BREAKING
Top Ad
සමාලාප

'ලංකාවට දවස් උදාවෙන්නේ මෝඩ ආණ්ඩුවක් හා අතිමෝඩ විපක්ෂයක් සමග' | කුසල් පෙරේරා

T

The Leader

March 28, 2026 • 5:38 AM

'ලංකාවට දවස් උදාවෙන්නේ මෝඩ ආණ්ඩුවක් හා අතිමෝඩ විපක්ෂයක් සමග' | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (මැදපෙරදිග ගැටුමේදී ලංකාවේ විදෙස් පිළිවෙත, ඉන්දියාවේ භූමිකාව, ඇමෙරිකානු බලපෑම, විපක්ෂයේ ක්‍රියාකාරිත්වය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා න්‍යෂ්ටික අත්හදාබැලීමක අවදානම ගැන දේශපාලන විචාරක කුසල් පෙරේරා ‘ඉන්සයිඩ් වොයිස්’ නාලිකාව සමඟ කළ සාකච්ඡාව මෙසේය)
  • නමුත් යුද්ධය නතර කර කලාපීය එකතුවක් ලෙස ක්‍රියා කළ යුතු බව කියන්න අපට වගකීමක් තිබෙනවා.
  • චීනයත් සමග ඔවුන්ට ඇති ගැටුමේදී මෙවැනි පැටලීමකින් ඉන්දියාවට දේශපාලනික වශයෙන් ගත හැකි කිසිදු වාසියක් නෑ.
  • ප්‍රශ්නය : ආණ්ඩුවේ ස්ථාවරය අනුමත කරන ඇතැම් පාර්ශ්වවල තර්කය වන්නේ ආර්ථිකය.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රශ්නය :
ඇමෙරිකා ඊශ්‍රායල ඉරාන ගැටුමේදී ලංකාණ්ඩුවේ භූමිකාව කුමක් විය යුතුදැයි ඔබ හිතනවද?

පිළිතුර:
කලාපීය හා ජාත්‍යන්තර වගකීම් තියෙනවා. ස්ථාවරයක් ගත යුතුයි. හරි දේ මොකක්ද යැයි කීමේ අයිතියක් තිබෙනවා. මේ ගැටුමේදී කොන්දක් තිබිය යුතුයි. ඉන්දියාව උදවු කරන්නේ දිගටම යුද්ධය ගෙනියන්න යැයි ඉන්දියාවට කිව යුතුයි. නමුත් යුද්ධය නතර කර කලාපීය එකතුවක් ලෙස ක්‍රියා කළ යුතු බව කියන්න අපට වගකීමක් තිබෙනවා. හෙට එක්සත් ජාතින්ගේ සංවිධානයෙනුත් එය පියවර ගත යුතුයි. එහෙම නැතිව අනේ ඔයාලා යුද්ධ කරන්න එපා මේකේ කිසි තේරුමක් නෑ වගේ කතා වලංගු නෑ.

ප්‍රශ්නය  :
ඉන්දියාව තමයි මේ ලණුව දුන්නේ කියන කතාව ඔබ පිළිගන්නවද?

 

ship 260307පිළිතුර :

නෑ. මම ඒක පිළිගන්නේ නෑ. මොකද ඉන්දියාවට ලංකාව පටලවලා බේරිලා ඉන්න බෑ. ලංකාවේ ගැටුමට කොටුවුණොත් ගැලවීමක් නෑ. ඉන්දියාව විශාල වශයෙන් ලංකාවේ ආයෝජන කරනවා. ඉන්දියන් ව්‍යාපාරිකයන් ලංකාවෙන් බාගයක් විතර අන් ඉවරයි. චීනයත් සමග ඔවුන්ට ඇති ගැටුමේදී මෙවැනි පැටලීමකින් ඉන්දියාවට දේශපාලනික වශයෙන් ගත හැකි කිසිදු වාසියක් නෑ. ඉරාන නැව ලංකාවට එව්වේ නෑ. එයාලා ගමන් කළේ එක්ස්ක්ලූසිව් සෝන් එකේ. ඒ සුවිශේෂී ආර්ථික කලාපයේ ඕන කෙනෙකු යන්න එන්න පුළුවන්. කිසිම ගැටුමක් බෑ. අපේ එක්ස්ක්ලූසිව් සෝන් එකට තමුසෙලා සබ්මැරීන් එව්වේ කොහොම කියල ඇමෙරිකාවන් අහන්න ලංකාවට අයිතියක් තියෙනවා. ඒක මේ ආණ්ඩුව අහන්නේ නෑ. මේ ආණ්ඩුව සබ්මැරීන් එක ගැන කතා කරන්නෙවත් නෑ. ඔය නොබැඳි නෙවෙයිනෙ. ඕක ඇමෙරිකන් ලැදි පිළිවෙතක්. මේ යුද්ධවලදි නිහඬ වෙනවා කියන්නේ බලගතු පාර්ශ්වවලට යටත් වෙනවාය කියන එක.


