මහජනතාවටත් තිබෙනවා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ මල්පාරේ පිහිටි, රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන කාර්යාලයේ අද (23) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන...
අනුර කුමාර ජනාධිපතිවරයා ගේ මිනුම් දණ්ඩ
''අද උදෑසන මට අවස්ථාව ලැබුණා රනිල් වික්‍රමසිංහ මැතිතුමාව බලන්න යන්න. ඒ අවස්ථාවේ දී අපි ගොඩක් කතා කරලා බැලුවා ඉදිරි ක්‍රියාමාර්ග කොහොමද කරන්නෙ කියලා. නීතිමය පැත්ත, අධිකරණ ක්‍රියාවලිය; ඒක වෙනමම ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
නමුත් මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි 2025.08.07 වෙනිදා අනුර කුමාර දිසානායක අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතලා මෙන්න මෙහෙම කියනවා. මගේ අදහස නොවෙයි, ජනාධිපතිතුමා කියන හැන්සාර්ඩ් වාර්තාවේ අදහසයි මම ප්‍රකාශ කරන්නෙ.
“තමුන්නාන්සේලා මේ කන්ටේනර් කතාවක් කියනවා, තමුන්නාන්සේලා හිතනවද අපේ මේ ඇමති සහෝදරයා කන්ටේනර් සොරකමක් කරනවා කියලා.
මොනවද මේ කියන්නේ?
අඩුම තරමේ කෙනෙක්ගේ ඉතිහාසය කුමක්ද? දේශපාලනය මොකද්ද? මොකක් වෙනුවෙන් ද වැඩ කරලා තියෙන්නේ? එහෙම මිනිස්සු ගැන මනින්න.”
එහෙනම් ජනාධිපතිතුමා දීලා තිබෙනවා මිණුම් දණ්ඩක් කොහොමද දේශපාලනඥයෙක්ව මනින්නෙ කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපිට මනින්න පුළුවන් දේශපාලන මිණුම් දණ්ඩක් සියලු මාධ්‍යවේදීන්ටත්, අපිටත්, සමස්ත ශ්‍රී ලාංකික මහජනතාවටත් තිබෙනවා.
උදාහරණයක් හැටියට විධායක ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ජනරජයේ ජනාධිපතිවරයා වන්නේය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ද, විධායකයේ ප්‍රධානියා ද, ආණ්ඩුවේ ප්‍රධානියා ද, සන්නද්ධ සේනාවන්හී සේනාධිනායකවරයා ද වන්නේය. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වෙනි වගන්තිය.
ඊළගට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සටහන් වෙනවා ජනාධිපතිවරයාට යුද්ධය ප්‍රකාශය කිරීමට හා සාමය ප්‍රකාශ කිරීමට බලය ඇත්තේය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනත් යම් ලිඛිත නීතියක් හෝ විධිවිධානවලට පටහැනි නොවන්නා වූද ජාත්‍යන්තර නීතිය චාරිත්‍ර වාරිත්‍ර හෝ භාවිතය අනුව ඉටු කිරීමට ඔහුට නියමිත හෝ බලය ලැබී ඇත්තා වූද සියලු ක්‍රියා හා දේ ක්‍රියා කිරීමට බලය ඇත්තේ ය.
රාජ්‍ය නායකයෙකුගේ ආරක්ෂාව සඳහා ක්‍රියා කළ යුතු ක්‍රියාදාමය
දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයා සමහර අවස්ථාවල ඔහුගේ ආරක්ෂාව ගැන කල්පනා කළා ම, ඔහු සමහර අවස්ථාවල ඔහුගේ කාරණා මටවත් මගේ දෙපැත්තෙ ඉන්න කාටවත් ප්‍රකාශ කරන්නෙ නැහැ. ඔහුගේ පෞද්ගලික ලේකම් හෝ කාර්ය මණ්ඩලයටවත් සමහර කරුණු ඔහු ප්‍රකාශ කරන්නෙ නැහැ. ඒක රාජ්‍ය නායකයෙකුගේ ආරක්ෂාව සඳහා ක්‍රියා කළ යුතු ක්‍රියාදාමයක්.
අපි දේශපාලන පක්ෂයක් හැටියට අපිට වෙනම ආරක්ෂක විධි විධාන ක්‍රමවේදයක් නැහැ. අපිට තියෙන්නෙ රාජ්‍ය යාන්ත්‍රණයේ තිබෙන ආරක්ෂක විධි විධාන ක්‍රමවේදය පමණයි. මම කියන්නෙ නෑ අනිත් කණ්ඩායම්වලට එහෙම තියාගෙන තිබුණා කියලා, ඒකෙ ප්‍රශ්නෙකුත් නැහැ. එක එක්කෙනාගෙ විශ්වාස කරන ආරක්ෂක ක්‍රම අනුව ආරක්ෂක විධි විධාන තියාගත්තට අපිට කමකුත් නැහැ.
