුවේ එය පළකර තිබේ. එම සම්මුඛ සාකච්ඡාව පහත පළවේ.


''ලොව බොහෝ දේශපාලන ප්‍රතිසංස්කරණ සිද්ධවුණේ ආර්ථික අර්බුද මුල්කරගෙන'' -  ගෙවිඳු


▪️මේ දවස්වල මේ රටේ දේශපාලනය ඇතුළෙ ප්‍රධාන මාතෘකාව තමයි 21 වැනි සංශෝධනය. හැබැයි රට ඉල්ලා ඉන්නෙ පවතින ආර්ථික අර්බුදයට විසදුම්. මේ දේශපාලන අර්බුදයටත් හේතුව ඒකයි. ජනතාවගේ ප්‍රශ්න ගැන කිසිවක් කතා නොකර ඇයි මේ දේශපාලනඥයන් ව්‍යවස්ථාවක් අල්ලගෙන දගලන්නේ...?

ගෙවිඳු:
එහෙම ද?

ගෙදර යන්න ගෝඨා කියන්නේ ආර්ථික ඉල්ලීමක් ද? 225 ම එපා කියන්නේ ආර්ථික ඉල්ලීමක් ද?

මේ කියන ඉල්ලීම් වල මුල ආර්ථික අර්බුදය ලෙස කෙනෙක් දකින්න පුළුවන්. අනික් අතට ආර්ථික අර්බුදයට පාර කැපුනේත් දේශපාලන බලය අන්තනෝමිතික ලෙස භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නොවේ දැ යි ගැඹුරින් සිතා බැලිය යුතු යි.

ලොව බොහෝ දේශපාලන ප්‍රතිසංස්කරණ, විප්ලව, ආර්ථික අර්බුද හමුවේ, අර්බුද විසඳීම මුල් කරගෙන නේ සිදු ව තිබෙන්නේ?



▪️කොහොම වුණත් දැන් මේ 21 වැනි සංශෝධනය ඉදිරියෙදි පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔබත් මේ මොහොතේ නියෝජනය කරන පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය මොකක්ද?


ගෙවිඳු :

 

''අපි, 21 වන සංශෝධනය ගෙන ඒම ධනාත්මක දෙයක් ලෙස යි දකින්නේ. 21  නිවැරැදි ආකාරයට ඉෂ්ට සිද්ධ කිරීමට අධිකරණ ඇමැතිතුමා සමත් වුවහොත් එය රටේ ජයග්‍රහණයක්.''

 

20 වන සංශෝධනය මඟින් ද්විත්ව පුරවැසියන්ට මහජන නියෝජිතයන් වීමට පනවා තිබූ සීමා ඉවත් කරනවාට අප පක්ෂ, ස්වාධීන කණ්ඩායම ලෙස එකතුව සිටින පක්ෂ සියල්ල ම විරුද්ධ වුණා. අපි ඊට ඡන්දය දුන්නේ, වසරක් ඇතුලත නව ව්‍යවස්ථාවක් ගෙනෙන බවටත්, එහි දී ද්විත්ව පුරවැසියන්ට මහජන නියෝජිතයන් වීමේ අවකාශය අහිමි කරන බවටත් ගෝඨාභය ජනාධිපතිතුමා ප්‍රතිඥාවක් දුන් පසුව යි.

ඒ විතරක් නෙවේ; යුතුකම ජාතික සංවිධානයේ අපි 20 වන සංශෝධනයේ නිවැරැදි කිරීම් 7ක් ඉල්ලා සිටියා. ඉන් 3ක්- කැබිනට් අමාත්‍යවරු උපරිමය 30ක් හා රාජ්‍ය/නියෝජ්‍ය අමාත්‍යවරුන් ගේ උපරිමය 45ක් ලෙස වූ වගන්තිය ආරක්ෂා කරගැනිම, පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශ කළ පසුත් රාජ්‍ය/නියෝජ්‍ය ඇමැතිවරුන් ද භාරකාර රජයේ කොටස්කරුන් කිරීමට කර තිබූ යෝජනාව ඉවත් කරවාගැනීම හා රජයට 50%කට වඩා කොටස් හිමිකාරීත්වයක් සහිත ව්‍යාපාර (එයාර් ලංකා වැනි) විගණකාධිපති ගේ සුපරීක්ෂාවෙන් ඉවත් කිරීමට දැරූ  ප්‍රයත්නය පරාජය කිරීම අපට ලඛාගත හැකි වු ජයග්‍රහණ.


