BREAKING
Top Ad
සමාලාප

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම අගය කළ යුත්තක් - සශිකා දි සිල්වා

T

The Leader

March 27, 2024 • 3:34 AM

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම අගය කළ යුත්තක් - සශිකා දි සිල්වා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීම දින 65ක අරගලයේ ජයග්‍රහණයක් බව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත
  •   මෙය ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංසදය ලෙස තමයි ගොඩ නගාගෙන තිබෙන්නේ   ප්‍රශ්නය -  ඔබ නියෝජනය කරන කර්මාන්ත ව්‍යාවසායක පිරිස කවුරුන්ද ?
  • පිළිතුර -  ඇත්ත වශයෙන්ම කියනවානම් දැඩි අභියෝග ගැටළු ප්‍රශ්න මැද අපට හැකි අයුරින් හඩක් නැගිය නොහැකි අයගේ හඩ ගෙනඒමට ඉස්මතු කරලීමට අප ක්‍රියා කළා.
  • එහි ප්‍රතිඵලයක් ලෙස අපට අද වෙන විට පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව මාස 10කට අත්හිටුවීමට හැකිවී තිබෙනවා.  මෙම තීන්දුව ගත්තේ රජය.
අකුරු ප්‍රමාණය (Font Size):

සංසදයේ උප සභාපතිනී සශිකා දි සිල්වා ප්‍රකාශ කළාය.

වසර තුනක් තිස්සේ විවිධ අභියෝගයන්ට ලක්ව බිඳ වැටුණු ව්‍යාපාර කර්මාන්ත යළි බල ගැන්වීමට දිරිය දෙමින් රජය ගනු ලැබූ නව තීරණය, එය ක්‍රියාවට නැංවෙන ආකාරය සහ අනාගත කර්මාන්තකරණයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගා ගැනීම කළ යුත්තේ කෙසේද පැහැදිලි කරමින් ඇය සමග කළ සාකච්ඡාවේ හඩයි මේ.

* පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම දෙශපාලන අරමුණින් ක්‍රියාත්මක කළා හෝ නොකළා හෝ එය කළ යුත්තක්.

* පරාටේ නීතියෙන් ඔබ්බට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යාවසාය නැංවීමට අලුතින් ආයෝජන බැංකුවක් හෝ සංවර්ධන බැංකුවක් ආරම්භ කළ යුතුයි.

* අපේ රටේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය වැඩි දියුණු කිරීමට පියවර ගත යුතුයි.

* ආර්ථික දැති රෝදය කැරකවීමට සියළු දෙනා දායක විය යුතුයි.

* ව්‍යවසායක රාජ්‍යයක් බිහි කළ යුතුයි.

* ලාභ පාඩු නොබලා දිරියෙන් ඉදිරියට ඒමට වහා වහා ව්‍යාපාර කර්මාන්ත බල ගැන්විය යුතුයි.

* එක් අයෙකුට වගකීම් පවරා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සිතනවානම් එය සිහිනයක්.

* ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සියලු දෙනා කැපවිය යුතුයි.

 

මෙය ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංසදය ලෙස තමයි ගොඩ නගාගෙන තිබෙන්නේ

 
ප්‍රශ්නය - 
ඔබ නියෝජනය කරන කර්මාන්ත ව්‍යාවසායක පිරිස කවුරුන්ද ?


පිළිතුර - 
අපේ රටේ වසර තුනක් තිස්සේ විවිධ බාධක අභියෝග මැද ව්‍යාපාර කර්මාන්ත අඩපණවූ විශාල පිරිසක් සිටිනවා. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ මෙන්ම මහා පරිමාණ පිරිසකුත් සිටිනවා. නමුත් අපි අඩපණවූ ව්‍යාපාර ක්ෂේත්‍රයේ කර්මාන්ත අංශේ හඩක් නැගිය නොහැකි ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ හඩක් වීමට කටයුතු කළා. ඒ අනුව අපගේ එකමුතුව මුළු රට පුරාම විසිරී සිටින මේ අංශයේ අඩපණ වූවන්ගෙන් සැදුම්ලත් වෙනවා. මෙය ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංසදය ලෙස තමයි ගොඩ නගාගෙන තිබෙන්නේ.

ප්‍රශ්නය -
මෙම එකමුතුව තුළ පසුගිය කාලයේ හඩක් නැගිය නොහැකි පිරිසගේ හඩ ඔබ කරළියට රැගෙන ඒමට කටයුතු කළාද?

