The Leader News
BREAKING
හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●
Top Ad
පුවත්

ඇප අවලංගු කිරීම ප්‍රතික්ෂේප කළත් රාජිත සේනාරත්න රිමාන්ඩ්

T

The Leader Desk

August 29, 2025 • 5:30 AM

ඇප අවලංගු කිරීම ප්‍රතික්ෂේප කළත් රාජිත සේනාරත්න රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, අල්ලස් කොමිසම ගොනු කර තිබූ වෙනත් නඩුවක් සඳහා රාජිත සේනාරත්න කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ය.
  • ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි.
  • එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු මේ වන විට මෙම නඩුව සම්බන්ධයෙන් ඇප මත මුදාහැර තිබෙන බවත්, ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළා ය.
  • එබැවින් මෙම විත්තිකරු ඇප පනත යටතේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති හෙයින් මෙම නඩුව සඳහා ඔහුට ප්‍රදානය කර තිබෙන ඇපය අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස අල්ලස් කොමිසමේ නීතිඥවරිය ඉල්ලා සිටියා ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, අල්ලස් කොමිසම ගොනු කර තිබූ වෙනත් නඩුවක් සඳහා රාජිත සේනාරත්න කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ය.

ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි.

 

WhatsApp Image 2025 08 29 at 12.38.12 PM
ඇප අවලංගු කිරීම ප්‍රතික්ෂේප කරයි


එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රාජිත සේනාරත්න අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු මේ වන විට මෙම නඩුව සම්බන්ධයෙන් ඇප මත මුදාහැර තිබෙන බවත්, ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළා ය.

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මෙම සැකකරු දිගින් දිගට ම ප්‍රකාශ ලබා දීමට පැමිණීම මගහැරීම නිසා ඉකුත් අගෝස්තු මස 12 වන දා විත්තිකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගෙන තිබෙන බව ද නීතිඥවරිය පැවසීය.

එබැවින් මෙම විත්තිකරු ඇප පනත යටතේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති හෙයින් මෙම නඩුව සඳහා ඔහුට ප්‍රදානය කර තිබෙන ඇපය අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස අල්ලස් කොමිසමේ නීතිඥවරිය ඉල්ලා සිටියා ය.
 WhatsApp Image 2025 08 29 at 12.38.12 PM 1
 
මෙහිදී රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඉල්ලීමට තමන් තරයේ විරුද්ධ වන බව පැවසීය. ඇප පනත යටතේ තම සේවාදායකයාගේ ඇප අවලංගු කිරීමට තරම් කරුණු කිසිවක් පැමිණිල්ල ඉදිරිපත් කර නොමැති බව ඔහු කියා සිටියේ ය.
 
 
"අල්ලස් කොමිසමට අවශ්‍ය වන්නේ, මේ වගේ පුද්ගලයන් දිගින් දිගට ම රිමාන්ඩ් භාරයට පත් කිරීමට" බවත් ඊට ඉඩදිය නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.

තම සේවාදායකයා සෑම නඩු දිනයක ම අධිකරණය හමුවේ නොකඩවා පෙනී සිටි බවත්, ඔහු අධිකරණයට ගරු කරමින් අද දිනයේත් මෙම අධිකරණයට පැමිණ තිබෙන බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඔහුගේ ඇපය අවලංගු කිරීමට නොහැකි බව කියා සිටියේ ය.

මෙය අල්ලස් කොමිසමේ අසාමාන්‍ය ක්‍රියා කලාපයක් යැයි චෝදනා කළ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අල්ලස් කොමිසමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එම අවස්ථාවේදී විනිසුරුවරිය ජනාධිපති නීතිඥවරයාට සඳහන් කළේ, පෞද්ගලික පහරදීම් සිදු කිරීමෙන් වළකින ලෙස ය.
 
