The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●
Top Ad
පුවත්

රනිල් ට 'දැඩි විවේකයක් අවශ්‍ය යි': උසාවි යන්න පුළුවන් ද? ඇප ලබා ගත හැකි ද?

T

The Leader Desk

August 26, 2025 • 4:11 AM

රනිල් ට 'දැඩි විවේකයක් අවශ්‍ය යි': උසාවි යන්න පුළුවන් ද? ඇප ලබා ගත හැකි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකදී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කර තිබිණ.
  • හිටපු ජනාධිපතිවරයා අධිරුධිර පීඩනයෙන් සහ දියවැඩියා රෝගී තත්ත්වයෙන් ද පෙළෙන බව ඔහු සඳහන් කර ඇත.
  • මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, හිටපු ජනාධිපතිවරයා "දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ දැඩිසත්කාර ඒකකයේ තබා ගත යුතු බවට" විශේෂඥ වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇති බව ය.
  • සංකූලතා ඇති වෙලා තියෙනවා ද?
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකදී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කර තිබිණ.

හිටපු ජනාධිපතිවරයා අධිරුධිර පීඩනයෙන් සහ දියවැඩියා රෝගී තත්ත්වයෙන් ද පෙළෙන බව ඔහු සඳහන් කර ඇත.

කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ ඊයේ (අගෝ. 25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, හිටපු ජනාධිපතිවරයා "දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ දැඩිසත්කාර ඒකකයේ තබා ගත යුතු බවට" විශේෂඥ වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇති බව ය.

"යම් කිසි ගුණයක් පෙන්වමින් යම් ස්ථාවර තත්ත්වයක් පෙන්වනවා. හරි ම තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. හවස් වෙනකොට තමයි අපිට තීරණය කරන්න පුළුවන් එතුමා සුදුසු තත්ත්වයක සිටියි ද කියලා," ඔහු වැඩිදුරටත් පැවසීය.





වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සහ බීබීසී සිංහල අතර සිදුවුණු සංවාදය

හිටපු ජනාධිපතිවරයාගේ දැන් සෞඛ්‍ය තත්ත්වය කොහොම ද?

තාම දැඩි සත්කාර ඒකකයේ. අපිට දින තුනක් නිරීක්ෂණය කරන්න වෙනවා.

26 වෙනිදා අධිකරණයට යන්න පුළුවන් ද?

බැහැ නේ. ඉස්සෙල්ලා ම දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට යන්න ඕනේ. සාමාන්‍ය වාට්ටුවක ඉඳලා තමයි නඩුවට යන්න ඕනේ.

සංකූලතා ඇති වෙලා තියෙනවා ද?

සංකූලතා වර්ධනය වේගෙන එනකොට යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. ප්‍රතිකාර ගත්ත නිසා ඒක රිවර්සිබල් වෙනවා.

එතකොට විජලන තත්ත්වයක් ද ඔහුට තියෙන්නේ?

විජලනය සහ ඒ සම්බන්ධ සංකූලතා... වකුගඩු සහ හෘදය...

ඒ කියන්නේ ඒවායේ සංකූලතා ඇති වෙලා තියෙනවා ද?

ඇති වෙලා තියෙනවා නෙවෙයි, ඇති වේගෙන ගියා ම, පැරාමීටර්ස් වෙනස් වේගෙන එනකොට අපි ටක් ගාලා මැදිහත් වුණා.

විවේකයක් ද අවශ්‍ය එතකොට?

දැඩි විවේකයක් සහ සජලනය තමයි අවශ්‍ය. ඔහුට කොහොමත් අධිරුධිර පීඩනය සහ දියවැඩියාව තියෙනවා. ඒවත් පාලන කරන්න වුණා. මොක ද ඒ පරාමීතීනුත් වැඩි වෙලා තිබුණ නිසා.

අගෝස්තු 24 වන දා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහසක් දක්වමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිකාර කටයුතු සඳහා විශේෂඥ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ය.




විජලනය යනු කුමක් ද?

විජලනය යනු, මිනිස් සිරු‍රේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට දේහය තුළ ජලය නොපැවතීම බව ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ නිරත නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් පැවසීය.

වැඩි වශයෙන් දහඩිය දැමීම, වමනය, පාචනය සහ අතීසාරය වැනි තත්ත්වවලදී විජලනය ඇති විය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය. 

 
"විජලනය ඉතා භායනක වෙන්නේ කුඩා දරුවන්ගේ සහ වැඩිමහල් අයගේ. ඒ අයට විජලනය කියන දෙය සරල දෙයක් නෙවෙයි," වෛද්‍යවරයා අවධාරණය කළේ ය.
 
ඔහු සඳහන් කළේ, විජලනය මොළය, හෘදය සහ වකුගඩු ආදී අවයවවල ක්‍රියාකාරිත්වය බලපෑ හැකි බව ය.

[විජලනය හේතුවෙන්] "හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්," ඔහු පැවසීය.