පිළිතුර - 
ඇත්ත වශයෙන්ම කියනවානම් දැඩි අභියෝග ගැටළු ප්‍රශ්න මැද අපට හැකි අයුරින් හඩක් නැගිය නොහැකි අයගේ හඩ ගෙනඒමට ඉස්මතු කරලීමට අප ක්‍රියා කළා. මේ සඳහා දිවා රෑ නොබලා මහන්සියෙන් කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අපට අද වෙන විට පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව මාස 10කට අත්හිටුවීමට හැකිවී තිබෙනවා. 

මෙම තීන්දුව ගත්තේ රජය. නමුත් අපි රජයට කළ ඉල්ලීම්, යෝජනා, බලපෑම්වල සමස්ථ එකතුවක් ලෙස තමයි මෙම තීරණය ගනු ලැබුවේ. මෙම තීරණය ගැනීමට බලධාරීන් පෙළඹවීම අපේ සමස්ථ ජයග්‍රහණයක් නෙමෙයි. අපේ ජයග්‍රහණය සම්පූර්ණ වීමට තව කළ යුතු විශාල කාර්යයක් තිබෙනවා.

 

තමන් ලබා ගත් ණය නිසි ලෙස ආපසු ගෙවීමට නොහැකි වීමයි.

 

ප්‍රශ්නය - 
රට පුරා විසිරී සිටී අඩපණ වූ කර්මාන්ත කරුවන් නඟා සිටුවීමට මූලිකවම කළ යුතු දේ ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධන ගැටළුවෙන් ඔවුන් නිදහස් කිරීමයි. ඒ සඳහායි ඔබ මූලිකත්වය ලබා දෙන්නේ. ඊට අමතරව ගනු ලබන තවත් ක්‍රියාමාර්ග මොනවාද?


පිළිතුර - 
ඔව්. අපේ කර්මාන්ත කරුවන් මුහුණ දුන් පළමුවෙනි ප්‍රශ්නය තමන් ලබා ගත් ණය නිසි ලෙස ආපසු ගෙවීමට නොහැකි වීමයි. මෙහිදී කර්මාන්ත කරුවන්ට පමණක් මෙහි වගකීම පැවරීමට නොහැකියි. ඔවුන්ට පාලනය කළ නොහැකි තත්ත්වයන් මත තමයි රටේ ආර්ථිකය අර්බුදයකට ගියේ. ව්‍යාපාර කඩා වැටුණේ, කර්මාන්ත බිඳ වැටුණේ. මේ නිසා මෙම වළෙන් ගොඩ ඒමට කර්මාන්ත කරුවන්ට ප්‍රාග්ධනය සම්පාදනය සිදු කිරීම නැවත සිදුකළ යුතුමයි. 

නමුත් පරාටේ නීතිය, ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛන ගත වීම, බැංකු හා මූල්‍ය ආයතන වලින් ණය ලබාගැනීමට තිබෙන විශාලම බාධාවයි. මේ බාධාව දුරු කර ගන්නේ නැතිව වැටී තිබෙන තැනින් කාටවත් ගොඩ ඒමක් නැහැ. ඒ නිසයි අප මුලින්ම මොන තරම් අභියෝගාත්මක වුවත් මේ බාධකය දුරු කිරීමට හඩ නැගුවේ. 

ප්‍රශ්නය - 
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත් හිටුවීම දැන් ඔබ දිනාගෙන තිබෙනවා. නමුත් එය සම්පූර්ණ ජයග්‍රහණයක් නොවන්නේ ඇයි?


පිළිතුර - 
අපේ සංසදයේ හිටියා හෝ නැතා, පරාටේ නීතිය ක්‍රියාත්මක  කිරීමට මූලික කටයුතු සිදු කර පීඩාවට පත්ව සිටි පිරිස් සිටියා. ඔවුන් තමන්ගේ එකම නැතිනම්, තමන්ගේ වටිනාම සම්පත බැංකු හා මූල්‍ය ආයතන වලට ඇප ලෙස පවරා තිබූ අවස්ථා තිබුණා. මෙවැනි සම්පත් ණය වාරික සහ පොළිය නිසි ලෙස ගෙවීමට නොහැකි වීම නිසා එම ආයතන වලට පවරාගෙන විකුණා දැමීමට කටයුතු යොදමින් සිටියා. එම තත්ත්වයයි අප යාන්තමින් වලකා ගත්තේ. 

