BREAKING
Top Ad
සමාලාප

'කෝවිඩ් මෘතදේහ භූමදානය කිරීම ප්‍රශ්නයක් නොවේ' - WHO පත් කළ ශ්‍රී ලාංකීය විශේෂ නියෝජිතයා කියයි

T

The Leader

January 16, 2021 • 11:17 AM

'කෝවිඩ් මෘතදේහ භූමදානය කිරීම ප්‍රශ්නයක් නොවේ' - WHO පත් කළ ශ්‍රී ලාංකීය විශේෂ නියෝජිතයා කියයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොවිඩ් 19 අසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහයන් ආරක්ෂක පියවර අනුගමනය කරමින්
  • ඔහු එබව සඳහන් කර ඇත්තේ, 'අරුණ ' පුවත්පත කල විමසීමකදීය.
  • ඔබගේ විසඳුම කුමක්දැයි කළ විමසීමේදී ඔහු මෙසේ පවසයි.
  • 1962 වර්ෂයේ තමයි වෛද්‍ය පීඨය ආරම්භ කළේ.
අකුරු ප්‍රමාණය (Font Size):
භූමදානය කිරීම ප්‍රශ්නයක් නොව බව විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් පවසයි. ඔහු එබව සඳහන් කර ඇත්තේ, 'අරුණ ' පුවත්පත කල විමසීමකදීය.
 
කොවිඩ් මරණ භූමදානයද? ආදාහනයද කියා ප්‍රශ්නයක් මතුව තිබෙනවා. ඔබගේ විසඳුම කුමක්දැයි කළ විමසීමේදී ඔහු මෙසේ පවසයි.
 
''ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව ආරක්ෂක පියවර මත භූමදානය කිරීම ප්‍රශ්නයක් නැහැ. නමුත් අවසන් තීරණය එම රටවල නීතියට අනුව කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට බලපෑම් කරන්න බැහැ. ආරක්ෂක පියවර අනුගමනය කරමින් භූමදානය කිරීම ප්‍රශ්නයක් නොව බව මගේ මතයයි.''
 
කොවිඩ් 19 රෝගය ගැන කටයුතු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මුළු ලෝකයම ආවරණය වන පරිදි විශේෂ නියෝජිතයන් හයදෙනකු පත් කළේය. ඒ හයදෙනා අතරට ශ්‍රී ලාංකිකයකුද සිටී. ඔහු විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්ය. දකුණු හා අග්නිදිග ආසියානු රටවල් එකොළහක විශේෂ නියෝජිතයා වන ඔහු ඒ සම්බන්ධයෙන් පුවත්පතට දුන් එකම සාකච්ඡාව පහත දැක්වේ.
 
 
 
ඔබේ උපන් ගම් පළාත?
 
අලව්ව බෝයවලාන.
 
 
දෙමාපියන් මොනවද කළේ?
 
පියා ඉඩම් හිමි වැවිලිකරුවෙක්. මව ගෘහණියක්.
 
 
ඔබ පාසල් අධ්‍යාපනය ලැබුවේ?
 
ප්‍රාථමික අධ්‍යාපනය බෝයවලාන මහා විද්‍යාලයෙන්. ඉන් පසු උසස් පෙළ අවසන් වනතුරු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා.
 
 
සරසවි අධ්‍යාපනය ලැබුවේ කොහේද?
 
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ. 1962 වර්ෂයේ තමයි වෛද්‍ය පීඨය ආරම්භ කළේ. එහි ලියාපදිංචි වූ පළමු ශිෂ්‍යයා මමයි. එය ජීවිතයේ වටිනාම සිහිවටනයක්.
 
 
ඔබේ ශිෂ්‍ය ජීවිතයේ අත්දැකීම් මොනවාද?
 
– මම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය රටට දායාද කළ මහාචාර්ය සේනක බිබිලෙගේ ගෝලයෙක්. සරසවියේ ඉගෙන ගන්නා කාලයේ එතුමාගේ ඉල්ලීම මත වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව සතියක ප්‍රදර්ශනයක් කළා. එය දින දහයක් පවත්වන්න වුණා. විවෘත කිරීමට ආවේ විලියම් ගොපල්ලව ජනාධිපතිවරයායි. මම වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් ලෙසයි එය සංවිධානය කළේ.
 
 
පළමු වෛද්‍ය පත්වීම ලැබුවේ කොහෙටද?
 
සීමාවාසික වෛද්‍ය පුහුණුවට ආවේ කොළඹ ජාතික රෝහලටයි. ඊට පසුව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පුහුණුව ගත්තා. එහි දී ළමා රෝග වැළැක්වීම සඳහා පුහුණුවක් ලැබුවේ මගේ ආසාවටයි.
 
