BREAKING
Top Ad
සමාලාප

පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණයක් සුදුසුයි -ඇමති ප්‍රසන්න

T

The Leader

March 29, 2024 • 4:53 AM

පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණයක් සුදුසුයි -ඇමති ප්‍රසන්න 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රට ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණය පැවැත්වීම වඩා සුදුසු බවත් රට ගොඩගත හැක්කේ ස්ථාවර ආණ්ඩුවක් තුළින් පමණක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
  • එතුමා තමයි 2015 දී අමාරුම වෙලාවේ වගකීම අරගෙන කටයුතු කළේ.
  • 2005 වසරේදී බැසිල් රාජපක්ෂ මහත්තයා තිරයේ පිටුපස ඉදන් තමයි මහින්ද මහත්තයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ.
  • අපේ දේශපාලන ගමන තුළත් අපි මේ තත්ත්වයට එන්නේ අපේ තාත්තලාගෙන් ලැබුණ අත්දැකීම් එක්කයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු අවධාරණය කරන්නේ මේ මොහොතේ පාර්ලිමේන්තු මැතිවරණයකින් රටට ස්ථාවර ආණ්ඩුවක් පත් නොවනු ඇති බවයි. 

රට මුහුණ දෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් ස්ථාවර ආණ්ඩුවක් පත් විය යුතු බවත් එය පත් කර ගත හැක්කේ ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් බවත් ඇමතිවරයා කියා සිටියි. 

ඇමති ප්‍රසන්න රණතුංග ඊයේ (28) නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී මාධ්‍යවේදීන් හමුවේ මේ කාරුණු අනාවරණය කළේය.

''ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයෙක් පොහොට්ටුවේ නෑ''

ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේ අස්ථාවර වූ රට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යළි ස්ථාවර කළ බව පැවැසු රණතුංග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට යළි අවස්ථාවක් ලබා දිය යුතු බවත් මේ මොහොතේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා පොහොට්ටුවට සුදුසු අපේක්ෂකයෙක් නොමැති බවත් යළි කියා සිටියේය. 

 

මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ ඇමති ප්‍රසන්න රණතුංග පැවසුයේ, පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයේ බැසිල් රාජපක්ෂ සිටියේ නම් වඩාත් හොඳ බවයි. එමෙන්ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තවත් කල් තිබෙන බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

 

එහිදී මාධ්‍යවේදීන් ඇමතිවරයාට යොමු කළ ප්‍රශ්න හා පිළිතුරු මෙසේය,

ප්‍රශ්නය -
නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමා ජාතික සංවිධායක වෙනවනේ. ඔහු පරණ කට්ටියට, පක්ෂය අතෑරලා දාලා ගිය අයට නැවන එන්න කියලා ආරාධනා කරනවා. වැඩ කරන්න පුළුවන්ද?


පිළිතුර - 
එතුමා තනතුර භාරගෙන එතුමාගේ සංකල්පයට අනුව කටයුතු කිරීම එතුමාගේ වගකීමක්. ඒක හරිද වැරැදිද කියන්න මට අයිතියක් නෑ. පක්ෂය වෙනුවෙන් හොද දෙයක් වෙනවා නම් අපිට අවශ්‍යත් ඒ දේ පමණයි. 

ප්‍රශ්නය - 
ජාතික සංවිධායක ධූරය වෙනස් වීම ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?

''බැසිල් ජාතික සංවිධායක ධුරයේ හිටියා නම් හොඳයි''

පිළිතුර - 
මම පෞද්ගලිකව කැමැති බැසිල් රාජපක්ෂ මහතා එතැන හිටියා නම්. එතුමා තමයි 2015 දී අමාරුම වෙලාවේ වගකීම අරගෙන කටයුතු කළේ. අපි එතුමා එක්ක වැඩ කරලා පුරුදුයි අවබෝධයක් තියෙනවා. අලුත් කෙනෙක් ආවම එයත් එක්ක වැඩ කරන්න හුරු වෙන්න ඕනේ. ඒ අභියෝගය බැසිල් මහත්තයා ගත්තා නම් හොදයි කියන ස්ථාවරයේ මම ඉන්නවා. 

