BREAKING
Top Ad
සමාලාප

හැදෑරීම පිණිසයි : විශාලතම අනතුර වෛරසයම නොවේ! - සුප්‍රකට ලේඛක සහ ඉතිහාසඥ යුවාල් නොආ හරාරි

T

The Leader

April 24, 2020 • 4:14 AM

හැදෑරීම පිණිසයි : විශාලතම අනතුර වෛරසයම නොවේ! - සුප්‍රකට ලේඛක සහ ඉතිහාසඥ යුවාල් නොආ හරාරි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (සුප්‍රකට ලේඛක සහ ඉතිහාසඥ යුවාල් නොආ හරාරි dw.com වෙබ් අඩවිය සමඟ පැවැත්වූ සංවාදයක දල සිංහල පරිවර්තනය)
  • මේ සමඟ ලෝකයත් විවිධ ආකාරවලට වෙනස් වන බව පෙනෙන්නට තිබෙනවා.
  • මේ දෙස බලන විට ඔබව වැඩිපුරම කණස්ලල්ලට පත් කරවන්නේ කුමන කාරණයද?
  • ඇත්තම අනතුර වන්නේ අපේ අභ්‍යන්තරයේ පවතින අඳුරු ගතිකයනුයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රශ්නය: අප දැන් සිටින්නේ ගොලීය වසංගතයක් අතරතුරයි. මේ සමඟ ලෝකයත් විවිධ ආකාරවලට වෙනස් වන බව පෙනෙන්නට තිබෙනවා. මේ දෙස බලන විට ඔබව වැඩිපුරම කණස්ලල්ලට පත් කරවන්නේ කුමන කාරණයද?

පිළිතුර : මම හිතන්නේ විශාලතම අනතුර වෛරසයම නෙමෙයි. වෛරසය පැරදවීමට අවශ්‍ය කරන සියළු විද්‍යාත්මක දැනුම සහ තාක්ෂණික උපාංග මනුෂ්‍යයත්වය සතුව තිබෙනව. ඇත්තම අනතුර වන්නේ අපේ අභ්‍යන්තරයේ පවතින අඳුරු ගතිකයනුයි.

ඒ කියන්නේ අපේ වෛරය, ගිජුබව සහ අඥානබව වැනි ගුණයන්. මාව කණස්සල්ලට පත් කරවන්නේ මිනිසුන් මෙම අර්බුදයට ගෝලීය සහයෝගීතාවයකින් මුහුණ නොදී, ඒ වෙනුවට වෛරය තෝරාගැනීමයි. වෙනත් රටවල්වලට, වාර්ගික සහ ආගමික සුළුතරයන්ට චෝදනා කිරීමයි.

''මාව කණස්සල්ලට පත් කරවන්නේ
මිනිසුන් මෙම අර්බුදයට ගෝලීය සහයෝගීතාවයකින් මුහුණ නොදී,
ඒ වෙනුවට වෛරය තෝරාගැනීමයි.
වෙනත් රටවල්වලට, වාර්ගික සහ ආගමික සුළුතරයන්ට චෝදනා කිරීමයි.''
- යුවාල් නොආ හරාරි

නමුත් වෛරය වෙනුවට අපිට අපගේ සහනුකම්පාව වර්ධනය කරගත හැකි වෙතැයි මම බලාපොරොත්තු වනවා. එවිට ගෝලීය සහයෝගීතාවයකින් යුක්තව, පීඩාවට පත්ව සිටින පිරිස්වලට ආධාර දීම සඳහා යොමුවීමට අපට හැකි වනු ඇති.

ඒ වගේම මම සිතනවා විවිධාකාර කුමන්ත්‍රණ න්‍යායයන් විශ්වාස කරනවා වෙනුවට සත්‍යය පැහැදිලි ලෙස දැකීමට අවශ්‍ය විචාර ශක්තියත් අපට ලැබෙයි කියා. මේ කාරණා ඉටුකරගැනීමට හැකි වුණොත්, සැකයකින් තොරවම අපට මෙම අර්බුදය ජය ගත හැකියි.

 

ප්‍රශ්නය : ඔබ වරක් කී පරිදි, පුරවැසියා සවිබල ගැන්වීම සහ සර්වාධිකාරවාදී සුපරීක්ෂාව අතර තෝරාගැනීමක් සිදු කිරීමේ මොහොතකට අප මුහුණදී සිටිනවා. අපි ප්‍රවේශම් සහගත නොවුණොත්, මෙම වසංගතය විසින් සුපරීක්ෂාවන් පිලිබඳ ඉතිහාසයේ තීරණාත්මක සලකුණක් තැබීමට ඉඩකඩක් තිබෙනවා. එහෙත් අනිත් අතට බැලූවොත්, අපේ පාලනයෙන් පිටත පවතින දෙයක් පිලිබඳව අපි ප්‍රවේශම් සහගත වෙන්නේ කොහොමද?

