BREAKING
Top Ad
Life

‘‘වැලි පවුරු’’ යනු දෙමාපියන් උගත යුතු පාඩමකි (සිනමා) - ජයසිරි අලවත්ත

T

The Leader

February 20, 2021 • 3:34 AM

‘‘වැලි පවුරු’’ යනු දෙමාපියන් උගත යුතු පාඩමකි (සිනමා) - ජයසිරි අලවත්ත 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘දරුවන්’ යනු ස්ත්‍රියක සහ පුරුෂයකු අතර සිදුකරන්නා වූ ලිංගික සංවාසයේ ඵලයකි.
  •  දරුවන් මත පැවරී ඇත්තේ යුතුකම් කොටසක් මිස වගකීම් කොටසක් නොවේ.
  •     දෙමාපිය යුවළ සිය වගකීම් ඉටුකිරීමට සාපේක්ෂව දරුවෝ ද අනාගතයේ විවිධාකාර පුද්ගලයන් ලෙස සමාජගතවන්නේ ය.
  • දෙමාපියන්ට ද සිය ජීවිතය ගෙවාදැමීම වෙනුවෙන් ම දරුවන්ගේ දරුවන් වෙනුවෙන් ද සිය කාලය, ශ්‍රමය මතු නොව ඇතැම් විට විශ්‍රාම වැටුප පවා වැය කළයුතු අවස්ථා එළඹේ.
අකුරු ප්‍රමාණය (Font Size):
විවාපත් යුවළක් වුවමනාවෙන් ම දරුවන් උත්පාදනය කරන අතර ඇතැම් පෙම්වත් යුවළක් අතර ඇතිවන ලිංගික සංවාසයෙන් ඔවුන් බලාපොරොත්තු නොවූ ආකාරයට දරුවෙකු පිළිසිඳගත හැකි ය. 
 
අනතුරුව මෙම දෙයුවල අනාගතයේ දී උත්පාදනය වීමට සිටින දරුවා වෙනුවෙන් කටයුතු කරන ආකාරය ද්විත්වාකාර ය.
 
විවාපත් යුවළ අනාගතයේ උත්පාදනය වන දරුවා වෙනුවෙන් සිය අනාගත ජීවිතය ම කැපකිරීමට සුදානමෙන් සිටිති. 
 
විවාපත් නොවූ යුවළක් නම් බොහෝ විට කළලය විනාශ කිරීමේ සිට කාන්තාවගේ දරු පිළිසිදගැනීම හේතුවෙන් ම ඉක්මන් විවාහයක් කරා එළඹිය හැකි ය. එසේත් නොවේ නම් උත්පාදනය වීමට සිටින දරුවා හොර රහසේ ම වෙනත් කෙනෙකුට පවරා දීම හෝ අලෙවි කිරීම සිදු කළ හැකි ය.
 
මේ කුමන ආකාරයට වුව ද නව මිනිස් ජීවියෙකු හෙවත් දරුවකු යනු අදාළ දරුවාගේ වුවමනාව මත මෙලොවට බිහිවන්නෙකු හෝ බිහිවන්නියක නොව වෙනත් දෙපළකගේ වුවමනාව වෙනුවෙන් බිහිවන ජීවියෙකි. 
 
ඇතැම් විට ඇතැම් විවාපත් යුවළක් වුව ද සබැවින් ම ඔවුන්ට දරුවන් අවැසි නොවුණ ද ලෝකයාගේ වුවමනාව වෙනුවෙන් දරුවකු උත්පාදනය කළ හැකි ය. ඒ, විවාපත් යුවළක් හට දරුවකු නොසිටියහොත් ඔවුන් දෙපළ, වෙසෙසින් ම කාන්තාව සමාජ අපවාදයට ලක්වන බැවිනි.
 
යළිත් පවසන්නේ නම් සැබැවින් ම දරුවකු උත්පාදනය කරන්නේ දෙමාපියන්ගේ හෝ සමාජ වුවමනාවට ම ය. එහෙයින් උත්පාදනය වන දරුවා හෝ දැරිය මේ කිසිවක් වෙනුවෙන් වන්දි ගෙවිය යුතු නොවේ. 
 
