රනිල් වික්‍රමසිංහ ලබන 26 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තැබිමට නියෝගකළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර, බන්ධනාගාරය තුළදී සැකකරුට අවශ්‍ය ආරක්ෂාව සහ රෝගී තත්වයන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට අද (22) රාත්‍රී නියෝග කළාය.
රක්ෂිත බන්ධනගාරගත කිරීමේ නියෝගයෙන් පසු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මැගසින් බන්ධනාගාරය වෙත ඉදිරිපත් කරන කරන බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක, ජගත් වීරසිංහ පවසයි.
එහිදී වෛද්‍යවරුන් දෙදෙනකු වෙත යොමු කිරීමෙන් පසුව වෛද්‍ය අධීක්ෂණයට කල්කර ඉදිරි පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.
රනිල්ට ඇප දෙන්න බැරි හේතු ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු
01- රජයේ මුදල් වැයකරමින් සිදුකල පෞද්ගලික සංචාරයක් ;
* හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023 දී ලන්ඩනයේ සංචාරයක නිරත වී ඇත.
* එම විදෙස් සංචාරයට අදාළව සැකකරුගේද, ඔහුගේ බිරිඳගේද, ජනාධිපති පෞද්ගලික ලේකම්වරයාගේ වියදම් සියල්ල ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය මගින් ගෙවා ඇත.
* ජනාධිපති වැය ශීර්ෂය යටතේ මුදල් ප්‍රතිපාදන අනිවාර්ය වශයෙන්ම රජයේ කටයුත්තක් සඳහා වැය යුතුය.
* එක්සත් රාජධානි සංචාරය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් රුපියල් 133,70,350.82 ක් ද, ශ්‍රී ලංකා පොලීසිය හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැය විෂය යටතේ රුපියල් 32,74,301.39 ක් ද වශයෙන් මුළු රජයේ මුදල් රුපියල් 166,47,652.21 ක වියදමක් දරා ඇත.
* ලේඛන පරීක්ෂාවේදී මෙය පුද්ගලික සංචාරයක් බවට නිරීක්ෂණය වූ බවත්, එම පුද්ගලික සංචාරය සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් රජයේ මුදල් අවභාවිතා කර ඇති බවත්, එය රාජ්‍ය මුදල් අවභාවිතයක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත.
02- පෞද්ගලික සංචාරයක් ලෙස හැඳින්විය හැකි සංචාර නොමැති බව සැකකරුගේ නීතිඥයින් කියයි
* හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපතිවරයා බවත්, ඔහුගේ ධූර කාලය තුළදී සිදු කරන සියලුම විදේශ සංචාර නිල සංචාරයක් බවත්, පෞද්ගලික සංචාරයක් ලෙස හැඳින්විය හැකි සංචාර නොමැති බවත්, හිටපු ජනාධිපතිවරයා විසින් එක්සත් රාජධානියේ විදේශ සංචාරය සිදු කර ඇත්තේ වෝල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය ඔහු වෙත ලැබුණු ආරාධනයක් මත බවත් සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් ඔහුගේ නීතිඥයින් කරුණු දැක්විය.
* එය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස ඔහු හා ඔහුගේ බිරිඳ වෙත ලැබුණු ආරාධනයක් බව තහවුරු කිරීම සඳහා සැකකරු වෙනුවෙන් 2023.09.01 දිනැති ලිපියක් සැකකරුගේ නීතිඥයින් විසින් අධිකරණයට අද (22) දින ඉදිරිපත් කර ඇත.
ජනාධිපති රනිල්ට ලන්ඩන් සංචාරයක් සඳහා ලැබුන ආරාධනා ලිපිය
03- කුඨ ලේඛණයක් දැයි සැකයක් !
* නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින්, මෙම නඩුවට අදාළ සාක්ෂිකරුවන් 38 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගෙන ඇති බවත්, එම සාක්ෂි සටහන් කිරීමේදී හිටපු ජනාධිපතිවරයා අද දින (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද ඉහත ලේඛනය එකී සාක්ෂිකරුවන් කිසිවෙකු විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත්, අවම වශයෙන් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස වසර දහයකට ආසන්න කාලයක් කටයුතු කරන ලද සැන්ඩ්‍රා පෙරේරා යන අය විසින් හෝ එම ලිපිය ඉදිරිපත් කර නොමැති බවත්, ඒ අනුව එකී ලිපිය පසුව සකසා ගන්නා ලද ලිපියක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි..
අද දින (22) සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමේදී ඔහු විසින් අධිකරණය ඉදිරිපත් කරන ලද 2023.09.01 දිනැති ලිපිය ඉදිරිපත් කළ බවත්, එවැනි ලිපියක් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් විසින් හෝ වසර දායකට ආසන්න කාලයක් පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ලේකම්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මාස තුනක කාලයක් විමර්ශන සිදු කරමින් සිටියදී හා සාක්ෂිකරුවන් 38 දෙනෙකුගේ ප්‍රකාශයන් සටහන් කර ගැනීමේදී එම ලිපිය ඉදිරිපත් කිරීමේ හැකියාව, හිටපු ජනාධිපතිවරයාට තිබූ නමුත් ඔහු එවැනි ලිපියක් ඉදිරිපත් කර නොමැත. ඒ අනුව මෙය පසුව නිර්මාණය කර ගන්නා ලද ලිපියක් විය හැකි බවටත් කරුණු දැක්වීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබේ.
* මෙම ලිපිය අද දින ඉදිරිපත් කරමින් සැකකරු වෙනුවෙන් කරුණු දැක්වීමක් සිදු කිරීමට උත්සාහ කර ඇත්තේ පැමිණිල්ලේ නඩුව දුර්වල නඩුවක් විය හැකි බවටයි. නමුත් නීතිපති එදිරිව එදිරිවීර ආරච්චිගේ ප්‍රභාත් එදිරිවීර (වර්ෂ 2006 BLR පිටුව 12) නඩුවේදී ශිරාණි තිලකවර්ධන විනිසුරුතුමිය විසින් ප්‍රකාශ කර ඇති නෛතික ස්ථාවරයට අනුව, නඩු විභාගයකදී හෝ අභියාචනයකදී අසා තීරණය කළ යුතු කරුණු ඇප අයැදීමකදී සලකා බැලීම සුදුසු නොවේ.
* එනම්, නඩුවේ හරයාත්මක කරුණු ඇප ලබා දීමේදී සලකා බැලීම සුදුසු නොවන බව සුලෙයිමාන් ලෙබ්බේ මොහොමඩ් උවායිස් එදිරිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් (CAPHC APN 86/2010 decided on 2011.2.3) දරණ නඩුවේදී ද සිසිර ඩි ආබ්‍රව් විනිසුරුතුමා විසින් සලකා බලා තීරණය කර ඇත. ඒ අනුව මෙම නඩුවේදී ද එවැනි කරුණු අසාමාන්‍ය කරුණු ලෙස සලකා බැලිය නොහැක.
සැකකරු අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ 2023.9.1 දිනැති ලිපිය ඔහු විසින් ඉදිරිපත් කළ බවත්, එය මීට පෙර ඉදිරිපත් කිරීමක් සිදු කළ නොමැති බවත් රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කරුණු දැක්වීමක් සිදු කර තිබේ. එම ලිපියේ නිර්වද්‍යභාවය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදු කළේ ද යන්න පිළිබඳව තහවුරු වී නොමැත.
* එම ලිපිය මීට පෙර වෙනත් කිසිදු සාක්ෂිකරුවෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දැක්වීමක් සිදු කර ඇත. එකී ලිපිය ව්‍යාජ ලිපියක් වන්නේ ද යන්න පිළිබඳ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ යුතු යන්න ඔවුන්ගේ කරුණු දැක්වීමේදී සඳහන් කර නොමැත.
* අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වා ඇත්තේ එම ලිපිය මීට පෙර ඉදිරිපත් කර නොමැති බැවින් එය පසුව සකස් කර ගන්නා ලද ව්‍යාජ ලේඛනයක් විය හැකි බවයි. එම කරුණු තහවුරු කළ හැක්කේ විමර්ශනයකින් පසුව පමණි.
* ඒ අනුව එකී ලිපිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා එහි සත්‍යතාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
04- බ්‍රිතාන්‍ය විදේශ සංචාරයේ මුල් අවස්ථාවේදී පුද්ගලික සංචාරයක් ලෙසට දක්වා ඇති බව තහවුරු කිරීම සඳහා ලේඛන
* අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සිය කරුණු දැක්වීමේදී, හිටපු ජනාධිපතිවරයාගේ එක්සත් රාජධානියේ විදේශ සංචාරයේ මුල් අවස්ථාවේදී පුද්ගලික සංචාරයක් ලෙසට දක්වා ඇති බව තහවුරු කිරීම සඳහා ලේඛන ඉදිරිපත් කර ඇත.
* 2023 අගෝස්තු 16 දිනැති ලිපිය යොමු කර ඇත්තේ එක්සත් රාජධානියේ ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලය වන අතර, එය ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියකි. එය 2023 අගෝස්තු 16 වන දින නිකුත් කර ඇති අතර එහි පැහැදිලිවම අදාළ විදේශ සංචාරය පුද්ගලික විදේශ සංචාරයක් බවට දක්වා ඇත.
* එම විදේශ සංචාරය නිල සංචාරයක් වූයේ නම් එම ලේඛනයෙහි එය පුද්ගලික සංචාරයක් ලෙස දැක්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැත. එසේම ඒ සමගම ඇති ඇමුණුමේදී දක්වා ඇත්තේ හිටපු ජනාධිපතිවරයා විදේශ සංචාරයේ පෞද්ගලික විදේශ සංචාරයක් බවයි.
තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2023.09.04 වන දිනැතිව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පුද්ගලික විදේශ සංචාර යන විෂය යටතේ ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති අතිශය රහසිගත ලෙස දක්වා ඇති ලිපියෙහි ද ශානිකා ඒකනායක නැමැති සහකාර සංධාන අධ්‍යක්ෂවරිය විදේශ සංචාරය පුද්ගලික විදේශ සංචාරයක් ලෙස දක්වා තිබේ. පසුව 2023.9.7 වන දිනැති ලිපිය මගින් එම විදේශ සංචාරය පෞද්ගලික යන කොටස ඉවත් කර සංචාරයක් ලෙස දක්වමින්, ඒ සඳහා වැය වන මුදල් පිළිබඳ ඇස්තමේන්තුවක් යොමු කර ඇත.
* 2024.09.04 වන දින ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලද ලිපියෙහි ද දක්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ එකී විදේශ සංචාරය පුද්ගලික සංචාරයක් බවයි.
* එසේම 2023 අගෝස්තු 17 වෙනි දිනැතිව ශ්‍රී ලංකාව මහ කොමසාරිස් කාර්යාලය ලන්ඩන් වෙතින් නිකුත් කර ඇති ෆැක්ස් පණිවිඩයේදී ද එය පුද්ගලික සංචාරයක් ලෙස දක්වා තිබේ.
05- පොදු දේපළ පනතේ 5(1) වගන්තිය සමග කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 386, 388 හා 398 වගන්තීන්
මෙම නඩුවේ අද දින ඉදිරිපත් කරන ලද සැකකරු ඉදිරිපත් කර ඇත්තේ පොදු දේපළ පනතේ 5(1) වගන්තිය සමග කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 386, 388 හා 398 වගන්තීන් යටතේය.