පිළිතුර : වර්තමාන තත්ත්වය සම්පූර්ණයෙන්ම අපගේ පාලනයෙන් පිටත පවතින දෙයක් නෙමෙයි. අවම වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටවල තත්ත්වය එහෙමයි. අපි ප්‍රතිපත්ති නිර්මාණය කරන පක්ෂවලට සහ දේශපාලකයන්ට ඡන්දය දෙනව. එමනිසා දේශපාලන ක්‍රමය මත්තෙහි වන යම් පාලනයක් තවමත් පුරවැසියා සතුව තිබෙනව. මේ වනවිට ඡන්ද නොපැවතුණත්, දේශපාලකයන් තවමත් මහජන පීඩනයන්ට ප්‍රතිචාර දක්වනවා.

නමුත් මහජනතාව මෙම වසංගතයෙන් දැඩි ලෙස භිතියට පත්වෙලා ශක්තිමත් නායකයෙකු ඉල්ලා සිටින්නට වුණොත්, එවන් විටක ආඥාදායකයෙකුට සමාජය තම ග්‍රහණයට ගැනීමේ හැකියාව තිබෙනවා.

''මහජනතාව මෙම වසංගතයෙන් දැඩි ලෙස භිතියට පත්වෙලා ශක්තිමත් නායකයෙකු ඉල්ලා සිටින්නට වුණොත්, එවන් විටක ආඥාදායකයෙකුට සමාජය තම ග්‍රහණයට ගැනීමේ හැකියාව තිබෙනවා. ''

එසේම අනිත් අතට, දේශපාලකයෙක් ඒ තරමට දුරක් ගමන් කල අවස්ථාවක ඔහුට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව මහජනයාට ඇති නම්, එවිට වඩාත්ම අනතුරුදායක තත්ත්වයන් උදාවීම මඟ හරවා ගත හැකියි.

 

ප්‍රශ්නය : අර්බුදයේ මූලය සම්බන්ධයෙන් විවිධ න්‍යායයන් පැතිරෙමින් පවතිනවා. අපි විශ්වාස කරන්නේ කාවද, කුමන කතාවද යන්න අප දැන ගන්නේ කොහොමද?

Mahinda Basil

පිළිතුර : පළවෙනිම කාරණය, අපිට අතීත අත්දැකීම් තියනවා. ඔබට අමතමින් සිටින්නේ වසර ගණනක් තිස්සේ ඔබට බොරු කරමින් සිටි දේශපාලකයා නම්, එවිට මේ වසංගතය තුලදී ඔහු කියන දෙය කෙරෙහි විශ්වාසය තැබීමට වැඩි හේතුවක් නැහැ.

දෙවෙනුව, එක එක අය ඔබට කියමින් සිටින කුමන්ත්‍රණ න්‍යායයන් පිලිබඳව ඔබට ප්‍රශ්න ඇසිය හැකියි. කොරෝනා වෛරසය ඇති වූ ආකාරය හෝ එය පැතිරෙන ආකාරය ගැන කවුරුන් හෝ අයෙකු ඔබට යම්කිසි කුමන්ත්‍රණ න්‍යායයක් ඉදිරිපත් කරනවා නම්, වෛරසයක් යනු කුමක්ද යන්න සහ එය රෝග ඇති කරවන්නේ කෙසේද යන්න විස්තර කරන ලෙස එම පුද්ගලයාට කියන්න.

ඒ පිලිබඳව ඔහුට අදහසක් නැතිනම්, ඉන් කියවෙන්නේ අදාල න්‍යාය ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ මූලික විද්‍යාත්මක දැනුමකින් තොරව බවයි. මෙයින් ඉදිරියට කොරෝනා වසංගතය ගැන එම පුද්ගලයා දක්වන අදහස් බැරෑරුම්ව ගත යුතු නැහැ.

මෙහි අදහස ඔබ සතුව ජීව විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් තිබිය යුතු බව නොවෙයි. නමුත් තමා කියන දෙය පිලිබඳව මූලික විද්‍යාත්මක තේරුම් ගැනීමක් අදාල පුද්ගලයා සතු විය යුතුයි.