නමුත් එය සර්ව සම්පූර්ණ වීමට අපේ සංසදයේ සාමාජිකයින් පමණක් නොව වෙනත් කර්මාන්ත කරුවන් පවා, ව්‍යවසායකයින් පවා ගෙවිය යුතු ණය සහ පොලිය කොපමණද කියා එක් එක් අයගෙන් දැනගෙන ඒවා ප්‍රතිව්‍යුහගත කරණය කිරීමට ඉදිරියේදී වැඩ කටයුතු කළ යුතුමයි. එක එක කර්මාන්ත කරුවන් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණයන් විවිධයි. ණය යෝජනා ක්‍රම විවිධයි. ආපසු ගෙවීමේ සහ පොලී අනුපාත වල වෙනස්කම් තිබෙනවා. ඒ නිසා සිද්ධියෙන් සිද්ධිය වෙනම විශ්ලේෂණය කොට ඉතා ඉක්මණින් අපේ කර්මාන්ත කරුවන්ට අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කිරීමට නව වැඩපිළිවෙලක් අප සම්පාදනය කළ යුතුමයි.

 

 

 පැලැස්තර විසඳුම් ලබා දිමෙන් සිදුවන්නේ අර්බුදයෙන් අර්බුදයට යාමයි

 

ප්‍රශ්නය - 
ඒ සඳහා ඔබ සංසදය කරනු ලබන යෝජනා මොනවාද?


පිළිතුර- 
මුලින්ම කළ යුත්තේ අප වැනි කර්මාන්ත කරුවන් ඒක රාශී වු සියලු සංසද, සම්මේලන, සමිති එක මිටකට සංවිධානය වීමයි. ඒ වගේම අපගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමට ඒවා සිදු කළ හැකි සියලු බලධාරී පාර්ශවයන් සමග සාකච්ඡාවෙන් සම්මුතියෙන් ක්‍රියා කළ යුතුයි. එහිදී සියලු පාර්ශවයන් එක මේසයකට එක් විය යුතුයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පටන් මුදල් අමාත්‍යංශ්‍යය, කර්මාන්ත අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යංශය, වෙළෙඳ අමාත්‍යංශය මේ ආදී අමාත්‍යංශ ඒකාබද්ධවී ව්‍යවසායක කර්මාන්තකරුවන් සාකච්ඡා මේසයකට ගෙනා ආ යුතුයි. 

ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වරාය, රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව ඇතුලු ආර්ථික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සියලු දෙනා එක් විය යුතුයි. එසේ එක්වී අපේ රටට ගැලපෙන අනාගතය දිනන ජාතික වෙළෙඳ, ජාතික කර්මාන්ත, ජාතික ව්‍යවසාය ඉලක්ක ගත වැඩපිළිවෙලක් ගොඩ නැගිය යුතුයි. එවැනි ගොඩනැගීමක් සිදු නොකොට පැලැස්තර විසඳුම් ලබා දිමෙන් සිදුවන්නේ අර්බුදයෙන් අර්බුදයට යාමයි. ඒ නිසා අප ප්‍රාග්ධනය සම්පාදනය කිරීමට අමතරව කළ යුතු බොහෝ දේ යොජනා කර තිබෙනවා. 

ප්‍රශ්නය - 
ඒ සඳහා ඔබ කරන නව යෝජනා මොනවාද?


පිළිතුර -  
අපි ඒ සඳහා තිරසර කාර්මාන්ත කරණයක් ඇති කිරීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු යැයි යොජනා කරනවා. ඒ වගේම කර්මාන්ත කරුවන්ට අතදීමට ප්‍රාග්ධනය සැපයීමට ඒ අය වෙනුවෙන්ම වෙන්වූ අලුතින්ම සංවර්ධන බැංකුවක් පිහිටවිය යුතු යැයි යෝජනා කරනවා. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනයට නව ආයෝජන දිනා ගැනීමට කටයුතු කළ යුතු යැයි යෝජනා කරනවා. සාම්ප්‍රධායික සිතුවිලි, ආකල්ප වලින් මිදී නව ලොවට ගැලපෙන නව ආයෝජන දිනා ගන්නා වැඩපිළිවෙලක් ගැන අලුතින් කල්පනා කර බැලීමට කාලය පැමිණ තිබෙනවා. 



government sL අපේ රටේ රාජ්‍ය අංශය දකුණු ආසියාවේ විශාලතම රාජ්‍ය අංශය සේ සැලකෙනවා

 


ප්‍රශ්නය - 
මේ සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයෙන් කළ යුතු දායකත්වයක් තිබේද ? 


