''විවාපත් යුවළක් වුවමනාවෙන් ම දරුවන් උත්පාදනය කරන අතර ඇතැම් පෙම්වත් යුවළක් අතර ඇතිවන ලිංගික සංවාසයෙන් ඔවුන් බලාපොරොත්තු නොවූ ආකාරයට දරුවකු පිළිසිඳගත හැකි ය. ඇතැම් විට ඇතැම් විවාපත් යුවළක් වුව ද සබැවින් ම ඔවුන්ට දරුවන් අවැසි නොවුණ ද ලෝකයා ගේ වුවමනාව වෙනුවෙන් දරුවකු උත්පාදනය කළ හැකි ය. දරුවන් මත පැවරී ඇත්තේ යුතුකම් කොටසක් මිස වගකීම් කොටසක් නොවේ. දෙමාපිය යුවළ සිය වගකීම් ඉටුකිරීමට සාපේක්ෂව දරුවෝ ද අනාගතයේ විවිධාකාර පුද්ගලයින් ලෙස සමාජගතවන්නේ ය.''
මෙම කොටස මා උපුටා ගත්තේ ''වැලි පවුරු'' සිනමා නිර්මාණය පිළිබඳ ව මවිසින් ම රචිත විචාරයකිනි. මෙය 2021 පෙබරවාරි 21වන දින මෙම වෙබ් අඩවියේ ම පළ විය.
‘‘වැලි පවුරු’’ යනු දෙමාපියන් උගත යුතු පාඩමකි (සිනමා) - ජයසිරි අලවත්ත එය කියවීමට අවශ්‍ය යැයි සිතන්නේ නම් මෙම සබැඳිය ඔස්සේ එය කියවිය හැකි ය.
මා මෙය උපුටා දැක්වූයේ මෙම නිර්මාණයෙහි අන්තර්ගතයේ ම අනෙක් පස විදාරණය කෙරෙන සාහිත්‍ය කෘතියක් පිළිබඳ විවරණයක යෙදීමේ අදහසිනි.
කෘතිය නම් කර ඇත්තේ ''මනස්ක'' මැයෙනි; කතුවරිය හසලා අලස් ය.
''මනස්ක'' පිළිබඳව මගේ කියැවීම තරමක් පුළුල් ලෙස ලිවිය යුතු යැයි මා අදහස් කළේ මෙම කෘතියේ රචකාව, සෝදුපත් කියවූ පුද්ගලයා හැර වැඩිම වාර ගණනක් එම ප්‍රබන්ධ කෘතිය කියවා ඇත්තේ මා යැයි මා තුළ පවතින විශ්වාසය පදනම් කරගනිමිනි.
අතීතය පහසුවෙන් අමතක කළ හැකි ද…?
හසලා අලස්
‘මනස්ක’ ප්‍රබන්ධ කෘතියේ ප්‍රධාන කථකයා වන්නේ දහම් නමැති තරුණයා ය; සමස්ත ප්‍රබන්ධය ම ගෙතී ඇත්තේ ඔහු සහ ඔහු ගේ ජීවිතය වටා ගැවසෙන: පියා, පුංචි අම්මා සහ සිය පෙම්වතිය වන විනීතා කේන්ද්‍ර කරගනිමිනි.
මෙම ප්රබන්ධයෙහි මා දුටු විශේෂිත ම ලක්ෂණය වන්නේ දෙමාපියන් තම දරුවන් කෙරෙහි දක්වන දැඩි ඇල්ම (එය ආදරය යැයි කිසිවකු පැවසිය හැකි ය; නමුදු මා පුද්ගලිකව එය දකින්නේ දරුවන් මත බලහත්කාරයෙන් පටවන අධිකාරි බලයක් ලෙසිනි) ය. එහි දී සිය දරුවා ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා තවත් දරුවකු ගේ අනාගතය සපුරා ම අඳුරු අගාධයකට ඇද දමන්නට මෙබඳු දෙමාපියෝ පෙලඹෙති; දහම් ගේ පියා (සුබනන්ද) ද එබඳු පුද්ගලයෙකි.
දහම් යනු සිය ජීවන ගමනේ දී: අහිමිවීම්, වෙන්වීම්, මානසික පීඩන සහ නැවත ජීවිතය ගොඩනගා ගැනීම සඳහා සිය අතීතය අසීරුවෙන් අමතක කරලීමට යත්න දරනා පුද්ගලයෙකි. එහෙත් පුද්ගලයකුට ලෙහෙසියෙන් සිය අතීතය අමතක කළ නොහැකි බව මෙම ප්‍රබන්ධ කෘතිය පාඨක ප්‍රජාවට පසක් කරයි.