එසේ නම් දරුවන් හදා-වඩා සමාජයට බරක් නොවන සේ ඔවුන්ගේ අනාගතය සැසීම දෙමාපියන්ගේ අනිවාර්ය වගකීමකි. ඒ වගකීම ඉටු කිරීම වෙනුවෙන් කිසිදු දෙමාපිය යුවළක් දරුවන්ගෙන් ප්‍රති උපකාර බලාපොතේතු නොවිය යුතු ය.  දරුවන් මත පැවරී ඇත්තේ යුතුකම් කොටසක් මිස වගකීම් කොටසක් නොවේ. මන්ද ඔවුන් ද අනාගතයේ දී වගකීම් සම්භාරයක් හිස මත දරාගන්නට සිටින පිරිසකි.
 
 
දෙමාපිය යුවළ සිය වගකීම් ඉටුකිරීමට සාපේක්ෂව දරුවෝ ද අනාගතයේ විවිධාකාර පුද්ගලයන් ලෙස සමාජගතවන්නේ ය.
 
 අනතුරුව ඇතැම් දරුවෝ වුවමනාවෙන් ම සිය යුතුකම් පැහැර හරින අතර ඇතැම් දරුවන්ට විවිධ හේතු මත තම යුතුකම් ඉටුකිරීමට නොහැකි වනු ඇත. 
 
ඇතැම් දරුවෝ සිය දෙමාපියන් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් කොටස ඉටු කළ හැකිව තිබිය දී පවා එය ඉටු නොකරන අතර සිය දෙමාපියන් වෙතින් ලබාගත හැකි යමක් තිබේ නම් එය ද ලබාගන්නට වෙර දරති. 
 
ඇතැම් දරුවෝ තම දරුවන්ගේ ආවතේව කටයුතු වෙනුවෙන් ඔවුන්ගේ ම දෙමාපියෝ යොදවති. දෙමාපියන්ට ද සිය ජීවිතය ගෙවාදැමීම වෙනුවෙන් ම දරුවන්ගේ දරුවන් වෙනුවෙන් ද සිය කාලය, ශ්‍රමය මතු නොව ඇතැම් විට විශ්‍රාම වැටුප පවා වැය කළයුතු අවස්ථා එළඹේ.
 
යට කී කරුණු ඒ ඒ ආකාරයෙන් සිදුවන විට ඊට වගකිව යුත්තෝ කවුරුන් ද යන්න විසඳිය නොහැකි ගැටලුවකි. එකී ගැටලුව නිසියාකාරයෙන් අවබෝධ කරගැනීම සඳහා විමසුම් ඇසින් නැරඹිය යුතු සිනමා පටයක් ලෙස ‘‘වැලි පවුරු’’ සිනමා නිර්මාණය නම් කළ හැකි ය.
 
Welipauru Sunil Premarathne
තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනිල් ප්‍රේමරත්න
 
කතා ශාරාංශය:
 
රජයේ ලිපිකරුවකු වන සිසිර සහ ගෘහණියක වන පියුමි දියණියකගේ සහ පුතකුගේ දෙමාපිය යුවළකි. පවුලේ වැඩිමලා දියණිය යි. කාව්‍යා නම් වන ඇය ඉගෙනීමට සමත්කම් නොදක්වන්නියක වන අතර නූගත්, ත්‍රාඩ ත්‍රී රෝද රථ රියදුරෙකු සමග රහසේ පලා යන්නී ය. එහෙත් ඇට දරුවෙකු ලැබුණු පසු විවිටින් විට නිවසට පැමිණ රැගෙන යා හැකි (පොල් ගෙඩිය, කරවල, පලා කොළ ඇතුළු එළවළු යනාදි) සියලු ම දේ රැගෙන යන්නියකි.
 