පිළිතුර - 
අපේ රටේ රාජ්‍ය අංශය දකුණු ආසියාවේ විශාලතම රාජ්‍ය අංශය සේ සැලකෙනවා. ඒ වගේම රටේ ජනගහණයෙන් සියයට දාහතකට එක් රාජ්‍ය නිලධාරියෙක් සිටිනවා. මේ නිසා රාජ්‍ය අංශය අමතක කොට අපේ ක්ෂේත්‍ර දියුණු කිරීමට වැඩපිළිවෙල සකස්  කිරීම විහිළුවක්. ඒ නිසා අනිවාර්යයෙන්ම රාජ්‍ය අංශයත් දායක කර ගත යුතුයි. රාජ්‍ය අංශයේ සේවා කර්මාන්ත, ව්‍යවසායක ප්‍රජාවට වඩාත් මිත්‍ර ශීලී ප්‍රතිඵලදායි, කාර්යක්ෂම ආකාරයෙන් ලබා දීමට පියවර ගත යුතුයි. 

පෞද්ගලික අංශයද රටේ ආර්ථිකයේ එන්ජිම යැයි කියමින් උදම් ඇණීමකින් තොරව කටයුතු කළ යුතුයි. අපත් රාජ්‍ය අංශයත් මීට වඩා ඒකාබද්ධව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ නව ආයෝජන, නව කාර්මාන්ත, නව සේවා ඇති කිරීමට පියවර ගත යුතුමයි.

ප්‍රශ්නය - 
අප ඉතිහාසයේ සැම දිනම ඔය ආකාරයේ සුන්දර කතා කියමින් කාලය ගත කොට තිබෙනවා. නමුත් ඉදිරියට පැමිණීමක් සිදුවී නැහැ නේද?

පිළිතුර  - 
ඔබ කියන කරුණෙහි අර්ධ සත්‍යයක් තිබෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. අපේ රටේ තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට නොහැකි බවට විශාල මතයක් තිබුණා. ත්‍රස්ත්‍රවාදය රණබිමේදී පරාජය කිරීමට විශාල හඩක් නැගුණා. නමුත් අපි වෙනුවෙන් අපි වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රටේ ඉහළ පහළ, ලොකු කුඩා සියලු දෙනාගේම උපරිම දායකත්වයෙන් යුද්ධය නිමා කිරීමට හැකි වුණා. ඒ ආකාරයටම අපි අලුත් වැඩක් කළ යුතුයි. බංකොළොත් රට ඉන් ගලවා ගත යුතුයි.


economy 2021.10.01අපේ රට ආර්ථික වශයෙන් විශාල අර්බුදයකයි සිටින්නේ

 
ප්‍රශ්නය - 
අප කළ යුතු අලුත් වැඩ පිළිවෙළ කුමක්ද ?


පිළිතුර - 
අපේ රට ආර්ථික වශයෙන් විශාල අර්බුදයකයි සිටින්නේ. මේ අර්බුදයෙන් ගොඩ ඒ මට අප ණය ගැනීමෙන් පමණක්ම කළ හැකි යැයි සිතා සිටීම වැරැදියි. අප ජාතියක් ලෙස, රටක් ලෙස ගොඩ නැගීමට ශක්තිමත් ආර්ථිකයක් සකසා ගත යුතුයි. ඒ සඳහා කළ යුතු එකම සහ අලුත්ම වැඩපිළිවෙල වන්නේ ව්‍යවසායක රාජ්‍යයක් ලෙස හැකි තරම් නව ව්‍යවසායකයින් රටේ ගොඩ නැගිමයි. මේ ආකාරයට කුඩා හා මධ්‍ය පරිමාණ පටන් මහා පරිමාණ දක්වා ශක්තිමත් ව්‍යවසායක ජාලයක් බිහි නොකර රටේ ආර්ථික ප්‍රශ්නයට තිරසාර විසඳුම් ලබා දිය නොහැකියි. 

ප්‍රශ්නය  - 
ව්‍යවසායක රාජ්‍යයක් බිහි කරමින් අපට ඉදිරියට යාමට හැකිනම් ඉන් මහජනතාවට අත්වන ප්‍රථිලාභ මොනවාද?


