BREAKING
Top Ad
සමාලාප

සුදර්මා වීරක්කොඩි: ලන්ඩන් සිරකරුවන්ට මානසික උපදේශන සපයන ශ්‍රී ලංකා කලාකාරිය

T

The Leader

April 16, 2023 • 1:54 AM

සුදර්මා වීරක්කොඩි: ලන්ඩන් සිරකරුවන්ට මානසික උපදේශන සපයන ශ්‍රී ලංකා කලාකාරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදුහල්පතිවරයෙකු වූ සිය පියාගේ ගුරු හරුකම් මැද චිත්‍ර කලාවට යොමු වූ සුදර්මා වීරක්කොඩි වරක් පාසලේ උත්සවයක් මෙහෙයවමින් සිටියදී ඇයගේ නිර්මාණයක් ද බිත්තියක් සරසමින් තිබුණාය.
  • ඇය කිවිඳියකි, චිත්‍ර ශිල්පිණියකි, ගුරු උපදේශකවරියකි, මානසික උපදේශන සේවා සපයන්නියකි, කාන්තා සහ ළමා හිමිකම් වෙනුවෙන් හඬ නගන්නියකි, සිය ආබාධිත බව නොතකා රෝද පුටුවක සිට දරුවන්ට නැටුම් ඉගැන්වූ ගුරුවරියකි.
  • හිමේ ගල්වුන මතක අතරෙ මහා කවියක් ලියවුනා කියන්නට ගිය ගීත මැද ඒ වචන සදහට ගොලු වුනා..
  • සුදර්මා වීරක්කොඩි සුරතින් ලියවුණ ඒ පද පෙළ චමින්ද වල්පොල ගේ සංගීතයෙන් සහ හඬින් ළඟදීම ගීතයක් බවට පත්වීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):



කොළඹ, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ පැවති එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් වූයේ ජනාධිපති ආර් ප්‍රේමදාස සහ එවක බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් පදවිය හෙබැවූ ඩේවිඩ් ග්ලැඩ්ස්ටන්ය.

බ්‍රිතාන්‍ය රාජ දූතයා සුදර්මා ගේ චිත්‍රය කෙරෙහි කෙතරම් පැහැදුණේ ද යත් ඇයට සියලු ආම්පන්න ලබා දී තමන් වෙනුවෙන් ද චිත්‍රයක් නිර්මාණය කරන මෙන් ඇගෙන් ඉල්ලා සිටියාය.

ටික කලෙකට පසුව ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා රටින් පිටුවහල් කරනු ලැබිණ.

"ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් යන කල්ම ඒ චිත්‍රය තානාපති කාර්යාලයේ එල්ලලා තිබුණා," යනුවෙන් සුදර්මා මා සමග සිය අතීතය විස්තර කළාය.

ඇය කිවිඳියකි, චිත්‍ර ශිල්පිණියකි, ගුරු උපදේශකවරියකි, මානසික උපදේශන සේවා සපයන්නියකි, කාන්තා සහ ළමා හිමිකම් වෙනුවෙන් හඬ නගන්නියකි, සිය ආබාධිත බව නොතකා රෝද පුටුවක සිට දරුවන්ට නැටුම් ඉගැන්වූ ගුරුවරියකි.

"ලොවින් එකෙක් වෙයි එක් දෙයකට සමත" යන්නට අභියෝග කළ කාන්තාවකි.

අප හමුවුණේ තවත් කිවිඳියක සහ චිත්‍ර ශිල්පිණියක වන ලිලානි දිල්රුක්ෂාන් ගේ නිවසේදීය.

මහනුවර පිළිකා මධ්‍යස්ථානයේ වෙසෙන රෝගීන්ට ආධාර පිණිස ලිලානි දිල්රුක්ෂාන් පසුගියදා ලන්ඩනයේ පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනයෙන් අනතුරුව දැන් ඔවුන් දෙදෙනා සමීප මිතුරියන්ය.

සංවාදය වෙනුවෙන්ම සුදර්මා සිය කවි නිර්මාණ රැගත් පොත් පිංච ද රැගෙනවිත් තිබුණාය.

අවර පලුවක චිමිනි එලියක
දුමක සිතිවිලි මුහුවෙලා
සිහිල නිමකර කැදෑල්ලක් තුල
පහන් එලියක් දැල්විලා...

