නජිත් ඉන්දික:
කිසි සේත්ම මේක පියවරක් හැකිළීමක් නෙමෙයි. සමහර මාතෘකා තියෙනවා බලය මත විතරක් පදනම් වෙලා කරන්න බෑ. බලය තිබුණා කියලා හැම දෙයක්ම කරන්න බෑ. අපි සමාජයේ තියෙන සංවාදයට සංවේදි වෙන්න ඕනෑ. ජනතා මතයට සංවේදී වෙන්න ඕනෑ. එහෙම නොවුණොත් ඕනෑම හොඳ දෙයක් සම්බන්ධයෙන් වැරදි ආකල්ප ඇති වෙන්න පුළුවන්. අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයනවා. ඒක අනිවාර්යයි.

අපි දන්නවා, මේ සම්බන්ධයෙන් ඉතාම නරක මට්ටමේ සාකච්ඡාවක් සමාජය තුළ හදන්න පහුගිය දවස්වල විපක්ෂය උත්සාහ කළා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නෙ සංකීර්ණ ක්‍රියාවලියක්. මේක අපි කුලුනු පහක් යටතේ තමයි ක්‍රියාත්මක කරන්නේ. භෞතික සම්පත් සංවර්ධනය, විෂය මාලා සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, ඇගයීම් සම්බන්ධ වෙනස්කම්, ජනතාව දැනුවත් කිරීම කියන ආකාරයට. ඒ අතරින් විෂය මාලා සංවර්ධනය 1 සහ 6 ශ්‍රේණි දෙකට එකවර මේ අවුරුද්දෙ ක්‍රියාත්මක කරන්නයි අප සැලසුම් කර තිබුණෙ. ඒත් කරුණු එකක් – දෙකක් මත පදනම් වෙලා මේ ක්‍රියාවලිය ගැන සැකයක් ඇති කරන්න විපක්ෂය කටයුතු කළා.
පාලමක් හදනවා හෝ වෙනත් ඉදිකිරීමක් වගේ නෙමෙයි, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නෙ. ඒ වගේ එකක් විශේෂඥයන්ගේ අදහස් මත කරන්න පුළුවන්. මේක එහෙම බෑ. ඒක නිසා දරුවන්ගෙන් හෝ මවුපියන්ගෙන් සියයට පහකට හෝ මේ ගැන යම් සැකයක් ඇති වනවා නම්, ඒවා සියල්ල නිරවුල් කරන්න අප කටයුතු කරනවා. ඒක බලය සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි, සැක-සංකාවක් හදපු නිසා සිදු වුණු දෙයක්.
මේ ප්‍රතිසංස්කරණ හඳුන්වන්නේ ලංකාවේ අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් කියලා. ඇත්තටම මොකක්ද මේකෙන් අපේ අධ්‍යාපනයේ සිදු වන පරිවර්තනීය වෙනස?
නජිත් ඉන්දික:
මේ ගැන අපි පුළුල්ව කතා කළොත්: අධ්‍යාපනය කියන එක තීරණාත්මකයි. අධ්‍යාපනයෙන් දැනුම ඊළඟ පරම්පරාවට ගෙනයන එක අපිට සරලව කතා කරන්න පුළුවන්. ඒත් නූතන දැනුම එක්ක එකතු කරපු අධ්‍යාපනය, එහෙම නැත් නම් රටේ අනාගත ඉලක්ක වෙනුවෙන් ගොඩනඟන අධ්‍යාපන ක්‍රමයක් කියන්නේ ඊට වඩා සංකීර්ණ දෙයක්.

ශ්‍රී ලංකාව කියන්නෙ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් පවතින රටක්. අපේ රටේ කොඳුනාරටිය මේක. කාලෙන් කාලෙට විෂය මාලා වෙනස් වුණා. හැබැයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනස්. අපි දන්නවා, විෂය නිර්දේශ වෙනස් වුණා. විභාග පැවැත්වුණා. මේ විදිහට පිළිවෙළකට ඉස්සරහට ගියා. ඒක අවුරුදු දහයකට වරක් සිදු වුණා. අපි පරිවර්තනීය වෙනසක් කියලා කියන්නෙ මේ සමස්ත අධ්‍යාපන ක්රමවේදයේම වෙනසක් කියන එකයි. ලෝකයේ අධ්‍යාපනය නවීකරණය වන ආකාරය, ඒ අත්දැකීම්, රට-රටවල තියෙන ක්‍රම, ඒවගෙ තියෙන වාසි-අවාසි… මේ සියල්ල අතරින් අපිට ගැළපෙන – අපට අවශ්‍ය ක්‍රමයක් අපි හදන්න ඕනෑ. සාමූහික හැඟීමක් තියෙන, සංස්කෘතිය-සදාචාරය හඳුනන, විෂය දැනුම සහිත, නවීන දැනුම සහිත පිරිසක් ගොඩනැඟීමයි අපේ ඉලක්කය.
