BREAKING
Top Ad
සමාලාප

කොළඹ ඉතිහාසය අලුතින් ලියන්න NPPයෙන් බල්තසාර් ඇවිත්

T

The Leader

February 2, 2023 • 3:14 AM

කොළඹ ඉතිහාසය අලුතින් ලියන්න NPPයෙන් බල්තසාර් ඇවිත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළාත් පාලන මැතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් තිබේ. මෙම මැතිවරණයේදී ජාතික ජනබලවේගය දේශපාලන වේදිකාව වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත.
  • ඔබ මෙවර කොළඹ මහ නගර සභාවේ ජාතික ජනබලවේගය කණ්ඩායමේ නායිකාව, ඇත්තටම ඔබ කවු ද?
  • ඒකට හේතුව තමයි මම 2004 ඉඳන් ඉංග්‍රීසි නිවේදිකාවක් විදිහට අවුරුදු දහයක කාලයක් ගතකරල තියෙනවා.
  • ඔබේ රූපය ඡන්ද ලබාගැනීම වෙනුවෙන් ජාතික ජනබලවේගය පාවිච්චි කරන බවටත් මතයක් තියෙනව… පිළිතුර :   රූපය කොහොම වෙතත් මට හැකියාවක් සහ දක්ෂතාවන් තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):



ජාතික බලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ ජාතික දේශපාලනයේ මුල් නායකයන් මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රාදේශීය සභා, නගර සභාවලට තරග කිරීමද විශේෂත්වයකි. ‘ව්‍රායි කැලි බර්තසාර්’ කොළඹ මහ නගර සභාවේ ජාතික ජනබලවේගය කණ්ඩායමේ නායිකාවයි. එහෙත් ඒ නම මෙරට දේශපාලන පොරපිටියට අලුත් නමකි.

ජාතික ජනබලවේගය වේදිකාවේ කාගේත් නෙත් පැහැර ගත් රුවක් හිමි ‘ව්‍රායි කැලි බල්තසාර්’ යනු කවුරුන් ද? ඇය එන්නේ කොහේ සිට ද? කොළඹ නගර සභාව වෙනුවෙන් ජාතික ජනබලවේගයේ වැඩපිළිවෙළ කුමක් ද? මේ ඒ පිළිබඳව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ඇය සමග කළ සංවාදයකි.


ප්‍රශ්නය : ‘ව්‍රායි කැලි බල්තසාර්’ මේ නමට දේශපාලන වේදිකාවේ මීට පෙර අහල පුරුදු නමක් නෙමෙයි. මේ නම හිමි රුව ඔබයි. ඔබ මෙවර කොළඹ මහ නගර සභාවේ ජාතික ජනබලවේගය කණ්ඩායමේ නායිකාව, ඇත්තටම ඔබ කවු ද?


පිළිතුර :
මෑතකදී මා බොහෝ දෙනෙක් හඳුනන්නෙ සමාජ ක්‍රියාකාරිනියක් විදිහට. කාන්තා හා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න සමාජ ක්‍රියාකාරිනියක් විදිහට. ඒ වගේම මම පර්යේෂිකාවක්. කොළඹ නගරයේ කාන්තාවන් හා රජය අතර තියෙන සම්බන්ධතා වගේ දේවල් මගේ පර්යේෂණවලට පාදක වෙන්නෙ. සමහරු මාව දැක්කම කියනව ටිකක් දැකල පුරුදුයි කියල. ඒකට හේතුව තමයි මම 2004 ඉඳන් ඉංග්‍රීසි නිවේදිකාවක් විදිහට අවුරුදු දහයක කාලයක් ගතකරල තියෙනවා. අවුරුදු දාහතක් මම මාධ්‍ය ක්ෂේත්‍රයේ එක එක භූමිකාවල කටයුතු කර තියෙනවා.

 

171114882 1540753912932840 6290739303736893520 n


ප්‍රශ්නය :
ඔබේ නම සාමාන්‍යයෙන් හුරු පුරුදු එකක් නෙමෙයි. ඔබ මොන ආගමේ ද?

