පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතික ලබාගැනිමේදී ආබාධිත ප්‍රජාව මුහුණපාන අපහසුතා පිළිබඳව දැනුවත් කිරිම සඳහා පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
2012 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනූව ලංකාවේ සමස්ථ ආබාධිත ප්‍රජාව 8.7%ක් එනම් ලක්ෂ 16කට අධික ප්‍රමාණයක් සිටිනා බවද මෙම ආබාධ සහිත ප්‍රජාව අන්තර්කරණය වූ සමාජයක් තුළ ඔවුන්ට පූර්ණ සහභාගීත්වයෙන් සහ පූර්ණ අයිතිවාසිකම් භුක්ති විඳීමේ වටපිටාවක් ගොඩනැගිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
නිර්බාධිත සමාජ ජීවිතයක් උදෙසා කටයුතු කරන බවද මෙලෙස නිර්බාධිත සමාජ ජීවිතයක් උරුම කර දීමේදී අතිශයින්ම වැදගත් කාරණාවක් ලෙස සංචලනීය අයිතිවාසිකම පෙන්වාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මෙම හැසිරීමට ප්‍රවාහන පහසුකම් උපයෝගී කරගත යුතු වන බවද එහිදී ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවන බවද පැවසුවේය.
එක් ගැටලුවක් වනුයේ දෑස් පෙනෙන ශාරීරික ක්‍රියාකාරීත්වය උපරිමයෙන් පවතින ශ්‍රවණාබාධිත හෝ කතනාබාධිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍රය ලබාගැනීමේ ගැටලුව යැයිද දෙවන ගැටලුව ලෙස එක් ඇසක් සම්පූර්ණයෙන් පෙනෙන කෙනෙකුට රියදුරු බලපත්‍රය ලබාගැනීමේ ගැටලුව ලෙසද ඔහු පෙන්වා දුන්නේය.
තෙවන ගැටලුව වනුයේ තමන්ගේ ශාරීරික ආබාධතාවට ගැලපෙන පරිදි මෝටර් රථයේ සකස් කර ගැනීම බවද පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මෙම ප්‍රශ්න 03 නිසා තමන්ගේ දෛනික ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමට අසීරු වීමෙන් ආබාධිත ප්‍රජාව ලොකු අරගලයක සිටින බවද පැවසුවේය.
මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පැවති සාකච්ඡා සහ කරුණු හැදෑරීම් සමග ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට හැකිවූ බවද ඔහු අවධාරණය කළ අතර මෙය නියමු ව්‍යාපෘතියක් බවට ක්‍රියාත්මක වූ බවද පසුව එය යම් අතුහිටුවීමකට ලක්වුවද ඉන්පසු බාධක ඉවත් කරගත් බවද පෙන්වා දුන්නේය.
ලක්ෂ 04කට අධික ශ්‍රව්‍යාබාධිත සහ කතනාබාධිත ප්‍රජාව සිය සන්නිවේදන මාධ්‍ය වන සංඥා භාෂාව භාවිතා කරමින් එක්ව අත් නොහැර යන ගමනක කොටස්කරුවන් ලෙස ජීවත් වන බවද මොවුන්ට ඇස්වල හෝ අතපය ක්‍රියාකරවීමේ ගැටලුවක් නොමැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එනම් රියදුරු බවට ඇති සුදුසුකම් සපුරා ඇතැයිද, සිය රියදුරු හැකියාව සහ අනතුරු නොකරගනිමින් ධාවනය කිරීමේ හැකියාව ඔවුන් පසුගිය කාලය පුරා ඔප්පු කර පෙන්වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා පැවසුවේය. ඒ සමගම මෙය ඉදිරියට පවත්වාගෙන යායුතු බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ප්‍රවාහන අමාත්‍යංශය, පාර්ලිමේන්තු උපදේශක සභා යන සියල්ලගේම අවධානය යොමුවූ බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.