 
ළමා රෝහලේ සේවයේ යෙදෙන විට ජීවිතය නව වෙනසකට ලක් වුණා නේද?
 
ඔව්. ඒ වන විට මහාචාර්ය සේනක බිබිලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨ පීඨාධිපති ධුරයට පත්ව සිටියා. ඒ වසර 1970 දීයි. මට කථිකාචාර්ය ධුරයක් භාර ගැනීමට ඔහු ආරාධනා කළා. මම කීවා මට ළමා රෝග වෛද්‍ය විද්‍යාව තවදුරටත් හදාරන්න ඕනි කිව්වා. නමුත් මහාචාර්යවරයාගේ ඉල්ලීම දැඩි වුණා. මටත් ඔහු හරිම විශ්වාසයි.
 
පත්වීම ලබා මාස හයකින් සෞඛ්‍ය සේවාවෙන් ඉවත්ව සරසවි කථිකාචාර්ය ධුරය භාර ගත්තාද?
 
ඔව්. මහාචාර්ය බිබිලේ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායකට කතා කරලා මාව නිදහස් කරලා විශ්වවිද්‍යාලයට බඳවා ගත්තා. එය කළේ දුරකථන ඇමතුමකින්. ළමා රෝහලේ අධ්‍යක්ෂවරයාටත් කතා කරලා තිබුණේ අගමැතිතුමියයි. මම මාස හයෙන් නිදහස් වුණේ එහෙමයි.
 
 
කථිකාචාර්ය ධුරය හොඳද?
 
සමාජයීය ළමා සෞඛ්‍යයද ඇතුළත් ප්‍රජා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවක් පේරාදෙණිය වෛද්‍යපීඨය ඇති කළා. එහි තමයි මම කටයුතු කළේ.
 
ඔබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ගියේ ලෝක සෞඛ්‍ය සංවිධානයටයි….
 
ලෝක සෞඛ්‍ය සංවිධානය අග්නි දිග ආසියාවේ වෛද්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය ලෙස අපේ කැම්පස් එක තෝරා ගත්තා. එය ලැබුණෙත් මහාචාර්ය බිබිලේ නිසයි. එහි තනතුරකට මහාචාර්යවරයා මට ආරාධනා කළා. මම බැහැ කිව්වා. නමුත් ඔහුගේ පෙරැත්තය මත තනතුරක් භාර ගත්තා.
 
 
ලෝක සෞඛ්‍ය සංවිධානයට බැඳුණු ඔබට ලැබුණු තනතුරු මොනවාද?
 
එහි සෞඛ්‍ය පද්ධති කළමනාකරණ අධ්‍යක්ෂ හා බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ ධුරය හෙබවූවා. පළමු පත්වීම ලැබුණේ නේපාලයටයි. එහි වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට මැදිහත් වුණා. ඉන් පසු ඉන්දුනීසියාවේ සේවය කළා. වසර විස්සක පමණ කාලයක් නවදිල්ලියේ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්යාලයේ සේවය කළා. විවිධ තනතුරු හෙබවූවා.
 
 
ලෝක සෞඛ්‍ය සංවිධාන සේවයේ රස මතක ආවර්ජනය කළොත්?
 
ඒ කාලේ තමයි ඉන්දියාවේ පෝලියෝ වසංගතය පැතිර ගියේ. එය මර්දනය කරන්න කැපවුණා. ඒ කාලේ වසර එක හමාරක් පමණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිතයා ලෙසත් කටයුතු කළා. පෝලියෝ මර්දන කණ්ඩායමේ හිටපු වෛද්‍ය හරිෂවර්ධන් තමයි අද ඉන්දියාවේ සෞඛ්‍ය ඇමැතිවරයා. දැන් වුණත් ඔහු මට නිතරම කතා කරනවා.
 
 
ලෝක සෞඛ්‍ය සංවිධාන සේවයෙන් පසු ඔබ ලංකාවට පැමිණියා….
 
ඔව් ඒ කාලයේ සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාලද සිල්වායි. ඔහු සමග එකතුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ රැසක් කළා. ඉන් පසු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන ඒ කාලයේ තමයි මම දුම්කොළ හා මද්‍යසාර ජාතික අධිකාරියේ සභාපති ධුරයට පත් වුණේ. එම තනතුර තවත් වසර පහක් යනතුරු හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න දීර්ඝ කළා. ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත සකස් කරන්නත් මම දායක වුණා.
 