අප දන්නවා බහුතරයක් අවුරුදු 13ක් පාසල් ගිහින් ඉවර වෙලා, නැවත ජීවිතය අලුතින් පටන්ගන්නවා. ඒ කියන්නෙ අපේ අධ්‍යාපන ක්‍රමය යටතේ සියලු පැති ආවරණය වෙලා නෑ. මේක කාගෙවත් වරදක් නෙමෙයි. අපි ඉස්සරහට අඩිය තියන්න ඕනෑ. ඒ අලුත් ක්‍රම අප රට ඇතුළට ගේන්න ඕනෑ. දරුවකුට අවුරුදු 18 – 19 වෙද්දි ජීවිතයේ ඉස්සරහට යන පාර හැදිලා තියෙන්න ඕනෑ. අඩු තරමෙ, තමන්ගෙ පාර අඳුනාගන්න පහසුව තියෙන්න ඕනෑ. නවය ශ්‍රේණියේ සිට ඒ ක්‍රමය අපි සකස් කර තියෙනවා. ඒකෙදි වෘත්තීය අධ්‍යාපනයට වැඩි අවස්ථාවක් දීලා තියෙනවා. නිදහස් අධ්‍යාපනයට පස්සෙ සිදු කරන අධ්‍යාපනයේ පුළුල්ම වෙනස මේක කියලා හඳුන්වන්න පුළුවන්. ඒකයි මේක පරිවර්තනීය වෙනසක් කියලා හඳුන්වන්නෙ.
මේ තරම් පුළුල් වැඩපිළිවෙළක් වුණත්, ඇතැම් පාර්ශ්ව චෝදනා කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කිසිම විධිමත් ලියවිල්ලක් නෑ කියලා. ඇත්තද ඒක?
නජිත් ඉන්දික:
ඒක ඇත්ත නෙමෙයි. මේක ඇත්තටම දැනටමත් ප්‍රමාද වුණු ක්‍රියාවලියක්. අප හැකි ඉක්මනින් මේක ඉදිරිපත් කරන්න, තව වසරක් හෝ කලින් පටන්ගන්න උත්සාහ කළා. අවුරුදු දෙකක් විතර අරන් මේ පිළිබඳ පුළුල් ජනතා දැනුවත් කිරීමක් කරන්න කාලය වැය කරනවද, නැද්ද කියන තැනක අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව හිටියා.
අපට තියෙනවා විධිමත් ලියවිල්ලක්. උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියට ගියොත් ඒක බලන්න පුළුවන්. ඒකෙ තියෙන්නෙ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් 2025 කියලා. මේක ඇතුළෙ අධ්‍යාපනයේ මේ කියන වෙනස මොකක්ද, අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නෙ කොයි විදිහටද කියලා පැහැදිලිව තියෙනවා. පැයක්-හමාරක් ඇතුළත මේක කියවාගන්න පුළුවන්. අපි ඉල්ලා සිටිනවා, මේක කියවන්න කියලා. එතකොට අසත්‍ය මොකක්ද? සත්‍යය මොකක්ද? කියලා තේරුම්ගන්න පුළුවන්.

පාර්ලිමේන්තුවෙ මේ ගැන ඇති වෙනකල් සංවාද කළාට පස්සෙත්, යළි-යළිත් මේ සැකය ඇති කරන්න විපක්ෂය පැත්තෙන් කටයුතු කරනවා කියලා අපට පේනවා. මේ ලියවිල්ලේ අවසානයට තියෙනවා, මේක හදන්න මැදිහත් වුණේ කවුද කියලා. ඒ ලැයිස්තුවෙ නම් 140ක ලැයිස්තුවක් තියෙනවා. ආණ්ඩුවට මොකුත් හංගන්න අවශ්‍ය නෑ. අධ්‍යාපන අමාත්‍යාංශයෙන්, ජාතික අධ්‍යාපන ආයතනයෙන්, වෘත්තීය පුහුණු ආයතනවලින් කවුද මේවට මැදිහත් වුණේ කියලා හරියටම තියෙනවා. වෙන-වෙනම තියෙනවා.