කාව්‍යාගේ මල්ලී කසුන් ය. ඔහු ඉගෙනීමට සමතෙකි. පියා ද ඔහුට හොඳින් උගන්වා ඔහුගේ මිතුරකුගේ මාර්ගයෙන් රැකියාවක් ද සොයා දෙන්නේ ය. කසුන් විශ්වවිද්‍යාලයේ දී තරුණියක සමග සම්බන්ධයක් ඇති කරගනී. ඇගේ පියා සිය පවුල හැර ගොසිනි. මව ජේත්තුකාරියකි. ඇය නිරන්තරයෙන් ම මාන බලන්නේ සිය අනාගත බෑනාගේ දෙමාපියන්ගෙන් ලබාගත හැකි සියල්ල බෑනා ලවා තම පවුල සන්තක කරගැනීමට ය.
 
කසුන් විවාහ වීමෙන් ඉක්බිති සිසිර ද සිය රැකියාවෙන් විශ්‍රාම ගනී. ඔහුගේ එක ම බලාපොරොත්තුව වන්නේ වසර තිහකට අධික කාලයක් තමා සහ දරුවන් වෙනුවෙන් වෙහස මහන්සි වූ සිය බිරිඳට ද විවේකයක් ලබා දී ඉදිරි කාලය ඇය සමග විවේකයෙන් ගෙවා දැමීම ය. 
 
නමුදු ඒ සියල්ල රළ පහරට හසුවන වැලි පවුරු සේ බිඳි යන්නේ ‘‘මොනවා වුනත් ඒ අපේ දරුවොනෙ’’ යන සංකල්පය හිස දරා සිටින සිය බිරිඳගේ අවංකභාවය හේතුවෙනි.
 
රැකියාවට යාමට සහ නිවසේ ගමන් බිමන් සඳහා වාහනයක් මිලදී ගත යුතු ය යන අදහස කසුන් වෙත කා වද්දන්නේ ඔහුගෙ නැන්දම්මා ය. ඇය පවසන්නී කසුන්ගේ පියා විශ්‍රාම යන මොහොතේ ලද පාරිතෝෂිත දීමනාව ඉල්ලාගෙන වාහනයක් මිලදී ගන්නා ලෙසයි. සිසිර අකමැති වුව ද ඔහු එය කසුන් හට ලබා දෙන්නේ සිය බිරිදගේ පෙරැත්තය මත ය. ඒ, අදාළ මුදළ කොටස් වශයෙන් ආපසු ගෙවන පොරොන්දුව මත ය. නමුදු කසුන් එය වුවමනාවෙන් ම මගහරියි.
 
සේවා ස්ථානයෙන් කසුන් හට වසර එකහමාරක ශිෂ්‍යත්වයක් ලබාදෙන්නේ රැකියාවට අදාළ පුහුණුවක් වෙනුවෙනි. ඒ වෙනුවෙන් සේවා ස්ථානයෙන් ගෙවීම් සිදු කරන්නේ ඔහුට පමණි. නමුදු නැන්දම්මාගේ බලපෑම මත ඔහුට සිය පවුලම රැගෙන යාමට සිදුවන්නේ ය. ඒ සදහා මුදල් උපයාගන්නේ ඒ වන විට සිය දෙමාපියන් වෙසෙන නිවස ඔහු නමට ලියවාගෙන එය බැංකුවට උකස් කරමිනි. මේ අතර දියණිය වෙත පවරා දුන් ඉඩම ද ඔවුන් විකුණා තිබිණි. නමුදු ඔවුන් එම මුදල් යොදවා වෙනත් නිවසක් තනවා තිබුණි. කසුන් ද සිය දෙමාපියන් පදිංචිව සිටින නිවස අලෙවි කර සිය අක්කාට ද යම් මුදලක් ලබාදෙන්නේ ඇය නිහඬ කිරීම සදහා ය.
 
අවසන සිදුවන්නේ කුමක් ද...? සිසිර සහ පියුමි පදිංචිව සිටි නිවස බැංකුවට සින්න වීම ය. එතැන් සිට දිගහැරෙන්නේ දෙමාපිය යුවළ මුහුණ පාන ඛේදජනක ඉරණම ය.
 