හිටපු ජනපති රනිල් ගේ මිනුම් දණ්ඩ
හැබැයි අපි එක දෙයක් මතක තියාගන්න ඕන. දැන් අපේ වර්තමාන ගරු ජනාධිපතිතුමා කියන විදියට නම් රනිල් වික්‍රමසිංහ මහතාගේ අතීතය මනින්න තිබෙනවා. දැන් එතුමා මිණුම් දණ්ඩක් දීලා තියෙනවනේ. ඒ මිණුම් දණ්ඩ අනුව මැනීමක් කළාම එතුමා 1977 මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පැමිණෙනවා. විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා වෙනවා. 1980 දශකයේදී එතුමා තරුණ කටයුතු ඇමතිවරයා වෙනවා. එතුමා 1981 දශකය වෙනකොට නිශ්ශංක විජේරත්න මැතිතුමා අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් මාරු කළාට පසුව එතුමා තරුණ කටයුතු සහ අධ්‍යාපන ඇමතිවරයා වෙනවා.
දැන් බලන්න ඕන එතුමාගේ ඉතිහාස පැවැත්ම පිළිබඳව. උදාහරණයක් හැටියට කල්පනා කරලා බලන්න ඕන එතුමාගේ හැසිරීම් රටාවේ ජනාධිපති අනුර කුමාර කියන විදියට කිසියම් අවස්ථාවක ජාතියට එහෙම නැත්තම් රටට හානිකර ලෙස ගත්ත තීන්දු තීරණ තිබේ ද බැලිය යුතුව තිබෙනවා.
එපමණක් නොවේ, 1993 ප්‍රේමදාස ජනාධිපතිතුමා මිය ගියාට පසුව පළමු වතාවට අග්‍රමාත්‍යවරයා වුණ දවසේ ඉඳලා ඊළඟට 2001 මේ රටේ ආර්ථිකයේ කඩාගෙන වැටෙන කොට, වරායට අධිභාර වැටෙනකොට, ගුවන්තොටුපොළට අධිභාර වැටෙනකොට එතුමා ආපහු චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය යටතේ රට බාර අරගෙන නැවතත් ඔබටත් මටත් රටේ ආර්ථිකයේ ජීවත්වීම සඳහා එතුමා අවශ්‍ය පියවර ගන්නවා.
නැවතත් දේශපාලන ක්‍රියාදාම නිසා 2004 අප්‍රේල් 10 මේ රටේ ජනතාව ආපහු එතුමා පරාජයට පත් කරනවා. අපි නැවත විරුද්ධ පක්ෂයට එනවා. අපි නැවත 2015 රටේ ආර්ථිකය කඩාගෙන වැටෙන්න යනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග 2015 ජනවාරි 08 වෙනිදා නැවත මේ රට බාර අරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ සංශෝධන විශාල ප්‍රමාණයක් කරලා ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා එතුමා නැවත ක්‍රියා කරනවා 2019 අවසානය දක්වා.
ඊට පසුව 2021, 2022 න් පසුව මුළු මහත් රටේ ඔබටත් මටත් වාහනයක යන්න බැරිවෙලා පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සොයාගන්න බැරිවෙලා, මහ පාරේ වැටිලා හිටපු මෙතැන සිටින මාධ්‍යවේදී ඔබත් මමත් සියලු දෙනාටම ආපහු 2022 මැයි මාසයේ 12 වෙනිදා මුලු රටම ගිනි ගන්නකොට, කොළඹ ගිනි ගන්නකොට කිසිකෙනෙකු රට බාරගන්න ඉදිරිපත් නොවෙනකොට එතුමා ඉදිරිපත්වෙලා බාර අරගෙන සියලු දෙනා සමග වැඩ කරලා මේ රට ගොඩගන්නවා.
එතුමාට දේශපාලන භූමිකාවේ සතුරන් නැති බව එතුමා එදා පෙන්නුවා. ඒ කියන්නේ දේශපාලන භූමිකාවේ තමාගේ දේශපාලන විරුද්ධ මත දරපු කණ්ඩායමක් සමග එකතු වෙලා නව තරුණ කැබිනම් මණ්ඩලයක් සමග ඒකරාශී වෙලා ආපහු ඔබටත්, මටත් පෙට්‍රල්, ඩීසල්, භුමිතෙල් ගන්න අවශ්‍ය පාර කපලා දුන්නා. එහෙනම් මේ මිණුම් දණ්ඩේ යම් ස්ථානයක තිබෙනවාද රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ වෙනත් මිණුම් දණ්ඩක් ? මං හිතනවා ඒ මිණුම් දණ්ඩ ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් නැවත සොයා බලලා ක්‍රියා කිරීම ඉතා වැදගත් කියලා මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරන්න කැමතියි.