වැටෙන පාටින් තුරු කදුරු වල
හැලෙන පත් ඉරු අකුරුලා
ලියා පැපිරස් පතක ආලය
ඔහේ හුලගක පාවුනා..

හිමේ ගල්වුන මතක අතරෙ
මහා කවියක් ලියවුනා
කියන්නට ගිය ගීත මැද ඒ
වචන සදහට ගොලු වුනා..



සුදර්මා වීරක්කොඩි සුරතින් ලියවුණ ඒ පද පෙළ චමින්ද වල්පොල ගේ සංගීතයෙන් සහ හඬින් ළඟදීම ගීතයක් බවට පත්වීමට නියමිතය.

අප හමුවුණේ කෙටි සංවාදයකට වුවත් සුදර්මා ලයාන්විතව සිය ජීවන ගමන "Sandeshaya by Saroj" නාලිකාවේ ඔබ වෙනුවෙන් නොමසුරුව දිග හැරියාය.

"මගෙ ලඟ දයාව, ආදරය, කරුණාව වට්ටියක් පුරවලා තියනව පුදන්න. ඒ හැම දේම පුංචි අඩුවක්වත් නැතිව මට පුරවලා දුන්නේ මගෙ රත්තරන් අම්මියි, අප්පච්චි යි. ඒ වටිටියෙ විවිධ පාට, සුවඳ මල් උනේ මගෙ ලමා කාලෙ, තරුණ කාලෙ යාලුවොයි, නෑදෑයොයි, ගුරුවරුයි."

මින් පෙර කිසි දිනෙක සිය දිවි ගමන ගැන මෙලෙස දොඩමලු වී නොතිබුණත් සංවාදයෙන් අනතුරුවත් ඇයට කියන්නට බොහෝ දේ තිබුණි.

"ජීවිතේ පසු කාලීනව එකතු වුන, මුණ ගැසුණ, රැඳුණ හැම කෙනෙක්ම තමන්ගෙ වාසියට, රැකවරණයට රැඳුණ අය විතරයි. ඒ අය පූජාවට පිපුණ මල් නෙවෙයි."

දශක දෙකකට ආසන්න කාලයක් ඇය පෙලන ආබාධිත තත්වය හමුවේ නොසැලී පරෝපකාරය උදෙසාම දෙපයින් නැගී සිටින්නට ඇයට දිරි දුන්නේ "පොහොසත්" හිතය. වරක් ලන්ඩනයේ දරුණුම සිරකරුවන් ලෙසින් සැලකෙන රැඳවියන් වෙනුවෙන් ද මානසික උපදේශන සැපයූ සුදර්මා මරණාසන්න රෝගීන් සහ සමිපතමයින් මියගිය පවුල් වෙනුවෙන් ද උපදේශන සේවා සපයන්නිය.

"මම Special needs assements කරනවා, විශේෂයෙන් ශ්‍රී ලාංකික දෙමවුපියන්ගෙ දරුවන්ගෙ."

ඇය මේ සියලු සේවාවන් සපයන්නේ කිසිදු ගාස්තුවක් අයකිරීමෙන් තොරවය.

"ඔපරේෂන් එකොලහක් කරල ජීවිතේ බැට්ල් කරපු මට හැමකෙනෙකුගෙම ජීවිතේ හැම තත්පරයක්ම ජීවත් වීමෙ වටිනාකම කියල දුන්නා. නොනවතින constant pain එකක් විඳගෙන හිරකරගත්තු කඳුළු ගුලියක ශක්තිය, හදවතේ තෙතමනය කරගෙන තවකෙනෙකුගෙ කඳුළු පිහදාලා හැමදාම රැඳුන හිනාව විතරක් ඉතුරු කරගෙන තවත් ගැහැනියකට ශක්තියක් වෙන්න මට කියල දුන්නෙ ස්වභාව ධර්මය සහ being minduful and practice meditation."

එසේ නොනවතින වේදනාව අතරින් හිනැහෙමින් අනෙකා වෙනුවෙන්ම කැපවූ සුදර්මාට මොහොතකට හෝ ශක්තියක් වීමට ලැබීම පවා කෙතරම් නම් භාග්‍යයක් දැයි මට සිතිණ.


Saroj Pathirana(සරෝජ් පතිරණ)
BBC හිටපු මාධ්‍යවේදී
sarojpathi@gmail.com


 

 



 

JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...