BREAKING
Top Ad
සමාලාප

ව්‍යවස්ථා අර්බුදය : ''ජනාධිපතිවරයා කැඳවුයේ නැතත් පාර්ලිමේන්තුවට දැන් රැස්වෙන්න පුළුවන්'' – ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්

T

The Leader

April 21, 2020 • 4:58 AM

ව්‍යවස්ථා අර්බුදය : ''ජනාධිපතිවරයා කැඳවුයේ නැතත් පාර්ලිමේන්තුවට දැන් රැස්වෙන්න පුළුවන්'' – ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රශ්නය :මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ලෙස ජුනි 20 වැනිදා දිනය නියම කරලා ගැසට් මගින් ප්‍රකාශයට පත්කළා.
  • ජුනි 02 වැනිදාට කලින් ඡන්දය පවත්වන්න බැහැ.
  • ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහැරියේ මාර්තු 02 වැනිදා.
  • ඔහු එදින නිකුත් කළ ගැසට් නිවේදනය වලංගු වෙන්නේ ජුනි 02 වැනිදාට පෙර ඡන්දය පවත්වන්න පුළුවන් වුණොත්.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවට අනුව දැන් පවතින තත්වය ගැන ඔබේ අදහස මොකක්ද?

සුමන්තිරන් :
දැන් අපට මේ කාරණය පැහැදිලියි. ජුනි 02 වැනිදාට කලින් ඡන්දය පවත්වන්න බැහැ. දැන් පවතින තත්වය අනුව මගේ ස්ථාවරය තමයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මාර්තු 02 වැනිදා පළකළ ගැසට් පත්‍රය වලංගු නොවන බව. 

මොකද 70 වැනි ව්‍යවස්ථාවේ, ජනාධිපතිවරයාට වසර 4කුත් මාස 6කට පසුව පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා බලය ලැබෙන වගන්තියේම සඳහන් වෙන්නේ නැවත මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්වෙන්න  ඕනෑ කියලයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහැරියේ මාර්තු 02 වැනිදා. ඔහු එදින නිකුත් කළ ගැසට් නිවේදනය වලංගු වෙන්නේ ජුනි 02 වැනිදාට පෙර ඡන්දය පවත්වන්න පුළුවන් වුණොත්.

ප්‍රශ්නය :
දිනය කල් දාන්න හැකියාවක් නැද්ද?

සුමන්තිරන් :
පාර්ලිමේන්තුව විසුරුවාහරින කල් දැමීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (5) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලය ලැබෙනවා. එහෙත් එහි පවා පැහැදිලිව සඳහන් වෙනවා මාස තුනකට පෙර අලූත් පාර්ලිමේන්තුව රැස්වෙන්න  ඕනෑ කියලා. පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව මැතිවරණ දිනය කල්දැමීමේ හැකියාව මැතිවරණ කොමිෂන් සභාවට තියෙනවා. 
එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, මාර්තු 02 සිට මාස තුනකට පසු දිනයක් දක්වා මැතිවරණය කල් දැමීම නිසා තමයි ජනාධිපතිවරයාගේ නියෝගය වලංගු නොවෙන්නේ. මැතිවරණය මාස තුනකට පෙර පැවැත්වීමට නොහැකි වීමට පැහැදිලි හේතු තිබෙනවා. ජුනි 02 වැනිදාට පෙර ඡන්දය පවත්වන්න බැරි වුණා.

ප්‍රශ්නය :
දැන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවිය යුතුද?


සුමන්තිරන් :
ජනාධිපතිවරයා කැඳෙව්වේ නැතත්, පාර්ලිමේන්තුවට රැස්වෙන්න පුළුවන්. සරලවම පැහැදිලි කළොත් තත්වය මේකයි. 2018 නොවැම්බර් මාසයේදී හිටපු ජනාධිපතිමෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නියෝගයක් නිකුත් කළා. 

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුගේ නියෝගය වලංගු නැහැ. ඒ අනුව පාර්ලිමේන්තුවට රැස්වීමේ හැකියාව තිබුණා. දැන් තත්වයත් ඒකයි. ජනාධිපතිවරයාගේ නියෝගය වලංගු නැහැ. පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීති විරෝධීයි. දැන් පාර්ලිමේන්තුවට රැස්වෙන්න පුළුවන්.

ප්‍රශ්නය :
පාර්ලිමේන්තුව රැස්වේවිද?