විවිධ ජනප්‍රියවාදී දේශපාලකයන් විද්‍යාවට පහරදෙන ආකාරය මෑත කාලයේදී අපට දැක ගැනීමට ලැබුණා. විද්‍යාඥයින් යනු මහජනතාවගෙන් වෙන්වූ සීමිත ප්‍රභූ පිරිසක් පමණ=ක් බවත්, කාළගුණ විපර්යාස යනු ඔවුන්ගේ රැවටිල්ලක් බවත් ඔවුන් කියා සිටියා. මේවාට විශාල ආකර්ෂණයක්ද හිමිවුණා.

එහෙත් මෙම අර්බුදකාරී මොහොතේදී මිනිසුන් අන් සියල්ලටම වඩා විද්‍යාව කෙරෙහි විශ්වාසය තබන බව අපට පෙනෙනවා.

අපි මෙම කාරණය, මෙම අර්බුදය තුලදී පමණක් නොව, අර්බුදය අවසාන වීමෙන් පසුව පවා මතක තබා ගනු ඇතැයි මම විශ්වාස කරනවා. වෛරසයක් යනු කුමක්ද යන්න පිලිබඳවත්, පරිණාමවාදය පිලිබඳවත් හොඳ විද්‍යාත්මක අධ්‍යාපනයක් ශිෂ්‍යන්ට පාසල් තුලදී ලබාදීමට අප වග බලා ගත යුතුයි.

ඒ වගේම, කාලගුණ විපර්යාස, පාරිසරික අර්බුද වැනි, වසංගත නොවන මාතෘකා සම්බන්ධයෙන් විද්‍යාඥයන් අනතුරු අඟවත්දීත්, ඒවාද වර්තමානයේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ඔවුන් කියන දේ බාරගන්නා තරමටම බැරෑරුම්කමකින් යුක්තව අප බාරගත යුතුයි.

 

ප්‍රශ්නය : වෛරසය පැතිරයාම වැලැක්වීම සඳහා ඩිජිටල් සුපරීක්ෂා යාන්ත්‍රණයන් පිහිටුවීමට බොහෝ රටවල් කටයුතු කරමින් සිටිනවා. මෙම යාන්ත්‍රණයන් පාලනය කල හැකිවන්නේ කෙසේද?

පිළිතුර : පුරවැසියන් සුපරීක්ෂාවට ලක්වීමට වැඩිවන ඕනෑම තැනක, ඒහා සමඟම සිදුවන රජය සුපරීක්ෂාවට ලක්වීමක්ද පැවතිය යුතුයි. මේ මොහොතේ රජයන් අත දිගහැර වියදම් කරනවා. එක්සත් ජනපදය ඩොලර් ට්‍රිලියන දෙකක්, ජර්මනිය යුරෝ බිලියන සිය ගණනක් ආදී වශයෙන්.

පුරවැසියෙකු හැටියට මට දැන ගැනීමට අවශ්‍ය වන්නේ මෙම මුදල් යෙදවෙන්නේ මොනවාටද සහ තීරණ ගන්නේ කවුද යන්නයි. එනම්, ඒවා යෙදවෙන්නේ වසංගතයට පෙරාතුවම තම කලමණාකරුවන්ගේ වැරදි තීරණ නිසා අර්බුදයට ගිය මහා පරිමාණ සමාගම් ගලවා ගැනීමටද? නැත්නම්, කුඩා ව්‍යාපාර, ආපන ශාලා සහ කඩ සාප්පුවලට ආධාර කිරීම සඳහා ඒවා යෙදවෙන්නේද? යන්න දැන ගැනීමටයි.

''පුරවැසියෙකු හැටියට මට දැන ගැනීමට අවශ්‍ය වන්නේ මෙම මුදල් යෙදවෙන්නේ මොනවාටද සහ තීරණ ගන්නේ කවුද යන්නයි. එනම්, ඒවා යෙදවෙන්නේ වසංගතයට පෙරාතුවම තම කලමණාකරුවන්ගේ වැරදි තීරණ නිසා අර්බුදයට ගිය මහා පරිමාණ සමාගම් ගලවා ගැනීමටද? නැත්නම්, කුඩා ව්‍යාපාර, ආපන ශාලා සහ කඩ සාප්පුවලට ආධාර කිරීම සඳහා ඒවා යෙදවෙන්නේද? යන්න දැන ගැනීමටයි.''

