BREAKING
Top Ad
සමාලාප

රන්ජන් ආයෙත් ලීක් කර ගත්තොත් මොකද වෙන්නේ? - ඔන්ලයින් පනත ගැන විග්‍රහයක්

T

The Leader

March 1, 2024 • 6:49 AM

රන්ජන් ආයෙත් ලීක් කර ගත්තොත් මොකද වෙන්නේ? - ඔන්ලයින් පනත ගැන විග්‍රහයක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ඇත්තටම අර්බූදයට යන්නේ දුරකතන පණිවිඩ රහසේ පටිගත කළ රන්ජන් නොවේ.
  • පෙබරවාරි 01 වැනිදා සිට බලාත්මක වු මෙම පනත සම්මත කර ගත් ආකාරය සම්බන්ධව කතා බහක් සමාජයේ ඇති වී ඇති අතර විපක්ෂයේ පක්ෂ චෝදනා කරන්නේ කතානායකවරයා ව්‍යවස්ථානුකූල නොවන ආකාරයට පනත සම්මත කර ඇති බවයි.
  • ප්‍රශ්නය : ඔන්ලයින් පනතෙන් වැරදි ලෙස නම් කර තිබෙන ක්‍රියාකාරකම් මොනවාද?
  • ගම්මන්පිල : මේ පනත සමාජාලා නියාමන පනත ඔන්ලයින් පනත වගේ නම් වලින් ප්‍රසිද්ධ වුණත් ඇත්ත නම මාර්ගගත ක්‍රම වල සුරක්ෂිත බව පිළිබඳ පනත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒවා සමාජ මාධ්‍ය වලට දාපු කෙනයි. දුරකතන සංවාදයේ ඉන්නා ඕනෑම අයෙකු පැමිණිලි කලොත් රුපියල් ලක්ෂ පහක් දක්වා දඩයක් හෝ වසර පහක් දක්වා සිර දඬුවමක් හෝ ඒ දෙකම නියම කරන්න උසාවියට පුළුවන්.”

ඒ, මතබේදයට තුඩු දී ඇති ආණ්ඩුව විසින් මෑතකදි සම්මත කරගන්නා ලද මාර්ගගත ක්‍රම වල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ නීතිඥ උදය ගම්මන්පිල සම්මුඛ සාකච්ඡාවක දී දැක්වු අදහසකි.

පෙබරවාරි 01 වැනිදා සිට බලාත්මක වු මෙම පනත සම්මත කර ගත් ආකාරය සම්බන්ධව කතා බහක් සමාජයේ ඇති වී ඇති අතර විපක්ෂයේ පක්ෂ චෝදනා කරන්නේ කතානායකවරයා ව්‍යවස්ථානුකූල නොවන ආකාරයට පනත සම්මත කර ඇති බවයි.

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ උදය ගම්මන්පිල දැක්වු අදහස් පහතින්.

ප්‍රශ්නය :
ඔන්ලයින් පනතෙන් වැරදි ලෙස නම් කර තිබෙන ක්‍රියාකාරකම් මොනවාද?


ගම්මන්පිල :
මේ පනත සමාජාලා නියාමන පනත ඔන්ලයින් පනත වගේ නම් වලින් ප්‍රසිද්ධ වුණත් ඇත්ත නම මාර්ගගත ක්‍රම වල සුරක්ෂිත බව පිළිබඳ පනත. පනතේ ප්‍රධාන වශයෙන් අන්තර්ජාලා භාවිතා කරන පුද්ගලයින් කරන වැරදි 12ක් හඳුනා ගෙන තිබෙනවා. 

* සමාජ කණ්ඩායම් අතර ගැටුම් ඇති වන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම, 


* ජාතික ආරක්ෂාවට, පොදු සෞඛ්‍යයට හෝ මහජන සාමයට තර්ජනයක් ඇති වන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම, 

* උසාවියට අපහාස කිරීම, 

* අසත්‍ය ප්‍රකාශ මගින් ජනතාවට කැරලි ගැසීමට කුපිතකිරීම, 

* අසත්‍ය ප්‍රකාශ මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම, 

* අසත්‍ය ප්‍රකාශ මගින් ආගම් වලට අපහාස කිරීම, 

* පුද්ගලයෙකු රවටා ඔහුට හෝ ආණ්ඩුවට හානි කිරීම, 

* වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටීම, 

* හමුදා කැරැල්ලකට පෙළඹවීම, 

* පුද්ගලයෙකුගේ පෞද්ගලික තොරතුරු සමාජජාලාවලට මුදා හැරීම, 

* දරුවන් සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන වැරදි අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීම, 

* වැරදි තොරතුරු සන්නිවේදනයට බොට් සැකසීම තමයි මේ වැරදි වෙන්නේ.


