BREAKING
Top Ad
Opinion

අප ඉන්නේ බුද්ධිමය දරිද්‍රතාවයක නිසා අපට ඉන්නේ 'බුද්ධිමය අඟුටුමිට්ටෝ' | කුසල් පෙරේරා

T

The Leader

September 30, 2026 • 9:12 AM

අප ඉන්නේ බුද්ධිමය දරිද්‍රතාවයක නිසා අපට ඉන්නේ 'බුද්ධිමය අඟුටුමිට්ටෝ' | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලිමාවේ දූෂණ හා රාජ්‍ය බලය පිළිබඳ සාවද්‍ය තර්ක හෙළිදරව් කරමින්, මෙරට මුහුණ දී ඇති බරපතළ බුද්ධිමය දරිද්‍රතාව කුසල් පෙරේරා විග්‍රහ කරයි.
  • මා සඳහන් කෙරුවේ ජ.වි.පෙ/මාලිමා පාලනයෙහි ප්‍රසම්පාදන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පවා ප්‍රශ්න කෙරුණු, තොරතුරු ඉදිරිපත් කෙරුණු චෝදනා ගණනාවකි.
  •   ෆේස්බුක් ගිණුම් ඇත්තන්ගේ උදහසට මා ගොදුරු කෙරුණේ මාලිමා ආණ්ඩුව ඒ අනුව, රාජපක්ෂ පාලනයටද වඩා දූෂිත යැයි වූ මගේ නිරීක්ෂණය විය.
  • රාජ්‍ය යාන්ත්‍රණය සැකසෙන්නේ හමුදා, පොලීසි, බන්ධනාගාර, රාජ්‍ය පරිපාලනය සහ අධිකරණය එකට ගත් විට යැයි විස්තර කර, මා කියුවේ මේ හැම රාජ්‍ය ආයතනයක්ම ඇමතිවරයෙකු යටතේ, ඇමතිවරයාගේ විධානයට යටත්ව පැවැත්වෙන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඉකුත් ඉරිදා සවස “ලංකා වොයිස්” යූටියුබ් නාලිකාවේ කුලශ්‍රී සමග මා කළ සාකච්ඡාවක් කුලශ්‍රී විසින් ෆේස්බුක්හි පළ කළ පසු, ෆේස්බුක් ගිණුම් ඇති සැළකිය යුතු සංඛ්‍යාවක් ඉමහත් කලබලයට පත්ව ඇතැයි සමීපතම සගයන් මා සමග කීවේ, මට ෆේස්බුක් ගිණුම් කිසිත් නොමැති බව දන්නා බැවිනි. මවෙත එල්ල කෙරුණු ඔවුන්ගේ වෛරයට හේතු කෙටියෙන් කිවහොත් එම සාකච්ඡාවේ ප්‍රධාන කාරණා දෙකක් විය. එකක් මේ මාලිමා ආණ්ඩුවේ අවුරුදු 02 ක පාලනය ගැන මගේ අදහස් දැක්වීමේදී මූල්‍ය වටිනාකම් මත දූෂණ චෝදනා කතා කරන්නේ නම්, වරායෙන් අතුරුදහන් වූ බහළුම් 323 ත් නොරොච්චෝලෙ බලාගාරය සඳහා ආනයනය කළ ගල් අඟුරු නැව් තොග 20 ක පමණ පාඩුවත් අනෙක් දූෂණ චෝදනාද එකතු වූ විට, ඒ සමස්ථය අවුරුදු 09 ක රාජපක්ෂ පාලනයේ දූෂණ වලට වඩා වැඩි යැයි මම කීවෙමි.

 

මාලිමා ආණ්ඩුවේ දූෂණ සහ මනඃකල්පිත චෝදනා

 

ඒ සම්බන්ධව එක කාරණයක් අවධාරණය කළ යුතුය. මැතිවරණ සමයේ රාජපක්ෂලාගේ යෝධ දූෂණ යැයි මාලිමා වේදිකාවේ ඉදිරිපත් කෙරුණේ “උගණ්ඩා ඩොලර” වැනි මනඃකල්පිත චෝදනා ගොන්නකි. මා සඳහන් කෙරුවේ ජ.වි.පෙ/මාලිමා පාලනයෙහි ප්‍රසම්පාදන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පවා ප්‍රශ්න කෙරුණු, තොරතුරු ඉදිරිපත් කෙරුණු චෝදනා ගණනාවකි. මනඃකල්පිතයන් නොවේ.

 

ෆේස්බුක් ගිණුම් ඇත්තන්ගේ උදහසට මා ගොදුරු කෙරුණේ මාලිමා ආණ්ඩුව ඒ අනුව, රාජපක්ෂ පාලනයටද වඩා දූෂිත යැයි වූ මගේ නිරීක්ෂණය විය.