යම්කිසි රජයක් තිවුරසුපරීක්ෂාවන්ට දැඩි ලෙස ඇළුම් කරන්නේ නම්, එම සුපරීක්ෂාව දෙඅතටම සිදුවිය යුතුයි. රජයේ සියළු මූල්‍ය ගණුදෙනු සියල්ල ප්‍රසිද්ධ කල නොහැකි බවත්, එය ඉතා සංකීරණ බවත් රජය කියා සිටිනවානම්, ඔබ කිව යුතුව ඇත්තේ මෙයයි. ‘‘නෑ. ඒක ඒ තරම් සංකීර්ණ නැහැ. මම එදිනෙදා කියන කරන හැම දෙයක්ම ඔබ සුපරීක්ෂා කරන ආකාරයටම, මගේ බදු මුදල්වලට ඔබ කරන්නේ මොනවාද යන්න මට පෙන්වන යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමත් පහසු දෙයක් විය යුතුයි.’’

 

ප්‍රශ්නය : වර්තමාන අර්බුදය තුල මතූවීමට ඉඩ ඇති සුපරීක්ෂා පද්ධති තවත් පියවරක් ඉදිරියට යාමට සූදානම්ව පවතිනවා. ඔබ මෙය ‘‘සම යටින් කෙරෙන සුපරීක්ෂාව‘‘ ලෙස නම් කර තිබුණා. මෙවන් තත්ත්වයක් අපට පාලනය කල හැක්කේ කෙසේද?

පිළිතුර : අප මෙම කාරණය පිලිබඳව අතිශයින්ම ප්‍රවේශම් සහගත විය යුතුයි. සමට පිටින් කෙරෙන සුපරීක්ෂාව යනු ඔබ බාහිර ලෝකය තුල කරන දේ, ඔබ යන එන තැන්, ඔබ ඇසුරු කරන අය, ඔබ නරඹන රූපවාහිනි වැඩසටහන් හෝ වෙබ් අඩවි වැනි දේ නිරීක්ෂණය කිරීමයි. එය අපගේ සිරුර ඇතුලට ගමන් කරන්නේ නැහැ.

සමට යටින් කරන පරීක්ෂාව යනු ඔබේ සිරුර අභ්‍යන්තරයේ සිදුවන්නේ කුමක්ද යන්න නිරීක්ෂණය කිරීමයි. එය ඇරඹෙන්නේ උෂ්ණත්වය වැඩිවීම නිරීක්ෂණය කිරීම වැනි දේවලින් වුවත්, එයට ඔබේ රුධිර පීඩනය, හෘද ස්ථන්දනය, මොලයේ ක්‍රියාකාරීත්වය වැනි බොහෝ කලාප දක්වා ගමන් ගැනීමේ හැකියාව තිබෙනවා.

එවැන්නක් සිදුකිරීම දක්වා ගමන් කිරීට යම් අයෙකුට හැකි වුවොත්, ඔබට ඉතිහාසයේ කවරදාකටත් වඩා අතිශයින් වැඩි දෙයක් ජනතාව ගැන දැනගත හැකි වෙනවා.

එවැන්නක් තුලින් ඉහත දැනුම හිමි පුද්ගලයාට ඉතිහාසයේ පැවති සියළු සර්වාධිකාරයන්ට වඩා ප්‍රබල සර්වාධිකාරවාදයක් ගොඩ නැගිය හැකිවනු ඇති. මම කියවන්නේ මොනවාද? බලන්නේ මොන වෙබ් අඩවිද? මොන රූපවාහිනී වැඩසටහන්ද ගැන දන්නා අයෙකුට මගේ කලා රසඥතාවය, මගේ දේශපාලන අදහස්, මගේ පුද්ගලිකත්වය ගැන යම් අදහසක් ඇති කරගත හැකියි. නමුත් එය තවමත් සීමිත දැනුමක්.

දැන් හිතන්න මම යම්කිසි ලිපියක් කියවන විට හෝ රූපවාහිනී වැඩසටහනක් බලනවිට මගේ ශරීර උෂ්ණත්වයට, මගේ රුධිර පීඩනයට, හෝ හෘද ස්පන්දනයට සිදුවන වෙනස්කම් තවත් අයෙකුට නිරීක්ෂණය කරන්න පුළුවන් තත්ත්වයක් පිලිබඳව. එවිට, ඉහත කාරණාවලට අමතරව, මගේ ජීවිතයේ හැම මොහොතකදීම මට දැනෙන්නේ මොනවාද යන්නත් අදාල පුද්ගලයාට දැන ගැනීමට පුළුවන්. මෙය ඉතාම පහසුවෙන් දරුණු සර්වාධිකාරී පාලන තන්ත්‍රයක් වෙත ගමන් කල හැකියි.