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අධ්‍යාපනය සම්බන්ධයෙන් හදපු ඒවම තමයි මේ ආණ්ඩුවත් කරන්නෙ, ඒවම අරන් ඉස්සරහට ගෙනියනවා කියලත් මතයක් තියෙනවා. ඇත්තටම මේකෙ අලුත් දෙයක් නැද්ද?
නජිත් ඉන්දික :
මේ ආණ්ඩුව කරන මොනවා හරි හොඳ දෙයක් ගත්තොත් ඒක අපිත් කරන්න හිටියෙ කියලා කියනවා අපි දකිනවා. අපේ එක තමයි මේ කරන්නෙ කියනවා. එහෙත් ප්‍රායෝගික තත්වය නෙ බලන්න ඕනෑ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පැත්තකින් තියන්නකො. පාරක් සංවර්ධනය කරන කොට බලන්න, තියෙන පාරක් නෙ අලුත්වැඩියා කරන්නෙ. මේකෙත් තිබුණු ක්‍රමයක් තමයි අපි ගොඩනඟන්නෙ. මෙතැනදි විෂයබද්ධ කාරණයක් තියෙනවා. තිබුණු දේවල් අලුත් කරන්නෙ කොහොමද කියන එකයි වැදගත්.
ඔබ නිශ්චිත ප්‍රශ්නයක් ඇහුවා, ගෝඨාභයගෙ කාලෙ සහ රනිල් වික්‍රමසිංහගෙ කාලෙ කරන්න හිටපු දේවල් තමයි මේවා, ඒවද මේ කියලා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න සමාජයෙන් තල්ලුවක් තිබුණා හැම ආණ්ඩුවකටම. ඒක 2012 වගේ ඉඳලා දිගටම තියෙන එකක්. අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන්, අධ්යාපනඥයන්ගෙ පැත්තෙන් මේ තල්ලුව තිබුණා. නිවැරදි ක්‍රමවේදයකට ඒක ගියෙ නෑ.

ගෝඨාභය රාජපක්ෂගෙ කාලෙත් මෙහෙම වැඩක් පටන්ගෙන තියෙනවා. 2023 මාර්තු 13 ජනාධිපති කාර්යාලයෙන් මේකට අදාළව ලිපියක් පවා යොමු කරලා තියෙනවා. ඒත් ඊට පස්සෙ මොකුත් කරලා නෑ. රනිල් වික්‍රමසිංහගෙ කාලෙ පාර්ලිමේන්තුවෙ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවටත් මෙහෙම එකක් ඇවිත් තියෙනවා. ඒකෙ නිර්දේශ 41ක් තියෙනවා. මේකට ඒ කාරකසභාවෙ හිටපු මන්ත්‍රීවරුන් අත්සන් කරලාත් තියෙනවා. අධ්‍යාපනය සඳහා මුදල් සම්පාදනය කරන්නෙ කොහොමද කියලත් මේකෙ තියෙනවා. මෙතැන බඳවාගැනීම් පදනම් කරගත් අරමුදල් සම්පාදනයක් ගැන තියෙනවා. මෙතැනදි රජය අධ්‍යාපනයෙන් අඩියක් පස්සට ගන්නත් යෝජනා කරලා තියෙනවා. සමහර මන්ත්‍රීවරුන් මේවට විරුද්ධ වෙලත් තියෙනවා. මොකක්ද මේ උදාහරණවලින් කියන්නෙ? පටන්ගත්ත දේවල් ඉස්සරහට ගිහින් නෑ. ඒක නිසා මේ ක්‍රියාවලිය විධිමත්ව ආරම්භ කරන්නෙ ජාතික ජන බලවේග ආණ්ඩුව. අපිට අවශ්‍ය වුණේ මේක ඉක්මනින් කරන්න.
ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව ද මේ ප්‍රතිසංස්කරණ හදලා තියෙන්නෙ, එහෙම නැත්නම් ආණ්ඩුව ගත්තට පස්සෙ යම්-යම් වෙනස්කම් කරලා තියෙනවද?
නජිත් ඉන්දික:
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ කියන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයට තමයි ජනතාව ඡන්දය දුන්නෙ; ඡන්දය දීලා මේ ආණ්ඩුව පත් කරගත්තෙ. අපේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තියෙන විශාලම පරිච්ඡේද අතරත් මුලින්ම තියෙන්නෙ අධ්‍යාපනය. මේ ප්රකාශනයේ අධ්‍යාපනය, පූර්ව ළමා විය අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය මේ හැම දෙයක් ගැනම විධිමත්ව සඳහන් වෙනවා.

