The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●
Top Ad
පුවත්

රනිල් වික්‍රමසිංහ: ඇප දීමට පෙර අධිකරණයේදී සිදුවූ කරුණු දැක්වීම් ඇතුළු තවත් තොරතුරු

T

The Leader Desk

August 26, 2025 • 3:44 PM

 රනිල් වික්‍රමසිංහ: ඇප දීමට පෙර අධිකරණයේදී සිදුවූ කරුණු දැක්වීම් ඇතුළු තවත් තොරතුරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (අගෝස්තු 26) නියම කළේ ය.
  • කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කළේ, සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස ය.
  • විමර්ශනවලට බලපෑම් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ද මහේස්ත්‍රාත්වරිය තවත් නියෝගයක් නිකුත් කළා ය.
  • අධිකරණයේ අවසරයකින් තොරව අධිකරණ භූමිය තුළ රූගත කිරීම් කළ පුද්ගලයින් පිළිබඳව වහා පරීක්‍ෂණයක් පවත්වන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

අද (අගෝස්තු 26) නියම කළේ ය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කළේ, සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස ය.

විමර්ශනවලට බලපෑම් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ද මහේස්ත්‍රාත්වරිය තවත් නියෝගයක් නිකුත් කළා ය.


අධිකරණයේ අවසරයකින් තොරව අධිකරණ භූමිය තුළ රූගත කිරීම් කළ පුද්ගලයින් පිළිබඳව වහා පරීක්‍ෂණයක් පවත්වන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා ය. මහේස්ත්‍රාත්වරිය තවදුරටත් නියෝග කළේ‍, අධිකරණයට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයන් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනත යටතේ පියවර ගන්නා ලෙස ය.


ඊට අමතරව, සැකකාර රනිල් වික්‍රමසිංහ විසින් තමන්ට බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයකින් ආරාධනයක් ලැබුණු බව සඳහන් කරමින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන ලිපිය පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා ය.

අතිරේක සොලිසිටර් ජනරාල් ඇප නොදෙන්නැයි ඉල්ලයි

නඩුකරය කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.

"ස්වාමීනි ... පසුගිය නඩු දිනයේ මා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මට බාධා කිරීම් ඇති වුණා. මැදිහත් වීම් කළා. අධිකරණ කටයුතු වීඩියෝ කර සමාජ මාධ්‍යවලට මුදා හැර තිබුණා. මට මගේ කනිෂ්ඨ නීතිඥවරයා පවා ඉදිරියට ගෙන්න ගන්න බැරි වුණා. මේවා අනුමත කරන්න බෑ ස්වාමීනි...එදා නඩුව ඉවර වුණාට පස්සේ පිටත තිබූ කලබල නිසා පැයකට වැඩි කාලයක් අපිට අධිකරණය තුළ ඉන්න සිදුවුණා. ඔබ තුමියටත් එසේ වෙන්න ඇති. අපිට උසාවියට එන්න වෙන්නේ බයෙන් නම් ඒක භයානක තත්ත්වයක්. මෙවැනි ක්‍රියා අනුමත කරන්න බෑ. අධිකරණ භූමිය තුළ මැරකරණය සහ ත්‍රාඩකරණයට ඉඩ දෙන්න බෑ. ඒ නිසා යුක්තියේ දෙවඟන අතේ තිබෙන අසිපත භාවිත කරන ලෙස මා ඉල්ලා සිටිනවා."

ඒ අවස්ථාවේදී දිලීප පීරිස් සහ සෙසු නීතිඥවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

නැවතත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, ඉකුත් නඩු දිනයේ සැකකාර රනිල් වික්‍රමසිංහට බ්‍රිතාන්‍යයේ පිහිටි අදාළ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය සදහා සහභාගි වීම සඳහා පැමිණෙන ලෙස 2023 වසරේ සැප්තැම්බර් මස 01 වන දා එවා තිබූ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කළේ ය.

wolverhamton l| ජනාධිපති රනිල්ට ලන්ඩන් සංචාරයක් සඳහා ලැබුන බවට වාර්තා වූ ආරාධනා ලිපිය
එම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉකුත් දිනයේ අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරනු ලැබ තිබිණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකළ බව ඔහු පැවසීය.

එම විමර්ශනවලදී අදාළ ලිපිය විදේශ කටයුතු අමාත්‍යාංශය, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ ජනාධිපති කාර්යාලයේ පවතින ලිපි ගොනුවල නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙන බව අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණි.