ප්‍රශ්නය :
ඔන්ලයින් පනත දැන් ක්‍රියාත්මක ද?


ගම්මන්පිල :
පනත ක්‍රියාත්මක වන දිනය ගැන පනතේ විශේෂයෙන් සඳහන් වෙන්නේ නැති නම්, පනතට කතානායක අත්සන් කරපු මොහොතේ සිට ඒක රටේ නීතියක් වෙනවා. මේ පනතට 2024 පෙබරවාරි 1 දා කතානායක අත්සන් තැබුවා. එහෙම නම් මේක දැන් රටේ නීතියක් වෙලා ඉවරයි. 
 
 
නමුත් පනත ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ප්‍රශ්නයක් තිබෙනවා. මේ පනත යටතේ කවුරු හරි වරදක් කළාම ඒ ගැන පැමිණිලි කරන්න තිබෙන්නේ පොලිසියට නොවේ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිසමට. ඒ පැමිණිල්ල විභාග කරන්න තිබෙන්නෙත් ඒ කොමිසමේ නිලධාරින්ට. ඒ කොමිසම ස්ථාපිත කරන්න මෙතෙක් ආණ්ඩුව කටයුතු කරලා නෑ. ඒ නිසා නීතිය බලාත්මක වුණත් අපට පැමිණිලි කරන්න තවම තැනක් නෑ.
 
ප්‍රශ්නය :
රන්ජන් ආයෙත් ලීක් කර ගත්තොත් මොකද වෙන්නේ?


ගම්මන්පිල :
ඇත්තටම අර්බූදයට යන්නේ දුරකතන පණිවිඩ රහසේ පටිගත කළ රන්ජන් නොවේ. ඒවා සමාජ මාධ්‍ය වලට දාපු කෙනයි. දුරකතන සංවාදයේ ඉන්නා ඕනෑම අයෙකු පැමිණිලි කලොත් රුපියල් ලක්ෂ පහක් දක්වා දඩයක් හෝ වසර පහක් දක්වා සිර දඬුවමක් හෝ ඒ දෙකම නියම කරන්න උසාවියට පුළුවන්. ඒ වරද නැවත නැවත කලොත් දඬුවම දෙගුණ වෙනවා. 
 
ඒත් අදාළ වීඩියෝව හඬ පටය හෝ ලේඛණය යම් වැරැද්දකට අපරාධයකට අදාළ සාක්ෂියක් නම් ඒක සමාජ ජාලා හරහා ප්‍රසිද්ධ කිරීම වරදක් නොවේ. ඒ ව්‍යතිරේකය දාලා තිබෙන්නේ ආණ්ඩුවේ වංචා දූෂණ හෙලි කිරිමට මේ පනත බාධාවක් වීම වැලැක්වීමටයි.
 
ප්‍රශ්නය :
ෆේක් එකවුන්ට් ඉවරද ?


ගම්මන්පිල :
එහෙමම නෑ. මම වෙනත් පුද්ගලයෙකුගේ නම හෝ ඡායාරූපය භාවිතා කර ඒ පුද්ගලයා ලෙස පෙනී සිටියොත් රුපියල් ලක්ෂ තුනක් දක්වා දඩයක් හෝ වසර තුනක් දක්වා සිර දඬුවමක් හෝ ඒ දෙකම නියම කරන්න උසාවියට පුළුවන්. නමුත් වෙනත් පුද්ගලයෙකු යැයි කෙනෙකු රැවටීමට ඉඩ නැති සුදු අප්පච්චි මමාස් ඒන්ජල් වගේ වෙනත් නමකින් පෙනී සිටීම මේ පනතින් තහනම් කරලා නෑ.

ප්‍රශ්නය :
Share කරලා හිරේ යමුද?


ගම්මන්පිල :
 
අසත්‍ය ප්‍රකාශනයක් වුණු පමණින් දඬුවම් කරන්න බෑ. ඒ අසත්‍ය ප්‍රකාශනය නිසා ජනවාර්ගික හෝ ආගමික සමගියට බාධා වීම, ජනතාව කුපිත වීම, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම, ආගමික උත්සවයකට බාධා වීම, ආගමකට අපහාස වීම හෝ පුද්ගලයෙකු හිරිහැරයට හෝ රැවටීමකට ලක් වුණු බවට පැමිණිල්ලක් කරන්න ඕනි. එවැනි පැමිණිල්ලක් ලැබුණොත් ඒක සමාජ මාධ්‍යයට දාපු කෙනා වගේම share කරන tag කරන අයත් එක වගේ වැරදිකරුවන් වෙනවා. ඒ ඒ වරදට අනුව දඬුවම වෙනස්. උපරිම වශයෙන් වසර හතක් දක්වා සිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ හතක් දක්වා දඩ මුදල් නියම වෙන්න පුළුවන්. Like කිරීම නම් වරදක් වෙන්නේ නෑ. නමුත් Comment කිරීම අන්තර්ජාලයට යමක් මුදා හැරියා වෙනවා. ඒ කමෙන්ට්ස් හරහා පනතේ තිබෙනව වැරදි 12න් එකක් හරි වෙනවා නම් ඔහුටත් මේ පනතින් දඬුවම් කරන්න පුළුවන්.
 