පිළිතුර  - 
සියලු දෙනා රටේ ආර්ථිකයේ දියුණුවට දායකවීම වැදගත්. නිකරුණේ කාලය නොදමා අප කවුරුත් සුළුවට හෝ කෘෂිකාර්මික, කාර්මික හෝ සේවා අංශයක නියැලී යුතුයි. මෙහිදී අප ලබාදෙන සේවය තුළින් ඉබේටම ව්‍යවසායකත්වයක් ගොඩ නැගෙනවා. ව්‍යවසයායකත්වයක් ගොඩ නැගූ රටක බදු ගෙවීමේ හැකියාව වැඩි වෙනවා. ඒ තුළින් අප වැනි රටක පහළ රාජ්‍ය ආදායම් මට්ටම ඉහළට ඔසවා ගැනීමට හැකියාව ලැබෙනවා. බදු ගෙවීම කරදරයක් ලෙස නොව තමන්ගෙන් රටට ඉටුවිය යුතු යුතුකමක් ලෙස සලකා බදු ගෙවන තැනට මහජනතාවගේ මානසිකත්වය ගෙනා යුතුයි. බදු පදනම පුළුල්වීම සිදුවීම තුළ ඉහළ බදු අනුපාත අඩු කිරීමට පවා ඉඩකඩ ලැබෙනවා. 

ප්‍රශ්නය - 
ආර්ථිකය හැකිලීමෙන් නැතිනම් සංකෝචනය කිරීමෙන් තොරව පුළුල් ලෙස ආර්ථික ක්‍රියාකාරකම් සිදුකිරීමට නේද මූලිකත්වය දිය යුත්තේ?


පිළිතුර - 
ඔව්. ඒ සඳහා තමයි අප බලධාරීන් දැනුවත් කරන්නේ. රටේ ජනමතයක් ගොඩ නැගීමට පියවර ගන්නේ. ආර්ථිකය එකතැන පල්වී තිබේනම් වේගවත් වර්ධනයක් සිදු නොවන්නේ නම් සෑම දාම අපට දුකින් තමයි සිටින්නට වෙන්නේ. ඒ නිසා අප වහා වහා කළ යුත්තේ හැකි තරම් ආර්ථිකය පුළුල් වන ආර්ථික ක්‍රියාකාරකම් බහුල වන ආකාරයට ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනීමයි. ඒවා ක්‍රියාවට නැංවීමයි. එසේ සිදු වීම වේගවත් වන තරමට රටේ ආර්ථිකය බලගැන්වීමක් සිදු වේවි. අපේ උත්සාහය කුමන බාධක අභියෝග මැද වුවත් දවසින් දවස පියවරින් පියවර හෝ තබා ව්‍යවසායක රාජ්‍යයක් ගොඩ නැගීමයි. පුරවැසියන් සියලු දෙනා ව්‍යවසායකයින් කළ නොහැකියි. නමුත් ව්‍යවසායකයින් පුරවැසියන්ගෙන් වෙනස් වන මානසිකත්වයක් ගොඩ නගා අප රට ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතුමයි. 



Sri Lankaඅනාගත පරපුර ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක උරුම කරුවන් බවට පත් කළ යුතුයි

 

ප්‍රශ්නය - 
මෙවැනි වැඩපිළිවෙළ යෝජනා කරන ඔබ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන්නේද?


පිළිතුර - 
කිසිසේත්ම නැහැ. අපගේ අරමුණ අපට මග හැරුණු තැන අපේ දරුවන්ට හිමි කර දීමයි. අනාගත පරපුර ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක උරුම කරුවන් බවට පත් කළ යුතුයි. අප කොවිඩ් වසංගතය, පාස්කු ඉරිදා ප්‍රහාරය, නියඟය, ඉන්ධන සහ විදුලිය පොලීම් යුග ජය ගෙන ඒවා නැවත ඇති නොවන තැනට කටයුතු කළ යුතුයි. එසේ කිරීමේදී අප ලෝකයේ අර්බුද ජයගෙන ඉදිරියට ආ රටවල් පිළිබඳව අධ්‍යයනය කර පාඩම් ඉගෙන ගත යුතුයි. අභියෝග ජයගන්නා ආකාරය  වටහාගෙන අවබෝධ කරගෙන ඉදිරියට යාමට කල්පනා කළ යුතුයි. කල්පනා කිරීමට පමණක් සීමා නොවී අභියෝග ජය ගැනීමට හැකි මානසික්තවයක් ගොඩ නගාගෙන ජයග්‍රහණය ලැබෙන තෙක් ඉදිරියටම යා යුතුයි. අධිෂ්ඨනය ජයග්‍රහණයම විය යුතුයි. 


(dinamina.lk - සාකච්ඡා කළේ :  ජයසිරි මුණසිංහ)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...