ප්‍රශ්නය :
ආණ්ඩුවේ ස්ථාවරය අනුමත කරන ඇතැම් පාර්ශ්වවල තර්කය වන්නේ ආර්ථිකය. ඇමෙරිකාව අපේ ඇඟලුම් සම්බන්ධයෙන් තීන්දුවක් ගත්තත් බදු පැනෙව්වත් අපි ඉවරයි වගේ එකක්?


පිළිතුර:
ඉතින් ඒකට අපි අපේ ආර්ථිකය හදාගන්න එපැයි. ඇමෙරිකාවෙන් යැපෙන ආර්ථිකයක් නඩත්තු කරන්න ගියාම ඒක තමයි වෙන්නේ. අපි හදාගන්න එපැයි අපේ සංවර්ධන සැලැස්මක්. ඒ සැලැස්මේ කලාපීය වශයෙන් අපට කරන්න දේවල් තියෙනවනෙ. ආසියානු නැඹුරුවකට යන්න පුළුවන්නෙ. ඇයි අපි ඒක නොකරන්නේ? ඒක නොකර ඇමෙරිකාවෙන් යැපෙන්න අවශ්‍ය නම් ඔය කතාව හරි. ඒක නිසයි මම කියන්නේ මේ දක්වා ආණ්ඩුවලට සංවර්ධනය ගැන අදහසක් නැති වුණා වගේම විදෙස් පිළිවෙතකුත් නෑ. ඉතින් ලේසිම එක තමයි නොබැඳි පිළිවෙත. ඒක පට්ට බොරුවක්.

ප්‍රශ්නය :
ආණ්ඩුව ප්‍රතිචාර දැක්වීමට පමාවීම ගැනත් විවේචනයක් එල්ල වෙනවා. අයතුල්ලා කමේනිගේ මරණයේදී ලංකාවට සමීප රටක් හැටියට ඉරාන රාජ්‍ය නායකයාගේ ඝාතනය ගැන නිල මතයක් ප්‍රකාශ නොකළේ ඇයි කියන එක?


පිළිතුර :
මේ ආණ්ඩුව ඇමෙරිකන් ආර්ථිකය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත යැපෙනවා. දේශපාලනික වශයෙන් ඉන්දියාව එක්ක ගැටගැහිලා. මේ දෙපැත්තෙ ප්‍රතිචාර නොබලා ප්‍රතිචාර දක්වා අත පුච්චාගන්න අවශ්‍ය නෑ කියන තැන ආණ්ඩුව ඉන්නේ. ආණ්ඩුවට තමන්ගේ කියල ඉදිරි දැක්මක් නෑ. මැතිවරණ කාලෙදි මාලිමාවට දීලා බලමු යැයි කියද්දී මම දෙමු හැබැයි බලන්න දෙයක් ඉතිරිවෙන්නේ නෑ කියල කිව්වෙ ඒකයි.

ප්‍රශ්නය :
ආර්ය සම්බන්ධය උපුටා දක්වමින් ඉන්දියානු විපක්ෂයෙනුත් ඉන්දීය ආණ්ඩුවට චෝදනා එල්ල වුණා. ඇත්තටම ලංකාව හිටගන්න ඕනෙ කොයිපැත්තෙ කියලද ඔබ කියන්නේ?


පිළිතුර :

United Nation

ඉරානය හෝ ඇමෙරිකාව එක්ක හිටගන්න කියල එකක් නෑ. පළමු වැනි කාරණය අපි එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය කැඳවන්න කියල මහලේකම්ට කිව යුතුයි. ජාත්‍යන්තර නීති කැඩූ අයට සම්බාධක පැනවීම, ඔවුන් දේශපාලනික හා සංස්කෘතික වශයෙන් හුදෙකලා කිරීම, ඔවුන් සමග අපි දඬුවම් කරන්නෙ කොහොමද කියල කතා කළ යුතුයි. අප සිටගතයුත්තේ ජාත්‍යන්තර නීති හා එක්සත් ජාතින්ගේ සංවිධානය ආරම්භයේදී අප අස්සන් තැබූ ප්‍රඥප්තිය සමග.