ඕනෑ ම කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කිරීමට තිබූ දින 14ක කාලය 7 දක්වා අඩු නොකරන ලෙස කළ ඉල්ලීම, අමාත්‍යවරු පත් කිරීමේ දී ජනාධිපති, අගමැති ගේ එකඟතාව මත සිදු කළ යුතු බවට කළ යෝජනාව, ඉහළ අධිකරණවල විනිසුරුතුමන්ලා, නීතිපති, පොලිස්පති,  විගණකාධිපති වැනි රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය සේවා, පොලිස්, මැතිවරණ ආදී කොමිෂන් සභා බහු පාක්ෂික එකඟතා මත පත් කිරීම සඳහා වූ ව්‍යවස්ථාදායක සභාව අහෝසි නොකර වඩා විදිමත් කරන ලෙස කළ ඉල්ලීම, හා ද්විත්ව පුරවැසියන්ට ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ දොරටු විවර නොකරන ලෙස කරන ලද ඉල්ලීම, අප ගේ ඉෂ්ට නොවූ ඉල්ලීම්. ඉතින් මේ නිවැරැදි කිරීම් කරගත හැකි නම් එය අත් නොහැරිය යුතු අවස්ථාවක්.



▪️විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු කියන මතය නැවත ඉස්මතුවෙලා තියෙනව. ඔබ ඇතුළු ජාතික මතවාදය නියෝජනය කරන පිරිස මේ විධායකය අහෝසි වෙනවට විරුද්ධයි. ඇයි අපට තවදුරටත් විධායක ජනාධිපති කෙනෙක් අවශ්‍ය වෙන්නේ...?


ගෙවිඳු :
මූලික කාරණා දෙකක් නිසා. මේ සමානුපාතික මැතිවරණ ක්‍රමය හා පළාත් සභා නිසා.

විධායක ජනාධිපති ක්‍රමය සමඟ ම ක්‍රියාවට නැඟුණු මේ සමානුපාතික ඡන්ද ක්‍රමය මඟින් තේරීපත් වන්නේ දුර්වල පාර්ලිමේන්තු. එක් පක්ෂයකට වත් බහුතරයක් නැති පාර්ලිමේන්තු. අපට ස්ථාවර ආණ්ඩු පවත්වාගෙන යෑමට හැකි වී ඈත්තේ ස්ථාවර ජනාධිපතිධූරයේ අනුහසින්.

ඊටත් වඩා පළාත්සභා; පළාත් සභා ජනමත විචාරණයකින් තොර ව පිහිටවීමට ලැබුණේ ම විධායක ජනාධිපති පත් කරන ආණ්ඩුකාරවරුන්ට ඒ ඒ පළාත් සභාව විෂයෙහි නිෂේධ බලයක් ලැබී තිබූ නිසා. ඒ නිසා පළාත් සභා පවතින තාක් විධායක ජනාධිපතිධුරය පවත්වාගෙන යා යුතු වෙනවා.


▪️අපි ආයෙත් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ඉදිරිපත් කරන තියෙන  21 වැනි සංශෝධනය සළකමු. ජනාධිපති බලතල කප්පාදු කිරීම සදහා නිර්මාණය කරන ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය ගැන සෑහීමකට පත්වෙනවද?  මොකද මෙවරත් මේ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් බොහෝ දෙනෙක් දේශපාලනඥයන්. 19 වැනි සංශෝධනයෙදි එල්ලවුණු මේ ව්‍යවස්ථාදායක සභාව ගැන වේචන තිබුණ....

ගෙවිඳු :
ව්‍යවස්ථාදායක සභාව ජනාධිපති ගේ බලතල කප්පාදුව සඳහා වන ආයතනයක් ලෙස දකින්නේ ඇයි?


▪️එ ලෙස බලතල  කප්පාදුවක් සිද්ධ වෙන්නේ නැද්ද?


ගෙවිඳු :
වෙනවා, ඒත් අපි බැලිය යුත්තේ අරමුණ දිහා යි.