ශිෂ්‍යයාගේ රුචිකත්වයට ගැළපෙන පරිදි විෂය මාලා තෝරාගැනීමේ අවස්ථාව 9 ශ්‍රේණියේදී ලබාදෙනවා කියන එක ගැන අපි සඳහන් කර තියෙනවා. ඒකම තමයි අධ්‍යාපන ප්රතිසංස්කරණවලත් තියෙන්නෙ. ඊට පස්සෙ 9 ශ්‍රේණියෙන් පටන්ගන්න කාලය තුළ එක් විෂය ධාරාවකින් තවත් විෂය ධාරාවකට මාරු වෙන්න පුළුවන් විදිහට අවස්ථාව ලබාදීම ගැන අපි සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නෙ තමන්ගෙ හැකියාවන් හඳුනාගැනීමත් එක්ක ඒ වෙනස්කම් කරන්න අවස්ථාව දෙනවා. මඟහැරුණු ඒවා හදාගන්න අවස්ථාව දෙනවා. ඒවාම අධ්‍යාපන ප්රතිසංස්කරණවලත් තියෙනවා. සංස්කෘතික, ප්‍රාථමික අධ්‍යාපනය ගැන, රජයේ පාසල් ගැන මේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තියෙන සියල්ල අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඇතුළත් කර තියෙනවා. එකින් එකට අරගෙන මේක දීර්ඝ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. අපි ජනතා මතයට පිටින් වැඩකරලා නෑ. ඒක ඉතා පැහැදිලියි.
ඒ කියන්නෙ මේක කඩිමුඩියේ තීරණ අරන්, අත පුච්චාගැනීමක් නෙමෙයි?
නජිත් ඉන්දික :
එහෙම තීරණ ගන්න බෑ. විශේෂයෙන් අධ්‍යාපනය වගේ විෂයයක් ගැන. එහෙම කරනවා කියලා කවුරුහරි කියනවා නම්, ඒ ගොල්ලොන්ගෙ අරමුණම වෙනස් එකක්. අතට අහුවෙන ඕනෑම එකකින් ගහන එකයි මෙතැන අරමුණ. සාමාන්‍යයෙන් ආණ්ඩුවකට කරන චෝදනා තියෙනව නෙ: හොරකම් කරනවා, මේ වගේ හොරකම් වගේ ඒවා. ඒ චෝදනා කරන්න විදිහක් නෑ මේ ආණ්ඩුවට විරුද්ධව. ඒක හින්දා දැන් කරන්නෙ කිසිම පදනමක් නැතුව, පදනමක් ගැන හිතන්නෙ නැතුව අතට අහු වෙන ඕනෑම දෙයකින් ගහලා දානවා. ඕනෑම ආකාරයක සැකයක් හදන්න ඒගොල්ලො පැකිළෙන්නෙ නෑ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ වැඩක් එක රැයකින් හදන්නත් බෑ, ආණ්ඩුවකට තනියෙන් හදන්නත් බෑ, අධ්‍යාපන ඇමැතිට හදන්නත් බෑ, මේක විශාල, පුළුල් ක්‍රියාවලියක්. විශේෂඥයන්, අධ්‍යාපනඥයන්, අධ්‍යාපනයට අදාළ ආයතන සියල්ල මේකට සම්බන්ධ කරගෙන, පරණ ඒවා, අලුත් ඒවා, ලෝක තත්ත්වයන් සියල්ල විශ්ලේෂණය කරලා තමයි අපි මේක හැදුවෙ. අපිට තව මේකට කල් ගන්න තිබුණා. ඒත් අපේ අරමුණ වුණේ තව එක ශිෂ්‍ය කණ්ඩායමක් හෝ මඟනොහැරෙන විදිහට මේක කරන එකයි.
ඔබ නියෝජනය කරන දේශපාලන කණ්ඩායම අසූව දශකයේ අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරුද්ධ වුණා. ඇතැම් කණ්ඩායම් ඉදිරිපත් කරන තර්කයක් තමයි: දැන් ඒ ධවල පත්‍රිකාවේ තිබුණු කරුණුම වෙනත් ආකාරවලින් මේ ආණ්ඩුවෙන් ගේන්න හදනවා කියලා. මේක බරපතළ චෝදනාවක්?