ප්‍රශ්නය :
එක්සත් ජාතින්ගේ සංවිධානය හෝ මහලේකම්වරයාත් සොයාගන්න බැරි තත්ත්වයකදී ලංකාව මේකට බෙල්ල තියන වගේ වැඩක් නෙවෙයිද මේ?


පිළිතුර :
කොහොමද ලංකාව බෙල්ල තියන්නෙ? එක්සත් ජාතීන්ගේ සංවිධානය කැඳවන්නෙ නැත්තන් කැඳවගන්න අපි වැඩ කළ යුතුයි.

ප්‍රශ්නය :
බොහෝ දෙනා කියන කතාවක් ජනාධිපතිවරයා කිව්ව විදියටම මේක රටක්ද මේක හුණ්ඩුවක්නෙ කියන එක. හුණ්ඩුවක් කොහොමද ඇමෙරිකාව එක්ක හැප්පෙන්නේ?


පිළිතුර :
ඔය හුණ්ඩු කතාව මෝඩ කතාවක්නෙ. ජනාධිපති යොදාගත්තෙ යෙදුමක්. යෙදුම පාවිච්චි කරල ඔහු කිව්ව කතාව නොගෙන හුණ්ඩු හුණ්ඩු කියමින් යන එකෙන් තේරෙන්නේ විපක්ෂය කොයිතරම් බාලද කියන එක. ආණ්ඩුව අන්තිම බාලයි. ඊටත් බාලයි විපක්ෂය. මෝඩ ආණ්ඩුවක් හා අතිමෝඩ විපක්ෂයක් එක්ක අපි පවතින්නේ දැන්. ගන්න ඕන ප්‍රශ්න නෙවෙයි ගන්නේ. විපක්ෂය ඇසිය යුත්තේ ආණ්ඩුව ඇයි එක්සත් ජාතින්ගේ මහා සම්මේලනය කැඳවන්න වැඩ නොකරන්නෙ කියලයි. ඇයි ආණ්ඩුව කලාපීය බලය වෙනුවෙන් දකුණු ආසියානු රටවල් සමග ඉන්දියාවට බල නොකරන්නේ කියල. ඇයි විපක්ෂයට බැරි අහන්න එක්ස්ක්ලූසිව් ඉකොනොමි සෝන් එකට ඇවිත් ඇමෙරිකාව ටෝපිඩෝ ගහල යද්දි ඒක වැරැදියි නොකියන්නේ ඇයි කියල. මේ කතා ගොඩක් දේවල් දන්නේ නෑ. එක එක්කෙනාගේ කතා අරන් සිරස්තල ගහන මාධ්‍ය කලාවක් දැන් තියෙන්නේ. ත්‍රස්තවාදියා කියනවා ත්‍රස්තවාදියා මොකාද කියල දන්නෙවත් නැතිව. මේ ගැටුමේදී අපේ මාධ්‍ය ආවරණය අන්තිමයි. අපේ මාධ්‍ය ආවරණයේ කිසිම දැනුවත්භාවයක් ඇතිව කෙරෙන්නේ නෑ. පළමු වැනි කාරණය ඒ අය දන්නේ නෑ මේ ගැටුම් කළමනාකරණයට මූලික සාධක දෙකක් ඇති බව.

ප්‍රශ්නය :
මොකක්ද ඔය කියන සාධක දෙක?


පිළිතුර :
එකක් එක්සත් ජාතින්ගේ ආරම්භක ප්‍රඥප්තිය. අනික යූඑන් ක්ලෝස් කියන එක. යුනයිටඩ් නේෂන් කන්වෙන්ෂන් ලෝ ඔෆ් ද සී. මුහුදේ නීතිය සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය. අපට පූර්ණ ලෙස අයිති මූදු ප්‍රමාණය ඔය යුන්ක්ලෝස් කියන එකේ පැහැදිලිව තියෙනවා. මුහුදු සැතපුම් 12ක්. එතැනින් එහාට තව 200ක්. විශාල ප්‍රමාණයක්. අර 12ට අපෙන් අහන්නෙ නැතිව කාටවත් ඇතුලුවෙන්නවත් බෑ. වානිජ නැව් වුණත් එහෙමයි. ඉතිරි එකේ ආර්ථික කටයුතු විතරයි. සටන් ගැටුම් බෑ. සම්පූර්ණයෙන් තහනම්. ඒකට ටෝපිඩෝ ගහන්න සබ්මැරීන් ආවෙ කාහොමද කියන එක බරපතල කරුණක්. මෙහෙම ටෝපිඩෝ ගහන්න ඔබට අවසර දුන්නේ කවුද කියල ඇයි මේ ආණ්ඩුව ඇමෙරිකාවෙන් ඇහුවෙ නැත්තේ? අඩුම ගණනේ එවැනි ත්‍රස්ත ක්‍රියා අපි හෙළාදකිනවා කියලවත් කියන්න පුළුවන්කමක් තිබිය යුතුයි. මේක ත්‍රස්ත ක්‍රියාවක්. ජාත්‍යන්තර නීති උල්ලංඝනයක්. එහෙම කියන්න ආණ්ඩුවට කොන්දක් කිව යුතුයි.