 
 
දෙමාපියන් උගත යුතු පාඩම්
 
Welipauru 1
 
මෙම සිනමා නිර්මාණය නැරඹීමෙන් වඩාත් වටිනා යමක් උගත හැකිවන්නේ වත්මන් දෙමාපියන්ට ය; අද දරුවන් සේ සිටින අනාගතයේ දී දෙමාපියන් වීමට බලාපොරොත්තු වන තරුණ පිරිසට ය. මන් ද දෙමාපියන් දරුවන් වෙනුවෙන් සිය වගකීම් වුව ද ඉටු කළ යුත්තේ එක්තරා සීමාවක් ඇතුළත ය. 
 
සිය ජීවිතයේ දී උපයාගත් සියල්ල ම දරුවන් වෙනුවෙන් වැය කිරීම යනු ම අනාගත ඛේදවාචකයකි. සිසිර සහ පියුමි මුහුණ පාන්නේ ද එබඳු ඛේද ජනක ඉරණමකට ය. කසුන් යනු ම සැලසුම් සහගත ලෙස සිය දෙමාපියන් මහමගට ඇද දැමූ පුද්ගලයෙකි. ඒ පුද්ගලා යනු හෙට දිනයේ ඔබගේත් මගේත් දරුවා විය හැකි ය. 
 
සිසිර සහ පියුමි මුහුණපෑ ඛේදවාචකයට හෙට දිනයේ මුහුණ දෙන්නේ ඔබ හෝ මා විය හැකි ය. එය වළක්වාගත හැක්කේ කෙසේ ද?
 
 
 
දෙමාපියන් කළ යුත්තේ කුමක් ද...?
 
Welipauru 2
 
ලිපිය ආරම්භයේ දී ම පැවසු පරිදි දෙමාපියන් සතුවන්නේ වගකීමකි. එය ඉටු කළ යුතුම ය. දරුවන් ඉටුකළ යුතු වන්නේ යුතුකම් කොටසකි. එය ඉටු කළ ද නොකළ ද ඒ වෙනුවෙන් අයිතිවාසිකම් කීමට දෙමාපියන්ට නොහැකි ය. 
 
නමුදු දරුවන්ගේ නිසි වයස එළඹෙන තුරු ඔවුන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් කොටස ඉටු කිරීමට දෙමාපියෝ නීතිමය වශයෙන් ද බැඳී සිටිති. එබැවින් දෙමාපියෝ අනිවාර්යයෙන් ම ජීවිතයේ එක් නිශ්චිත මොහොතක දී දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම්වලින් නිදහස් විය යුතු ය. 
 
ඔවුන්ට ස්වාධිනව සිය ජිවිතය සකස් කරගන්නා ලෙස බලපැම් කළ යුතු ය. එසේ නොවුණ හොත් සිදුවන්නේ ‘‘මොනවා වුණත් ඒ අපේ දරුවොනෙ’’ නමැති සංකල්පය ම දෙමාපියන් වෙත පාරා වළල්ලක් සේ පැමිණීම ය. එය එසේ සිදුවීම වැළැක්වීමට නම් දෙමාපියෝ තමන්ගේ අනාගතය වෙනුවෙන් දැඩි තීරණයක් ගතයුතු ය. 
 
එම තීරණය දෙස සමාජයේ ඇතැම් පිරිස් ද්වේශයෙන් බැලිය හැකි ය. එසේ බලන කිසිවකු සිසිර සහ පියුමි මුහුණ පෑ ඛේදවාචකය පිළිබඳ සංවේදි නොවිය හැකි ය. එය වඩාත් පිළිබිඹු කෙරෙන්නේ සිසිර සිය පුතු වන කසුන්ට එරෙහිව නඩු පැවරීමෙනි. එහි දී පියුමි නිරන්තරයෙන් ම පවසන්නී ‘‘මොනව වුනත් දරුවන්ට එරෙහිව නඩු දානවද අනේ?’’ යනුවෙනි. ඒ සඳහා සිසිරගේ පිළිතුර වන්නේ ‘‘දෙමාපියන් පාරට ඇදල දාන දරුවන්ට ඔහොම කරාට පවු නෑ’’  යනුවෙනි. 
 
