උන්වහන්සේ ඒලෙස ප්‍රාර්ථනා කළේ අතීතය ද සිහිපත් කරමිනි.
උන්වහන්සේ පැවසුවේ රටක් ජාතියක් අඬමින් විලාප තැබූ අවස්ථාවක, ඒ විලාපය නැති කරල විසාලා මහනුවරක් වීමට ගිය අපේ රට බාරගෙන පෝලිම්වල කෑ ගහන ජනතාවගේ ගිනි නිවා දැමුවේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ බවයි.
උන්වහන්සේගේ අවංක ප්‍රාර්ථනාව වූයේ ''රටක් ජාතියක් අඬමින් විලාප තියපු අවස්ථාවක, ඒ විලාපය නැති කර විසාලා මහනුවරක් වෙන්න ගිය අපේ රට බාරගෙන පෝලිම්වල කෑ ගහන ජනතාවගේ ඒ ගිනි නිවු ගුණ මහිමයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට නිදුක් නීරෝගී සුවය සහ අයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවා!'' යන්න ය.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට නිරෝගී සුවය පතා අනුරාධපුර රුවන්වැලි මහා සෑරදුන් අබියසදී ආශීවාර්ද පූජාවක් ඊයේ (අගෝ. 24) සංවිධානය කර තිබිණ.
රනිල්ට සෙත් පතා රට පුරා බෝධි පූජා
රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සෙත් පතා රට පුරා බෝධි පුජා පැවැත්වීමට තීරණය කර ඇතැයි එජාප සභාපති වජිර අබේවර්ධන පැවසිය.
හිටපු ජනාධිපතිවරයාට සෙත් පතා ශ්‍රී ලංකාව පුරාම ආගමික ස්ථානවල පින්කම් සංවිධාන කර ඇති බව ද ඔහු පැවසිය.
ඔහු එබව කියා සිටියේ කොල්ලූපිටිය වාලුකාරාම විහාරස්ථානයේදී ද ඊයේ (24) පස්වරුවේ පැවති බෝධි පූජා පින්කමට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එක්සත් ජාතික පක්ෂ නායකයෝද ප්‍රදේශවාසීහුද විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
බෝධි පූජා පින්කමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ එජාප ජාතික සංවිධායක සාගල රත්නායක පැවසූයේ, රනිල් වික්‍රමසිංහ ගේ සුව දුක් බැලීමට යන සංඛ්‍යාව වෛද්‍යවරුන්ගේ උපදෙස් මත බොහෝ සීමා කොට ඇති බවයි.
බින්දුවට වැටුණු ආර්ථිකයක් සහිත රටක් බාරගෙන ජනතාවට කන්න අඳින්නට දුන් රනිල් වික්‍රමසිංහ ට යුතුකම් ඉටු කිරීම සඳහා දැන් ජනතාවට අවස්ථාවක් ලැබී ඇති බවද සාගල රත්නායක කීය.










