කෝටි 12 ලබා ගන්නා විට විජයදාස රාජපක්ෂත් ඩුබායි හි සිටි බව ආගමන විගමන දත්තවලින් තහවුරු වෙයි
ලක්ෂ 200ක් ආපසු දී ඇත්තේ විජයදාස රාජපක්ෂ ට අයත් නාවල නිවසේදී බව අල්ලස් කොමිසම කියයි
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව පැවසෙන 'හරක් කටා' ට බන්ධනාගාරය තුළ පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා එළැඹෙන ජූලි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (03) නියෝග කළේය.
සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, ඔවුන් නිදහස් කිරීමට තරම් සුවිශේෂී නීතිමය කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බව ප්‍රකාශ කළේය.
විජයදාස රාජපක්ෂ පිළිබඳව ඇරඹුණු නව විමර්ශනය
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂිකා අනුෂා සම්බන්ධප්පෙරුම , අද අධිකරණය හමුවේ කරුණු දක්වමින් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත එල්ල වී ඇති සැකය පිළිබඳව සුවිශේෂී අනාවරණයක් කළාය.
ඩුබායි සංචාරය:
සැකකරුවන් තිදෙනා අදාළ අල්ලස් මුදල ලබා ගැනීම සඳහා ඩුබායි බලා ගොස් ඇති අතර, එම කාල සීමාව තුළදීම විජයදාස රාජපක්ෂ ද ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු දත්ත මඟින් තහවුරු වී ඇත. ඔහු 2023 මාර්තු 21 සිට මාර්තු 28 දක්වා එහි සිට ඇති අතර, මෙම සිද්ධියට ඔහුගේ ඇති සම්බන්ධතාව පිළිබඳව වෙනමම විමර්ශනයක් අරඹා තිබේ.
නාවල නිවසේ ගනුදෙනුව:
මෙම සිද්ධියට සම්බන්ධ ලසන්ත මංජුල සිල්වා නැමැති පුද්ගලයාට නැවත ලබා දී ඇති රුපියල් ලක්ෂ 200ක මුදලක් හුවමාරු වී ඇත්තේ නුගේගොඩ, නාවල පාරේ, විජයබා මාවතේ පිහිටි නිවසකදීය. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම නිවස ද හිටපු ඇමති විජයදාස රාජපක්ෂ ට අයත් එකක් බවයි.
'හරක් කටා' වෙනුවෙන් ඉල්ලූ පහසුකම්:
රඳවුම් භාරයේ පසුවන නදුන් චින්තක නොහොත් 'හරක් කටා' නැමැති අපරාධකරු රඳවා සිටින ස්ථානය වෙනස් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඔහුව ඝාතනය කිරීමෙන් වැළැක්වීමට සහ තවත් පහසුකම් කිහිපයක් සැලසීම සඳහා මෙම සැකකරුවන් කෝටි 50ක අල්ලසක් මුලින් ඉල්ලා ඇතැයි අධිකරණයේදී පැවසිය.
පසුව එය කෝටි 20 දක්වා අඩු කර, ඉන් කෝටි 12ක අත්තිකාරම් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයාගේ පුත් රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුෂහැන්නදිගේ යන තිදෙනා පසුගිය ජුනි 25 වනදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මේ සම්බන්ධයෙන් වූ හඬපට කිහිපයක් ද මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.