 

මැතිවරණයකින් වාමාංශික පක්ෂ බලයට පත්වීමේ ඓතිහාසික සත්‍යය

 

දෙවැන්න වූයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු වන දන්ත වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ඊට දින කිහිපයකට පෙර ඔවුන්ගේ තරුණ සමුළුවක් අමතා ආණ්ඩු බලය හා රාජ්‍ය බලය ගැනත් වාමාංශික පක්ෂයක් ලෙස ඔවුන් ලෝකයේ පළමු වරට ඡන්දයකින් බලයට පැමිණියේ යැයි කළ සඳහනත් මුළුමනින් වැරදි තොරතුරු හා වැරදි තර්ක යැයි, මා කරුණු සහිතව සහ න්‍යායිකව කළ පැහැදිලි කිරීමය.

 

චිලියේ සල්වදෝර් අයන්දෙ ඔහුගේ සමාජවාදී පක්ෂය සමග චිලියානු කොමියුනිස්ට් පක්ෂයත් තවත් වාමවාදී පක්ෂ කිහිපයකුත් හවුල් කරගත් වාම පෙරමුණකින් 1971 බලයට පැමිණි බවත් ඉන්පසු 2003 සිට බ්‍රසීලයේ ජනාධිපති ලෙස කිහිප වරක් තේරී පත්වූ ලුලා ඩා සිල්වා සහ ලතින් ඇමෙරිකාවේ හොසෙ මුහිකා වැනි ඡන්දයෙන් බලයට පැමිණි වාමාංශික දේශපාලන නායකයින්ද මතක් කරමින් දෙවන වරටත් ස්පාඤ්ඤයේ අගමැති ලෙස පත්ව ඉන්නා පෙඩ්රො සන්චෙස් සහ මීට සියවසකට පමණ පෙර බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය ආණ්ඩු බලයට පත්වූ බවත් කීවෙමි.

 

dwarf2 260930

 

ආණ්ඩු බලය සහ රාජ්‍ය බලය අතර වෙනස

 

අනතුරුව “ආණ්ඩුව” සහ “රජය” යන බල කේන්ද්‍ර ගැන විස්තර කරමින් කියුවේ, රජය හැම විටම, ආණ්ඩු බලය විසින් මෙහෙයවන, ඇමතිවරුන්ගේ විධාන යටතේ ක්‍රියාත්මක වන්නක් යැයි කියාය. රාජ්‍ය යාන්ත්‍රණය සැකසෙන්නේ හමුදා, පොලීසි, බන්ධනාගාර, රාජ්‍ය පරිපාලනය සහ අධිකරණය එකට ගත් විට යැයි විස්තර කර, මා කියුවේ මේ හැම රාජ්‍ය ආයතනයක්ම ඇමතිවරයෙකු යටතේ, ඇමතිවරයාගේ විධානයට යටත්ව පැවැත්වෙන බවය. මැතිවරණයකින් වූවත් ආණ්ඩු බලය ලැබුණු පසු රාජ්‍ය බලය ගැනීමේ වෙනත් කතා එනිසා නැති බවය. එවැනි දේශපාලන අවබෝධයක් අද බහුතරයකට නැතැයි වූ මගේ සමාජාවබෝධය මා කැටිකර කියුවේ, දැන් ඉන්නේ Intellectual Midgets, සිංහලෙන් නම් “බුද්ධිමය අඟුටුමිට්ටෝ” යැයි කියා ය.

 

'බුද්ධිමය අඟුටුමිට්ටෝ' සහ ෆේස්බුක් ප්‍රතිචාර

 

මා සමග කළ එම යූටියුබ් සාකච්ඡාව කුලශ්‍රී ඔහුගේ ෆේස්බුක් ගිණුමට එකතු කළ පසු, ශිරාල් ලක්තිලකට මේ යෙදුම අපූරු යෙදුමක් ලෙස හසුව ඇත. ඒ හේතුවෙන් ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරය වූයේ “Intellectual Midgets, - බුද්ධිමය අඟුටුමිට්ටෝ. මරු සංකල්පයක්. කාටද අදාල? මම නෙවෙයි, කුසල් පෙරේරා තමයි එළිදක්වන්නේ” යන්න ය.

 

ෆේස්බුක් ගිණුම්වල කෙරෙන සඳහන් කිරීම් වලට මට ප්‍රතිචාර දැක්විය නොහැකි හෙයින් මෙය ලියන්නේ මාගේ මිතුරන් දෙතුන් දෙනෙකු එවා ඇති ෆේස්බුක් සටහන් කිහිපයක “තිර ඡායාරූප” කිහිපය සම්බන්ධව පමණි.