කතුවරිය ගේ අභිප්‍රාය
ප්‍රබන්ධය ආරම්භ වන්නේ දහම් සහ විනීතා අතර ඇති වන ප්‍රේම සම්බන්ධයට දහම් ගේ පියා වෙතින් එල්ල වන විරෝධය ප්‍රකට කරමිනි. එම අවස්ථාවේ දී පිය පාර්ශ්වය තුළින් ප්‍රකට කරන්නේ පැරණි වලව් පරම්පරාව පිළිබඳ අභිමානය; පවුල් පසුබිම; ජාතිවාදය; සමාජ තත්ත්වය සහ ජන්ම කේන්ද්‍ර ආශ්රිත විශ්වාස යනාදිය යි. දහම්ගේ පියා යනු නූතනයට වඩා අතීතයට, ජාතියට මෙන් ම පරම්පරාගත සම්බන්ධතාවලට වැදගත්කමක් ලබා දෙන පුද්ගලයෙකි. නමුත් ඊට සපුරා ම වෙනස් ගති ගුණවලින් හෙබි දහම් නූතන සමාජය තුළ ස්වයං තීරණ අයිතිය වෙනුවෙන් කටයුතු කරයි.
නමුදු දහම් ගේ ක්‍රියාකලාපය සමූල ඝාතනය කරන්නට තරම් ඔහු ගේ පියා බලවත් පුද්ගලයකු බව කෘතිය අවසානයේ පාඨක ප්‍රජාවට පසක් වන්නේ ය. කෘතිය අවසානය තෙක් එක්තරා රහසක් රකින්නට කතුවරිය භාවිත කරන සාහිත්‍ය තාක්ෂණික උපක්‍රමය මේ සඳහා උපස්තම්භක කර ගන්නී ය.
ප්රබන්ධකරණයේ දී කතුවරිය පරම්පරා දෙකක් අතර පවතින ආකල්පමය ගැටුම නිරූපණය කරන්නට යත්න දරන්නී ය. වෙසෙසින් ම විනීතා ගේ ජීවිතය අඳුරු අගාධයට ඇද දැමීම සඳහා දහම් ගේ පියා භාවිත කරන්නේ ජ්‍යොතිෂ්‍ය අනාවැකිය සහ එය වටා ගොඩනැගෙන බිය අනෙකා ගේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය බවට පත් කිරීම ය. එබැවින් ''මනස්ක'' යනු හුදෙක් අනේක විධ බාධා සහිත ප්‍රේම කතාවක් පමණක් නොවේ. පුද්ගලයින් ගේ ජීවිත පිළිබඳ තීරණ ගැනීමේ දී අන්ධ විශ්වාස සහ මානසික බලපෑම් කෙතරම් ප්‍රබල විය හැකිද යන්න විමසීමට කතුවරිය දරන උත්සාහයේ ප්රතිඵලයකි.
පාඨක ප්‍රජාව ගේ විශ්වාසය දිනාගැනීම
මගේ කියැවීමට අනුව ප්‍රබන්ධයේ වඩාත්ම කැපී පෙනෙන නිර්මාණාත්මක ලක්ෂණය වන්නේ දහම් ගේ වෘත්තීය ජීවිතය මනෝචිකිත්සකවරයකුගේ භූමිකාව සමග සම්බන්ධ කිරීම ය. එම උපක්‍රමය කතුවරිය ගේ පරිකල්පන ශක්තිය ප්‍රකට කරන්නකි.
දහම්, මානසික පීඩාවලට ලක්වූ පුද්ගලයින් වෙත උපදේශන සහ ප්‍රතිකාර සේවා සපයන අතරතුර දසුන් නමැති තරුණ සේවාදායකයා හමුවෙයි. දහම් ගේ ජීවිතයේ වෙනස් ම මානසික කැලඹිමක් ඇති වන්නේ එම හමුවීමෙන් අනතුරුව ය. දසුන්ගේ සිහින සහ ඔහු ගේ සිතුවම් නිර්මාණ දහම්ට ගෙන දෙන්නේ කිසියම් හුරුපුරුදු බවක් මෙන් ම අතීතය සමග සම්බන්ධ වන අභිරහස් හැඟීම්වලියකි. මෙම සිදුවීම් මාලාව කතාවේ නව මානයක් විවෘත කරන්නට සමත් වේ.