* එසේම පොදු දේපළ පනතේ 8(1) වගන්තියේ දක්වා ඇත්තේ එකී පනත යටතේ ස්ථිරභාරයට ගනු ලැබ අධිකරණයක් වෙත ඉදිරිපත් කරන්නා වූ සැකකරුවෙකුට ඇප සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අදාළ වන බවයි.
* නමුත් වරද සිදු කර ඇති දේපළේ වටිනාකම රුපියල් 25,000 ක් වන බවට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිලයට අඩු නොවන නිලයක් දරන පොලිස් නිලධාරියෙකු විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අවස්ථාවකදී, එවැනි සැකකරුවෙකු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරයේ තිබිය යුතු බවත්, අසාමාන්‍ය අවස්ථාවකදී ඇප මත මුදා හැරිය යුතු බවට දක්වා තිබේ.
* මෙම නඩුවට අදාළව අද දින පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනතේ 8(1) වගන්තිය යටතේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසින් ඉදිරිපත් කර ඇති සහතිකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එම සහතිකයේ මෙම නඩුවට අදාළව සාවද්‍ය පරිහරණයට ලක් කර ඇති දේපළේ වටිනාකම රුපියල් 166,47,652.21 ක් ලෙස දක්වා ඇත.
සැකකරුවන්ගේ නීතිඥ මහතා ඇප පනතේ ප්‍රතිපාදන පිළිබඳව සඳහන් කර ඇති නමුත් පන්නිපිටිය එදිරිව නීතිපති (2011 1 ශ්‍රී ලංකා නීති වාර්තා 267) පිටුව නඩුවේදී පැහැදිලිවම දක්වා ඇත්තේ, යම් පනතක ඇප සම්බන්ධයෙන් ප්‍රතිපාදන ඇතුළත් වී ඇති අවස්ථාවක, එම පනත යටතේ ඉදිරිපත් කරන සැකකරුවෙකුට අදාළ වන්නේ එම පනතේ ඇප සම්බන්ධයෙන් දක්වා ඇති සුවිශේෂී ප්‍රතිපාදන බවයි.
06- සැකකරු භාවිතා කර ඇති මුදල් රජයේ මුදල් නොවන බවට කරුණු දැක්වීමක් සිදු කර නොමැත
* මෙම නඩුවේ සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහතුන් කිසිදු අවස්ථාවක සැකකරු භාවිතා කර ඇති මුදල් රජයේ මුදල් නොවන බවට කරුණු දැක්වීමක් සිදු කර නොමැත.
* ඒ අනුව සැකකරු භාවිතා කර ඇති රුපියල් රුපියල් 166,47,652.21 ක මුදල 1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පනතේ 5(1) වගන්තිය යටතේ ගැනෙන පොදු දේපළ සම්බන්ධයෙන් වන වරදක් සංස්ථාපනය වන බව තහවුරු වී තිබේ.
07- ඇප ලබාදීමට ඉදිරිපත් කළ යුතු අසාමාන්‍ය කරුණු ?
* ඒ අනුව මෙම නඩුවේ අද දින ඉදිරිපත් කර ඇති සැකකරුට ඇප ලබාදීමට නම් සැකකරු වෙනුවෙන් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් කර තිබිය යුතුය.
* අසාමාන්‍ය කරුණු මොනවාද යන්න පිළිබඳව විනිශ්චිත නඩු තීන්දු කිහිපයකදී සාකච්ඡා කර තිබේ.
* එසේම පොදු දේපළ පනත යටතේ පිළිගෙන ඇති නෛතික තත්ත්වය අනුව යම් සැකකරුවෙකුට පොදු දේපළ පනතේ 8(1) වගන්තියේ වියැති රේඛී අවස්ථාව අදාළ වන අවස්ථාවකදී ඇප ලබා ගැනීමට නම් ඔහු විසින් සුවිශේෂී කරුණු ඉදිරිපත් කර තිබිය යුතුය.