ව්‍යවස්ථාදායක සභාවේ මැදිහත්වීම් මූලික ව ම අදාල වන්නේ, නීතිය හා මහජන සාමය, යුක්තිය පසිඳලීම විෂයන්ට. අග්‍රවිනිශ්චයකාර තුමා, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුතුමන් එ වැනි බහුපාක්ෂික සුපරීක්ෂාවකින් පත්වීම වඩා හොඳ නැද්ද?

නීතිපති, පොලිස්පති  විගණකාධිපති මෙ වැනි බහුපාක්ෂික එකඟතාවෙන් පත් කිරීම වඩා සුදුසු නැද්ද? රාජ්‍ය සේවා කොමිෂන් සහාව,  පොලිස් කොමිෂම, ප්‍රසම්පාදන කොමිෂන් සභාව ආදී කොමිෂන් සභා බහුපාක්ෂික සුපරීක්ෂාවක් යටතේ පත් කිරීම නුසුදුසු ද?

 

19 වන සංශෝධනය අවස්ථාවේ විවේචන එල්ලවීමට හේතු වූයේ 2015 දී විපක්ෂ නායක ආණ්ඩුවට සහාය දෙන පක්ෂයකින් පත් කරගැනීම මඟින් මේ සමස්ත ක්‍රියාවලියම දූෂිතත්වයට පත් කිරීම යි.

 

''ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කරගැනීම, ගැටලුවලට විසඳුම් සෙවීමේ වැදගත් ප්‍රවේශයක්..  ''


▪️ඒ වගේම 19 වැනි සංශෝධනයේ තිබුණු සාධනීය ලක්ෂණ ලෙසින් බොහෝ දෙනා පෙන්නපු ස්වාධීන කොමිෂන් සභා ගැනත් විවේවන තිබුණ. අපි දැක්ක පොලිස්පති ඉවත්කර ගන්න නොහැකිව යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණ්‍යෙවලා තිබුණ. එවැනි තත්ත්යක් මෙවර පත්වෙන ස්වාධීන කොමිෂන් සභාවලින් නොවන්නට ඔබ කණ්ඩායමේ අවධානය යොමුවෙලා තියෙනවද?

ගෙවිඳු :
මේ ස්වාධීන කොමිෂන් සභා පත් කරන්නේ, බහුපාක්ෂික එකඟතා සහිත යාන්ත්‍රණයකින්. පොලිස්පති, නීතිපති වැනි තනතුරුවලට පත්කිරීම් කරන්න එ වැනි යාන්ත්‍රණයක් තිබිය දීත් අපි දේශපාලන වුවමනා ඉෂ්ට කරගැනීමට ගියහොත්. .. අපි කොතරම් උත්සාහ කළත් සියල්ල නීතියෙන් යථා තත්ත්වයට පත් කළ නොහැකි යි. සදාචාරයක් ද අවශ්‍ය යි.



▪️විචාරකයන් කියනව. 30.1 වගන්තියෙ තියෙනව ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිවරයෙන් වන්නේය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද, විධායකයේ ප්‍රධානියාද, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයාද වන්නේය“ කියල. ඉතින් ඔය ගේන 21න් ගේන ව්‍යවස්ථාදායක  සභාවෙන් ඇත්තටම ජනාධිපති බලතල සීමාකිරීම ප්‍රායෝගික වෙනවද?


ගෙවිඳු :
ඒක තමයි, රාජ්‍ය ආරක්ෂාව හා බැඳුණු ජනාධිපතිතුමා ගේ බලතල එයාකාරයට ම තිබෙනවා. ඒක අවශ්‍ය යි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව, මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගෙන් පසු ජනාධිපතිතුමාට කිසිදු අමාත්‍ය ධුරයක් දැරිය නොභැකි බව ඇතැමුන් පවසනවා. බෙදුම්වාදීන් ගේ, විජාතික කුමන්ත්‍රණකරුවන් ගේ වුවමනාව මෙය යි. එ වැනි සැකයක් පවතී නම් ආරක්ෂක අමාත්‍ය ධුරය ජනාධිපතිතුමා යටතේ ම පවතින බව සහතික කෙරෙන සංශෝධනයක් ගෙනආ යුතු යි.



▪️තාමත් ගෝඨාභය ජනාධිපතිතුමාට කඩේ යනවා?

ගෙවිඳු :
නෑ, අපි සලකා බලන්නේ මවුබිමේ හෙට දවස. පුද්ගලානුබද්ධ ව මේ දෙස නොබැලිය යුතු යි.



