රෝහලෙන් බැහැරව ගියද ලැබී ඇති වෛද්‍ය උපදෙස් අනුව රනිල් වික්‍රමසිංහ නිවසේ තවදුරටත් විවේකයෙන් ගත කිරීමට නියමිත බව ඔහුගේ කාර්යාලය විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.
නිවසේ රැඳි සිටින කාලය තුළදී රනිල් වික්‍රමසිංහ ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරු දැඩි අධීක්ෂණයෙන් කටයුතු කරනු ලබන බවද එම නිවේදනයේ දැක්වේ.
හිටපු ජනාධිපතිවරයා අගෝ. 22 වන දා අත්අඩංගුවට ගැනිණි
2023 වසරේ බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් ඒ සඳහා රුපියල් ලක්ෂ 166ක රජයේ මුදල් වැය කර රජයේ අරමුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අගෝ. 22 වන දා අත්අඩංගුවට ගැනිණි.
එදින ම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර පැවති සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහු බන්ධනාගාර රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කෙරිණි.
අනතුරුව ඔහු එහි දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබුණේ විජලන තත්ත්වයක් හේතුවෙන් මතු වූ සංකූලතා මත බව වෛද්‍යවරු පැවසූහ.
අගෝස්තු 26 වන දා ඇප මත නිදහස් කෙරුණ ද අද (අගෝස්තු 29) දක්වා ම ඔහු එහි ප්‍රතිකාර ලැබූ අතර අද පෙරවරුවේ ඔහු සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබිණි.
අධිකරණයේදී රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් හෙළි වූයේ මොනවා ද?
ඇප ලබා දුන් දින පැවති නඩු විභාගයේදී රනිල් වික්‍රමසිංහට පවතින රෝගී තත්ත්වයන් පිළිබඳව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේ ය.
"ස්වාමීනි, සැකකරුගේ හෘදය වස්තුවේ ධමනි තුනක් අවහිර වී තිබෙනවා. එම අවහිර වීම් හෘදය වස්තුව ආසන්නයේ පිහිටා තිබීම නිසා ශල්‍යකර්මයක් කිරීමට නොහැකි වී තිබෙනවා. දියවැඩියාව උත්සන්න වී තිබෙනවා. අධික රුධිර පීඩනය උත්සන්න වී තිබෙනවා. වකුගඩුවල රෝගී තත්ත්වයන් පවතිනවා. ඔහුට අග්න්‍යාශයේ උඩ කොටසේ සංකූලතාවක් තිබෙනවා. ඒ වගේ ම නින්දේදී හුස්ම හිරවීමක් සිදු වෙනවා. විනාඩි දෙක තුනක් හුස්ම හිරවෙනවා. වසර හතක් පමණ මෙම සැකකරුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරු තමයි මේ වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ. ඔහු පැය 24 ම වෛද්‍ය අධීක්ෂණය මත සිටිය යුතු පුද්ගලයෙක්," ඔහු පැවසීය.