පිළිතුර :
මම බර්ගර්. මගේ අම්ම සිංහල බෞද්ධ. තාත්ත ක්‍රිස්තියානි බර්ගර්. ඒ නිසා තමයි මේ සාමාන්‍යයෙන් නොඇසෙන නමක් තියෙන්නෙ. ඒ නිසා ටිකක් නුහුරු ගතියක් වගේම පොඩි කුතුහලයක් එනව මෙයා කවුද? මොන වගේ ද? කියල. මම පොඩි කාලෙ ඉස්කෝලෙ ගියේ කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයට.. මම බෞද්ධාගම ඉගෙනගෙන තියෙනව. ඉතින් මම ඒ ආගම් දෙකෙන්ම පෝෂණය වුණු කෙනෙක්. මේ වෙද්දි ආගම කියන එක දිහා මම බලන්නෙ වෙනත් විදිහකට. මගේ පවුලෙ හින්දු භක්තිකයන් වගේම, ඉස්ලාම් භක්තිකයන් ඉන්නව. ඒ නිසා සියලු දෙනාටම ගරු කරන්න පුළුවන් කෙනෙක් විදිහට මම මාව දකිනව. මම උපාධිධාරිනියක්.


ප්‍රශ්නය :
කොහොමද ඔබ දේශපාලනය එක්ක සම්බන්ධ වෙන්නෙ…?


පිළිතුර :
මම දේශපාලනයට සම්බන්ධ වෙලා තියෙන්නෙ විවිධ සංවිධාන හරහා.


ප්‍රශ්නය :
ඔබ රූමත්. ඔබේ රූපය ඡන්ද ලබාගැනීම වෙනුවෙන් ජාතික ජනබලවේගය පාවිච්චි කරන බවටත් මතයක් තියෙනව…

පිළිතුර :

 

රූපය කොහොම වෙතත් මට හැකියාවක් සහ දක්ෂතාවන් තියෙනවා. මම හිතන්නෙ නෑ ජාතික ජනබලවේගය කියන දේශපාලන ව්‍යාපාරය රූපය මත දේශපාලනික තීරණ ගනී කියල. කාගේ මොන මතයක් තිබුණත් මම නියෝජනය කරන්නෙ ජාතික ජනබලවේගයෙ විවිධත්වය. ඇත්තටම ලංකාවෙ මිනිස්සු ඉල්ලන්නෙ අලුත් වෙනස් නායකත්වයක්. එතකොට ඒ නායකත්වය පිළිබිඹු කරන හොඳම උදාහරණයක් තමයි කොළඹ මහ නගර සභාවට තරග කරන අපේ කණ්ඩායම. මම සතුටු වෙනව කාන්තාවකට ජාතික ජනබලවේගයේ කොළඹ මහ නගර සභා කණ්ඩායමේ නායකත්වය ලබාදීම ගැන.

 

ප්‍රශ්නය :
කොළඹ මහ නගර සභාව කියන්නෙ රටේ අමාත්‍යාංශයකටත් වඩා වගකීම් තියෙන තැනක්. දේශපාලනයට ඔබ අලුත්, මේ වගේ වගකීම් වැඩි තැනක නගරාධිපති අපේක්ෂිකාව විදිහට තරග කරන්න ලැබීම ඔබට දැනෙන්නෙ කොහොම ද?

පිළිතුර :
අපිට මේ වගකීම භාරදීල තියෙන්නෙ මේ තියෙන පද්ධතිය වෙනස් කළ යුතුයි කියල. ඒ නිසා මට නම් ඒක දැනෙන්නෙ විශාල වගකීමක් විදිහට. ඒක පෞද්ගලික වගකීමක් නෙමෙයි. ඒ වගේම මට මේ ගැන කිසිම චකිතයක් නෑ. මොකද අවුරුදු ගාණක් නගර සභාවේ ඉන්න සහෝදරවරු මා සමග ඉන්නව. ඒ අතර අවුරුදු 20කට වැඩිය සේවය කර ඇති අය එතන ඉන්නවා. ඒ අයගේ පළපුරුද්ද සහ අපේ කණ්ඩායමේ තියෙන අනෙක් හැකියාවන් එක්ක ගත්තම ඒ වගකීම සාමූහිකව දැරීමේ හැකියාව අපි හැමටම තියෙනව.

