සුලං මෝල් ව්‍යාපෘති අකුලාගන්නා තුරු සටන් වදින බවට අරගලයේ නිරත පුරවැසි සංවිධාන සපත කර සිටී.
අයියම්පිල්ලෙයි ගනේසපති
“සංවර්ධනයේ නාමයෙන් ගෙනවිත් තියෙන විනාශය මන්නාරම් දුපතින් එලිය බහිනකල් අරගල කරන බව මන්නාරම් ජනාතාව හැටියට අපි ඉතා දැඩි ලෙස කියා සිටිනවා,” යි මාන්තායි බටහිර, බහුජන සංවිධානයේ ලේකම් අයියම්පිල්ලෙයි ගනේසපති මන්නාරමේ විරෝධතා භුමියේ සිට මාධ්‍යවේදීන් හා කියා සිටියේය.
ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්‍රදානය කර, මේ වනවිට මන්නාරම් දුපතේ ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදි කිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ මන්නාරම යනු පාරාදීසයක් නොවන බවට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිදු කළ ප්‍රකාශයකට සමාජයෙන් දැඩි විරෝධයක් ද එල්ල වෙමින් තිබියදීය.

මන්නාරම දූපත ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත සුළං බලාගාරයක් සදහා ටර්බයින රැගෙන යන වාහන තවතා අගෝස්තු 11 වැනිදා විරෝධතා දියත් කළ දුපත්වාසීන් දැඩිව අවධාරණය කර තිබුනේ මන්නාරම දුපතේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම වහාම නවත්වන ලෙසයි.
එල්ල වු දැඩි ජනතා විරෝධතා හමුවේ සුළං ටර්බයින් රැගෙන ගිය වාහන මන්නාරම ප්‍රධාන පාලම අසළ දී නවතා දැමීමට එහි රියැදුරන්ට සිදුවූ අතර, පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එහි තිබු භාණ්ඩවල ආරක්ෂාව සදහා පොලිසිය ද යෙදවු බවයි.
ජනාධිපති මාධ්‍ය ඒකකයට අනුව, මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 13 වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇති අතර එම සාකච්ඡාවේදී රටේ බලශක්ති අවශ්‍යතාව සහ ආර්ථිකයට ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කර තිබේ.

සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පමා කිරීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට තිබෙන අවස්ථාව මඟ හැරයාම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංවර්ධන ව්‍යාපෘතිවලට විරෝධතා දැක්වීම නිසා සිදු වන්නේ ආයෝජකයන්ට, කර්මාන්තකරුවන්ට සහන ලබාදීමට ආණ්ඩුවට නොහැකි වීම යැයි පැවසු බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත.
එම නිසා සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු පාර්ශව එකඟතාවයන්ට පැමිණිය යුතු බවත් සංවර්ධන ව්‍යාපෘති සිදු කෙරෙන ප්‍රදේශයේ ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක විසඳුම් ලබාදීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කර තිබේ.
මන්නාරම ප්‍රදේශය නියෝජනය කරමින් පැමිණි ආගමික නායකයන් ඇතුළු ජනතාව එහිදි පෙන්වා දී ඇත්තේ ඉල්මනයිට් හැරීමේ ව්‍යාපෘතිය සහ සුළං බලාගාර ව්‍යාපෘතිය නිසා පරිසර හානි මෙන්ම ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවයි.
ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා මධ්‍යම පරිසර අධිකාරියේ ඇගයීම් වාර්තා අනුමැතියකින් තොරව එම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක නොකරන බව අවධාරණය කළේ යැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
පරිසර වාර්තා සහ නිර්දේශ නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳවද එම ජනතාව විසින් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර මන්නාරම ප්‍රදේශයේ ජනතාවට මුහුණ දෙන ගැටලු සොයා බැලීම සඳහා මෙම ව්‍යාපෘතිය මසකින් කල් දමන බවට ජනාධිපතිවරයා සහතික වී තිබේ.

කෙසේවෙතත්, කිසිවකු කරන ප්‍රකාශයක් විශ්වාස කර ආණ්ඩුවට කල් දීමට විරෝධතාකරුවන් සුදානම් නැත.
“මාසයක් කල් දෙනවා, දවස් විස්සක් කල් දෙනවා කියලා කරන කල් දීම් විශ්වාස කරලා අපි මේ අරගලය අතාරින්න හරි මෙතනින් ඉවත්වෙන්න හරි අපිට පුළුවන් කමක් නෑ. බලශක්ති ඇමැති කියපු කතාවලට පස්සෙත්, මේ සුලං මෝල් සඳහා අවශ්‍ය උපකරණ ගෙනාවා අපි ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා,” යි අයියම්පිල්ලෙයි ගනේසපති පවසයි.
කුරුල්ලන් නැති මන්නාරම
සන්ඩේ ඔබ්සවර් වාර්තාව
මන්නාරම යනු බොහෝ දෙනකු පවසන පරිදි පාරාදීසයක් නොවන අතර, සුළං ටර්බයින මඟින් කුරුල්ලන් හා වන සතුන් විනාශ වන බවට ඇතැම් අය විසින් ගෙන යන මතවාදය තමාගේ මතය අනුව සමාජය බියවැද්දීම සඳහා සිදු කරන ප්‍රකාශයක් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ආණ්ඩුවේ සන්ඩේ ඔබ්සවර් පුවත්පත සමඟ පවසා තිබුනි.
සිය ප්‍රකාශය සනාථ කිරීම වෙනුවෙන් ඔහු එහිදී අවධාරණය කර තිබුනේ තමා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, මෙම කරුණු කිසිවක් එහි දී නිරීක්ෂණය නොවුණු බවයි.
“මන්නාරමේ සිට පූනරින් ප්‍රදේශයේ උතුර දක්වා ගමන් කරන විට එය වියළි හා කර්කශ භූමියක් බව දැකගන්න පුළුවන්. ඇතැම් අය කියන විදියේ කුරුල්ලන් ඒ ප්‍රදේශයේ නෑ. මන්නාරමේ සිට පූනරින් දක්වා කොතැනකවත් කුරුල්ලෝ දකින්න ලැබෙන්නේ නෑ. මේ ප්‍රදේශ ජාතික සංවර්ධනයට ඒකාබද්ධ කර ගැනීම තමයි අපේ වගකීම. අපිට මන්නාරමෙන් විදුලි ජනනය කළ හැකියාව තියෙද්දී අපි එය නොකර සිටිය යුත්තේ ඇයි?” යනුවෙන් අමාත්‍යවරයා ප්‍රශ්න කළ බව පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබේ.
මන්නාරම් දුපතේ සංචාරක පක්ෂින්ගේ මනරම් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය පරිසරවේදීන් ඇතුළු පරිසර හිතකාමීන් විසින් දැඩි ලෙස කර තිබුනි.

ප්‍රදේශවාසීන්ගේ ජනජීවිතයට හානිකර ලෙසින් කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකරන බවට ජනාධිපතිවරයා ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයන් ඡන්ද වේදිකාවේ දුන් පොරොන්දු ඉටු නොකළොත් කවර බාධක මධ්‍යයේ වුව අරගලය අත් නොහරින බව මාන්තායි බටහිර, බහුජන සංවිධානයේ ලේකම් අයියම්පිල්ලෙයි ගනේසපති දැඩි ලෙස කියා සිටී.