 

සමාජ මාධ්‍ය ප්‍රහාර සහ 'ෆේස්බුක් මුඩුක්කුවාසීන්'

 

ශිරාල් ගේ ප්‍රතිචාරයෙහි මට ලැබුණු “තිර ඡායාරූපයේ” වූයේ ඔහුට ප්‍රතිචාර දැක්වූ පළමු දෙදෙනාගේ ප්‍රතිචාර පමණි. ඉන් දෙවැන්නා මා ඉතා හොඳින් දන්නා සුමිත් චාමින්ද ය. ලොකුවට සිනහවන ඉමෝජි කිහිපයක් අගට යෙදුණු ඉංග්‍රීසි ගඅකුරු වලින් ඔහුගේ සටහන සිංහලෙන් වූයේ, “කුසල් තමයි බුද්ධිමය යෝධයා” යන්න ය. ඔහුගේ ප්‍රතිචාරයේ වන උපහාසයෙන්ම ඔහු එක් කාරණාවක් සනාථ කරන්නේය. “බුද්ධිමය අඟුටුමිට්ටෝ” වෙන කිසිවක් නොවුනත් තමන් ගැන දනිති.

 

මට ලැබුණු තවත් “තිර ඡායාරූපයක” කපිල එම්. ගමගේ තබා තිබූ සටහන වූයේ “කුසල් වගේ කෙනෙක් මේ මට්ටමට වැටෙනවා කියන්නෙම, හිතා ගන්න බැහැ” යන්න ය. ඔහුගේ ප්‍රතිචාරය පටලැවිල්ලකි. “කුසල් වගේ කෙනෙක්....” යැයි ඔහු කියන්නේ කවරෙකු වගේ කෙනෙකු ගැනද? මට එය තේරෙන්නේ නැත. අනෙක “මේ මට්ටමට” යැයි ඔහු කියන “මට්ටම” කුමක්ද?

 

මට හිතවතුන් කියූ අයුරු, සිය ගණනකටත් වැඩි අති බහුතරයකගේ ප්‍රතිචාර “තිත්ත කුණුහරුප” ය. එළෙස ප්‍රතිචාර දක්වා ඇත්තේ කවර කාරණයක් සම්බන්ධයෙන්දැයි තෝරා බේරා ගැනීමටත් නොහැකි යැයි හිතවත්හු කීහ. එම ෆේස්බුක් ගිණුම් නඩත්තු කරනවුන් ගැන මට කියන්නට ඇත්තේ කුණුහරුප කීමෙන් තෘප්තියක් ලබන්නේ නම්, ඔවුන් “ෆේස්බුක් මුඩුක්කුවාසීන්” (FB Slum Dwellers) යැයි කියා ය.

 

dwarf4 260930

 

වත්මන් තරුණ පරපුර සහ අතීත දේශපාලන ඉතිහාසය

 

අවසන් වශයෙන්, දැන් ඉන්නේ “Intellectual midgets, - බුද්ධිමය අඟුටුමිට්ටෝ” යැයි මා කීවේ මන්දැයි පැහැදිලි කළ යුතු යැයි සිතමි. වත්මන් තරුණ පරපුර යැයි හඳුනා ගනු ලබන වයස අවුරුදු 30-35 පමණ වන පිරිස, අවුරුදු 76 ක් පැරැණ්නෝ රට කෑවා යැයි කෑ කොස්සන් ගැසුවාට, නිදහස ලැබූ දින සිට අවුරුදු 76 ක දේශපාලන හා සමාජ ඉතිහාසය දන්නේ නැත. “ජේ.ආර්” ගැන, “ජනාධිපති ජයවර්ධන” ගැන යම් යම් මෑත කාලීන දේ අසා තිබෙන්නට පුළුවන. එහෙත් ඔහුගේ එ.ජා.ප දේශපාලනයත් ආණ්ඩු පාලනයේ දායකත්වයත් ජාත්‍යන්තර හා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමත් මේ තරුණ පරම්පරාව නොදන්නා බව නම් කිව යුතුය.