ප්‍රශ්නය - 
මේ අමාරු වෙලාවේ මේක ගොඩ දාන්න පුළුවන් බැසිල් මහත්තයටද? 


පිළිතුර - 

 

දේශපාලනය කරනකොට හැමදේ ගැනම හිතලා කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ.  එතුමා ඒ ගැන හිතනවා. තමන්ගේ ඡන්ද ගැන පමණක් හිතලා වැඩ කරනවා නම් ජාතික සංවිධායක කමේ ඉදලා දේශපාලනය කරන්න බෑ. 2005 වසරේදී බැසිල් රාජපක්ෂ මහත්තයා තිරයේ පිටුපස ඉදන් තමයි මහින්ද මහත්තයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ. මම එදත් එතුමා එක්ක වැඩ කළා. එදා ඉදන් මේ දක්වා මම එතුමා එක්ක දේශපාලනය කරපු කෙනෙක් හැටියටයි මගේ පෞද්ගලික මතය ඉදිරිපත් කළේ. එතුමාගේ පෞද්ගලික අපහසුතා ගැන කියලා ඉවත් වුණාම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තමයි මේ තීන්දුව ගන්නේ. 

ප්‍රශ්නය -
ඔබතුමාගේ අදහස අනුව නාමල් රාජපක්ෂ මැතිතුමා ජාතික සංවිධායක ධුරයට පත් කිරීම සෑහීමකට පත් වන්නේ නැද්ද?


පිළිතුර - 
එතුමාට පුළුවන්ද බැරිද කියලා පෙන්වන්න අවස්ථාවක් ලබා දෙන්න ඕනේ. ඉදිරියේ ප්‍රතිඵල එක්ක ගන්න තීන්දු තීරණ එක්ක කණ්ඩායම එකට තියා ගැනීම එතුමාගේ වගකීමක්. ඒ දේ බැසිල් මහත්තයා හරියටම කළා. අපිට කුමන ප්‍රශ්න තිබ්බත් ඒ ගැටළු විසදගෙන අපිට වැඩ කරගෙන ඉන්න හැකියාව තිබ්බා. 

ප්‍රශ්නය - 
නාමල් රාජපක්ෂ මහත්තයා නාමිකව ඉන්න පුද්ගලයෙක් විතරක් වෙයිද දන්නේ නෑ. නමට විතරක් ජාතික සංවිධායක කරලා පිටිපස්සේ ඉදන් බැසිල් මහත්තයා මෙහෙය වනවා වගේ අදහසක් එයිද දන්නේ නෑ ටික දවසක් යනකොට.

පිළිතුර - 
මම හිතන්නේ නෑ. බැසිල් මහත්තයා කිව්වොත් දෙයක් කරන කරන දේ කියන කෙනෙක්. මම කැමැති එහෙම වෙනවා නම්. අලුත් අය ආව පළියට එහෙම වැඩ කරන්න බෑ. පළපුරුද්ද, අත්දැකිම් තියෙන අය පසුපෙල ඉදන් අපිට උදව් කරන්න ඕනේ. අපේ දේශපාලන ගමන තුළත් අපි මේ තත්ත්වයට එන්නේ අපේ තාත්තලාගෙන් ලැබුණ අත්දැකීම් එක්කයි. ඒ අය අපිව පිටිපස්සේ ඉදන් මෙහෙයවපු නිසයි. මහින්ද මහත්තයා මෙතැන ඉදන් මෙහෙයවන්න ඕනේ. එහෙම වෙනවා නම් මම කැමැතියි.

ප්‍රශ්නය - 
නාමල් මහත්තයා ජනාධිපතිවරණය සඳහා සුදානම් කිරීමක්ද මේ පටන් ගත්තේ.