ප්‍රශ්නය :
හඳුන් කූරු නාට්‍ය වලට සමාජජාලා නියාමන පනතින් වැට බඳියි ද?


ගම්මන්පිල :
අන්තර්ජාලයේ කරන බොරු රඟපෑම් නිසා තමන් මිල දී ගන්න නොසිටි දෙයක් ගත්තා කියලා හරි එහෙම නැතිනම් ගන්න හිටිය දෙයක් නොගන්න තීරණය කලා කියලා හරි කවුරු හරි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත බව පිළිබඳ කොමිසමට පැමිණිලි කලොත් රැවටීම කළ පුද්ගලයාට වසර හතක් දක්වා සිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ හතක් දක්වා දඩ මුදල් නියම වෙන්න පුළුවන්. එතැන දී රැවටීම විතරක් සිදු වෙලා මදි. පුද්ගලයෙකුට හෝ ආණ්ඩුවට ඒ මගින් හානියක් වුණා කියලාත් ඔප්පු කරන්න ඕනි.

ප්‍රශ්නය :
සමාජජාලා නියාමන පනතින් විශ්ව බුද්ධලා බණ කියලා ඉවරද?


ගම්මන්පිල :
බොරු ප්‍රකාශයක් කරලා ආගමකට හෝ ආගමික විශ්වාසයකට අපහාස කලොත් වසර තුනක් දක්වා සිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ තුනක් දක්වා දඩ මුදල් නියම වෙන්න පුළුවන්. ඒ අතරේ අවලෝකේතීශ්වර මමයි වගේ ප්‍රකාශයක් කලොත් වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටීමට තවත් වසර තුනක් ද රැවටීමට ලක් කිරීමට තවත් අවුරුදු හතක් ද වශයෙන් දඬුවම් ගණනාවකට යටත් වෙන්න පුළුවන්.

ප්‍රශ්නය :
සමාජජාලා නියාමන පනත යූටියුබ් සාකච්ඡා වලටත් බලපානවාද?


ගම්මන්පිල :
 
අනිවාර්රයෙන්ම ඔව්. යූටියුබ් ගැන විශේෂ අවධානයක් යොමු නොකිරීම පනතේ අඩුවක්. යූ ටියුබ් සාකච්ඡාවක් අන්තර්ජාලයට මුදා හරින අය ඒවා share කරන අය මිස සාකච්ඡාව තුල පනතේ කියන වැරදි 12 සැබවින්ම කරන අය නොවේ එතැන දී වැරදිකරු වෙන්නේ. යූටියුබ් සාකච්ඡාවකට පැමිණෙන අයෙකු මා ගැන බොරුවක් කියලා ජනතාව රවට්ටනවා. ඒ බොරුව ජනතාව විශ්වාස කරලා මට දේශපාලනිකව සහය දීම නතර කරනවා. ඒ වගේ බොරුවක් අන්තර්ජාලයට මුදා හරින අයෙකුට වංචා කිරීම සම්බන්ධයෙන් වසර 7ක් දක්වා සිර දඬුවම් ලබා දෙන්න පුළුවන්. නමුත් ඒ බොරුව සම්මුඛ සාකච්ඡාවේ කියූ අය අන්තර්ජාල වරදක් කරන්නේ නෑ. ඒ නිසා බොරුව කියූ අයට ඒ වගේම ඒ බොරුව කියන්න උඩ ගෙඩි දෙන ආකාරයෙන් හැසිරුණු ප්‍රශ්න අහන්නාත් මේ පනතින් දඬුවම් විඳීමට යටත් වෙනවා ද කියන එක ඉදිරියේ දී අධිකරණය විසින් තීරණය කළ යුතු දෙයක්.
 
ප්‍රශ්නය :
බොරු පෝස්ට් දැම්මොත් අවුරුදු කීයක් හිරේද?