ඒ වගේම තව එක දෙයක් මම උපුටා දක්වලා මම මගේ අදහස් දැක්වීම අවසන් කරන්නම්.![]()
ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තම ෆේස්බුක් ගිණුමෙහි පණිවුඩයක් නිකුත් කරලා මෙසේ ප්‍රකාශ කර තිබෙනවා.
රුබිකන් තරණය
'ක්‍රි.පූ. 49 ජනවාරි මාසයේදී, ගෝල්හි ආණ්ඩුකාරවරයා වූ ජුලියස් සීසර්, රෝමයේ සෙනෙට් සභාවේ නියෝග නොතකමින්, තම හමුදාව සමඟ රුබිකන් නදිය තරණය කළේය.
රුබිකන් නදිය තරණය කළ පසු ආපසු හැරීමේ හැකියාවක් නොවීය. එය නොආපසු හැරෙන සීමාව විය.
එහි ප්‍රතිඵලය වූයේ සිවිල් යුද්ධයක් වන අතර, අවසානයේ ජුලියස් සීසර්ගේ ජයග්‍රහණයෙන් එය නිමා විය. මෙම සිදුවීම විසින් “රුබිකන් තරණය” හෝ “ආපසු හැරෙන සීමාව තරණය” යන යෙදුම බිහි කළේය.
දේශපාලනයේ හෝ පාලනයේ ඇතැම් මොහොතවල් “රුබිකන් තරණය” හෝ නොආපසු හැරෙන සීමාව ලෙස හැඳින්විය හැක. එවැනි තීරණ ප්‍රඥාවෙන් යුතුව රටේ දිගුකාලීන අභිලාෂයන් සැලකිල්ලට ගනිමින් මහත් සැලකිල්ලෙන් යුතුව ගනු ලබන තීරණ විය යුතුය.'
ඉතිහාසයේ බරපතළ කළු පැල්ලම
ඒ නිතීඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සිදුකළ තිබෙන ප්‍රකාශය. ඒ නිසා මම හිතනවා ශ්‍රී ලාංකික මහජනතාව ඉතාම අවාසනාවන්ත අවස්ථාවකට මුහුණ දීලා තිබෙනවා. ඒ අවාසනාවන්ත අවස්ථාව කියලා මම කිව්වේ ශ්‍රී වික්‍රමසිංහ රජසිංහ රජතුමා මේ රටින් පිටුවහල් කළා. ඉන්පසුව මගේ මතකයේ හැටියට කිසිදු රාජ්‍ය නායකයෙක් මෙවැනි තත්ත්වයකට පත් කරලා නැහැ.
අද උදෑසන මට අවස්ථාව ලැබුණා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සමග කතා කරන්න. එතුමිය මට ඉතා පැහැදිළිව කිව්වා මේ කාරණයේ දි රජය මේ කරපු ක්‍රියාවලිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරනවා කියලා. අනිත් නායකයින් සියලු දෙනා මේ ස්ථානයේ දී මුණගැසෙන්න නියමිතව තිබෙනවා. කෙසේ හෝ අපි එකක් මතක තබාගත යුතුයි.
මේ සිද්ධිය අපේ රටේ ඉතිහාසයේ ඇතිවුණු බරපතළ කළු පැල්ලමක් ලෙස ලියැවෙනවා කියලා මතක් කරන්න කැමතියි.
මෙවැනි සටන්වලින් පරාජයක් නොවේ ලබන්නේ, අති විශිෂ්ට ජයග්‍රහණයක් බව ඔබ සියලු දෙනාට මතක් කරන්න කැමතියි. ශ්‍රී ලාංකික මහජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලන භේදයෙන් තොරව මේ රටේ සිටින නීතීඥ මහත්ම මහත්මිනුත් සමස්ත ක්‍රියාවලියේ සිටින මහජනතාවත් මෙවැනි අවස්ථාවක අවදියෙන් ශ්‍රී ලංකාව ගැන ක්‍රියාකළ යුතුව තිබෙනවා. ඒ නිසා අපි නියතවශයෙන් ම මේ තත්ත්වය පරාජය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියලා ප්‍රකාශ කරන්න කැමතියි.''
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, මහලේකම් තලතා අතුකෝරළ, උප සභාපති නවීන් දිසානායක, ජාතික සංවිධායක සාගල රත්නායක ද අදහස් දැක්වූහ.