එම ලිපිය පිළිබඳව එවකට ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ පෞද්ගලික ලේකම් දැන නොසිටි බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙය සාදන ලද ව්‍යජ ලියවිල්ලක් යැයි තමා ප්‍රකාශ කළේ එම නිසා බවත් සඳහන් කර සිටියේ ය.

 

මෙම නඩුකරය පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කර ඇති නිසා මෙම අවස්ථාවේදී ඇප පනත අදාළ වන්නේ නැතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකරුට ඇප ප්‍රදානය කරන්නේ නම් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් කළ යුතු බවත් සඳහන් කළේ ය. ඒ අනුව, පොදු දේපළ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටින බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.


විත්තියේ කරුණු දැක්වීම්

ඉන් අනතුරුව සැකකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන කරුණු දක්වමින් මෙසේ පැවසීය.

"ස්වාමීනි....මේක මහා මෝඩ වැඩක්. ජනාධිපතිවරයාට ඕනෑ ම සංචාරයකට යන්න පුළුවන්. ඒ ගමන් වියදම් සියල්ල විගණන කොමිසමෙන් විගණනය වෙනවා.

වරදක් තිබේ නම් සිදු කරන්නේ අධිභාරයක් පැනවීම යි. මේ වගේ මෝඩ වැඩ කරන්නේ නෑ. මේ ක්‍රියාව නිසා ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් සිදුවී තිබෙනවා.

ස්වාමීනි..., හිටපු ජනාධිපති තුමා සහභාගී වී තිබෙන්නේ එංගලන්තයේ සාමි මණ්ඩලයේ සිටින ඉතා වැදගත් ස්වරාජ් පෝල් නමැති සාමිවරයා උපකුලපති ලෙස කළ ඇරයුමකට අනුව යි, මේ සංචාරයට සහභාගී වී තිබෙන්නේ. මේ වගේ සාමිවරු ලංකාවට ඉතා වැදගත්. කොටි සංවිධානය තහනම් කිරීම, ජී.එස්.පී. සහනය ලබා ගැනීම වැනි කටයුතුවලට මෙම සාමිවරුන්ගේ සහය ඉතා වැදගත්. මේ වගේ ක්‍රියාවලින් එවැනි ස්වාමිවරුන් ශ්‍රී ලංකාව සමග අමනාප වෙනවා. ඒක අපට පාඩුවක්. අවාසනාවකට මේ සාමිවරයා අවාසනාවන්ත ලෙස මිය ගියා. මේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්වීම ආරංචි වී ඇති වූ කම්පනය නිසා ඔහු මිය ගියා ද කියලා දන්නේ නෑ."

narendra | සාමි ස්වරාජ් පෝල් රාජ් ගේ වියෝව සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී නිකුත්කර තිබු X පණිවිය..
අධිකරණයේදී හෙළි කළ හිටපු ජනපතිවරයාගේ රෝගී තත්ත්වය

ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහට පවතින රෝගී තත්ත්වයන් පිළිබඳව ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න කරුණු ඉදිරිපත් කළේ ය.

"ස්වාමීනි, මේ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළාට පස්සේ බන්ධනාගාරයේදී වෛද්‍ය පරීක්ෂණ කීපයක් කර තිබෙනවා. ඒ පරීක්ෂණ කළේ, අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්න නෙවෙයි. ඒ පරීක්ෂණයෙන් පසුව අනාවරණය වුණේ මේ සැකකරු බන්ධනාගාර රෝහලේ තියාගන්න බෑ කියලා. ඒ අනුව ඔහු ජාතික රෝහලට ඇතුළත් කර මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා," ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා "ස්වාමීනි, සැකකරුගේ හෘදය වස්තුවේ ධමනි තුනක් අවහිර වී තිබෙනවා. එම අවහිර වීම් හෘදය වස්තුව ආසන්නයේ පිහිටා තිබීම නිසා ශල්‍යකර්මයක් කිරීමට නොහැකි වී තිබෙනවා. දියවැඩියාව උත්සන්න වී තිබෙනවා. අධික රුධිර පීඩනය උත්සන්න වී තිබෙනවා.

වකුගඩුවල රෝගී තත්ත්වයන් පවතිනවා. ඔහුට අග්න්‍යාශයේ උඩ කොටසේ සංකූලතාවක් තිබෙනවා. ඒ වගේ ම නින්දේදී හුස්ම හිරවීමක් සිදු වෙනවා. විනාඩි දෙක තුනක් හුස්ම හිරවෙනවා. වසර හතක් පමණ මෙම සැකකරුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරු තමයි මේ වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ. ඔහු පැය 24 ම වෛද්‍ය අධීක්ෂණය මත සිටිය යුතු පුද්ගලයෙක්. බන්ධනාගාරගත වීමෙන් ඔහුගේ මානසික ආතතිය වැඩි වෙනවා."

මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා සිය සේවා දායකයා ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

දීලීප පීරිස් සහ ගුණරත්න වන්නිනායක අතර වචන හුවමාරුවක්

ඉන් අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී දිලීප පීරිස් සහ නීතිඥ ගුණරත්න වන්නිනායක අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

ඒ අවස්ථාවේදී නැගී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මෙම නඩුවේ සැකකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තමා සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපන පමණක් පෙනී සිටින බව අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ සමග රැස්ව සිටි නීතිඥවරුන් ඇමතූ නීතිඥ ගුණරත්න වන්නිනායක, "අපි මෙතනට නීතිඥවරුන් පන්සීයක් විතර ඇවිත් ඉන්නවා. අපි මේ නඩුවේ නැත්නම් යමු," යනුවෙන් පවසා වචන හුවමාරුවක් ඇති කර ගත්තේ ය.

පසුව සෙසු නීතිඥවරු මැදිහත් වී උණුසුම් තත්ත්වය සමනය කළහ.

පසුව වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මෙසේ පැවසීය.


"ස්වාමීනි ස්වරාජ් පෝල් නමැති සාමිවරයා ලංකාවට විශාල සේවයක් කර තිබෙන බව ජනාධිපති නීතිඥතුමා සඳහන් කළා. මං කැමතියි ලංකාවට කරපු එක සේවයක් ගැන කියන්න කියලා. ඒක කියා ගන්න බෑ. ස්වාමීනී මේක අවභාවිතාවක් නෙවෙයි. මහජන මුදල් කාබාසීනියා කිරීමක්. මෙම නඩුකරයට අදාළ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් සිදුකළ යූටියුබ්කරුවෙකු පිළිබඳවත් විමර්ශන කරන්න කියලා මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දීලා තිබෙනවා. ඒ අනුව, ඇප ඉල්ලීම සමග පසුගිය 22 වන දාට වඩා අලුත් සුවිශේෂී කරුණු කිසිවක් අද ඉදිරිපත් වෙලා නෑ. මේ සැකකරුට ඇති රෝගී තත්ත්වයන් පිළිබදව අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හරහා පරීක්ෂා කර වාර්තාවක් කැඳවිය යුතු යි."


ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දිලීප පීරිස් ඉල්ලා සිටියේ ය.

මහේස්ත්‍රාත්වරියගේ තීන්දුව

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව නියෝගය ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට වාර්තා කර ඇති බවත්, මෙම සැකකරු සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු හය දෙනෙකු විසින් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් පැවසීය.

එම වාර්තාවට අනුව මෙම සැකකරු දෙවන මට්ටමේ දියවැඩියා රෝගී තත්ත්වයෙන් පසු වන බවත්, පාලනය කර නොහැකි අධිරුධිර පීඩන තත්ත්වයකින් පසු වන බවත්, වකුගඩු රෝගී තත්ත්වයක් මෙන් ම නිදා ගැනීමට බාධා සහිත තත්ත්වයකින් පසු වන බවත් ඇය සඳහන් කළා ය.

ඒ අනුව, මෙම සැකකරු සමීප වෛද්‍ය අධීක්ෂණය යටතේ තැබිය යුතු පුද්ගලයෙකු බවත්, එසේ නොවුවහොත් ඔහුගේ ජීවිතයට අවදානමක් ඇති විය හැකි බවත් එම වාර්තාව මගින් පෙන්වා දී ඇති බව මහේස්ත්‍රාත්වරිය පැවසීය.

ඒ අනුව, මෙම වෛද්‍ය වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති කරුණු අසාමාන්‍ය කරුණු සේ සලකා මෙම සැකකරු ඇප මත මුදා හැරීමට තීන්දු කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා ය.

මෙම පැමිණිල්ල ඔක්තෝබර් මස 29 වන දා යළි කැඳවීමට නියම කෙරිණි.

(උපුටා ගැනීම - බීබීසී සිංහල )


සබැඳි ලිපියක්  :

රනිල්ට ඇප නොදීමට හේතුන් සහ ආන්දෝලනාත්මක ලන්ඩන් සංචාරය ගැන ඔබ මේ තොරතුරු දන්නවා ද ?


 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...