 

vrai 1

ප්‍රශ්නය :
කොළඹ නගර සභාව ජාතික ජනබලවේගයට ජයග්‍රහණය කරන්න ලැබුණොත් දේශපාලන අත්දැකීම් නැති ඔබට එය පාලනය කළ හැකියි කියන විශ්වාසය කොහොමද ජනතාවට දෙන්නේ…?


පිළිතුර :

 

මෙච්චර කල් නගර සභාව කරල තිබ්බෙ ගොඩක් දේශපාලන අත්දැකීම් තියෙනවයි කියන පිරිසක්නෙ. එතකොට එජාපය, ශ්‍රීලනිපය, පොහොට්ටුවද මේ අය මාරුවෙන් මාරුවට ඒ අය තමයි මේ සභාවේ වැඩි බලයක් අරන් වැඩ කරල තියෙන්නෙ. පසුගිය අවුරුදු 75 දිහා ආපසු හැරිල බැලුවොත් කොළඹ නගර සභා සීමාවේ කිලෝ මීටරයක වපසරියක ඉන්න අයගෙවත් ප්‍රශ්න තාම විසඳිලා නෑනෙ. ඔය පළපුරුදු කියන අය කරල තියෙන දේ. ඒ නිසා පළපුරුද්ද කියන එකට වඩා අපි නම් විශ්වාස කරන්නෙ වුවමනාව කියන දේ. ඒකට ප්‍රතිපත්ති තියෙන්න ඕන. ඒ ප්‍රතිපත්ති නිර්මාණය වෙන්නෙ මතවාදය පදනම් කරගෙන. අපිට හොඳ දැක්මක් තියෙනව මේ නගර සභාව දියුණු කරන්න. ඒකට පළපුරුද්ද ඕන නම් ඒක අපේ කණ්ඩායම ඇතුළෙ තියෙනවා. ඒ නිසා කොළඹ 7 හිටියත්, කොළඹ 13, කොළඹ 15 හිටිවත් හැමගේම ජීවන මට්ටම උසස්කරලීමේ වැඩපිළිවෙළක් අපට තියෙනව.

 

ප්‍රශ්නය :
කොළඹ නගර සභාව කියන්නෙ මුදල් ගලා එන නගර සභාවක්. හැබැයි නගර සභාවෙ ඉන්න මන්ත්‍රීවරු අල්ලස් ගැනීම් වැනි දේවල් නිසා නගර සභාවෙන් කරන්න ඕන දේවල් කරන්න විදිහක් නෑ කියල හිටපු නාගරික කොමසාරිස්වරියක් කියල තිබුණ. එහෙම කියපු නිසා දැන් ඇයට රටින් යන්න වෙන තත්ත්වයක් උදා වුණා. මේ වගේ දේවල් යළි නොවන්නට ඔබ ඇතුළු කණ්ඩායමට තියෙන සැලසුම් මොනව ද?