'ඇප ලබා දීමට අසනීප යි කියන එක සුවිශේෂී කරුණක් වෙන්නේ නැහැ' - නීතිඥ උදුල් ප්‍රේමරත්න

යම් හෙයකින් අද (අගෝ. 26) දිනයේදී හිටපු ජනාධිපතිවරයාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වුවහොත් ඇති විය හැකි තත්ත්වය පිළිබඳව බීබීසී සිංහල නීතිඥ උදුල් ප්‍රේමරත්නගෙන් විමසීමක් කර තිබිණ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණය වෙත කරුණු දක්වනු ඇති බව ය.
"ආවේ නැත්නම් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරනව නේ එයාගේ නීතිඥවරුන්. ඒක විනිසුරුවරයා විසින් සලකා බලනවා. එතකොට වරෙන්තු කරන්නේ නැහැ ආවේ නැහැ කියලා. වෙන්න පුළුවන් දේ තමයි ඊළඟ දවසකට යාවි," නීතිඥ උදුල් ප්‍රේමරත්න පවසයි. කෙසේ වෙතත්, නීතිඥවරයා අවධාරණය කර සිටින්නේ, ඇප ලබා දීම සඳහා "අසනීප යි කියන එක සුවිශේෂී කරුණක් වෙන්නේ නැහැ," යනුවෙනි.
"මහේස්ත්‍රාත් ඇප දෙන්න නම්, පොදු දේපළ පනතේ සුවිශේෂී කරුණු තියෙන්න ඕනේ. දැනටත් ප්‍රතිකාර හම්බ වෙනවා නම් ඇප ලබා දෙන්න හේතුවක් නෙවෙයි," ඔහු වැඩිදුරටත් පැවසීය.

සැකකරුවෙකුට ඇප ලබා දීම හෝ ලබා නොදීමට අධිකරණයට පැමිණීම අදාළ නොවන බව නීතිඥ අචලා සෙනෙවිරත්න පවසයි.

බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, "අධික ලෙස රෝගාතුර වීමත් සුවිශේෂී කරුණක්. හෘද රෝගියෙක් නම් සුවිශේෂී කරුණක් විදිහට සලකනවා. හැබැයි ඔප්පු කරන්න ඕනේ එයාට ඒ අදාළ ස්ථානයෙන් ප්‍රතිකාරයක් ලැබෙන්නේ නැහැ කියලා," ඇය පැහැදිලි කළා ය.

පොදු දේපළ පනතේ යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබා දිය හැකි ද?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කිහිපයක් යටතේ සහ පොදු දේපළ පනතේ 5 (1) වගන්තිය යටතේ චෝදනා ගොනු කර ඇතැයි නීතිඥ ඉසුරු මහේෂ් පණ්ඩිත බීබීසී සිංහල වෙත පවසා ඇත.
 
ඒ අනුව, පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබා දීමේ බලයක් තිබේ ද? යන්න පිළිබඳව බීබීසී සිංහල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වාගේ විමසීමක් කර තිබිණ. එහිදී ඔහු පෙන්වා දෙන්නේ, මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබා දීමේ හැකියාව පවතින බව යි.
"යම් කිසි පුද්ගලයෙක්ව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කළ පසුව අවස්ථා දෙකක් තියෙනවා මහේස්ත්‍රාත්තුමාට ක්‍රියාත්මක වෙන්න. ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්තුමාට සාමාන්‍ය නීතිය යටතේ ඇප ලබා දීමට හැකියාවක් තියෙනවා ඇප පනත යටතේ ක්‍රියාකරමින්. ඒක පළවෙනි අවස්ථාව.

ඊට අමතරව සහකාර පොලිස් අධිකාරීවරයෙකුට වඩා ඉහළ නිලධාරියෙකු විසින් දෙනු ලබන සහතිකයක් මත ඒ අදාළ සැකකරු ඉදිරිපත් කළහොත් එවැනි අවස්ථාවකදී ඒ සැකකරුගේ පාර්ශවය වෙනුවෙන් සුවිශේෂී කරුණු ඉදිරිපත් කරනු ලැබුවහොත් ඒ වගේ අවස්ථාවකදී ඇප දීමේ හැකියාව තියෙනවා," ඔහු පැහැදිලි කළේ ය.

කෙසේ වෙතත්, එම සුවිශේෂී කරුණු මොනවා ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි නිර්ණායක මෙරට නීතියේ සඳහන් කර නොමැති බව ඔහු කියා සිටියි.

"නමුත් නඩු තීන්දුවලින් ඒ පිළිබඳව වරින් වර පෙන්වා දීලා තියෙනවා. ඒකෙ එක කාරණයක් තමයි, රෝගී තත්ත්වයකින් පෙළෙනවා නම් ඒ රෝගී තත්ත්වය පිළිබඳව විස්තරාත්මක කරුණු පෙන්වා දීම තුළ සහ ඒ ඉදිරිපත් කරන අවස්ථාවේදී සකකකරු රෝගයෙන් පීඩා විඳින එක අධිකරණය සෑහීමකට පත් කරන්න ඕනේ.
ඊට අමතරව තවත් එක් අවස්ථාවක් තියෙනවා නඩුවේ කරුණු පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් තිබෙනවා නම්, දුර්වලතාවක් තියෙනවා නම් ඒක සම්බන්ධයෙන් ධම්මදින්නා භික්ෂුණියගේ නඩු තීන්දුව අනුව අධිකරණයට ඒක සුවිශේෂී කාරණයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්.
තවත් අවස්ථාවක් තමයි, මේ වගේ තත්ත්වයකදී අපරාධ නීතිය යටතේ ක්‍රියාකරන්න ඕනේ ද නැද්ද කියලා බලලා ඇප දීමා සලකා බලන්න පුළුවන්," ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙයි.

ඔහු වැඩිදුරටත් දක්වමින් මෙසේ ද පවසයි.
 
"ඒ වගේ ම පැහැදිලිව කියලා තියෙන දෙයක් තමයි, හුදෙක් පැමිණිල්ලක් ලැබුණු නිසා ම පුද්ගලයෙකුව ඉදිරිපත් කරලා ඔහුව රිමාන්ඩ් භාරයට පත් කරන්න එපා කියන එක. ඒ වගේ ම නඩුවේ සාක්ෂි එකතු කර ගන්නා තුරු පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයේ තියන්න එපා කියලත් තියෙනවා."


(උපුටා ගැනීම : බීබීසී සිංහල )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...