මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ (CHRD) විධායක අධ්‍යක්ෂ නීතිඥ කේ. එස්. රත්නවේල් පෙන්වා දෙන්නේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර දැනුවත්ව හෝ නොදැනුවත්ව අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් මෙසේ කැනීම් කටයුතුවලට මැදිහත්වීම් සිදු කිරීමට උත්සාහ ගෙන ඇති බවයි.
"යුක්තිය සහ නීතිය සම්බන්ධ අමාත්‍ය නානායක්කාර සම්මුඛ සාකච්ඡා දෙනවා, පාර්ලිමේන්තුවේ කථා කරනවා. ඒක හරි. නමුත් ඔහු නොදැනුවත්ව..., මම දන්නෑ ඔහු දන්නවද නැද්ද කියල, මැදිහත්වීම් කරන්න උත්සාහයන් තිබිල තියෙනවා"
ජ්‍යෙෂ්ඨ නීතිඥයා ඒ බව සදහන් කළේ 2025 අගෝස්තු 20 වැනි බදාදා කොළඹ ගුරු මැදුර ශාලාවේ පැවති සාකච්ඡා සභාවක් අමතමිනි.
"චෙම්මනියේ වර්තමානය, යුක්තිය හා දේශපාලනය" යන්න තේමා කරගනිමින් එම සාකච්ඡා සභාව සංවිධානය කර තිබුනේ යුක්තිය උදෙසා ජනතා බලය සංවිධානය විසිනි.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නීතිඥ නඩරාජර් කාන්දීපන් ද එම සාකච්ඡා සභාව ආමන්ත්‍රණය කළේය.
අධිකරණ, අමාත්‍යංශ ලේකම්වරිය විසින් චෙම්මනි සුසානයේ කැනීම් සිදුකරන විශේෂඥයකු අමතා යම් උපදෙස් දීමක් නැතිනම් මඟපෙන්වීමක් ලබා දීමට උත්සාහ කර ඇතත්, ඔහු ඇය හා කථා කිරීම ප්‍රතික්ෂේප කර තිබෙන අතර, ඇය අවසානයේදී පොලිස් නිලධාරීන් ඇමතීමට උත්සාහ කර තිබුනද, ඔවුන්ද ඇයගේ උපදෙස් පිලිපැදීමට එතරම් කැමැත්තක් දක්වා නැති බව නීතිඥ කේ. එස්. රත්නවේල් එහිදී හෙළි කර තිබුනි.
"ඒ අනුව මේ ක්‍රියාවලියට ආණ්ඩුවේ සිතැඟි පරිදි මැදිහත් වීමට උත්සාහයන් තිබිල තියෙනවා. සමහර විට මේවා ප්‍රමාද කරන්න වෙන්න පුලුවන්. අපි දන්නෑ අරමුණ මොකක්ද කියල"
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන්නේ ජනාධිපති නීතිඥ, අයේෂා ජිනසේනය.
මෙම නිලධාරිනිය විසින් මෙයට පෙර ද චෙම්මනි සමූහ සුසානයේ සිදුකළ කැනීම් සම්බන්ධයෙන් මෙසේ මැදිහත්වීම් සිදු කර ඇති අයකු ලෙස පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ. එස්. රත්නවේල් එහිදී හෙළි කර තිබුනේ චෙම්මනි සමුහ මිනීවලේ අතරමග ඇන හිටි විමර්ශන 2001 වසරේදී පළමු වරට සිදු කරද්දී ඇය නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මේ හා සම්බන්ධ වී ඇති බවයි.
"අධිකරණයේ නඩුවක් විභාග කෙරුනා. කැනීම් කටයුතු සිද්ද වුනා. එම තැනැත්තියම නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මේ කටයුතුවලට සම්බන්ධ වුනා. දින කිහිපයක් කැනීම් කරල, ඇටසැකිලි 15ක් පමණ සොයාගත්තට පස්සෙ, එම කටයුත්ත එතැනම නවතා දැමුනා."
දෙවැනි අදියරේ කැනීම් කටයුතු දින 32ක් පුරා සිදු කිරීමෙන් පසු කැනීම් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා දීම සදහා අගෝස්තු 06 වැනිදා සිට විමර්ශන කටයුතු තාවකාලිකව නතර කරන විට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ කරන ලද කැනීම්වලින් කුඩා දරුවන්ගේ ඇතුළු මිනිස් ඇටසැකිලි 140 ක් ගොඩ ගෙන තිබු අතර මතු කරගත් සමස්ත ඇටසැකිලි ගණන 147 කි. චෙම්මනි සමුහ සුසානයේ යලි කැනීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ අගෝස්තු 25 වැනිදායි.
පෞද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩ සටහනකට එක් වෙමින් පසුගියදා නීතිඥ හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයා මුල් වරට හෙළි කර තිබුනේ මේ වනවිට ශ්‍රී ලංකාවේ සමූහ මිනීවලවල් 17ක් හමුවී ඇති බවයි. ඒවා නම් කිරීමටත් අමාත්‍යවරයා එහිදී කටයුතු කර තිබුනි.