පිළිතුර :
අපට සභාවක් පිහිටුවන්න හැකි බලයක් අපට තියෙනව කියන්නෙම අවශ්‍ය වෙනස්කම් කරන්න පුළුවන්. ඔබ මුලින්ම කිව්ව වගේ කොළඹ නගර සභාව අමාත්‍යාංශයකටත් වඩා වූ බලයක් තියෙන තැනක්. ඒකට රහ වැටිල තමයි බහුතරයක් ඔතනට එන්නෙ. නගර සභාවට පළවෙනි දවසෙ එන මන්ත්‍රීවරයා නෙමෙයි, අවුරුදු පහවෙද්දී යන්නෙ. ඔවුන්ගේ ජීවන රටාවන් උසස් වෙලා. නාගරික මන්ත්‍රීවරයෙක්ට, මන්ත්‍රීවරියක්ට ලැබෙන පඩියකින් එවැනි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නෙ කොහොමද කියන එක හැමෝටම තේරෙනව. ඒක අනිවාර්යයෙන්ම අපි නතර කරනවා. අපිට බලයක් තියෙනව නම් ඒවා නතර කිරීම මහ ලොකු දේවල් නෙමෙයි. අනෙක මේ නගර සභාවේ ඉන්න හැම කෙනාම වංචාකාරයො, අල්ලස් ගන්න අය නෙමෙයි. හොඳ මිනිස්සුත් ඉන්නව. ඒ අයත් එක්ක වැඩකරගෙන යන්න බලාපොරොත්තු වෙනව.



ප්‍රශ්නය :
කොළඹ නගරයේ මැතිවරණ ඉතිහාසය දිහා බැලුවාම ඔබ නියෝජනය කරන කඳවුරට බලය ලබාගන්නවා කියන එක ලොකු අභියෝගයක්. ජාතික ජනබලවේගයට පුළුවන් වෙයිද කොළඹ නගර සභාවේ ඉතිහාසය අලුතින් ලියන්න…


පිළිතුර :

 

මේ වෙද්දි රටේ ජනතාවගේ මතය තමයි මේ පාර අපි හැමෝම දෙන්නෙ මාලිමාවට කියල. මේ සැරේ වෙනසක් කරන්න ඕන කියන මතය තමයි පොදුවෙ තියෙන්නෙ. අපි මේ වෙද්දි ලංකාව පුරාම කොට්ඨාස සභා හදාගෙන යනව. ඒවත් එක්ක එන ගැම්ම මිනිසුන්ට දැන් දැනිල තියෙනව. මෙදා සැරේ මම හිතන්නෙ මිනිස්සු බලාපොරොත්තු වුණු වෙනස ඇතිකිරීමේ හොඳම ප්‍රවණතාව තියෙන්නෙ 2023 පළාත් පාලන මැතිවරණයෙන්.

 

ප්‍රශ්නය :
ඉතිහාසයේ අපි දැක්ක දෙයක් තමයි බලයේ ඉන්න ආණ්ඩුව ජනතාවට එපා වුණාට පස්සෙ ජවිපෙ ගැන තමයි කතා කරන්නෙ. ජවිපෙ හොඳ තමයි කියන්නෙ. දැන් ඒ කණ්ඩායම ඉන්නෙ ජාතික ජනබලවේගයෙ. හැමදාම මැතිවරණ රැස්වීම්වලටත් ලොකු සෙනඟක් එනව. හැබැයි ඡන්ද ප්‍රතිඵලයෙන් ඒක මෙතෙක් පිළිඹිබු වුණේ නෑ. මේ සැරෙත් ඒ දේ නොවෙයි කියල කියන්න තියෙන කරුණු මොනවද?


