“අනුර කුමාරගේ දෙවසරක ආණ්ඩු පාලනය, මහින්ද රාජපක්ෂගේ අවුරුදු 09ක පාලන කාලයට වඩා දූෂිත යැයි” මීට සතියකට පමණ ඉහතින් “ලංකා වොයිස්” යූටියුබ් නාලිකාවෙහි කුලශ්‍රී කාරියවසම් සමග වූ සංවාදයකදී මම කීවෙමි. “මොකාද එහෙම කියන්නේ?” යැයි බොහෝ දෙනෙකු මට එරෙහිව සමාජ මාධ්‍ය ජාලවල අවි අමෝරා ගෙන ඇතැයි, හිතවතුන් කිහිප දෙනෙකු ඒවායේ “තිර ඡායාරූප” මට එවූහ (ෆේස්බුක්වල මා නැත).
සතියක් යන විට ඒවායේ සැර මඳක් බාල වූ නමුත් තවමත් විපරම් කිරීම් කෙරෙන්නේ යැයි මට හැඟුණේ, ආචාර ධර්ම වලට ගරු කරමින් තම මාධ්‍ය කටයුතුවල යෙදෙන අත්දැකීම් බහුල, ගවේෂණාත්මක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක්, මා ඇත්තටම එලෙස කීවේදැයි ඊයේ (ඔක්. 04) උදයේ මගෙන් විමසීමක් කළ විටය. රාජපක්ෂලාට වඩා නොව, අනුර කුමාරලාගේ දෙවසරක පාලනයෙහි සොරකම්, වංචා දූෂණ කොහෙත්ම තිබෙන්නට නොහැකි යැයි වූ ලොකු විශ්වාසයක් ඇයගේ ප්‍රශ්න කිරීමෙහි තිබිණ.
“ඔව්, මම එලෙසින්ම කිව්වා” යැයි එසැණින් ඇයට යැවූ කෙටි පිළිතුර මා අවසන් කළේ, “මේවායේ වෙනස ඇත්තේ සුළඟේ යන කතා සහ පාර්ලිමේන්තුවේ කෙරෙන චෝදනා අතර වෙනසයි” යනුවෙනි.
මැතිවරණ වේදිකාව සහ පාර්ලිමේන්තුව අතර වෙනස
ඒ කෙටි පිළිතුර මඳක් පැහැදිලි කිරීමේ වැදගත්කමක් ඇතැයි සිතමි. දේශපාලන නායකයින්ට, දේශපාලන පක්ෂ වලට එරෙහිව මැතිවරණ වේදිකාවල නගන චෝදනා සහ පාර්ලිමේන්තුවෙහි නගන චෝදනා අතර සැලකිය යුතු වෙනසක් ඇත. මැතිවරණ වේදිකාවල සිට නගන චෝදනා ජනතාවට සෘජුව ඉදිරිපත් කෙරෙන හෙයින් ඒවායේ සමාජ බලපෑම වැඩි විය හැක්කේ ඒවා කියනු ලබන්නේ ආකර්ෂණීය කතා ලෙසින් වීමෙනි.
මැතිවරණයෙන් පසු ඒ නැගූ චෝදනා ඒවා කියූ අයටත් ඇසූ අයටත් අමතකව ගියත් සමාජ මත හැදෙන්නට ඒවායින් ලොකු දායාදයක් කෙරෙති. “සුළඟේ යන කතා” යැයි මා කීවේ එවැනි කතාවලටය.

නිදසුන් දෙක තුනක් ගතහොත් මැතිවරණ වේදිකාවල මහින්ද රාජපක්ෂට එරෙහිව “උගන්ඩා ඩොලර්” ගැන කතා, චීන සමාගමක් මහින්දට කොමිස් ගෙවූ චෙක්පත් අංක අනුර කුමාර සතුව ඇතැයි කියූ කතා, රාජපක්ෂ දූෂණ සම්බන්ධ සියලු තොරතුරු අඩංගු ලිපි ගොනු යැයි වීල් බැරැක්ක පුරවා ගෙනැවිත් වේදිකාව මත ගොඩ ගසා කියූ කතා එවැනිය. දැඩි රාජපක්ෂ විරෝධයක් සමාජගත කිරීමට දායක වී ඒවා දැන් සුළඟේ ගොසින් ය.