සුමන්තිරන් :
මීට කලින් 2018 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පටහැණිව පාර්ලිමේන්තුව විසුරුවාහරින ලද අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාව කථානායකවරයාට තිබුණා. එහෙත් ඔහු ඒ වෙලාවේ යෝජනා කළේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ගැටලූව විසඳාගනිමු කියලයි. මේ වෙලාවේත් එවැනි තත්වයක් ඇතිවිය හැකියි. මගේ ස්ථාවරය පාර්ලිමේන්තුවට රැස්වෙන්න පුළුවන් කියන එක.

ප්‍රශ්නය :
මේ වෙලාවේ අධිකරණය නිවාඩු නිසා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යා හැකිද?

සුමන්තිරන් :
ඊ ක්‍රමයට නඩුවක් ගොනු කරන්න පුළුවන්. පහුගිය කාලසීමාවේ එලෙස නඩු ගොනු කරලාත් තියෙනවා. ඒ නිසා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්.


ප්‍රශ්නය :
පාර්ලිමේන්තුවේ සම්මත කරගත් අතුරු සම්මත ගිණුම වලංගු වන්නේ අප්‍රේල් මාසය දක්වා පමණයි. ඔබ මීට පෙර පෙන්වාදී ඇති පරිදි දැන් ආණ්ඩුවට මුදල් වියදම් කිරීමට බලයක් නැහැ නේද?


සුමන්තිරන් :
ඒක ඇත්ත. මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. වෙන කිසිම ආයතනයකට ඒ බලයට අභියෝග කරන්න බැහැ. පූර්ණ බලය පාර්ලමේන්තුව සතුයි.


ප්‍රශ්නය :
හදිසි අවස්ථාවකදී ජනාධිපතිවරයාට මුදල් වියදම් කළ හැකි බව ඇතැම් අය තර්ක කරනවා. එහෙත් අප්‍රේල්  මාසයෙන් අවසන් වන්නේ මුදල් වියදම් කිරීමේ හැකියාව පමණක් නොවෙයි, රජයට ණය ලබාගැනීමේ සීමාවත් අතුරු සම්මත ගිණුම අහෝසි වුණාම අවසන් වෙනවා නේද?

සුමන්තිරන් :
ඔව්, දැන් රජයට ණය ලබාගත නොහැකියි. එහෙත් දැනටමත් ඒක සිද්ධවෙනවා.

ප්‍රශ්නය :
මීට අමතරව මේ මොහොතේ පාර්ලිමේන්තුවට තියෙන කාර්යභාරය මොකක්ද?

සුමන්තිරන් :
රාජ්‍යයක කොටස් තුනක් තියෙනවා. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන ඒ කොටස් තුනම මේ වෙලාවේ වැදගත්. මුදල් පිළිබඳ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නිසා මේ මොහොතේ අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන ලබාගන්නට පාර්ලිමේන්තුව වැදගත්. 

අනෙක් පැත්තෙන් මෙම වසංගතයට මුහුණදීම සඳහා අවශ්‍ය නීතිරීති සම්මත කරගත යුතුයි. මීට පෙර නීතියක් බවට පත් නොවූ දෙයකට අදාළව විධායකයෙන් නියෝග නිකුත් කළ පළියට නීති බවට පත්වෙන්නේ නැහැ. සමස්තයක් ලෙස මේ මොහොතේ පාර්ලිමේන්තුවට විශාල කාර්යභාරයක් තියෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුව රැස්විය යුතුයි.''


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (5) (අ) –

‘පාර්ලිමේන්තුව විසුරුවාහරින ප්‍රකාශනයෙහි, අභිනව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයන් තෝරාපත් කරගන්නා දිනය හෝ දින නියම කර තිබිය යුත්තේය. එසේම, එකී ප්‍රකාශනය නිකුත් කළ දින සිට මාස තුනක් ගත වන්නට පෙර දිනයකට අභිනව පාර්ලිමේන්තුවේ පළමුවන රැස්වීම ඒ ප්‍රකාශනයෙන්ම කැඳවිය යුත්තේය.’

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (5) (ඇ) –

‘(අ) ‍ඡේදයේ හෝ (ආ) ඡේදයේ විධිවිධාන යටතේ ප්‍රකාශනයක් මඟින් අභිනව පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරන ලද දිනය ඉන්පසුව කරන ප්‍රකාශනයක් මගින් වෙනස් කරනු ලැබිය හැක්කේය. එහෙත් පසුව කරන ලද ප්‍රකාශනය මගින් නියම කරන දිනය මුල් ප්‍රකාශනයේ දින සිට මාස තුනකට පසු දිනයක් නොවන දිනයක් විය යුත්තේය.’


( උපුටා ගැනීම : anidda.lk  -තරිඳු උඩුවරගෙදර)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...