ප්‍රශ්නය :
සිරිමාවෝ අගමැතිනිය ඉන්දු සාගර කලාපය සාම කලාපයක් හැටියට යෝජනා සම්මත කරගත්තා. ඉතින් කලාපයටත් වගකීමක් තිබෙනවා නේද එතැනදි?


පිළිතුර : 

iran ishrayal
ඉතින් කලාපයට අපි යන්නේ අපේ වගකීම් එක්කනෙ. අපේ වගකීම් අත්හැරියට පස්සෙ කලාපයට ගිහින් මොකක්ද කරන්න පුළුවන්? ඉස්සෙල්ලා ඉරාන ඊශ්‍රායල් ගැටුම ගැන අපේ වගකීම ගැන ස්ථාවරයක් නොගෙන අපි කොහොමද කලාපයත් එක්ක ගනුදෙනු කරන්නේ?

ප්‍රශ්නය :
ඉරාන නාවික සිරුරු හා සෙබළු සම්බන්ධයෙන් කළ යුතු දේ ඇමෙරිකාව දැන් අපිට කියනවා. මේක අලුත් අභියෝගයක්?


පිළිතුර :
දිගටම එහෙම තමයි වුණේ. පැය දහය දොලහ තීන්දු ගන්න ප්‍රමාද වුණේ ඒකයි. මේ ආණ්ඩුවට ඉන්දියාවේ හෝ ඇමෙරිකාවේ යාන්තම් එකඟතාවක් හෝ නැතිව තීන්දු ගන්න බෑ. එහෙම නිවට ආණ්ඩුවක්. තමන්ට ප්‍රතිපත්තියක් තිබුණා නම් එහෙම වෙන්නේ නෑ. එහෙම නම් සම්මුතිවලට යන්නෙ ප්‍රතිපත්තියේ ඉඳගෙන. දැන් වෙන්නේ ඒ අයට පහසු තීන්දු ගන්නෙ කොහොමද කියල සැලකිලිමත් වෙන එක. දිවි බේරාගත් නාවිකයන්ගේ හා සිරුරු ලංකාවට එවන්න කියල ඉරානය කිව්වනෙ. ඉරානය ඉල්ලුවාම ඒක දෙන්න ඕනෑ. යුක්රේනයේ හෝ රුසියාවෙදි ලංකාවෙ අයට කරදරයක් වුණාම ඒ සිරුරු අපි ඉල්ලුවොත් අපට දෙන්න ඕනෑ. ඒක සම්මතයක්. රුසියාවට හෝ යුක්රේනයට දෙන්න බෑ කියන්න බෑ.

ප්‍රශ්නය :
මේක අර්බුදයක්නෙ?


පිළිතුර :
අර්බුදයක තමයි දැනටමත්. රටේ මාධ්‍ය හා ජනතාව ඒක දන්නේ නෑ. ආර්ථික අර්බුදවලට අමතරව අපි ලොකු දේශපාලන අර්බුදයක ඉන්නෙ. අපට ස්වෛරීත්වයක් නෑ. ස්වාධීනත්වයක් නෑ. එහෙම තිබුණා නම් අපට ඇමෙරිකන් අවසර ඕන නෑ. ඒකයි මම ඔබෙන් අහන්නේ එහෙම පසුබිමක අපි කලාපයට ගිහින් මොකක්ද කරන්නෙ කියල.

ප්‍රශ්නය :
ජවිපෙ සිය දේශපාලන ඉතිහාසයේදී ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනය කළේ විරෝධී පිළිවෙතක්. ආණ්ඩුකරණයේදී ඒක වෙනස් වුණා. ප්‍රතිපත්තිය කියන දේ සංයුක්ත වෙන්නෙ කොතැනින්ද?