 
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණ අලුත් තනතුර මොකක්ද?
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කොවිඩ් 19 පිළිබඳ විශේෂ නියෝජිත යන්න එම තනතුරයි. ඔහු කලාප හයකට නියෝජිතයන් පත් කළා. මට තියෙන්නේ දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ රටවල් එකළොහක සම්බන්ධීකරණයයි.
 
 
මෙම තනතුරේ කාර්යභාරය කුමක්ද?
 
කොවිඩ් 19 පිළිබඳ මෙම රටවල් එකළොහට ඇති වන පොදු ප්‍රශ්න අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දීමයි. අපිට යෝජනා කරන්න පුළුවන්. නමුත් ක්‍රියාත්මක කරන්න බැහැ. සෑම සිකුරාදාම අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂ නියෝජිතයන් හය දෙනා සමග පැයක සාකච්ඡාවක් පවත්වනවා.
 
 
ලංකාව එන්නත් කරණය අතින් ඉහළ තැනක සිටියත් කොවිඩ් එන්නත් ලබා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීම කොහොමද?
 
ලංකාව ඇතුළු දුප්පත් රටවලට ජනගහනයෙන් සීයට විස්සකට එන්නත් දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වෙනවා.
 
නමුත් අපි පසුගිය සිකුරාදාත් සාකච්ඡා කළේ මෙය දෙන්නේ කොහොමද කියලා. සමාජ සාධාරණත්වය අවශ්‍යයි. ඇමරිකාව මේ වන විට එන්නත් බිලියනයක් අරගෙන. ජනගහනය වගේ තුන්ගුණයක් එන්නත් අරගෙන තිබෙනවා. මේ නිසා ලෝකයේ දුප්පත් – පොහොසත් බෙදීමේ සංකල්පය නැති කිරීමට අපි මැදිහත් වෙනවා.
 
ඉන්දියාවේ නිපදවන එන්නත තමයි අපිට ලැබෙන්නේ. ඔවුන් ලංකාවට පමණක් නොවෙයි බංග්ලාදේශයට, මියන්මාරයට ලබා දෙනවා. ඔවුන් මුදලුත් දී තිබෙනවා.
 
 
ලංකාවට ගැළපෙන්නේ මොන එන්නතද?
 
ෆයිසර් හා ඇන්කා සෙනිකා එන්නත් දෙකම හොඳයි. දැනට කතා කරන්නේ ඒ දෙක ගැන විතරයි. ෆයිසර් එන්නත දැන් ලියාපදිංචි කර තිබෙන්නේ. වියදම් වැඩියි. ශීතාගාර අවශ්‍යයි. ඇන්කා සෙනිකා සාමාන්‍ය ශීතකරණයෙත් තියන්න පුළුවන්.
 
 
එන්නත ජනගහනයෙන් සියයට විස්සකට දීම ප්‍රමාණවත්ද?
 
නැහැ. එන්නත ජනගහනයෙන් සියයට හැත්තෑවකටවත් ලබා දුන්නොත් කොවිඩ් වසංගතයේ කොඳු නාරටිය කඩන්න පුළුවන්. එන්නත දුන්නත් සෞඛ්‍ය පුරුදු අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුයි.
 
 
ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන එන්නත අපිට ලැබෙයිද?
 
කොයි වෙලාවේ ලැබෙයිද කියා ප්‍රශ්නයක් තිබෙනවා. රටවල් අතර තරගය වැඩියි. මගේ විශ්වාසය නම් මාර්තු වන විට ලැබෙයි. ඉන්දියාවෙන් ගන්න පුළුවන් එන්නත තමයි කඩිනමින් ගන්න පුළුවන්. එන්නත දීමට පූර්ව සූදානම තමයි දැන් ආරම්භ කර තියෙන්නේ. එන්නත් කරණය අතින් ලංකාව විශිෂ්ටයි. එය ලෝක සෞඛ්‍ය සවිධානයද තහවුරු කර තිබෙනවා.
 
 
ලෝකයම බලාපොරොත්තු තබා ඇත්තේ මෙම එන්නත් දෙසයි එමගින් රෝගය පාලනය කරන්න පුළුවන්ද?
 
බලාපොරොත්තුව එහෙමයි. එන්නත ගැන දන්න දේවලුත් නොදන්න දේවලුත් තියෙනවා. එන්නත නිසා හොඳ පාලනයක් ඇතිවෙන්න පුළුවන්. නමුත් එන්නතේ ප්‍රතිශක්තිකරණය කොපමණ කාලයක් පවතිනවාද? නව කොවිඩ් ප්‍රභේදවලට හොඳයිද? යන්න අපි නොදන්න කාරණා. දැනට තිබෙන සාක්ෂි අනුව නව ප්‍රභේදවලටත් හොඳයි. කොවිඩ් ආරම්භයට වඩා අපි දැන් දැනුමෙන් පොහොසත්. ලංකාව කොවිඩ් සම්බන්ධයෙන් දැනට කර ගෙන යන වැඩපිළිවෙළ සාර්ථකයි.
 
