රාජ්‍ය මුදල් අවභාවිත කර ඇතැයි චෝදනාකර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් බොහෝ පිරිස් සිය අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබේ.
හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලබන බව සහ ඔහු දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට යුටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන සුදත්ත තිලක්සිරි සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන් ම පාර්ලිමේන්තුව තුළ ඇතැම් මන්ත්‍රීවරුන් ද ප්‍රශ්න කර තිබිණි.
'ඒක අහම්බයක් වෙන්න බෑ, ඒක සැලසුම් කළ එකක් වෙන්න පුළුවන්ද?'
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය X ගිණුමේ සටහනක් තබමින්, හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමට පෙර යූ ටියුබ්කරුවෙකු අනාවැකි පළ කරන්නේ කෙසේ ද? යනුවෙන් ප්‍රශ්න කර සිටියේ ය.
'හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුවීමට පෙර යූ ටියුබ්කරුවෙකු අනාවැකි පළ කරනවා ද? ඒක අහම්බයක් වෙන්න බෑ, ඒක සැලසුම් කළ එකක් වෙන්න පුළුවන් ද? ඇත්ත නම්, නීතිය හා සාමය වැනි පූජනීය දෙයක් ලාභ නාටකයක් බවට පත් කරන දුක්බර දවසක්,' ඔහු සිය X ගිණුමේ එලෙස පළකර තිබිණි.

මේ අතර විදෙස් සංචාරයකින් පසු ඊයේ (22) රාත්‍රී දිවයිනට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සුවදුක් බැලීමට ගොස් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්විය.
යුක්තිය පසිඳලන ක්‍රියාවලිය සහ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන මොහොතක උත්තරීතර නීතියේ සඳහන් නොවන තුන්වැනි පාර්ශ්වයකට සමාජ මාධ්‍ය ජාලා හරහා නීතියේ ක්‍රියාදාමයේ අවසන් ප්‍රතිඵලය පුරෝකථනය කළ නොහැකි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු එහිදී මෙසේද පැවසිය.
ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත මරු පහරක්
මෙවැනි ප්‍රකාශ නිසා ජනතාව තුළ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳ වැටෙනවා.
සමාජ මාධ්‍ය ජාලාවල පුද්ගලයකු මේ සිදුවීම සිදුවන ආකාරය ගැන පෙර සිටම ප්‍රකාශ කිරීම බරපතල ගැටලුවක්. එය අධිකරණයට, උත්තරීතර නීතියට කරන අපහාසයක් සහ මේ ක්‍රියාදාමයේ නියැළී සිටින සියලු දෙනාට කරන අභියෝගයක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත මරු පහරක් එල්ල කිරීමක්.
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සහ නීතියේ ආධිපත්‍ය යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයක්. මෙය සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් තිබිය යුතු වුවත් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීමට පෙර අධිකරණ තීන්දුවක් පූර්වයෙන් සමාජ මාධ්‍ය ජාලාවක පුද්ගලයකු ප්‍රකාශයට පත් කිරීම ගරු අධිකරණය සහ නීතියේ ආධිපත්‍ය හෑල්ලූවට ලක් කිරීමක්. මේ පිළිබඳව ස්වාධීන අධිකරණය නිසි ක්‍රියාමාර්ග ගත යුතු යි.''