පිළිතුර :
ඒ ඉන්දියානු විරෝධය 2022න් පසුව නෑ. ඕනෑම පක්ෂයකට හෝ පුද්ගලයකුට තමන්ගේ ප්‍රතිපත්ති ස්ථාවර වෙනස් කිරීමේ අයිතිය තිබෙනවා. තමුසෙලා මීට අවුරුදු ගානකට කලින් මෙහෙමනේ කියල අපට අහන්න අයිතියක් තිබෙන්නේ ඒ සඳහා පැහැදිලි කරගැනීමක් සඳහා පමණයි. දෝෂදර්ශනයක් සඳහා විය යුතු නෑ. දෝෂදර්ශනය ආ යුත්තේ පැහැදිලි කරගැනීමේ අඩු සම්බන්ධයෙන්. මේ ආණ්ඩුව දැන් ඉන්දියාව සමග ගමනක් යනවා. ඒක දේශපාලනිකව විග්‍රහ කිරීම මිස අයියෝ අරුන් බලන්නකො දැන් ඉන්දියාව එක්කමනේ කීමේ තේරුමක් නෑ.

ප්‍රශ්නය :
අහිමි වූ අභිමානය හෝ යම් අරමුණක් වෙනුවෙන් ඇමෙරිකාව කරන මේ යුද්ධය ලෝකය කවර තැනකට ගෙනයාවිද?


පිළිතුර :

trump dawala

ඒක තමයි වැදගත් ප්‍රශ්නය. ගෝලීය වශයෙන් දැන් ලෝක පර්යාය බිඳවැටිලා. ඒකබිඳවැටීමේ ප්‍රකාශනය මුලින්ම ආවේ ට්‍රම්ප් ආර්ථිකයේ තීරු බදු කියන ලෝක වෙළෙඳ සංවිධාන සම්මත අහෝසි කිරීමෙන්. බදු තීන්දු ගනිද්දි ලෝක වෙළෙඳ සංවිධානය සමග ලෝක සම්මත තියෙන බව එයා සතපහකට ගනන් ගත්තේ නෑ. කැඩුවා. දැන් දෙවැනි වතාවට එයා එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය ඔක්කොම අහෝසි කරලා. ඒ නිසා අපි දැන් ඉන්නෙ අරාජක ලෝකයක. ලංකාව මානව හිමිකම් කැඩුවාය කියල 2009 ඉදන් මානව හිමිකම් කොමිසමට ගියා. ඇමෙරිකාවත් ඒකට දායකත්වය දුන්නනෙ. ලංකාවට එරෙහිව ගෙනා චෝදනා දැන් අහෝසියි. ඒ කතා දැන් නෑ. දැන් අපි ඉන්නේ 1945 එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය අහෝසි වූ දෙවැනි ලෝක යුද්ධය තිබූ පරිසරයේ.


ප්‍රශ්නය :
ඒ කියන්නේ 3 වැනි ලෝක යුද්ධයක අවස්ථාවේද?


පිළිතුර :
න්‍යෂ්ටික අවි තිබූ පමණින් කවුරුවත් ඒවා පුපුරුවාවි කියල මම හිතන්නේ නෑ. මොකද එක්කෙනෙක් පිපිරෙව්වාම අනික් කෙනා නිකන් ඉන්න එකකුත් නෑ. සිය දිවි නසාගැනීමේ යුද්ධයක් කියල මේකට කියන්නෙත් ඒකනෙ.

ප්‍රශ්නය :
ලෝකයේ අවසානයකට මේ යුද්ධ හේතු නොවෙන බවනෙ ඒ කියන්නේ?


පිළිතුර :
මෙහෙමයි. ප්‍රායෝගික ලෝකයේ අර්බුද ගහන වෙනවා මිස ලෝක සිතියම ඩිලීට් වෙන්නේ නෑ. නමුත් ඒ අර්බුද කළමනාකරණයට රටවලට දුෂ්කරයි දැන්. මොකද ජාත්‍යන්තර සම්මුති ඔක්කොම බිඳලා. ඒ නිසාම අපේ වගේ රටවල ආණ්ඩුවලට ලොකු වගකීමක් තියෙනවා තීන්දු ගැනීමේදී. ඩොලර් මිලියන 10ක වගේ වෙළෙඳපොලක් තියාගෙන අපට තනියම පවතින්න බෑ. අලුත් ලෝකය හදාගැනීමේදී අනුන්ගෙන් නොයැපී නමුත් හවුලේ ගොඩනැගෙන්නේ කොහොමද කියන අභියෝගය මේ තියෙන්නේ.

(සංවාද සටහන : බිඟුන් මේනක ගමගේ)


  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...