 
ඔබට තිබෙන අත්දැකීම් අනුව දේශීය වෙදකමෙන් කොවිඩ් පාලනය වෙලා තියෙනවාද?
 
ලෝකයේ වෙනත් රටවල් හා සැසඳීමේ දී මගේ ස්ථාවරය මෙහෙමයි. ඉන්දියාව, චීනය, තායිලන්තය, භූතානය වැනි රටවල දේශීය වෙදකමෙන් ලැබෙන්නේ ශරීර ශක්තිය දරා ගැනීමේ ශක්තිය වැඩිමයි. වෙදකම හේතුවෙන් වයිරසය පාලනය වෙනවා කියන්න විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. විවිධ පැණි වර්ග හේතුවෙන් ලංකාවේ ඇතැම් අය සෞඛ්‍ය පුුරුදු පවා අතපසු කළා. සායනික තහවුරු නොකළ දෙයකින් ශරීරයට හානියක් විය යුතු නැහැ.
 
 
ඔබගේ තනතුර ලංකාවට විශාල ගෞරවයක්. නමුත් ඔබ ලංකාවේ කිසිදු කොවිඩ් කමිටුවක නැහැ නේද?
 
මම කිසිදු කමිටුවක සාමාජිකයෙක් නොවෙයි. මගේ දැනුමෙන් ඇතැම් අය උපදෙස් ගත්තා. මමත් නොපැකිලිව උපකාර කළා.
 
 
නව තනතුරෙන් ලංකාවට විශේෂ සේවයක් ඉටු කරයි නේද?
 
මගේ තනතුරට ලංකාවට පමණක් නොවෙයි. රටවල් එකළොහකට. ලංකාවට කරන දේම අනෙකුත් රටවලටත් කළ යුතුයි. ඉන්දියාව එන්නත් නිපදවන නිසා ඔවුන්ට ප්‍රශ්නයක් නැහැ. නමුත් අනෙක් රටවල් දහයට ප්‍රශ්න තියෙනවා. ඒවා විසඳීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව මම කටයුතු කරනවා.
 
 
එන්නත් කරණයේ දී වයස අවුරුදු 30 දක්වා වූ කොටසට නොදීමට තීරණය කර ඇත්තේ ඇයි?
 
එන්නත් සායනික පරීක්ෂණ කිරීමේ දී පොඩි දරුවන් ඇතුළු වයස අවුරුදු 20-30 දක්වා අය භාවිත කළේ නැහැ. ඒ නිසා ඔවුන්ට එන්නත හොඳයිද කියා දන්නේ නැහැ. දැන් තමයි එම වයස් කාණ්ඩයේ සායනික පරීක්ෂණ කරන්නේ. ඒ නිසා එම වයසේ අයට දෙන්නේ නැහැ. වයිරසය බෝ වුණත් දරුවන්ට එය දරා ගන්න පුළුවන්.
 
 
 
කොවිඩ් මරණ භූමදානයද? ආදාහනයද කියා ප්‍රශ්නයක් මතුව තිබෙනවා. ඔබගේ විසඳුම කුමක්ද?
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව ආරක්ෂක පියවර මත භූමදානය කිරීම ප්‍රශ්නයක් නැහැ. නමුත් අවසන් තීරණය එම රටවල නීතියට අනුව කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට බලපෑම් කරන්න බැහැ. ආරක්ෂක පියවර අනුගමනය කරමින් භූමදානය කිරීම ප්‍රශ්නයක් නොව බව මගේ මතයයි.
 
 
ඔබගේ පවුල් ජීවිතය ගැන දැන ගන්න පාඨකයා කැමති වේවි…
 
මගේ බිරිඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කර අයින් වුණා. එකම දියණිය වෛද්‍යවරියක ලෙස කොළඹ ජාතික රෝහලේ සේවය කරනවා. මගේ මෙම ලෝක සේවයට ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය හරිම විශිෂ්ටයි.
 
 
(අරුණ -උදයජීව ඒකනායක)

 

 


 

 The Leader TV  

මුළු රටේම ආර්ථිකය බංකොළොත් - මුදල් ඇමති අනතුරු  අඟවලා 
 
 
 
බැසිල් විමල් ගැටුම මහරගමින් පොලා පනී

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...