නජිත් ඉන්දික :
පහුගිය සතියෙ පාර්ලිමේන්තුවෙ කටයුතු අතර තිබුණු එක විශේෂ කරුණක් තමයි, අගමැතිතුමියට එරෙහි විශ්වාසභංගය. ඒත් මොකක්ද වුණේ, විශ්වාසභංගය ගේනවා කියපු කණ්ඩායම්වලට තමන්ගෙ පැත්තෙ කට්ටියගෙ අත්සන් ටික පවා ගන්න බැරි වෙලා තියෙනවා. මම හිතන්නෙ නෑ ඔවුන්ට එහෙම එකක් කරන්න පුළුවන් කියලා. ඇතැම් පක්ෂවල කට්ටියත් ඒකට විරෝධය දක්වමින් ඉන්නවා.
ඒ වගේ තත්වයක් යටතේ පාර්ලිමේන්තු විවාදයෙදී ඇතැම් අය කිව්වා, අධ්‍යාපන ධවල පත්‍රිකාව ගැන. අපි විරුද්ධ වුණා, දැන් කොහොමද ඇහුවා. අපට අධ්‍යාපනය සම්බන්ධ ඉතිහාසයක් තියෙනවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් පහුගිය දශක තුනක-හතරක කාලය තුළ ගෙනාපු අත්තනෝමතික යෝජනා රැසකට අප විරුද්ධ වෙලා තියෙනවා; ඒවා ආපසු හරවන්න මැදිහත් වෙලා තියෙනවා. ඒක කියන්න අපි පසුබට වෙන්නෙ නෑ. ඒ විරුද්ධ වුණු නිසාම තමයි අපිට මේ වෙනුවෙන් දැන් පෙනී ඉන්න අයිතියක් තියෙන්නෙ. ධවල පත්‍රිකාව මාර එකක් කිවුවා, අපි විරුද්ධ වුණා කිවුවා. ලේසි නෑ, ශිෂ්‍යයො, ප්රගතිශීලීන්, මහාචාර්යවරුන්, ආගමික නායකයන් විරුද්ධ වුණා මේකට. ජීවිතවලින් අරගල කළේ. තුනෙන් දෙකක ආණ්ඩුවක් ඒ වෙලාවෙ තිබුණෙ, ඒක නවත්තන්නෙම නෑ කිවුවා. ඒත් නවත්තන්න සිදු වුණා.
මෙතැනදි ගත්තොත් මේ කතා කරන පදනමම වැරදියි. මේ දෙක දෙකක්. 1981 අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනාපු පසුබිම හිතන්න. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල දැනෙමින් තිබුණු, දිළිඳු බව මීට වඩා වැඩි තත්වයක්. ධවල පත්‍රිකාවේ තිබුණේ මේක නෙමෙයි. අපි සියල්ලන්ට සමාන තැනක් හදලා, ස්මාර්ට් බෝඩ්, නවීණ තාක්ෂණය එක්ක ඉදිරියට යන්න හදන්නෙ. ඒකට පසුබිම හදන්නෙ. ධවල පත්‍රිකාව ගැන කියන අය මේ දෙකෙන් එකක්වත් අධ්‍යයනය කරලා නෑ. මතක තියාගන්න, ධවල පත්‍රිකාව පරාද වුණේ නිකම් නෙමෙයි. තුනෙන් දෙකක ආණ්ඩුවකට ඒක අකුළාගන්න වුණා.

මේකෙ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කරන්න යෝජනා කළා. රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් සල්ලි අයකරන්න යෝජනා කළා. පෞද්ගලික විශ්වවිද්‍යාල කරන ආකාර ගැන, ජාතික පාසල් අහෝසි කරන්න, යැපෙන පාසල් හදන්න වගේ රජයේ මැදිහත් වීම අඩු අධ්‍යාපන ක්‍රමයක් හදන්න යෝජනා කරපු පත්‍රිකාවක් මේක. ඒකට ලොකු විරෝධයක් ආවා. ධවල පත්‍රිකාව පරාජයට පත් වුණාට, පසුකාලීන ආණ්ඩුවලින් මේකෙම ඇතැම් යෝජනා ආපහු ගෙනාවා. පාසල්වල සල්ලි එකතු කරන එක ඒ අතරින් එකක්. අපි මෙතැනදි සම්පූර්ණයෙන්ම කරන්නෙ අධ්‍යාපනයේ රජයේ මැදිහත් වීම, රජයේ වගකීම තවත් වැඩිකරන එක. ඒක නිසා මේක පටලවාගන්න එපා. මේ පතුරුවන්නෙ බොරු.
(සටහන | චානක ඉනෝජ්)
උපුටා ගැනීම - silumina