පාර්ලිමේන්තු නිල වාර්තාවල සටහන් වන චෝදනා
පාර්ලිමේන්තුවෙහි චෝදනා නැගීමට යම් තොරතුරක්, විස්තරයක් තිබිය යුතුය. අවම තරමින් “මෙහෙම කතාවක් තියෙනවා. මේ ගැන පරීක්ෂණයක් කරන්න” යැයි ඉල්ලීමක් කිරීමට තරම් හෝ විස්තරයක් තිබිය යුතුය. එබැවින් පාර්ලිමේන්තුවේ කෙරෙන චෝදනා පරීක්ෂා කළත් නොකළත්, පරීක්ෂණ වාර්තා ප්‍රසිද්ධ කළත් නොකළත් එලෙස කෙරෙන චෝදනා නිල වාර්තාවලට ඇතුළු වන්නේය. මැතිවරණ වේදිකාවලදී රසකර කියන දූෂණ කතා සඳහා නොවන වගකීමක් එනිසා පාර්ලිමේන්තුවේ කෙරෙන චෝදනා සතුව ඇත.
ඒ සම්බන්ධ නිදසුන් අවශ්‍ය නම්, ජවිපෙ/මාලිමා ආණ්ඩුවේ ඉකුත් වසර දෙක තුළ අප්‍රකාශිත සහ වටිනාකම් ප්‍රකාශ නොවුණු කවර හෝ භාණ්ඩ රැගත් බහළුම් 323ක් හදිසියේ රේගුවෙන් නිදහස් කිරීම සම්බන්ධව කෙරුණු චෝදනා, නොරොච්චෝලේ බලාගාරයට ගෙන්වූ බාල තත්ත්වයේ ගල් අඟුරු, මහ භාණ්ඩාගාරයේ ඩොලර් බිලියන 02.5ක් හොරා ගත් හැකර්ලා ගැන කතා, තැපැල් දෙපාර්තමේන්තුවේ ඩොලර් අවගමන් යෑම, සහල් ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවීමේ මගඩි වැනි සියල්ල පාර්ලිමේන්තුවේ කතා කෙරුණු හෙයින් ඒ චෝදනා වාර්තාගතව ඇත. ඒවා සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කිරීමට තරම් ප්‍රමාණවත් තොරතුරුද ඇත.
යටපත් කෙරුණු පරීක්ෂණ සහ දේශපාලන ප්‍රතිචාර
බහළුම් 323 සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණ දෙකක් ඇත. එහෙත් ඒ වාර්තා ප්‍රසිද්ධ කර නැත. බාල තත්ත්වයේ ගල් අඟුරු ගැන සැලකිය යුතු තොරතුරු සංඛ්‍යාවක් හා ලිපි ලේඛන ප්‍රමාණයක් විපක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණ. විපක්ෂයේ හා සමාජ ක්‍රියාකාරීන්ගේ බලපෑම් හේතුවෙන් බාල තත්ත්වයේ ගල් අඟුරු ප්‍රසම්පාදන පරීක්ෂා කිරීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කරන්නට සිදුවූ අතර, මාලිමා ආණ්ඩුවේ අභ්‍යන්තර බලපෑම් හේතුවෙන් බලශක්ති ඇමතිවරයාට හා අමාත්‍යාංශ ලේකම්ට ඉල්ලා අස්වීමට සිදු විය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන දූෂණ චෝදනා සුළඟේ නොයන දූෂණ ගොන්නට අයත් වූවත් මැතිවරණ සමයේ ජවිපෙ/මාලිමාව අවංක පිරිසිදු දේශපාලනයක් යැයි සමාජයේ තහවුරු කළ මතය වෙනස් වීමට ඒ චෝදනා හේතු නොවුණි.
මේ නැගෙන දෙවර්ගයක චෝදනා අතරින් සමාජ මත හැදෙන්නට වැඩි බලපෑමක් කෙරෙන්නේ “සුළඟේ යන කතා” යැයි ඔබ නොසිතනු ඇත. එහෙත් සත්‍යය එයයි.
මැදපංතික මනෝභාවය සහ දත්ත රහිත විශ්වාසය
එයට ප්‍රධානම කාරණය නම්, මේ සමාජයේ මත හැදෙන්නේ “විශ්වාසය” මත වීමය. තාර්කික විමසීම් මත නොවීමය. අපගේ ආර්ථිකය බංකොලොත් වූයේ රාජපක්ෂලා මුදල් සොරකම් කළ නිසා යැයි ජවිපෙ/මාලිමා වේදිකාවල රසකර බර දමා කියන විට, “සත්‍යය” එය යැයි විශ්වාස කිරීමට සැබෑ සාධක, සැබෑ දත්ත අවශ්‍ය නොවුණි. සාමාන්‍ය ජනයාට පෙර ඒ කතා විශ්වාස කළේ නාගරික මැදපංතිකයින්ය.
