අධික මිනිස් ජීවිත වලට යුක්තිය ඉල්ලා, එක්සත් ජාතීන්ගේද ගෞරවාචාර ලැබූ උතුරේ ස්මාරකයක් අබියසින් සාමකාමී උද්ඝෝෂණයක් දියත් කර තිබේ.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය ආසන්නයේ ඉදිකර තිබෙන ‘නොනිමෙන ප්‍රදීපය’ 2026 ජුනි මාසයේ අවසන් සති අන්තයේ දී දැල්වු ජනතා ක්‍රියාකාරිත්වයේ ව්‍යාපාරය විසින් "උරිමෛප්පන්තම්" හෙවත් උරුමයේ ගිනිහුල නමින් පන්දම් 427 ක් දල්වා ලීමට කටයුතු කර ඇත්තේ එම භුමියෙන් මේ වන විට මතු කරගෙන තිබෙන මියගිය සමීපතමයන් ගණන සිහි ගන්වමිනි.
2025 මැයි 15 වැනිදා සිට 2026 ජුනි 23 වැනිදා දක්වා ගතවු වසරකට වැඩි කාලයක් තුළ අදියර තුනක් ඔස්සේ චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ දින 86 ක් පුරා සිදු කළ කැනීම් වලින් මේ වන විටත් පුද්ගලයන් 412 දෙනකුට අයත් අස්ථි මතු කර ගෙන තිබෙන අතර චෙම්මනිය හා ඒ අවට ප්‍රදේශයේ යුද හමුදාව විසින් සිරුරු සියගණනක් මරා වලදමා ඇති බව වසර ගණනාවකට ඉහත දි අධිකරණයට ප්‍රකාශ කළ දහනම හැවිරිදි ක්‍රිෂාන්ති කුමාරස්වාමි පාසල් ශිෂ්‍යාව දුෂණය කොට ඝාතනය කිරීමේ වරදට මරණීය දණ්ඩනය නියම වූ කෝප්‍රල් රාජපක්ෂ ඇතුළු සෙබළුන් 5ක් විසින් පෙන්වන ලද ස්ථානවලින් 1999 දී සිරුරු 15ක් ගොඩගන්නා ලදී.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එම සියළු මිනිස් ජීවිත වලට යුක්තිය ඉල්ලා ‘නොනිමෙන ප්‍රදීපය’ ස්මාරකයට මල් මාලයක් පළදා සිදු කළ අනුස්මරණයෙන් ඇරඹි සාමකාමී විරෝධය සදහා දෙමළ ජනතා නියෝජිතයන්, ආගමික නායකයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මෙන්ම බලහත්කාරයේ අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ද එක්ව සිටි බවයි.
මෙරට පළමු නිල සංචාරයේ නිරත වූ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් යුක්තිය සඳහා එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම ඇතුළු වගඋත්තරදායකත්වය සම්බන්ධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් චෙම්මනි සමූහ මිනීවලට නුදුරින් ‘ජනතා ක්‍රියාකාරිත්වයේ’ සංවිධානත්වයෙන් දල්වා තිබුනු ‘නොනිමෙන ප්‍රදීපය’ විරෝධතා භුමියට පැමිණ යුද්ධයේදී මළවුන් වෙනුවෙන් ඉකුත් වසර මැදදී පුෂ්පානුස්මරනයක් ද සිදු කර තිබුනි.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ චෙම්මනි සමූහ සුසානය සමීපයේ ඉදිකළ ‘නොනිමෙන ප්‍රදීපය’ ස්මාරකය 2025 ඔක්තෝබර් 08 වැනි දින රාත්‍රියේදී මෙන්ම දෙසැම්බර් 07 වැනිදා රාත්‍රියේ ද කඩා බිද දමා තිබුනද මේ වන තෙක් කිසිවකුත් නීතිය හමුවට පමුණුවා නැති බවයි.
කැනීම් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා දීම සදහා මේ වන විට යළිත් වරක් තාවකාලිකව අත්හිටුවා තිබෙන ශ්‍රී ලංකාවෙන් මෙතකේ හමුවු විශාලතම සමූහ සුසානයේ කැනීම් කටයුතු යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ නැවත ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ජුලි 15 දා යි.