මෙහි දී කතුවරිය මතු කරන වැදගත් ප්රශ්නය වන්නේ: මිනිස් මනසට සාමාන්‍ය සංවේදනා සහ මතකවලින් ඔබ්බට ගිය අත්දැකීම් තිබිය හැකි ද යන්න ය. මෙම කතා පුවතට සුවිශේෂී අර්ථයක් ලැබෙන්නේ සහ Psychical යන නාමකරණය සම්බන්ධ වීමට ද මෙම කරුණු බලපාන බව මගේ විශ්වාසය යි. නමුදු මෙහි දී මනෝවිද්‍යාත්මක කරුණු සහ අධිමානසික විශ්වාස එකම ප්රපංචයක් ලෙස නොසැලකිය යුතු බව ද අවධාරණය කළ යුතු ය. මන්ද කෘතියේ සාර්ථකත්වය තීරණය වන්නේ මෙම සාධක ද්වය අතර කතුවරිය ගොඩනගන සහසම්බන්ධතාව පාඨක ප්‍රජාවට කෙතරම් විශ්වසනීය ලෙස ඉදිරිපත් කරන්නේ ද යන්න මත ය.
ප්‍රබන්ධයේ අතීතය සහ වර්තමාන සම්බන්ධය
''මනස්ක'' ප්‍රබන්ධ කෘතියේ තවත් විශේෂත්වයක් වන්නේ සමස්ත ආඛ්‍යානය තුළ ම විස්තරාත්මක රචනා ශෛලියක් අන්තර්ගත වීම ය.

වෙසෙසින් ම: පරිසරය, නිවාස, ස්වභාව සෞන්දර්යය, චරිතවල හැසිරීම් සහ මානසික තත්ත්ව විස්තර කිරීම සඳහා කතුවරිය සැලකිය යුතු අවධානයක් යොමු කර ඇත; ඒ, ඇතැම් විට කතුවරිය ද මනෝවිද්‍යාව පිළිබඳ දැනුමැති පුද්ගලයකු වන බැවින් යැයි මට සිතේ.
එමෙන් ම සංවාද බහුල ලෙස යොදාගැනීම හේතුවෙන් චරිත අතර සබඳතා මෙන් ම ගැටුම් යනාදිය ද පාඨකයාට සමීපව අත්විඳීමට අවස්ථාව සැලසේ. විශේෂයෙන් ම ප්‍රබන්ධයේ අතීතය සහ වර්තමානය එකිනෙක සම්බන්ධ කරමින් කෘතියේ අරටුව බඳු අභිරහස ක්‍රමක්‍රමයෙන් හෙළි කිරීම ද ආඛ්‍යානමය වශයෙන් වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකි ය.
එමෙන් ම, ඇතැම් අවස්ථාවල දී ප්‍රබන්ධයේ විස්තරාත්මක භාවය කතාවේ ගලායෑම මන්දගාමී කරන ආකාරයක් ද මට හැගුණි. ඇතැම් සිදුවීම්වල දී සංවාද සහ ඇතැම් විස්තර තව දුරටත් සංක්ෂිප්ත කළේ නම් මැනවි යැයි හැඟේ.
චරිත භාවිතයේ සූක්ෂ්මතාව
කෘතිය ප්‍රබන්ධ කිරීම උදෙසා කතුවරිය චරිත තෝරා ගැනීමේ දී සහ එම චරිත භාවිතයේ දී අතිශය සූක්ෂ්ම වී ඇති බව ද මෙහි දී අවධාරණය කළ යුතු ය.
කෘතියේ කේන්ද්‍රීය චරිතය වන දහම් ළමා වියේ අහිමිවීම්වලින් මානසිකව පීඩාවට පත් වුව ද, පසුකාලීනව වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය ගොඩනගා ගන්නා චරිතයකි. ඔහු ගේ චරිතය තුළ: සංවේදීභාවය, ඉවසීම, අන්‍යයන්ට උපකාර කිරීමේ කැමැත්ත සහ අතීතය සමග පොරබැදීම යනාදිය දැකිය හැකි ය.
විනීතා යනු දහම් ගේ අවංක ප්‍රේමවන්තිය යි. ඇයට ද අවංකව ම ආදරය කළේ දහම් පමණි. විනීතා: ආදරය, බිය, අසරණභාවය, අන් ජාතික කාන්තාවක් වීම සහ වරදකාරී හැඟීම අතර සිරවන චරිතයක් වන බැවින් ඇය ගේ ජීවිතයේ ඛේදවාචකය පාඨකයාට සම්මුඛ වන්නේ කෘතිය අවසාන භාගයේ ය. එය කෘතියේ ආකෘතිය විසින් ගොඩනගන ලද්දකි.