ඒ සමග ඔවුන් වගාකර ගත්තේ රාජපක්ෂ වෛරයකි. “මුන්ගෙ හොරකම් නිසා අපට කෙළ වුණා” යැයි මැදපංතිකයින් අතර රාජපක්ෂ විරෝධය, වෛරයක් ලෙස වගා වුණි. ඔවුන්ගේ විභාග සහතික, උසස් තනතුරු, වෘත්තීය අත්දැකීම් සියල්ල නොතකා සමස්ත ආර්ථිකයම රාජපක්ෂලාගේ සොරකම් නිසා විනාශ වුණැයි කීමට ඔවුන්ට අවශ්‍ය වූයේ දත්ත, සාධක නොව, රාජපක්ෂලා සොරකම් කළේ යැයි විශ්වාස කළ හැකි කතා පමණි.

ඔවුනට අමතරව සාමාන්‍ය ජන මනසට ගැලපෙන තවත් කතා සමහර ජවිපෙ/මාලිමා නායකයින් ප්‍රසිද්ධ වේදිකාවල කීහ. දියමන්ති ඇල්ලූ කරපටි පැළඳි රාජපක්ෂලාගේ බල්ලන් ගැන, ඩේසි ආච්චිගෙන් ලැබුණු මැණික් මළු ගැන, ධාවන තරග සඳහා රාජපක්ෂ පුත්‍රයින් ගෙන්වා ගත් ලැම්බෝගිනි වාහන ගැන කියූ රස කතා සංස්කරණයකින් තොරව විශ්වාස කළවුන්ට අමතරව, ඒවා බේගල් යැයි නොකියා සිටි නාගරික මැදපංතික වියතුන්ද ඇත. රාජපක්ෂ පෙළපතම හොරුන් දූෂිතයින් යැයි සමාජ පිළිගැනුමකට ලක් කෙරුණේ සුළඟේ ගිය එවැනි කතා මගිනි.
පාරිභෝගික සමාජය සහ අන්ධ විශ්වාසයේ උගුල
ඊළඟ මැතිවරණය සඳහා මහන්සි නොවී විකල්පයක් සොයා ගැනීමේදී නාගරික මැදපංතික වියතුන් විසින් තෝරා ගත් ජවිපෙ/මාලිමාව “පිරිසිදු අවංක” දේශපාලකයින් ලෙස බාර ගැනීමත් ඔවුන් කියූ සියල්ල විමසා බැලීමකින් තොරව විශ්වාස කිරීමත් අනෙක් හේතුව විය. ඒ සියල්ල සාරාංශගත කළහොත් මේ සමාජය උගතුන් නූගතුන් යැයි වෙනසක් නැතිව, පදනමක් තර්කයක් නොමැති “අන්ධ විශ්වාස” මත සමාජ මත හදා ගන්නා සමාජයකි.
එවැනි සමාජයක් ප්‍රවර්ධනය කෙරෙන්නේ විවෘත වෙළඳපළ ආර්ථිකයෙහි තරගකාරී පාරිභෝගික සමාජයක් තහවුරු කිරීමත් සමගින්ය. මේ පාරිභෝගික සමාජයේ උගතුන් නූගතුන් යැයි වෙනසක් නැත. ඔවුන් හැමගේ දෛනික පරිභෝජනය තීන්දු කරන්නේ වෙළඳ ප්‍රචාරක දැන්වීම් විසින්ය. අතීතයේ මඟුල් මේසය මැද සැරසිල්ලක් ලෙස තැබූ රෝස් කුකුළා අද හැම නිවෙසකම “බ්‍රොයිලර්” යැයි දෛනිකව මෙන් ආහාරයට ගැනෙන්නේ සමාජය විසින් වෙළඳ ප්‍රචාරක දැන්වීම් “විශ්වාස” කරන තරම කියා පෑමෙනි.
විමසිලිමත්කම සහ දැනුවත් සමාජයක අවශ්‍යතාව
අන්ධ විශ්වාස සමගින් ජීවත් වනවා වෙනුවට තාර්කිකව නිවැරදි තොරතුරු මත සමාජ මත සාකච්ඡාවට ගන්නා දැනුවත් සමාජයක් අප හදා ගත යුතුව ඇත. දේශපාලන නායකත්වයන්ට එවැනි දැනුවත්, තර්කානුකූලව සිතන පතන සමාජයක් අවාසි විය හැක. එහෙත් “විශ්වාස” කිරීමට පෙර විමසා බැලිය යුතු යැයි සමාජයට කියා දිය යුතුව ඇත.
විමසිලිමත්කම යනු ඕපාදූප සෙවීම නොවන බවත් දැනුවත්කම යනු ඕනෑම දෙයක් තර්කානුකූලව තේරුම් ගැනීමේ භාවිතය බවත් උගතුන්ට, විද්වතුන්ට හා වෘත්තිකයින්ටද කිව යුතුය.
2026 ඔක්තෝම්බර 04 වන දින