අවසන පියුමි සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නේ ද, සිසිර වැඩිහිටි නිවාසයකට ඇතුළු වන්නේ ද පියුමි, ඇය දැරූ සංකල්පය ම නඩත්තු කළ හෙයිනි. එක් නිශ්චිත මොහොතක දී ඇය ද සිසිර සේ ම දැඩි තීරණයකට එළඹියේ නම් ඔවුන්ගේ ඉරණම බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ-කඩ තිබිණි
 
 
 
 
දරුවන් වුව ද සැක කළ යුතු ය
 
සිය පුතු වන කසුන් රැකියාවක් ලබාගැනීමෙන් ඉක්බිති ඔහුගේ වෙනස්වීම හඳුනාගන්නා සිසිර නිරන්තරයෙන් ම කසුන් පිළිබඳ පසුවන්නේ සැකයෙනි. නමුදු පියුමි එය දකින්නේ සිසිරගේ දුර්වලතාවක් ලෙසිනි. අවසන සිසිර නිවැරැදි බව පියුමි ද වටහා ගන්නී ය. එහෙත් ඒ වන විට ඔවුන්ට අත්විය යුතු ඛේද ජනක ම ඉරණම අත්වී හමාර ය. 
 
එහි දී සිනමාකරුවා දෙමාපියන් වෙත දෙන මාහැඟි පණිවිඩය වන්නේ ‘‘දරුවන් වුව ද සැක කරන්න’’ යන්න ය. මන්ද ‘‘දෙමාපියන් කිසි දිනක සිය දරුවන් සැක නොකරන්නේ ය’’ යන සංකල්පය දරුවන් තුළ පවතින තාක් දරුවන් දෙමාපියන් පීඩනයට ලක් කරන්නේ ය; ඔවුන්ට වංචා කරන්නේ ය; ඔවුන්ගේ සියලු චංචල නිශ්චල දේපළ අනිසි ලෙස පරිහරණය කරන්නේ ය.
 
සිනමා නිර්මාණය ආරම්භයේ දී පවුලේ සාම්ප්‍රදායික ප්‍රශ්න ප්‍රේක්ෂකයා ඉදිරියේ ප්‍රදර්ශනය කෙරේ. නමුදු එහි දී වුව ද පවුලේ දරු දෙදෙනාට දෙවිදියකට සැලකීම, හිතුවක්කාර ලෙස දීග ගිය දියණිය පවුලෙන් වියුක්ත කර තැබීම යනාදිය කෙතරම් දුරට දෙමාපියන්ට අනාගතයේ දී බලපාන්නේ ද යන්න මැනවින් ඉදිරිපත් කර ඇත.
 
‘‘වැලි පවුරු’’ පිළිබඳ ලිවීම අවසන් කරන්නට පෙර යළිත් පවසන්නේ මෙය, වත්මන් දෙමාපියන් විසින් ද අනාගතයේ දෙමාපියන් වන්නට බලාපොරොත්තු වන තරුණ පිරිස් විසින් ද නැරඹිය යුතු ම සිනමා නිර්මාණයක් බවයි. තව ද, වැඩිහිටියන් විසින් ඉටු කරනු ලැබ යුත්තේ වගකීම් වුව ද එහි දී වුව ද සීමාවක් පනවාගත යුතු බව ද මෙම සිනමා නිර්මාණය තුළින් ප්‍රකට කෙරේ.
 

Welipauru 3

 
සිනමා නිර්මාණයට දායක වූවෝ:
 
නිෂ්පාදනය - ධම්මික අතපත්තු
 
තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනිල් ප්‍රේමරත්න
 
රංගනය - මහේන්ද්‍ර පෙරේරා. දිල්හානි ඒකනායක, සුර්යා දයාරුවන්, නෙතලි නානායක්කාර, කුමාර තිරිමාදුර, ගයත්‍රී ඩයස්, මේනකා පීරිස්
 
 
 
Weli Pawuru :වැලි පවුරු (2019) සම්පූර්ණ චිත්‍රපටය
 

 
Jayasiri Alawaththa(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
2021/02/19
  
 
 
කියවන්න :
 
 
 
 
 
 

 

 


 

 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

සනා පෝලිම කඩන් එන්නත ගහගෙන.. ඇමතිවරු දෙන්නෙක් ගෙදර? ජනතාව අම්බානක සතුටින්...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...