පිළිතුර :
 කලින් මැතිවරණවලදී තිබුණු අවස්ථාවන් වෙනස්. එතකොට මිනිස්සුන්ට තිබුණෙ ප්‍රධාන පක්ෂ දෙකෙන් තෝරා ගැනීමක්. 2019 තිබුණු කඳවුරු දෙක තමයි රට බේර ගන්න ගෝඨාභය. ගෝඨාභය පරද්දන්න සජිත්. හැබැයි මේ වෙලාවෙ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. දැන් පොදුජන පෙරමුණ කියල පක්ෂයක් තියෙනවද කියල නෑ. කොළඹ නගර සභාවට ඔවුන් ඉල්ලන්නෙ නෑ. මේ ඡන්දයෙදි අපේ අපේක්ෂකයො ගමේ මිනිස්සු එක්ක සමීප කතාබහ කරනව. ඔවුන් ගමේ ජීවත්වෙන හැමෝම දන්න කියන කෙනෙක්. බොහෝ දුරට ගමේ පිළිගත් කෙනෙක්. එහෙම බැලුවම ජාතික ජනබලවේගයෙන් ගමෙන් ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයට ලොකු පිළිගැනීමක් තියෙනව. ඒ ඇතැම් අය අලුතෙන් දේශපාලනයට ආවත් දැනටමත් ගම දිනාගෙන ඉවරයි. තමන්ගෙ කොට්ඨාසය දිනාගෙන ඉවරයි. අනෙක් අයට එහෙම ගමට යන්න බැහැ. ගිහින් ගෙවල්වල ඉන්න මිනිස්සුන්ට කතා කරන්න බැහැ. අපි නම් ඒක දන්නව. මෙච්චර ව්‍යසනයක් ඇති කරල, කොහොමද යූඇන්පී එකයි පොට්ටුවයි ගමට ගිහින් කියන්නෙ අපි මෙදා සැරේ මේක වෙනස් කරනවා කියල. ඒක වෙන්නෙ නෑ.


ප්‍රශ්නය :
ජාතික ජනබලවේගයට කොළඹ නගර සභාවේ බලය ලැබුණොත් කරන වෙනස්කම් මොනව ද?

පිළිතුර :
කොළඹ නගරය විවිධත්වයක් තියෙන, සංකීර්ණ නගරයක්. අවුරුදු ගාණක් තිස්සේ හැම කෙනාගෙන්ම බදු මුදල් ගත්තට අපි ඒ අයට සාධාරණ විදිහට නෙමෙයි ක්‍රියාකරල තියෙන්නෙ නගර සභාවක් විදිහට. ඒකත් අපි වෙනස් කරන්නෙ අපේ සේවාවන් සාමාන්‍ය ජනතාවට හා කොළඹ විවිධත්වයට ලබාදෙන්නෙ කියන එක ගැන සැලකිලිමත් වෙමින්. මේ නගර සභා සීමාවේ ජීවත් වෙන මිනිස්සුන්ට ඉපදීමේ ඉඳල මියයන තෙක්ම අවශ්‍ය සේවාවන් නගර සභාවෙන් ලබාදෙන්න ඕන. මේ වෙද්දි ඒක ක්‍රියාත්මක වෙන්නෙ නිසි කළමනාකරණයකින් තොරවයි. දූෂණය, නාස්තිය නිසා සේවාවන් නිසි ආකාරයෙන් ජනතාවට ලැබෙන්නෙ නෑ. සමහර අංශවල පුරප්පාඩු තියෙනව. සමහර අංශවල අතිරිත්තයක් ඉන්නව. ඒවා කළමනාකරණය තමයි අවශ්‍ය වෙන්නෙ. කොළඹ නගරයේ වතු ආශ්‍රිතව ජීවත්වන ජනතාව ගැන වැඩි අවධානයක් යොමුකරන්න ඕන.

 

327957331 3210298915948740 8080558704692386764 n

පසුගිය දවසක මම ගියා බොරැල්ලෙ ඒ වගේ තැනකට. එතනදි හිටපු අම්ම කෙනෙක් කියපු දෙයක් තමයි මට දැන් වයස අවුරුදු 63යි. මගේ දරුවගෙ දරුවටත් තියෙන්නෙ මට තිබුණු ප්‍රශ්නමයි. ඒ කියන්නෙ තාම අපද්‍රව්‍ය, මළපහ බැහැර කිරීමේ ප්‍රශ්නය, ඇත්තටම මේ මිනිස්සුන්ගෙ ජීවිත එතැනමයි. පොඩ්ඩක්වත් වෙනස් කරල නෑ. ඒ ගැන හුඟක් සැලකිලිමත් වෙන්න ඕන.


(divaina.lk - සාකච්ඡා සටහන සිරිමන්ත රත්නසේකර)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...