විශාලත්වයෙන් හයවැනි තැන ගන්නා කොක්කුතොඩුවායි සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ඉදිරියේ 2025 අගෝස්තු 28 වැනි බ්‍රහස්පතින්දා විභාගයට ගැනීමෙන් අනතුරුව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ගොඩගන්නා ලද භාණ්ඩ හදුනා ගැනීම වෙනුවෙන් අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) ප්‍රචාරය කළ පුවත්පත් දැන්විමට මේ වන විට සති තුනක කාලයක් ගතව ඇති බවයි.
එසේ වුවත් කොක්කුතොඩුවායි සමුහ මිනි වලෙන් ගොඩගත් ද්‍රව්‍යවල අනන්‍යතාවය හෙළි කර ගැනීම සඳහා මේ වන තෙක් කිසිදු අයකු ඉදිරිපත් වී ඇති බවට කිසිදු තොරතුරක් ලැබී නැති බව නීතිඥ නිරංජන් වැඩි දුරටත් කියා සිටියේය.
නීතිඥ වී එස් නිරංජන්
"පුද්ගලයන් හඳුනා ගැනීමේ කටයුතු තමයි දැන් කරමින් ඉන්නේ. මේ පුවත්පත් දැන්වීම් ප්‍රකාශයට පත් කරලා සති තුනයි නේ. මේ සදහා කාලය ප්‍රමාණවත් නොවීම නිසා OMP කාර්යාලය විසින් මෙයට අදාල වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කරලා නැහැ. මේ සම්බන්ධයෙන් අපිටත් කිසිදු තොරතුරක් ලැබී නැහැ."
කොක්කුතොඩුවායි සමුහ සුසානයෙන් ගොඩගත් පාරිහාරික භාණ්ඩ වල අනන්‍යතාවය හෙළි කර ගත හැකි තොරතුරු පවතින්නේනම් බියක් නොමැතිව ඒවා ලබා දීමට ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටි නීතිඥ නීතිඥ වී එස් නිරංජන් අගෝස්තු 28 වැනිදා මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කර සිටියේ එසේ ඉදිරිපත් වන අයගේ ආරක්ෂාව තහවුරු කරන බවයි.
OMP කාර්යාලය විසින් ගෝස්තු 3 වැනිදා පුවත්පත් වල ප්‍රචාරය කළ එම දැන්වීම නිසි ආකාරයෙන් ජනතාව අතට ගොස් ඇති බවට විශ්වාසයක් පවතින්නේදැයි පළාත් බද මාධ්‍යවේදියකු නැගු පැනයට පිළිතුරු දෙමින් නීතිඥ වී එස් නිරංජන් අවධාරණය කර තිබුනේ පුවත්පත් දැන්වීමක් කඩිනමින් ජනතාව අතට පත් නොවන බවයි.
"මෙය ජනතාව වෙත ළඟා වී ඇත්දැයි සොයා ගත හැක්කේ ජනතාවගෙන් විමසීමෙන් පමණයි. මොකද පුවත්පත් දැන්වීම් වහාම ජනතාව වෙත ළඟා වෙන්නේ නැති නිසා."
2025 අගෝස්තු 3 වැනිදා පුවත්පත් තුළ පළ කළ දැන්වීම මගින් OMP විසින් ජනතාවගෙන් ඉල්ලා තිබුනේ එහි සදහන් කර ඇති පාරිහාරික භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 2025 සැප්තැම්බර් 4 වැනි දිනට පෙර අතුරුදහන් තැනැත්තන් පිළිබඳ ප්‍රධාන කාර්යාලයට හෝ එහි නම් කර ඇති ප්‍රාදේශිය කාර්යාල වෙත පැමිණ තොරතුරු ලබා දෙන ලෙසයි.
කොක්කුතොඩුවායි සමුහ සුසානයෙන් ගොඩ ගත් මිනිස් අස්ථි 30 ට අදාලව පාරිහාරික භාණ්ඩ ලේඛනයක් එම දැන්වීමේ පළ කර තිබේ.
කොක්කුතොඩුවායි විමර්ශනයට පුරෝගාමී වී සිටි වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව විසින් 2024 මාර්තු මාසයේ අධිකරණයට දැනුම් දී තිබුනේ සමූහ මිනීවලෙන් ගොඩගන්නා ලද අස්ථි කොටස් අනූව දශකය මැද භාගයේ වල දමන ලද විමුක්ති කොටි සාමාජිකයන්ගේ බවයි.
සමූහ මිනීවළෙන් ගොඩ ගන්නා ලද සිරුරු 1994 සහ 1996 අතර කාලය තුළ අවිධිමත් ලෙස වල දමන ලද ඒවා බවට වෝහාරික පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් මුලතිව් දිසා අධිකරණයට 2024 මාර්තු 22 ලබා දුන් වාර්තාවකින් ඉදිරිපත් කර තිබුනි.
ඔවුන් වෙඩි පහරින් මියගොස් ඇති බව ඔහු නිසැක නිගමනය විය.
2024 ජුලි 15 වැනිදා කැණීම් නිමාකළ මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි සමූහ සුසානයෙන් ගොඩගත් 52න් එක් අයකු හැර අනෙක් සැවොම මරුමුවට පත් වී ඇත්තේ වෙඩි උණ්ඩයෙන් හෝ පිපිරීමකින් සිදුවූ තුවාල නිසා බව අධිකරණ වෛද්‍ය නිලධාරි කනගසබාපති වාසුදේවා විසින් සම්පාදනය කරන ලද වාර්තාවක් මගින්ද නිගමනය කර තිබුනි.
කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් 2023 ජුනි අගදී මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කැබලි අහම්බයෙන් හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී අහඹු ලෙසය.