ගම්මන්පිල :
අසත්‍ය ප්‍රකාශයක් වෙලා විතරක් මදි. ඒකෙන් කාට හරි හානියක් වෙන්නත් ඕනි. එතකොට ඒක වංචාවක්. ආපනශාලාවක කෑමවල පණුවෙක් සිටියා කියලා බොරු පෝස්ට් එකක් දැම්මොත් ඒ ආපනශාලා හිමිකරුට ලොකු හානියක් වෙනවා. ඒ හානිය වුණු කෙනා පැමිණිලි කලොත් බොරු පෝස්ට් දාපු කෙනාට රුපියල් ලක්ෂ හතක් දක්වා දඩයක් හෝ වසර හතක් දක්වා සිර දඬුවමක් හෝ මේ දෙකම නියම වෙන්න පුළුවන්. වරදේ බරපතලකම අනුව දඬුවම තීරණය කරන්නේ අධිකරණය.

ප්‍රශ්නය :
ඔන්ලයින් පනත නිසා ප්‍රෑන්ක් වගේ විහිළුත් තහනම් ද?


ගම්මන්පිල :
මේක හරිම මතභේදාත්මකයි. පෑන්ක් එක අනුව විහිළුව අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මුලින්ම විහිළුවට ලක් වන පුද්ගලයා කොමිසමට පැමිණිලි කරන්න ඕනි. එහෙම කලොත් මේ ප්‍රෑන්ක් එක වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටීමක් ලෙස ගන්න පුළුවන් ද පෞද්ගලික තොරතුරක් සමාජ මාධ්‍ය වලට මුදා හැරීමක් ලෙස ගන්න පුළුවන් ද එහෙමත් නැතිනම් රැවටීමකට ලක් කර මානසික පීඩාවක් ඇති කිරීමට ගන්න පුළුවන් ද කියන එක කොමිසමේ නිලධාරින් විමර්ශනයෙන් හෙලිවන තොරතුරු අනුව තීරණය කරන්න පුළුවන්. එහෙම නම් අන්තර්ජාලයේ විහිළු කලාට කමක් නෑ. ප්‍රෑන්ක් කලාට කමක් නෑ. අර ඉහත කිව්ව වර්ග තුනට ඒ විහිළුව නොවැටෙන බවට වග බලා ගන්න ඕනි.
 
ප්‍රශ්නය :
බූට් කාලා පාඩුවේ නොසිටියොත් හිරේ වැටෙයි ද?


ගම්මන්පිල :
 
බූට් කෑවාට පස්සේ තමන් හැර ගිය පෙම්වතියගේ පෙම්වතාගේ නිරුවත් දර්ශන වීඩියෝ පට වගේම පෞද්ගලික සංවාද සමාජ ජාලා වලට මුදා හැරියොත් පනතේ 20 වන වගන්තිය යටතේ වසර පහක් දක්වා සිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ පහක් දක්වා දඩ නියම වෙන්න පුළුවන්. වැරදිකරු වුණාට පස්සේ හිත් රිදුම වැඩි වෙලා නැවත ඒ වරදම කලොත් ඔන්න දඬුවම දෙගුණ වෙනවා. ඒ විතරක් නොවේ. සමහරු ටිකක් නිර්මාණශීලිව හිරිහැර කරනවා. නොමිලේ දඹදිව වඳින්න යන්න සියදෙනෙකුට අවස්ථාවක්. අවස්ථා සීමිත බැවින් හැකි ඉක්මනින් අප අමතන්න කියලා හැර දා ගිය පෙම්වතියගේ දුරකතන අංකය දානවා. ඒකටත් අර වගේම දඬුවම් කරන්න පුළුවන්.
 
ප්‍රශ්නය :
රට හිටියොත් ඔන්ලයින් පනතින් බේරෙනවා ද?


ගම්මන්පිල :
බොහෝ දෙනෙක් විරුද්ධ පිලේ දේශපාලකයින්ට මඩ ගහන්න භාවිතා කරන්නේ විදෙස් ගත යූටියුබ් කරුවන් සහ වෙබ් අඩවි. ලොව කොතැන සිටියත් මේ පනතේ වැරදි ලෙස දක්වා ඇති ක්‍රියාවකට ගොදුරුව ඇත්තේ ශ්‍රී ලාංකිකයෙක් නම් ඔහුට මේ පනත අදාලයි. ඒ වගේම ශ්‍රී ලාංකිකයෙක් ලෝකයේ කොහේ සිට හෝ මේ පනතේ දැක්වෙන වරදක් කලොත් වරදට ගොදුරු වෙන්නා ශ්‍රී ලාංකිකයෙක් වුනත් නැතත් මේ පනත අදාලයි. එහෙම බලනකොට රට පැනලා මඩ ගහන උපාය තව දුරටත් අදාල නෑ.

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...