නාමල්ට තව කල් තියෙනවා..

පිළිතුර -
මම හිතන්නේ නාමල්ට තව අවුරුදු පහක් දහයක් යනකොට අවස්ථාවට එන්න පුළුවන්. එතකොට තරග කරන්න එතුමාට අත්දැකීමක් ලැබෙන්න පුළුවන්. එතකොට මේ තත්ත්වය තේරුම් අරගෙන, මැතිවරණ මෙහෙයුම් පටන් ගෙන අලුත් පසුබිමක් හදාගෙන එන්න එතුමාට අවස්ථාව තිබෙනවා. ඒ අභියෝගය භාර ගන්න පුළුවන් ඒ දේ බලාපොරොත්තු වෙනවා නම් ඒ වගකීම අරගෙන කරාට කමක් නෑ. 

ප්‍රශ්නය - 
මේ ගමනත් ඉන්න ජනාධිපතිවරයාම නේද තෝර ගන්නේ.

පිළිතුර - 
රටට ස්ථාවර ආණ්ඩුවක් ඕනෑ...

 

මගේ මතය ඒකයි. මම අදත් කියන්නේ ජනාධිපතිවරණයකට යන්න ඕනේ. මේ අභියෝග භාර ගන්න පුළුවන් රටේ ආර්ථිකය ගොඩ නැගූ නායකයා විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා ජයග්‍රහණය කරන්න ඕනේ කියලා. පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණයකට යන්න කියන්නේ කාටවත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වෙනවා. එතකොට රට අරාජික වෙනවා. පකිස්ථානයට වෙච්ච දේ ලංකාවට වෙන්න ඉඩ තියෙනවා. එතකොට වෙන්නේ රටේ මිනිස්සු දුක් විදින එකයි. රට ගැන හිතලයි අපි තීන්දු ගන්න වෙන්නේ. ජනතාව ගැන හිතලා තීන්දු ගන්නවා නම් අපි කණ්ඩායම පාර්ලිමේන්තු ගිහින් අස්ථාවර ආණ්ඩු හදනවාට වඩා කවුරු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ තුන් දෙනාද හතර දෙනාද දිනන කෙනා ආණ්ඩුවක් පිහිටුවලා රට ගිනියන්න ඕනේ. 

 

අපි එහෙමනේ ගෝඨාභය මහත්තයා දින්නා. අපි ආණ්ඩුවක් ගත්තා. අපි අසමත් වුණා. මිනිස්සු අපිව ප්‍රතික්ෂේප කළා. දැන් අපි ආණ්ඩුවක් හැටියට මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක වැඩ කරලා රට ස්ථාවර කළා. අපිට වැඩ කරන්න බැරි කමක් නෙමෙයි. අපිට පුළුවන්. රටේ නායකත්වය හා තීන්දු ගැනීමේ අර්බුදය තමයි තිබුණේ. තීන්දු ගැනීම දැන් සිද්ධ වෙනවා. 

ඉදිරි මැතිවරණයේදීත් මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා දින්නොත් ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ දෙන්න ඕනේ. වෙන කවුරු හරි දින්නොත් ඒ කෙනාට ආණ්ඩුව පිහිටුවන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට රට ආරාජික වෙන්නේ නෑ. රට තමයි අංක එක. පක්ෂය තමයි අංක දෙක වන්නේ. රටේ මිනිස්සු වෙනුවෙන් ගන්න ඕනේ තීරණ ගන්න ඕනේ. 

ප්‍රශ්නය - 
ඔබතුමා විශ්වාස කරනවාද මේ වෙලාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු කෙනෙක් නෑ කියලා.


පිළිතුර - 
මට පේන මානෙක නම් කෙනෙක් නෑ.

 

ප්‍රශ්නය - 
විශ්වාසයෙන්ද කියන්නේ 


පිළිතුර - 
මාධ්‍යයට බොරු කියනවැයි.


 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...