කොළඹ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මේ මාධ්‍ය හමුව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් රැසක්ම සහභාගි වීමට නියමිතව ඇත.
මේ සම්බන්ධයෙන් අද කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පැවැත්වී ඇති අතර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටීමට මෙහිදී සාකච්ඡා කර ඇත.
මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, තලතා අතුකෝරල, රුවන් විජේවර්ධන, මනෝ ගනේෂන්, පී .දිගම්බරම්, රිෂාඩ් බදුයිදීන්, රවුෆ් හකීම්, අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, සාගල රත්නායක, සුගීෂ්වර බණ්ඩාර ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක නායකයින් සහ නියෝජිතයින් සහභාගි වී තිබේ.
මීට අමතරව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද මේ සඳහා සහාය ලබා දෙන බව වාර්තා වේ.
හෙට පැවැත්වෙන මාධ්‍ය හමුවට ඔවුන් සහභාගී නොවුණද රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටින බව එම හිටපු ජනාධිපතිවරුන් දන්වා ඇති බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ විදේශගතව සිටින අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පාදයේ ආබාධයක් හේතුවෙන් නොපැමිණෙන බව දන්වා ඵවා ඇති බවද ඉහත ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
මේ අතර කොළඹ මල්පාරේ පිහිටි, රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන කාර්යාලයේ අද (23) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ එජාප සභාපති වජිර අබේවර්ධන මෙසේ පැවසිය.
'' අද උදෑසන මට අවස්ථාව ලැබුණා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සමග කතා කරන්න. එතුමිය මට ඉතා පැහැදිළිව කිව්වා මේ කාරණයේ දි රජය මේ කරපු ක්‍රියාවලිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරනවා කියලා. අනිත් නායකයින් සියලු දෙනා මේ ස්ථානයේ දී මුණගැසෙන්න නියමිතව තිබෙනවා''
රනිල්ගේ සුවදුක් බලා එන ගමන් මහින්ද කියූ කතාව
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය පළිගැනීමක් බවයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් විමසීමට අද (23) මැගසින් බන්ධනාගාරය වෙත ගොස් පිටතට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව පවසා සිටියේය..
මෙවැනි සුළු වැරදි සඳහා දඬුවම් ලබාදීම අනුමත කළ නොහැකි බවත්, එහෙත් දේශපාලනික වශයෙන් ඇතිවන මෙවැනි සිද්ධීන් දේශපාලනයේ නිරතව සිටින බොහෝ පිරිස්වලට සාමාන්‍ය දෙයක් වන බවත් ඔහු කියා සිටියේය.
එහෙත් මෙවැනි සිද්ධීන් කණගාටුවට කරුණක් බව හිටපු ජනපතිවරයා සඳහන් කළේය.
'දේශපාලනය කරනවා නම් මේක උරුමයි. ඉතින් එතුමාටත් ඒක උරුමයි. ඉතින් එතුමා ඒකට මුහුණ දෙනවා. ඇත්ත වශයෙන්ම කණගාටුයි. මිනිස්සු අපිට ආදරය කරනවා. අපි මිනිස්සුන්ට ආදරේ කරනවා. ඒක හින්දා මිනිස්සු අපිට ආදරෙයි.'' යයි හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසිය.
(උපුටා ගැනීම් : hirunews)