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න සැකකාර රාජිත සේනාරත්න මෙම නඩුව සඳහා මුල පටන් අඛණ්ඩව පෙනී සිට ඇති බව නඩු වාර්තාව පිරික්සීමේදී පෙනී යන බව සඳහන් කළා ය. ඒ අනුව ඇප පනතේ 14(2) වගන්තිය ප්‍රකාරව මෙම සැකකරු විසින් අධිකරණයට නොපැමිණීමක්, බලපෑම් කිරීමක්, අයුතු මැදිහත් වීමක් සිදුකරන තිබෙන බවට තම අධිකරණයට කරුණු පෙනී නොයන බව විනිසුරුවරිය සඳහන් කළා ය. වෙනත් නඩුවකට මෙම සැකකරු පෙනී නොසිට තිබෙන බව පැවසුව ද මෙම අධිකරණය හමුවේ ඔහු නොකඩවා පෙනී සිට ඇති බැවින් ඔහු අධිකරණය මගහැරීමක් සිදුකර නොමැති බව පැහැදිලි වන බවත් විනිසුරුවරිය සඳහන් කළා ය.
 
ඒ අනුව, මෙම නඩුව සඳහා ඇප අවලංගු කිරීමට තරම් සාධාරණ කරුණු මේ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් වී නොමැති බව විනිසුරුවරිය පැවසීය.

ඒ අනුව, මෙම විත්තිකරුට නියම කර තිබෙන ඇපය අවලංගු කොට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම විසින් කරනු ලබන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරු ලංකා ජයරත්න සඳහන් කළා ය.

කෙසේ වෙතත්, මෙම විත්තිකරුට වරෙන්තුවක් නිකුත් වී තිබෙන බව සහ ඒ පිළිබඳව විත්තිකරු දැනුවත්ව සිටින බවට මෙම අධිකරණයට කරුණු පැහැදිලි වී ඇතැයි සඳහන් කළ විනිසුරුවරිය ඊට අදාළව කටයුතු කිරීමට අධිකරණය බැඳී සිටින බවත් සඳහන් කළා ය.

ඒ අනුව මෙම විත්තිකාර රාජිත සේනාරත්න වහා ම රිමාන්ඞ් භාරයට ගන්නා ලෙස නියෝග කළ විනිසුරුවරිය ඉන් අනතුරුව ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කර සිටියා ය.
 
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට ඉදිරිපත් කරන තුරු ඔහු රිමාන්ඩ් භාරයේ තබාගන්නා ලෙසත් විනිසුරුවරිය බන්ධනාගාර නිලධාරීන්ට නියම කළා ය. ඒ අනුව විත්තිකාර රාජිත සේනාරත්න මේ වන විට බන්ධනාගාර නිලධාරීන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.
 
චෝදනා මොනවා ද?
 
WhatsApp Image 2025 08 29 at 12.38.12 PM 2
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයක සැකකරුවෙකු වශයෙන් නම් කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අගෝස්තු 12 වන දා වරෙන්තු නිකුත් කළේ ය.

සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබා දීම මගහරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මෙම නියෝගය නිකුත් කළේ ය.

එදින අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, 2012 වසරේ මැයි මස 19 වන දා "සී වූ ප්‍රයිවට් ලිමිටඩ්" නමැති කොරියානු සමාගමක් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව කිරින්ද ධීවර වරායේ පිරී තිබෙන වැලි ඉවත් කර ඒවා පිරිසිදු කර දේශීය වෙළඳපොළට මුදා හැරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එවකට ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න අනුමැතිය ලබා දී තිබූ බව ය.

මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් වෙත එම යෝජනාව ඉදිරිපත් කර ඊට අදාළ පාරිසරික වාර්තා ඇතුළු වාර්තා කැඳවා අධ්‍යයනය කිරීමකින් අනතුරුව එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අනුමැතිය ලබාදීම සාමාන්‍ය පිළිවෙත වුවත්, මෙම ව්‍යාපෘතිය සඳහා සැකකාර හිටපු අමාත්‍යවරයා සම්මත ක්‍රමවේදයෙන් බැහැරව ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගෙන් වාර්තාවක් පමණක් කැඳවා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇති බවත් සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවා ය.

එම ව්‍යාපෘතිය පැවරීමෙන් පසුව වැලි ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් කිසිවක් අදාළ කොරියානු සමාගම සතුව නොතිබූ අතර, ඉන් අනතුරුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව තිබූ "වැලිගොව්වා" නෞකාව ඇතුළු පහසුකම් එම සමාගම වෙත ලබා දීමට සිදුවූ බවත් ඇය කියා සිටියා ය.

මේ හේතුවෙන් ධීවර වරාය නීතිගත සංස්ථාවට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් සිදුවී ඇතැයි ඇය සඳහන් කළාය.

(උපුටා ගැනීම - බීබීසී සිංහල සේවය)
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...