දෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ 37 වැනි දිනය වු අගෝස්තු 29 වැනි සිකුරාදා හවස් යාමය වන විට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් තවත් පුද්ගලයන් දස දෙනකුට අයත් අස්ථි අලුතින් මතු කරගත් බව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් පවසයි.
ඊයේ දිනයේ හදුනාගත් පුද්ගලයන් දෙදෙනකුට අයත් මිනිස් අස්ථි එකිනෙකට සබැදිව පවතින ආකාරයක් නිරීක්ෂණය වු බව නීතිඥයා වැඩි දුරටත් සදහන් කළේය.
" එක් කෙනකුගේ ඔලුව අනික් එක්කෙනාගේ පපුවේ තියාගෙන ඉන්නවා වගේ පෙනෙනවා "
චෙම්මනි සමුහ සුසාන සංකීර්ණයෙන් මේ වන විට කුඩා දරුවන්ගේ ඇතුළු පුද්ගලයන් 174 දෙනකුට අයත් ඇටසැකිලි ගොඩ ගෙන තිබේ.
දෙවැනි අදියරේ කැනීම් කටයුතු දින 32 ක් පුරා සිදු කිරීමෙන් පසු කැනීම් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා දීම සදහා අගෝස්තු 06 වැනිදා සිට විමර්ශන කටයුතු තාවකාලිකව නතර කරන විට සමූහ සුසානයේ කරන ලද කැනීම්වලින් කුඩා දරුවන්ගේ ඇතුළු පුද්ගලයන් 150 දෙනෙකුට අයත් ඇටසැකිලි ගොඩ ගෙන අධිකරණයට බාර දී තිබු තිබුනි.
දින දහ අටක විවේකයෙන් පසු සමූහ සුසාන සංකිර්ණයේ කැනීම් කටයුතු යළි ආරම්භ කර තිබුනේ අගෝස්තු 25 වැනිදායි.
සමූහ මිනීවල පිහිටි සිද්ධුපත්ති සුසාන භුමියේ ඉදිකිරීම් කටයුත්තක් සිදු කිරීමට යෑමේදී 2025 වසරේ පෙබරවාරි 13 වැනිදා මිනිස් අස්ථියක් හමුව තිබු අතර එම අස්ථි කොටස් පරීක්ෂාව සඳහා යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් සමග පැමිණි මහේස්ත්‍රාත් ඒ ඒ ආනන්දරාජා විසින් ඒවා මිනිස් සිරුරු කොටස් දැයි විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට භාරදෙන ලෙස පෙබරවාරි 20 වැනිදා පොලිසියට නියෝග කර තිබුනි.
අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.





