එම කැරලි සියල්ල සුදු පාලක පෙළැන්තියට අන්තේවාසිකකම් කළ පිරිස හැර සමස්ත ලාංකීය ප්‍රජාව ම ඉත සිතින් වැලඳගත්හ; අගය කළහ. එහෙත් නිදහසින් පසුව මෙරට පැන නැගි පළමු කැරැල්ල වූ 71 තරුණ නැගිටීම පැරණි කැරලි ගණයෙහි ලා සලකන්නට මෙරට බහුතර ජනතාව අකමැති විය; එමතු නොව එය 'රැජිනට එරෙහිව කැරලි ගැසීම' යනුවෙන් ද නම් කෙරිණ.
දෙවන වර 1987 - 1989 කාලයේ යළිත් එබඳු ම සන්නද්ධ අරගලයක් සිදු විය. එය ද රාජ්‍යයට එරෙහි කැරැල්ලකි. එම කැරැල්ල ද නිදහසට පෙර පැවති කැරැලි මෙන් බහුතරයක ගේ කැමැත්ත දිනා ගැනීමට අසමත් විය. 71 වසරේ පැන නැගි තරුණ අරගලය අරබයා රාජ්‍ය මර්දනය කළ මැදිහත්වීම මෙන් සිය ගුණයක පමණ මැදිහත් වීමක් තුළින් එය මැඩලන්නට රාජ්‍ය සමත් විය.
තිස් වසරක් පුරා පැවති දෙමළ විමුක්තිකාමීන් ගේ සටන ද එබඳු ය; එය ද රාජ්‍යයට එරෙහි කැරැල්ලකි. නමුදු එය පෙර කැරලි දෙක මෙන් නොව ඊටත් වඩා සිය දහස් ගුණයකින් තියුණු විය. අවසන එය ද මැඩ පවත්වන්නට ශ්‍රී ලංකා රාජ්‍ය සමත් විය.
මේ අරගල ත්‍රිත්වය ම නිල සහ නිල නොවන රාජ්‍ය මර්දනය යොදා මර්දනය කළ ද ඒ ඒ කැරලිකරුවන් එලෙස කැරලි ගැසීමට හේතුපාදක වූ කිසිවක් විසඳන්නට ඒ පාලකයින් කිසිවකු සමත් නොවූහ; වර්තමානයේ ද ඒ: සමාජ, දේශපාලන, ආර්ථික මෙන් ම ආගමික ගැටලු ද ඒ ආකාරයෙන් ම (අඩු වැඩි වශයෙන් වුව ද) තවමත් පවතී; ඒ සඳහා විසඳුම් ලැබේ ද යන්න පවා අවිනිශ්චිත ය.
නිදහසට පෙර පැවති අරගල පිළිබඳ සේ ම 1971 අරගලය, උතුරෙහි අරගලය සහ 87 – 89 සමයේ පැවති අරගලය පිළිබඳව බොහෝ පොත් පත් ප්‍රකාශයට පත් විය. ඒ ඇතැම් කෘති ප්‍රකාශයට පත්වූයේ ඉංග්‍රිසි භාෂාවෙනි. නමුදු ඒ කෘති බහුතරයක් සිංහල භාෂාවට පරිවර්තනය කෙරිණ.
මෙම කෘති අකුරෙන් රොහාන් ගුණරත්න විසින් රචිත ''SRI LANKA A LOST REVOLUTION? – THE INSIDE STORY OF THE JVP'' කෘතිය ප්‍රකාශයට පත් කෙරෙන්නේ 1990 වසරේ දී ය; එනම් මීට වසර 35කට පෙර ය. නමුදු සිංහල පමණක් කියවන ලාංකිය පාඨක ප්‍රජාවට එම කෘතියේ සම්පුර්ණ සිංහල පරිවර්තනයක් (රාවය පුවත්පතෙහි කොටස් කිහිපයක් සහ ඉරිදා ලංකාදීප පුවත්පතෙහි දියත අතිරේකයේ පළවු කොටස් කිහිපයක් හැර) කියවීමේ අවකාශය නොලැබිණි.
එම අඩුව සපුරාලමින් පසුගිය අගෝස්තු මාසයේ ''SRI LANKA A LOST REVOLUTION? – THE INSIDE STORY OF THE JVP'' කෘතියේ සිංහල පරිවර්තනයක් ප්‍රකාශයට පත් කෙරිණ. ඒ, ''අහිමි විප්ලවය? - ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර කතාව'' යන මැයෙනි. මෙම කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කළේ, එම්. ආර්. නාරායන් ස්වාමි විසින් රචිත ''THE TIGER VANQUISHED LTTE'S STORY'' කෘතිය පසුගිය වසරේ සිංහල භාෂාවට පරිවර්තනය කළ ඒ. චානක තිලකරත්න ය.
The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ ඔහු ය; එනම්, චානක තිලකරත්න ය.
මතු පළ වන්නේ චානක තිලකරත්න ''අහිමි විප්ලවය? - ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර කතාව'' කෘතිය පිළිබඳව The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්පුර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව ය.
(සටහන - ජයසිරි අලවත්ත)