 

නිදහසින් පසු බිහිවූ මෙරට බුද්ධිමය යෝධයින්ගේ යුගය

 

එළෙසින්ම, නිදහස් ලංකාවේ පළමු අගමැති, එ.ජා.පයේ ආරම්භක නායක ඩී.එස්. සේනානායක, පළමු පාර්ලිමේන්තුවේ පළමු විපක්ෂ නායක සමසමාජ පක්ෂයේ නායක, දේශපාලන හා ආර්ථික විද්‍යාඥ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා, 1935 දී සිංහල මහ සභාව ආරම්භ කළ ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයයේ උපාධිධාරී එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක, 1944 දී සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය ලෙස පළමු දෙමළ දේශපාලන පක්ෂය පිහිටවූ ලන්ඩන් විශ්ව විද්‍යාලයයේ කිංස් කොලේජ්හි නීති උපාධිධාරියෙකු වූ රාජ නීතිඥ ජී.ජී. පොන්නම්බලම්, සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයෙන් වෙන්ව 1950 දී ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂය පිහිටුවීමේ පුරෝගාමී කාර්යක් කළ ලන්ඩන් විශ්ව විද්‍යාලයයේ නීත උපාධි එස්. ජේ. වී. චෙල්වනායකම්, 1952 දී මුදල් ඇමති ජයවර්ධනත් වොෂිංටන් පාලනයත් විරුද්ධ වූ චීනය සමග ඓතිහාසික රබර් සහ සහල් හුවමාරු ගිවිසුම අත්සන් කළ වාණිජ අමාත්‍ය ආර්.ජී. සේනානායක, ඉලිනෝයි විශ්ව විද්‍යාලයයේ උපාධිධාරී, සමසමාජ පක්ෂයේ පුරෝගාමී සාමාජිකයෙකු වූ ලංකාවේ ග්‍රාමීය සමාජයේ විප්ලවීය වෙනසක් කරමින් විශාල විරෝධතාවක් නොතකා 1958 අංක 01 දරණ කුඹුරු පනත සම්පාදනය කර සම්මත කරගත් පිලිප් ගුණවර්ධන, ලංකාවේ අපරාධ නීති සම්බන්ධ විශාරදයෙකු ලෙස සැළකුණු සමසමාජ පක්ෂයේ පුරෝගාමී නායකයෙකු වූ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක්ද ලබා ගත් කොල්වින් ආර්. ද සිල්වා වැනි 60 දසකයටද එනතෙක් ප්‍රධාන දේශපාලන ධාරාවේ බුද්ධිමය යෝධයින් පෙළක් ඇත.

 

dwarf5 260930

 

කලා, සාහිත්‍ය සහ වෘත්තීය ක්ෂේත්‍රයේ අද පවතින හිඩැස

 

දේශපාලනයේ පමණක් නොව, අනෙක් හැම ක්ෂේත්‍රයකම එවැනිය. වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ එම්.ජී.මැන්ඩිස්, පෑලිස් සේරසිංහ, ඩී.ජී. විලියම් වැනි ප්‍රතාපවත් නායකයින් සමග එක පෙළට සිටවිය හැකි කිසිවකු අද නැත. සුනිල් සාන්ත, අමරදේව, කේමදාස මාස්ට, සෝමදාස ඇල්විටිගල වැන්නන් සමග සම කළ හැකි කිසිවකු අද නැත. සරච්චන්ද්‍ර ලා, සිරි ගුණසිංහලා අද නැත. මාර්ටින් වික්‍රමසිංහ ලා, ජී.බී. සේනානායකලා අද නැත. මාර්ටින් වික්‍රමසිංහගේ “සත්ව සංහතිය” කෘතිය කියවූ සිංහල ගුරුවරයෙකු සිටිත්දැයි නොදනිමි. ජී.බී. සේනානායකගේ “වරදත්ත” නැතිනම් “දුප්පතුන් නැති ලෝකය” කියවූ මන්ත්‍රීවරයෙකු අද පාර්ලිමේන්තුවේ සිටිත්දැයි නොදනිමි. මේ රටේ 50 දසකයේ සිටි ඉහතින් නම් සඳහන් කෙරුණු යෝධ දේශපාලන චරිත සමග එක පෙළට සිටවා තැබිය හැකි කිසිවකු අද පර්ලිමේන්තුවේ නොමැත.

 

අප මුහුණ දෙන සැබෑ බුද්ධිමය අර්බුදය

 

ලාංකීය සමාජයේ අද හමුවන්නේ එවැනි බුද්ධිමතුන් නොවන බව සැක හැර කිව හැකිය. අප බුද්ධිමය දරිද්‍රතාවයකින් පෙළෙන්නේ යැයි මා කිහිප වර මීට ඉහතින්ද කියා ඇත. ලියා ඇත. මෙය සැබවින්ම බුද්ධිමය අර්බුදයකි. එයට උත්තර නොසොයා, ඉදිරි ගමනක් අපට නැත.

 

 

kusal perera2 (සටහන | කුසල් පෙරේරා)
 ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
 kusal.perera@gmail.com

 2026 සැප්තැම්බර 30 වන දින

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...