කෙසේවුවත්, මෙය වැලැක්විය නොහැක්කක් නොවේ. අපට එය වැලැක්විය හැකියි. එහෙත් ඒ සඳහා අප කරුණු දෙකක් සම්පූර්ණ කල යුතුයි.

පලමුවැන්න, අප මෙම අනතුර හඳුනාගත යුතුයි. දෙවැන්න, වර්තමාන හදිසි තත්ත්වය තුලදී සිදුවීමට අප ඉඩහරින්නේ මොනවාටද යන්න පිලිබඳව පරීක්ෂාවෙන් පසුවිය යුතුයි.

 

ප්‍රශ්නය : මෙම අර්බුදය, 21 වන සියවසේ මනුෂ්‍යයා පිළිබඳව ඔබ තුල පැවති අදහස වෙනස් කරගැනීමට හේතු වූවාද?

පිළිතුර : එය කියන්නට බැහැ. මොකද එය තීරණය වන්නේ වර්තමානයේ අප ගන්නා තීරණ මත නිසා. වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් විශාල රැකියා විරහිත පිරිසක් නිර්මාණය වෙමින් පවතින බව දැනටමත් දකින්නට ලැබෙනවා. මෙම අර්බුදය තුල ස්වයංක්‍රීයකරණය කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති වෙමින් ආකාරය අපට දැක ගැනීමට ලැබෙනවා.

මිනිසුන් නිවෙස් තුලට වී සිටීම සහ රොබෝවන් අසාදනයන්ට ලක් නොවීම නිසා ඔවුන්ගේ රැකියා, පරිගණක සහ රොබෝවරුන් විසින් ආදේශනය කිරීමේ හැකියාව පිලිබඳව මතුව ඇති අවධානය ඊට හේතුවයි.

එසේම අනාගතයේදී පිටරටවල පවත්වාගෙන යන තම කර්මාන්තශාලා නැවත මව්රටට ගෙන්වා ගැනීමට ඇතැම් රටවල් මේ ඔස්සේම තීරණය කිරීමට ඉඩ තිබෙනවා. මෙය, සිය ලාභ ශ්‍රමය කෙරෙහි විශ්වාසය තබා සිටින සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට විශාල පහරක් එල්ල කරනු ඇති. එසේම මෙම කාරණා නිසා රැකියා අහිමි කරගත් විශාල පිරිසක්ද මෙම රටවල මතු වීමට ඉඩ තිබෙනවා.

එසේම මෙය ධනවත් රටවලටද සිදුවිය හැකියි. මෙම අර්බුදය විසින් රැකියා වෙලඳපොලෙහි අතිවිශාල වෙනස්කම් සිදුකොට තිබෙනවා.

Robo

මිනිසුන් අන්තර්ජාලය ඔස්සේ නිවසේ සිට වැඩ කරනවා. මෙම තත්ත්වය අප නිසි ලෙස කලමණාකරණය කර නොගතහොත්, අවම වශයෙන් සමහර ක්ෂේත්‍ර තුලදීවත්, සංවිධානගත ශ්‍රමයේ අතිවිශාල බිඳවැටීමක් සිදුවීමට ඉඩ තිබෙනවා. නමුත් මෙය නොවැලැක්විය හැකි තත්ත්වයක් නොවේ.

මෙතැන ඇත්තේ දේශපාලන තීන්දුවක්. පවතින තත්ත්වය තුල අපගේ රටේ, හෝ සමස්ත ලෝකයේම, කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපට තීන්දුවක් ගත හැකියි. විශාල සමාගම් වෙනුවෙන් රජයන් ඇප වෙනවා. ඔවුන්ට එය, අදාල සමාගම් සිය ශ්‍රමිකයන්ගේ හිමිකම් රකින්නේය යන කොන්දේසිය මත සිදු කල හැකියි. මෙතන ඇත්තේ අප ගන්නා තීරණ පිලිබඳ කාරණාවකුයි.

ප්‍රශ්නය : අනාගත ඉතිහාසඥයෙක් මේ මොහොත පිලිබඳව මොනවා කියනු ඇතිද?

පිළිතුර : මම හිතන්නේ අනාගත ඉතිහාසඥයන් මෙම මොහොත විසි එක් වන සියවසේ හැරවුම් ලක්ෂ්‍යයක් හැටියට දකීවි. නමුත් එය හැරවෙන්නේ කුමන පැත්තටද යන්න තීරණය වනු ඇත්තේ අද අප ගන්නා තීරණ මතයි. එම තීරණ අපට මඟ හැරයා නොහැකියි.

(පරිවර්තනය: නිශාන්ත කුලරත්න)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...