* ජයවීර මොහන්දිරම්ගේ ප්‍රේමරත්න එදිරිව නීතිපති (APN 310/2021) නඩුවේදී පොදු දේපළ පනතේ 8(1) වගන්තියේ වියැති රේඛයේ දක්වා ඇති අසාමාන්‍ය කරුණු මොනවාද යන්න එක් එක් නඩුවේ සිද්ධිය හා අවස්ථානුගත කරුණු මත තීරණය කළ යුතු බව දක්වා තිබේ.
සැකකරු වෙනුවෙන් නීතිඥ මහතුන් කරුණු කීපයක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සැකකරු ශ්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපතිවරයා බවත්, ඔහු සිදු කර ඇති විදේශ සංචාරය නිල සංචාරයක් බවත්, නිල සංචාරයකදී ජනාධිපතිවරයා ලෙස ඔහුට සාමාන්‍ය පුද්ගලයකු ලෙස සංචාරයේ යෙදීමට හැකියාවක් නොමැති බවත්, ඔහු සමග ඔහුගේ කාර්ය මණ්ඩලයේ යම් පිරිසක් ද, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යම් පිරිසක් ද සහභාගී වන බවත්, එම නිලධාරීන්ට හා ආරක්ෂක නිලධාරීන්ට නිල කටයුතුවලදී ගෙවා ඇති එකී මුදල් රජයේ මුදල් අවභාවිතයක් නොවන බවයි.
* නිල සංචාරයේදී එවන්නක් සිදු කළ හැකි වූව ද, මෙම නඩුවෙහි ප්‍රස්තූත කරුණ වන්නේ හිටපු ජනාධිපතිවරයා සිදු කර ඇති එම සංචාරය නිල සංචාරයක් නොවන බවයි. ඒ අනුව නිල සංචාරයකදී අදාළ වන තත්ත්වයන් මෙහිදී අදාළ කර ගැනීමේ හැකියාවක් නොමැත.
* තවද සැකකරු සම්බන්ධයෙන් 2025 අගෝස්තු 22 වන දිනැති විශේෂඥ වෛද්‍ය ජනක ඩි සිල්වා මහතාගේ ලිපිය ඉදිරිපත් කරමින්, සැකකරු දෙවන මට්ටමේ දියවැඩියා රෝගියෙකු බවත්, ඔහු හෘද රෝගී තත්ත්වයෙන් පෙළෙන තැනැත්තකු බවටත්, ඔහු සංකූලතා කිහිපයක් සහිත රෝගී තැනැත්තකු බවටත් කරුණු ඉදිරිපත් කර ඇත.
* හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ පිළිකා රෝගියෙකු බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් කරුණු දැක්වීමක් සිදු කර ඇති අතර, නමුත් එදිරිවීර එදිරිව නීතිපති (2006 1 ශ්‍රී ලංකා නීති වාර්තා 25 වන පිටුව) නඩුවේදී හිටපු අභියාචන අධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතා සහ විජයරත්න මහතා විසින් බහුතර එකඟත්වයෙන් යුතුව ලබා දී ඇති තීන්දුවේදී, සැකකරුගේ මව හෝ පියාගේ රෝගී තත්ත්වයන් අසාමාන්‍ය කරුණක් ලෙස සලකා බැලීමට හැකි බවට දක්වා තිබුණද, එම තීන්දුව නීතිපති එදිරිව එදිරිවීර නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනයේදී ඉවත් කර තිබේ. ඒ අනුව සැකකරුගේ බිරිඳගේ රෝගී තත්ත්වය මෙම නඩුවේදී සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැක.
* එසේම නීතිය ඉදිරියේ සැවොම එක සමාන බවට මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇති ශ්‍රී ලංකාවේ සැකකරු මේ රට අටවන විධායක ජනාධිපතිවරයා වීම ද මෙවැනි නඩුවකදී අසාමාන්‍ය කරුණක් ලෙස සැලකිය නොහැක.
08- සැකකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පිළිගත හැකි වෛද්‍ය වාර්තා ඉදිරිපත්කර නොමැත
* එසේම බන්ධනාගාරගතව සිටියදී බන්ධනාගාර රෝහලේදී හෝ වෙනත් රෝහලකදී ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි බවටත්, අදාළ රෝගයට පිළියම් නොයෙදුවහොත් ඒ යටතේ සැකකරුගේ ජීවිතය අවදානම් සහගතව පවතින බවටත් කරුණු සහිතව සනාථ විය යුතුය.
* නමුත් මෙම නඩුවේ සැකකරු එවැනි තත්ත්වයක සිටින බව සනාථ කිරීම සඳහා 2025 අගෝස්තු 22 දිනැතිව වෛද්‍යවරුන් දෙදෙනෙකු අත්සන් තබා ඇති ලිපියක් හැර වෙනත් කිසිදු වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැත.
* සැකකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වෛද්‍ය ලිපිය, ඔහුගේ රෝගී තත්ත්වයේ බරපතළකම හෝ බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර ලබාගත නොහැකි බවට හෝ ප්‍රතිකාර නොකළහොත් ජීවිතයට අවදානමක් ඇති බවට සනාථ නොකරන බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැකි බව අධිකරණය තීන්දු කරයි. (රාමු තමෝදරන් පිල්ලේ එදිරිව නීතිපති, එදිරිවීර එදිරිව නීතිපති වැනි නඩු තීන්දු උපුටා දක්වමින්).
සැකකරුට සුවිශේෂී රෝගී තත්ත්වයක් පවතින්නේ නම්, එම කරුණු තහවුරු කිරීම සඳහා සුදුසු සහ අවශ්‍ය වෛද්‍ය වාර්තා ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට සැකකරුගේ පාර්ශවයට නියෝග කර ඇත.
අද දින වන විට සැකකරුට ඇප ලබා දීම සඳහා පොදු දේපළ පනත යටතේ වන "අසාමාන්‍ය කරුණු" ඉදිරිපත් කර නොමැති බැවින්, සැකකරු 2025 අගෝස්තු 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
රනිල්ව බන්ධනාගාරයට රැගෙන යද්දී පාක්ෂිකයින් හඬා වැටේ
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ එළඹෙන 26වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කිරීමත් සමඟ අද (22) රාත්‍රී කොටුව මහේස්ත්‍රාත් අධිකරණ භූමිය ආසන්න ප්‍රදේශයේ තරමක උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
එහිදී හිටපු ජනපතිවරයාගේ පාක්ෂිකයින් සහ ආධාරකරුවන් මෙන්ම ඔහුගේ හිත මිතුරන්ද අධිකරණ භූමිය වෙත පැමිණ සිටි අතර, තීන්දුව ප්‍රකාශ කිරීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් මෙන්ම ඇතැම් පිරිස් හඬාවැටෙන අයුරුද දිස්විය.
එහිදී මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්‍ය බලකාය, පොලිස් කැරලි මර්දන ඒකකයන්ද මෙම ස්ථානයට අනුයුක්ත කර ආරක්ෂාව තර කර තිබූ අතර, දැඩි ආරක්ෂාව මධ්‍යයේ හිටපු ජනපතිවරයා බන්ධනාගාර බස් රථයෙන් මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබිය.
2023 වර්ෂයේ දී නිල සංචාරයකට ගොස් ආපසු එන අතරතුර එංගලන්තයේ පැවති තම බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රාජ්‍ය අරමුදල් භාවිතා කළ බව කියන සිදුවීමකට අදාළව කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනපතිවරයා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත පැමිණි අතර, එහිදී ඔහු අත්අඩංගුවට ගැනිණ.
මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජනපතිවරයෙක් හෝ හිටපු ජනපතිවරයෙක් අත්අඩංගුවට පත්වීම මෙන්ම රක්ෂිත බන්ධනාගාර ගත වීම මෙය වීමද විශේෂත්වයකි.