සිය එක ම පුතුට ආදරය කරන සුබනන්ද තම පරම්පරාගත විශ්වාස, ජාතිවාදය සහ බිය හේතුවෙන් පුතු ගේ ජීවිතයට මැදිහත් වන පියෙකි. ඔහු ගේ චරිතය තුළ ආදරය සහ පාලනය කිරීමේ ආකල්පය අතර පවතින සංකීර්ණතාව දැකිය හැකි අතර ලිපියේ ආරම්භයේ සඳහන් කර ඇති පරිදි සිය පුතු ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා වෙනත් තරුණියක ගේ ජීවිතය අඳුරු අගාධයකට ඇද දැමීමට වුව ද පසුබට නොවන්නෙකි. දහම් සහ විනීතා මුහුණ පෑ සියලු ව්‍යසන සඳහා වගවිය යුත්තේ ද ඔහු ය.
සුබනන්ද හැරුණු විට විනීතාගේ ජීවිතයේ අවාසනාවන්ත හැරවුමට සම්බන්ධ වන චරිතය වන්නේ රඝු ය. එම චරිතය තුළින්: ප්‍රේමය සහ බලහත්කාරය අතර ඇති වෙනස මෙන් ම පෞද්ගලික පළිගැනීම් මිනිස් ජීවිත විනාශ කරන ආකාරය නිරූපණය කරයි.
දහම් ගේ පසුකාලීන ජීවිතයට සම්බන්ධ වන චරිතයක් වන රනුදි දහම් ගේ මානසික ස්වභාවය වටහා ගැනීමට මෙන් ම ඔහුගේ ජීවිතය නැවත ගොඩනැගීම සඳහා ඉමහත් කැපකිරීමක් කරන්නී ය.
ප්‍රබන්ධයේ ප්රබලතම සංවේ දී අවස්ථාව
මෙම ප්‍රබන්ධයේ කූටප්‍රාප්තිය පිළිබිඹු කරන අවසාන පරිච්ඡේද කිහිපය සුවිසෙස් වැදගත්කමක් උසුලයි.
වසර ගණනාවකට පෙර අතුරුදන් වූ විනීතා නැවත දහම්ට හමුවීම, ඇය ගේ ජීවිතයට සිදුවූ ඛේදවාචකය අනාවරණය වීම යනාදිය කතාවේ ප්රබලතම සංවේ දී අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි ය.
විනීතා හෙළි කරන පරිදි, සුබනන්ද ගේ මැදිහත්වීමෙන් මෙන් ම ජ්‍යොතිෂ්‍යමය අනාවැකිවලින් ඇති වූ බිය නිසා ඇයට දහම් ගෙන් වෙන්වීමට සිදු වුණි. පසුව රඝු සමග ගත කළ ජීවිත කාලය තුළ දී ඇය ශාරීරික මෙන් ම දැඩි මානසික වධහිංසාවලට ලක් වන්නී ය. කෘතියේ හැඟීම්බර උච්චස්ථානය වන්නේ විනීතා ගේ දරුවා පිළිබඳ පාපොච්චාරණය සහ දහම්ගේ අවසාන ප්‍රතිචාරය යි.
ප්‍රබන්ධය අවසන දහම්ගේ මුවින් පිටවන 'මගේ පුතා' නමැති වචන ද්වයෙන් කෘතිය නිමා වීම ද තවත් සුවිශේෂී කලාත්මක සාහිත්‍යමය තේරීමක් ලෙස හැඳින්විය හැකි ය.
දහම් ගේ මුවින් එම වචන ද්වය පිටවන තෙක් අභිරහසක් ලෙස පැවති දසුන් ගේ අනන්‍යතාව සහ දහම් ගේ අතීතය අතර සම්බන්ධය එම අවසාන මොහොතේ දී සංවේදී අර්ථයක් ලබා දෙන අතර මගේ කියැවීමට අනුව නම් දහම් කෙරෙහි මඳ කෝපයක් ද හට ගන්නට තරම් ප්‍රබල ය. ඒ මන්ද යන්න විස්තර කිරීමට මා නොපෙලඹෙන්නේ එක් එක් පාඨක පාඨකාවන් ගේ කියැවීම විවිධාකාර වන බැවිනි.

මෙහිදී කතුවරිය පාඨක ප්‍රජාව වෙත දීර්ඝ පැහැදිලි කිරීමක් ලබා නොදී වචන ද්වයකින් විශාල මානසික කම්පනයක් ඇති කිරීමට උත්සාහ කරන්නී ය; වෙසෙසින් ම එය කෘතියේ සාර්ථක අවසාන උපක්‍රමයක් ලෙස සැලකිය යුතු ය.