▪️අධිකරණ ඇමැතිතුමා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කෙටුම්පත දකින්න ලැබුණා ද?

ගෙවිඳු :
ඔව්. අගමැතිතුමා එය පක්ෂ නායකයන්ට ඉදිරිපත් කර තිබුණා. පසුගිය සිකුරාදා අගමැතිතුමා හා පක්ෂ නායකයන් අතර සාකච්ඡාව පැවැත්වුණේ ඒ අනුව යි.


▪️එහි වන සාධනීය කරුණු මොනවා ද?

ගෙවිඳු :
බොහෝ සාධනීය කරුණු තිබෙනවා,

(i). ඉහළ අධිකරණවල විනිශ්චයකාර තුමන්ලා, නීතිපති, පොලිස්පති, විගණකාධිපති ආදී ඉහළ නිලධාරීන් හා මැතිවරණ, රාජ්‍ය සේවා, විගණන, ප්‍රසම්පාදන ආදී කොමිෂමන් සභාවල සාමාජිකයන් පත් කිරීමට ව්‍යවස්ථාදායකය සභාව පිහිටුවීම,

(ii). ද්විත්ව පුරවැසියන්ට මහජන නියෝජිතයන් වීමේ අවස්ථාව අහිමි කිරීම.

(iii). ජාතික ආණ්ඩුවක් සාදා ව්‍යාජ ලෙස කැබිනට් ඇමැති ධුර, රාජ්‍ය/නියෝජ්‍ය අමාන්‍ය ධුර වැඩි කරගැනීමේ ඉඩ ඉවත් කිරීම.

(iv). කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කළ හැකි කාලය යලි දින 14ක් බවට පත් කිරීම.



▪️සංවාදාත්මක කරුණුත් තිබෙනවා ද?

ගෙවිඳු :
අමාත්‍යාවරු අගමැතිතුමා ගේ උපදෙස් මත ජනාධිපතිතුමා විසින් පත් කළ යුතුවීම. මේ කරුණ සංවාදාත්මක යි.

 

ජනාධිපතිවරණයේ දී හා මහාමැතිවරණයේ දී ලැබෙන්නේ වෙන වෙන ම ජනවරම් දෙකක්. ඒ නිසා අගමැති ගේ එකඟතාවය සහිත ව ජනාධිපති විසින් පත් කිරීම වඩා සුදුසු ද යන්න සොයා බලනවා.

 


▪️යුතුකම නැතිනම් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ අලුත් ම යෝජනා තිබේ ද?


ගෙවිඳු :
ඔව්! මේ ඉන් වැදගත් යෝජනා කීපයක්:

(i). ඕනෑ ම පනතක් සම්මත කෙරුණු පසු, මාසයක කාලයක් ඇතුලත, මුල් පනතට අනුකූල නොවූ, නැතිනම් මුල් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ඇත්නම්, ඊට පටහැනි වූ, කරුණු පනතට ඇතුලත් ව ඇද්දැ යි නැවත අධිකරණයේ විනිශ්චයක් ලබාගැනීමේ අවස්ථාව සැලසීම.

(ii). දේශීය සම්පත්, පොදු දේපොළ, රාජ්‍ය ආයතන පෞද්ගලික කරණයේ දී පාර්ලිමේන්තුවේ පූර්ව අනුමැතිය අනිවාර්යය කිරීම.

(iii). ව්‍යවස්ථාදායක සභාවේ පාර්ලිමේන්තු නියෝජිතයන් නොවෙන තිදෙනා, වෘත්තිකයන් ගේ සම්මේලනයෙන් නම් කෙරෙන වෘත්තිකයෙක්, වාණිජ එකමුතුවෙන් යෝජනා කෙරෙන ව්‍යාපාරිකයෙක් හා සරසවි ප්‍රජාව නියෝජනය කෙරෙන ජේෂ්ඨ ආචාර්යවරයෙක් ලෙස නිශ්චිත කිරීම.



▪️21 වන සංශෝධනය සම්මත වෙයි ද?

ගෙවිඳු :
යහපත් අභිලාෂයන් සහිත ව උත්සාහ කරමු!


(ගෙවිඳු ගේ ෆේස්බුක් පිටුවෙන්..)
 
 

Leader Whats app

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...